මායාදුන්න පුත් ටිකිරි රජ්ජුරු බණ්ඩාර [1581 - 1592] හෙවත් සීතාවක රාජසිංහ හෙවත් පලවෙනි රාජසිංහටත්, අවුරුදු පනස් දෙකක් රජකම් කල දෙවැනි රාජසිංහටත් [1635 - 1687] ප්‍රතිකාලුන්ට මුහුණ දීමට සිදුවිය.පුරුතුගීසීන් මෙරටට ගොඩ බහින විට රජකම් කලේ මායාදුන්නේගේ මහප්පා වූ ධර්මපරාක්‍රමබාහුය. ධර්මපරාක්‍රමබාහුගේ අවෑමෙන් එක් බිරියක් හා එකගේ කෑ ඔහුගේ සහෝදරයන් දෙදෙනාගෙන් විජයබාහු රාජ්‍යපද ප්‍රාප්ත වන්නේය. අනෙක් සහෝදරයාවන පරරාජසිංහ හා එකගේ කෑ බිරියගේ අභාවයෙන් කීරවැල්ලේ කුමරිය විජයබා මෙහෙසිය වන්නීය. කලින් බිසවගෙන් ලැබුණු බුවනෙකබා, රයිගම් බණ්ඩාර හා මායාදුන්නේ පැත්තක තබා කීරවැල්ලේ කුමරියගේ දුවගේ දරුවාට රජකම බාර දීමට විජයබාහු කරුණු කාරණා සකස් කිරීම විජයබා කොල්ලයට මග පාදන්නේය.
බුවනෙකබා රජද පියා අනුව යමින් අත්තනෝමතික වීම මායාදුන්නේව අමනාප කිරීමට මගපාදයි. පුරුතුගීසීන්ගෙන් උදව් ඉල්ලීමට තරම් නිවට වන බුවනෙකබාහුගේ ක්‍රියාවලිය එක් පසෙකින් දොන් ජුවන් ධර්මපාල නම් බෑනෙකු බිහිකිරීම දක්වා දිවගියද අනෙක් පසෙන් රාජසිංහ කෙනෙකු බිහිකිරීමට හේතු භූත වූ බව අමතක නොකල යුතුය.
ප්‍රතිකාලුන්ට එරෙහිව කල සටන්, මුල්ලේරියාව හටන, දන්තුරේ හටන, බලන හටන, රන්දෙනිවල හටන හා ගන්නොරුව හටන නමින් ප්‍රධාන වශයෙන් හතරකි. මායාදුන්නේ බුවනෙකබාහු සමග කල ගුරුබැවිල හටනට පුරුතුගීසීන් සම්බන්දවන්නේ අනියමිනි.
කෝට්ටේ රජකල බුවනෙකබාහුගේ මරණින් පසු තම ඇණි ශක්තිමත් කිරීම සඳහා ගෝවෙන් දොන් ජීවන් අරික්කු හා පොන්සි පෙරේරා නම් පාදිලිතැන සමග විසාල සේනාවක් හා ආයුධ ප්‍රමාණයක් ලැබෙන්නේ බුවනෙකබා මුණුපුරු ධර්මපාල කුමරු දොන් ජුවන් ධර්මපාල නමින් අන්දෘෂ්ඨි වැලඳ ගැනීමත් යන අවස්ථා හා සමගාමීවය.
පලවෙනි රාජසිංහ රජතුමාට මුහුණදීමට සිදුවන්නේ පුරුතුගීසීන්ට පමණක්ම නොවේ. වීදිය බණ්ඩාර නිතර ඇති කල 'වීදියේ හටන්' වලටද අනේක ලෙස මුහුණ පාන්නට සිදුවන්නේය. සවැනි පැරකුම්බාවන් [1410 - 1462] කෝට්ටේ රජකම් කරමින් ඇතිකල විභූතිය, සාහිත්‍යාලෝකය මැකී යන්නට මේ නොනවතින සටන් හේතු වූවායැයි ද සිතිය හැක. වීදිය බණ්ඩාර යනු අසීරු අවස්ථාවලදී තමනට පිහිටවූ, ගම්බිම් නවාතැන් දී සැලකූ, හත්කෝරළයේ ඉරුගල් රාජ පරපුරේ එදිරිමාන්නසූර්‍ය රජද මැරවූ කෙනෙකි.
එහෙත් සීතාවක රාජසිංහයන් සත්කෝරලේ ආක්‍රමණය කර එදිරිමාන්නසූර්‍ය රජු මැරවූ අයට දඬුවම් දී, උපකාර කල අයට කළගුණ නොසැලකූ විට සිදුවන ව්‍යසන රට වැසියනට දැනගනු පිණිස අඬබෙර ලැවීය. අවසානයේ වීදිය බණ්ඩාරට ලැගුම් වන්නේ යාපා පටුනය. එහෙත් තම රටට ව්‍යසන කල විදිය බණ්ඩාරට එහි වුසූ දෙමළ ජනයා අතින් මැරුම් කන්නට වන්නේ තනිවම නොව අඹේපිටිය නයිදේ හා විජයපාල ආස්තාන කුමාරයා ඇතුලු තවත් බොහෝ දක්ෂ සටන් කරුවන් සමගින්මය.
මායාදුන්නේගේ අවෑමෙන් ලක්දිව බලය කෙමෙන් කෙමෙන් තරකරගමින් සිටි සීතාවක රාජසිංහ සමග දරුණු සටනකට ප්‍රතිකාලුන් පිලිපන්නේ දොන් ජුවන්ගේද සහය ඇතිවය. එහෙත් නිර්භය රාජසිංහ රජු පලමුව යුදට යැවූ වික්‍රමසිංහ මැති පැරදෙනු දුටද නැවත උපක්‍රම සකසා, අතුරුගිරි කෝරලය, නව යොදුන් කෝරලය, ගිරුවාපත්තුව, තිරික්කෝවිල, තිරිකුණාමලය, පස්යොදුන් කෝරලය, අනුරපුර, හලාවත මාතර ඈ නොයෙක් පෙදෙස්වල ජනයා එක් රැස් කොට විසාල බලමුළුවක් සාදා මුල්ලෙරියාවේ වාඩිලාගත් ප්‍රතිකාලුන්ව වටකොට පහර දිනි. දෙවැනුව, ඉසුඹුවක් ගැනීමට ඉඩ නොතබා තුමූම සේනාවක් ගෙන හදිසි ප්‍රහාරයක් දියත් කොට පුරුතුගීසීන්ට දරුණු පරාජයක් අත්කර දෙන්නේය. එහිදී රජතුමා සමගින් සටන පිලිපන් 'අත්තන්හරී අබය අලහප්පෙරුම විජයවර්ධන' මැතිදුන්ට දෙනවක පස්රට තෑගි ලෙස ලැබෙන්නේය.
නිර්මාණශීලී ගැමි කවියකුද වූ අලහප්පෙරුම කවියා යුද සේවයෙන් තම මෙහෙවර නිම නොකොට 'සීතාවක හටන' නමින් සිංහලයේ මුල්ම හටන් කවි සාහිත්‍යය අරඹන්නේ කවි 1120ක් රචනා කර ඉතිහාසයේ වැලලීමට තිබූ කාරණා රැසක් සිය ඇසින් අරුත්ගන්වා ග්‍රන්ථාරූඪ කරය. අල්ලක් දැන කන්දක් විලිලන්ට දතකන අද දවස පණ්ඩිතයන් මෙන් නොව ඔහු සිය කාව්‍යය නිමකරන්නේ නිහතමානීවවත්, අදීනවත් ලෙසය.
'එළු පාලි නොමදැන
බසින් සිංහල රැගෙන
මෙ සීතාවක හටන
කව් කල පෑය මනැන පමණිය'
ලංකා ඉතිහාසයේ බටහිර ආක්‍රමණයට අතිශය නිර්භවූත් සාහසික වූත් ප්‍රහාරයක් එල්ලවන්නේ සීතාවක රාජධානි සමයේය. සෑම රජෙකුටම තිබෙන්නාවූ යම් දුර්වල කමක් ප්‍රයෝජනයට ගන්නාවූ අවස්ථාවාදීන් එමටය. රාජසිංහ රජතුමාට කුඩා කළදීම මුහුණු දීමට සිදුවූ අභියෝග නිසා එතුමාට ආරෝපණය වූ සැහැසි බව තුලනාත්මකව දකිනට නොහැකි වූ සංඝරත්නය නිසා හේ මලබාරයෙන් ආ අරිට්ඨ කීවෙන්ඩු පෙරුමාල්ට ලංවිය. ශිව සමයද වැලඳ ගති. තමාට උදව් කල දක්ෂ සෙන්පතියකු වූද තමනට බොහෝ ජයග්‍රහණ අත්පත් කර දුන්නාවුද වික්‍රමසිංහ මුදලිඳුට වස දී මරා දැම්මවීය.
මාන්නප්පෙරුම මොහොට්ටාල නමින් අලුත් නම් ලත් මේ අරිට්ඨකී අවසන 1593 රාජසිංහ රජුගේ මරණින් පසු නවතින්නේ දොන් ජුවන් ලඟය. රූකඩයෙකු වන දොන් ජුවන් ලවා ලංකා රාජ්‍යයේ ඔප්පු තිරප්පු තමන්වෙත ලියවා ගැනීමට ප්‍රතිකාලුන් ක්‍රියාකල අතර 1597 දොන් ජුවන්ගෙ අවෑමෙන් කන්ද උඩරට හැර අනෙක් සියලු භූමිය අත පත් කර ගැනීමටද සමත්වන්නේය.
ප්‍රතිකාලුන් සිංහලයා මත ඇතිකල අධික පීඩනයට මෙකල නායකත්වය සපයන්නේ කොනප්පු බණ්ඩාරයන්ය. බලන දුර්ගයේදී බිහිසුණු සටනකින් විසාල ජයක් අත්පත් කරගන්නා හේ විසාල යුධෝපකරණ රාශියක් අත්පත් කරගන්නේ, විමලධර්ම සූරිය [1592 - 1604] නමින් දිවයිනේ පරමාධිකාරීවරයාව, යාපාපටුන, ගාලු, කොළඹ කොටුද මුදාගෙන, දෝන කතරිනාවද පාවාද ගනිමිනි!
නැවතත් ප්‍රතිකාලුන් තමනට නැතිව ගිය භාග්‍යය ලබාගැනීමට එන්නේ ජෙරනිමෝ ද අසවේදු ගේ නායකත්වයෙනි. බලන දුර්ගයේ දී කෙරුනු නොයෙක් බිහිසුණු සටන්, පසුබැසීම්, නැවත පහරදීම් වලින් නොසෑහෙන ලෙස සමන්විත විණි. විමලධර්මසූරිය රජුගේ අවෑමෙන් දෝන කතරිනාවන්ගේ සහය ලබාගන්නා හීරළුවකු වූ සෙනරත් නැමැති දුර්වල පාලකයා රාජ්‍යත්වය ලබයි.
පලවැනි රාජසිංහ අනුගාමික නිකපිටියේ බණ්ඩාර 1616 දී සත් කෝරලේ කැරළි අරඹන්නේ මේ දුර්වල පාලනයට හා දිනෙන් දින ඉහල යන පූරුතුගීසි බලයට එරෙහිවය. Antonio Bocrro නැමැති පුරුතුගීසි ඉතිහාසඥයා පවසන්නේ ලක් දනන්ගේ අසහනකාරී මානසිකත්වයට හේ කොතරම් හොඳින් නායකත්වය දුන්න්නාද යත් දින 80කින් මුලු දිවයිනේම ජනයාගේ නතුභාවය ලබාගන්නට හේ සමත්වුණු බවයි. සෙනරත් රජුගේ සෙනාංක භාර ප්‍රධානියා ලෙස අන්තෝනි බරෙත්තු හෙවත් 'කුරුවිට රාළ' පත් කිරීම සෙනරත් රජුගේ අඥාණ භාවය ප්‍රකට කරවන්නකි. හේ පසුව නිකපිටියේ බණ්ඩාර හා එක්වන්නේ සබරගමුව දක්වා කැරළි දිග්ගැස්සවීමෙනි.
සුභාෂිතය ලියූ අලගියන්න මුකවැටිතුමා පසුව දෘෂ්ඨීන් වෙනස් කොට ලියූ 'කුන්ස්තන්තීනු හටන' හී කථා නායක කුන්ස්තන්තීනු ද සා දෙවැනි වරට මෙරටට පාතබන්නේ මේ කැරැළි මැඩ පැවැත්වීම සඳහාය. දිගින් දිගටම ලක් රාජ්‍ය කොල්ලකෑම පුරුතුගීසීන් විසින් කරගෙන යන්නේ කන්ද උඩරට ආක්‍රමණය කිරීම පෙරදැරි කරගෙනය. දෙවැනි රාජසිංහ [1634 - 1687] හෙවත් සෙනරත් රජුගේ පුත් කුමරුන්, කන්ද උඩ පස් රට බලය ලබා ගන්නේ මෙවැනි වටපිටාවක් තුලය.
1638 දී පුරුතුගීසීන්ගේ බලවත් ප්‍රහාරයකට ලක්වූ දෙවැනි රාජසිංහ රජතුමා මහනුවරින් උපක්‍රමශීලීව පැනයන්නේ නුවරට ඇතුලු වූ සතුරන්ට සතරවටින් දොරගුළු දාගෙනය. නුවර ගිනිබත් කොට කොල්ල කෑ විශාල පුරුතුගීසී හමුදාවෙන් තිස් තුන් දෙනෙකු හැරෙන්නට සියළු දෙනාම බලන කන්දෙන් පිටවී යාමට තැත්කිරීමේදී රාජසිංහ හමුදාවට අසුව මැරුම් කෑහ. පුරුතුගීසි හමුදාවේ සිටි ලස්කිරිඥ්ඥා හේවායින් හෙවත් දේශීය කුලී හේවායින්ද ඔවුනගේ පුරුතුගීසි ස්වාමියා අත්හලේ මරණයට බියෙනි. හිස්ගෙඩි ගෙලින් සිඳ රණබිමෙහි ගොඩගස්වනු ලැබීය. රාජසිංහ රජ රාජ්‍යත්වය නැවත් ස්ථාවර කරන ලදී.
රාජසිංහ රජුගේ උඩරට හමුදාව, සාමාන්‍ය හමුදාව (අතපත්තු හමුදාව), යුධ හමුදාව හා අනිවාර්‍ය සේවා කොටස්වලින් සමන්විත විය. අතපත්තු හමුදාව සාමන්‍ය ගම් වැසියන්ගෙන් සෑදුනාවූ විය. විශේෂ සේවා සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙනා අගම්පොඩි හමුදාවක්ද උඩරට බලකායේ විය. පලවෙනි රාජසිංහ සමයේ මෙන්ම කලාව, සාහිත්‍යය, ආගම පිරිහීම දෙවැනි රාජසිංහ සමයේ පැවතීම තේරුම් ගැනීම අපහසු නොවේ. ඒ වෙනුවට හටන් කවි, ප්‍රශස්ති අතරින් පතර හෝ බිහිවීම අගය කල යුත්තකි. ඒ මන්ද යත් සාහිත කලා බිහිනොවන කාල වකවානුවක ඒ යුගයේ ඇවතුම් පැවැතුම් නශ්ඨාවෂේශව පවත්නේ මේ නිර්මාණ තුල නිසාය. රජතුමාගෙන් තාන්න මාන්න බලා අතිශෝක්තියෙන් වර්ණනාවන් සිදුවීම නොවැලැක්විය හැකි කරුණකි. එහෙත් රාජ්‍යත්වය ස්ථාවර කිරීමෙහි ලා ඒ අභීත රජවරුන් ගිය ගමන් මග තුල නිමැවූ මේ නිර්මාණවල ඇති ඒ නුගුණ පමණක් ඉස්මතු කිරීම නොමනා යැයි සිතමි.
පලවෙනි රාජසිංහට මෙන්ම දෙවැනි රාජසිංහට වැරදී ගියේ පෘතුගීසීන් එලවීමට ලන්දේසී සහය පැතීම නිසාය. පසුව එය වැරැදි තීරණයක් බව පැහැදිලිව ගියද ලන්දේසීන් සමග එකඟතාව රජතුමා පාඩු දරමින්ම නොබිඳි බව ප්‍රකටය. රජතුමාගේ රණශූරත්වය ප්‍රකට කරමින් කවි, සිලෝ, ප්‍රශස්ති ලියූ වන්දිභට්ටයින් අතර බුන්නෑපාන රාළ, බිංතැන්නේ සාමි, වේවැල්දෙනියේ මොහොට්ටාල, ඌවේ මොහොට්ටා යන අය බෙහෙවින් ප්‍රකටය.
රාජසිංහ නාමය වනමින් ලියූ රචනා බොහොමයකි. ඒ අතර, පැරකුම්බා සිරිත අනුව යමින් ලියූ 'පවන' හා 'රාජසිංහ වර්ණනාව' එයින් ප්‍රකටය. අඹන්වෙල රාළ මෙහෙයවූ නිලඹේ කැරැල්ලෙන් පසු රාජසිංහ රජතුමා හඟුරන්කෙත වාසස්ථානය කර දියතිලක පුර නැංවූ [1668] කාලයෙහි ලියැවුණු 'පවන' කෘතිය අමුද්‍රිතය. කාව්‍ය සාහිත්‍යයෙන් ගීත සාහිත්‍යයට ගත හැකි ගුණාංග මේවායේ ඇති බව කියැවේ. බටහිර ගීයෙහි ඇති 'කෝරස්' බඳු මුද්‍රප්පදයක්ද මේ කවි වල රඳවා ඇත්තේ ඒවා ගායනයෙන් රජතුමා පිනවීම සඳහාමය. 'ශ්‍රී නාමය', 'රාජසිංහ විරුදාවලි', 'පරංගි හටන', 'රජසිහ සිරිත' අනෙකුත් ප්‍රසිද්ධ රචනාවේ.
ඉස්තරම් ගණයේ භාෂා ඥාණයක් තිබූවෙකු යැයි සිතිය හැකි ඌවේ මොහොට්ටාල ලියූ කවක් පහත ටී එම් ජයරත්නයන් හා නීලා ව්ක්‍රමසිංහයන්ගේ මධුර හඬින් ගැයෙයි. එහි ඇති එක් පදයක් කාව්‍යයේ එක් පෙලක් ලෙස ලියැවී ඇත්තේ මාත්‍රා 52ක් පමණ එන පරිදිය:
"නොතැකුම් රුදු විරුදු අඩම්බර නොතරම් කර සිරිඳු උතුම් රඟ
සැතැපුම් සැදු මහරු විකුම් බුජ රණ මන්දිර බූපා"
සැතැපුම් සැදු මහරු විකුම් බුජ රණ මන්දිර බූපා"
ගීයෙහි මුල් පද 'රාජසිංහ සිරිත' කෘතියෙන් ගත් ඒවා ලෙස පෙනේ.
යුද්දෙටත් ඇවිත් සිඳු පිට නැව් නැගිලා - පරංගි
උන්නු මුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
අන්දමත් සොඳයි කෙරු කිසි බිසී ගාලා - කොළඹදි
කම්පලක් නැතුව සෙනගක් මරාදාලා
ලත් දනත් කියත් මහ සෙන් රට ගන්ටා - සතුරු
මත් වෙලත් දොඩත් වෙරි මත පෙන්වන්ටා
කත් ගෙරිත් මසුත් උන්ගේ පනයන්ටා - නැමද
රත් පෙලත් ඉඳිත් සියොගත බැරි වෙන්ටා
යුදයද නැංග - නෙතුරිඳු ගුම්ද
ලෙසට දිනින්ද - ගෙන පානේ
යුදට අනංග - සරගෙන ගුම්ද
කොඩි බැඳමින්ද - එයි රුසිනේ
නොතැකුම් රුදු - විරුදු අඩම්බර
නොතරම් කර - සිරිඳු උතුම් රඟ
සැතැපුම් සැදු - මහරු විකුම් බුජ
රණ මන්දිර බූපා
සතපෙම් කොඳ කිවිඳු - පියුම් වන
හිම ගිම් රිවි විලස - උදම් සහ
තැවැරුම් කර තෙදන - කොකුම් තෙන
දිගඹුන් පර තාපා
මනරම් යස කෙහෙළි - නොහිම් ලෙස
බිහිඟුම් දිගු යටග - නැගුම් කළ
සුරඳුම් තිලිනිසුරු - සුජම්පති
මනයොන් තුනු රූපා
සදහම් තෙල කෙසර - රැඳුම් වන
රණකුම් දිසි දඹදෙණි - ගම්පොල
දැදිගම් නගරාදිප - රම්යුර
නෘපසිංහ මහීපා
ඇසුරු කල පත පොත
• උඩරට නැටුම් කලාව - ජේ. ඊ. සේදරමන්
• සීතාවක හටන - මහාචාර්‍ය රෝහිණී පරණවිතාන සංස්කරණය
• රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය
• දියතිලක නුවර - සෙනර්ත් බණ්ඩාර දිසානායක
• ලංකාවේ ලන්දේසි බලය - ආචාර්‍ය එස් අර්සරත්නම්
• සතර කෝරළේ ඓතිහාසික හා සාහිත්‍ය විමර්සනය- ජී. ආර් ගුණවර්ධන බණ්ඩා
• කෑගලු වර්ථාව - එච්. සී. පී බෙල්
• සීතාවක රාජධානියේ උන්නතියේද අවනතියේද සමහර අංශ පිළිබඳ විමර්ශනයක් - මහාචාර්‍ය රිසිමන් අමරසිංහ
• Battle of Randeniwela 1630 AD - Sri Lanka Military Academy
පාඨකයන්ගෙන් ලැබුණු තොරතුරු
1. පෘතුගීසීන් හා ලංකාව | පරංගි කෝට්ටේ - මහාචාර්‍ය ටිකිරි අබේසිංහ
2. ලක්දිව ප්‍රතිකාල් ප්‍රයත්නය - සෝමපාල උඩකන්දගේ
3. Fidalgos in the Kingdom of Kotte (1505-1656) - O M de Silva
4. පළමුවන රාජසිංහයන් පිළිබඳ අප්‍රකට ජනකතාවක් - එම්.පී.පී.ගුණසිංහ
5. බැරැණ්ඩි කෝවිල හා පෙතංගොඩ උයන ගැන මග විස්තර - Thanoja's Dreams
සංස්කරණය 1
යුද්දෙටත් ඇවිත් සම්පූර්ණ ගීතය
[උපුටා ගැනීම සේදරමන් ගුරුන්නාන්සේගේ උඩරට නැටුම් කලාව කෘතිය - 1962/2014- එම් ඩී ගුණසේන]
යුද්දෙටත් ඇවිදින් සිදු පිට නැවි නැගිලා - පරංගි
උන්නුමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
අන්දමත් සොඳයි කෙරු කිසි බිසී ගාලා - කොළඹදි
කන්පලක් නැතුව සෙනගක් මරාදාලා
ලත් දනත් තැනින් කියත් මහසෙන් රට ගන්ටා - දෙමළු
මත් වේලත් දොඩත් වෙරිමත පෙන්වන්ටා
කත් ගෙරිත් මසුත් උන්ගේ කුණුපණයන්ටා - මෙහි
නැත් කිසිත් ජයක් යුධ කෙරුමෙන් උන්ටා
[පිට - 148]
නොමදින් විකුම් පාලා
සැදෙමින් යුදට ජය ලන්දෙසින් සමගින් එ ජනරාලා
සමිඳුන්ගෙ භුවි පාලා
සියසේ අතින් මියෙමින් ගියෝ යුදයෙන් ඇනුම් කාලා
රන්නා එ ලන්දේසී
මන්නා මෙලෙස පෙන්නා බලය පන්නාලීය සීසී
ගෙන්නා ඉංග්‍රීසී
දන්නා ඔවුන් ගෙන්නා බැඳල සෙන්නා අයට දාසී
[පිට - 27]

















