බුදු ‍රැස්මි විදා ප්‍රාතිහාර්‍ය පෑ සඳපානේ....


පොල් කඩන්නාට ගස පාමුල සිට පැසී ඇති පොල් හරියටම විනිශ්චය කල නොහැක. එහෙත් ඉඩමේ අයිති කරු සමග අහවල් ගෙඩි කඩමියැයි වාදයෙහි එල්බ සිටීමට ඒ නො-දැනීමෙන් අවහිරයක් නැත. පුරුදු පුහුණු වූ සමහරෙක්ට මේ කර්තව්‍යය අනුමාණයෙන් කල හැක. එසේත් නැත්නම් වෙහෙස මහන්සිවී ගස් නැගීමෙන්ම ඒ කාරිය නිසි පරිදි කල හැක. ගසේ මදක් නැගුණු විට හාත්පස දර්ශණයෙන් වශීකෘතව සිටියහොත් අදාල කාරිය නිමකරන්නට නොහැකිවනු ඇත. ඒ හැටි උස නැති තැඹිළි ගස් බඩ ගා නැග්ගද වලල්ල දා උස පොල් ගස් වලට නැගීමට ඇවැසි පරිචය මා ලබා නැත්තෙමි. තමන් ලද දැනුමක් මෙන්ම නොලද දැනුමක් ගැනද විමසිලිමත්වීම මනාය. එහෙත් ඒ අවසාන ඵලය ගැන සමග ගැටගැසුණු උවමනාව සමගින්ය.

අප බොහෝ දෙනෙක් උදේ හවා "සිස්ටම්" වල දොස් දකීමටත් ඒවාගැන දෙඩීමටත් රුචිය. තම නිවසේ "සිස්ට'න්" එක වැඩ නොකිරීම වෙනම කාරණයකි! කව්සිළුමිණ මෙසේ කියයි - "තමා වරදස නො දිස්නේ - මෙරමා දොස් මැ දිස්නේ - නුවන් තමා මුත් බැහැරැ නහමන නොදක්නේ කිම්?

ජාති, ජරා, මරණ දුක් සේ දකිත්ද?? - උත්තරය "නැතිය" නම් බුදුදහම ඉගෙනීමෙන්, ඔබගේ වටිනා කාලය නාස්ති නොකරගන්න. ඔබ බලාපොරොත්තු වෙන වෙනත් ඵල නෙලා ගැනීමට බොහෝ විකල්ප, විමුක්ති මාර්ග ඇත. උත්තරය "ඔව්" නම් එයින් මිදෙන මං පෙත කියා දුන් දිවාකරයාණන්ට ගෞරව සම්ප්‍රයුක්තවී වහ වහා ශ්‍රද්ධා, ප්‍රඥා මාර්ගයන්හි ගමන ඇරඹීම ඇති බාධාව කුමක්ද?

අද අප මෙන්ම එදා සිටි දුහුනන්ද කෙලෙස් පාදම මත සිටිමින් නන්දොඩවණ කල්හි ශාඛ්‍යසිංහයානෝ කැණිමඩල පලා මැදුර සුණු විසුණු කොට සිංහ නාද පැවැත්වූහ. දාන, සීලයෙන් පෝරුගා සකස්කල බිම් මත්තෙහි භාවනා බීජ වැපුරුවහොත්, එයට උවමනා පරිචය ලබාගැනීමේ යුහුසුලු වුවහොත්, අවසාන ඵලය බලාපොරොත්තු වූ අයුරින්ම නෙලාගත හැකිවෙනු ඇත! නිර්වාණ ස්වර්ණ ද්වාරය නිරතුරුව අප සියල්ලන් වෙනූවෙන් සපුරා විවෘතව ඇත!
ඔබ සැමට සුන්දර නිර්වාණේ අභිනන්දන සැප ලැබේවායි මේ වෙස‍ඟේ පතමි!

ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින වෙනුවෙන් බොදු බැති ගී පෙලකි...

1. බුද්ධගයාවට ගිය ඇත්තෙක් කීවේ මේ ගීයේ තේරුම හැබැවින්ම විඳ ගැනීමට නම් බුද්ධගයාවේ අතිශය සීතල සුලං පහස විඳ බැලිය යුතුම වගකි.  ගුණරත්න අබේසේකර ලියූ "සුවදේ මට සීතල සුලඟ පවා - හිමි බුදු වුණු බුද්ධගයාවේ" ගායනය බෙග් මාස්‍ටර්ගෙනි

2. තෙරුවන් නැමදීම අපූරුවට ගද්‍යයක් ලෙස හුවා පාමින් ආචාර්‍ය අජන්තා රණසිංහ ශූරීන් විසින් ලියූ මේ ගීය ඉමහත් බොදු බැතිය දනවන්නකි. සංගීතය හා ගායනය විශාරද සනත් නන්දසිරිගෙනි;
 
"නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන් - සම්බෝධිරාජ පාද පද්ම - වන්දනා කරම්
ක්ලේෂ තාපයේ අනන්ත වේදනා ජලේ - නෞකාව දම් අමා වඳිම් - නමා නළල් තලේ
දෑගසව් රහත්  බුදුන්  මා සිතින් පුදා - වන්දාමි සඟ රුවන් - ගඳින් මලින් බැතින් සදා"


3. සී වීරසේකර ශූරීන් ලියූ එම් කේ වින්සන් ගැයූ මේ ග්‍රැමෆෝන් යුගයේ ගීය අදටත් එකසේම බොදු බැතිය වඩවයි;

"සිරි ගෞතම ශ්‍රී පාද වදිම් සමනළ කන්දේ - අභිනන්දන සැප පතනෙම් සුන්දර නිර්වාණේ
කල්‍යාණ පුරේ නා කැල සිරි ධර්මෙන පහදා - ආකාස තලේ වැඩ සිටි මුනි රාජා තෙදිනා
බුදු ‍රැස්මි විදා ප්‍රාතිහාර්‍ය පෑ සඳපානේ - තුන් ලෝ දිනු මුනි පාද වඳිමු පතමින මෝක්ෂේ - අමර සිරිබර මෝක්ෂේ
තුම්  ගුණැති සමන් දෙවියන් පිදු සේම තිලෝනා - සිරිපාද තබා ඉඳුනිල් මිණ මුදුනේ එදිනා
ලෝ වාසි දනන් සාධු නදින පූජා පානා - ත්‍රෛලෝහිමි සිරි පාද වඳිමු නිවන් පතාලා - සිරි නිවන් පතාලා"


4. "වඳිමු සුගත ශාඛ්‍යසිංහ - සසර දිනූ බුදු පියා - රමණී මන්දාර කුසුම් - කරමින පූජා - බැතියෙන මේ ගී ගයා" අමරදේවයන් විසින්ම ලියා, තනු නිමවා, ගැයූ මේ ගියේ අග්‍රගන්‍ය භාවය කීමට අ‍ටුවා ටීකා අවැසි නැත. මෙබඳු ගී තව තවත් නිමැවේවායි - කරමි මා ප්‍රාර්ථනා!

5. "සල් වනේ ලකල් - දුල් සල් වනේ ලකල්" සිදුහත් කුමාරෝත්පත්තී වර්ණනාවක යෙදෙන මේ ගීය ගයන්නේ ග්‍රේටා ජෙනට් ද සිල්වාය. ග්‍රැමෆෝන් යුගයේ ගීයක් වන මේ ගීයේ තනුව හා සමගාමීව  එම් කේ වින්සන් විසින් "තෙල් මල් පුදා වඳිම්" ලෙසින් ගැයූ තවත් බොදු බැති ගීයක්ද වෙයි. තනුව හින්දි තනුවකි

6. "මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුලං ‍රැල් පාවෙනා - සම්බුදුන් සම්භාවනීයයි සාධු සාධූ වන්දනා" කිංකිණි නාද චිත්‍රපටියට නිහාල් ජයසේන විසින් රචිත පී එල් සි සෝමපාලයන් විසින් තනු නිමවා සුජාතා අත්තනායකය මොහිදීන් බෙග් ඇතුළු පිරිස විසින් ගායනා කල ගීයකි

7. බන්දුල මල්ලිකාවගේ චරිතය අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය ප්‍රකට කරවන්නකි - ඈ, යුධයට ගිය සැමියාත්, පුතුන් කැලත් ජීවිතක්ෂයට පත්වූ බව දන්වා ලැබුණු තල්පත ඉනේ ගසාගෙන යෙදෙමින් හුන් දන්බෙදීමේ කාරිය දිගටම කරගෙන ගිය බව සාහිත්‍ය පොතපතෙහි සඳහන්ය. එවිට එක දැස්සක ගේ අතින් ගිතෙල් බඳුනක් බිම වැටී බිඳී ගියේය.  ඒ දුටු දන් පිළිගනිමින් හුන් සැරියුත් මා හිමියෝ “මල්ලිකාවනි, බිඳෙන ස්වභාවය ඇති දෙය බිඳී යන්නේය. ඒ ගැන සිත නරක්කර නො ගත යුතුය”යි කීහ. ඒ  ඇසූ මල්ලිකාවෝ ඉණෙහි රඳවා හුන් තිබුණු තල්පත  අතට ගෙන “රහතුන් වහන්ස, මගේ පුතුන් දෙතිස් දෙනාත් සැමියාත් මළ බව සඳහන් කොට ඇති මේ හස්න ලැබීමෙන් වත් කලබල නොවූ මම, දැස්ස අතින් ගිලිහී බිඳී ගිය ගිතෙල් බඳුන ගැන ශෝක කරම්දැ’යි කීවාලු.
"බන්ධුල ප්‍රේමී සි‍ටු කුමාරී - පංච කල්‍යාණී මල්ලිකා දේවී" - සිසිලියානා ඩයස් හා ටයිටස් පෙරේරා

8 "බුදු රශ්මිය විහිදේ - සම්බුදු සිරිපාදේ - දර්ශණ පූජනීය සමණල කන්දේ" සිරිපා සමය වෙසක් පොහොයෙන් කෙලවර වේ.  බුදු සිරි පා පහස ලැබූ සමණල කන්ද වෙස‍ඟෙහි කෙසේ නම් අමතක කරම්ද? ගායනය ලතා වල්පොල ඇතුලු පිරිසගෙනි. තනුව හින්දි චිත්‍රපටි ගී තණුවකි

9. "පාරමිතා බල පූජිත පූරිත - බුද්ධ දිවාකරයාණෝ" -  රන්මුතුදූව චිත්‍රපටයට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අතින් ලියැවුනු විශිෂ්ඨ නිර්මාණයකි. සංගීතය හා ගායනය ඩබ්ලිව් ඩී අමරදේවයන්ගෙනි.

10. "ක්‍රිෂ්ණජිනා ජාලිය හා" - චාගයට කොපමණ දුරක් යා හැකිද??

11."පසක් කොට ඇති සසර දුක් ගිනි - උතුම් සම්බෝධිය පතා - කෙලෙස් නේරංජාව තරණය - කලේ අප මහ බෝසතා"
සුනිල් සරත් පෙරේරා ශූරීන් ගේ අපූරු උපමා වලින් අලංකෘත මේ බැති ගීයෙහි ස්වර සංකලනයත් ගායනයත් ගුණදාස කපුගේ සතුය

12. "තණ්හා ආශා ඔලොගු කරේලා - මගතොට නොබලා - වගතුග නොඅසා - එළිය දකින්නද මේ යන්නේ - සැපත දකින්නද මේ යන්නේ"
එක මග යන පුතෙක් හා පියෙක් ගැන මේ ගීයෙහි කියවෙයි. ඔබේ ජීවිතයටත් ඒ පිය පුතුන් බලපෑමක් කලාද?? පටාචාරා චිත්‍රපටියේ එන මේ ගීතය සංගීතවත් කලේ ලයනල්අල්ගමයන්ය - නාද තනූ මාධූර්‍යය හා ගායනය අමරදේවයන් විසින්මය

සින්දු බාගන්න...


 කලින් බොදු බැති ගී වලට මං....
ශ්‍රී මුනිඳා නමදිමු දැන් -  ශ්‍රී බුද්ධ වර්ෂ 2556 වෙසක්
සක්කාය දිට්ඨි - ශ්‍රී බුද්ධ වර්ෂ 2555 වෙසක්
Read More!

මා ඔබ හඳුනා ගත්තේ ඒ සුන්බුන් අළලා...


තෑගි ගන්නට ලැයිස්තු හදන කාලයත්, ඒ එක්කම ආටෝරාසියක් ආර්ථික ප්‍රස්නත් සාදා දෙන, අවුරුද්දේ දෙකන්සෙන්ම ඩා බිඳු වැගිරෙන කාලය පැමිණ ඇත. ඉන්න හිටින්නට ගෙයක් දොරක් හදාගන්නා කාලයේ මට වැඩිහිටියෙක් උපදෙස් දුන්නේ ගඩොල්, හුණු වැනි දේශීය ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිලදී ගැනීමටද සුදුසු අලුත් අවුරුද්දට පෙර කාලයය කියාය. මිල ඉහල යනතුරු අට්ටි ගසා නොසිට ඉක්මණින් මුදල් කරගැනීමට විකුණන බැවින් සාධාරණ මුදලකට දෙපක්සයටම අසාධාරණයක් නොවන පරිදි ඒ කාලයට ඒවා මිලදී ගත හැක. ප්‍රායෝගික උපදෙසකි.

බලා ඉන්නවුණට 'මෙච්චර කල් රෙදි නැතිව හිටියාද' සිතෙන තරමට රෙදි පිළි තෑගි ලෙස ගැනීමට අලුත් අවුරුදු කාලයේ උනන්දුවක් ඇත. මම එහි වරදක් නොදකිමි.  ඒ ලැබෙන තෑග්ගක් 'අම්මා අවුරුද්දට දුන් කමිසය / කලිසම' යැයි සිතමින්, ඒ හැඟීමෙන්ම ඇඳුම දිරාපත් වනතුරුම භාවිතා කල හැකි බැවිනි. එසේ වුවුද මෙසේ යහපත් සිතින් ඤාති මිත්‍රාදීන් වෙත දීම සඳහා තෑගි ගන්නට උනන්දු වෙන අහිංසක මිනිසුන් අතර තෙරපෙමින් තම නුසුන් ආශාවන් සන්තර්පණය කරගැනීමට සැරි සැරූ අපූරු පුද්ගලයෙක් මහරගම පොලීසිය විසින් අල්ලා ගැනීමට සමත්ව තිබූ බවක් පුවත්පතක සඳහන්ව තිබිණි! අඳෝමැයි - අන් අරමුණක යෙදී උන් මිනිසුන් අතර නොමිනිස් ගති සොබා විහිදන්නට මිනිසුන් පෙලඹෙන මනෝ භාවය කවරක්ද??

හද ගී පොතටද ඒ පටන් ගත්දා සිට යම් යම් තෑගි ලැබී ඇත. කාංසිය නිවාගැනීමටත් මා කැමති සිංහල ගීත ජාල ගත කොට එක තැනක තබා ගැනීමට තිබූ වුවමණාවත්, නිතර ප්‍රචාරය නොවන රසවත් සිංහල ගී, සුලු මට්ටමකින් හෝ නැවත ඉස්මතු කොට දැක්වීමත් අරමුණු කොට ගෙන පටන් ගත් මේ කටයුත්ත වියතුන්, රසවතුන් හා දානපතීන් ගේ ආගමනය හේතු කොටගෙන මෙතුවක් කල් දක්වා කරගෙන ආ හැකි විය.

මේ කටයුත්තේදී මා මුලින්ම ඉතාමත්ම සතුටට පත්වූ දිනය නම් හෂිත අබේවර්ධනයන්ගෙන්  සුනිල් ශාන්තයන් ගයන 'හමල් මරූ - ජහස් සුයු - හස්සන් දල්ලා' ගීයට අර්ථකථන සැපයුණු දාය. බොහෝ ඇසූ පිරූ තැන් ඇති හෂිත, සීගිරි ගී පිළිබඳ ලියවුණු පරණවිතාණයන්ගේ සියලුම පොත් පත් වාගේ පරිහරණය කොට ඇති බවක්ද පසුව කීවා මතකය. තේරුමක් නොදැන පෙමින් බැඳුණු ඒ ගීයේ අපූරු සංකල්පනාව පහදා දීම හද ගී පොතට ලැබුණු මුල්ම තෑග්ගයි.

අහසින් කඩා පාත්වූවා මෙන් ඊලඟට ලැබුණේ  තාමත් චිරි චිරි හඬ දෙන ග්‍රැමෆෝන් ගී ගොන්නකි. ඒ බුරාතීනෝ නමින් තමන්ව හඳුන්වාගන්නා කෙනෙකුගෙනි. නමක් ගමක් බ්ලොගයක් නැති වුවුද බොහෝ බ්ලොග් අතර සැරි සරමින්, දන්නා යමක් වරෙක උපහාසාත්මකවත්, වරෙක ප්‍රහසනාත්මකවත්, වරෙක අතිශය වියත් බවකිනුත් බෙදාහදා ගැනීමට බුරාතීනෝ රුසියෙකි. පැ‍රැණි ගී අතර සැරි සරන්නෙකුට ඒ වාගේ තෑග්ගක වටිනා කම මිල කල හැකිද?

ඉඳහිට මුණගැසුණු පැරැණි කලාකරුවන් කිහිපදෙනෙකුන් හා තවත් පිරිසකුත් එකතු කර ඔවුනගේ සුභ සාධනය පිණිස යම් කටයුත්තක් කිරීමට කලෙක සිතක් ඉපිද තිබුණි. මේ පිලිබඳ ඒ හැකියාවන් ඇති අයගෙන් විමසා බලද්දී ලැබුණු ප්‍රතිචාර, ඊලඟට හද ගී පොතට ලැබුණු  තෑගියි. දුකා කලයුතු දැ 100% ක්ම වාගේ  ඇතුලත් සම්පූර්ණ සටහනක් ඉක්මණින්ම සදා එවා තිබුණි. නාලිනී රණසිංහයන් වෙනුවෙන් දායකත්වය දැරීමට නෙතු  ඉක්මණින්ම කැමතිවිය. ඒ, ඒ අවස්ථාව වෙන කාහටවත් යාවී දෝ යැයි මෙන් හදිසියකිනි. අතුල සෝමසිරි  හා කේ. සේන සඳහා දායකත්වයට කැන්ගරු දේශයේ රවී සොයුරා එක පයින්ම කැමති විය.  ශාලා ගාස්තු ගැන සංවාදයේ යෙදී සිටිනාතුර 'ආකාස කුසුම්' එක්වරම පවසා සිටියේ ඈ ඒ බාරගන්නා බවය. මගේ විශ්මිතය දු‍ටු ඈ එක් වරම ඇසුවේ 'ඇයි මදිද?' කියාය.  ඒ ඇගේ ත්‍යාගශීලිත්වයයි. බොහෝ කටයුතු සාර්ථකව නිමවා ගැනීමට හැකි යැයි පෙනෙනා මානයේ සිදුවූ යම් යම් කාරණා නිසා ඒ කර්තව්‍යය කල්දමන්නට සිදුවිය. වඳින්නට යන දේවාල සමහර අවස්ථා වල ඉහේ කඩා වැටෙනා බව ප්‍රස්ථා පිරුලකද සඳහන්ව ඇත.

ආයෙත් අලුතින්ම තැග්ගක් හම්බවිණි . ඒ තිසර ගෙනි. විමල් ජේ ශ්‍රියාරත්නයන්ගේ 'කන්දේ රන් සඳ උන්නා' ගීය ගැන සටහන පලකලාට පසුව ඒ කියවූ තිසර මා වෙත එවූයේ මා බොහෝ කලක් සොයමින් උන් ශ්‍රියාරත්නයන්ගේ 'සකුන්තලා' ගීයයි. ගීය රසාලිප්ත වුවුද සමහර පද ගායනයේදී ගීලී ඇති බවක් හැ‍ඟේ. මෙය විසඳා දුන්නේ  ඊ-මේල් කවිකාරියයි. ඇගේ වැඩුමල් සොයුරා හා ශ්‍රියාරත්න මහතා අතර ඇති මිත්‍රත්වය නිසා ගයන්නාගෙන්ම ගී පද වැල් අසාගන්නට මට හැකි විය. ඔහු හා දුරකථනයෙන් කල සංවාදය සැබැවින්ම අපූරුය. සරල තෘප්තිමත් විනෝදකාමී පුද්ගලයකු වන ශ්‍රියාරත්න මහතා හා කල ඒ සංවාදය වෙනමමම සටහනකට ගොනු කල යුත්තකි.

තෑගි දීම නොයෙක් ආකාරයෙන් කල හැක. ඇවසි වන්නේ හොඳ හිතක් පමණි. ඒ නිසා අලුත් අවුරුද්දට රෙදි කඩ ගානේ පොදි කන ජනී ජනයා ගැන කිසි ලෙසකින් හෝ අහිතක් මා සිතට නොනැඟේ. බරපතල මතවාද හරස්කොට ඒ මිනිසුන්ගේ අහිංසක වුවමනාව අඩු තක්සේරු කරන්නට මට සිත් නොදේ. හද ගී පොතට විත් 'නන්නාඳුනනා මාගේ අකුරු' වෙත තිලිණ පුද කල ඔබද එසේමය. තමන්ගේ දැනුම කාලය ශ්‍රමය හෝ ධනය යහපත් අරමුණක් වෙනුවෙන් යෙදවීමට ඔබද නොමසුරුය. ඒ ගැන බොහෝ සෙයින් කෘතඥ වෙමි. මහරගම පොලීසියෙන් අල්ලාගත් නන්නාඳුනන්නාටද අවුරුදු කන්න ගෙදර එන්න ලැබේවායි පතමු.

රන් මුදුව ගං දියේ කිඳුණා මතකය වළලා...
මා ඔබ හඳුනා ගත්තේ ඒ සුන්බුන් අළලා...
සකුන්තලා සකුන්තලා...

ශාපය මිනිසුන්ගේ ඊ පහර ලෙස වැදී....
මා පසු පස එද්දී සුළි සුලඟ ලෙස ඇදී...
දේදුණු පවුරෙන් ඈතට නොයා මෙන් රිදී...
ආදර ගඟ ගලනු දුටිමි සිනිඳු ‍රැළි දිදී...

ඇස් ඇතිනම් ලොව ඇති පුදසුන් පෙනේ නිතී...
දුෂ්මන්තට කිසිදා ඔබ අමතක නොවුණී...
බොහෝදුර ගොස් අතරමංව ලොවේ පෙම්වතුන් ....
අදත් කියති මේ ආදර  බසම සිය මුවින්....

ගීතය අහන්න... ඕන්නම් බාගන්න...

Read More!

කුරවි කෙවිල්ලන් පානා ඉඟි බිඟි....

'පාඨශාලාන්තර තරඟාවලදී ගැ‍ටුම් ඇතිවීම ස්වාභාවිකය' අතනින් මෙතනින් ඇසෙන වර්ථමාන කතිකාවක කොටසකි. සැබෑවය. පාරක තොටක සිදුවන රිය අනතුරකදී වාහන පැදවූ රියදුරු දෑත් හතර හා දෙපා හතර යහතින් නම් ගැ‍ටුමක් ඇතිවන්නට ඇති ඉඩකඩ ඉතා වැඩිය. මිනිසුන් සෙමින් සෙමින් සුලු වශයෙන් හෝ අන්මත නොඉවසන තැනකට ඒම, ගැ‍ටුම් වල අවසන් ප්‍රථිපල (පුවත් මවන්නන් බහුල වුවද) අර ඉහත කී ස්වාභාවිකත්වය එහි සාමාන්‍යය ඉක්මවා යන්නට හේතු වි නොමැතිද?  නිර්නායකයන් විශ්ලේෂණයන් ඉහවහා යන සමාජයක එහෙම වීම විස්මිතය.  ගරුසරුව බලාපොරොත්තු වන්නේද බලහත්කාරයෙනි - එසේ නොමැතිවීම උහුලාගත නොහැකි අපෙක්ෂා භංගත්වයක් හිතේ ඇති කරයි. පෙරකී ගැ‍ටුම් වලට ආදි සිසුන් මුල් වී ඇති බවක් පෙනී යන්නේ වීඩියෝ දසුන් නැරඹීමෙනි.

මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් විසින් දියත් කල 'ධර්ම විජය පදනමේ' තේමා ගීතය අපූරු එකකි. එය පටන් ගන්නේ 'මිනිසා මිනිසට එරෙහිව එන්නේ - සිතුවිළි නපුරට හැරෙන නිසයි' යනුවෙනි. සාහිත කලා ඇත්තේ ආවේග පරිපාලනයටැයි සිතමි - ඒවා කෑමට නොහැකි නිසා ඉවතලන්නට නොවේ! කෑමට නොහැකි දේ ඉවත ලමුයැයි වහසි බස් දෙඩූ මාවතේ ඉන්දවූ පැල දැන් පල බරව අතු නැවී ඇත. 'නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතී' කියන අයියලාට වඩා නංගීට ප්‍රථමයෙන් සියල්ල කඩාගෙන තමගෙට ගන්නට දැන් අයියලා උත්සුකය.

ආවේග මටසිලිටිව, සමාජයට හානිදායක නොවන මට්ටමකින් එලිදක්වන්නට ඇවැසි සාහිත කලාවන්හි නිර්මාණයන් එලි දක්වන්නට තරඟයක් තිබිය හැක්කේ එක්කෝ තරඟය අවසානයේ ත්‍යාගයක් ලැබෙන බවට තරඟ සංවිධායකයින් දැන්වූ විටය. එසේ නැත්නම් ඕනෑ කුණු කන්දලයක් සල්ලි කරගත හැකි පරසරයක් තුලදීය. "නිර්මාණ කුසලතාව" ප්‍රදර්ශනයට ඇති තරඟයන් දැකීම මෙකල බෙහෙවින් උගහටය. වික්ටර් රත්නායකයන් "වදාරන්න පෙර හදාරන්න ඕනේ" කියා නිකම් සිටියේ නැත. හදාරාම වදාරා මුලු රටක්ම කුල්මත් කලේය. රත්න ශ්‍රී විජේසිංහයන් කියන්නේ 'අලුත් දෙයක් බිහිකරමු' උදාන ගී ගයන්නන් මුලින් 'පරණ' දේ හැදෑරිය යුතු බවය. නැත්නම් 'පු‍ටුව' හදන්නේ මොකක් කඩාදැයි යන්න තමන්ටවත් තේරුම් ගත නොහැකි වන නිසාය.

අප රට සාහිත කලා 'දියුණු' මට්ටමක එදත් අදත් තිබී නැති බව වර්ථමානයේ නොයෙක් තැනක කියැවේ. අපේ රටේ සංගීතයේ මුල් සොයා ගිය සී ද එස් කුලතිලකයන්ද ඉන්දියාවෙන් මුදුන් මුල මතු කර තම හැදෑරිල්ල කෙලවර කර ඇති බවෙක්ද කියති. පොත්පත්වල කුමක් කියවුනිද එතුමා අතින් අලංකාර අපේම යැයි කිව හැකි ගී කිහිපයක් නිර්මාණය වී ඇත්තාසේම, ඒවා සොයන්නන්ට අත්හදා බලන්නන්ට ගුවන් විදුලි සංස්ථාව හරහා විසල් මංපෙත් විවර කලේය.

සමහර සිංහල ගීත රචනා හෙමින් සීරුවේ විමසා බලද්දී, ඒවායේ තිරයෙන් එබී බලන සුරූපිනියන් සේ, මටසිලිටි සිංහල ජන කවි සාහිත කෘතීන්වල වල කොටස් සූක්ෂමව සඟවා ඔබ්බවා ඇති බවක් දැකිය හැක. මෙබඳු දස්කම් පාන්නට මහැදුරු සුනිල් ආරියරත්නයන් බෙහෙවින්ම සමත්කම් පායි. ඊලඟට මතකයට එන්නේ කේ ඩී කේ ධර්මවර්ධනයන්ය. අජන්තා රණසිංහයන්, ධර්මසිරි ගමගේ ශූරීන් අපහසුවකින් තොරවම සම අසුන් වල ගෞරවයෙන් වාඩි කරවිය හැක. මනස හෙමින් සීරුවේ දිගහැරෙන්නට සලස්වන ඒ නිර්මාණ 'දෙගොඩ තලා' යන ගංගා නොවී 'හෙළදිව රස දහරින් නලවා' හෙමින් සීරුවේ ගලා බැස යයි.

නන්දා පතිරණ ගයන මල් වනේ රෝස කැකුලු ගීය ගාමිණී විජේතුංගයන් අතින් නිමැවුණද පෙලහර පාන්නේ තනු නිමවන බන්දුල විජේවීරයන්ය.
ඒ රිටිගල ජයසේනයන් සමග පටලැවුණු ගෝඨයිම්බරයන්ගේ ඒ රූමත් බිරින්දෑ පසුව අලකලංචියට පත්ව ගයන ගෝඨයිම්බර වැලපුම ඇසුරෙනි.

"බස්මනං අසුර රජුගේ සොහොනෙ ඉපදුනේ [මල් වනේ රෝස කැකුලු මැදින් මට පෙනේ]
තිස්දහස් පිරිවර හර රජව සිටිමිනේ                 [නිල්වලා යහන් ගැබේ කිරි සිනා දිලේ]
ඉක්මනින් ගෝඨයිම්බර සමඟ යුදවුනේ         [වන් සැනේ සෝක තැවුල් නිවාලන මෙනේ ]
දිස්වෙමින් ඔළුව නැතුව නිදිද හිමියනේ"        [එනු මැනේ මගේ යහනට ඇත ලොවින්නේ]

"රුක් අත්තන මල මුදුනේ බඹරු නටන සැන්දැවේ.." ගීයද උකුසා වන්නමේ මනහර රිද්මයෙන් ගැයෙයි - එය නන්දා මාලිනියගේ කදිම වික්‍රමයකි!!!
-----------------------------------------------------------
මර්වින් සිල්වා අමැතිතුමාගේ ගර්හාවට ලක්වුණු අඹන්වෙල නිළමේගේ කවි ගායනාද කර්ණ රසායන ගී බවට පත්ව ඇත. ඒ නිර්මාණය වී ඇත්තේ අඹන්වෙල රාළගේ දරු නැලවිල්ලක් ඇසුරෙනි.

"චන්දෝපම බිලිඳේ නුඹ නාඬන් - ඉන්ද්‍රෝ කමලක නිරිඳුට දාවු
බයි බාලොලි නාඬන් බිලිඳේ

දැන් දෙවියන් මට දුන් තුනු රූපා - චන්දන කුංද සමන් සිරි සේපා
වන් පිරිසිදු යස සිත් සු මනා පා - මන්මද දැන් දරු පෙම් බැඳි රූපා

පැන්න තැනම කුකුළන් හඬලනවා - කන්නට බත් ලැබ ඌ  සැම තෑනා
ගොන්න ගහේ හිඳ හා හං ගානා - ඔන්න ඇවිත් පැනපිලු බකමූණා
"

අඹන්වෙල රාළගේ තවත් ප්‍රසිද්ධ කාව්‍යමය සාක්කියක් ඇත...
රෝහණ බැද්දගේ ශූරීන් මේ මදක් කපා කොටා කදිම තනුවක් යොදා ගායනා කරත්...

"ඔහොයියා අවුල් නාද සපිරිවර්ධනේ - දින දින සපිරිවර්ධනේ...

කළුත්, සපුත්. සවුන්දරිත් - ලමිත්, කුමිත්, සුමිත්තරිත්,
කිරිත්, ගිරිත්, පවුත්තරිත් - ඇවිත් කළ රොසේ - ඔහොයියා.....
පසුත් පෙරත් දෙයත් වරත් - රකිත් සිටිත් අනිත් බනිත්
ගසත් ඉසිත් ගලුත් වැලුත් - මමත් දුටු ලෙසේ - ඔහොයියා.....

පින්නගමුවේ දුරයගෙ අඹු - පින්නමලිට බැන සරොසින්
පෙන්න කෙළිගෙ පුතෙයි කියා - ඇවිත් ලංව මා - ඔහොයියා.....
ඔන්න මෙමාගේ රඟ දැන - ගන්න කියාලා තොඟ තොඟ
තොංඟන පදයෙන් ඔලුවට - ඇන්නෙ බිම දමා - ඔහොයියා.....

ඇඹුල් දෙනියෙ කිරාගෙ අඹු - දිඹුල් මලිට ඇන්න ටොක්ක
බුබුල් නැඟිනි ඉස හැම තැන - ඇඹුල් දෙසි ලෙසේ - ඔහොයියා.....
නැඹුල් යකුට නිති පුදකොට - එකල් දියඟු දිවගෙන ගොස්
දිඹුල් දියට කඩන් පැනපි - කිඹුල් මොටෙකුසේ - ඔහොයියා.....

නල්ල ගෙදර සෙල්ලගෙ අඹු - එතැනම සිට ගුල්ලො නොවිඳ
ඉන්නක් ගෙන බල්ල කියා - ගැසී නොවලසේ - ඔහොයියා.....
ඉල්ල කකා ආඬින් වෙත - කොල්ලසේම ගොස් දියෝගු
බල්ල සේම පැනපිය ගොස් - වල්ල කැලයටා - ඔහොයියා.....

ටොක්ක නොකා ඉන්නා බඩ - බක්ක කියන එකාගෙ දුව
අක්ක නුඹත් එන්නෙද - අන්නක්ක නෙලුමටා - ඔහොයියා.....
කෙක්ක අගින් ඇන්න කලට - හක්ක දෙපිට දත් පෙනුනිය
ටොක්ක නොකා පැනපිය - ලිබ්බොක්ක ඇතුළටා - ඔහොයියා.....

වත්තල කළුවාගෙ අඹුව - තිත්ත කථාවෙන් බැණ බැණ
වත්ත මැදෙහි තිබුණු කිතුල් - පිත්ත ‍ගණිමිනා - ඔහොයියා.....
පැත්ත පිටට දුන්නේ - සම් පොත්ත ඉගිලි හඬක් ඇසුණි
අත්තන කැලයට දිව්වේ - චිත්ත බියගෙනා - ඔහොයියා.....
"
---------------------------------------------------------------------------
අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියනට පිදෙන යාතු කර්මයකදී ගැයෙන කවක් ධර්මසිරි ගමගේ ශූරීන් අත මනරම් ගීයක් වන්නේය...  
දෑල දිලී අළු ගෝමර රේඛා         [දෑල ළමැද රන් ගෝමර රේඛා]
සලා ළමැද රන් පරදනු රේඛා
නීල පළිඟු බැඳි දුනු පට රේඛා      [නීල පලිඟු කැට නෙත් මිණි රේඛා]
බාල චන්දවන් නළලත රේඛා      [බාල චන්දනී නළලත රේඛා]

සවනත කිනිහිරි මල් පෙති රේඛා [දෙනෙතෙහි නිලුපුල් මල් පෙති රේඛා]
ලවනත බඳුවද දත් කොඳ රේඛා
දෙවුරත ගජ කුඹු බුජ වැල රේඛා
උදරත වද රන් රූබර රේඛා.."
---------------------------------------------------------------------------
මේ තවත් සුනිල් ආරියරත්න/ සරත් බාලසූරිය /නන්දා මාලිනී සුසංයෝගී වූ සොඳුරු ගීයකි... ප්‍රේමයේ නියත දුක්ගින්නෙන් මිදීමට මීවිත සොයාගිය 'ඔහු' දෙස දෙස බලන දයාර්ද්‍ර බැල්මකි ඒ...

"සිරි පොද වැස්සේ රාත්‍රියේ - පහන් කණුව යට ඔබ හැමදාමත්
‍රැගත් සුරා පිරූ විතින් - පුවත් නොදැන බමන ගතින් - සුරත් තඹුරු පෙති සේ දෙනෙතින්

සංවේගයේ දළ රල පෙල කැළඹේ - සංසාරයේ ප්‍රාර්ථනා වැළලේ
මේ මොහොතේ ඔබ දෑස දකින්නේ - ප්‍රථම ප්‍රේමයේ ස්වප්නයදෝ

සංග්‍රාමයේ පරදුණු සෙබලකු සේ - සන්තානයේ දුක බිය සැක මතුවේ
වියෝ වියරුවෙන් සිරුර දවන්නේ - බිඳුණු ස්නේහයේ වෛරයදෝ
"

ගුත්තිලයේ තැනෙක "රැගත් සුරා පිරූ විතින් - සුරත් තඹුරු පෙතිසෙ නෙතින් - පුවත් නොදැන බමන ගතින් – නටත් අයෙක් සුරා මතින්” ලෙස ඇත . පුර වැනුමක් කවියා අත ස්නේහවන්ත බැල්මක් වී ඇති සැටි!!

මා සැලළිහිණිය මුලුමනින්ම කියවා නැති වුවත් "විළිකුන් සුරත් ඵල වැනි වේ රිවි මඬල" යන්නේ කොටසක් ගෙන "දෙඅදර විළිකුන් සුරත් පලේ - පෙම් මදිරා අයදිමින් සැලේ" ගෙතී ඇතියැයි සිතමි.

"හැකිනම් විසඳන්න" යැයි මෙන් භක්ත්‍යාදරයෙන්  කුහුළින් පිරිණු සරල ගී රසිකයින් වෙත පිදූ මේ ගීය පැරැණි සාහිත සංකේතයන්ගෙන් අතිශයින්ම විචිත්‍රය.  සසඳාවත, කෝකිලය, ජාතක පොත, කව්සිළුමිණය ආදියෙහි තැනින් තැන ඇති යෙදුම්, මෙසේ එක් හුයෙක ඇමිණීම, සාහිත්‍යයෙහි කිසිසේත්ම වියත් බවක් නැති අප වැනි දුහුනන්ට වුවද මහත්මවූ ප්‍රමෝදය ගෙනදෙන්නකි.

"සඳැස් විදා මොණරු නටති මේඝ වලා පාවේ
වලා වැලෙන් ගෙලේ වැටේ මලිගිය මල් මාලේ
සහ ගුම් බිඟු පේලි සැදී නගත මධුර නාදේ
මල් ගොමු තුළ නිල් පලු දල යහන් නිබඳ සෑදේ...

ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
සුරත් සහන්එළි දැල්වේ දෙනුවන් මිණි පානේ
ලඹ දුන් සපු දුණුකේ මැද පිපුණු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් හඳ පානේ
"
-------------------------------------------------------
තාරුණ්‍යයේ අසිරිය කියැවෙන මේ ගීයද සුනිල් ආරියරත්නයන්, ජයතිස්ස අලහකෝන් සංගීත වේදියානන් හා නන්ද මාලිනිය සුසංයෝගයකි...

"කුරවි කෙවිල්ලන් පානා ඉඟි බිඟි - නෑ නෑ මෙතෙක් පෙණුනේ - නෑ නෑ මෙතෙක් දැනුනේ
පද්ම තඩාගේ පුෂ්ප සුගන්දේ - නෑ නෑ මෙතෙක් දැනුනේ -
නෑ නෑ මෙතෙක් දැනුනේ

තුරු හිස ගුම් දෙන වාදන වෘන්දය - භෘංග හඬින් වයතී
ඉන්ද්‍ර දිගින් එන චන්ද්‍ර කුමරියෝ - මන්ද්‍ර සරින් ගයතී
නිර්මල ජල මත මල්වර රළ පෙල - මදන මතින් නටතී

ගගන තලාවේ කුසුම ගුලාවේ - පොපියන්නේ යෞවනයයි
ගොපලු නලාවේ දුලන නිලාවේ - පිබිදෙන්නේ යෞවනයයි
විගඟ විලාපේ කඳුළු   කලාපේ - නලියන්නේ යෞවනනයි
"

සැඟවී ඇති ඉඟි බිඟි දු‍ටුවාද???
-------------------------------------------------------------------------------
මේ ඉක්මනින් මගේ මතකයට එන සිංහල ගී රචකයන්ගේ පැරැණි සිංහල සාහිත පොත පත ඇසුරෙන් බිහිව ඇති සොඳුරු නිර්මාණ ස්වල්පයක්ය.
මෙයින් නිර්මාණකරණය පැරණි සාහිතයට ගැති බවක් දැක්විය යුතු බවක් කෙසේවත් නොකියවේ. එසේ වූවානම් අරිසෙන් අහුබුදු සූරීන් අතින් සංදේශය චිත්‍රපටිය සඳහා "පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා - සතුරු රාජ මාරයා මුලු ලෝ අල්ලන්න වීරයා" වත් මහගම සේකර සූරීන් අතින් ගැටවරයෝ සිත්තම සඳහා "ගන්න ගන්න මාගෙ රූපේ මං ෆොටෝජෙනික් - හාරිච්චි බෝරිච්චි" වත් නිමවෙනු නොමැත. 
Read More!

ජය කේලි බන්දන සිරි දේවි කැන්දන...



"සිංදු පහයි පයිට් දෙකක් ඇති 'ජීවන ගංගා' චිත්‍රපටිය, පවුලේ ඇත්තේ කෙට්‍ටු තුන් දෙනෙක් නම්, කෑලි තුනේ එක පු‍ටුවේ හිඳ හිරිකිතයක් නැතිව බැලිය හැකි, 'පවුලේ' වර්ගයේ එකකි. එහි ඇති  'නුපුබුදු තැඹිලි මල්' දර්ශන එකකින් දෙකකින් වත්, සිකැරට්  අරක්කු බොන දර්සන කිහිපයකින් වත්, කාගේ වත් හිරි ඔතප් බි‍ඳෙන්නට කාරණා නැති තරම්ය. ෆරීනා ලායිගේ මනස්කාන්ත ‍රැඟුමකුත් ඇත. රොබින් ප්‍රනාන්දු හා විල්සන් කරූ අතර 'තග දාන' දර්සනය, කාලෙකින් අසාගත හැකි දෙබසකින් වර්ණවත්ය. ඉන්පසු 'ඩුෂා...!' ලෙස සටන ඇරඹේ. 'තාන තිනානේ තර‍ඟෙට ගහන රබානේ - රණ මොණරු නටවලු තර‍ඟෙට කිඳුරු විමානේ - දොන් දොන් දොන් දොන් දොන් හරමානිස් - බලාගෙනයි දැලේ වැටෙයි කොලඹ සුවාරිස්' - යන සින්දුව අතරතුර දැරියක් නව යොවුන් තරුණියක් ලෙස වැඩෙනවාද බලාගත හැක. 1974 දෙසැම්බර් 20 තිරගත වූ මේ සිත්තරේ දයානන්ද රුද්‍රිගු ගේ අධ්‍යක්ෂණයකි. භයානක ලෙස ඇස් ලොකු පූජිත මෙන්ඩිස්ද මෙහි සටන් ජවනිකාවකට පණපොවයි. ඇම් ඩී චන්ද්‍රපාලයන් රඟපාමින් තමාගේ 'රන් මැණිකේ මගේ - රන් මැණිකේ මගේ - ඔබ දු‍ටු දා පටන් බැඳි ආලේ' ගීය ලක්ෂණට ගයනවාද බලාගන්නට පුලුවන. දැවන්ත නළු නිළි කන්දරාවක හා දක්ස ගායන, වාදන, සංගීත මඩුල්ලක සහභාගිත්වයෙන් නිපැයූ මේ සිත්තරේ, ඔබ සික‍රැට්, අරක්කු, බීර සඳහා වැය කරන චූටි රුපියල් හයසීයක් ගෙවා නුගේගොඩ අනුලා ගෑණු ඉස්කෝලේ ලඟ ඇති තරංගා ඕඩියෝ වෙතින් මිලදීගෙන තමන්ගේ වාගේ නිමාඩු පාඩුවේ බලත හැක."
අතරින් පතර දර්සන...

හද ගී පොතට 'ජීවන ගංගා' වැදගත් වන්නේ යම් කාරණයක් නිසාවෙනි. ඒ විශාරද දායාරත්න රණතුංගයන් චිත්‍රපටි ගීතයට කල එලි බසින්නේ 'ජීවන ගංගා' චිත්‍රපටිය තුලින් වීම නිසාය. පසුබිම් සංගීතය රොක්සාමි මාස්ටර් අතින් අලංකෘත වී ඇති අතර ජස්ටින් සිල්වා හා දයාරත්න රණතුංගයන් එක්ව ගී සඳහා සංගීතයෙන් දායක වී ඇත. ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, මල්ලිකා පෙරේරා, දයාරත්න රණතුංග, නාලිනී රණසිංහ, අමරා රණතුංග යනාදීන්ගේ ගායනා වාණිජ චිත්‍රපටියකට සුදුසු සරල විනෝදාස්වාදයක් සපයයි. ආනන්ද සරත් විමලවීරයන් හා උපාලි ධනවලවිතානයක් ගී රචනාවෙන් දායක වී ඇත. එහෙත් සරල ගීයක්ම ලෙස මා නොගන්නා පහත ගීය ආනන්ද සරත් විමල වීරයන්ගේ හා දයාරත්න රණතුංගයන්ගේ ප්‍රතිභාවන්  පිලිබඳ සාක්ෂි දරනවායැයි හිතේ. පහත පද පේළි බලන්න...
ජය කේලි බන්දන - සිරි දේවි කැන්දන
නන්දන රූ සිරිනී - පොබයන
අංජන නෙත් යුග - රන්මසු රන්දන
අනුරාගී මදහසිනී - වොරඳන
කවුරුද තී සොඳුරී - කිව මැන - කවුරුද තී සොඳුරී

රාජ රාජ රාවණ පරපුරෙහී - පැවතෙන ලංකා තලයේ ධරණී
යක් සේනාපතියන්ගේ දියණී - කුවේණි කුමරිය මම කපු කටිමී
කවුරුදු ඔබ රජුනී - කිව මැන - කවුරුදු ඔබ රජුනී

පියරාජ අණසක - පි‍ටුපාල සපැමිණ - තඹවන් බිම සොයමී නිවහන
චංචල තොල් යුග - මින්දද රංගන - කල්‍යාණී මනනදනී වරඟන
දඹදිව සිට පැමිණී විජලිඳු - මම වන්නෙමි මධුරී

ඈත ඈත නිල් වනපෙත් කමණී - රාජ ඉසුරු සලසයි රජතුමණී
යක්සේනා බල සුන්කරලමිනී - රාජ කිරුළු හිස පලඳිනු මැනවී
සඳකැන් හිරුට දෙමී - අඹර මිහිතලයට ‍රැගෙන එමී

දස රාජ දහමින - හෙළ දූව සුරකිමු  - වනු මැණ පිළිසරණා කුමරිය
රන්මිණි මන්දිර දෙන්නෙමි දොර හැර - තී මාගේ අග‍රැජිනී මියුලැසි
සරසමු රන්දීපේ - දද බැඳ - සරසමු රන්දීපේ

නව සිනමා චිත්‍රපටි සමාගම විසින් ඩිජිටල් තාක්ෂණයෙන් නැවත එළිදක්වා ඇති මේ චිත්‍රපටිය මා හට ‍තෝරා දුන්නේ මාගේ බිරිඳයි. එයින් ඉහත කී ගීය සම්පූර්ණයෙන් උපුටාගැනීම නීතිප්‍රකාරව කල නොහැකි නිසාවෙන් තැවෙනා කල්හී, මා විසින්ම අවුරුදු තිහකට පමණ පෙර කැසට් පටියකට ගුවන් විදුලියෙන් පටිගත කල මෙම ගීය හමුවිය. තැනින් තැන ශ්‍රවණ තත්වයේ බාධාවන් ඇත්තේ කැසට් පටියේ පැරණි කම නිසාය. චිත්‍රපටියේදී නාලිනී රණසිංහයන් හා එක්ව ගැයූවද පහත හඩ ගොණුවේ ඇත්තේ පසුකාලීනව අමරා රණතුංගයන් හා එක්ව ගැයූ ගීයයි...

Read More!
 
Blogger Wordpress Gadgets