සිහින් සිනිඳු දුහුල් රිදී රේණු වල නැගී...

මැතක සිට ඇසෙන්නට ලැබෙන වචන සමූහයක් නම් "ගේය පද රචනය"ය... ඉස්සර කීවේ සරලවම ගී පද රචනය කියාය... කවදාක කොහොම කොයි තැනකද මෙය සිදුවූයේ.... ඒ ලස්සන බව සැබැවි.... "සුභාවිත ගීතය" කියාද අසන්නට ලැබේ... නූතන ගීයට නම් සතර කොටසක් අවැසිය; ගීය ලියන්නාත්, තණුවක් [tune - අපට පරම්පරා දෙකකට කළින් උදවියට 'චූන්' වූයේද මෙයමය] යොදන්නාත්, ගයන්නාත්, සංගීත සංයෝජකයාත්ය...

කවිය ගීයෙන් වෙන්වන තැන සමහර අවස්ථාවලදී ඉතා සියුම්ය...

"සඳ දිය කොට - කිරිවතුරෙන්... 
ඒ දියරෙන් - මුව දෝවා... 
දිව මතුරක් වන් - නැළැවිලි ස්වරයෙන්.... 
මතකයි මා - නැළවූවා.... 

දොයි දොයි දොයි - දොයිය බබා... 
බයි බයි බයි - බයිය පුතා..."

වික්ටර් රත්නායකයන් ගීයක්; කවියට නගා ගායනා කොටද පෙන්වයි... "

කිරි වෙහෙරට මල් නෙලුවට - මගෙ මතකය මට සුවඳයි.. 
මල් අරගෙන ගිය ඔයාට - සම්මා සම්බුදු සරණයි".. 

ශශිකා නිසංසලා ගේ මේ ගීය මට ඇහෙන වාරයක් පාසා මතක් වන්නේ 138 පිටකො‍ටුව බස් රථයට මහරගමින් ගොඩනැගෙන නූස්, පිලිවෙලට හැඳ පැලඳි මැදිවියපත් විරිඳු ගායකයාය... "

ඊලඟ නැවතුමෙන් බසිමි - වැස්සක් එන්නට වාගෙයි.. 
සල්ලි දුන් නොදුන් සැමටම - සම්මා සම්බුදු සරණයි..."

දෙන්නාටම ඇවසි නම් තනු මාරු කරගත හැකිය...

පොදු පිළිගැනීම නම් ගායනය සඳහා විරචිත පද මාලා ගේය පද ලෙස ගැනීමය... ඒත් ඒ සියුම් සීමාව මගේ දැනුමට හසු නොවේ...  

කන්දේ දෙයියන්ට පින් දීපන් නෑනෝ...  
පින් දෙඤ්ඤං අයියණ්ඩී පින් දෙඤ්ඤංකෝ... 
කොල අතු කාපාලා එල්ලන්කෝ නෑනෝ... 
එල්ලඤං අයියන්ඩී එල්ලඤංකෝ...

කවියක්ද ගීයක්ද..???

මෙය වාග් විද්‍යාව හරහා විසඳාගත යුතු ප්‍රස්නයක් යැයි සිතමි... සමහර කවි කෙලෙසකවත් ගී බවට පෙරළනු නොහැකි බැව් සාශ්ත්‍රඥානය ඇත්තවුන් කියනු අසා අත්තෙමි..

සංගීත රත්නාකරය, නෘත්‍ය රත්නාකරය, සංගීත පාරිජ්ජාත වැනි ග්‍රන්ථ හැදැරීමෙන් මෙව්වාට යහමින් උත්තර සම්පාද කරගන්නට කැමැත්තනට ඉඩ ඇත්තේය. ඒ සද් කාරිය වියතුන්ට තබා සරල රසිකයන් වෙන මා වැන්නවුන්ට ගෝචරවන ගී ගයන ගායකයෙක් ගැන ලියැවුණු වර්ණනාවක් ගැන කියන්ටය මේ සැරසිල්ල ; අර අඬහැර පෑවේ එතැනට එන්නය..

මේ මහැදුරු සුනිල් ආරියරත්නයන් ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැනය....  

""ක්ලැරන්ස් ගේ ගී තනු ඔහුගේ ගී පද රචනාවලට වඩා ප්‍රශස්ත මට්ටමේ ඒවාය. මේ ගී තණු බිහිවී ඇත්තේ පද රචනාවත් සමගමය. පද මාලාව නිර්මාණය වෙද්දීම තනුව නිර්මාණය වී ඇත. නැතහොත් තණුව නිර්මානය වෙද්දීම පදමාලාව නිර්මාණය වී ඇත. නිර්මාණද්වයම ඔහුගේය. එනයින් ඔහු 'වාග්ගේයකාර' නම් වෙයි. 'වාග්ගේයකාර' යනු පද රචකනයත් තනු රචනයත් දෙකම කල හැකි තැනත්තාය. මේ නිසාදෝ ඔහුගේ ගී වල තනු, පදමාලාව හා අත්‍යන්තයෙන් බැඳී සිටී. ඒවා පදමාලාවේ අරුතට සාකල්‍යයෙන්ම ගැලපෙයි. සෞන්දර්‍යාත්මක බවින් ද යුක්තය"""   - පි‍ටුව 103 - ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය - සුනිල් ආරියරත්න.

තවද "සිහින් සිනිඳු දුහුල්" - නැමැති ගීපදමාලාව ගැන බන්දුල පද්මකුමාර නැමැති විචාරකයා 1973 අප්‍රේල් 23 විසිතුර පත්‍රයට මෙසේ ලියූ බවක් එම පොතේම 101 පිටේ මෙසේ සඳහන් වේ...  

"මෙවනි ගී නිර්මාණ කණ්ඩායම් ගී අතර විරලය. එයට හේතුව සංගීතය පිලිබඳ පුළුල් දැනුමත් ජීවිතාවබෝධය හා සියුම් වින්දන ශක්තියත් සමග ප්‍රතිභා ශක්තිය ද ඇති සැබැ කලාකරුවන් සංගීත කණ්ඩායම් අතර විරල වීමයි. එවැනි හැකියාවන් හා දැනුමක් ඇති ක්ලැරන්ස් විජේවර්ධන, කණ්ඩායම් ගී නිර්මාපකයින් අතර පෙරමිනේ සිටී..."

අවිවාදිතය... ඉන්ද්‍රානී පෙරේරා ගයන මේ ගීය අසා ඔබම තීරණය කරන්න...

සිහින් සිනිඳු දුහුල් රිදී රේණු වල නැගී...
සිහින් දෙපා පොඩි හොවලා ලොවට එන සැටී...
පලඟැටි ගී තනුව අනුව මලක් මත ‍නැගී...
සඳ කුමරියේ පිණි කැට නා නැවත යනසැටී...

සඳ කුමරියේ කුමරු ඔබේ නොදැක ඇයි මෙසේ... 
කලකට ඔබේ වත පෙන්වා නැවත හැකිල යේ.... 
කුමරු සොයාගන්නට ඔබ නෑ සැරසෙන්නේ... 
සඳුන් ගසයි සමන් ලතාවයි මුමුණන්නේ.... 

සිහින් පියලි මතට නැගී නැ‍ටුම් නට නටා...
දුහුල් සිනිඳු පිනි කැට මත දෙපා හෙල හෙලා..
කුමරු සොයා යනවිට වන සිරිය බල බලා..
හිරු කුමරුන් කඳු අතරින් එබෙයි හිනැහිලා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

සෙනෙහේ පියුම් විලේ....


කුඩාකල පටන්ම මම මුහුදට අසා කළෙමි. ඉඳහිට ගෙදරින් අතුරුදහන් වී මූදු වෙරලට ගොස් පැයක් දෙකක් මූද දිහා බලා හිඳිමින් කාලය ගත කිරීමට මම ප්‍රිය කළෙමි. පුදුමයට කාරණයනම් මූද දිහා බලා හිඳීමට එපා නොවීමයි.  ගොඩබිමත්, ජලයත්, අහසත් එක තැනකදීම ග්‍රහණය කර ගන්නට මා අසා කලා විය යුතුය.  අදද ඒ ආසාව නුසුන් වී පවතී. ඒ භාවනාවට සමවැදුණු කල, මුහුදට උඩින් දෘෂ්‍යමාන වන වලාකුළු නිසොල්මනේ ගුවණේ පාව යද්දී, හැමදාමත්ම මතක් වුණු ගීයක්ද මා හිතේ තවමත් තැන්පත්ව ඇත...

'කොතැනක විසිරී යනවද
නොදැනයි මේ කුළු පාවෙන්නේ...

උණ පඳුරක මල් පිපිලා
ඔබේ පෙමත් ඒ වාගෙයි....

බෑ කියන්න බැරි හින්දද
මා හා ඔබ හිනැහී යන්නේ....'

මේ ගීය ගයන ගායකයා ගැන කිසිම නිච්චියක් මගේ හිතේ නොපැවතීමගැන මටම පුදුමය. ඒත් පසුගිය දිනක සරසවිය පුවත්පත බලද්දී  ඔහුගේ විස්තරය මගේ නෙත ගැ‍ටුණි. ලිපිය අග ලිපිනයත් දුරකථන අංකයත් වුණි....

"හලෝ මේ විජය සිරිවර්ධන පොලොන්ඕවිට මහත්තයද?"

"ආ ඔව්...."

මට ඔහු හමුවීමට අවශ්‍යබවත් ඔහුගේ නවතම සී ඩී පටය ලබා ගැනීමටත් වුවමනා බව පවසා ඒ වෙනුවෙන් දිනයක් ඉල්වීමි.
ඉතා කැමැත්තෙන් ඒ ඔහු මට ලබා දුනි.

සවස තුන පමණ වන විට මා ඔහු කියූ ඉසව්වට ගොස් නැවත දුරකථන ඇමතුමක් දුනි.

"ආ දැන් කොහෙද ඉන්නේ මම මේ දැන් බස් එකෙන් බැස්සා විතරයි - උදේ ගිය ගමන පරක්කු වුණා...""

බසයෙන් බැස පාර හරහා මාරු වෙන ඔහුගේ රුව මට එසැණෙන් දිස්වුණි...

කෑම කා නිවිහැනේ පැමිණෙන්නැයි මා කියත්දීත් "මට විනාඩි පහක් දෙන්න"  කියා ඇඳුම් මාරු කොට මා ඉදිරියෙන් හේ වාඩි වුනි....

අප දෙදෙනාගේ කථාව බොහෝ දිගට ඇදී ගියේය...
රන්ගිරි දඹුලු සේවාවේ ප්‍රචාරය වුණු ඔහුගේ වැඩසටහනක් හරහා ඔහුට සම්බන්ධ වුණු රසිකයෙක් සී ඩී එකක් කරන්නැයි ඔහු අත සැලකියයුතු මුදලක් තබා ගොස් ඇත. ස්ථීර ‍රැකියාවක් හෝ නොමැති දරු තිදෙනෙකුගේ පියෙකු වන ඒ රසිකයා [මතුගම චමින්ද] එලෙස කලේ ඇයිදැයි පොලෙන්ඕවිට මහත්තයාට තාම නොතේරේ. දැන් ඔහුගේ බලවත් උත්සාහය මේ සී ඩී තැටිය විකුණා මුලින් ලැබෙන එමුදලින් හැකි ඉක්මණින් අර ණය ගෙවාදැමීමය. දයාබර බිරිඳගේ කණකර ගැන කියනුම කවරේද?

මම අම්මට බොහොම ආදරෙන් හිටියේ... තාත්තා මලාට පස්සේ මගේ දෑතින්ම බොහෝ කාලයක් ඔත්පල වුණු අම්මව බලාගත්තා...

"විශාඛාව ඔබ මා දුටු බුදු සිරිතේ...
යශෝධරා ඔබ මාදුටු බුදු සිරිතේ... 
මහමායා ඔබ මා දුටු බුදු සිරිතේ... 
මාදුටු බුදු සිරිතේ..."

ඒ ගීය එපමණ හැඟීම් බරව ගායනා කරන්නට වෙන පරිචයක් කුමටද...???

"මම දවසක් බෙලන්විල පැත්තේ යනකොට බොහොම ලස්සන මලක් දැක්කා පිපිලා තියනවා......"
හේ තව කථාවකට මුලපුරයි.... ඒ විස්තරය කියා නිමකොට
"ඕක ඇසුරෙන් මට නිකම්ම පද යෙදිලා ගීයකුත් නිර්මාණය වුණා... ඒක  තමා....
සෙනෙහේ පියුම් විලේ... - කියන  සින්දුව
" කියා හේ  මදක් එය ගායනා කොට පෙන්වීය....

ඒ මොහොතෙහි මම කාලාර්ථයෙහි තීර්ථ යාත්‍රිකයෙක් විය....
මා ඉමහත් ආදරයක් දැක්වූ ඒ ගීය ගායකයාගේම කටහඬින්ම අවුරුදු විසිපහකට තිහකට පසුව අසන්නෙමි...!!!!
සිහින් කඳුලු පටලකින් මා දැස තෙත්ව ගියේ ප්‍රීතියටද විශ්මයටදැයි නොදැනිමි....

බොහෝ ප්‍රසිද්දියට පත් නොවූ මෙබඳු ගායක ගායිකාවන්ගේ වර්තමාණ ඉරණම එතරම් සතු‍ටු දායක නැත. ඒත් ඔවුනගේ නිර්මාණ සිංහල ගීතාවලියේ මහරු මිණි ලෙස තවමත් පවතී... උදාහරණයන් ලෙස ජේ ඒ ධර්මරත්න [නුවන් කැළුම් වතුරේ පීනා නොයන් ලඳේ...] ත්‍යාගා එන් එඩ්වඩ් [පියවර තබනා හඬින් පවා....]

තවත් බොහෝ දෙනෙකි, නාලිනි රණසිංහ, ඉන්ද්‍රා කුමාරි විජේරත්න, අතුල සෝමසිරි, වින්සන් රත්නායක [බිඟු වැල රොන් සොයලා, මල් ගොමු තුල සරලා], නොයෙල් ගුණරත්න [සැනසී නුවන් තලාවේ හිඳිමී දිවා‍රැයේ]...

කඳුලු වලින් යා හැකි දුර සීමා සහිතය... ඔවුන් සියලු දෙනා වෙනුවන් ඊට වඩා ස්ථීර සාර යමක් කිරීමට බලවත්ව සිතා ඉමහත් භක්ත්‍යාදරයෙන් යුතුව ඔහුට සමුදී සී ඩී තැටියත් ගෙන එළියට බැස්සෙමි....

සෙනෙහේ පියුම් විලේ....
පියුමී පියුම් ලොවේ....
තොල් පෙති විදහා මා දිහා...
ඉඟියක් මොකෝ කලේ...

සිසි කිරණ මැදින් එමි සිහින දොලින්....
සිප ගැන්මට ඔබේ මුව සුහද සිතින්...
හද කවුළු අයා ඔබේ දෙනෙත බලා...
සනසන්නට එමි ගී මධුර තතින් - මධූර තතින්

සෙනෙහේ පියුම් විලේ....
පියුමී පියුම් ලොවේ....

මල් රේණු සලා ආදරය කියා...
පිළිගන්න සිතා සිටියාද ඔයා...
අද නෑ දු‍ටුවේ මොනවාද උනේ....
පාලුවේ අද මා මෙහි තනි කෙරුවේ ඇයි පියුමී...

සෙනෙහේ පියුම් විලේ....
පියුමී පියුම් ලොවේ....
තොල් පෙති විදහා මා දිහා...
ඉඟියක් මොකෝ කලේ...

 සින්දුව අහන්න...
Read More!
 
Blogger Wordpress Gadgets