Showing posts with label බොදු බැති ගී. Show all posts
Showing posts with label බොදු බැති ගී. Show all posts

බුදු ‍රැස්මි විදා ප්‍රාතිහාර්‍ය පෑ සඳපානේ....


පොල් කඩන්නාට ගස පාමුල සිට පැසී ඇති පොල් හරියටම විනිශ්චය කල නොහැක. එහෙත් ඉඩමේ අයිති කරු සමග අහවල් ගෙඩි කඩමියැයි වාදයෙහි එල්බ සිටීමට ඒ නො-දැනීමෙන් අවහිරයක් නැත. පුරුදු පුහුණු වූ සමහරෙක්ට මේ කර්තව්‍යය අනුමාණයෙන් කල හැක. එසේත් නැත්නම් වෙහෙස මහන්සිවී ගස් නැගීමෙන්ම ඒ කාරිය නිසි පරිදි කල හැක. ගසේ මදක් නැගුණු විට හාත්පස දර්ශණයෙන් වශීකෘතව සිටියහොත් අදාල කාරිය නිමකරන්නට නොහැකිවනු ඇත. ඒ හැටි උස නැති තැඹිළි ගස් බඩ ගා නැග්ගද වලල්ල දා උස පොල් ගස් වලට නැගීමට ඇවැසි පරිචය මා ලබා නැත්තෙමි. තමන් ලද දැනුමක් මෙන්ම නොලද දැනුමක් ගැනද විමසිලිමත්වීම මනාය. එහෙත් ඒ අවසාන ඵලය ගැන සමග ගැටගැසුණු උවමනාව සමගින්ය.

අප බොහෝ දෙනෙක් උදේ හවා "සිස්ටම්" වල දොස් දකීමටත් ඒවාගැන දෙඩීමටත් රුචිය. තම නිවසේ "සිස්ට'න්" එක වැඩ නොකිරීම වෙනම කාරණයකි! කව්සිළුමිණ මෙසේ කියයි - "තමා වරදස නො දිස්නේ - මෙරමා දොස් මැ දිස්නේ - නුවන් තමා මුත් බැහැරැ නහමන නොදක්නේ කිම්?

ජාති, ජරා, මරණ දුක් සේ දකිත්ද?? - උත්තරය "නැතිය" නම් බුදුදහම ඉගෙනීමෙන්, ඔබගේ වටිනා කාලය නාස්ති නොකරගන්න. ඔබ බලාපොරොත්තු වෙන වෙනත් ඵල නෙලා ගැනීමට බොහෝ විකල්ප, විමුක්ති මාර්ග ඇත. උත්තරය "ඔව්" නම් එයින් මිදෙන මං පෙත කියා දුන් දිවාකරයාණන්ට ගෞරව සම්ප්‍රයුක්තවී වහ වහා ශ්‍රද්ධා, ප්‍රඥා මාර්ගයන්හි ගමන ඇරඹීම ඇති බාධාව කුමක්ද?

අද අප මෙන්ම එදා සිටි දුහුනන්ද කෙලෙස් පාදම මත සිටිමින් නන්දොඩවණ කල්හි ශාඛ්‍යසිංහයානෝ කැණිමඩල පලා මැදුර සුණු විසුණු කොට සිංහ නාද පැවැත්වූහ. දාන, සීලයෙන් පෝරුගා සකස්කල බිම් මත්තෙහි භාවනා බීජ වැපුරුවහොත්, එයට උවමනා පරිචය ලබාගැනීමේ යුහුසුලු වුවහොත්, අවසාන ඵලය බලාපොරොත්තු වූ අයුරින්ම නෙලාගත හැකිවෙනු ඇත! නිර්වාණ ස්වර්ණ ද්වාරය නිරතුරුව අප සියල්ලන් වෙනූවෙන් සපුරා විවෘතව ඇත!
ඔබ සැමට සුන්දර නිර්වාණේ අභිනන්දන සැප ලැබේවායි මේ වෙස‍ඟේ පතමි!

ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින වෙනුවෙන් බොදු බැති ගී පෙලකි...

1. බුද්ධගයාවට ගිය ඇත්තෙක් කීවේ මේ ගීයේ තේරුම හැබැවින්ම විඳ ගැනීමට නම් බුද්ධගයාවේ අතිශය සීතල සුලං පහස විඳ බැලිය යුතුම වගකි.  ගුණරත්න අබේසේකර ලියූ "සුවදේ මට සීතල සුලඟ පවා - හිමි බුදු වුණු බුද්ධගයාවේ" ගායනය බෙග් මාස්‍ටර්ගෙනි

2. තෙරුවන් නැමදීම අපූරුවට ගද්‍යයක් ලෙස හුවා පාමින් ආචාර්‍ය අජන්තා රණසිංහ ශූරීන් විසින් ලියූ මේ ගීය ඉමහත් බොදු බැතිය දනවන්නකි. සංගීතය හා ගායනය විශාරද සනත් නන්දසිරිගෙනි;
 
"නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන් - සම්බෝධිරාජ පාද පද්ම - වන්දනා කරම්
ක්ලේෂ තාපයේ අනන්ත වේදනා ජලේ - නෞකාව දම් අමා වඳිම් - නමා නළල් තලේ
දෑගසව් රහත්  බුදුන්  මා සිතින් පුදා - වන්දාමි සඟ රුවන් - ගඳින් මලින් බැතින් සදා"


3. සී වීරසේකර ශූරීන් ලියූ එම් කේ වින්සන් ගැයූ මේ ග්‍රැමෆෝන් යුගයේ ගීය අදටත් එකසේම බොදු බැතිය වඩවයි;

"සිරි ගෞතම ශ්‍රී පාද වදිම් සමනළ කන්දේ - අභිනන්දන සැප පතනෙම් සුන්දර නිර්වාණේ
කල්‍යාණ පුරේ නා කැල සිරි ධර්මෙන පහදා - ආකාස තලේ වැඩ සිටි මුනි රාජා තෙදිනා
බුදු ‍රැස්මි විදා ප්‍රාතිහාර්‍ය පෑ සඳපානේ - තුන් ලෝ දිනු මුනි පාද වඳිමු පතමින මෝක්ෂේ - අමර සිරිබර මෝක්ෂේ
තුම්  ගුණැති සමන් දෙවියන් පිදු සේම තිලෝනා - සිරිපාද තබා ඉඳුනිල් මිණ මුදුනේ එදිනා
ලෝ වාසි දනන් සාධු නදින පූජා පානා - ත්‍රෛලෝහිමි සිරි පාද වඳිමු නිවන් පතාලා - සිරි නිවන් පතාලා"


4. "වඳිමු සුගත ශාඛ්‍යසිංහ - සසර දිනූ බුදු පියා - රමණී මන්දාර කුසුම් - කරමින පූජා - බැතියෙන මේ ගී ගයා" අමරදේවයන් විසින්ම ලියා, තනු නිමවා, ගැයූ මේ ගියේ අග්‍රගන්‍ය භාවය කීමට අ‍ටුවා ටීකා අවැසි නැත. මෙබඳු ගී තව තවත් නිමැවේවායි - කරමි මා ප්‍රාර්ථනා!

5. "සල් වනේ ලකල් - දුල් සල් වනේ ලකල්" සිදුහත් කුමාරෝත්පත්තී වර්ණනාවක යෙදෙන මේ ගීය ගයන්නේ ග්‍රේටා ජෙනට් ද සිල්වාය. ග්‍රැමෆෝන් යුගයේ ගීයක් වන මේ ගීයේ තනුව හා සමගාමීව  එම් කේ වින්සන් විසින් "තෙල් මල් පුදා වඳිම්" ලෙසින් ගැයූ තවත් බොදු බැති ගීයක්ද වෙයි. තනුව හින්දි තනුවකි

6. "මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුලං ‍රැල් පාවෙනා - සම්බුදුන් සම්භාවනීයයි සාධු සාධූ වන්දනා" කිංකිණි නාද චිත්‍රපටියට නිහාල් ජයසේන විසින් රචිත පී එල් සි සෝමපාලයන් විසින් තනු නිමවා සුජාතා අත්තනායකය මොහිදීන් බෙග් ඇතුළු පිරිස විසින් ගායනා කල ගීයකි

7. බන්දුල මල්ලිකාවගේ චරිතය අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය ප්‍රකට කරවන්නකි - ඈ, යුධයට ගිය සැමියාත්, පුතුන් කැලත් ජීවිතක්ෂයට පත්වූ බව දන්වා ලැබුණු තල්පත ඉනේ ගසාගෙන යෙදෙමින් හුන් දන්බෙදීමේ කාරිය දිගටම කරගෙන ගිය බව සාහිත්‍ය පොතපතෙහි සඳහන්ය. එවිට එක දැස්සක ගේ අතින් ගිතෙල් බඳුනක් බිම වැටී බිඳී ගියේය.  ඒ දුටු දන් පිළිගනිමින් හුන් සැරියුත් මා හිමියෝ “මල්ලිකාවනි, බිඳෙන ස්වභාවය ඇති දෙය බිඳී යන්නේය. ඒ ගැන සිත නරක්කර නො ගත යුතුය”යි කීහ. ඒ  ඇසූ මල්ලිකාවෝ ඉණෙහි රඳවා හුන් තිබුණු තල්පත  අතට ගෙන “රහතුන් වහන්ස, මගේ පුතුන් දෙතිස් දෙනාත් සැමියාත් මළ බව සඳහන් කොට ඇති මේ හස්න ලැබීමෙන් වත් කලබල නොවූ මම, දැස්ස අතින් ගිලිහී බිඳී ගිය ගිතෙල් බඳුන ගැන ශෝක කරම්දැ’යි කීවාලු.
"බන්ධුල ප්‍රේමී සි‍ටු කුමාරී - පංච කල්‍යාණී මල්ලිකා දේවී" - සිසිලියානා ඩයස් හා ටයිටස් පෙරේරා

8 "බුදු රශ්මිය විහිදේ - සම්බුදු සිරිපාදේ - දර්ශණ පූජනීය සමණල කන්දේ" සිරිපා සමය වෙසක් පොහොයෙන් කෙලවර වේ.  බුදු සිරි පා පහස ලැබූ සමණල කන්ද වෙස‍ඟෙහි කෙසේ නම් අමතක කරම්ද? ගායනය ලතා වල්පොල ඇතුලු පිරිසගෙනි. තනුව හින්දි චිත්‍රපටි ගී තණුවකි

9. "පාරමිතා බල පූජිත පූරිත - බුද්ධ දිවාකරයාණෝ" -  රන්මුතුදූව චිත්‍රපටයට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අතින් ලියැවුනු විශිෂ්ඨ නිර්මාණයකි. සංගීතය හා ගායනය ඩබ්ලිව් ඩී අමරදේවයන්ගෙනි.

10. "ක්‍රිෂ්ණජිනා ජාලිය හා" - චාගයට කොපමණ දුරක් යා හැකිද??

11."පසක් කොට ඇති සසර දුක් ගිනි - උතුම් සම්බෝධිය පතා - කෙලෙස් නේරංජාව තරණය - කලේ අප මහ බෝසතා"
සුනිල් සරත් පෙරේරා ශූරීන් ගේ අපූරු උපමා වලින් අලංකෘත මේ බැති ගීයෙහි ස්වර සංකලනයත් ගායනයත් ගුණදාස කපුගේ සතුය

12. "තණ්හා ආශා ඔලොගු කරේලා - මගතොට නොබලා - වගතුග නොඅසා - එළිය දකින්නද මේ යන්නේ - සැපත දකින්නද මේ යන්නේ"
එක මග යන පුතෙක් හා පියෙක් ගැන මේ ගීයෙහි කියවෙයි. ඔබේ ජීවිතයටත් ඒ පිය පුතුන් බලපෑමක් කලාද?? පටාචාරා චිත්‍රපටියේ එන මේ ගීතය සංගීතවත් කලේ ලයනල්අල්ගමයන්ය - නාද තනූ මාධූර්‍යය හා ගායනය අමරදේවයන් විසින්මය

සින්දු බාගන්න...


 කලින් බොදු බැති ගී වලට මං....
ශ්‍රී මුනිඳා නමදිමු දැන් -  ශ්‍රී බුද්ධ වර්ෂ 2556 වෙසක්
සක්කාය දිට්ඨි - ශ්‍රී බුද්ධ වර්ෂ 2555 වෙසක්
Read More!

ශ්‍රී මුණිදා නමදිමු දැන් දොහෝත් නගා අපි සැවොමා...



1. බුදු මගුල ලඟම ඒවී බුදු ගීත වේ උදා... 
බුදු දහම සාමයේ දස අත දීප්ති වී නැගේ..
බැබැලෙන්නේ ලෝකයේ....
 -  සරත් විමලවීර / පී ඩී වින්සන් පෙරේරා / විවියන් ද සිල්වා බොරලැස්ස - 1950 - 

2. ජය සිරි මහ බෝධි රජා - මගේ හෙලබිම සෙවන කලා...
විශාලා වැව් සහ නෙක් අමුණු - සැදීලා පිරි උතුරා තිබුනේ....
ලක් මාතාවෝ සොම්නස් ගඟුලේ - ගැලී පිනා ගියෙ එදිනේ....
- සරත් විමලවීර / බී එස් පෙරේරා / චන්ද්‍රා ද සිල්වා - 

3. මහ බෝධි මුලේ  - විදුරස්මියේ ‍රැස් විහිදෙන්නා....
මහා සත් තුමාණෝ විදුරස්නේ වැඩ ඉන්නා....
- එම් ඩී ජොහාර්ෂා / 1947 -

4. මේ ලෝකේ නවාතැනවේ දෙදෙනයි මෙහේ වාසේ..
 මායා මමතා හැරදා හෙට යන්නට සිදුවේ...
- සිරිසේන විමලවීර / හින්දි තනු / සිසිර සෙනාරත්න / 1955 -

5. නිර්වානේ ධර්ම රසින් අසමානේ....
ලෝක ස්වාමී වීතරාගී පෑ සංසාරේ ප්‍රඥාභිමානී... 
- ඒ එම් යූ රාජ් -

6. ශාක්‍ය සිංහ සෑසි ලෝ පියා..
 සෑසි ලෝ පියා, මම පූජනීය ලෝ පියා....
- ජී එස්  බී රාණී -

7. සසර පරාජේ... දැක පරමාදේ...
 පිනෙහි යෙදේත්වා.....
- ඩබ්ලිව් මධුරාවතී /  1945 -

8. සිහිලැල් බුදු ගුණ ගඟුලේ... නෙත් කරුණා අමා ග‍ඟේ....
ඇසුණා ඔබ දෙසූ දහම්... සම්බුදු සමිඳේ....
- රූපා ඉන්දුමතී -

9. සිළුමිණි සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ....
පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ.....
- අහමඩ් මොහිදින් - 

10. ශ්‍රී මුණිදා නමදිමු දැන් දොහොත් නගා අපි සැවොමා..
 මෙලොව සතූන් සසර දුකින් එගොඩ කලාවූ ඒ උතුමා...
- එම් කේ වින්සන්ට් -

11. තිලොවග රාජා භව සැරිසරලා ජනිතව මේ ලොකේ...
 බව දුක සිඳවා බුදුබව ලැබුවේ පිරිණිවනිය දැක්කේ..
- ඒ එම් යූ රාජ් / 1952 -

12. වඳිමු සුගත සෑසි පියා සුදු අරලිය මලිනි පුදා...
සසර දුකින් එතෙර වන්න පතමු නිවන් සැපත සැමා....
- වජිරා බාලසූරිය - 

13. වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ....
 ඉරෙත් සඳෙත් සිරි විඳ විඳ රඟන විලාසේ..
ගරු මර්සලීන් ජයකොඩි හිමිපාණන් / සුනිල් ශාන්ත /  ඉන්ද්‍රානි විජේබන්ඩාරඉන්ද්‍රානි විජේබන්ඩාර-

14. ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ - ත්‍රිවිධ රත්නේ ආධාරේ....
ද්වාත්‍රීංශත්වර මංගල ශ්‍රී - බුද්ධං සරණං ගච්ඡාමී....
- වී පී ලීලාවතී ඇතුලු පිරිස / 1940 -


15. පුදමු මේ කුසුම්....
ත්‍රෛලෝක නාථ පාද පද්ම වැඳ බැතියෙන් ප්‍රීති සාගරේ...
- ආනන්ද සමරකෝන් සහ වී පී ලීලාවතී -


ගීත අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

සක්කාය දිට්ඨි...!

"සියලු ආගම් වලින් කියැවෙන්නේ හොඳ දේය" ඔව් හෝ නෑ කීමට ඉක්මන් නොවෙමි... "මා" බුදු දහමද දන්නේ යන්තමිනි... ඒ යන්තම් දැනුමේ "මා සිත්" ගන්නා බොහෝ දේ ඇත... එකක් නම් ඉහත කී අඩංගු වාක්‍යයේම අඩංගු වන "මා සිත්" යන්නට මුල් වන "සක්කාය දිට්ඨිය" පිලිබඳ විස්තරයයි...

රෝහණ බැද්දගේ කලකරුවාණන් දිනක් රජයේ රෝහලක හෙදියන් සඳහා "සංගීතයෙන් මානසික සහනය" වැඩමුලුවක් පැවත්වුවා... මෙය රූපවාහිණියෙන් පෙන්වද්දී "මට" එය නැරඹීමට අවස්ථාවක් ලැබිණ... ඔහු එහිදී අපූරු කථාවක් කළා... "මට" මතක හැටියට ඒක මේ වාගෙයි....
"දැන් ඔන්න අපි මේ හීන දකිනවා... හීනෙන් පොල්ගහකින් කුරුම්බා බානවා.. පිහියෙන් වෑවරය කපා, ඇස්ස ගසා, වතුරත් බී, ලොඳත් කාලා, කෝම්බය දෙකට පලා මායිමට තියා එන්ට හැරෙනවිට ඕං ඇහැරෙනවා... පොල් ගහෙත් නැංගා, වතුරත් රස විඳ තලුමරා ලොඳත් කෑවා.. නමුත් සිහිනෙන්.. ජීවිතය ගැන කියනවානම් ඒකත් තවත් හීනයක් (පසිඳුරන් හරහා දකින?)... ඒකෙන් ඇහැරෙන එක තමා අමාරු...."
ඔහු මේ කී දෑ මොනතරම් හැබෑවක්ද...?

"අපි" නිශ්චලව ඇති වාහනයක් මත සිට එය අතින් තල්ලු කිරීමට උත්සාහ දරන්නන් වැනිය... පටිච්ච සමුප්පාදය ඉතා සුලුවෙන් තේරුම් ගත්තත්, "මා" කියවූ කිසිත් තැනක නොදැකි දහමක් එහි ගැබ්ව ඇත... ("මා" ඇසූ පිරූ තැන් බොහෝ ස්වල්ප වුවත්).. පසිඳුරන්ගෙන් ග්‍රහණය කරගන්නා ලෝකය මෙතෙක්ද, පසිඳුරන් අයාලේ යන්ට හැර අල්ලා ගන්නා ලෝකය කෙතෙක්වේද...? කන්ද මුදුනට යනතෙක් පහල ඇති සියලු දසුන් එකවර හසුනොවේ... එබැවින් දාන, සීල, භාවනා මාර්ගය ඒ ගිරි දුර්ගය තරණය කෙරීමේ අත්වැල කරගත යුතුය...

යම් දැයක විචාරයක යෙදීමට විචාරය කරණාදේ ගැන මනා පරිචයක් ඇවැසිය... පසිඳුරන්ට අසුවන අසුවන දෑ සිතින් විමසන්ටත් පෙර ඒ පිලිබඳ ලෝකයට කියන්ට අද කාලයේ බොහෝ මාධ්‍ය ඇත... එහෙත් තෙරුවණ විචාරයට යන්ට පෙර තෙරුවන පිලිබඳ අවබෝධයක් පමණක් නොව, විතර්කයද (මාරයා?) දමනය කලයුතු බව "මට" සිතේ...
පළමුව "මා දැකීම" උගැන්වන තෙරුවණ නමදිමි... දෙවැනුවත් නමදිමි... තෙවැනුවත් නමදිමි....!

ගීත අහන්න... ගීත බාගන්න...
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නිතර නෑසෙන බොදු බැති ගී දොලසක්...
ගී වලින් සමහරෙක් මට එවූ අමිල සොයුරාට පින්...
Read More!
 
Blogger Wordpress Gadgets