Showing posts with label වික්ටර් රත්නායක. Show all posts
Showing posts with label වික්ටර් රත්නායක. Show all posts

මිණිමුතු නැහැ මට ඔබ සරසන්නට...

සිරිමා(වෝ) බණ්ඩාරණායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් පසු පුවත් පත් කාටූන් ශිල්පීයෙකු මෙබඳු කාටූනයක් ඇඳ තිබුණා මතකය. ඒ සිසිර කුමාර මානිකාරච්චි ලියූ "සත් වසක සාපය" පොතේදැයි හරියටම මතකයක් නැත. එහෙත් ඒ වැකිය නම් මෙසේය; "ලඳුනි මට සමාවන්න - මා ඔබට ද්‍රෝහි වූවා නොවේ..." මෙහි ඇති උත්ප්‍රාසයනම් මේ වැකියේ නිමැවුම් කරුවා හෙවත් අද සටහනේ කථා නායකයාට සිරිමා බණ්ඩාරණායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට විරුද්ධව පෙත්සමක් අත්සන් කිරීම නිසා කුප්‍රසිද්ධ අසූව දශකයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩ තහනමකට ලක්වීමට සිදුවීමය. ගැඹුරු හඬකින් කියූ ඒ පාඨය මතකයේ කිඳා බැස ඇත්තේ  ඒ වැකියේ රිද්මය නිසාද හඬ නිසාද යන්න නොදනිමි; හින්දි චිත්‍රපටියක ප්‍රචාරක පටයේ අඩංගු වූ ඒ සම්පූර්ණ වැකිය නම් "ලඳුනි මට සමාවන්න - මා ඔබට ද්‍රෝහි වූවා නොවේ පියෙක් නැති දියණියකට පියෙකු වූවා පමණි" යන්නය. ඒ ගැඹුරු ස්වරයේ හිමිකරුනම් බණ්ඩාර කේ විජයතුංගයන්ය.

කේ ඩී කේ ධර්මවර්ධන, බණ්ඩාර කේ විජයතුංග හා ප්‍රේමකීර්ති යන ත්‍රිත්වයම අකාලයේ අප හැර යාම, සූර්‍යශංකර් මොල්ලිගොඩයන්ගේ වියෝවෙන් කම්පාවූ සුනිල් ශාන්තයන්ගේ "සුමිහිරි සුවඳැති මල් ඇයි මෙතරම් හනිකට පරවෙන්නේ" සිහි නොකරත්ද?  ප්‍රසිද්ධව ඇති, නිවේදක හා ගී රචනා කුසලතාවයන්ට අමතරව, බණ්ඩාර කේ විජයතුංගයන් චිත්‍ර ශිල්පියකු ලෙසත්, ප්‍රචාරක නිලධාරියකු ලෙසත් , කවියෙකු ලෙසත් වෙසෙස් කුසලතා දක්වා ඇති බව කල්‍යාණී විජයතුංග මැතිනිය විසින් එළිදක්වා ඇති "සුලඟ වගේ ඇවිදින්" ගීත එකතුවේ එයි. බණ්ඩාරයන් ගැන නූතන සහෘද පරම්පරාවනට දැනගැනීමට මංපෙත් සලසමින් ඔහුගේ ගීත එකතුවක්, ඔහුගේ වතගොතද සමගින්ම එසේ ප්‍රකාශයට පත් කර තිබීම ගැන කල්‍යාණී විජයතුංග මැතිනියට බෙහෙවින් කෘතඥ වෙමි. මහැදුරු සුනිල් ආරියරත්නයන් විසින් බණ්ඩාරයන් එහි හඳුන්වා දී ඇත්තේ "ප්‍රේමාවනාද්ධ ගීත රචකයා" නමිනි.

බණ්ඩාරයන් විසින් රචිත ගීත ගොන්නෙන් සෑහෙන ප්‍රමාණයක් රසවිඳ ඇති මට, ඔහුව හැඳින්වීමට මගේම වචනයක් සොයද්දී මගේ ශබ්දකෝෂයේ දිලිඳු ස්වභාවය මැනවින් පසක්විය.
"මහ වන පියසෙක අඳුරු ගුහාවෙක - යම් දිනයක ඔබ සඟවා තබනෙම
ඉරු ‍රැස් බිඳකුදු ඔබෙ රුව දු‍ටු සඳ - ඉරිසියාවෙන් පිරවෙයි මා හද" 
සිතක හටගන්නා ඉරිසියාවක් මීට වඩා කාව්‍යම ලෙස ඉදිරිපත් කල හැකිද? ඔහු ගී ලියා ඇත්තේ කාල තරණයෙහි යෙදෙමින් අපේ සිත්වලට අවේශ වී යැයි සිතමි. නැත්නම් අපේ සිත්හි පතුල මෙසේ අතගාන්නට තරම් ඔහුට කෙසේ හැකිවිණිද?

"සඳ උතුරා ගංගාවේ - ඔබේ රුව දෝ මැවුණේ",
--------------------------------------------------------
"මානවිකාවෙනි හෙට හිරු කිරණට ටිකිරි සිනාවක් මුසු කරවනු මැන"
ඇගේ වතත් සොබා සිරියත් මෙසේ වෙන්කල නොහැකි ලෙස බැඳ දමන්නට මගෙන් අවසරයක් නොලබාම ඔහු එඩිතර වී ඇති සැටියක්!!

"කල්පිතයක් මැද තනිවූ පමණින් මුව ගොලු ලාගෙන හිඳිනු එපා" ඔහු ඉල්ලන්නේය. අපි ඔහුගෙන් ඒ වචන ණයට ඉල්ලගෙන පුනුරුච්චාරණය කරමු. ගෙදර හබ නිසා ගෙදරින් පිටවූ ප්‍රේම් මුව ගොලු  නොලා හිඳිමින් අනෙක් පාර්ශවයේ දුක් ගැනවිල්ල ගැන මෙසේ ලිවීය.
"මා එක්කලා අමණාපව වී දබර - දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර".
එහිදී බණ්ඩාරයන් මේ ලියන්නේ තමන්ගේම සිතිවිල්ලයි
"ඉන්දීවරියේ හඬනු එපා - පියෙකුගෙ සෙනෙහස ඔබට අහිමි නැත - මා නෙත් කඳුලින් පිරෙන තුරා
මෙළොවට ඔබ ආ පළමු දිනේදී - කිරුළු පැළැන්දෙමි දිවිකතරේ
ඒ අභිමානය සි‍ඳෙනු බි‍ඳෙනු නැත - නැවතත් හමුවන තුරු සසරේ
සිරුරින් ඔබ ලඟ නොසිටිය පමණින් - පියකු නොමැති යයි සිතනු එපා
සදා කාලයෙන් සදා කාලයට - ඔබේ උරුමයයි ඔබේ පියා". 
මේ  සටහන තබනාතුර කෝදුරුවෙක්වත්  ඇසෙහි ගැ‍ටුණාදෝ?
එසේ නැත්නම් සිහින් පටලයකින් දෑස වැසී ගියේ ඇයි?

මහැදුරුතුමන්ගේ "ප්‍රේමාවනද්ධ" වචනයෙහි තේරුම මුලින් දැන නොසිටියා කියා පාඩුවක් වී නැත - බණ්ඩාරයන් ඇසුරෙන්ම ඒ තේරුම් ගනිමි.
"සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි - මා තේරුම් ගනු ඔබට නොහැකි නම් -  ඔබ තේරුම් ගනු මටද නොහැකි නම්",
..........................................................................................................................
"කෙලෙසද දෑතට දෙපයට ලා ඇති - විලංගු ගලවා නිදහස් වන්නේ - හමුවෙමු සුවබර තවත් සැඳෑවක",
.........................................................................................................................
"ඔබ වෙනුවෙන් සැදු දහසක් මාළිග - මහ වන වදුලක සැඟව ගියාදෝ"

හිත රිදවා ඈතකට යන්න මාන බලන ඇයටය මේ...
"සත් සමුදුරු තරණය කොට දුරු රටකට වඩින්නියේ -  මගේ සිතයි මගේ හදයි  - ඔබත් සමග ‍රැගෙන යන්න
එරට නුහුරු පරිසරයක - විලාසිනියේ ඔබ තනිවේදෝ - එවිට සිතනු මැනවි ලියේ - ඔබේ තනියට හිතක් ඇතේ  - ඔබේ තනියට හදක් ඇතේ
එරට මහරු විසිතුරු මැද - මෙරට ඔබට අමතක වේදෝ - එසේ වුවොත් නොපැතු ලෙසේ - මට ඉන්පසු සිතක් නැතේ - මට ඉන්පසු හදක් නැතේ"

ඔහුගේ ගී රසිකයනට "කවදා කොතැනකදෝ -කෙලෙසකදෝ - අතීත ආත්මයක මා ඔබ දු‍ටුවේ..."  කියමින් තැවෙන්නට කාරණා නැත, ඒ "මාද ඔබම විය - ඔබම මාද විය" ලෙසින් ඔහු අපම වී ඇති හෙයිනි.

එක ලෙස වටිනා මිණි මුතු පිරි මංජුසාවකින් කැමතිම කිහිපයක් ‍තෝරාගැනීම හිත රිදෙන කාරණාවකි. දුෂ්කර ක්‍රියාවකින් පසු, මා කැමතිම බණ්ඩාරයණ්ගේ නිතර නෑසෙන ගී කිහිපයක් ඔහුට ගෞරවයෙන් මෙලෙස සිංහල වෙබ් අවකාශයේ සටහන් කර තබමි.

සිතට නිවනක් නැති හැටි...

තරු මල් පලගත් අහස බලා හිඳ - දෙනෙත් පියූ සඳ
මීදුම මැද්දෙන් - ඔබේ මුහුණුවර මැවී පෙනෙයි මට....

ජීවිතයක රන් සිහින නාය ගිය - කඳු‍රැල්ලක් මැද්දේ
ආදරයක එක සිහින සිතාරෙක - හඬ පමණක් ‍රැව්දේ
ඒ හඬ එක් වී දහස් වාරයක් - දෝංකාර වෙද්දී........

අතීතයේ එක් සිහින සැඳැවක - දෙවැට දිගේ එද්දී
දු‍ටුවෙමි ඔහුගේ සිහින මනාලිය - විලස ඉවත යද්දී
ඒ රුව එක්වී දහස් වාරයක් - හිතෙහි ජනිත වෙද්දී.........
සංගීතය හා ගායනය වික්ටර් රත්නායක

වෙන හදක් කුමටද...?


සඳ මුතු මල්දම් සිරස පැලඳගෙන
ඉඳු සැව් දෙබැමින් අනඟ හීය ගෙන
මම එමි ඔබ වෙත හෙට දිනයේ...

සත් සමුදුර වුව තරණය කර එමි
ගිනිගත් කතරට වුවුද නොබා එමි
ඔබ යන මග මා සෙවනැල්ලක් ලෙස
සසර පුරුදු ලෙස දෙපා නගන්නෙමි...

ජීවිතයට අන් පැතුමක් නොමැතිය
යායුතු අන් කිසි මගකුත් නොමැතිය
එකම පැතුම සහ එකම මගද මට
ඔබ ගැන සිතනා සිතුවිල්ලයි...
සුජාතා අත්තනායක / ඔස්ටින් මුණසිංහ

 නොමියෙන සෙනෙහස....


මිණිමුතු නැහැ මට ඔබ සරසන්නට
ඇත්තේ හදවිල පිපි සුදු මල...
දසයොදුනක දුර සුවඳින් මත්කල
සිය පෙති රන් දැල හද පිපි මල...

තරුමල් අතු අග දිළි සැණකෙළි දින
ඔබ මගෙ දෙනෙතට නව දසුනක් වින...
අද ඔබෙ දෝතට මගේ දායාදය
ජීවිතයක් කැටි කල මේ ගීතය...

දඹරන් පටසළු වෛරොඩි රතුකැට
සොඳුරියෙ කුමටද විසිතුරු මාළිග....
නොමියෙන සෙනෙහස අද අප බැඳි කල
බිලිඳු හඬෙක හෙට තව සම්පත් ඇත...
විජේරත්න රකාගොඩ / ජයතිස්ස අලහකෝන්



Read More!

සොඳුර නුඹ මට මව් වෙයන්...

කාල තරණය මාතෘකා කරගෙන බිහිවූ නිර්මාණ මෙතෙකැයි කිව නොහැක. මිනිසුන් වර්ථමානයට වඩා අතීතයටත් අනාගතයටත් පෙම් බඳිත්ද? වර්ථමානය එතරම්ම නීරසද? එසේත් නැත්නම් මිනිසුන්ගේ ඇති නොතිත් කුතුහලයද? වර්ථමානයේ සිදුවී ඇති දේ අතීතයට ගොස් නිවැරදි කරගැනීමේ උවමනාවක් ඇත්ද? එහෙත් හෙට වනදේ අද ක්‍රියාවෙහි ඵලයක් බව වුවමනාවෙන්ම අමතක කරත්ද?
මාමණ්ඩිය මගේ හිතවතකු, අනුශාසකයකු වූයේ මා ඈ විවාහ කරගැනීමට පෙර සිටය. "පුතේ මිනිහෙක් කසාද බඳිනවා කියන්නේ දෙවැනි පාරට උපදිනවා කියන එකයි..." ඔහු, මා ඈ විවාහ කරගැනීමට ලකලෑස්ති වන කාලයේ,  සංවාදයෙහි යෙදෙමින් අප ගතකල එක් අවස්ථාවක පැවසුවේ බොහොම නිස්කාංසුවේය. එහි තේරුම එදා නොතේරිණි. අතීතයට ගොස් ඔහුට මුවනොසෑහෙන ලෙස ස්තූති කරන්නට ඇත්නම්?
පුනරුප්පත්තිය, පුනර්භවය, මනෝකාය යන සංකල්පවල එල්බ සංවාදයෙහි, වාදයෙහි යෙදීමට මිනිසුන් බොහෝ කැමතිය. ඒත් මාමණ්ඩිය අපූරු වැකියකින් මට නැවත ඉපදීම ගැන කියාදුනි.  ඒ වචන වල ඇති ගුප්තාර්ථයන්, යථාර්තයන් පසෙකලා "මරණින් මතු උපදීම..." යන කියැවීම තුල භව සසර තුල අඛන්ඩ ගමන් කිරීමක් අප බලාපොරොත්තු වෙයි. එහෙත් අවුරුදු දහයකට පෙර සිටියේ මේ සිටිනා අපමද? බටහිර විදුඇසට අනුව දිනපතා බිඳී වැටෙමින් නැවත ගොඩනැගෙමින් ඇති සෛල සමූහයකුත් දිනපතා වැහැරෙන සෛල සමූහයකුත් ඇති අප, කාලයක් ඇවැමෙන් පංචිකාවත්තෙන් සම්පූර්ණයෙන්ම අමතර කොටස් සවිකොට ටින්කර් කොට ඇති වාහනයක් බවට පත්වේ. අලුත් කොටස් නැවත සවිකර ඇතද අප සිතන්නේ මේ ඇත්තේ එදා අපගත් වාහනයම කියාය. සිතුවිලි පරම්පරාව එයට කිසිසේත්ම නොදෙවෙනි නොවෙත්ද..?
"ආදරයේ සනාතනික සංකල්පය අම්මා..." සෝමරත්න පෙරේරා ගයයි. එය අත්විඳ උස්මහත්වූවාට ඒ පිලිබඳ හැබෑ වැටහීමක් ලබාගැනීමට නම් කාලතරණයක් කලයුතුමය. එහෙත් මාමණ්ඩියගේ වචන සැබෑකරමින් ඈ මට මවක් දරුවන් වෙනුවන් දයාභරිත වීම කාලතරණයක් නොමැතිවම පෙන්වූවාය. විටක එය මා ඉරිසියාවෙන් පුරවන්නට තරම් සමත් කම් දැක්වීය. එහි කොන්දේසි, කාල රාමු, ලාභාංශ පරමාර්ථ,  ඇත්තේම නැත. එහි බිඳක් හෝ ගිලෙන්නට සිතීම අසාධාරණ නැතැයි මට සිතේ...



සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ
බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
නිවාලන්නට පව් ගෙවන්නට

දුකේ සැපතේ එක ලෙසේ
පණනල ලෙසේ මා ලඟ ‍රැදී
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ

හදට දුක් ගිනි කිසිත් නොමදී
නුඹ රකින්නට ණය ගෙවන්නට
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ


සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....
Read More!

නිල් වන ලන්දේ මල් මකරන්දේ...

නිල් වන ලන්දේ මල් මකරන්දේ
අසිරි හිමව් පෙත හොබවමිනා
කිඳුරු සමින්දේ මෙසඳ නිබන්දේ
නුරා මුකුලු ලොබ උපදවනා

කින්නර ලන්දූ දැක හද බැන්දූ
ආලමතින් මන්තොස වඩනා

ගිරිකුළු උරමඩලින්ද
තෙදබල නෙතු කැල්මෙන්ද
නුඹ හිමි කිඳුරු සමින්ද - මට ඔබිනා

දේදුනු බැම සඟලින්ද
රෑන වලා මුහුලින්ද
දියපිට පියුමක් මෙන්ද - නුඹ දිලෙනා

මේ වන පුෂ්ප සුගන්දේ
නේක තැවුල් හද සින්දේ
පෙම්බර කිඳුරු රජින්දේ - මගෙ සරණා

රාග හැඟුම් කළඹාලා
පියොයුරු වටකුරු ලීලා
සැනහෙමු පෙම් සිතුලෝලා
වන අරණේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...

අජන්තා රණසිංහ / සරත් දසනායක / වික්ටර් - නන්දා මාලිනී / 'මුවන් පැලැස්ස 2'
Read More!

මිහිරෙන් මා දිනු බාල ලඳුන්...

මට එකල වයස කීයදැයි හරියට නිනව්වක් නැත. අලුත් සිත්තරපටියක් සිනමා හලට ආවිට අප සියල්ල එකතු කරගෙන එය බලන්ට යාම අප්පච්චිගේ සිරිතය. සිත්තරය කුමක්දැයිද මතක නැත. රබර් වත්තක් මැදින් බයිසිකලයක් පදිමින් නලුවෙකු එයි. පසුබිමින් ගීයක් වාදනය වේ. ඒ ගීතයේ මුල් පද කිහිපය මෙලෙස හදේ කිඳාබැස්සේ කුමන හේතුවක් නිසාදැයි අදවත් මට නොතේරේ.
----------------------------------------------------------------------------------
පැරණි විශ්ව විද්‍යාල මිතුරන් සමග මෙලෙස එකට සතු‍ටු සාමීචියේ යෙදෙන්නට මට අවස්ථාවක් ලැබුණේ බොහෝ කලකට පසුය. එකල මෙන් නොව අද මධුවිත හිස්වන්නේ කථා බහේ උණුසුම අනුවය. අප බොහෝ දෑ කථා කලෙමු. අවසානයේ මගේ බ්ලොග් සටහන් වෙතටද කථා බහ සම්ප්‍රාප්තවිය.

අනූ ගනන් වල මුල්ම හරියේ විශ්ව විද්‍යාලයට ගිය අප, එහි ගියේ භයානක භීම සමයක් එයින් පිටත ගෙවාලමිනි. පළමු ශිෂ්‍ය නියෝජිතයන් තේරීමේදීම නඩය දෙකට බෙදෙන ලදී... එහෙත් එදා පටන්ම එක දිගට අවුරුදු හතරක්, අඛන්ඩව අධ්‍යයන කටයුතු කළහැකි ආකාරයට අනේක ගැ‍ටුම් මධ්‍යයේ වුවද, බැ‍රැරුම් භූමිකාවක් කල, මා බෙහෙවින් ගරු කරන අපේ සගයෙක්ද සුහද හමුවට එදා පැමිණ තිබිණ. ආනන්දයෙන් සිප් සතර හැදැරූ ඔහු අද ලංකාවේ පරිගණක ක්ෂේත්‍රයේ ඉහලම තණතුරක් දැරුවද තවමත් ඔහු එදා ඒ මා දු‍ටු සරල සොඳුරු මිනිසාමය. ඔහු අප මෙන් දොඩමළු වන්නේ නොවේ. වචන මුවින් පිටකරන්නේ වචන වලට ලෝබ වෙමිනි. ඒ නිසා ඒවා අහක දැමීමට කිසිසේත්ම නුලුළුවන. අපි ඔහුට "සමන්" කියමු.
---------------------------------------------------------------------------------
"ඔය බ්ලොග් ලියන කොට උඹට අමතර වාසිත් ලැබෙනවා ඇති නේද....?" ඇසක් ඉඟි මැරූ සමන් කීය. උපහාසය වටහා ගත් මම පැලය පීදෙන්නට පෙර ඉක්මණින්ම එය එසේ නොවන බව සරලව කීවෙමි. "අනේ පලයං බං යන්න... ඔය කොයි එකත් අන්තිමට හුච්චක්කුවක් වෙන එක වලක්වන්න බෑ..." සමන්ගේ හඬ දැඩිය. "උඹ ඉතින් මගේ සටහන් කියවනවානම් මම ඒ ගැන හිතන හැටි උඹට තේරෙයි..." අනපේක්ෂිත ප්‍රහාරයෙන් අන්ද මන්ද වුනු මා කීවෙමි...  "උඹ ඔය ලියන එව්වා ඇත්තද බොරුද කියන එක පැත්තකින් තියමු, ඒත් ඒවා ඇත්තනම්, ඒක ඒ උඹ අවුරුද්දෙන් භාගයක් ගෙදරින් පිට ඉඳලා එන නිසා හිතේ ඇතිවෙන හැඟීමක් විතරයි, උඹත් දිගටම ගෙදර හිටියනම් ඔය හැඟීම් වල කිසි හරයක් නෑ, උඹටත් බෙන්ස් එකක් පදින්න හිතේවි....." සමන් යලිඳු දෙනෙත් අයාලේ යන්නට හැර අවකාශයට වචන කිහිපයක් මුදා හලේය. විදුලි බල මණ්ඩලයේ ලාභ හා පාඩු වෙත කථාව හැරිණි...
---------------------------------------------------------------------------------
රාත්‍රී දොලහෙන් පසු සුක්කානම මත දෙඅත් තබා අසීරුවක් නැතිව මාර්ගයේ එක එල්ලේ වාහනය එලවිය හැක. ගත් සුලු මධුවිතෙන් අවුල් නොවූ සිත සමන් ගේ කථාවට නැවතත් මාව අදියි.
"ඌ කියාපු දේ එහෙම්මමද..??" මගේ හිත මගෙන්ම අසයි...

"මිහිරෙන් මා දිනු බාල ලඳුන්... කෝමල ඔබ මා නෙතට අඳුන්...
අමල් බිසෝ මගේ අමල් බිසෝ.... ඔබගෙන් මා හදවත උණුසුම්..."

මධුවිතෙන් බලපෑමක් නැත්තේම නැත... ඒ හිතේ පතුල අතගායි..... ජනේල වීදුරුව ඇරගත් මම ඒ පදවැල මහහඬින් ගායනා කරන්නට පටන් ගතිමි... දෙපස මාර්ගයේ ඇති වීථි ලාම්පු පි‍ටුපසට යන වේගය ඉක්මන් කල යුතුයැයි මට සිතිණ....
---------------------------------------------------------------------------------
"අද පොඩියක් රෑ වෙයි... කැම්පස් එකේ කට්ටිය මට සෙට් වෙන්නේ ගොඩක් කාළෙකින්... ඔයා කෑම කාල දොරයතුරු දාලා නිදාගන්න.... මම අනෙක් යතුර අරන් යන්නම්..."
"ඇයි මොකද, දොර නාරින් අමල් බිසෝද....?" ඈ සිනාසෙයි...

ගෙදර උදවියට නෑසෙන අයුරින් සීරුවෙන් ගෙට්‍ටුව අසල වහනය නැවත්වූ මා ගේට්‍ටුවේ කොක්ක පැන්නූ සැණින් ගෙදර ඉදිරිපස විදුලි බුබුල දැල්විණි....
"හ්ම්ම්ම්...ඉතින් කිව්වට අහන එකක්යෑ...." මගේ හිත මටම කියාගනී...

වාහනය ගරාජයට දැමූ මම අවදිව සිටින්නේ ඇයිදැයි ඈගෙන් ඇසීමි.... ඒත් ඒවාට උත්තර හැටියට හැමදාම ලැබෙන්නේ "කොහොමද අදවත් කෑම අල්ලලා ගියාද...?" වැනි ප්‍රස්නය...

"යමු යමු හොඳටෝම රෑවෙලා..." ජනේලය ලඟ මුහුණට මුහුණලා තැබූ පු‍ටු දෙක නැවත සකස් කරමින් ඒ මත තිබූ කොට්ටයත් පෙරවන රෙද්දත් එක් අතකින් ගත් ඈ අනෙක් අතින් මගේ සුරත අල්ලා ගත්තාය....

මිහිරෙන් මා දිනු බාල ලඳුන්...
කෝමල ඔබ මා නෙතට අඳුන්....
අමල් බිසෝ මගේ අමල් බිසෝ...
අමල් බිසෝ මගේ අමල් බිසෝ....
ඔබගෙන් මා හදවත උණුසුම්....

පැතුමන් පිරුණැයි දෙපය බිම හෙලා ඉන්න හැකී...
ආදරයෙන් අනාගතේ සරසන්න හැකී....
බුහුමන් ලැබුණැයි රජ වාසල වෙත යන්න හැකී....
උදම් හිතින් මතුදා හි‍රු දැක ගන්න හැකී....

හැඟුමන් ඔකඳයි රන් අසිපත ලෙළවන්න හැකී...
අවබෝදෙන් එහි මුවහත ජයගන්න හැකී....
පියුමන් පිපුණැයි මල් මාලා අමුණන්න හැකී...
නවෝදෙකින් ආයෙම මෙහි පැමිණෙන්න හැකී....

මිහිරෙන් මා දිනු බාල ලඳුන්...
කෝමල ඔබ මා නෙතට අඳුන්....
අමල් බිසෝ මගේ අමල් බිසෝ...
අමල් බිසෝ මගේ අමල් බිසෝ....
ඔබගෙන් මා හදවත උණුසුම්....

අමල් බිසෝ..... මගේ.... අමල් බිසෝ.....

ගීතය අහන්න... ඕනනම් බාගන්න...

පසු ලිපි: ගීයේ පබැඳුම ඔගස්ටස් විනයාගරත්නම් සූරීන්ගෙනි. කතන්දර සූරීන් කීවාක්මෙන්ම ඔහුගේ පබැඳුම් ඉතා අරුමය. මේ ගීයට පෙම් බැඳි මුත් මට මේ ගීය අසන්නට ලැබුණේ ඉතාමත්ම කලාතුරකිනි. ලුහුබැඳීම ඇරඹිණි. වික්ටර් රත්නායකයන් පැරණි නාවින්නේ ගෘහයේ දැන් වාසය නොකරයි. ඔත්තුවක් හරහා ඔහුගේ පුත් ජයන්ත රත්නායකයන්ට කථා කලෙමි. ඉතා කාර්‍ය බහුලව සිටියද මට ඉතාමත්ම හොඳින් කථාකල ඔහු ඔහුගේ නැගණියන්ට කථාකොට ඒ බව දන්වන මෙන් ඉල්ලා සිටියේය. මා ඇයට කථාකරන විට ඇ සිටියේ දරුවාට බෙහෙත් ගන්නට ගොසින්ය. දෙතුන් වතාවක් කථාකොට ඈ නිදහස් වෙලාවක සම්බන්ධ කරගත් පසු ඈ මට ඇවැසි සින්දු කිහිපය කොළයක ලියාගත්තාය. හදිසියේ ලංකාවට යන්ට සිදුවූ පසුගිය දිනක නැවතත් ඇ සම්බන්ධකරගත්පසු මට පහසු ආකරයකට මේ ගීය ලබාදීමට ඈ කටයුතු කලාය. චාන්දනී ගුණසේකර මැතිණියනි ඔබට බොහෝ පින්.
Read More!

නොසැලෙන් මලණුවනී...

ඔබ යන ගමනේ මාවත අවුරා ගැරහුම් අවමන් අවි ඔසවා ඇත...
කැට මුගුරෙන් රළු පහර වැදී ලෝහිත ගංගා ගලා ගියාවේ..
මලණුවනී නොසැලෙන් මලණුවනී...

කඳුලින් උපන්නෙමී ගැරහුම් අසමින් ඉණූ කඳුලකින්...
ලෝකය හැඳින්නෙමී...
ඵල ඇති ගසටයි පහර වැදෙන්නේ සඳු දැක සිව්පාවුන් මොරදෙන්නේ...
ක‍ටු පඳුරින් දස දෙසම වැසී හදවත් ඉකිබිඳිමින් හැඬුවාවේ...
මලණුවනී නොසැලෙන් මලණුවනී...
කඳුලැල් විඳින්නෙමී ගැරහුම් අවමන් මල්දම් සේ ගෙන...
නව මං සොයන්නෙමී...

ඔබ යන ගමනේ මාවත අවුරා ගැරහුම් අවමන් අවි ඔසවා ඇත...
කැට මුගුරෙන් රළු පහර වැදී ලෝහිත ගංගා ගලා ගියාවේ..
මලණුවනී නොසැලෙන් මලණුවනී...


Read More!

මා ලඳ වත, තාරපතී අඳුරේ ලාපී...


"Beauty is only skin deep..." කියලා ඉංගිරිසි කියමනක් තියනවා නෙව.... Temptations නැමැති ගායක කණ්ඩායම ගයන පරණ සිංදුවකුත් තියනවා එම නමින්ම... කථාව ඇත්ත...මිලිමීටර දෙක තුනක් සිරුර ඇතුලට ගියහම, ඇසෙන් දු‍ටු "ලප නොමවන් සඳ සේ සොමි බව" සැනෙන් අතුරුදන් වෙනවා.... නමුත් හිතේ ඇඳුනු ලස්සන එහෙම අතුරුදන් වෙයිද...? ගායක හෙන්රි කල්දේරා විවාහ වුනේ තවත් එවැනිම කාන්තාවක් සමගම... දෙදෙනාටම දෙදෙනා නුදු‍ටු ඔවුනගේ ලෝකය ගොඩ නැගෙන්නට ඇත්තේ සවනේන්ද්‍රියත් ස්පර්ශයත් මුල්කරගෙන වෙන්නෑති.... එතකොට අපි කියන ලස්සන නෙවේ නේද ඔවුනට එකිනෙකා ගැන ඇති ලස්සන...? කාලයත් එක්කම රූපය නොදිරන්නේ කාගේද...? නමුත් සිතේ ඇඳුනු සුන්දරත්වය මරණය කරාම ගෙනියන්න පුලුවන්නම්... දවසක් සේවා ස්ථානයේදී ලැබුණු ඉසිඹුවකදී කරන්නට යෙදුනු අල්ලාප සල්ලාපයකදී (මෙතැන විවිධ රටවල අය මොහොතක විරාමයක් ගන්න තැනක්... ගැහැණු පිරිමි කවුරුත්..) ඔය බොලිවූඩ් නිලියන්ගේ ලස්සන ගැන කථා බහක් ආවා... කථා කරන්නට මට ලැබුනු අවස්ථාවේදී මම කීවේ "For me, my wife is the most prettiest person ..." කියලා... ගැහැණුන් ඉඟි මරණ අතරේදී ඉන්දියානු ජාතික ඉංජිනේරුවරයෙක් (අවාසනාවට මට මුණගැහුනු බොහෝ ඉන්දියානු ජාතිකයින් තවමත් හිතන් ඉන්නේ ලංකාව ඔවුන්ගේ නොනිල ප්‍රාන්තයක් කියා...!!!!) මගෙන් කට කොනකට නගාගත් උපහාසාත්මක සිනාවකින් යුතුව අහනවා "Oh really...? So was she Miss Sri Lanka..."  කියා...  අවසන් තේ උගුර මුවේ රුවාගත් මම මෙහෙම පිලිතුරු දුන්නා... "No way...she was The Miss World...Sri Lanka is a small country no...?" කලින් ඉඟි මැරූ කාන්තාවන්ගේ හිනහව මහහඬින් එලියට පනිද්දි මම රෙස්ට් රූම් එකෙන් එලියට ආවා... මා කී දේ ඔහු තේරුම් ගත්තාදැයි නොදනිමි.... දවසක අප සියල්ලන්ම ජරාවට යනු ඇත...එයට පෙර රෝගී වනු ඇත... සුදු ඇතිරූ රෝහල් ඇ‍ඳෙහි වැතිර, අසරණව සිවිලිම දිහා බලා ඉන්නා වේලාවේදී, සැබෑ සුන්දරත්වය කුමක් දැයි තේරුම් යනු ඇත.....

මා ලඳ වත...
තාරපතී අඳුරේ ලාපී...
ලාක්ෂණ වී...

මුකුළිත වේය...
සුපුෂ්පිත පද්මය....
පවසන මියුරු එ ගී නදැසූ...
බෘංගයෝ තාම රසේ...
විලී වැදී...
හැංගී ඇතී...
මාරම්බරී යං රෑ බෝවී...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....

(මේ ගීත කුඩා හෝ ඉයර් ෆෝන් යුගලයකින් අහන්න පුලුවන්නම් ලස්සන තවත් තීව්‍ර වී ඇසෙන බව මට හැ‍ඟේ...)
Read More!

දෙදරු ලඳුනි මට නිදි නෑ....

ආයේ මොන පෙරවදන්ද, හැම දෙයක්ම සින්දුවේ කියනවා... කාසි හොයාගෙන, දරුමල්ලන් දාලා මේ කතරට එන, කීයක් හරි අත මිට මොළවගෙන, ආපහු තමන්ගේ දරු මල්ලන් වෙත යන්න බලන් ඉන්න, අම්මලා තාත්තලා හැමෝම වෙනුවෙන්...

දෙදරු ලඳුනි මට නිදි නෑ....
තරු පෑයූ ගිනි කතරේ...
ඉඳි ගස් සෙවනේ...
වැලි හුල‍ඟේ... කාසි නොවේ...
සිඹින්න බැරි දරු සුවඳයි පාවී එන්නේ...

උපන් බිමට දත නියවා...
රන් කාසිය මිට මොළවා...
සිත කකියන්නේ...
උන්නත් පෙර අප නොකා නොබී....
නවසි තැඹිලි ගස් සෙවනයි....
දැන් සිහිවෙන්නේ....

සැනසෙන්නට නුඹගේ කියා...
කටහඬවත් ඇහෙනවනම්...
ඉහ ඉද්දරිනේ, දැක ගන්නටවත් නුඹයි කියා...
හීනෙන් වත් පෙනෙනවනම් ...
ඇහැ පියවෙන්නේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න..
Read More!

සිප එන සමනල මුදුනින්...

දුරාතීතයේ සාමාන්‍ය දවසක්... ඒ කාලේ කොයි ගෙදරකත් වාගේ රේඩියෝව අපේ ගෙදරත් දාලා තිබුනේ... අල්ලපු ගෙදර ඉන්න අපේ නැන්දා අපේ ගෙදර යම් කාරනයකට ඇවිත් තිබුනා... හදිසියෙන් මගේ අතින් ඇදන් ආපු නැන්දා මාව රේඩියෝවට ලංකරගෙන ලියුම් කවරයක් දිහාවට මගේ ඇහැ යොමු කෙරෙව්වා... මට ඒ කාලේ අවුරුදු තුනක් වුනත් මට මේ සිද්ධිය හිතට කිඳා බැස්සේ සංවේදන ඉන්ද්‍රියන් දෙකක් හරහා ලැබුනු සංවේදනයේ හරය එක හා සමපාත වූ නිසයි... 72 බිරිතානි කිරීටයට තිබිච්ච අන්තිම නීතිමය බැම්ම (62 හමුදා කුමන්ත්‍රණයේ වරද කරුවෝ නිදහස් වුනේ ඔය කොස්ස තිබිච්ච හින්දායි කියලයි කියන්නේ... දන්නා හැටියට...) ගලවලා දාපු ජනරජ ව්‍යවස්ථාව මුල් කරගෙන ලියැවිච්චි ගීයක් මේක... මේ ගීයට පසුව මුද්දරය නිර්මානය කලාද, මුද්දරයට පසුව ගීය නිර්මාණය කලාද කියන එක නම් දන්නේම නැත... මතකයේ හටියට පද රචකයා කේ ඩී කේ ධර්මවර්ධනයන්ය... අවසානයේ ඇහෙන අත්පොලසන් නාදය කෙතරම් අරුත් බරද...?

සිප එන සමනල මුදුනින්...
ජනරජ දිනකර කිරණින්...
ලංකා රන් තඹර කැකුල...
ලංකා රන් තඹර කැකුල විකසිත වෙනවා...

ආසිරි සත් රුවන් වැසී, ඈත තුසීතයෙන් ඉසී...
ඉසුරු සුවය විඳිනු රිසී, සුරන් පවා බිමට බසී...

භූපාලන නව ‍රැල්ලේ, එක ධජයක සෙවනැල්ලේ...
නිවහල් රන් ඕවිල්ලේ, ජන ජය ගී මංගල්ලේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න....
Read More!

ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා…

මගේ සියලු සියුම් සංවේදනයන්ගේ උල්පත ඇයයැයි සිතමි... මම ඇයට ආලය කරමි... එය ගිජු කමක්ද...? සලෙලකුට වඩා මා වෙනස් වන්නේ නීතියෙන් බැඳී ඇති නිසාද...? මා තුල ඇත්තේ සරාගයක්ද...? ඒ කෙසේ වුවත්... එයට ඉඳුරා පටහැනි, පරාර්‍ථය, කැපවීම, සෙනෙහස, මුදු ගුණය, ආලය නම්... මා අන්ත දුගියෙකි... ඒ අතින් සි‍ටු මාළිගයක වෙසෙන ඇයට, මා, වැට මායිමකට වත් නොගත යුතු වසළයෙකි...හැබෑටම මා ආදරය කරන්නේ මටම පමණද...?
වික්ටර් රත්නායකයන් හා අමරදේවයන් මේ ගයන්නේ මිතුරන් දෙදෙනෙකු අතර සංවාදයක්ද...? සොයුරන් දෙදෙනෙකු අතර සංවාදයක්ද...? නො එසේත්නම් කඩවරයා වැනි වූ මගේ සිතේ සංවාදයද...?

ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා…
සැණැහුනු මොහොතක ඔබේම දෙනෙතින්…
මා ඔබ දු‍ටුවා, ඇයට නොවේ…
ඔබට පමණි ඔබ ආදරේ…

වසන්ත දෙකොපුල්, මිහිරරු තොල් මල්…
දසැඟිලි තුඩු අග, පිබිදුණු රණහස…
ඇයට ආදරේ ආදරේ මම…
ඇයට ආදරේ ආදරේ…

ඇගේ සුරත ගෙණ, පිණි විල්ලුද මත…
ඇයට ඇලුම් බව ඔබ පැවසූ පසු…
පෙරළා ඔබ හට පෙම් කරනා බව…
ඇය මුමුණන සඳ... ඔබ සිත සුවපත් වේ…
ඔබ සිත සුවපත් වේ…

ඇයට පමණි මම ආදරේ… ඔබට පමණි ඔබ ආදරේ…
ඇයට පමණි මම ආදරේ… ඔබට පමණි ඔබ ආදරේ

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...
Read More!

ආදරයෙන් මා හද වට එතෙන ලතා...

නැති බැරිකම මුතුමාල හතක් වී කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා, කියල සිංදුවක තියනවා... ඒ වාගේමයි නිර්මාණකරනයේදී... පහසුකම් අඩුවෙන්න අඩුවෙන්න මිනිස්සු අතින් සාර්ථක නිර්මාණබිහි වෙනවා... නගර බද ඉස්කෝල වලට ශිෂ්‍යත්වය සමත් වෙලා එන බහුතරයක්, පහසුකම් වල පල්ල සිඹින දරුවන්... මටත් එහෙමයි පොඩි කාලය... අම්මා පොලේ ගිහින් රටකජු ගේන ගොට්ට පවා, පරිස්සමින් දිගහැර කියවනවා... ඉතාමත් සුගායනීය වදන් වැලකුයි, රබානකුයි, තාලම්පටකුයි අබේවර්ධන බාලසූරියයන්ගේ මනෝරම්‍ය කටහඬයි මුසු කරලා, මේ කරල තියන නිර්මාණය මොනතරම් සුන්දරද....?

ආදරයෙන් මා හද වට එතෙන ලතා...
ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා...

දිගින් දිගට නිල් වරළස මුදන්නියා...නෙතින් නෙතට ඔමරි බැලුම් හෙලන්නියා...
රුවින් රුවට දිලි නෙත් සිත් බඳින්නියා... දුරින් දුරට මා සිත ගෙන, මටත් හොරා ඇදෙන්නියා...

පාන්දරින් මල් පිපුනා බඹරු දනී... සීන් තුෂර පිණි වැ‍ටුණා අහස දනී...
සෙමින් විහඟ ගී ගැයුනා පවන දනී... නුඹට බැඳුනු සිත හන්ඳා, මා විඳි දුක කවුරු දනී...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දේත් ලියලම යන්න...
Read More!

මිහිළිය නළලේ...

මේ ගීය ලියා ඇත්තේ සුනිල් ආරියරත්නයන්. තනු හා සංගීත ණිර්මාණය වික්ටර් රත්නායකයන්ගෙන්. ගායනය අමරදේවයන් ගෙන්. විශිෂ්ඨ කලාකරුවන් තිදෙනෙකුගේ විශිෂ්ඨ නිර්මාණයක්


මිහිළිය නළලේ අංජන තිලකේ...සිරි ලංකා දෙරනේ...
තිසරණ සරණින් භූ පාලනා... ජනතා දිනේ දිනේ... ජනතා දිනේ දිනේ...

දන පිනන සතර සඟරා වතින්, සත ගත සිත සැනසේවා...
සඟ වෙද ගුරු ගොවි කම්කරු බල ඇණියෙන්, සිව් දිග සැරසේවා... සිව්දිග සැරසේවා

භුජ බල පල කල සුරු නර විරු කැළ යලි හෙලබිම ඉපදේවා...
මුදු ගුණෙන් සුපුන් සන නැණින් ගුරුන් ලෙස... රන් දිව දිළිහේවා...රන් දිව දිළිහේවා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...
Read More!

මල්සර උක්දඬු දුන්නෙන් පැණිබී...

ඔන්න ඉතිං තදින්ම එකිනෙකාට ආදරය කරන දෙන්නෙක් ඉන්නව කියල හිතමු... මොනව හරි දෙයකට ආරවුලක් වෙලා දෙදෙනාගේම හිත් රිදෙනවා... මම දැකල තියනවා,මෙන්න මේ වගේ තදින්ම හිත රිදුන වෙලාවට සමහර ගැහැණු හිම වගේ මිදෙනවා... වචනයක් කතා නොකර... සමහර වෙලාවට දවස් ගනන්... අපෝ එහෙමත් පලි ගැනිල්ලක්... නරකම විදිහට බනිනවාවත්නම්, අහු වෙන දෙයකින් දමල ගහනවානම්... කොච්චර සැපයක්ද... හැබැයි නවක මානවිකාවන්ට කියන්නේ... මේ ක්‍රමය නම් අවසාන ආයුදය විතරක් කරගන්න... නැත්නම් මේ ගීයේ පළවෙනි කොටසින් කියන්න වාගේ, මල් පැණියට යොමුවෙයි පිරිමි... පිරිමින්ට, සමහර වෙලාවට ගැහැණුන්ගේ හිත් අපිට වඩා හයියයි කියලා හිතෙන්නේ ඔන්න ඔය වාගේ වෙලාවට... ඒ වෙලාවට පිරිමියාගේ හිතේ සසල බව මේ ගීතයේ සංගීතයෙන් කදිමට නිරූපනය කරලා තියෙනවා... තව කදිම යෙදුමකුත් තියනවා "ඔබ නිහඬව සිටිනා හඬ..." කියල... අපූරුයි නේද... අහලම නිගමනයකට එමු....

මල්සර උක්දඬු දුන්නෙන් පැණිබී... දේදුන්නක් උඩු අතට නවා බිඳ....
මල් උයනක් මල් අවුල් කර දමා... ඔබේ පැල්පතට ඔබ දැකගන්නට...
ආවෙමි වියරු වැටී...

ඔබ හඬනා හඬ මට ඇසුනේ නැත... ඔබ හිනැහෙන බව මට ඇසුනේ නැත...
ඔබ නිහඬව සිටිනා හඬ පමණක්... සවන් යොමා සිටි මට ඇසුනා...
ඔබේ නිහඬ බව මා සිත කලඹයි....

හිනැහෙනු මැන හස‍රැලි අතුරා වත... හඬණු මැනවි නැතිනම් පොඟවා නෙත...
ඔබ නිහඬව සිටිනාවිට මගේ සිත... මුලු ලොව හැඬුවත් දෙසවන නොම දෙත...
ඔබේ නිහඬ බව මා සිත කලඹයි....

සිංදුව අහන්න.... ඕන්නම් බාගන්න.... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න
Read More!
 
Blogger Wordpress Gadgets