කලා මාධ්‍යයනට, විශේෂයෙන් සිංහල ගීත සාහිත්‍යයට යහපත් විචාර කලාවක ඇති වටිනාකම ගැන යම් අදහස් හුවමාරුවක් පසුගිය ගීයත් සමග සිදුවුණි. සිංහල කණ්ඩායම් සංගීතයද ගුවන් විදුලි සංස්ථාවේ අනුග්‍රහයක් නැතිවම ආරම්භ වුණද, පසුව එයින් ලද යම් අනුග්‍රහයක් නිසා උපරිමයකට නතුවී "සඳක් නැගී සඳක් ගිලෙයි සාගරේ" මෙන් දැන් නැත්තටම නැතිවී ඇත්තාසේය. හුදෙක් පුද්ගලයන් සමූහයක් එක්ව කරන ගායනයක්, වාදනයක් කණ්ඩායම් සංගීතයක් ලෙස ගැනිය නොහැක්කේය. කණ්ඩායම, පුද්ගලයන් ඉස්මතු නොවී, කණ්ඩායම ලෙස ඉස්මතුවී පෙනෙනා නිර්මාණ තුලින් බිහි කරන සංගීතයෙන්ම එහි අනන්‍යතාව රඳවාගනී. සංගීත කණ්ඩායම් බිඳී යන්නට මූලික හේතුවක් ලෙස, පුද්ගලයින් කණ්ඩායමෙන් ඉස්මතුව ගොඩනගා ගන්නා ප්‍රතිරූපය ගැන කරගන්නා අධි තක්සේරුවකුත් හේතු වේයැයි මට සිතේ. සංගීත කණ්ඩායමක් ගොඩ නගා ගැනීම, පවත්වා ගෙනයාම, දිගින් දිගටම නිර්මාණකරණයේ යෙදීම අධික පිරිවැයක් සහිත කාරියකි.
සිංහල කණ්ඩායම් සංගීතය, ලොස් කැබෙලෙරොස්ලා ගෙන් පටන්ගෙන, ලා සිලොනියන්ස්, ධර්මරත්න බ්‍රදර්ස්, වින්ස්ලෝ සික්ස්, සමනළයෝ, මූන්ස්ටෝන්ස්, ත්‍රී සිස්ටර්ස්, ගෝල්ඩන් චයිම්ස් හරහා පසුව ජිප්සීස්, ශක්ති, සිහ ශක්ති හරහා මේරියන්ස් ලාගෙන් ඉවර වුණි යැයි සිතිය හැක.
සන්ෆලවර්, ෆෝචූන්ස්, ෆ්ලැෂ්බැක්, අපසරාස්, මාරිම්බා, [ගෙම්බා කියා එකකුත් ඇතිද?] "සංගීත කණ්ඩායම්" මිසක "සිංහල කණ්ඩායම් සංගීතයේ" කොටස් කරුවන් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ
සිංහල කණ්ඩායම් සංගීතයේ අවගමනයට බලැපෑ, ආර්ථික කරුණු, ප්‍රාසාංගික කලාවන් ඇහිරීම, "සාහිත්‍යය කන්ඩද?" වැනි සංකල්ප, පසෙක තියෙද්දී අප නැවතත් ලංකාවේ සංගීත වියතුන් "සිංහල කණ්ඩායම් සංගීතය" ගැන තුබූ දැක්ම හා ඒ පිලිබඳ ඔවුනගේ විචාරාක්ෂිය, අතීතයේ යොමු වූ ආකාරය සොයා බැලීම අද දවසේ අංකුර සංගීත නිර්මාපකයින් හඳුනා ගැනීම, ඔවුනට අතදීම, අගය කිරීම, සම්බන්ධයෙන් කෙතරම් වටීදැයි සොයා බැලීමට අවස්ථාවක් වන්නේය.
පහත උධෘතයන් මහැදුරු සුනිල් ආරියරත්නයන් ගේ "ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය" පොතිනි
[පිටුව 114] "ගුවන් විදුලි සංගීතය උසස් තලයකට නැංවීමට ප්‍රමිති ගත කිරීමට අනූපමය මෙහෙයක් කළ එහි සංගීත පාලක පී ඩන්ස්ටන් ද සිල්වා කණ්ඩායම් සංගීතය පිටු දුටු ප්‍රධාන උද්ඝෝෂකයෙක් විය. සිංහල සංගීතයට බටහිර සංගීතය මුසු වීම නො සිදුවිය යුත්තකැයි ඔහු විශ්වාස කළේය. ඩන්ස්ටන් ද සිල්වා, ජෙරාල්ඩ් වික්‍රමසූරියට [සූරිය ලේබල් තැටි නිශ්පාදක] කියා සිටියේ ඔහුගේ ලේබලයෙන් එන කන්ඩායම් සංගීතය විෂ බවත් ඒවා කසල ගොඩට විසිකල යුතු බවත්ය. [පිටුව 115 ] ඩන්ස්ටන් ද සිල්වා අතුලු සම්භාව්‍ය සංගීත කරුවන් කණ්ඩායම් සංගීතය හැඳින්වූයේ "තුප්පහි සංගීතය" යන නමිනි."
[පිටුව 115] "බටහිර සංගීතය ප්‍රියකලද කණ්ඩායම් සංගීතය ප්‍රිය නොකල කේමදාස 'සරසවිය' පත්‍රයට ලිපියක් ලියමින් මෙසේ කියා සිටියේය. 'මාගේ ලොකුම විරුද්දත්වය මේ වාගේ විකාර දේවල් කණ්ඩායම් සංගීතය ලෙස හැඳින්වීම ගැනයි. මේවාට සංගීතය කියන වචනය යෙදීමත් නින්දාවක් මොවුන්ගේ ගීත වල සාහිත්‍යයක්වත් සංගීතයක්වත් නැහැ. ඇත්තේ එකම හඬක් ඔස්සේ කරන ඝෝෂාවක් පම්ණයි. .... මේ නවීන විකාර දේවල් බටහිර සංගීතය ලෙස හැඳින්වීම බීතෝවන්, ශූබ'ට් වැනි බටහිර සංගීතඥයණයනට කරන නින්දාවක්"
[පිටුව 115] "ප්‍රවීණ සංගීතඥයකු වන සෝමදාස ඇල්විටිගල 'සරසවිය' පුවත් පතට - අලුත් සංගීත කණ්ඩායම් නිසා සිංහල සංගීතයට වෙලා තියෙන්නේ විශාල හානියක්. මෙය අපේ දේශයේ සංගීතය ට බෝවුණු වසංගතයක් වාගේ... මේ සංගීත කල්ලි වල සමහර ගීත අහගෙන ඉන්න බැරි තරම් කංකරච්චලයක්. හැම තිස්සේම වාදනය කරන්නේ කිසිම විවිධත්වයක් නැති එකම රිද්මයක්."
[පිටුව 116] "...අමරදේවයෝ මෙසේ කීහ - නා නා විද මිනිස් කොටස් වලින් සැදුම් ලත් අපේ සමාජයේ කණ්ඩායම් සංගීතය වැනි දෙයක් බිහි වූයේ ඊට ප්‍රිය කරන එක්තරා කොටසක් සිටි නිසයි. ඔවුනටත් සංගීතයක් තිබිය යුතුයි. හැමදෙනාගේම රස වින්දනය එක මට්ටමක නැහැ. අපේ සංගීතයේ භාහිර ලක්ෂණ ඒ ඒ කාලයට අනුව වෙනස් වේවි. එහි මූලික හරය හැමදාම නොනැසී පවතීවී..."
[පිටුව 116] "ෂෙල්ටන් ප්‍රේමරත්න - සංගීත කණ්ඩායම් නිසා අපේ දේශීය සංගීතයට හානියක් වන්නේ නැහැ. සමාජයට අවශ්‍ය දෙයක් තියනවා නම් එය සමාජයේ ජීවත් වෙනවා. සමාජයට අනවශ්‍ය නම් නිරායාසයෙන්ම නැතිවෙලා යනවා. සමාජ විපර්‍යාස සීදුවන මෙවනි කාලයක මේ අලුත් සංගීත කල්ලි ජනප්‍රිය වෙන්න හේතුව එවැනි සංගීතයක් සමාජයට අවශ්‍ය නිසයි. ඒවායේ වචන වලට වඩා බලපාන්නේ රිද්මය. මිනිසුන්ට ඒකාකාරී බවෙන් මිදෙන්ට අවශ්‍යයි. එක් එක් අවස්ථාත් සඳහාත් එක් එක් විදිහේ සංගීත ශෛලීන් අවශ්‍යයි. එකම දේකින් සියල්ල පිරිමහා ගන්න බැහැ. මේ බටහිර ශෛලියේ ගීත අපේ රටේ ජනප්‍රිය වීමට එක් හේතුවක් මේ මිශ්‍ර ජාති රිද්මයයි... මේ අලුත් සංගීත ක්‍රමය නරකයි කියල බැහැර කළයුතුයි මට හිතෙන්නේ නෑ. මන්ද ඒ ගීතවල එක්තරා ක්‍රමවත් රටාවක් ශාස්ත්‍රීමය හරයක් තිබෙන නිසා.."
[උධෘතයන් නිමයි]
ඊලඟට මේ පොතේ ඇත්තේ තිස්ස අබේසේකරයන් ඉන්දියානු සංගීතය ඔසවා තබාගෙන බටහිර සංගීතය යොදා කරන නැවුම් නිර්මාණ [වන දෙව්ලිය තුරුලේ, දිල්හානී දුවනී] හෙලා දකීමට තැත් කරනා සංගීතඥයනට බලවත් අතුල් පහරක් තම විචාරයන් මගින් එල්ල කල හැටි.
ඒ ඒ විචාර පිලිබඳ සෙවිල්ල නවකයිනට අතදීම සම්බන්ධයෙන් කෙසේ වුවද, සම්භාවිතාව නැමැති ගණිතමය සංකල්පය හරියන්නේ සමාන අවස්ථාවල පමණක්ම සේම, බලහත් කාරයෙන් සංස්කෘතිකාංග ඔබ්බවීමට තැත්කරනා පරිසරයක මේ විචාර විවේචන වලංගු වේද යන්නත් බුද්ධිමත්ව සිතා බැලිය යුතු කාරණවකි. ඒ මන්ද යත් "ජෝන් ඩොයිලීලා" අප අතරින්ම පැටව් ගසනා යුගයකුත් අද එලිපත්තටම පැමිණ ඇති බැවිනි.
ලස්සන ලෝකෙට පා ඔසවාලා..
හණමිටි හැරමිටි පැත්තක දාලා...
මිදි උයනේ ඉමු චුට්ටක් වේලා...
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා...
බොලඳ සිතුම් ඉවතට යයි...
වෙළඳ පැතුම් අහකට වෙයි...
හදවතේ පහන් සිලුවේ...
ඔබ නැලවෙයි ඔබ නැලවෙයි සදාංගනී...
හදවතේ පහන් සිලුවේ...
ඔබ නැලවෙයි ඔබ නැලවෙයි සදාංගනී ...
සිලිටි දෙතොල් හිතට නැගේ...
දිගටි දෙනෙත් පියාසලයි..
හදවතේ යහන් මලුවේ..
ඔබ නැලවෙයි ඔබ සැතපෙයි සදාංගනී...
හදවතේ යහන් මලුවේ...
ඔබ නැලවෙයි ඔබ සැතපෙයි සදාංගනී...
ලස්සන ලෝකෙට පා ඔසවාලා..
හණ මිටි හැරමිටි පැත්තක දාලා...
මිදි උයනේ ඉමු චුට්ටක් වේලා...
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා...
සිංදුව අහන්න...
ඕන්නම් බාගන්න...
1967 තිරගත වූ අර්වින් ජයමාන්න අධ්‍යක්ෂණය කල "රහස් දූපත" චිත්‍රපටියේ එන මේ ගීයේ තනු හා සංගීතය නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ "ලොස් කැබෙලෙරොස්" කණ්ඩායමයි. ගී රචනාව ඔගස්ටස් විනයාගරත්නම් ගෙනි.