
බලා ඉන්නවුණට 'මෙච්චර කල් රෙදි නැතිව හිටියාද' සිතෙන තරමට රෙදි පිළි තෑගි ලෙස ගැනීමට අලුත් අවුරුදු කාලයේ උනන්දුවක් ඇත. මම එහි වරදක් නොදකිමි. ඒ ලැබෙන තෑග්ගක් 'අම්මා අවුරුද්දට දුන් කමිසය / කලිසම' යැයි සිතමින්, ඒ හැඟීමෙන්ම ඇඳුම දිරාපත් වනතුරුම භාවිතා කල හැකි බැවිනි. එසේ වුවුද මෙසේ යහපත් සිතින් ඤාති මිත්‍රාදීන් වෙත දීම සඳහා තෑගි ගන්නට උනන්දු වෙන අහිංසක මිනිසුන් අතර තෙරපෙමින් තම නුසුන් ආශාවන් සන්තර්පණය කරගැනීමට සැරි සැරූ අපූරු පුද්ගලයෙක් මහරගම පොලීසිය විසින් අල්ලා ගැනීමට සමත්ව තිබූ බවක් පුවත්පතක සඳහන්ව තිබිණි! අඳෝමැයි - අන් අරමුණක යෙදී උන් මිනිසුන් අතර නොමිනිස් ගති සොබා විහිදන්නට මිනිසුන් පෙලඹෙන මනෝ භාවය කවරක්ද??
හද ගී පොතටද ඒ පටන් ගත්දා සිට යම් යම් තෑගි ලැබී ඇත. කාංසිය නිවාගැනීමටත් මා කැමති සිංහල ගීත ජාල ගත කොට එක තැනක තබා ගැනීමට තිබූ වුවමණාවත්, නිතර ප්‍රචාරය නොවන රසවත් සිංහල ගී, සුලු මට්ටමකින් හෝ නැවත ඉස්මතු කොට දැක්වීමත් අරමුණු කොට ගෙන පටන් ගත් මේ කටයුත්ත වියතුන්, රසවතුන් හා දානපතීන් ගේ ආගමනය හේතු කොටගෙන මෙතුවක් කල් දක්වා කරගෙන ආ හැකි විය.
මේ කටයුත්තේදී මා මුලින්ම ඉතාමත්ම සතුටට පත්වූ දිනය නම් හෂිත අබේවර්ධනයන්ගෙන් සුනිල් ශාන්තයන් ගයන 'හමල් මරූ - ජහස් සුයු - හස්සන් දල්ලා' ගීයට අර්ථකථන සැපයුණු දාය. බොහෝ ඇසූ පිරූ තැන් ඇති හෂිත, සීගිරි ගී පිළිබඳ ලියවුණු පරණවිතාණයන්ගේ සියලුම පොත් පත් වාගේ පරිහරණය කොට ඇති බවක්ද පසුව කීවා මතකය. තේරුමක් නොදැන පෙමින් බැඳුණු ඒ ගීයේ අපූරු සංකල්පනාව පහදා දීම හද ගී පොතට ලැබුණු මුල්ම තෑග්ගයි.
අහසින් කඩා පාත්වූවා මෙන් ඊලඟට ලැබුණේ තාමත් චිරි චිරි හඬ දෙන ග්රැමෆෝන් ගී ගොන්නකි. ඒ බුරාතීනෝ නමින් තමන්ව හඳුන්වාගන්නා කෙනෙකුගෙනි. නමක් ගමක් බ්ලොගයක් නැති වුවුද බොහෝ බ්ලොග් අතර සැරි සරමින්, දන්නා යමක් වරෙක උපහාසාත්මකවත්, වරෙක ප්‍රහසනාත්මකවත්, වරෙක අතිශය වියත් බවකිනුත් බෙදාහදා ගැනීමට බුරාතීනෝ රුසියෙකි. පැරැණි ගී අතර සැරි සරන්නෙකුට ඒ වාගේ තෑග්ගක වටිනා කම මිල කල හැකිද?
ඉඳහිට මුණගැසුණු පැරැණි කලාකරුවන් කිහිපදෙනෙකුන් හා තවත් පිරිසකුත් එකතු කර ඔවුනගේ සුභ සාධනය පිණිස යම් කටයුත්තක් කිරීමට කලෙක සිතක් ඉපිද තිබුණි. මේ පිලිබඳ ඒ හැකියාවන් ඇති අයගෙන් විමසා බලද්දී ලැබුණු ප්‍රතිචාර, ඊලඟට හද ගී පොතට ලැබුණු තෑගියි. දුකා කලයුතු දැ 100% ක්ම වාගේ ඇතුලත් සම්පූර්ණ සටහනක් ඉක්මණින්ම සදා එවා තිබුණි. නාලිනී රණසිංහයන් වෙනුවෙන් දායකත්වය දැරීමට නෙතු ඉක්මණින්ම කැමතිවිය. ඒ, ඒ අවස්ථාව වෙන කාහටවත් යාවී දෝ යැයි මෙන් හදිසියකිනි. අතුල සෝමසිරි හා කේ. සේන සඳහා දායකත්වයට කැන්ගරු දේශයේ රවී සොයුරා එක පයින්ම කැමති විය. ශාලා ගාස්තු ගැන සංවාදයේ යෙදී සිටිනාතුර 'ආකාස කුසුම්' එක්වරම පවසා සිටියේ ඈ ඒ බාරගන්නා බවය. මගේ විශ්මිතය දුටු ඈ එක් වරම ඇසුවේ 'ඇයි මදිද?' කියාය. ඒ ඇගේ ත්‍යාගශීලිත්වයයි. බොහෝ කටයුතු සාර්ථකව නිමවා ගැනීමට හැකි යැයි පෙනෙනා මානයේ සිදුවූ යම් යම් කාරණා නිසා ඒ කර්තව්‍යය කල්දමන්නට සිදුවිය. වඳින්නට යන දේවාල සමහර අවස්ථා වල ඉහේ කඩා වැටෙනා බව ප්රස්ථා පිරුලකද සඳහන්ව ඇත.
ආයෙත් අලුතින්ම තැග්ගක් හම්බවිණි . ඒ තිසර ගෙනි. විමල් ජේ ශ්‍රියාරත්නයන්ගේ 'කන්දේ රන් සඳ උන්නා' ගීය ගැන සටහන පලකලාට පසුව ඒ කියවූ තිසර මා වෙත එවූයේ මා බොහෝ කලක් සොයමින් උන් ශ්‍රියාරත්නයන්ගේ 'සකුන්තලා' ගීයයි. ගීය රසාලිප්ත වුවුද සමහර පද ගායනයේදී ගීලී ඇති බවක් හැඟේ. මෙය විසඳා දුන්නේ ඊ-මේල් කවිකාරියයි. ඇගේ වැඩුමල් සොයුරා හා ශ්‍රියාරත්න මහතා අතර ඇති මිත්‍රත්වය නිසා ගයන්නාගෙන්ම ගී පද වැල් අසාගන්නට මට හැකි විය. ඔහු හා දුරකථනයෙන් කල සංවාදය සැබැවින්ම අපූරුය. සරල තෘප්තිමත් විනෝදකාමී පුද්ගලයකු වන ශ්‍රියාරත්න මහතා හා කල ඒ සංවාදය වෙනමමම සටහනකට ගොනු කල යුත්තකි.
තෑගි දීම නොයෙක් ආකාරයෙන් කල හැක. ඇවසි වන්නේ හොඳ හිතක් පමණි. ඒ නිසා අලුත් අවුරුද්දට රෙදි කඩ ගානේ පොදි කන ජනී ජනයා ගැන කිසි ලෙසකින් හෝ අහිතක් මා සිතට නොනැඟේ. බරපතල මතවාද හරස්කොට ඒ මිනිසුන්ගේ අහිංසක වුවමනාව අඩු තක්සේරු කරන්නට මට සිත් නොදේ. හද ගී පොතට විත් 'නන්නාඳුනනා මාගේ අකුරු' වෙත තිලිණ පුද කල ඔබද එසේමය. තමන්ගේ දැනුම කාලය ශ්‍රමය හෝ ධනය යහපත් අරමුණක් වෙනුවෙන් යෙදවීමට ඔබද නොමසුරුය. ඒ ගැන බොහෝ සෙයින් කෘතඥ වෙමි. මහරගම පොලීසියෙන් අල්ලාගත් නන්නාඳුනන්නාටද අවුරුදු කන්න ගෙදර එන්න ලැබේවායි පතමු.
රන් මුදුව ගං දියේ කිඳුණා මතකය වළලා...
මා ඔබ හඳුනා ගත්තේ ඒ සුන්බුන් අළලා...
සකුන්තලා සකුන්තලා...
ශාපය මිනිසුන්ගේ ඊ පහර ලෙස වැදී....
මා පසු පස එද්දී සුළි සුලඟ ලෙස ඇදී...
දේදුණු පවුරෙන් ඈතට නොයා මෙන් රිදී...
ආදර ගඟ ගලනු දුටිමි සිනිඳු රැළි දිදී...
ඇස් ඇතිනම් ලොව ඇති පුදසුන් පෙනේ නිතී...
දුෂ්මන්තට කිසිදා ඔබ අමතක නොවුණී...
බොහෝදුර ගොස් අතරමංව ලොවේ පෙම්වතුන් ....
අදත් කියති මේ ආදර බසම සිය මුවින්....
ගීතය අහන්න... ඕන්නම් බාගන්න...