මල් මඳහස රැඳුනි තොලේ...

මට නම් මේ ගීය හීනයක් වගේ ඔලුවේ ඇතුලේ තියනවා... ඉස්කෝලේ යන කාලේ අහපු සින්දු.... සෝමරත්න පෙරේරා ගේ ගීයක් මම කලිනුත් දැම්මා... ඒක "කැල්මෙනා සඳැස සදිසි කියන ගීය... සිංහල ජන ගී ආරට ලියවුණු හා තණු නිර්මානය වුණු මේ ගී දෙකම මගේ ගී එකතුවේ මුතු දෙකක්... සැබැවින්ම සිහිනෙක මා මන බැන්දූ....

මල් මඳහස රැඳුනි තොලේ...
රන් ගෝමර ඉසුනු බඳේ...
ගල් අමුණෙන් පැන්න ලඳේ...
සිරියා කත ඔබය ගමේ...

සේලේ රැලිලා ඇන්ඳූ...
ගී සීපද රස ගැන්වූ...
වෙල් එලියෙන් ආ ලන්ඳූ...
සිහිනෙකි මා මන බැන්දූ...

ගෙලවට මිනිමුතු බැන්දූ...
රනට වලලු අත රැන්දූ...
වෙල් එලියෙන් ආ ලන්ඳූ...
සිහිනෙකි මා මන බැන්දූ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..

photo courtesy Dr. Mrs. Chandanie Wanigatunge
Read More!

මා සාර භූමි ලංකා...

වයස තරාතිරම බලන්නේ නැතිව, කෙනෙක් කියන හරවත් යමක් අහලා, තමන්ගේ බුද්ධි පමණින් විචාරලා, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා බලලම ගන්න හෝ නොගන්න එක තමා හොඳ මගේ හිතේ.... වැඩිය පෝස්ට් නැති වුනත් මගේ යෝගී මල්ලි, බ්ලොග් ලියනවනම් පිළිපදින්න වටින පොඩි පූර්‍වාදර්ශ ටිකක් කියල තිබුන... කියෝපු දා ඉඳලා මම ඒවා පිලිපදිනවා... හේතුව, සාමාන්‍ය මිනිස්සු පහසුවෙන් වෙන්කරන්න පුලුවන් මාතෘකා, මුහුණට මුහුණ නොගැසී හා සමහර වෙලාවට ද්වේශ සහගතව කරන වාද වලින් කමෙන්ට් වලින්, ඔවුන් ප්‍රගතිශීලී වෙනවාට වඩා අගති ගාමී වෙන බව මට වැටහී ගිය නිසා, අත්දැකීමෙන් ම දු‍ටුව නිසා...... පහුගිය පෝස්ට් එකේ මියගිය සොඳුරු මිනිසකු වෙනුවෙන් තාමත් ලතැවෙන බොහෝ දෙනෙක් ගේ සුසුම් (ඔවුන් ගේ බරපතල මතවාද වලින් බැහැරව...) මට සියුම් සතුටක් ඇතිකලා... රටේත් (මගේත්) අතීතයත්, වර්ථමානයත්, අනාගතයත් බැලුවහම මට හැමදාමත් තිබ්බේ බොහොම සරළ තියරියක්... මා උපන් බිම මට උතුම්ය... මොනම කාරණාවකදී වත් රට පාවා දෙන දෙයක් මගේ අතින් සිදු නොකිරීමත්ය.... යන කාරණාවල් දෙකය ඒ... තුන් ලෝකය අතැඹුලක් සේ තර්‍ක කරන්නට පෙළඹෙන බොහෝ දෙනෙක් ප්‍රායෝගික ජීවිතයේ රටට සතයක වත් සේවයක් නොකර වාදාභිමුඛවමැ හිඳිනු මම දැක ඇත්තෙමි... සුනිල් එදිරිසිංහයන් "ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා..." ගැයුවේ ඔවුන් වෙනුවෙනි.... බ්ලොග් අවකාශයේද මෙලෙසමය... පොත පතින්ද, ගුරුන්ගෙන්ද, හිතවතුන්ගෙන්ද "ඇසූ" දේම ගුරු කොට, ව්‍යවහාරික ඥාණය දෙවැනි කොටම තකන්නට මිනිසුන් පෙළඹෙන්නාසේමය...

මා සාර භූමි ලංකා...
මා විජය භූමි ලංකා...
මා පුණ්‍ය භූමි ලංකා...
අප ජන්ම භූමි ලංකා... ලංකා... මා සාර භූමි ලංකා...

නදී ඇල දොල... අහස් දිය කඳ....
සදා තෙතමණ සෙවන දෙරණයි...
කරල් බරවූ කුඹුරු යායයි...
මේ බිමෙන් අප රට නිධානයි...

සතුරු එඩි මැඩ... හෙළා ලේ කඳ...
නැංවු නිවහල්... විජය දෙරණයි...
වීර හෙළයන් පුදා ජීවය...
නැගූ නිදහස රට උරුමයි...

බුදුන් සිරිපා... පියුම් නැමදූ...
මගේ මේ ලක්... පුණ්‍ය දෙරණයි...
සදා කාලෙන්... සදා කාලෙට...
අපට දළදා... සමිඳු පිහිටයි...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..

දේශාටනයේ යෙදෙමින් තමන් ගන්නා අනගි ඡායාරූ මට ලබාගැනීමට ඉඩදෙන වෛද්‍ය චාන්දනී වණිගතුංග මහත්මියට මගේ ස්තුතිය...
Read More!

මා හිස පිරිමැඳ...

ටක්... ටක්... ටක්...
"කව්ද අප්ප මේ වෙලාවේ..."
"අනේ දොර අරින්න එපා මගේ දෙයියෝ..."
"පිස්සුද ළමයෝ... කවුරු හරි මොකක් හරි කරදරයකට වෙන්න ඇති..."
"මේ කාලේ කව්ද මේ වෙලාවට දොර අරින්නේ... අනික මේ ඔයා කරන රස්සාවත් එක්ක... අනේ දොර අරින්න එපා..."
"බොරුවට කලබළ වෙන්න එපා... අර ළමයිත් බය වෙනවා... මට කවුරුත් එහෙම කරදරයක් කරන්නේ නෑ... කෝ ඉන්න දොර ඇරලා බලමු"
"ටක් ... ටක් ... ටක්... කරුණාකරලා දොර අරින්න... ලයිට් දාන්න එපා..."

"ඔය බලන්න මං කිව්වේ... අනේ එපා දෙයියනේ..."
"හ්ම්ම්... දැන් කරන්න දෙයක් නෑ... දැන් කොහොමත් අරින්න වෙනවා..."

"ආ ඇයි මල්ලිලා...?"
"අපිට කතා කරන්න තියනවා ඔහෙත් එක්ක පොඩ්ඩක්..."
"හොඳයි... එන්න ඇතුලට"
"ඔහේ මොකද අපි තහනම් කරලා තියෙද්දි නිවුස් කිව්වේ...?"
"මල්ලි ඒ මගේ රස්සාව... මං බැඳිලා ඉන්නවා ඒක කරන්න... මේ පේනවනේ... මේ කට්ටිය ‍රැකෙන්නේ ඒකෙන්..."
"ඔය කට්ටියව යවන්න කාමරයකට... හරි..... එතකොට අරූගේ උත්සව වල ස්ටේජ් වලට නැග්ගේ...?"
"මල්ලී වහලක් නැති මිනිහෙකුට වහලක් ලැබෙන එක කොච්චර දෙයක්ද... ඌ මොකෙක් වුනත්..."
"උඹ පොඩි බබා... උඹ දන්නේම නෑ... මේවා රටේ අහිංසක මිනිස්සුන්ගෙන් කොල්ල කාල හම්බ කරන ඒවා... බිංදුවක් විසි කරල උගෙම හෙංචයියන්ට... හරි දැනට ඔය ඇති.... යමන් එලියට.... උඹෙන් තව විස්තර ගන්න තියනවා අපිට..."
"කොහෙටද යන්න ඕනෑ...?"
"යමුකො... ගියහම පෙනෙයි..."
"මල්ලිලා කාලද ඉන්නේ....?"
"මේ රටේ මිනිස්සු සිය ගානක් බඩ ගින්නේ ඉන්නේ.... යමන් ඉතිං"
"ඉන්න මං කමිසයක් දාගෙන එන්නං..."

"අනේ දෙයියෝ... මේ කොහෙද යන්න හදන්නේ..."
"නෑ ... නැ... ප්‍රස්නයක් නෑ... ඒ ගොල්ලන්ට මේ විස්තර වගයක් ඕනෑලු... ඕනෑ දෙයක් දීලා මං ඉක්මනට එන්නං... ඔයා ඉන්න දොරවල් වහගෙන..."

ඉන්ද්‍රානි බෝගොඩයන් ගායනා කරන ලෙසින් ඒ සොඳුරු මිනිසා ආපසු පමිණියේ නැත... අප සැමගේ සිත් නිවාලු ඔහුට, වාරු දෙන්නට සිටියේ පහන් ටැඹක් පමණි...

මා හිස පිරිමැඳ, නැවත නො එන්නට ඔබ වෙන්වී ගියදා...
සටහන් නැත මැකිලා, ඒ නික්මන් ගමනේ....

මගේ ජීවිතයම ඔබෙන් සැදුනු බව, එදිනයි මට දැනුනේ...
එතරම් අසරණ වී, නෑ කිසි දින තනිවී....

කිසි ලෙසකින් හෝ වටහා දෙනු බෑ, සෙනෙහස දෙවි කමකි...
ඒ සෙනෙහස දැනුනේ, ඔබ යලි ආ දිනයේ....

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..
Read More!

රත්තරනින් රන් මාල නොබැන්දට...

ඉස්සර රාජ්‍ය සේවකයෝ බොහෝ දෙනෙක් තමන්ගේ ගෙදරට "සෝවියට් දේශය" සඟරාව ගෙන්නවා ගත්තා... ඒ එක්කම අර බෝල්ෂෙවික් පක්ෂයේ කුඩා මාසික ප්‍රකාශනයත් ආවා... සෝවියට් දේශය සඟරාව බොහොම සාර ගර්භ සඟරාවක්... ඒකේ අවසාන පි‍ටු කිහිපයේ ලස්සන කතාවකුත් යනවා... එයින් මට හොඳට මතක කතාවක් තමයි "රත්තරන් දෑත්"... රාජ දෝනිට කලවයස ආවහම කාර බඳින්න කෙනෙක් පිය රජ තුමා සොයනවා... දෝනි ඉතින් නුවණැති වසිලිස්සා වාගේ... ලස්සනයි නුවණත් බොහොම තියනවා... "ඔබ මොනවාගේ කෙනෙක් ද සොයන්නේ...? දියණිය මෙහෙම කියනවා "මම කාර බඳින්නේ ලෝකෙන්ම පොහොසත් කෙනා..." පියරජ තුමාගේ කට කණේ.... සතුට ඇසිල්ලයි...ඇය ඒ එක්කම කියනවා..."ඒ වාගේම එයා ලෝකෙන්ම දුප්පත් කෙනා වෙන්නත් ඕනේ..." මේ අපභ්‍රංසය තේරුම් ගන්න බැරි රජ්ජුරුවෝ, අර මගේ යෝගී මළයා කිව්වා වාගේ, දෝනි කියපු දේ ඒ විදිහටම, "ෂී ෂී" (carbon copy හෙවත් Cc) කරනවා රට පුරාම... ඔන්න ඉතින් ස්වයංවරයට ලෝකේ හැමාතින්ම කුමාරවරු එනවා... රජ කුමරිය නියපොතු ඔප දම දමා හැමෝගෙන්ම අර ප්‍රස්න දෙක අහනවා... එක් කුමාරයෙක් විසාල රත්තරන් තොගයක් ගෙනැවිත් කියනවා... "මම ලෝකෙන්ම පොහොසතා..."රජ කුමරිය අහනවා "එතකොට ඔබ දුප්පත්ම කෙනා වන්නේ කොහොමද..." කියලා... "මම මේ සියල්ල ඔබට දීලා ලෝකෙන්ම දුප්පතා වෙනවා..." "හ්ම්ම්...ඒ කියන්නේ ඔබ දැන් පොහොසත්, පස්සේ දුප්පත් ... එහෙමද...?" "ඔව් කුමරියනි..." ඇය නොසතුටෙන් ඉවත බලා ගන්නවා... ඔහොම එක් එක්කෙනා ප්‍රතික්ශේප වෙද්දී එක් වරම තරමක් අපිරිසිදු ඇඳුම් ඇඳගත් තරුණයක් කුමාරිකාව අසලට එන්න උත්සාහ කරනවා... රාජ පුරුෂයෝ ඔහුව වලක්වනකොට කුමාරිකාවගේ අණ පරිදි ඔහු ඈ හමුවට පැමිණෙනවා... කුමරිය ඔහුගේ තියුණු නෙත් වලට එබී ප්‍රස්නය අහන්න හදනකොටම ඔහු කියනවා..."කුමරියණි... මම දෙවැනි ප්‍රස්නයට ඉස්සෙල්ලා උත්තර දෙන්නම්... "පෙනුමෙන්ම ඔබට කිව හැකියි මම ලෝකෙන්ම දුප්පතා බව... මට දේපල මුදල් ඉන්න තැනක් කිසිවක් නෑ..." කුමරිය අහනවා... "ඒක හරි එහෙනම් එතකොට අනෙක් ප්‍රස්නය..." මම වඩුවෙක්, ගොඩනැගිලි තනන්නෙක්, සන්නාලියෙක්... වෙහෙසට පත් වුණහම මේ බටනලාව පිඹිනවා... මගේ අත්දෙක තමා මගේ ධනය... ඒ දෑත් නිසා මම ලෝකයේම පොහොසතා... මට ඕනෑ කරන ඕනෑම වෙලාවක..." රජ කුමරිය ප්‍රීතියෙන් පිනා යනවා... "ඔව් ඒ රත්තරන් දෑත්..." ඈ කියනවා...

රත්තරනින් රන් මාල නොබැන්දට...
රත්තරනින් රන් ‍තෝඩු නොදැම්මට...
ඔබේ දැත මට ‍රැකවරණයි...
රත්තරන් දෑත මට ‍රැකවරණයි...

කුඹුරු කොටන ඔබේ දැත...
නියර බඳින ඔබේ දෑත...
මගේ පැලේ කව්ලු දොරින් උදේ හවා දු‍ටුවා...
ඒ දෑතට මගේ දැත දෙන්නට මා සිතුවා...

පැල් කවියක හඬින් රෑක...
සිහින ලොවක ගියෙමි ඇත...
හදේ පැතුම් සඳ කිරණින් ඔබේ පැලට ආවා...
දැතට දී මගේ දෑත තනි රකින්න ආවා....

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..
Read More!

කිසිවක් නොකියන, කිසිවක් නො අසන...

සුන්දර හැඟීමකින් තැබූ සටහන, මරණීය හැඟීමක් එක්ක වෙලෙයි කියලා, සටහන තැබූ වෙලේ නම් මට කොහොමනම් දැනෙන්නද...? අපි හැමෝම හිටියේ ඉස්කෝලෙත් විශ්ව විද්‍යාලයත් අතර ඉංග්‍රීසි පන්තියේ... මට මගේ ජීවිතය අරුත්බර කල නෙත් යුවල හමුවුනෙත් එතනදිමයි... ඒ කාලය හරිම සුන්දරම කාල වකවාණුවක් වුණා වුනා මගේ ජීවිතේම... මම බාගෙට කාපු රඹුටන් ගෙඩිය කටේ දමා ගත්තු මිතුරියත් හිටියේ ඒකෙමයි... ඒ අතරතුර මට තවත් අපූරු මිතුරෙක් මුණ ගැහුණා... මට වඩා බොහොම පෙණුමැති ඔහුත්, එතන පිපිච්ච තවත් ලස්සන මලක් නිසා කැළඹිලා හිටියේ... ඇයත් ඔහුත් දෙන්නම යන්න හිටියේ එකම විශ්ව විද්‍යාලීය අධ්‍යයණ අංශයකට... ඒ කාන්තා චරිතයේ අමුතුම ගති සොභාවක් තිබ්බ, සඳ වැනි උවනට අමතරව... මොකද්දෝ සඟවා ගත්ත ගුප්ත කාරණයක් හින්දා, අමුතු නිස්සද්ද ගතියකින් ඈ හිටියේ... සුන්දරම ගනයේ සිනහවක් තිබුණු ඈ, අපි හැමෝම කොක් හඬලා හිනාවෙනකොටත්, අත් දෙකින් මූන වහගෙන යන්තමින් හිනාවෙණවා විතරයි... මෙ ගීතයේ මුල් පදයේ ඇති නම වෙනුවට, ඇයගේ නම කදිමට ගැලපුණු නිසා, ඒක දාල ඇගේ සමරු පොතේ මම එය සටහන් කලා....

මගේ මිත්‍රයා හඬා වලපුණත්, නොකා නොබී හිටියත් ඇයගේ හිත ගලක්වාගේ තිබුනේ.... මා මිත්‍රයා පිස්සෙක් කරන්නට සමත් වුනේ, පාඨමාලාව අවසන් වෙන්න ලංවුණහම ඈ වෙනෙකෙකු ‍තෝරා ගැනීම නිසයි...මේ උමතුව මගේ හිතත් කම්පා කලා ඒ දිනවල... මම දවසක් ඔහුට දෙකක් අනින්නත් ගියා, ඉවසාගන්න බැරුව මේ අඳෝනාව... ඇයි දෙයියනේ පිරිමියෙක් වැලපෙන එකේ සීමාවක් තියෙන්නෙ ඕනෑ නේද...?

කොහොම නමුත් තුන්දෙනාම එකම අධ්‍යනාංශයට ගිහින්, දරුණු ගණයේ පාඨමාලවක් වන එය, ඉහලින්ම කරගෙන එයට අදාල වෘත්තියේ නියලෙන්න ගත්තා... මේ වකවාණුවේදී මට ඔවුන් තිදෙනා ගේ අන්තර් සම්භන්ධතාවය ගැන හරි හැටි තොරතුරක් ලැබුණේ නෑ... නමුත් මගේ මිත්‍රයා බලා ඉඳලා ඉඳලා තමන්ගේ දුරින් ඥාතියෙකු විවාහ කරගත් බවත් අනෙක් දෙදෙනාත් විවාහ වූ බවත් දැහනගත්තා... ඛේදවාචකය වෙන්නේ මගේ මිත්‍රයාගේ බිරිඳට පලමු දරු උප්පත්තිය වෙලා, රෝහලේ සිට අම්මටත් දරුවටත් ඇඳුම් ගෙනියන්න, ඔහු ගෙදර ආ වෙලාවේ... ‍රැක සිටි නන්නාදුනන්නන් උණ්ඩ හතක් ඔහුගේ හිස හරහා යවනවා, කුලුඳුල් දරුවගේ මුහුණ බලාගන්නම ඉඩක් නොතබා...

කිසිවක් නොකියන, කිසිවක් නො අසන, මුණිවත රකින ලඳුනි පබා...
කල්පිතයක් මැද තනිවූ පමණින්... මුව ගොලු ලා ගෙන හිඳිනු එපා..

කියාගන්න බැරි, දහසක් දේ ඇත ජීවිතයට...
හිතා ගන්න බැරි, දහසක් දී ඇත ඔබ අප වට...
එනමුදු කුමුදිනි... ඔබේ සිතත් මගේ සිතත්, එකම එකක් කළ අපට රහස් නැත...
මුව'ගුලු ලාගෙන හිඳිනු එපා...

තනිවුණු මොහෙතක, කුණා‍ටුවක් මැද සාගරයක..
එක් වුණු මොහොතක, තරුවියනක් යට මල් යායක...
ඉඳුනිල් ලෙළැසියෙ...
ඔබේ සිතත් මගේ සිතත්, එකම එකක් කළ අපට රහස් නැත...
මුව ගොලු ලාගෙන හිඳිනු එපා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..
Read More!

මගේ කඳුලින්, ඔබේ දෙනුවන්...

අකුරු කල සෙනෙහස...
Romantic Pictures, Images and Photos
මගේ කඳුලින්... ඔබේ දෙනුවන් ...
දොවාලන්නට වරම් නෑ...
මගේ දෙතොලින්... ඔබේ කඳුලැල්...
නිවා ලන්නට වරම් නෑ...

සිතෙහි දෝතින්... මලක් සේ ගෙන...
ඔබේ සෙනෙහස... වැලඳ ගන්නට...
නමුදු පරසතු මලක් වී ඔබ...
නොමැත මා හට... සුවඳ දෙන්නේ ...

සිතෙහි ඇවිලෙන... ඔබේ හදවත...
මගේ සුසුමින්... නිවාලන්නට...
නමුදු අවසර... නොමැති පියසෙකි...
ඔබේ ලොව මට... අත පොවන්නට...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..
Read More!

සඳයි තරුයි ‍රැයයි හිරුයි මගේ මේ ලොවේ ..

Angelina Jolie
මේ ගීය ක්ලැරන්ස් විසින් නිර්මාණය කරන ලද මං ආසම ගීය.... මේක ක්ලැරන්ස් විසින්මත් ගායනා කරනවා... හැබැයි අනිල් භාරතී ගායනා කරන මේ version එකට මම බොහොමත් කැමතියි... කලෙක උමතුවෙන් මෙන් මේ ගීය ගායනා කරපු කාලයක් තිබ්බ මම... ගෙදර හිටියත් එලියට බැස්සත් ... මගේ සොයුරියටත් මේක note වෙලා ''මඳ සිනහා රතු දෙතොලේ ආ...? හොඳයි හොඳයි..."කිය කියා මට වදේ ගැහුවා ඒ කාලේ... මට ආයෙමත් ඒ හැඟීමේ ගිලෙන්න පුලුවනි මේ ගීයත් එක්කම....

සඳයි තරුයි ‍රැයයි හිරුයි මගේ මේ ලොවේ ...
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ...
මද සිනහා රතු දෙතොලේ..
මට නොපෙනී හද හැකිලේ...

මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමි...
ඒ සිහින සැබෑ ලොවේ මියයනු දුටිමී...
කොවුල් ගීත මගේ සවණේ පිලි‍රැව් දුන්නා...
අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා...

මද සිනහා රතු දෙතොලේ..
මට නොපෙනී හද හැකිලේ

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..
Read More!

සප්ත වර්‍ණ හිරු කිරණින් සප්තස්වර ‍රැව් දේවා...

තවත් සූර්‍ය මංගල්‍යයක් උදාවුනා ලංකා වාසීන්ට... කාලෙකින් නොදැක්ක නෑයෝ, නොනෑයෝ, හා සමහරුන්ට නෑයෝත් නොනෑයෝත් වන තමන්වත් නැවත දකින්න අවස්ථාවක් උදාකරමින්... දෛනික ජීවිතයේ එබිලා ඉන්න අයට තමන් දිහා බලන්න වත් , තමන් අතින් තමන්ගේ අයට වෙච්චි වැ‍රැද්දකට සමාව ගන්න වත් වෙලාවක් නෑ... ඔය කොයි දේත් සමහන් කර අලුතින් පටන් ගැන්මක් අරගන්න කියාපු කාලය... මම වරෙක පුහුණු පාඨමාලාවකට ස්වීඩන් රටේ ටික දිනක් ගත කලා... යුරෝපයටම නවීනත්වය හඳුන්වාදෙන්නේ ඔවුන් කියන සියුම් ආඩම්බරය ඔවුන් තුල තියනවා... නමුත් පුද්ගලිකව කථා කලහම බොහෝ දෙනෙක් ගේ පවුල් ජීවිත වල සීමා හරිම කෙටියි....බොහෝ දෙනෙක් තමුන්ගේ පවුලෙන් පිට නෑයෝ දෙමාපියෝ අවුරුදු ගනනකින් දැක නෑ... පුහුණුවේ අවසන් දේශනය තිවුනේ සමාජ විද්‍යා මහැදුරු තුමෙකුට... ස්වීඩන් සමාජය ගැනත් එහි නවීනත්වය ගැනත් කථාව කරගෙන යනාතුර මම ඔහු නවත්වා ඇහුවා..."මෙපමණ සැලසුම්, නිර්මාණ, ව්‍යාපෘති තිබුණත් ඔබලාගේ පවුල් ඒකකය කියන මූලික සමාජ සංරචකය බිඳ වැටිලා නේද " කියා... මා සමග වාදයට පටලැවුනු ඔහු බොහෝ පැටළිලි දේ කියාගෙන යනවාත් සමග මැදිහත් වූ පාඨමාලා අධ්‍යක්ෂක තුමා අනපේක්ෂිතව ඉදිරියට විත් "තිස්ස කියන්නේ ඇත්ත... අපි අපේ පවුල් ඒකකයේ සාමාජිය තත්වය බිඳවට්ටාගෙන හමාරයි ..."කීවා... ඒ වාදය එතනින් නිමා වුනා...
අද දිනයේත් එවැනිම වාදයක නියැලෙන්නට සිදුවුනේ බුදුදහමේ නැකැත් විශ්වාස කරන්නට එපා කියා ඇති නිසා මුලු සූර්‍ය මංගල්‍යයම මිත්‍යා දෘශ්ඨික වැඩ පිලිවෙලක් යැයි කෙමෙන් කෙමෙන් කරළියට පැමිණෙන මතවාදයක් කරපින්නා ගත් අයකුට කරුණු කියන්නයි... අවුරුදු කාලයේදී සිංහලයා, මල්වර වූ ගැහැණු දරුවෙකු ගේ තුලට වී ඉන්නා සේ දක්වන ප්‍රසිද්ධ යතිවරයකුගේ වෙබ් අඩවියක් උපුටා දක්වමිනුයි ඔහු කරුණු දක්වා තිබුණේ... සබැඳිය මෙතනින් බලන්න... හිත් රිදවා ගන්න එපා කවුරුත්... වාද කරන්න යන්නත් එපා මේ ගැන... අවදියෙන් ඉන්න... සියල්ලන්ටම සුභ අලුත් අවුරුද්දක් වේවා...

සප්ත වර්‍ණ හිරු කිරණින් සප්තස්වර ‍රැව් දේවා...
සප්ත ගිරින් හිරු එනවිට මුලු ලොව ගීයක් වේවා...

රිද්මයකට කිරණ විදා හිරු අහසේ හිනැහේවා...
එකිනෙක මල් විකසිතවී ලොව මල් උයනක් වේවා...

රිද්මය හැමතැන පෑහී මිහිතලයම නැලවේවා...
දුක් පීඩා හැම සේදී ජීවන මග සැරසේවා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..
Read More!

මධු බඳුන් දෙතොල් විෂ බඳුන් කළේ...

තවත් දවසක උදාවක්... මා ආයතනයක යම් අංශයක් බාරව සිටි කාලයක්...
"හලෝ... මේ අහවලාද...?" මොන මරාලයක්ද මංදා උදේම... ප්‍රදර්ශනය කලයුතු රාජකාරි ස්වරය මුවට... "ඔව් කතාකරනවා...."
"ඔතන වැඩ කරන අහවලා ගේ අහවලා... මම.." "ඔව් කියන්න..."
"මාව වරදවා තේරුම් ගන්න එපා..., එයා ඔතනම ඉන්න ... එක්ක පටලැවිල්ලක් ඇතිකරගෙන..,මේ මනුස්සයා බැඳපු කෙනෙක් කියලා දැනගෙනම ඔය ගෑණිත් මේකට රුකුල් දෙනවනේ..." කාලා වරෙංකෝ උදේම... මෙතන ශ්‍රී ලංකා සුමිත්‍රයෝ කියලා හිතුවද දන්නෑ.... "ඉතින් මට කියන්නේ ඇයි කියන්න කරුණා කරලා..."
"මේ මනුස්සයා දැන් ගෙදර ඇවිත් මට කුණුහරුපෙන් බනිනවා... ඒ මදිවට අතින් පයින් ගහනවත් එක්ක.... කරුණාකරලා ඔය ගෑණු කෙනාව ඔතනින් අයින් කරන්න එහෙම නැත්නම් මාරු කරන්න වෙන බ්‍රාන්ච් එකකට...." හත් ඉලව්වයි ... ඒ ළමයා විතරයි මෙතන දුවලා පැනල පඩියටත් වඩා වැඩ කරන්නේ... "කරුණාකරලා ඔය ප්‍රස්නය තමන්ගේ ස්වාමි පුරුෂයා එක්කම කතා කරලා විසඳා ගත්තොත් නේද හොඳ...?"
"දැන් මම කියන දේ අහන කාලේ පහුවෙලා..." මොන බම්බුවක් කලාද මෙච්චර කල්...? "හොඳයි දැන් එයාව මාරු කලා කියමුකෝ... ඔබ හිතනවද මේ ප්‍රස්නය මෙතනින් විස‍ඳෙයි කියලා..."
"අනේ ඔබතුමාට මම කියන දේ තේරෙන්නේ නෑනේ... මේ දරුවන් දෙන්නා එක්ක මම හිතින් විඳින දුක දන්නේ මමයි මගේ දෙමව්පියනුයි විතරයි... මම මිස්ටර් ගේ ගෙදර ඇවිත් මේ ප්‍රස්නය විස්තර කරලා දෙන්නද...?" ගෝනි නැතුව නැගපි කරේ... මගේ පවුලත් කැඩෙන වැඩක්... හැබැයි ආනමාලු ඇවරියක් වත් අරන් ආවොත්..! "හොඳයි ආවට නම් කමක් නෑ.. නමුත් මම හිතන්නේ මේක ඔබම හස්බන්ඩ් එක්ක කතා කරලා විසඳා ගත යුතු ප්‍රස්නයක්... තවත් අය සම්බන්ධ වෙන්න වෙන්න මේක අවුල් වෙනවා... මේක නිරවුල්ව කියලා දෙන්න එයාට, අඩුම ගනනේ ඉස්සෙල්ලා කේන්ති නොගස්වා ටික දවසක් ඉන්න බලන්න... කූල් ඩවුන් වුනහම අහන්න මොකද්ද ඔයාගෙන් වුන අඩුපාඩුව කියලා..."
"මිස්ටර් එක්ක කතා කරලා වැඩක් නෑ වගේ මේක..." ඔන්න ස්වර්ණ වාහිනියේ රතු ඉර පටන් ගත්තා...! "මම මෙච්චර වෙලා මෙහෙම කතා කලේ ඔබට සාධාරණ දුක් ගැනවිල්ලක් තිබුණා වාගේ පෙනුනු නිසයි... ඒ ලමයාව මට මාරු කරනවා තියා හිතන්නවත් බැරි ලමයෙක්... ඔබේ ප්‍රස්නෙට ඔබ ගෙදර තුලින්ම උත්තරේ සොයාගන්න... එහෙම නැත්නම් හිතවත් යාලුවෙක් හරහා කරගන්න... මට රාජකාරි මට්ටමෙන් ඕකට කිසිසේත්ම මැදිහත් වෙන්න බෑ..."
"හොඳයි එහෙමද... ?" එහෙම නැත්නම් කියයිද...? "එහෙමනම් මම තියනවා.." ෂහ් ආනමාලු කතාව කියන්න බැරි වුනානේ....!!!!

පසු ලිපි: එයින් බොහෝ කාලෙකට පස්සේ අර ලමයාගෙන් මම පුද්ගලිකව අර කතාව ඇහුවා...එතකොට අර හාදයා ආයතනයේ නෑ...
"දැන් අහවලා එක්ක ගණුදෙණුවක් නැද්ද..." මේ ළමයා හොල්මං..."අනේ ... මට ඕකව පෙන්නන්න බෑ..."
"ඇයි අප්පේ ඒ..." "ගෙදර මනුස්සයාව ආණ්ඩු මට්‍ටු කරන්න මාව පාවිච්චිකලා..." හොයපල්ලකෝ උත්තර මේ හතර බීරි කතාවේ....

මධු බඳුන් දෙතොල් විෂ බඳුන් කළේ...
නිර්දය වූ මිනිසුනේ ඔබයි..
නිල් උපුල් නුවන් ගිනි උදුන් කළේ ...
නිර්දය වූ මිනිසුනේ ඔබයි...

සිව්මැලි මාසිත තලා පෙලා රවටා...
සිව්සැට මායම් ඔබයි කියා දුන්නේ...
මියුලඟනක වූ මා මුදු හද රිදවා
වෛර කරන්නට ඔබයි කියාදුන්නේ...

රුදුරු හැපින්නක සේ සේ හද ගැබ කලඹා...
ද්වේශ කරන්නට ඔබයි කියාදුන්නේ...
නොමැකෙන කැලළින් නොනිමෙන ගිනි මොළවා...
වරද බැ‍ඳෙන්නට ඔබයි කියා දුන්නේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..
Read More!

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්...

මව් ගුණ ගීයක් හද ගී පොතේ ගියේම නෑ නේද... මොකද්ද හේතුව... හිතාගන්න අමාරුයි... මගේ මව්, මා වෙනුවෙන් විඳි දුක්, මා දැක නැති බැව් හැබෑය... නමුත් ඒ හා සමානව, මගේ දරු දෙදෙනා උස් මහත් කරන්නට වෙහෙසෙන "ඈ" සියැසින් දු‍ටුවෙමි... ඒ අනේක වූ දුක්ඛ දෝමනස්සයන් විඳගෙන , මුවින් නොබැන, මාගේද සියලු ඕනෑකම් සොයා බලන ඈ, මා දු‍ටු හොඳම අම්මා තනතුරේ තබමි.... විටෙක මගේම දරුවන්ට වුව දක්වන්නාවු ඒ සෙනෙහස මට ඉමහත් ඊර්ෂ්‍යාවක් ගෙන ඒ... මුඩුම මුහුනක් මවාගෙන නොසන්සුන්ව ඉන්නා මා දකින ඈ "මොකද මේ ඉතින්...?" යැයි විමසන්නේ, දරුවන්ගේ දඟකාරකම් කම් දැක, හිතයටින් සිනා නගන්නා මවක මෙනි... මටම හසුරුවා ගත නොහැකි, ඇසිල්ලකින් නොසන්සුන් වන මගේ සිත, කාලයාගේ ඇවැමෙන්ද, ඇගේ මුදු ගුණයට පින්සිදු වන්නටද, විසාල හානියක් නොකොටම, යටපත් වී ඇත්තාසේය... ඒ සියල්ලන් ම තිබියදී, මද්‍රි දේවියගේ වත සිහිපත් කරමින්, කව් ගොතා එවද්දී, කෙසේ නම් කඳුලු නොහෙලා සිටිම්ද... ? ඉවසන්නට බැරිම තැන, බැරි බැරි ගාතයේ, යන්තමින් වචන ගලපා, වරෙක ඇයට ලියා යැවූ පාපොච්චාරනයක කොටසක් මෙසේය...

මුදු මොලොක් නොවූ මගෙ, රළු වදන්, අකටකම්,
තලාවී, පෙලාවී, ඔබ..., උපනූපන් ජාතියෙම...
එපා ඔබ පතන්නට...මා සමග ගෙවන්නට...
සංසාර භව සයුර, මතක් කරමින් නිබඳ,
මද්‍රි දේවියගෙ වග...

අහිංසක, මටසිලිටි, හදවතක රාවයක්...
හඳුනනා හදවතක, සෙනෙහෙබර මුදු සිතක...
රැකවරණ ඔබෙ සිතට, ලැබේවා නිරතුරුව...
උපනූපන් ජාතියෙම...

ඔබෙ කුසට තුරුල්වී, නිදාගන්නා ගුලිව...
දෝරෙ යන ඔබේ ඒ සෙනෙහසේ සෙවණ යට..
බිලිඳෙක්ව වසන්නට පතන්නම් මා නිබඳ...
උපනූපන් ජාතියෙම...
ඒ නිසා හිතවතිය...

මේ නිමක් නොවන ආලවට්ටම් කියවන්නාවු ඔබටත් මගේ ආචාරය.... ඇය වෙනුවෙන්ම අද ටී එම් ජයරත්නයන්....

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්....
තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා සොඳුරියේ... නුඹයි ඒ අම්මා..

අහස මෙන් ලත් චෝදනා... පොළව මෙන් දුක් උහුලනා...
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා...
සොඳුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා...

සිතට සැනසුම් කල්පනා... ගෙනෙන පාදා වාසනා...
තනා ටජ්මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ...
සොඳුරියේ නුඹෙ රුව අඹාගමි මහද මන්දීරේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න...
Read More!

කොබෝ ලීල මලක මිදුණු පිනි කඳුලැලි සේ..

මා කුඩා කල ඇසූ ලස්සනම ලස්සන ගීයක්... මම කොහොමත් ඇස් ගැන කියන සින්දු වලට කැමතියි... මා වශී කල ඒ දෑස් කාලයාගේ ඇවෑමෙන් ඒ වාගේම ලස්සන දෑස් හතරක් මට දායාද කලා... මගේ අතින් සිත් රිදවුනු කල, ඇගේ ප්‍රධානම භාව ප්‍රකාශන මාධ්‍යය වන කඳුලු වලට ගලායන්න ඇරලා ඉවතබලා ඉන්නවා... පියවි ලෝකයට එන මා දකින්නේ රතුවූ දෙනෙත් හා පිටි අල්ලෙන් පිසලන කඳුලු... සියලු අකාරයේ සමාව ඇයදීම්, ශපත කිරීම්, බැගෑපත් වීම් පලක් නොවුනු විට මා පාවිච්චි කරන අවසාන අවිය නම් ගීයයි... දෙවුරට දැත් තබා ගොරහැඩි මහහඬින් ගයන ගීය බොහෝ වෙලාවට "එපා, මට ඕන්නෑ" යි කීවද ඈව හිනස්සවනවා... මේ එවන් අවස්ථාවලදී යොදාගත් එක් ගීයක්...

කොබෝ ලීල මලක මිදුණු පිනි කඳුලැලි සේ...
මොකෝ කඳුලු පුරවාගෙන ලස්සන දෑසේ...

නුබට බබෝ කවුරු තැලූ...
ගම්මැදිබඩ ලමයි තැලූ...
ඇයි ලමුනේ බබුට තැලූ...
අපිට තැලූ අපිත් තැලූ...

එකටෙක කරනට හොඳනෑ ළමාවරුන්නේ...
වෛරෙන් වෛරය කිසිදින නෑ සන්සිඳුනේ...
එහෙනම් ඇයි සුදු අපහට කලුයි කියන්නේ...
ඒකයි අපි එලව එලව බබුට තලන්නේ....

ළමුනේ ඔබ මෙකෙන් තැලූ...
දලමැක්කෙන් පිටට තැලූ...
මින්මතු නොකියාවි කලූ...
පුංචි බබා වෙයි යාලූ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න....
Read More!

වලා ගැබින් තරු අතරින් එබී බලා...

ඉස්සර බට නලා වාදනය කරනවා තියා, පුරුදු වෙන්නවත් දෙන්නේ නෑ හැන්දෑවේ හයෙන් පස්සේ... ඇහුවහම කියන්නේ ගෙට නයි එනවා කියලයි... නයි කෙසේ වෙතත් මේ ගීයේ අමුතුම ගුප්ත විදිහකට බටනලාව වාදනය වෙනවා.. හිතෙන හැටියට සාම්ප්‍රදායික බලි ඇරීමකට සමාන වාදනයක් කියලා හිතෙනවා... යක් බෙර වාදනය නම් කියලා වැඩක් නෑ... මේකේ මහ අපූරු විදිහට එකම පදය දෙවිදියකට ගායනා කරනවා... ඔව්... මගේ දෑසට හොරෙන් අවුත් , පුබුදු කල නීල නුවන් ආලෝකය වාගේම... අමරදේවයන්ගේ අපූරුම නිර්මාණයක්....

වලා ගැබින් තරු අතරින් එබී බලා...
රුවන් මැදුරු මා හදවත විවර කලා...
බාල චන්ද්‍ර සඳමඬලින් පහන් වෙලා...
නීල නුවන් ආලෝකය පුබුදු කලා...


සත් මුහුදින් එතෙර පිහිටි කිරිගල්පොත්තේ...
සත් රුවනින් ඔපලා සැදි සඳුන් විමානේ...
කිත් යසසින් වැජඹෙන ඔබ මෙහි ආ දවසේ...
සත් පියුමන් පිපුණා මෙනි මේ රන් වැරළේ...


හිරු අවරට ගියවිට මල් හටගන්නේ...
මලේ සුවඳ ගව් ගනනක් පැතිරෙන්නේ...
ඒ මල් නැති ලොවෙහි අඳුර පැතිරෙන්නේ...
ඒ සුවඳිනි හිරුත් සඳුත් උපදින්නේ...


පෙති ගෝමර රන් ගෝමර වඩා පිපුනු මල...
කිරි කර නැගි තරු නහදති ඉබේ පිපුණු මල...
මගේ දෑසට හොරෙන් අවුත් දෑස් හැරෙවු මල...
ලොව අලු වන දා පමණක් පරවී යන මල....



Read More!

මා දුර ඈතක යතැයි සිතා...

ඇටෙන් පොත්තෙන් එලියට එන්න ඉස්සෙල්ලම "බඹා කෙටූ හැටි " කියෙව්වා... හරිනම් මුලින් කියවන්න ඕනේ "ගොලු හදවත"... දෙවෙනි කොටස ඉස්සෙල්ලා කියවන්න වුනා... හම්බවෙච්චි පිලිවෙල නොවෑ... ඔහොම ඉන්න කොට ඕ ලෙවල් වෙනකොට කරුනාසේන ජයලත්ගේම අපූරු පොතක් හම්බ වුනා... "ලස්සන ඇස්"... (ඔහුගේ සියලුම කතා අකුරු හයක නම් වලින් යුක්ත වූයේ අහම්බෙන්ද...? "යහලු යෙහෙලි", "ගැහැනු ලමයි" හා ඉහත කී ඒවා...) ලමා වයසේත් තරුණ වයසේත් අතරමැද්දේ ඉන්න කථා නායක වික්ටර් ට ඔහුව තුරුණු වියට කල එලි බස්වන ලස්සන ඇස් යුවලක් මුණ ගැහෙනවා... කව්ද හිතුවෙ ඒ වෙනකොට ගැහැණු අරහං වෙච්චි මටත් ඔයදේම වෙයි කියලා....? සංගදිය කොච්චර දුර දිග ගියාද කියනවනම් සමරු පොතේ "ඉන්ද්‍ර නීල මිණි සේම දෙනෙත් යුග, නොකරමි දිනෙක රතූ..." කියල ලියල perfume එහෙමත් හලල iron කරලත් තමයි ආපහු දුන්නේ... ඒ මනුස්සයට ඉන්න හිටින්න නෑ... මොකද සමරු පොත එලියට ගන්න නෑ, පුසුඹේ බැරුවා...
මොන පොරොන්දු දීල එක්කන් ආවත්, උපන් ගෙයි මල පැනිල්ල පාලනය කරගන්න බැරි වෙච්චි වෙලාවට, ඉතින් රතු වුනා නෙවෙන්නම්, දෙනෙත් යුග... කාලයත් එක්ක ජීවිතේ බර දැනෙන කොට, තාවකාලිකව හෝ වෙන්වෙන්න වුනහම නම් හැබැයි ඇස් රතු වෙන්න ගත්තේ අප දෙදෙනාගෙම... ගුවන් තො‍ටුපලට මා කඳවා යන රිය තුලින් හිස හරවා බැලූ විට, සුරතින් මුව වසා වැලපෙන ඇයගේ බොඳවුනු නෙත්, නැවත හමුවන තුරුම මා සිහියේ ‍රැ‍ඳෙනවා....

මා දුර ඈතක යතැයි සිතා...
ඔබ මෙහි තනිවී ඇතැයි සිතා...
සොවින් තැවී ලතැවී හිඳිමින්...
නිල්මිණි නෙත් යුග බොඳ නොකරනු මැන....

ඔබගෙන් වෙන්වී සමුගෙන යන්නට මට දිරියක් නැත්තේ...
එනමුදු සොඳුරිය අප දිවි ‍රැකුමට මා එහි යායුත්තේ...
ඔබේ මියුරු බස් කල කී දේවල් හද තෙරපී ඇත්තේ...
ඉඩක් ලැබුනු විට ලියා එවන්නම් විස්තර ඒ පැත්තේ...

අදින් පසුව මා අඳුරු අගාධෙක නිරතුරු තනිවෙනවා...
ඔබේ සුවඳ මා හදවත් අරණේ පමණක් පවතිනවා...
ඔබ තනිකර දා වෙන්වී යන මුත් හදවත වැලපෙනවා...
කිසියම් දවසක මා මිනිසෙකු වී යලි ඔබ වෙත එනවා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න....
Read More!

ආලකමන්දා නාරිලතා සේ...

සනත් නන්දසිරි ගේ කොපමන නම් මනෝරම්‍ය ගී තියනවාද... මම එක සැරයකුත් කිව්වා වාගේ නාලිකාවල අහන්න ලැබෙන්නේම "මම නම් ආසයි අහන්න නයනා..." වගේ මෑත කාලයේ බිහිවුනු එතරම්ම මධුර නොවූ ගී... පැරණි ඒවා නොදන්නා කමද එහෙම නැත්නම් සොයා බලන්න ඇති නුවූමනාවද කියලා මට කියන්න අමාරුයි.... ඔහුගේ තවත් මම කැමතිම ගීයක් මට තවම සොයා ගන්න බැරිවුනා...
"රතු මල් ඔසරිය පාවී පාවී බස් නැවතුම ලඟ ලැගුම් ගනී...
යුවතිය ඔබ වට රතු මල් අතරින් ඔබ රූ සම අන් රුවක් මැවේ...
සැක හැර බලමි කෙසේ ...සැක හැර බලමි කෙසේ..."
තමයි ඒක... දන්නා කෙනෙක් ඇත්නම් තියන තැනක් ... කිව්වොත් පිං බොහොම.... මේ ගීයේත් පියානාව හා බොංගෝ වාදනයක් අපූරුවට මුහු කරලා තියනවා...

ආ... ආලකමන්දා... නාරිලතා සේ ...
සිතුවම් කල මැන පෙම් රේඛාවෙන්
ආදර අසිරිය මාහද කැටපත් පවුරේ...

රෑ... රෑ මනමාලිය...
මල් පිපි රෑකදි...
කනාමැදිරි එලි දල්වන රෑකදි...
පවන් සලනු මැන ඉහ ඉද්දර ඉඳ...
ඔබේ ආදරේ විජිනි පතින්..

සඳ වතුරේ රන් නෞකාවේ නැග...
පාවී අවුදින් නැවතී මාලඟ...
සිදංගනා සේ සිනා සලා...
පවන් සලනු මැන ඉහ ඉද්දර ඉඳ
ඔබේ ආදරේ විජිනි පතින්..

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න....
Read More!
 
Blogger Wordpress Gadgets