මිහිරෙන් මා දිනු බාල ලඳුන්...

මට එකල වයස කීයදැයි හරියට නිනව්වක් නැත. අලුත් සිත්තරපටියක් සිනමා හලට ආවිට අප සියල්ල එකතු කරගෙන එය බලන්ට යාම අප්පච්චිගේ සිරිතය. සිත්තරය කුමක්දැයිද මතක නැත. රබර් වත්තක් මැදින් බයිසිකලයක් පදිමින් නලුවෙකු එයි. පසුබිමින් ගීයක් වාදනය වේ. ඒ ගීතයේ මුල් පද කිහිපය මෙලෙස හදේ කිඳාබැස්සේ කුමන හේතුවක් නිසාදැයි අදවත් මට නොතේරේ.
----------------------------------------------------------------------------------
පැරණි විශ්ව විද්‍යාල මිතුරන් සමග මෙලෙස එකට සතු‍ටු සාමීචියේ යෙදෙන්නට මට අවස්ථාවක් ලැබුණේ බොහෝ කලකට පසුය. එකල මෙන් නොව අද මධුවිත හිස්වන්නේ කථා බහේ උණුසුම අනුවය. අප බොහෝ දෑ කථා කලෙමු. අවසානයේ මගේ බ්ලොග් සටහන් වෙතටද කථා බහ සම්ප්‍රාප්තවිය.

අනූ ගනන් වල මුල්ම හරියේ විශ්ව විද්‍යාලයට ගිය අප, එහි ගියේ භයානක භීම සමයක් එයින් පිටත ගෙවාලමිනි. පළමු ශිෂ්‍ය නියෝජිතයන් තේරීමේදීම නඩය දෙකට බෙදෙන ලදී... එහෙත් එදා පටන්ම එක දිගට අවුරුදු හතරක්, අඛන්ඩව අධ්‍යයන කටයුතු කළහැකි ආකාරයට අනේක ගැ‍ටුම් මධ්‍යයේ වුවද, බැ‍රැරුම් භූමිකාවක් කල, මා බෙහෙවින් ගරු කරන අපේ සගයෙක්ද සුහද හමුවට එදා පැමිණ තිබිණ. ආනන්දයෙන් සිප් සතර හැදැරූ ඔහු අද ලංකාවේ පරිගණක ක්ෂේත්‍රයේ ඉහලම තණතුරක් දැරුවද තවමත් ඔහු එදා ඒ මා දු‍ටු සරල සොඳුරු මිනිසාමය. ඔහු අප මෙන් දොඩමළු වන්නේ නොවේ. වචන මුවින් පිටකරන්නේ වචන වලට ලෝබ වෙමිනි. ඒ නිසා ඒවා අහක දැමීමට කිසිසේත්ම නුලුළුවන. අපි ඔහුට "සමන්" කියමු.
---------------------------------------------------------------------------------
"ඔය බ්ලොග් ලියන කොට උඹට අමතර වාසිත් ලැබෙනවා ඇති නේද....?" ඇසක් ඉඟි මැරූ සමන් කීය. උපහාසය වටහා ගත් මම පැලය පීදෙන්නට පෙර ඉක්මණින්ම එය එසේ නොවන බව සරලව කීවෙමි. "අනේ පලයං බං යන්න... ඔය කොයි එකත් අන්තිමට හුච්චක්කුවක් වෙන එක වලක්වන්න බෑ..." සමන්ගේ හඬ දැඩිය. "උඹ ඉතින් මගේ සටහන් කියවනවානම් මම ඒ ගැන හිතන හැටි උඹට තේරෙයි..." අනපේක්ෂිත ප්‍රහාරයෙන් අන්ද මන්ද වුනු මා කීවෙමි...  "උඹ ඔය ලියන එව්වා ඇත්තද බොරුද කියන එක පැත්තකින් තියමු, ඒත් ඒවා ඇත්තනම්, ඒක ඒ උඹ අවුරුද්දෙන් භාගයක් ගෙදරින් පිට ඉඳලා එන නිසා හිතේ ඇතිවෙන හැඟීමක් විතරයි, උඹත් දිගටම ගෙදර හිටියනම් ඔය හැඟීම් වල කිසි හරයක් නෑ, උඹටත් බෙන්ස් එකක් පදින්න හිතේවි....." සමන් යලිඳු දෙනෙත් අයාලේ යන්නට හැර අවකාශයට වචන කිහිපයක් මුදා හලේය. විදුලි බල මණ්ඩලයේ ලාභ හා පාඩු වෙත කථාව හැරිණි...
---------------------------------------------------------------------------------
රාත්‍රී දොලහෙන් පසු සුක්කානම මත දෙඅත් තබා අසීරුවක් නැතිව මාර්ගයේ එක එල්ලේ වාහනය එලවිය හැක. ගත් සුලු මධුවිතෙන් අවුල් නොවූ සිත සමන් ගේ කථාවට නැවතත් මාව අදියි.
"ඌ කියාපු දේ එහෙම්මමද..??" මගේ හිත මගෙන්ම අසයි...

"මිහිරෙන් මා දිනු බාල ලඳුන්... කෝමල ඔබ මා නෙතට අඳුන්...
අමල් බිසෝ මගේ අමල් බිසෝ.... ඔබගෙන් මා හදවත උණුසුම්..."

මධුවිතෙන් බලපෑමක් නැත්තේම නැත... ඒ හිතේ පතුල අතගායි..... ජනේල වීදුරුව ඇරගත් මම ඒ පදවැල මහහඬින් ගායනා කරන්නට පටන් ගතිමි... දෙපස මාර්ගයේ ඇති වීථි ලාම්පු පි‍ටුපසට යන වේගය ඉක්මන් කල යුතුයැයි මට සිතිණ....
---------------------------------------------------------------------------------
"අද පොඩියක් රෑ වෙයි... කැම්පස් එකේ කට්ටිය මට සෙට් වෙන්නේ ගොඩක් කාළෙකින්... ඔයා කෑම කාල දොරයතුරු දාලා නිදාගන්න.... මම අනෙක් යතුර අරන් යන්නම්..."
"ඇයි මොකද, දොර නාරින් අමල් බිසෝද....?" ඈ සිනාසෙයි...

ගෙදර උදවියට නෑසෙන අයුරින් සීරුවෙන් ගෙට්‍ටුව අසල වහනය නැවත්වූ මා ගේට්‍ටුවේ කොක්ක පැන්නූ සැණින් ගෙදර ඉදිරිපස විදුලි බුබුල දැල්විණි....
"හ්ම්ම්ම්...ඉතින් කිව්වට අහන එකක්යෑ...." මගේ හිත මටම කියාගනී...

වාහනය ගරාජයට දැමූ මම අවදිව සිටින්නේ ඇයිදැයි ඈගෙන් ඇසීමි.... ඒත් ඒවාට උත්තර හැටියට හැමදාම ලැබෙන්නේ "කොහොමද අදවත් කෑම අල්ලලා ගියාද...?" වැනි ප්‍රස්නය...

"යමු යමු හොඳටෝම රෑවෙලා..." ජනේලය ලඟ මුහුණට මුහුණලා තැබූ පු‍ටු දෙක නැවත සකස් කරමින් ඒ මත තිබූ කොට්ටයත් පෙරවන රෙද්දත් එක් අතකින් ගත් ඈ අනෙක් අතින් මගේ සුරත අල්ලා ගත්තාය....

මිහිරෙන් මා දිනු බාල ලඳුන්...
කෝමල ඔබ මා නෙතට අඳුන්....
අමල් බිසෝ මගේ අමල් බිසෝ...
අමල් බිසෝ මගේ අමල් බිසෝ....
ඔබගෙන් මා හදවත උණුසුම්....

පැතුමන් පිරුණැයි දෙපය බිම හෙලා ඉන්න හැකී...
ආදරයෙන් අනාගතේ සරසන්න හැකී....
බුහුමන් ලැබුණැයි රජ වාසල වෙත යන්න හැකී....
උදම් හිතින් මතුදා හි‍රු දැක ගන්න හැකී....

හැඟුමන් ඔකඳයි රන් අසිපත ලෙළවන්න හැකී...
අවබෝදෙන් එහි මුවහත ජයගන්න හැකී....
පියුමන් පිපුණැයි මල් මාලා අමුණන්න හැකී...
නවෝදෙකින් ආයෙම මෙහි පැමිණෙන්න හැකී....

මිහිරෙන් මා දිනු බාල ලඳුන්...
කෝමල ඔබ මා නෙතට අඳුන්....
අමල් බිසෝ මගේ අමල් බිසෝ...
අමල් බිසෝ මගේ අමල් බිසෝ....
ඔබගෙන් මා හදවත උණුසුම්....

අමල් බිසෝ..... මගේ.... අමල් බිසෝ.....

ගීතය අහන්න... ඕනනම් බාගන්න...

පසු ලිපි: ගීයේ පබැඳුම ඔගස්ටස් විනයාගරත්නම් සූරීන්ගෙනි. කතන්දර සූරීන් කීවාක්මෙන්ම ඔහුගේ පබැඳුම් ඉතා අරුමය. මේ ගීයට පෙම් බැඳි මුත් මට මේ ගීය අසන්නට ලැබුණේ ඉතාමත්ම කලාතුරකිනි. ලුහුබැඳීම ඇරඹිණි. වික්ටර් රත්නායකයන් පැරණි නාවින්නේ ගෘහයේ දැන් වාසය නොකරයි. ඔත්තුවක් හරහා ඔහුගේ පුත් ජයන්ත රත්නායකයන්ට කථා කලෙමි. ඉතා කාර්‍ය බහුලව සිටියද මට ඉතාමත්ම හොඳින් කථාකල ඔහු ඔහුගේ නැගණියන්ට කථාකොට ඒ බව දන්වන මෙන් ඉල්ලා සිටියේය. මා ඇයට කථාකරන විට ඇ සිටියේ දරුවාට බෙහෙත් ගන්නට ගොසින්ය. දෙතුන් වතාවක් කථාකොට ඈ නිදහස් වෙලාවක සම්බන්ධ කරගත් පසු ඈ මට ඇවැසි සින්දු කිහිපය කොළයක ලියාගත්තාය. හදිසියේ ලංකාවට යන්ට සිදුවූ පසුගිය දිනක නැවතත් ඇ සම්බන්ධකරගත්පසු මට පහසු ආකරයකට මේ ගීය ලබාදීමට ඈ කටයුතු කලාය. චාන්දනී ගුණසේකර මැතිණියනි ඔබට බොහෝ පින්.
Read More!

මිදි උයනේ ඉමු චුට්ටක් වේලා... හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා...

කලා මාධ්‍යයනට, විශේෂයෙන් සිංහල ගීත සාහිත්‍යයට යහපත් විචාර කලාවක ඇති වටිනාකම ගැන යම් අදහස් හුවමාරුවක් පසුගිය ගීයත් සමග සිදුවුණි. සිංහල කණ්ඩායම් සංගීතයද ගුවන් විදුලි සංස්ථාවේ අනුග්‍රහයක් නැතිවම ආරම්භ වුණද, පසුව එයින් ලද යම් අනුග්‍රහයක් නිසා උපරිමයකට නතුවී "සඳක් නැගී සඳක් ගිලෙයි සාගරේ" මෙන් දැන් නැත්තටම නැතිවී ඇත්තාසේය. හුදෙක් පුද්ගලයන් සමූහයක් එක්ව කරන ගායනයක්, වාදනයක් කණ්ඩායම් සංගීතයක් ලෙස ගැනිය නොහැක්කේය. කණ්ඩායම, පුද්ගලයන් ඉස්මතු නොවී, කණ්ඩායම ලෙස ඉස්මතුවී පෙනෙනා නිර්මාණ තුලින් බිහි කරන සංගීතයෙන්ම එහි අනන්‍යතාව රඳවාගනී. සංගීත කණ්ඩායම් බිඳී යන්නට මූලික හේතුවක් ලෙස, පුද්ගලයින් කණ්ඩායමෙන් ඉස්මතුව ගොඩනගා ගන්නා ප්‍රතිරූපය ගැන කරගන්නා අධි තක්සේරුවකුත් හේතු වේයැයි මට සිතේ. සංගීත කණ්ඩායමක් ගොඩ නගා ගැනීම, පවත්වා ගෙනයාම, දිගින් දිගටම නිර්මාණකරණයේ යෙදීම අධික පිරිවැයක් සහිත කාරියකි.

සිංහල කණ්ඩායම් සංගීතය, ලොස් කැබෙලෙරොස්ලා ගෙන් පටන්ගෙන, ලා සිලොනියන්ස්, ධර්මරත්න බ්‍රදර්ස්, වින්ස්ලෝ සික්ස්, සමනළයෝ, මූන්ස්ටෝන්ස්, ත්‍රී සිස්ටර්ස්, ගෝල්ඩන් චයිම්ස් හරහා පසුව ජිප්සීස්, ශක්ති, සිහ ශක්ති හරහා මේරියන්ස් ලාගෙන් ඉවර වුණි යැයි සිතිය හැක.

සන්ෆලවර්, ෆෝචූන්ස්, ෆ්ලැෂ්බැක්, අපසරාස්, මාරිම්බා, [ගෙම්බා කියා එකකුත් ඇතිද?] "සංගීත කණ්ඩායම්" මිසක "සිංහල කණ්ඩායම් සංගීතයේ" කොටස් කරුවන් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ

සිංහල කණ්ඩායම් සංගීතයේ අවගමනයට බලැපෑ, ආර්ථික කරුණු, ප්‍රාසාංගික කලාවන් ඇහිරීම, "සාහිත්‍යය කන්ඩද?" වැනි සංකල්ප, පසෙක තියෙද්දී අප නැවතත් ලංකාවේ සංගීත වියතුන් "සිංහල කණ්ඩායම් සංගීතය" ගැන තුබූ දැක්ම හා ඒ පිලිබඳ ඔවුනගේ විචාරාක්ෂිය, අතීතයේ යොමු වූ ආකාරය සොයා බැලීම අද දවසේ අංකුර සංගීත නිර්මාපකයින් හඳුනා ගැනීම, ඔවුනට අතදීම, අගය කිරීම, සම්බන්ධයෙන් කෙතරම් වටීදැයි සොයා බැලීමට අවස්ථාවක් වන්නේය.

පහත උධෘතයන් මහැදුරු සුනිල් ආරියරත්නයන් ගේ "ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය" පොතිනි

[පි‍ටුව 114] "ගුවන් විදුලි සංගීතය උසස් තලයකට නැංවීමට ප්‍රමිති ගත කිරීමට අනූපමය මෙහෙයක් කළ එහි සංගීත පාලක පී ඩන්ස්ටන් ද සිල්වා කණ්ඩායම් සංගීතය පි‍ටු දු‍ටු ප්‍රධාන උද්ඝෝෂකයෙක් විය. සිංහල සංගීතයට බටහිර සංගීතය මුසු වීම නො සිදුවිය යුත්තකැයි ඔහු විශ්වාස කළේය. ඩන්ස්ටන් ද සිල්වා, ජෙරාල්ඩ් වික්‍රමසූරියට [සූරිය ලේබල් තැටි නිශ්පාදක] කියා සිටියේ ඔහුගේ ලේබලයෙන් එන කන්ඩායම් සංගීතය විෂ බවත් ඒවා කසල ගොඩට විසිකල යුතු බවත්ය. [පි‍ටුව 115 ] ඩන්ස්ටන් ද සිල්වා අතුලු සම්භාව්‍ය සංගීත කරුවන් කණ්ඩායම් සංගීතය හැඳින්වූයේ "තුප්පහි සංගීතය" යන නමිනි."
[පි‍ටුව 115] "බටහිර සංගීතය ප්‍රියකලද කණ්ඩායම් සංගීතය ප්‍රිය නොකල කේමදාස 'සරසවිය' පත්‍රයට ලිපියක් ලියමින් මෙසේ කියා සිටියේය. 'මාගේ ලොකුම විරුද්දත්වය මේ වාගේ විකාර දේවල් කණ්ඩායම් සංගීතය ලෙස හැඳින්වීම ගැනයි. මේවාට සංගීතය කියන වචනය යෙදීමත් නින්දාවක් මොවුන්ගේ ගීත වල සාහිත්‍යයක්වත් සංගීතයක්වත් නැහැ. ඇත්තේ එකම හඬක් ඔස්සේ කරන ඝෝෂාවක් පම්ණයි. .... මේ නවීන විකාර දේවල් බටහිර සංගීතය ලෙස හැඳින්වීම බී‍තෝවන්, ශූබ'ට් වැනි බටහිර සංගීතඥයණයනට කරන නින්දාවක්"
[පි‍ටුව 115] "ප්‍රවීණ සංගීතඥයකු වන සෝමදාස ඇල්විටිගල 'සරසවිය' පුවත් පතට - අලුත් සංගීත කණ්ඩායම් නිසා සිංහල සංගීතයට වෙලා තියෙන්නේ විශාල හානියක්. මෙය අපේ දේශයේ සංගීතය ට බෝවුණු වසංගතයක් වාගේ... මේ සංගීත කල්ලි වල සමහර ගීත අහගෙන ඉන්න බැරි තරම් කංකරච්චලයක්. හැම තිස්සේම වාදනය කරන්නේ කිසිම විවිධත්වයක් නැති එකම රිද්මයක්."
[පි‍ටුව 116] "...අමරදේවයෝ මෙසේ කීහ - නා නා විද මිනිස් කොටස් වලින් සැදුම් ලත් අපේ සමාජයේ කණ්ඩායම් සංගීතය වැනි දෙයක් බිහි වූයේ ඊට ප්‍රිය කරන එක්තරා කොටසක් සිටි නිසයි. ඔවුනටත් සංගීතයක් තිබිය යුතුයි. හැමදෙනාගේම රස වින්දනය එක මට්ටමක නැහැ. අපේ සංගීතයේ භාහිර ලක්ෂණ ඒ ඒ කාලයට අනුව වෙනස් වේවි. එහි මූලික හරය හැමදාම නොනැසී පවතීවී..."
[පි‍ටුව 116] "ෂෙල්ටන් ප්‍රේමරත්න - සංගීත කණ්ඩායම් නිසා අපේ දේශීය සංගීතයට හානියක් වන්නේ නැහැ. සමාජයට අවශ්‍ය දෙයක් තියනවා නම් එය සමාජයේ ජීවත් වෙනවා. සමාජයට අනවශ්‍ය නම් නිරායාසයෙන්ම නැතිවෙලා යනවා. සමාජ විපර්‍යාස සීදුවන මෙවනි කාලයක මේ අලුත් සංගීත කල්ලි ජනප්‍රිය වෙන්න හේතුව එවැනි සංගීතයක් සමාජයට අවශ්‍ය නිසයි. ඒවායේ වචන වලට වඩා බලපාන්නේ රිද්මය. මිනිසුන්ට ඒකාකාරී බවෙන් මිදෙන්ට අවශ්‍යයි. එක් එක් අවස්ථාත් සඳහාත් එක් එක් විදිහේ සංගීත ශෛලීන් අවශ්‍යයි. එකම දේකින් සියල්ල පිරිමහා ගන්න බැහැ. මේ බටහිර ශෛලියේ ගීත අපේ රටේ ජනප්‍රිය වීමට එක් හේතුවක් මේ මිශ්‍ර ජාති රිද්මයයි... මේ අලුත් සංගීත ක්‍රමය නරකයි කියල බැහැර කළයුතුයි මට හිතෙන්නේ නෑ. මන්ද ඒ ගීතවල එක්තරා ක්‍රමවත් රටාවක් ශාස්ත්‍රීමය හරයක් තිබෙන නිසා.."
 [උධෘතයන් නිමයි]

ඊලඟට මේ පොතේ ඇත්තේ තිස්ස අබේසේකරයන් ඉන්දියානු සංගීතය ඔසවා තබාගෙන බටහිර සංගීතය යොදා කරන නැවුම් නිර්මාණ [වන දෙව්ලිය තුරුලේ, දිල්හානී දුවනී] හෙලා දකීමට තැත් කරනා සංගීතඥයනට බලවත් අතුල් පහරක් තම විචාරයන් මගින් එල්ල කල හැටි.

ඒ ඒ විචාර පිලිබඳ සෙවිල්ල නවකයිනට අතදීම සම්බන්ධයෙන් කෙසේ වුවද, සම්භාවිතාව නැමැති ගණිතමය සංකල්පය හරියන්නේ සමාන අවස්ථාවල පමණක්ම සේම, බලහත් කාරයෙන් සංස්කෘතිකාංග ඔබ්බවීමට තැත්කරනා පරිසරයක මේ විචාර විවේචන වලංගු වේද යන්නත් බුද්ධිමත්ව සිතා බැලිය යුතු කාරණවකි. ඒ මන්ද යත් "ජෝන් ඩොයිලීලා" අප අතරින්ම පැටව් ගසනා යුගයකුත් අද එලිපත්තටම පැමිණ ඇති බැවිනි.

ලස්සන ලෝකෙට පා ඔසවාලා..
හණමිටි හැරමිටි පැත්තක දාලා...
මිදි උයනේ ඉමු චුට්ටක් වේලා...
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා...

බොලඳ සිතුම් ඉවතට යයි...
වෙළඳ පැතුම් අහකට වෙයි...
හදවතේ පහන් සිලුවේ...
ඔබ නැලවෙයි ඔබ නැලවෙයි සදාංගනී...
හදවතේ පහන් සිලුවේ...
ඔබ නැලවෙයි ඔබ නැලවෙයි සදාංගනී ...

සිලිටි දෙතොල් හිතට නැගේ...
දිගටි දෙනෙත් පියාසලයි..
හදවතේ යහන් මලුවේ..
ඔබ නැලවෙයි ඔබ සැතපෙයි සදාංගනී...
හදවතේ යහන් මලුවේ...
ඔබ නැලවෙයි ඔබ සැතපෙයි සදාංගනී...

ලස්සන ලෝකෙට පා ඔසවාලා..
හණ මිටි හැරමිටි පැත්තක දාලා...
මිදි උයනේ ඉමු චුට්ටක් වේලා...
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...

1967 තිරගත වූ අර්වින් ජයමාන්න අධ්‍යක්ෂණය කල "රහස් දූපත" චිත්‍රපටියේ එන මේ ගීයේ තනු හා සංගීතය නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ "ලොස් කැබෙලෙරොස්" කණ්ඩායමයි. ගී රචනාව ඔගස්ටස් විනයාගරත්නම් ගෙනි.
Read More!

සැලෙන ලෙලෙන උකුලු තලේ..

රසායන විද්‍යා මහැදුරු ජේ කේ පී ආරියරත්න මහත්තයා අනූවේ අගභාගයේ පමණ සේවාස්ථානයට පැමිණියේ දේශනාවක් සඳහාය. ආරාධනය ආයතන බෞද්ධ සංගමයෙනි. ඔහුගේ මාතෘකාව ධම්මචක්කප්පවත්වන සූත්‍ර දේශනාව හා නූතන විද්‍යාත්මක ක්‍රමය අතර ඇති "සමානාත්මතාවන්" ය.  දේශනාව අතරතුර විශ්වීය සත්‍යයක් පිලිබඳ සඳහන් කල ඔහු ප්‍රස්න අසීමේ අවස්ථාවේදී විශ්වීය සත්‍යය යනු කුමක්දැයි ඇසූකල එක එල්ලේ උත්තරයක් නොදුනි. ඉන්පසු තවෙකෙකු "උපතින්ම සංවේදන ඉන්ද්‍රියයන් පහම අකර්මණ්‍ය කෙනෙකු අතින් සංස්කාර බිහිවේද..?"යි ඇසූ කල වටේ රවුම් ගසන්නට පටන් ගති.

අපට යමක් හරියට තේරුම් ගියාදයැයි යන්න විසඳාගත හැකි එක් මගක් නම් එය තමන්ගේ මිත්තනියට අවබෝධ කරදෙන්නට උත්සාහ කිරීම යැයි කව්දෝ විද්වතෙකු කියා තිබිණ.

බොහෝ කලා මාධ්‍යයන්ගේ උන්නතිය සඳහා යහපත් විචාර කලාවක් අත්‍යාවශ්‍යම වන්නේ එබැවිණි. යම් යම් මතිමතාන්තර, සංකල්ප, පංචේන්ද්‍රියන් හරහා ඔප්පුකරලීමට තැත්කිරීම හා ඒවාට අභියෝග කිරීම, ".... සාක්ෂාත් වෙත්වා.." යැයි නිතර අසනා, අප ඉන්නා වටපිටාවෙහි, නොසැලකිලිමත් මනසකට හෝ අවියත් මනසකට හැර අනෙකෙකුට නොකල හැක්කකයි සිතේ. ආදරය යනු රසායනික ක්‍රියාවලියක ප්‍රථිඵලයක් නම් එහි ප්‍රභේද ඇත්තේ කෙසේද යන්න කදිම පැණයකි.  "වදාරන්න පෙර හදාරන්න ඕනේ" යැයි වික්ටර් රත්නායක මහතා වරෙක කියා තිබිණ. ඩෝල්ටන් අල්විස් මහතා විසින් රචිත මේ ගීය "නුපුබුදු තැඹිලි මල් ඇගෙ දඟ යුගට මනකල් " කව පන්නයේ ගීයකි. සඟවා කියනා සෘංගාරය බෝහෝ කල් රසවිඳිය හැකි යැයි මට සිතේ. ඝණකාභයක් අතපත් කුඩා දරුවෙකු එය හරව හරවා විවිධ මානයන් දක්නා සේ ඒ රස විඳිය හැක.. කිසියම්ම රසයකින් තොරව එයින් බල්ලකුට දමා ගසන්නට සැරසෙන කල බාලාංස ගුරුවරිය හේ ලඟට ගෙන එයින් කල හැකි, ඒ දැකිය හැකි අපූරු මානයන් කියාදෙන්නාසේ යහපත් විචාරයෙන් ඔප්ණැංවෙන රසවින්දනය නැවුම් රසවත් නිර්මාණයටම මග පාදයි. ඒ වගත් මෙසේම....

සැලෙන ලෙලෙන උකුලු තලේ..
ලිඳට යනෙන වතුරු කළේ...
කල මහ පින පෙනෙන වෙලේ...

ඇහැල ගහෙන් පායන හඳ
ලඳුනි මටයි විහිලු කලේ....
ලඳුනි මටයි විහිලු කලේ....නාඹර මැණිකේ....
නාඹර මැණිකේ මැණිකේ නාමල් මැණිකේ...

උකුලේ නැඟැ නැලැවි නැලැවි
ලිඳට යනෙන වතුරු කළේ...
හොවා ‍රැගෙන මම එන්නම්....නොයන්න මැණිකේ...
නාදළු මැණිකේ නාමල් මැණිකේ...

ගීතය අහන්න... ඕන්නම් බාගන්න...


ඔව්වා ඔක්කොම කලාට පසු මෙතෙන්ට ගිහිල්ලා මේ සින්දුවත් අහන්න...
එතැනට පාර පෙන්නුවේ මේවා ගැන විමසුමෙන් ඉන්නා වැම්පයර්...
ඒ සින්දුව කියන්නේ මේ දරුවෝ දෙන්නා...
අපි වෘතයක යනවද, නැත්නම් වෘතයක යනවා කියලා හිතාන සර්පිලාකාරව පහලට යනවාද කියා ඔබම තීරණය කරන්න...
Read More!
 
Blogger Wordpress Gadgets