Showing posts with label ටී එම් ජයරත්න. Show all posts
Showing posts with label ටී එම් ජයරත්න. Show all posts

කොළඹදි කම්පලක් නැතුව සෙනගක් මරාදාලා..!

මායාදුන්න පුත් ටිකිරි රජ්ජුරු බණ්ඩාර [1581 - 1592] හෙවත් සීතාවක රාජසිංහ හෙවත් පලවෙනි රාජසිංහටත්, අවුරුදු පනස් දෙකක් රජකම් කල දෙවැනි රාජසිංහටත් [1635 - 1687] ප්‍රතිකාලුන්ට මුහුණ දීමට සිදුවිය.

පුරුතුගීසීන් මෙරටට ගොඩ බහින විට රජකම් කලේ මායාදුන්නේගේ මහප්පා වූ ධර්මපරාක්‍රමබාහුය. ධර්මපරාක්‍රමබාහුගේ අවෑමෙන් එක් බිරියක් හා එකගේ කෑ ඔහුගේ සහෝදරයන් දෙදෙනාගෙන් විජයබාහු රාජ්‍යපද ප්‍රාප්ත වන්නේය. අනෙක් සහෝදරයාවන පරරාජසිංහ හා එකගේ කෑ බිරියගේ අභාවයෙන් කීරවැල්ලේ කුමරිය විජයබා මෙහෙසිය වන්නීය. කලින් බිසවගෙන් ලැබුණු බුවනෙකබා, රයිගම් බණ්ඩාර හා මායාදුන්නේ පැත්තක තබා කීරවැල්ලේ කුමරියගේ දුවගේ දරුවාට රජකම බාර දීමට විජයබාහු කරුණු කාරණා සකස් කිරීම විජයබා කොල්ලයට මග පාදන්නේය.

බුවනෙකබා රජද පියා අනුව යමින් අත්තනෝමතික වීම මායාදුන්නේව අමනාප කිරීමට මගපාදයි. පුරුතුගීසීන්ගෙන් උදව් ඉල්ලීමට තරම් නිවට වන බුවනෙකබාහුගේ ක්‍රියාවලිය එක් පසෙකින් දොන් ජුවන් ධර්මපාල නම් බෑනෙකු බිහිකිරීම දක්වා දිවගියද අනෙක් පසෙන් රාජසිංහ කෙනෙකු බිහිකිරීමට හේතු භූත වූ බව අමතක නොකල යුතුය.

ප්‍රතිකාලුන්ට එරෙහිව කල සටන්, මුල්ලේරියාව හටන, දන්තුරේ හටන, බලන හටන, රන්දෙනිවල හටන හා ගන්නොරුව හටන නමින් ප්‍රධාන වශයෙන් හතරකි. මායාදුන්නේ බුවනෙකබාහු සමග කල ගුරුබැවිල හටනට පුරුතුගීසීන් සම්බන්දවන්නේ අනියමිනි.

කෝට්ටේ රජකල බුවනෙකබාහුගේ මරණින් පසු තම ඇණි ශක්තිමත් කිරීම සඳහා ගෝවෙන් දොන් ජීවන් අරික්කු හා පොන්සි පෙරේරා නම් පාදිලිතැන සමග විසාල සේනාවක් හා ආයුධ ප්‍රමාණයක් ලැබෙන්නේ බුවනෙකබා මුණුපුරු ධර්මපාල කුමරු දොන් ජුවන් ධර්මපාල නමින් අන්දෘෂ්ඨි වැලඳ ගැනීමත් යන අවස්ථා හා සමගාමීවය.

පලවෙනි රාජසිංහ රජතුමාට මුහුණදීමට සිදුවන්නේ පුරුතුගීසීන්ට පමණක්ම නොවේ. වීදිය බණ්ඩාර නිතර ඇති කල 'වීදියේ හටන්' වලටද අනේක ලෙස මුහුණ පාන්නට සිදුවන්නේය. සවැනි පැරකුම්බාවන් [1410 - 1462] කෝට්ටේ රජකම් කරමින් ඇතිකල විභූතිය, සාහිත්‍යාලෝකය මැකී යන්නට මේ නොනවතින සටන් හේතු වූවායැ‍යි ද සිතිය හැක. වීදිය බණ්ඩාර යනු අසීරු අවස්ථාවලදී තමනට පිහිටවූ, ගම්බිම් නවාතැන් දී සැලකූ, හත්කෝරළයේ ඉරුගල් රාජ පරපුරේ එදිරිමාන්නසූර්‍ය රජද මැරවූ කෙනෙකි.

එහෙත් සීතාවක රාජසිංහයන් සත්කෝරලේ ආක්‍රමණය කර එදිරිමාන්නසූ‍ර්‍ය රජු මැරවූ අයට දඬුවම් දී, උපකාර කල අයට කළගුණ නොසැලකූ විට සිදුවන ව්‍යසන රට වැසියනට දැනගනු පිණිස අඬබෙර ලැවීය. අවසානයේ වීදිය බණ්ඩාරට ලැගුම් වන්නේ යාපා පටුනය. එහෙත් තම රටට ව්‍යසන කල විදිය බණ්ඩාරට එහි වුසූ දෙමළ ජනයා අතින් මැරුම් කන්නට වන්නේ තනිවම නොව අඹේපිටිය නයිදේ හා විජයපාල ආස්තාන කුමාරයා ඇතුලු තවත් බොහෝ දක්ෂ සටන් කරුවන් සමගින්මය.

මායාදුන්නේගේ අවෑමෙන් ලක්දිව බලය කෙමෙන් කෙමෙන් තරකරගමින් සිටි සීතාවක රාජසිංහ සමග දරුණු සටනකට ප්‍රතිකාලුන් පිලිපන්නේ දොන් ජුවන්ගේද සහය ඇතිවය. එහෙත් නිර්භය රාජසිංහ රජු පලමුව යුදට යැවූ වික්‍රමසිංහ මැති පැරදෙනු දුටද නැවත උපක්‍රම සකසා, අතුරුගිරි කෝරලය, නව යොදුන් කෝරලය, ගිරුවාපත්තුව, තිරික්කෝවිල, තිරිකුණාමලය, පස්යොදුන් කෝරලය, අනුරපුර, හලාවත  මාතර ඈ නොයෙක් පෙදෙස්වල ජනයා එක් රැස් කොට විසාල බලමුළුවක් සාදා මුල්ලෙරියාවේ වාඩිලාගත් ප්‍රතිකාලුන්ව වටකොට පහර දිනි. දෙවැනුව, ඉසුඹුවක් ගැනීමට ඉඩ නොතබා තුමූම සේනාවක් ගෙන හදිසි ප්‍රහාරයක් දියත් කොට පුරුතුගීසීන්ට දරුණු පරාජයක් අත්කර දෙන්නේය. එහිදී රජතුමා සමගින් සටන පිලිපන් 'අත්තන්හරී අබය අලහප්පෙරුම විජයවර්ධන' මැතිදුන්ට දෙනවක පස්රට තෑගි ලෙස ලැබෙන්නේය.

නිර්මාණශීලී ගැමි කවියකුද වූ අලහප්පෙරුම කවියා යුද සේවයෙන් තම මෙහෙවර නිම නොකොට 'සීතාවක හටන' නමින් සිංහලයේ මුල්ම හටන් කවි සාහිත්‍යය අරඹන්නේ කවි 1120ක් රචනා කර ඉතිහාසයේ වැලලීමට තිබූ කාරණා රැසක් සිය ඇසින් අරුත්ගන්වා ග්‍රන්ථාරූඪ කරය. අල්ලක් දැන කන්දක් විලිලන්ට දතකන අද දවස පණ්ඩිතයන් මෙන් නොව ඔහු සිය කාව්‍යය නිමකරන්නේ නිහතමානීවවත්, අදීනවත් ලෙසය.

'එළු පාලි නොමදැන
බසින් සිංහල රැගෙන
මෙ සීතාවක හටන
කව් කල පෑය මනැන පමණිය'

ලංකා ඉතිහාසයේ බටහිර ආක්‍රමණයට අතිශය නිර්භවූත් සාහසික වූත් ප්‍රහාරයක් එල්ලවන්නේ සීතාවක රාජධානි සමයේය. සෑම රජෙකුටම තිබෙන්නාවූ යම් දුර්වල කමක් ප්‍රයෝජනයට ගන්නාවූ අවස්ථාවාදීන් එමටය. රාජසිංහ රජතුමාට කුඩා කළදීම මුහුණු දීමට සිදුවූ අභියෝග නිසා එතුමාට ආරෝපණය වූ සැහැසි බව තුලනාත්මකව දකිනට නොහැකි වූ සංඝරත්නය නිසා හේ මලබාරයෙන් ආ අරිට්ඨ කීවෙන්ඩු පෙරුමාල්ට ලංවිය. ශිව සමයද වැලඳ ගති. තමාට උදව් කල දක්ෂ සෙන්පතියකු වූද තමනට බොහෝ ජයග්‍රහණ අත්පත් කර දුන්නාවුද වික්‍රමසිංහ මුදලිඳුට වස දී මරා දැම්මවීය.

මාන්නප්පෙරුම මොහොට්ටාල නමින් අලුත් නම් ලත් මේ අරිට්ඨකී අවසන 1593 රාජසිංහ රජුගේ මරණින් පසු නවතින්නේ දොන් ජුවන් ලඟය. රූකඩයෙකු වන දොන් ජුවන් ලවා ලංකා රාජ්‍යයේ ඔප්පු තිරප්පු තමන්වෙත ලියවා ගැනීමට ප්‍රතිකාලුන් ක්‍රියාකල අතර 1597 දොන් ජුවන්ගෙ අවෑමෙන් කන්ද උඩරට හැර අනෙක් සියලු භූමිය අත පත් කර ගැනීමටද සමත්වන්නේය.

ප්‍රතිකාලුන් සිංහලයා මත ඇතිකල අධික පීඩනයට මෙකල නායකත්වය සපයන්නේ කොනප්පු බණ්ඩාරයන්ය. බලන දුර්ගයේදී බිහිසුණු සටනකින් විසාල ජයක් අත්පත් කරගන්නා හේ විසාල යුධෝපකරණ රාශියක් අත්පත් කරගන්නේ, විමලධර්ම සූරිය [1592 - 1604] නමින් දිවයිනේ පරමාධිකාරීවරයාව, යාපාපටුන, ගාලු, කොළඹ කොටුද මුදාගෙන, දෝන කතරිනාවද පාවාද ගනිමිනි!

නැවතත් ප්‍රතිකාලුන් තමනට නැතිව ගිය භාග්‍යය ලබාගැනීමට එන්නේ ජෙරනිමෝ ද අසවේදු ගේ නායකත්වයෙනි. බලන දුර්ගයේ දී කෙරුනු නොයෙක් බිහිසුණු සටන්, පසුබැසීම්, නැවත පහරදීම් වලින් නොසෑහෙන ලෙස සමන්විත විණි. විමලධර්මසූරිය රජුගේ අවෑමෙන් දෝන කතරිනාවන්ගේ සහය ලබාගන්නා හීරළුවකු වූ සෙනරත් නැමැති දුර්වල පාලකයා රාජ්‍යත්වය ලබයි.

පලවැනි රාජසිංහ අනුගාමික නිකපිටියේ බණ්ඩාර 1616 දී සත් කෝරලේ කැරළි අරඹන්නේ මේ දුර්වල පාලනයට හා දිනෙන් දින ඉහල යන පූරුතුගීසි බලයට එරෙහිවය. Antonio Bocrro නැමැති පුරුතුගීසි ඉතිහාසඥයා පවසන්නේ ලක් දනන්ගේ අසහනකාරී මානසිකත්වයට හේ කොතරම් හොඳින් නායකත්වය දුන්න්නාද යත් දින 80කින් මුලු දිවයිනේම ජනයාගේ නතුභාවය ලබාගන්නට හේ සමත්වුණු බවයි. සෙනරත් රජුගේ සෙනාංක භාර ප්‍රධානියා ලෙස අන්තෝනි බරෙත්තු හෙවත් 'කුරුවිට රාළ' පත් කිරීම සෙනරත් රජුගේ අඥාණ භාවය ප්‍රකට කරවන්නකි. හේ පසුව නිකපිටියේ බණ්ඩාර හා එක්වන්නේ සබරගමුව දක්වා කැරළි දිග්ගැස්සවීමෙනි.

සුභාෂිතය ලියූ අලගියන්න මුකවැටිතුමා පසුව දෘෂ්ඨීන් වෙනස් කොට ලියූ 'කුන්ස්තන්තීනු හටන' හී කථා නායක කුන්ස්තන්තීනු ද සා දෙවැනි වරට මෙරටට පාතබන්නේ මේ කැරැළි මැඩ පැවැත්වීම සඳහාය. දිගින් දිගටම ලක් රාජ්‍ය කොල්ලකෑම පුරුතුගීසීන් විසින් කරගෙන යන්නේ කන්ද උඩරට ආක්‍රමණය කිරීම පෙරදැරි කරගෙනය. දෙවැනි රාජසිංහ [1634 - 1687] හෙවත් සෙනරත් රජුගේ පුත් කුමරුන්, කන්ද උඩ පස් රට බලය ලබා ගන්නේ මෙවැනි වටපිටාවක් තුලය.

1638 දී පුරුතුගීසීන්ගේ බලවත් ප්‍රහාරයකට ලක්වූ දෙවැනි රාජසිංහ රජතුමා මහනුවරින් උපක්‍රමශීලීව පැනයන්නේ නුවරට ඇතුලු වූ සතුරන්ට සතරවටින් දොරගුළු දාගෙනය. නුවර ගිනිබත් කොට කොල්ල කෑ විශාල පුරුතුගීසී හමුදාවෙන් තිස් තුන් දෙනෙකු හැරෙන්නට සියළු දෙනාම බලන කන්දෙන් පිටවී යාමට තැත්කිරීමේදී රාජසිංහ හමුදාවට අසුව මැරුම් කෑහ. පුරුතුගීසි හමුදාවේ සිටි ලස්කිරිඥ්ඥා හේවායින් හෙවත් දේශීය කුලී හේවායින්ද ඔවුනගේ පුරුතුගීසි ස්වාමියා අත්හලේ මරණයට බියෙනි. හිස්ගෙඩි ගෙලින් සිඳ රණබිමෙහි ගොඩගස්වනු ලැබීය. රාජසිංහ රජ රාජ්‍යත්වය නැවත් ස්ථාවර කරන ලදී.

රාජසිංහ රජුගේ උඩරට හමුදාව, සාමාන්‍ය හමුදාව (අතපත්තු හමුදාව), යුධ හමුදාව හා අනිවාර්‍ය සේවා කොටස්වලින් සමන්විත විය. අතපත්තු හමුදාව සාමන්‍ය ගම් වැසියන්ගෙන් සෑදුනාවූ විය. විශේෂ සේවා සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙනා අගම්පොඩි හමුදාවක්ද උඩරට බලකායේ විය. පලවෙනි රාජසිංහ සමයේ මෙන්ම කලාව, සාහිත්‍යය, ආගම පිරිහීම දෙවැනි රාජසිංහ සමයේ පැවතීම තේරුම් ගැනීම අපහසු නොවේ. ඒ වෙනුවට හටන් කවි, ප්‍රශස්ති අතරින් පතර හෝ බිහිවීම අගය කල යුත්තකි. ඒ මන්ද යත් සාහිත කලා බිහිනොවන කාල වකවානුවක ඒ යුගයේ ඇවතුම් පැවැතුම් නශ්ඨාවෂේශව පවත්නේ මේ නිර්මාණ තුල නිසාය. රජතුමාගෙන් තාන්න මාන්න බලා අතිශෝක්තියෙන් වර්ණනාවන් සිදුවීම නොවැලැක්විය හැකි කරුණකි. එහෙත් රාජ්‍යත්වය ස්ථාවර කිරීමෙහි ලා ඒ අභීත රජවරුන් ගිය ගමන් මග තුල නිමැවූ මේ නිර්මාණවල ඇති ඒ නුගුණ පමණක් ඉස්මතු කිරීම නොමනා යැයි සිතමි.

පලවෙනි රාජසිංහට මෙන්ම දෙවැනි රාජසිංහට වැරදී ගියේ පෘතුගීසීන් එලවීමට ලන්දේසී සහය පැතීම නිසාය. පසුව එය වැරැදි තීරණයක් බව පැහැදිලිව ගියද ලන්දේසීන් සමග එකඟතාව රජතුමා පාඩු දරමින්ම නොබිඳි බව ප්‍රකටය. රජතුමාගේ රණශූරත්වය ප්‍රකට කරමින් කවි, සිලෝ, ප්‍රශස්ති ලියූ වන්දිභට්ටයින් අතර බුන්නෑපාන රාළ, බිංතැන්නේ සාමි, වේවැල්දෙනියේ මොහොට්ටාල, ඌවේ මොහොට්ටා යන අය බෙහෙවින් ප්‍රකටය.

රාජසිංහ නාමය වනමින් ලියූ රචනා බොහොමයකි. ඒ අතර, පැරකුම්බා සිරිත අනුව යමින් ලියූ 'පවන' හා 'රාජසිංහ වර්ණනාව' එයින් ප්‍රකටය. අඹන්වෙල රාළ මෙහෙයවූ නිලඹේ කැරැල්ලෙන් පසු රාජසිංහ රජතුමා හඟුරන්කෙත වාසස්ථානය කර දියතිලක පුර නැංවූ [1668] කාලයෙහි ලියැවුණු 'පවන' කෘතිය අමුද්‍රිතය. කාව්‍ය සාහිත්‍යයෙන් ගීත සාහිත්‍යයට ගත හැකි ගුණාංග මේවායේ ඇති බව කියැවේ. බටහිර ගීයෙහි ඇති 'කෝරස්' බඳු මුද්‍රප්පදයක්ද මේ කවි වල රඳවා ඇත්තේ ඒවා ගායනයෙන් රජතුමා පිනවීම සඳහාමය. 'ශ්‍රී නාමය', 'රාජසිංහ විරුදාවලි', 'පරංගි හටන', 'රජසිහ සිරිත' අනෙකුත් ප්‍රසිද්ධ රචනාවේ.

ඉස්තරම් ගණයේ භාෂා ඥාණයක් තිබූවෙකු යැයි සිතිය හැකි ඌවේ මොහොට්ටාල ලියූ කවක් පහත ටී එම් ජයරත්නයන් හා නීලා ව්ක්‍රමසිංහයන්ගේ මධුර හඬින් ගැයෙයි. එහි ඇති එක් පදයක් කාව්‍යයේ එක් පෙලක් ලෙස ලියැවී ඇත්තේ මාත්‍රා 52ක් පමණ එන පරිදිය:

"නොතැකුම් රුදු විරුදු අඩම්බර නොතරම් කර සිරිඳු උතුම් රඟ
සැතැපුම් සැදු මහරු විකුම් බුජ රණ මන්දිර බූපා"

ගීයෙහි මුල් පද 'රාජසිංහ සිරිත' කෘතියෙන් ගත් ඒවා ලෙස පෙනේ.



යුද්දෙටත් ඇවිත් සිඳු පිට නැව් නැගිලා - පරංගි
උන්නු මුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
අන්දමත් සොඳයි කෙරු කිසි බිසී ගාලා - කොළඹදි
කම්පලක් නැතුව සෙනගක් මරාදාලා

ලත් දනත් කියත් මහ සෙන් රට ගන්ටා - සතුරු
මත් වෙලත් දොඩත් වෙරි මත පෙන්වන්ටා
කත් ගෙරිත් මසුත් උන්ගේ පනයන්ටා - නැමද
රත් පෙලත් ඉඳිත් සියොගත බැරි වෙන්ටා

යුදයද නැංග - නෙතුරිඳු ගුම්ද
ලෙසට දිනින්ද - ගෙන පානේ
යුදට අනංග - සරගෙන ගුම්ද
කොඩි බැඳමින්ද - එයි රුසිනේ

නොතැකුම් රුදු - විරුදු අඩම්බර
නොතරම් කර - සිරිඳු උතුම් රඟ
සැතැපුම් සැදු - මහරු විකුම් බුජ
රණ මන්දිර බූපා

සතපෙම් කොඳ කිවිඳු - පියුම් වන
හිම ගිම් රිවි විලස - උදම් සහ
තැවැරුම් කර තෙදන - කොකුම් තෙන
දිගඹුන් පර තාපා

මනරම් යස කෙහෙළි - නොහිම් ලෙස
බිහිඟුම් දිගු යටග - නැගුම් කළ
සුරඳුම් තිලිනිසුරු - සුජම්පති
මනයොන් තුනු රූපා

සදහම් තෙල කෙසර - රැඳුම් වන
රණකුම් දිසි දඹදෙණි - ගම්පොල
දැදිගම් නගරාදිප - රම්යුර
නෘපසිංහ මහීපා

ඇසුරු කල පත පොත
• උඩරට නැටුම් කලාව - ජේ. ඊ. සේදරමන්
සීතාවක හටන - මහාචාර්‍ය රෝහිණී පරණවිතාන සංස්කරණය
රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය
දියතිලක නුවර - සෙනර්ත් බණ්ඩාර දිසානායක
ලංකාවේ ලන්දේසි බලය - ආචාර්‍ය එස් අර්සරත්නම්
සතර කෝරළේ ඓතිහාසික හා සාහිත්‍ය විමර්සනය- ජී. ආර් ගුණවර්ධන බණ්ඩා
කෑගලු වර්ථාව - එච්. සී. පී බෙල්
සීතාවක රාජධානියේ උන්නතියේද අවනතියේද සමහර අංශ පිළිබඳ විමර්ශනයක් - මහාචාර්‍ය රිසිමන් අමරසිංහ
Battle of Randeniwela 1630 AD - Sri Lanka Military Academy


පාඨකයන්ගෙන් ලැබුණු තොරතුරු
1. පෘතුගීසීන් හා ලංකාව | පරංගි කෝට්ටේ - මහාචාර්‍ය ටිකිරි අබේසිංහ 
2. ලක්දිව ප්‍රතිකාල් ප්‍රයත්නය - සෝමපාල උඩකන්දගේ
3. Fidalgos in the Kingdom of Kotte (1505-1656) - O M de Silva

4. පළමුවන රාජසිංහයන් පිළිබඳ අප්‍රකට ජනකතාවක්  - එම්.පී.පී.ගුණසිංහ
5. බැරැණ්ඩි කෝවිල හා පෙතංගොඩ උයන ගැන මග විස්තර - Thanoja's Dreams

සංස්කරණය 1
යුද්දෙටත් ඇවිත් සම්පූර්ණ ගීතය
[උපුටා ගැනීම සේදරමන් ගුරුන්නාන්සේගේ උඩරට නැටුම් කලාව කෘතිය - 1962/2014- එම් ඩී ගුණසේන]

යුද්දෙටත් ඇවිදින් සිදු පිට නැවි නැගිලා - පරංගි
උන්නුමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
අන්දමත් සොඳයි කෙරු කිසි බිසී ගාලා - කොළඹදි
කන්පලක් නැතුව සෙනගක් මරාදාලා

ලත් දනත් තැනින් කියත් මහසෙන් රට ගන්ටා - දෙමළු
මත් වේලත් දොඩත් වෙරිමත පෙන්වන්ටා
කත් ගෙරිත් මසුත් උන්ගේ කුණුපණයන්ටා - මෙහි
නැත් කිසිත් ජයක් යුධ කෙරුමෙන් උන්ටා
                [පිට - 148]

නොමදින් විකුම් පාලා
සැදෙමින් යුදට ජය ලන්දෙසින් සමගින් එ ජනරාලා
සමිඳුන්ගෙ භුවි පාලා
සියසේ අතින් මියෙමින් ගියෝ  යුදයෙන් ඇනුම් කාලා

රන්නා එ ලන්දේසී
මන්නා මෙලෙස පෙන්නා බලය පන්නාලීය සීසී
ගෙන්නා ඉංග්‍රීසී
දන්නා ඔවුන් ගෙන්නා බැඳල සෙන්නා අයට දාසී
                [පිට - 27]

 


Read More!

කවිකාරියේ, සින්දු 'ලියනා' ලඳේ... [ශීලා ගම්වර]

ඉරිදාට ලංකාවේ මිලදී ගැනීමට ඇති පුවත් පත් ගණන කොපමණද? සමහරෙක් මේවා ගන්නේ සුමානයම බත් බැඳීමට තරම් ගෙදර සාමාජිකයින් ඇති බැවිනි. 'ජාතික' පුවත්පත්ද, ටැබ්ලොයිඩ් ගණයේ පුවත්පත්ද රාශියකි. මැරුම්, කැපුම්, අතවර කිරීම්, පැහැර ගැනීම්, මංකොල්ල කෑම්, හිංසනයන්, හදිසි අනතුරු තළු මරා වාර්ථා කිරීමේ 'ජාතික' වගකීම හැරුණවිට සාහිත්‍යාංග සඳහා ඇති ඉඩකඩ 'යන්ත්‍ර මන්ත්‍ර', 'සාපෙ/උපෙ', 'දක්ෂ දරුවෙකු හදාගන්නේ කෙලෙසද' හා 'අනාගතය ජයගන්නා සරල විදි' වලින් සෙමින් ආක්‍රමණය කරමින් පවතී. යම් වර්ධිත අවස්ථාවක ඇති පුවත් පත් වැනි මාධ්‍යයන් වලින් පෙරා ශුද්ධ කරන ලද මතවාද වලින් නූතන අන්තර්ජාලය ආලෝකමත් කිරීම පසෙකලා, මූණු පොතේ ඇති කුණු කන්දල් වාර්ථාකරණයට ජාතික(යැයි කියාගන්නා) පුවත්පත් වල පිටුද වෙන්කරයි. සොඳුරු සිනමා නිර්මාණයක්, පොතක් පතක්, හඳුන්වා දීමට ඇති ඉඩකඩද වෙන් වන්නේ නිර්මාණය කල එකා ඉන්නා රට වුවද ලේසියෙන් හොයාගැනීමට නොහැකි රටවල වුන්ගේ නිර්මාණයන් වෙනුවෙනි. [මෙයින් ලෝක නිර්මාණ අප රට ජනතාවට හදුන්වා නොදිය යුතුයැයි නොකියැවේ - එහෙත් හඳුන්වාදෙන නිර්මාණවල, අප රට ජනයාටද හඳුනාගත හැකි, වින්දනය කර ගත හැකි, කොටින්ම කියනවානම් දිරවාගත හැකි, පොදු රුව, ගුණ තිබේදැයි බැලීමේ යුතුකමක් විචාරන්නාට හා පලකරන්නාට තිබිය යුතුය].

මේ පුවත් පත්වල කවි පිටුද ඇත්තේය. දක්ෂ ප්‍රතිභාවක් ඇති කවියන් අතෙහි වැජඹුණු මේ කවි පිටුවල නම් අදත් යම් කාන්තියක් දැකිය හැක. ඒ, එකල මෙන්ම අදද මේවායේ සකසු කාරිය, ප්‍රතිභාව හඳුනාගැනීමෙහි සමත් කවියන් අතම රැඳී ඇති නිසා විය යුතුය. සීමිත පුවත්පත් ගනනක් තිබූ දශක තුන හතරකට ඉහත පුවත් පතක තම කවියක් පලකරවා ගැනීම, තමන් ලියූ ගීයක් ගායකයකු විසින් ගැයවීම හා ප්‍රචාරය කරවීම තරම්මම අමාරු කාරියක්ව තිබිණ. ඒ මන්ද යත් රස භාව ඉහලට ඔසවා තැබීමෙහි සමත් හා ඒ සඳහා ඇවැසි නීර්ණායකයන් අතදැරූ නිර්භය කලාකරුවන් ගේ කළමණාකරණය නිසාය. 'පුංචි මස්සිනා සිටි අරලිය මල් රිකිල්ල' හා 'රූකඩ මඩු යාග පොලවල්' ඔවුනගේ කඩුලු පනින්නට අසමත් වන්නේ එනිසාමය. ඒ සියල්ලම සමගින් පුවත් පතක තමන්ගේ එක් කවියක් හෝ පලවීම කෙතරම් අහ්ලාදජනක යන්න දන්නේ ඒ නේරංජනාව තරණය කල අයමය.

කලකට ඉහත 'හද ගී පොතේ' පලවූ ටී එම් ජයරත්නයන්ගේ ගීයක පෙළෙහි ඇති අපූර්වත්වය සොයාගිය මට හමුවූයේ අපූරු තැනැත්තියකි. එක කවියක් නොව කවි සිය ගනනක් විවිධාකාර වූ පුවත්පත් වල පල කරවා ගැනීමට තරම් ප්‍රතිභාවක් ඇති ඇය, නමින් ශීලා ගම්වරයි. ඈ, ඒ. පී. ශීලා නමිනුත් ඈ විසින්ම හඳුන්වා ගනු ලබයි. ටී. එම්. ජයරත්නයන්ගේ කාරුණික මග පෙන්වීම මත මට, ඈ ඉන්නා ඉසව්ව සොයා ගැනීමට හැකිවිය. එහෙත් අවාසනාවකට මා ඈ හමුවීමට යනවිට ඈ සිටියේ භාවනා අභ්‍යාස මධ්‍යස්ථානයකය. 'අවශ්‍ය දෑ කෙසේ හෝ කරගනිම්හ!' යන බලවත් ආත්මාර්ථකාමී සිතුවිල්ල තාමත් තරුණ කාලයේ මෙන්ම අදද චිත්ත සන්තානයෙහි ඉඳහිට මතුව එයි! අභ්‍යාසයන් මදකට අත්හිටවූ ඈ ඒ මධ්‍යස්ථානයෙන් එළියට ආවාය. කලින් දිනක දුරකථනයෙන් කථා බස් කර ඇති බැවින් ඈ මා අඳුනා ගත්තාය.

"මම නම් මේ දැන් යම් වැඩකනේ ඉන්නේ..." ඈ පැවසුවාය.
'හොඳයි එහෙමනම් කථාබස් කරන්න වෙන වෙලාවක එන්නම්... ඒත් මට පින්තූරයක් ගන්න පුලුවන්ද?' මා ඇසීය..
"මෙතැන පින්තූර ගන්න එපා... එහෙමනම් ගෙදර යමු..." කී ඈ එතැන අභ්‍යාසයෙහි යෙදී සිටි තම මලණුවන්ද කැටුව මාත් සමග ඇගේ ගෙදර බලා ආවාය. සසර මග එතෙර වන්නට පුරුදු පුහුණු වන්නන් නච්ච ගීත වාදයෙන් නැවතත් මෙතෙරට ඇද දමත්දෝහෝයි යන වරදකාරී හිතත් මා සමගින්ම ඈ නිවසට පැමිණුනි.

'අර සින්දුව ලියන්න පදනම වැටුනෙ කොහොමද?' නිසසල හිතක් කළඹන්නට පටන් ගතිමි.
"ඕක 1970 විතර ලියැවුණේ... මම ඒ වෙනකොට විටින් විට කවි ලියලා තිබුණ පුවත් පත් වලට..." ඉන්පසු ඈ මට පෙන්වූයේ ඈ විටින් විට ලියූවයි කියූ කව් රචනායි. ඇල්බමයක් වෙනුවට ඈ පාවිච්චි කර ඇත්තේ පැරණි ඉංග්‍රීසි සඟරාවකි. එහෙත් ඒවා ඉතාම පිලිවෙලට සුරැකිව තබාගෙන තිබිණි.


"පුවත් පත වලට කවි තැපල් කරලා යවාපු ඒවා දින වකවාණු එක්ක මගෙ කවි පොතේ සටහන් කලා"
'ඒ අතින් කවි පොත් තියනවද තාම?' මූලික කථාවෙන් පිට පැන මං මුලා වන්නට මම කැමතිය.
"ඉන්න..." නැවත කාමරයට ගිය ඈ මා මෙතෙක් දැක ඇති අතින් ලියූ අපූරුම කවි පොත් දෙකක් මා හමුවෙහි තැබුවාය.


'එතකොට අර සින්දුවේ විස්තරේ...?'
"ආ ඔව්... ඒ කාලේ ගුවන් විදුලි වැඩ සටහනක් තිබ්බා පද්‍යාවලී කියල.. ඩෝල්ටන් අල්විස් මහත්තය, විමල් අබේසුන්දර මහත්තය එහෙම කරපු... ඕකට අපේ කරුණාතිලක හඳුවල කවියක් එවා තිබ්බා 'ආදරය විකිණීමට තිබේ' කියල... ඕකට මම උත්තරයක් විදිහට තමා ඔය ගීය ලිව්වේ 'ආදරය විකිණීමට නොවේ' කියලා..."

සත් ගිරි කුළු හිස එපිටින්
සත් මහ සමුදුරු එපිටින්,
සක්වල දේශය එපිටින්,
එන වන බඹරෝ.... 
එන වන බඹරෝ....

මලේ පියලි වරුණ සළුව ගෙතුවේ නුඹටයි...
මලේ කෙමිය මල් මුවරද පිරුවේ නුඹටයි...
මලේ සුගන්ධය පිටාර ගැලුවේ නුඹටයි...
මලේ උරුම මල වට කර රඟනා නුඹටයි...

සුදු මල්පෙති වියන යටින්,
ළහිරු කැලුම් පලස පිටින්,
නල ‍රැළි සෙන් සමග තුටින්,
එන වන බඹරෝ.... 
එන වන බඹරෝ....

මලේ තුෂර මුතු මාලය බැන්දේ නුඹටයි...
මලේ මෙළෙක සුව සයනය සැදුවේ නුඹටයි...
මලේ සුසුම වාතල පිට ‍රැඳුණේ නුඹටයි...
මලේ හැඬුම මේ වනතුරු ඇසුණේ නුඹටයි....


'පරණ පින්තූර එහෙම නැද්ද?'
සිනාසෙමින් නැවත ගෙට ගිය ඈ පින්තූර දෙකක් මා අත පත් කලාය.





'දැන් පින්තූරෙකුත් ගන්නම් එහෙමනම්?'
"හොඳයි...!"
ඒ. පී . ශීලා





* මුල් සංගීත සංයෝජනය සහිත ගීතය අසන්න මෙතැනින්

Read More!

බිලිඳු මුවින් මව් දෙතන උරා බිව්....

බැළලිය තැඹිලි ගහ වටා තිබූ පස් කන්දට බර දී ඇලවුනාය. කලින් දින රාත්‍රී පැටව් තිදෙනෙක් බිහිකල ඈ තාප්පයක් මතින් යාමට හෝ ගොස්, බඩ මැදින්ම දරුණු තුවාලයක් ඇතිකරගෙන සිටියාය. පැලුණු තැනින් බඩවැල් කොටස් එළියට ඇදෙමින් තිබිණ. ඉතා අමාරුවෙන් මාත් අප්පච්චීත් විසින් පෝර බෑගයකට රුවා ගත් බැළලිය, මාත් අපේ ගෙදර ඇත්තනුත් විසින් පශු වෛද්‍යවරයකු වෙත ගෙන ගියෙමු.

කාරුණික වෛද්‍යවරයා ඇයව සිහි නැති කොට, පරිස්සමින් පැලුණු තැන එක්කොට මසා, කෑමට දමා දෙන්නට යැයි බෙහෙත්ද නියම කලේය. පැටවුන්ගෙන් ටික දිනකට වෙන් කර තබන ලෙස උපදෙස් ලැබුණේ බෙහෙත් වල සැර නිසා විය හැක. අප ගෙදර ආවේ දිනක් වියැති අසරණ පැටවුන් තිදෙන බලාගන්නේ කෙළෙසකදැයි කල්පනා කරමිනි.

එවකට දෙවැනි දරුවා කුසට විත් ගෙදර ඇත්තන්ට මාස තුන හතරක් වන්නට ඇත. ලොකු දරුවා නාවන්නට ඇගේ පියා සාදවා දෙන ලද බංකුව කුස්සිය මුල්ලේ තියා වාඩිගත් ඈ, දියකර පිටිකිරි බඳුනක් සාදා කුඩා පහන් තිරයකින් වරකට එකා බැගින් ගෙන අර කුඩා පැටවුන්ට පෙවීය. දිනකට කිහිප වරක් බැගින් කල මේ කාරිය නිමවූයේ බැළලිය තරමක් සුවපත් වී කිරි දෙන්නට සුදුසු තත්වයට පැමිණුනු පසුවයි. ඉල්ලා හෝ කතාකොට කෑම ඉල්විය නොහැකි අසරණ සතුන්ට කෑම බීම ලබාදීම, ආත්ම සියයක් ආයු, වර්ණ, සැප, බල, ලැබෙන්නට හේතු වන බව "දක්ඛිණ විභංග" සූත්‍ර විග්‍රහයකදී මා අසා ඇත.

තම දෑතින් ඉතා අලංකාර ලෙස නිම කල සිවුරු ද්වය තෙවරක්ම බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ ප්‍රජාපතී ගෝතමිය බෙහෙවින් දුක්වූවාය. එම සිවුරු සංඝයා වහන්සේලා වෙත පූජා කල මැනවැයි වදාලේ, දානය වුවද ඇල්මක් හරහා සිදු නොකල මනා නිසා විය හැක. කිරිමවුන් ලෙස සිදුහත් කුමරා ‍රැක බලා ගත් අයුරු මෙනෙහි කරමින් ආනන්ද හිමියන් කල ඇවිටිල්ල නිසා ප්‍රජාපතී ගෝතමිය වෙනුවෙන් "දක්ඛිණ විභංග" සූත්‍රය දේශනා කල බව ප්‍රකටය. සිදුහත් කුමරාට පස් දිනක් බාල වූද, තම කුසින් වැදුවාවූද,  නන්ද කුමරුවන් කිරි මවුන්ට භාර දී, තමන්ගේම දරුවා සේ සිදුහත් කුමරුන් ‍රැක බලාගත් ප්‍රජාපතී ගෝතමිය අවසානයේ බුද්ධ ශාසනයේ පළමු භික්ෂූණී උපසම්පදා පදවියෙන් පිදුම් ලබන්නට වාසනාවන්ත වූවාය. අෂ්ට ගරුධර්ම පිලිගනිමැයි ප්‍රතිඥා දුන් පසු, ඇය ඒ ලැබුයේද සිදුහත් කුමරුන්ගේ කිරිමවුන් වූ පිනින්ම නොව, සෝතාපන්න වී සිටියද, යොදුන් ගනන් දුර ගෙවා ඉදිමුණු පාදයෙන්, දූවිලි වැකුණු දෙපයින් විත් කල ඉල්ලීම් දෙවරක්ම ප්‍රතික්ෂේප වුණු නිසා දොම්නස්ව කඳුලැල් සලා ඉදිමුණු දෑසින්ද යුතුව කල උත්සාහයන් නිසාය.

තම කුසෙන් වැදූ දරුවන් නොවූවාට දරුවන් කෙරෙහි වූ මහත්ම ආදරයෙන් දරුවන් රකිනා මව් වරුන්ද, ඔවුනට සෙනෙහසින් හරි මග කියාදී සිප් සතර බෙදා දෙන ගුරු මවුන්ද මා සිහිපත් කරන්නේ අප්‍රමාණ භක්තියකිනි. කුසල අකුසල කර්මයන් හෝ වෙන අන් යම් හේතුවක් නිසා උපතින් කායික හෝ මානසික වශයෙන් වෙනස් දරුවන් කිසිත් අඩුවක් නොකොට සිය ශක්ති ප්‍රමාණයෙන් ‍රැක ගන්නා මව්වරුන්  ගැන පුවත් පත් වාර්ථා තුලද, දන්නා අඳුනන මිනිසුන් අතරද දුලබ නොවේ. මේ කාරිය කොතරම් නම් දුෂ්කරද? එමෙන්ම ඒ කොපමණ ශ්‍රේෂ්ඨද? එය දයාර්ද්‍ර වූ ස්නේහයයෙන් පිරි සිතකටම කල හැකි කාරියක්ම බව පමණක් දකිමි. අවසන් විනිශ්චයේදී ගෲෂා දරුවා අතහැරියේද දරුවාටම ආදරයෙනි.

බිලිඳු මුවින් මව් දෙතන උරා බිව්
කිරි සයුරට කල ගුණ පිදුණේයා
  ප්‍රජාපතී මාතා දුන් සෙවණට
  මෙසඳ එමව් බුදු පුත් සෙවණේයා

මිණිමුතු මිරිවැඩි සළුපිළි බරණින්
එසඳ එමව් කුමරුන් සරසායා
  උතුම් මෙතුන් ලොව කසාවතින් යළි
  මෙසඳ එපුත් කිරි මව් සරසායා

සුමියුරු තෙපුලින් නැළවිලි කවකින්
එසඳ එමව් තම පුත් නලවායා
  මෙසඳ එමව්හට බුදුබණ පදයෙන්
  නිවන්පුරේ රන්දොර හැරුණේයා




bilindu muwin maw
සොයාගන්නට ඉතා අපහසු ගීතයක් වූ මෙය සොයා, සුමට ලෙස කැසට් පටියෙන් ඩිජිටල් තාක්ෂණයට නගා, අප හා බෙදා හදා ගත් ආචාර්‍ය නිමල් රත්නායක මහතාට ගෞරව පූර්වක ස්තූතිය.
Read More!

මා වාගේ ලඟින් උන් මා වාගේ...

මා වාගේ ලඟින් උන් මා වාගේ...
සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ...
ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ....
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ...
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ...

කාගේ හෝ මුසා බස් හින්දා ඈ...
මා හා ඈ බිඳී ගියා වාගේ....
මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ.....
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ..
‍රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ...

පෙරදා උදයේ ඈ මා අසලම වූයේ...
ඊයේ වෙන දැතක පැටලී උන්නේ....
ලං වී තව කුමරෙකු හා පියවර මැන්නේ....
හෙට රෑ කොහි නවතීදැයි නැහැ දන්නේ....

මා වාගේ ලඟින් උන් මා වාගේ...
කීවේ දුක් කෙනෙක් උන් මා වාගේ...
ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ....
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ...
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ...

කාගේ හෝ මුසා බස් හින්දා ඈ...
මා හා ඈ බිඳී ගියා වාගේ....
මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ.....
‍රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ..
‍රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ...

පායාවී සඳක් තව පායාවී...
පීදේවී කුසුම් තව පීදේවී....
ආදරේ ඉල්ලා පෙරදා ඈ මාගේ...
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ...
පායාවී සඳක් තව පායාවී...
පීදේවී කුසුම් තව පීදේවී....
පායාවී සඳක් තව පායාවී...
පීදේවී කුසුම් තව පීදේවී....
Read More!

මාළිගාවක රන් ලෙනේ....

මාළිගාවක රන් ලෙනේ....
හිමකුමරිය සේමා...
මා ලඟයි ඇය දැන් බිඳී...
අප වෙන්කල සීමා...
අප වෙන්කල සීමා...


අප හමුවී යළි වෙන්වූ....
පෙර දිනයේදී මා තැවුනා....
මතකයි... දවසක් දා...
පෙම් නගරේ... මල් වැරුනා...


කුරුළු පැටව් තුරුලුවෙලා....
අහස සිසාරා පියඹන දා....
පෙරදා විලස අපී...
හමුවෙමුදෝ පෙම් නගරේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න [Download]...
Read More!

අයියණ්ඩියේ සීරුවේ වැල් පොටේ බසීන්..

මට දැනුන හැටියට පුදුමාකාර ලස්සන ගීයක් මේ... හැත්තෑව දශකයේ ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය අලංකාර කල තවත් ජනගීයක්... ඒවාට වැඩි හරියක් පණ පෙවූ ටී එම් හා නීලාගේ හඬින්... අපේ ජන ගී ඇසුරෙන් හා නවතම අත්හදා බැලීම් වලින් සමන්විත වුණු "පර්යේෂණ ගී" නමින් බිහිවුණු ගී ගොන්නට ආචාර්‍ය සී ද එස් කුලතිලකයන් විසින් නිර්මානය කරන ලද ගීයක්.... ගීයේ පදනම ඹමර කැඩිල්ල... බලමු කොයි තරම් අව්‍යාජවට ඒ හැඟීම් ප්‍රති නිර්මාණය කරලා තියනවාද කියලා... මටනම් හැ‍ඟෙන්නෙම නෑ මේ ගායක ගායිකා යුවලක් කියලා.... එක තැනක්දී නීලා "හයියෙන් අල්ලන් අයියේ වැල් තොටිල්ල..."යන්න නොඉවසිලිමත් අයුරින් ගයන්නේ.... හැබෑවටම කෙනෙක් වැල් පොටේ යන්න වාගේ... හිතා මතාම කලාද කියා තේරෙන්නේ නෑ... ඒ වගේමයි අවසන් හරියේදී අද අපට පැණි නොදෙයිද යන්න බොහෝ දුක්බරවත් ගායනා කරනවා... මං අසා ඇති ගී අතරින් අසාමාන්‍යම ගීයක් හැටියට මම දකිනවා... පපුව හිරකරන ශෝකී රාවයක් හෙමීන් නැගෙන බටනලා හඬේ තියනවා... "අපේ ජනගීයේ ස්වර කීයද ඇත්තේ... ඒවායින් මොනවද කලහැකි නිර්මාණ..." යැයි කියූ කේමදාස ශූරීන් මෙ ගී නාසා තිබුනාදැයි මම කියන්න දන්නේ නෑ... එහෙම නැතිනම් සංගීතය හදාරපු නැති මං වාගේ අයට හොඳින් ගෝචර වන ගී මේවා වන්නටත් පුලුවන්... බලන්න ඔබටත් රස විඳින්න පුලුවන්ද කියා මේ ගීය....

බැද්ද වටට සුදු මොරමල් පිපීලා...
සද්ද කර ඒ ඹමරු ඒ වග කියාලා...
ඉටීත් පැණීත් ලොව සැමටම බෙදාලා....
යන්නාන් ඹමරු දුක් මැසිවිලි කියාලා...

කන්දේ දෙයියන්ට පින් දීපන් නැනෝ...
පින් දෙඤ්ඤං අයියන්ඩී පින් දෙඤ්ඤංකෝ...
කොල අතු කපාලා එල්ලන්කෝ නෑනෝ...
එල්ලඤ්ඤං අයියණ්ඩී එල්ලඤ්ඤංකෝ
අයියාණ්ඩියේ සීරුවේ වැල් පොටේ බසීන්...
මාද්දේ ගලට වැහි වැහැලා.....
අයියණ්ඩියේ සීරුවේ වැල් පොටේ බසීන්...

ඹමරුන්ගේ සුවඳ හෙල වටේට...
උන්ගෙන් ඇති වරදක් නෑ අහිංසකයි...
හයියෙන් අල්ලන් අයියේ අයියේ වැල් තොටිල්ල...
කන්දේ දෙයියන්පල්ලා එල්ලෙඤ්ඤංකෝ...
දුක් මැසිවිලි කියාන්නේ කාටද ඹමරෝ...
සැමැදා අපට දෙන පැණි අද නොදේදෝ...
දුක් මැසිවිලි කියාන්නේ කාටද ඹමරෝ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....
Read More!

ගාථා අසන්නට වර රත්නවල්ලියේ...

හුලවාලි චිත්‍රපටිය බොහෝ දෙනෙක් බලලා ඇති නෙව... මේ හුලවාලී කියන්නේ රොඩී ‍රැහේ නායකයා... රොඩීන් කියන්නේ රාජකාරි ක්‍රමය මත පදනම් වූ කුල පරපුරක, කිසිවෙක් ඒ තම පරපුරට සම්මත වූ සිරිත් විරිත් වලට පටහැනි යමක් කල විට පලවා හැරි, ඈයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායම්ය කියා මම කියවා තිබෙනවා... ඔවුන්ට නිෂ්පාදනයේ යෙදෙන්ටත්, උඩු කය ආවරණය කිරීමත් තහනම් වුනාලු... තව තැනෙක කියවෙන හැටියට ඔවුන් ඉන්දියාවේ සිට පැමිණි යම් දඩයම් කාර ගෝත්‍රයක්...

පුරාණ ජනකථාවල හැටියට පැරකුම් රජ්ජුරුවන්ගේ මුලුතැන්ගෙට මුවමස් සපයන දඩයම් කාරයාටත් දවසක මුවෙකු සොයාගන්න බැරිව මුණ ගැසුනු දරුවෙකුගේ මස් ගෙනැවිත් දී තිබෙනවා... ඒ මස් ආහාරයට ගත්තු පැරකුම් රජුගේ දියණියට කෙසේ හෝ මේ මසෙහි විශේෂ රසක් දැනිලා හැමදාම ඒවා ගේන්න මස්වැද්දට අණ කලාලු... රටේ දරුවන් එකින් එක අතුරුදන් වෙනකොට, පැමිණිලි එනකොට, රජතුමා මේ ගැන සොයා බැලුවලු... කාරණව කොහොම හරි දැනගෙන සියලු රාජ වස්ත්‍රාභරණ ඉවත් කොට චණ්ඩාල කුලයේ ඇත්තකු ගෙන්වා පාවා දී තම කුලයෙනුත් මාලිගාවෙනුත් පලවා හැරියාලු... ඉන් පසු ඔවුන් රොඩී කුලයට වැදගත්තද රජකුමරියක් නිසා ඔවුන් ඇයට විශේෂ තැනක් දී තියනවා... ඔවුන් ගේ පූජා ගායනාවන්ට මේ රත්නවල්ලි කවි එකතු වන්නේද එහෙමයි කියා කථාවකුත් තියනවා...

මේ රත්නවල්ලිය අනුරාධපුරේ තෙලඹු ගසක් ආස්‍රව වාසය කිරීම නිසා එතැන රොඩී ජනයා පූජා පවත්වන ස්ථානයක් වන්නට ඇති... දු‍ටු ගැමුණු රජතුමාට "ඔබේ නමින් සෑය බඳිමි, විමාණයෙන් බසිනු මැනවි..." කියා කියන්නට වෙන්න ඇත්තේ අර ජනයාගේ විස්වාසයන්ට එකහෙලා විරුද්ධව කටයුතු නොකල නිසා වන්නට පුලුවන්... "හොඳයි ඔබේ නම යොදන්නම් වැඩේ කරගන්න ඉඩ දෙන්නකෝ ..." කියලා පොඩි පහේ සම්මුතියකට එන්ටෑති.... .

ඊට අමතරව, පසු කාළෙක කතරගම දෙවියෝ බවට පත්වෙච්චි මහසෙන් දෙවියන්නේ බිරිඳත් රත්නවල්ලි (පසුව වල්ලි අම්මා...?) නමින් හැඳුන්වුනාලු... බුදුන් දවස මෙරට හිටි කුම්බා නම් යක් රජුගේ දුවත් වල්ලිරාණි හෙවත් රත්නවල්ලී නමින් හැඳින්වී තිබෙනවා...

ඒ මොක වෙතත් මේ රත්නවල්ලි කවි නම් බොහොම මනෝ රම්‍යයි... ඇයගේ තේජසත්, බිය උපදවන ස්වභාවයත්, ඇඳුම් පැලඳුම් වල තිබුණු ස්වරූපයත් පිලිබඳ අපූරු චිත්‍රයක් අපට මවා දෙනවා...

නිල්බර නිල් රුකට නැගිලා උන්නු ලියේ...
නිල්බර නිල් වරළ ගවසා බැන්ද ලියේ...
නිල්බර එ නිල් අතු පැහැපත් ලාපු ලියේ...
නිල්බර තෙලඹුවෙන් බහු රත්නවල්ලියේ...

ඈත සිටන් එන්න සෙල්ලි සෙල්ලියේ...
මෑත සිටන් එන්නෙ මෙල්ලි මෙල්ලියේ...
කරේ බැන්ද පවලන් වැල නොසෙල්ලියේ...
පැරකුම් රජුගෙ දුව නව රත්නවල්ලියේ...

සීත සුලං සල් ඔලියෙල් ඇන්ද ලියේ...
බීත කරන රෝ දුක් ලෙඩ නැතිද ලියේ...
රාසි ගනන් මුතු මාලා ඇන්ද ලියේ...
ගාථා අසන්නට වර රත්නවල්ලියේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

මේ වේදනා... මේ චේතනා... විඳිනා..

නන්දා පතිරනගේ කටහඬ අපේ ආරයට කදිමට ගැලපෙන්නක්... ඇගේ ගී ස්වල්පයත් සිංහල ගී අතර මුතු මාලයක් වාගෙයි... "ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ...", "යලි උපදින්නම් අලුත් කෙනෙකු වී...", "මගේ දෑස මගේ කියා ඔබ පවසනවා...", "මල් වනේ රෝස කැකුලු... "බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්ට එපා..." ඒ අතරින් මම ආසාම කරන ගීත... ඇගේ මේ සියලු ගීත තොරානා ලේබලය යටතේ එන, එක තැටියකින් (ලන්ද දිගේ ) මේ දිනවල ලබාගන්න පුලුවන්... ඇයට කරන ගෞරවයක් වශයෙන් අද ගීතය මම බාගන්න දමන්නේ නෑ.... මම දන්නවා රස්සාවක් කරන කාලෙක වුනත් මටත්, ගී තැටියක් මිලදී ගන්න මාස දෙක තුනක් සල්ලි එකතු කරන්න වුනා... ඒ වාගේම මේ ගායිකාවටත් අසාධාරනයක් වෙනවා මේ දිනවල අලෙවි වෙන තැටියක තියන ගී කවුරු හරි නොමිලේ බාගන්න දුන්නම... මේක තේරුම් යයි කියලා හිතනවා...
ටී එම් ජයරත්නයන් සමග ගයන මේ ගීය, කුලරත්න ආරියවංශයන්ගේ පද වැලක්, ස්ටැන්ලි පීරිස් සංගීත වේදියානන්ගේ මියුරු තණුවක්....

ඒ පද වැල් මොනතරම් මිහිරිද... "ඒ ආදරේ කඳුලින් නුවන් තෙමනා...."
උගුර හිරකරන, නෙත් කෙවෙනි තෙත් කරන, ඇගේ ආදරේ මට නිරතුරුවම මතක් කරදෙනවා....

මේ වේදනා... මේ චේතනා... විඳිනා...
ඒ ආදරේ කඳුලින් නුවන් තෙමනා...
ඒ පාලු යාමේ ආදරේ අඳුනා...
හිත සැලුනා...

සීත සෝ සුසුම්... පාවි පාවි යයි...
හදවත අරණේ...
දෑස පාලුවෙන්... වේදනා නගයි...
ඔබ නැති යහනේ....
ඒ පාලු යාමේ ආදරේ අඳුනා...
හිත සැලුනා...

රෑක ඒ නුවන්... තාරකා පිපෙයි...
සිතුවිලි උයනේ...
වේදනා ලොවින්... රෑ පහන් කරයි
ඔබ නැති සිහිනේ....
ඒ පාලු යාමේ ආදරේ අඳුනා...
හිත සැලුනා...

සිංදුව අහන්න..
Read More!

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්...

මව් ගුණ ගීයක් හද ගී පොතේ ගියේම නෑ නේද... මොකද්ද හේතුව... හිතාගන්න අමාරුයි... මගේ මව්, මා වෙනුවෙන් විඳි දුක්, මා දැක නැති බැව් හැබෑය... නමුත් ඒ හා සමානව, මගේ දරු දෙදෙනා උස් මහත් කරන්නට වෙහෙසෙන "ඈ" සියැසින් දු‍ටුවෙමි... ඒ අනේක වූ දුක්ඛ දෝමනස්සයන් විඳගෙන , මුවින් නොබැන, මාගේද සියලු ඕනෑකම් සොයා බලන ඈ, මා දු‍ටු හොඳම අම්මා තනතුරේ තබමි.... විටෙක මගේම දරුවන්ට වුව දක්වන්නාවු ඒ සෙනෙහස මට ඉමහත් ඊර්ෂ්‍යාවක් ගෙන ඒ... මුඩුම මුහුනක් මවාගෙන නොසන්සුන්ව ඉන්නා මා දකින ඈ "මොකද මේ ඉතින්...?" යැයි විමසන්නේ, දරුවන්ගේ දඟකාරකම් කම් දැක, හිතයටින් සිනා නගන්නා මවක මෙනි... මටම හසුරුවා ගත නොහැකි, ඇසිල්ලකින් නොසන්සුන් වන මගේ සිත, කාලයාගේ ඇවැමෙන්ද, ඇගේ මුදු ගුණයට පින්සිදු වන්නටද, විසාල හානියක් නොකොටම, යටපත් වී ඇත්තාසේය... ඒ සියල්ලන් ම තිබියදී, මද්‍රි දේවියගේ වත සිහිපත් කරමින්, කව් ගොතා එවද්දී, කෙසේ නම් කඳුලු නොහෙලා සිටිම්ද... ? ඉවසන්නට බැරිම තැන, බැරි බැරි ගාතයේ, යන්තමින් වචන ගලපා, වරෙක ඇයට ලියා යැවූ පාපොච්චාරනයක කොටසක් මෙසේය...

මුදු මොලොක් නොවූ මගෙ, රළු වදන්, අකටකම්,
තලාවී, පෙලාවී, ඔබ..., උපනූපන් ජාතියෙම...
එපා ඔබ පතන්නට...මා සමග ගෙවන්නට...
සංසාර භව සයුර, මතක් කරමින් නිබඳ,
මද්‍රි දේවියගෙ වග...

අහිංසක, මටසිලිටි, හදවතක රාවයක්...
හඳුනනා හදවතක, සෙනෙහෙබර මුදු සිතක...
රැකවරණ ඔබෙ සිතට, ලැබේවා නිරතුරුව...
උපනූපන් ජාතියෙම...

ඔබෙ කුසට තුරුල්වී, නිදාගන්නා ගුලිව...
දෝරෙ යන ඔබේ ඒ සෙනෙහසේ සෙවණ යට..
බිලිඳෙක්ව වසන්නට පතන්නම් මා නිබඳ...
උපනූපන් ජාතියෙම...
ඒ නිසා හිතවතිය...

මේ නිමක් නොවන ආලවට්ටම් කියවන්නාවු ඔබටත් මගේ ආචාරය.... ඇය වෙනුවෙන්ම අද ටී එම් ජයරත්නයන්....

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්....
තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා සොඳුරියේ... නුඹයි ඒ අම්මා..

අහස මෙන් ලත් චෝදනා... පොළව මෙන් දුක් උහුලනා...
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා...
සොඳුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා...

සිතට සැනසුම් කල්පනා... ගෙනෙන පාදා වාසනා...
තනා ටජ්මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ...
සොඳුරියේ නුඹෙ රුව අඹාගමි මහද මන්දීරේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න...
Read More!

රෑ තරු රෑනේ, හිතේ පැතුම් ලියා ගියා...

කාලාන්තරයකින් ඇහිච්ච නැති මේ ගීය මට මතක් වුනා අද උදේ... පොස්ට් එකට දාන්න ඉස්සෙල්ල කිහිප වාරයක් අහනකොට දරන්න බැරි තරමේ මහ පාලුවක් හිතට ආවා.... මෙහේ හිටියා ඇති කියලා වාගේ... හොඳම බෙහෙත මුහුදු වෙරලට යාම... ටී එම් ගේ මේ අතිශය ශෝකී රාවය කුලුගන්වන්නේ මගේ කිනම් භාවයක්ද....?

රෑ තරු රෑනේ, හිතේ පැතුම් ලියා ගියා...
රෑ තරු රෑනේ, හිතේ පැතුම් ලියා ගියා..
කිරි මුහුදේ සිනා මවා, හද ‍රැහැනේ පැතුම් වෙලා...
රෑ තරු රෑනේ, හිතේ පැතුම් ලියා ගියා..


ඒ මල් දේහේ, පෑ ආයාචනා...
තරුවෙන් ගොඩ වී, පියුමක සැඟවී ආවාදෝ...
රෑ තරු රෑනේ...


මා පෙම් දෑතේ, ඈ කාගේ වෙසින්
මල් මද රේඛා අංජන තවරා ආවාදෝ...
රෑ තරු රෑනේ, හිතේ පැතුම් ලියා ගියා..
කිරි මුහුදේ සිනා මවා, හද ‍රැහැනේ පැතුම් වෙලා...
රෑ තරු රෑනේ, හිතේ පැතුම් ලියා ගියා..
ම්..ම්...ම්...ම්...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න...
Read More!

සක්වල දේශය එපිටින් එන වන බම‍රෝ....

ගිටාරයයි, බටනලාවයි, උඩැක්කියකුයි ඉතාමත් අණර්ඝ ලෙස මුහුකොට සැදූ නිර්මාණයක්... ටී එම් ජයරත්නයන්ගේ මියුරු හඬ ඊට නොදෙවෙනි සංගීත රසයක් ගීයට එක්කාසු කරනවා...

සත් ගිරි කුලු පිට එපිටින්,
සත් මහ සමුදුරු එපිටින්,
සක්වල දේශය එපිටින්,
එන වන බම‍රෝ.... එන වන බම‍රෝ....

මලේ පියලි වරුන සලුව ගෙතුවේ නුඹටයි...
මලේ කෙමිය මල් මුවරද පිරුවේ නුඹටයි...
මලේ සුගන්ධය පිටාර ගැලුවේ නුඹටයි...
මලේ උරුම මල වට කර රඟනා නුඹටයි...

සුදු එල පෙති වියන යටින්,
ලහිරු කැලුම් පලස පිටින්,
නල ‍රැලි පෙම් සමග තුටින්,
එන වන ඹමරෝ.... එන වන බම‍රෝ....

මලේ තුසර මුතු මාලය බැන්දේ නුඹටයි...
මලේ මෙලෙක සුව සයනය සැදුවේ නුඹටයි...
මලේ සුසුම වාතල පිට ‍රැඳුනේ නුඹටයි...
මලේ හැඬුම මේ වනතුරු ඇසුනේ නුඹටයි....

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලම යන්න....

Read More!

පවණට සැලෙනා දොඹමල් සුවඳින්...

1993 දවසක අපහමුවන්න කොලඹින් පිට ප්‍රසිද්ධ විදුහලක දෙ‍ටු සිසුවෙක් ආවා... ඔවුන්ගේ විද්‍යා ප්‍රදර්ශනයට අපේ විශ්ව විද්‍යාලයෙන් ප්‍රදර්ශන භාණ්ඩ ‍රැගෙන යන්න... ඔහුට අවශ්‍ය ඡායා පිටපත් වගයක් ලබාගන්න යන්ත්‍රය ලඟට මම ඔහුව ගෙන ගියා... දිග පෝලිමක්... වැඩියෙන්ම හිටියේ Architecture Faculty එකේ ගැහැණු ළමයි... (ඒ ෆැකල්ටියෙ ලමයි ඉතින් බොහොම සුකුමාරයි... අපේ ඉතින් හිටිය තරමක් හිටියෙ ය _ _ ම තමයි.... අර මගේ "මිහිරි සිහිනයක දැව‍ටුන..." අරුණම...) මම ඔවුන් සියල්ලගෙන් අවසර ගෙන, මේ දරුවට පරක්කු වෙන නිසා වැඩේ කරලා දුන්නා...අපසු එන ගමනේදී මේ දරුවා මට කියනවා "මම බඳින්න හිටියේ ඉන්දියාවෙන්... බැලුවහම ලංකාවෙත් ලස්සන ඒවා ඉන්නවා නේද..." කියලා... මාව හොල්මං... විවාහය ගැන ඔහුගේ තිබ්බේ ඒ වාගේ අදහසක්...
මාත් එක්ක අර අපට රන්බඩු ගන්න ගිය මිත්‍රයා තමයි අපේ නඩෙන් ඉස්සෙල්ලාම විවාහ වුනේ.. බැන්ද තරුණිය ඉතාම හැඩයි.. හරියට ශ්‍රී දේවී වාගේ... ඔවුනගේ පලමු දරුවට අවුරුද්දක් වෙන්න ඔන්න මෙන්න කියලා ඇය ස්වාමියත් දරුවත් දමා හදිසියේ වෙනෙකෙකු සමග ගියා, මහ දවාලෙම... එදා රෑ, දරුවගෙ අත්තම්මත් මමත් මගේ මිත්‍රයත් දරුවව නලවන්න පුදුම උත්සහයක් ගත්තා...දරුවා නිදන්න පුරුදු වෙලා හිටියේ කිරි උර උර... විකල්පයක් නැති තැන මම මගේ බිරිඳට කතාකලා.. මගේ දරුවට මාසයයි එතකොට ..ඇය එක පයින් එකඟ වුනා ඒ දරුවට කිරි දෙන්න... ඒත් අවසානයේ ඒ දරුවගෙත්, මගේ දරුවගෙත්, අත්තම්මලාගේ විප්‍රකාර නිසා අඬලා අඬලා ඒ කිරිසප්පයා, බඩ ගින්නේම නිදා ගත්තා... ගැහැණු හතරදෙනෙක්ගේ, රාගයටයි, කරුණාවටයි, මාන්නයටයි, බොරු බයටයි මැදිවෙලා, බඩගින්නේ නිදාගත්තු ඒ කිරි සප්පයාව දු‍ටු මට හැබෑවටම මේ සිංදුව මතක් වුනා... ඔබේ හිතත් චංචල නම්, බැන්දත් දරුවො නම් හදන්න එපා... ඒ අහිංසකයෝ ඒ මොකකටවත් පලි නෑ...
මේ ගීතයේ ආරම්භයත් හරිම අභව්‍යයි... ගීත 5 record කරන්න හිටපු ටී එම් ටයි, කේමදාස මාස්ටර් ටයි තිබිලා තියෙන්නේ ගීත 4යි...ගී 4 කට සංගීතය සපයපු ශිල්පියොත් පිටත්වෙලා, 5 වෙනි ගීතය ප්‍රමාද නිසා... කරන්නම දෙයක් නැතිව මාස්ටර් ධර්මසිරි බණ්ඩාරනායකට දුරකතනයෙන් ඇබැද්දිය කිව්වම, "එහෙමනම් කොලයක් ගනිමුකො..." කියල දුරකතනයෙන් මේ ගීයේ පද වැල් කිව්වලු... ඒවෙලාවෙම තණුවක් යොදලා, අතේ තිබුණු ගිටාරයෙන් පමණක් සංගීතය යෙදු මේ ගීය, සෝකයෙන් බර නොකරන්නේ කොයි තාත්තගෙ හිතද...?

පවණට සැලෙනා... දොඹමල් සුවඳින්...
ආදර හස‍රැල් මුවට නැගෙයිදෝ....
සවනට කොඳුරා... පවසන වදනින්...
ආදර හැඟුමන් හිතට දැනෙයිදෝ...

මල් ඇතුරුණු ඒ සුව යහනේ ඔබ...
අඩවන් දෙනෙතින් ආලවඩයි දෝ...
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා...
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයි දෝ...

ඇකයේ සිට මා පුතු හඬනා සඳ...
ලේ කිරි වීදැයි නොදනිමි මා ලඟ...
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ...
දු‍ටුවේ වැගිරුණු කඳුලු පමණි ලඳ...

සිංදුව අහන්න...ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරළම යන්න...
Read More!
 
Blogger Wordpress Gadgets