මාළිගාවක රන් ලෙනේ....

මාළිගාවක රන් ලෙනේ....
හිමකුමරිය සේමා...
මා ලඟයි ඇය දැන් බිඳී...
අප වෙන්කල සීමා...
අප වෙන්කල සීමා...


අප හමුවී යළි වෙන්වූ....
පෙර දිනයේදී මා තැවුනා....
මතකයි... දවසක් දා...
පෙම් නගරේ... මල් වැරුනා...


කුරුළු පැටව් තුරුලුවෙලා....
අහස සිසාරා පියඹන දා....
පෙරදා විලස අපී...
හමුවෙමුදෝ පෙම් නගරේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න [Download]...
Read More!

බෝසත් ගුණ ‍රැසින් යුත් මගේ පියුබන්ද...

බෝසත් ගුණ ‍රැසින් යුත් මගේ පියබන්ද...
මාවෙත් ඔබ එවූ පත ‍රැස් විරි ඉන්ද...
ඒ සිත් මහද සර ‍රැඳි සිරි පිරි කුන්ද....
පෑපත් කලේ හමුවට තත් එක බන්ද....

මනහර නුඹෙ පවර සිරි පිරි වත තඹර....
බොහො වරෙකින් නුදු‍ටුයෙන් මා නෙත් ඹමර...
කරදර කර හඬන විට නලවන අයුර...
නොවිසිර මට වහා දන්වන්නේ විතර....

පෝසත් නෙක සතර සිරි නැණ ගුණ කන්ද...
බෝසත් කිවි බසින් තොස කල මැති සන්ද....
ඒ සිත් මවෙත එවූ පත බස් බැඳි නන්ද....
මා සිත් අරම තුල විය දිවි එක බන්ද...

ඔබ දැන්වූ විලස මා වෙත දිනෙක පෙර...
එන මෙන් සිත සිතා පසුවෙමි දැන් නිතර....
නැතියෙන් අවසරක් වැඩි බැවිණි කරදර....
සතුටින් දැනුම් දෙමි යලි ඉඩ ලැබුණු වර....

එහෙනම් ටික දිනක් යන්නට පෙර යෙහෙල...
අවුදින් මෙහි යතොත් ඉන් සිදුවන සඵල....
මුවකින් මට කියා ලිය නොහැකිය මෙකල...
අමවන් එබස් සිහිකර වැඩ කලොත් දුල...

එන සෙනසුරු දිනෙහි ඇලපාතට පවර...
එන මෙන මහද පවතී අදහසක් තිර....
පිනවන සොබන මැති සඳ සිටියොත් මැදුර...
මන මෙන සතු‍ටු වෙණු හැකි සැම කුකුස් හැර...

ගීතය අහන්න... ඕන්නම් බාගන්න [download]...

ගායනය එඩ්වඩ් ජයකොඩි හා නන්දා මාලිනී...
Read More!

අන්න පුතේ... නැදෑයෝ ඇවිත්...!

ඒ මම ජයන්ත චන්ද්‍රසිරි ගේ ආසම කරන නට්‍යය වන වෙදහාමිනේ නාට්‍යයේ අන්තිම දෙබස....
තමන්ට කරන්න පුලුවන් ලොකුම නොසණ්ඩාල දේ කරාපු කෙනාගේ උදවිය එක්ක වුනත්, කාලෙත් එක්ක කෝන්තර අමතක කරලා නෑයෝ කියලා සලකන්න තරම් උපෙක්ෂාවක් තිබිච්චි කෙනෙක් ගැන කථාවක් ඒ...!

--------------------------------------------------------------------------------

මීට දසක හතරකට ඩිංගක් ඉස්සෙල්ලා කොලු පැටියෙක් මේ ලොකේ එළිය දු‍ටුවාම උගේ වෙලාව බලාපු නැකත් රාල කියා ඇත්තේ දරුවාගේ හතර කේන්දරේ පාලුයි කියා.... අම්මා තාත්තා විස්සෝප වුනාට, කියන්ට අලාපාලුවක් නැතිව කොලුවා ලොකු මහත් වුණා දෙකට දෙවාරේ.... ඒ හැටි විසේසයක් නැතිවම... කාගේ වත් කරුණාවකට ආදරයකට ඒ හැටි භාජනය නොවීම... යම් යම් කාරණා නිසා විවාහ ජීවිතේයි ගැණු සංහතියම ගැනයි අට අනූවක් අකම්පාලයෙන් හිටිය මේ කොලුවා දිහා ආදරයෙං බලන්ටත් කෙනෙක් ඉපදී තිබුණා.... ඒ ඇත්තී, කාගේවත් බැල්මකට වත් ආදරේකටවත් බාජනය නොවෙච්චි අර කොලුවාගේ හිත ආදරයෙනුයි කරුණාවෙනුයි පුරෝලම දැම්මා... කොච්චරද කියතොත් අනෙක් අය දිහාත් ඒ විදිහට බලන්ට ඒ කොලුවව මුවින් නොබැනම පොලඹවන ගමන්ම.... ඒ ගලාගිය ආදරේ ඒ කොලුවා වටේටත් බොහෝම සෙනේහෙවන්තයෝ සෙනේහෙවන්තියෝ රාසියක් එකතු කරන්ට සමත් වුනා....

---------------------------------------------------------------------------------

මගේ උපන් දිනේ වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය කැපකරාණ සුභ උපන්දිනයක් කියන්න එක්කහු වුන පිරිස දු‍ටුවාම මගේ හිත හෝස් ගාලා යනවා.... ඒක නිකන් මූණු පොතේ කුරු‍ටු ගාණ දේකට වඩා මට බොහෝම වටිනවා.... මගේ ඇති අලජ්ජි ගති ගුණ අමතක කරාලා මා වෙනුවෙන් වචනයක් කියන්න එක්කහු වුණු හැමෝටම ස්තූතියි...

අද දවසේ මගේ ඇස් තෙත්වුණු වාර බොහෝයි....
දොරේ ගලා යන හිතවත් කම් වෙනුවෙන් ගලායන කඳුලු වලින් ලෝකය යහපත් තැනක්ම වුණාවේ....

ලලල ලල ලල ලලලා....ලලල ලල ලල ලලලා....
ලලල ලල ලල ලලලා....ලලල ලල ලල ලලලා....
ආ...... ආ........

සඳ කැන් දහරින් දෙනුවන් පිපිලා...
දෙනුවන් කැළුමින් පියුමින් සැළිලා...

හිරි පොද වැහි වැටිලා කුරහන් මල් තෙමුනා...
හිවුඩු පිපෙන සුල‍ඟේ... සුවඳ මැකී වියැකේ...

ඉද්ද සමන් පිපිලා.... වන පෙත හිනැහෙනවා....
කොවුලිඳු ගී ගැයුවා.... ගම්දොරකඩ ‍රැඳිලා...

ගීතය අහන්න... ඕනේ නම් බාගන්න [download]
Read More!

ත‍ටු සිඳුනා.... කිරිල්ලියේ...

ඉතින්....

විශේෂයක් නෑ....

ඒකද බුම්මන් ඉන්නේ...

කව්ද...? මම...? ඒ පේන හැටි...!

මෙච්චර දුරු කතරක් ගෙවන් ඇවිල්ලත් කථා කරන හැටි...!

ඒක පැත්තකට දාමු... ඉතින් කියන්න්කෝ ඔයාගේ වග තුග...?

නිවාඩු ඉවර වුනහම යනවා...

ගිහින්...?

ගිහින් කරන් හිටපු රස්සාව කරන් යනවා...!

දැන් හිත හැදිලද...?

හ්ම්ම් හිත හදාගන්න කියලා හිතන් තමා මේ ආවේ, මෙච්චර දුරක්...!

එක බලාපොරොත්තුවක් නැතිවුණහම, තව බලාපොරොත්තුවක් ඇතිකරගත්තම හිත හැදෙනවද...?

මම ඔච්චර සංකීර්ණවට ඔව්වා ගැන හිතන්නේ නෑ... හිතට සතුට ගේන දෙයක් ගාවට ගියහම මගෙ හිත හැදෙනවා... එච්චරයි...!

හැමෝටම එහෙම නිදහසක් නෑනේ...!

කූඩුව ඉතින් ඔයාමනේ හදාගෙන තියෙන්නේ...!

ඔයාට සමහර දේවලින් වාගෙම වගෙම මටත් ඒ කූඩුව සතුට ගේනවා...!

ඔය කියන්නේ මට යන්න කියලද දැන් මේ...?

නොකියපු දේ වලිනුත් හිත රිද්දවා ගන්නේ ඇයි....?

ජීවිත කාලයෙන් එකම එක දවසක් මට දෙන්න බැරි ඇයි...?

අපි කමුද අයිස්ක්‍රීම්....? මෙතන ඒවා හරි රසයි...!

.................................................................!

ත‍ටු සිඳුනා කිරිල්ලියේ....
ත‍ටු සිඳුනා කිරිල්ලියේ....
යොවුන් වියේ හැඟුම් දරා...
නෙතින් නෙතට පියාසලා....
ත‍ටු සිඳුනා....

සමුදුරෙන් එහා මැවූ ලොවේ...
නෑ ඔබේ සිතුම් සැලී ගියේ....
මේ නුවන් කෙසේද ඔබ නුවන් වශී කලේ...

ජීවිතේ යොවුන් වසන්තයේ...
නැ ඔබේ පැතුම් පරාද වී...
මේ ලෙසින් කෙසේද ඔබෙ පැතුම් බිඳී ගියේ...

ගීය අහන්න... ඕන්නම් මෙතනින් බාගන්න (download)...
Read More!

ජීවිතය ඔබෙන් දැන, ආදරයෙන් සිඹ...

ජපනුන් සමග රාජකාරී කිරිමෙන් බොහෝ දේ උගත හැක... මා ඔවුන් ගෙන් උගත් වැදගත් දෙයක් නම් විවේච්නයට හා වාදයට ඇති නොකැමැත්තයි... ආයතනයේ දෙපාර්තමේන්තුවක නම් අංශ ප්‍රධානියාගේ අණ අවසාන තීරණයමය.... ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයාගේ අණ අංශ ප්‍රධානීන්ගේ විවේචනයට භාජනය වෙනවා මා දැක නැති තරම්මය, මගේ මේ සේවා කාලය තුල.... කුඩා කණ්ඩායමක් පවා අණ පිලිපදින හේවායන් සමූහයක් මෙන් කලින් තීරණය කල අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස වෙහෙස වෙයි... ලංකාවේ රාජ්‍ය සේවයේ යම් අංසයක් භාරව කටයුතු කල කාලය මට නිතැතින්ම මතක් වෙයි... යම් තීරණයක් ප්‍රකාශයට පත් කල දා සිට ඒ තීරණයේ නිරවද්‍යතාවය කෙතරම් වුවත් තීරණය ක්‍රියාත්මක කිරීම පසෙක ලා ඒ විවේචනය කරන්නවුන්ගේ කල්ලි ගැසීම් ඇරඹේ... කාලයත් සම්පතුත් අපතේ හරිමින් මේ කියාවලිය දීර්ඝ කලක් තුල සිදුවේ... අදාල කාරියට අත්දකීම් ඇත්තන්ගේ විවේචන සැබැවින්ම තීරණ ඔපමට්ටම් කිරීමෙහිලා ප්‍රයෝජනවත් වේ... නමුත් එක් මසක් පමණක් සේවය කලවුනුත්, බරක් නැති වචන වලින් පාලනාධිකාරීන් මට්‍ටු කරන්නට සැරසෙන විට නිතැතින්ම මුවඟ සිනහා නැ‍ඟේ....

මේ විවේචන ක්‍රියාවලිය ඔද්දල් වූවිට එය පවුල් ජීවිතය තුලටද හෙමින් සීරුවේ රිංගා යනු මා දැක ඇත්තෙමි... ජීවිත අත්දකීම් පොතපතින් ලබා ගත නොහැකි බව මම තරයේ විශ්වාස කරමි.... පවුල්ජීවිතයට මුහුණ දිය යුත්තේ විවෘත මණසකිනි... අනෙකා තේරුම් ගැණීම පසෙක ලා තමා තමාම තේරුම් ගැණීමම යහපත් පවුල් ජීවිතයකට අඩි තාලම වන්නේමය... බොහෝ ගැහැණුන් පිරිමින් නිතරම් සිතන්නේ තමා අනෙකාව හෝ අනෙකා තමාව තේරුම් ගැනීම පවුල් ජීවිතයේ හරයය කියාය... මා තුල ඇත්තේ තරමක් වෙනස් අදහසකි... අපි යම් මානසික හෝ නීතිමය පදනමකින් බැඳුනාවූවෙමු.... ඒ බැඳීම යම් මිහිරි බවක් ජීවිතයට එකතු කලානම් ඒ වෙනුවෙන් ඉන් මත්තෙහි ඇතිවන සිත් රිදවීම් කරදර කම් කටොලු සියලු දේ ඉවසීමම දීර්ඝ කාලින සන්තුෂ්ටියට හේතුවන බව මම අදහමි... අත්දැකද ඇත්තෙමි... වරකුත් කියූ පරිදි වහා ඇවිලෙන සුලු හයිඩ්‍රජන් හා ඔක්සිජන් ගුණ ඇසුරෙන් ඒ දෙක සංයෝග වී සැදුනු ජලයෙහි ගුණ නිර්වචනය කිරීමට ඉක්මන් නොවෙමි....

තිබූ අනේක ආර්ථික අවහිරතා හමුවේ, බොහෝ පමාවී තිබූ, ලොකු දරුවා වෙනුවෙන් දළදා හාමුදුරුවන්ට වී තුබූ භාරයක් ඔප්පු කරන්නට මහනුවරට දුම්රියෙන් ගොස් ආ ගමන මට සිහිපත් වේ... දරුවාට ගමන් මහන්සියට අසුන මතම නින්ද ගොසිනි... ඇයද ආහාර සූදානම් කරන්නට පාන්දරින්ම නැගිටි නිසාත් ගමන් මහන්සිය නිසාත් තෙහෙට්‍ටුවෙනි... ඇ මගේ උරිස මත හිස තබා ගත්තාය... මට අප පෙම්වතුන් ලෙස මෙලෙස ගතකල කාලය මතක් විණි... මම අගේ මුහුණ දෙස හොඳින් බැලීමි.... දුම්රිය බිංගෙයකට අතුලුවිණි....

"හොරා........!!!"
සිනාසුණෙමි මම, අවිහිංසක ඈ කෝල බැලුම් හෙලුවාය......


ජීවිතය ඔබෙන් දැන, ආදරයෙන් සිඹ...
ළඟ ම තබාගෙන, මුතු කැටයක් ලෙස...
මේ කුළකින් රිංගන, තරු එළියක් ලෙස...
මිහිර විඳින්නම්, ළඳුනි දයාබර...

කාලයක් අයාලේ පාවී ගිය සිත...
ලැගුම් සොයයි, උණුසුමින් කැදැල්ලක...
ආදරය තරම් සුවයක් මිහිමත නැත...
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක...

සාගරය තුරුල්ලේ, යාවී ගං දිය...
විඩා නිවයි, සිඳු රළින් හැඟුම්බර...
ස්නේහයක උපන්, කවියක් කැටතලයක...
ලියා තබමි නුඹ නමින් සනාතන...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...


පසු ලිපි: ගීතයේ නිර්මාතෲන් ගැන මෙතැනින් කියවන්න
Read More!

රාජ පණ්ඩිත නාග විමානේ... | ත්‍රිවිධ ඥාණ විදුරූ.....

මා කුඩා කල විධුර ජාතකය ගැන දැනගත්තේ මේං මේ ගී දෙකෙන්...
සින්දු වලින් කියන දේ මෙලෝ දෙයක් නොතේරුනාට ඒ කාලේ, පස්සේ කාලෙක තොරණ් බලලා, විධුර ජාතකය කවි පොත රුපියල් දහයකට පදික වේදිකාවෙන් මිලට ඇරන් කියවලා, හරි අපූරු විසිතුරු බවක් සිතුවමක්, විධුර ජාතකය ගැන මගේ හිතේ ඇඳුනා. ඕං කෙටියෙන් විදුර ජාතකය මෙතන ලියනවා... කථාව කියවලා බලලම සින්දු දෙක අහන්නකෝ...

විධුර පණ්ඩිතයන් කියන්නේ ධනංජය රජ්ජුරුවන්ගේ ඇමතියෙක් නෙව. ඒ කාලෙම හිටි තවත් සි‍ටු පුත්‍රයින් සතර දෙනෙක් ඉතින් දන් පින් කරලා මියගියායින් පස්සේ එක්කෙනෙක් සක්දෙවි වෙලාත් , තවත් කෙනෙක් නාග භවනෙ වරුණ රජ්ජුරුවෝ වෙලාත්, තව කෙනෙක් ගුරුළු භවනෙත්, අනෙක් කෙනා අපේ ධනංජය රජ්ජුරුවන්ගේ පුතාවෙලත් උපන්නලු. කුමාරයා ධනංජය කොරව්‍ය නමින් ඕං ඉතින් රජ වුනත් කියමුකෝ.

පරණ යාලුවෝ හතරදෙනා ඉතින් ආයෙමත් ඒ ආත්මෙදිත් එකතු වෙලා පරණ කල කී දෑ කථා කරන අතරමගදී කාගේ සිල්වත් බවද ශ්‍රේෂ්ඨ කියලා ඕං කථාවක් ඇතිවුනා. කථාව වාදෙට පෙරළුනහම ඔන්න ඉතින් එහෙනම් විධුර පණ්ඩිතයින්ගෙන්ම විසඳුමක් ගනිමුය මේකට කියල එකඟ වුනා. කරුණු කාරණා අහපු පණ්ඩිතයෝ සීලයන්හි අඩු පාඩුවක් නොදිටි නිසා සියලු දෙනාගේම සීලයන් එක ලෙස උසස් කීවා. හතරදෙනාම අගනා තෑගි බෝගයෙන් පණ්ඩිතයන් පුදන්ට තරම් සං‍තෝස වුනා.

හැන්දෑවට ගෙදර ගොහින්, උදේ හිටන් වැඩ පලේ, මගතොටේ වෙච්චි පල් හෑලි සේරෝම, ගෙදර ඇත්තිත් එක්ක කියැන්නැහෙ, ඒ ඇත්තිත්, දිග කෙස් ගස්, ඩබල් බස් ටිකට් සාක්කුවල ඇත්දැයි බලන්නැහෙ වැඩක් ඕං ඉන් මත්තේ ආපහු නාග භවනට ගිය වරුණ රජ්ජුරුවන්ට වුණානෙව. කරේ පලඳා උන් මැණික කොයි කියා විමලා දේවී ඇසුවාම, වෙච්චි සන්ගදිය, විධුර පණ්ඩිතයින් ගැන වර්ණනාවක් එක්කම කීවාම, ඕන් මේ දේවියට පුදුමාකාර දොලක් ඇතිවුනා පණ්ඩිතයින්ගෙන් බණ ඩිංගක් අහන්ට.

නා දේවිය වුණත් ගැහැණියක් නෙව, මේකට සූත්තරයක් කල්පනා කරලා විධුර පණ්ඩිතයිගේ හදවත අනුභව කරනකල් සන්සි‍ඳෙන්නැති ලෙඩක්ය කියා ඕං ලෙඩ ඇඳට වුනා. සෝකෙන් ඉන්න පියරජතුමා දැකපු එරන්දතී නා දෝනී ඇවිත් මේක අහලා, ඈත් සූත්තරයක් යෙදුවා අම්මාගේ ලෙඩේ සුවකරන්න. බොහොම එඩිබල ඇති, වෙසමුණි රජ්ජුරුවන්ගේ බෑනණුවන් කෙනෙකුත් වෙන, පූර්ණක යක්ෂයාව මේ වැඩේට පොලඹවාගන්ට ඈ හිතුවා. කාලගිරි කන්දේ ඉඳන් සුවඳ විහිදුවා විහිදුවා මලින් සැරසී ගී කියන එරන්දතිය දු‍ටු පූර්ණක යකුට උන්හිටි තැන් අමතක වුනා. එරන්දතියගෙන් කථාව ඉන්තේරුවෙන්ම අහගෙන ඕකත් මට කජ්ජක්දැයි කියූ පූර්ණක යකු විධුර පන්ඩිතයින් විමලා දේවින්නාන්සේ ගාවට එක්කන් යන්න පොරොන්දු වුනා, ඉන් මත්තේ ඈ ආවාහ කරගන්න පොරොන්දුව මත.

ඊලඟට මේක බලෙන් කෙරිය හැක්කක්ක? ධනංජය රජුව සූදු කෙලියෙන් පරදවා, හිලව්වට විදුර පණ්ඩිතයින් ගන්නම් කියලා ඔන්න, ඒ සඳහා උපකාර විය හැකි, කුම්භාණ්ඩයින් ලක්සයක් විතර රකින මැණිකකුත්, උන්ව පළවා හැරලලා අරගෙන ගමනට පිටත්වුනා. සූදුත් කෙලලා, දිනලා, පඬුරු විදිහට පණ්ඩිතයින්ව ඉල්ලුවහම තමා රජ්ජුරුවන්ට දෙයියන් සිහිවුනේ. ඇයි තමාට අර්ථයෙන් ධර්මයෙන් අනුසාශසනා කරන පඬිතුමා නෙව. කොහොමෙන් කොහොමෙන් හරි ඕං පණ්ඩිතයින්ව අරන් යනවා පූර්ණකයා නා ලොවට. සරීරේ සෙරෝම අරන් යන්නේ මක්කටෙයි, හදවත විතරයි නෙව ඕනේ කියා හිතලා, ගලේ ගසා මරන්ට, වේරම්භ වාතයකින් සුණු විසුණු කරදමන්ට, බිහිසුණු වෙස් මවා තැති ගන්වන්ට උත්සාහ කලත් හරිගියේ නැති තැන, උඩ විසිකර කීප විටක් බෙල්ල පල්ලෙහාට වෙන්ට කකුල් දෙකෙන් අල්ලා සෙලෙව්වා ඕං. මේ දසවධ වලින් නෙසෙල්වුණු පණ්ඩිතයෝ මෙහෙම කරන්නේ ඇයිද අහලා ඕං කාරණේ දැනගත්තා.

එහෙමනම් ඒකත් එහෙමද කියා, මං මැරෙන්ට කලින් යමක් කියාදෙන්නම් ඊට පස්සේ ඕං කැමති දෙයක් කරන්ට කියා සාධු නර ධර්ම කාරණා හතර කියා දුන්නා. පළවෙනි එක නම් උදව්වක් කල අයට නැවත උපකාරය, දෙවැන්න යම් කෙනෙකුගේ ගෙදර නැවතී ආහාරත් ගෙන ඒ කෙනාටම නපුරක් කිරීමට නොසිතීම. තුන්වැන්න තමන්ට සෙවන දුන් ගසක අත්තක් නොකඩන ගානටවත් මිත්‍ර ද්‍රොහී නොවීමයි. අන්තිම එක තමා කාරණේ - අසත්පුරුෂ ස්ත්‍රීන්ගේ වසඟයට නොයාමයි. ඊට පස්සේ ඕං දැන් එහෙමනම් යමු, මා පව් නොකර ඇති නිසා මරණයට බයක් නැත කියලා කිව්ව. පූර්ණක යකු බොහොම ලජ්ජවෙලා ඔබතුමා ආපහු යන්ට, මට එරන්දතියත් නුවුමනා යැයි කියලා කිව්වා ඒ ගමන. එහෙම නෙමේ, අපි එහෙටත් යහපතක් කරමු මේ ගමනින්ම කියලා ඕං දෙන්නම නා ලෝකෙට ගියා.

අනේ අප්පේ ඉතින් වරුණ නා රජ්ජුරුවෝ බොහොම තු‍ටු පහ‍ටු වෙලා ධර්ම දේශණාවකට ආරාධනා කලා. ඒ ධර්මය අසා විමලා දෙවීන්ගෙත් මනදොල සංසිඳුනා නෙව. එහෙමනම් දැන් ඉතින් මගේ හෘදය මාංසය ගන්ටයි කිව්වහම, නා රජ්ජුරුවෝ කියාපි කෙනෙකුගේ හෘදයනම් ප්‍රඥාවමයි, අප එය ලබූවෙමුයි කියා. මේ නා ලෝකේ බණ කියන්ට කෙණෙකුත් නැත, ටික දිනක් ඉඳලා බණ කියන්ටයිත් ආරාධනා කලා. පූර්ණකයාට දොණියන්දැත් පාවා දුන්නා. පූර්ණකයා ඉමහත් සතුටට පත්ව ආපහු එක්කනුත් ගොහින් තමා ලඟ තිබ්බ අර සූදුව දිනන්ට උපකාර කල බලසම්පන්න මැණිකත් ඕං විධුර පණ්ඩිතයින්ටම පූජා කලා. ධනංජය රජ්ජුරුවනුත් ඉතින් පඬිතුමා යහතින් ආවා දැකලා අධික සතුටෙන් අඬා වැලපිලා, බොහෝ දිනක් සැණකෙලිත් පැවත්වූවාලු.

ජාතක කථාවේ හැටියට නා රජ සැරියුත් රහතන් වහන්සේ වූ අතර, ගුරුළු රජුන් මුගලන් මහ රහතන් වීලු. ධනංජය රජතුමා ආනන්ද මහරහතන් වහන්සේ වුනු අතර විධුර පණ්ඩිතයින් බෝධිසත්වයන් වීලු.

-------------------------------------------------------------------------------------

රාජ පණ්ඩිත නාග විමාණේ.... ලෝහිමි විධුර පඬීගෙ ඤාණේ....
කීර්ති සුන්දර තේජස පෑවේ...ලෝහිමි විධුර පඬීගෙ ඤාණේ
කීර්ති සුන්දර තේජස පෑවේ...ලෝහිමි විධුර පඬී.....

ප්‍රේම පතා විමලා දේවීගේ.... පූර්ණක යකු දොල සන්සිඳනාසේ.....
දෙන්ට සිතා මහ පණ්ඩිත හර්දේ..... කාලා ගිරි මුදුණේ දී...
රාජ පණ්ඩිත නාග විමාණේ.... ලෝහිමි විධුර පඬී.....ගෙ ඤාණේ
කීර්ති සුන්දර තේජස පෑවේ... ලෝහිමි විධුර පඬී...

සම්මා සම්බුදු මහ සත් ප්‍රාණේ.... පුරන පාරමිතා හිමි ප්‍රාණේ
නසන්ට වෙර ගත් කල්හී ප්‍රාණේ.... ධර්මාමෘත සදා දී දානේ....
සැනසූ ස්වාමි එදා...... රාජ පණ්ඩිත නාග විමාණේ....
ලෝහිමි විධුර පඬීගෙ ඤාණේ... කීර්ති සුන්දර තේජස පෑවේ...
ලෝහිමි විධුර පඬී..

ගායනය: ඒ ආර් එම් ඊබ්‍රාහීම්
--------------------------------------------------------------------------------------

ත්‍රිවිධඤාණ විදුරූ පඬි අපේ මහ... ගෞතම මුනිඳුන් ඒ බුදුවූ.... ගෞතම නම් මුනිදූන්...

දෙසූ දහම් ඇසුමට ඒ නිමලා.... ඇසූ බවය පඬිගෙන් යකු ඇරලා...
අසාගන්ට කිව් දිවි නොනසා බණ... දෙසූ විධුර පණ්ඩිතමයි ගෞතම....
ත්‍රිවිධඤාණ විදුරූ පඬි අපේ මහ... ගෞතම මුනිඳුන් ඒ බුදුවූ.... ගෞතම නම් මුනිදූන්...

එදා එ ඇතු විදුමට ආ වැදි හට... පුදා එ දල දෙක දීලා දෑතට....
මෙදා මෙ බුදු බව ලැබු මාතා හට.. පුදා වඳිමු අපි මල් ගෙන දෝතට...
ත්‍රිවිධඤාණ විදුරූ පඬි අපේ මහ... ගෞතම මුනිඳුන් ඒ බුදුවූ.... ගෞතම නම් මුනිදූන්...

ගයනය: රෝහණ බැද්දගේ ඇතුලු පිරිස
-------------------------------------------------------------------------------------


සින්දු දෙක අහන්න...
ඕන්නම් බාගන්න...



සු ලිපි:
ඊබ්‍රාහීම් මහත්තයගේ සින්දුව ඇතුලු ග්‍රැමෆෝන් ගී ගොන්නක්ම මාවෙත තෑගි කල අමිල සෝමරත්න සොයුරාට මගේ නොමද තුතිය මුලින්ම... ඊලඟට මේ කථාවේ පූර්ණකයාටයි එරන්දතියටයි දාව උපන්න පුත් කුමරා පසු කාලෙක දැඩිමුණ්ඩ දෙවියෝ වුනා කියලත් කියනවා... මාර පරාජයේදී සියලු දෙවිවරු පැනලා දුවනකොට මාරයාට බයෙන්, සුදු වතක් හැඳ දුන්නත් තබා නොබියව බෝසතාණන් ලඟ උන්නේ දැඩිමුණ්ඩ දෙයි හාමුදුරුවෝ විතරයි කියලත් කියවෙනවා...
Read More!

රිදී නිම්නය... කඳුලු නිම්නය.... ඔබය මගේ ජීවිතයේ...

රිදී නිම්නය... 
කඳුලු නිම්නය....
ඔබය මගේ ජීවිතයේ...
නොදු‍ටු නිම්නය...
ඔබය මගේ ජීවිතයේ...

මී විතෙන් තොල්, මත්ව යනවා...
ඉන්ම හදවත, නිසල වෙනවා...
නිසල සිතුවිලි විකල් වෙනවා...
එයින් දිවියම සසල වෙනවා...

කවුරු කවදා කෙලෙස කීවද...
තඹුරු හිරු දු‍ටු විගස නොපිපෙද...
බඹරු වෙනසක් නැතිව සැරුවද...
අපට හිමි සැනසුමක් කොහිවෙද...

රිදී නිම්නය... කඳුලු නිම්නය....
ඔබය මගේ ජීවිතයේ...
නොදු‍ටු නිම්නය...
ඔබය මගේ ජීවිතයේ...


ගීය අහන්න... ඔන්නම් බා ගන්න...
Read More!

නිදිකුම්බා මල් කැකුලී....

ඩබ්ලිව් ජයසිරි කියන කලාකරුවා මම හරියටම හඳුනා ගත්තේ, මතක හිටිනම විදිහට, කරන්නාගොඩ අප්පුහාමි ගේ චරිතයෙන්... ඒ තිලක් ජයරත්නගේ කඩුල්ල නාට්‍යයෙන්.... අසාමාන්‍ය කලා හැකියාවන් වලින් පිරුණු කෙනෙක් ඔහු... බඹරු ඇවිත් සිත්තරේට "උදුම්බරා හිනැහෙනවා.... ඉර අවරට හැංගෙනවා...." අදහන්න බැරි ගීය ලියා ඇත්තෙත් ඔහු.... මහ නගරංකාර චරිතයක් වන කරන්නාගොඩ අප්පුහාමි අවසානයේ  සල්ලිය බාගේ තියන මුදලාලිගේ අතකොලුවක් වෙනහැටි අපූරුවට නිරූපණය කරනවා ජයසිරි මහත්තයා.... කඩුල්ල නාට්‍යය නම් කිහිප වතාවක් වත් බැලිය යුතු නාට්‍යයක්....
කොහොම නමුත් ජයසිරි මහත්තයා ලියපු  මේ අපූරු ගීයත් ඔහුගේ ප්‍රතිභාව කදිමට විදහා පාන්නක්....

සුලං හමයි...
ලොව නැලැවෙයි...
නුඹ නිදියයි.... නිසංසලේ..
නිදිකුම්බා මල් කැකුලී...
නිදිකුම්බා මල් කැකුලී...

බිම වැතිරෙයි.. යාය නිදයි...
අතු හැකිලෙයි... පිණි බේරෙයි....
මගේ දුකට නුඹ නාඬන්...
නිදිකුම්බා මල් කැකුලී....

ලොව සසළයි... නුඹ නිසලයි...
ලොව නිසලයි... නුඹ හිනැහෙයි...
මගේ දුකට නුඹ නාඬන්...
නිදි කුම්බා මල් කැකුලී...
සුලං හමයි...
ලොව නැලැවෙයි...
නුඹ නිදියයි.... නිසංසලේ..

ගීය අහන්න... ඔන්නම් බා ගන්න...
Read More!

මේ සුභ උපන් දිනේ... තුටින් සිනා පාලා...

Happy Birthday To You...
Happy Birthday To You...
Happy Birthday My Darling...
Happy Birthday To You...

මේ සුභ උපන් දිනේ... තුටින් සිනා පාලා...
ආසිරි පැතුම් ලබා... විනෝද මත් වීලා...
සැපෙන් දිනේ...
Oh.. My Love...

දෑස පාලා දේ සුපෙම් සිනා...
මේක ‍රැයකි මතු මතක් වෙනා...
මල් ලතාව දාලා වාසනා....
ඉන්න ළහිරු වාගේ පායලා...
සැපෙන් දිනේ...
Oh.. My Love...

සිතෙන පතන දෙයම ඉ‍ටුවෙලා... දකින සිහින වැල් සැබෑවෙලා...
මිහිරි මධුර ලොවක පාවෙලා... රඟමු ලළිත සුවයේ නෑවෙලා...
සැපෙන් දිනේ...
Oh.. My Love...

තබන තබන පයට පෙළ ගැසී... සුමුදු සිනිඳු පියලි වැසි වසී...
සවන පිනන මධුර ගී ඇසී... ඔබට සිසිල සිසිල වැසි වසී...
සැපෙන් දිනේ...
Oh.. My Love...

(එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටියෙන්...!)

ගීතය අහන්න... ඔන්නම් බාගන්න...
Read More!

අන්න බලන් දැමුණු දනා නෙත රසඳුන් වෙනවා...

හිතත් එක්ක ඔට්‍ටු සෙල්ලං කර තිබෙනවාද...? ගොඩක්ම පුංචි කාලෙදී "චොකලට් එකක් ඕනෙද, අයිස් ක්‍රීම් එකක් ඕනෙද" කියල කවුරු හරි අහපු කාලේදී ඉඳලාම හිත දෙගිඩියාවෙන් පෙලෙනවා නේද තීරණ ගන්න වෙලාවට... මොළේ ඇට්ටකුනා වෙච්චි කාලෙක නම් "චොකලට් අයිස්ක්‍රීම් එකක් කමු..." කියලා දෙකම ගොඩ දාගන්නත් තිබුනා... නමුත් වෙලාවක් එනවා, යම් යම් කාරනා වලදී, හිත ඇතුලෙම බලවත් ප්‍රතිවිරුද්ධ තාවයන් ගොඩ නැගෙන... එතකොට කොහොමද තීරණ ගන්නේ...? මට හිතෙන්නේ යම් යම් ක්‍රීඩාවලදී අසීරු කාර්‍යයන් කරන්න පුරුදු පුහුණු වෙනවා වාගේ, යම් යම් සංගීත භාණ්ඩ වයන්න පුරුදු පුහුණු වෙනවා වාගේ, හිතත් මෙයට පුහුණු කලයුතුයි කියා.... මොකද හිතේ කොටසක් A හරිය කියා කියනවා... තවත් කොටසක් B හරිය කියා කියනවා...එතකොට ඒ හිත තුලම ඉඳන් තමයි මේ දෙකෙන් තේරීමක් කරන්න වෙන්නෙත්... ඒ හා බී වලින් නතර වුනොත් හොඳා... තවත් බොහෝ විකල්ප එකතු වුනහම...? හිතේ දමනයකුත් නැතිවුණහම...?

ගතත් සිතත් එක්තැන් කරන ක්‍රීඩා වලිනුත් මේ සිත දමනය කරගන්න උදව් ගන්න පුලුවන් කියා මට හිතෙනවා... පිහිණීම, දිගු දුර දිවීම, සරල ක්‍රීඩා වුවත් සිතේ ශක්තිය, මෙල්ල කිරීම පුහුණු කරවන්න උදව් වෙනවා... බෝධිධර්ම භික්ෂුව විසින් ඉන්දියාව හරහා චීනයට, එතනින් ජපානයටත් ව්‍යාප්ත වුණු කරතේ ක්‍රීඩාවෙත් මේ වාගේ "නිසල මනස" [Peaceful Mind - Heian] නමින් "කාතා" වර්ගයක් තිබෙනවා... ඉංග්‍රීසි අයි අකුරේ හැඩයට චලනයන් දක්වන මේ "කාතා" සරලයි... නමුත් මානසික ඒකාග්‍රතාව වෙනුවෙන්ම වර්ධනය කල ඒවා වෙනවා... විශේෂයෙන් නවකයන් උදෙසා ලබාදෙන... යෝග ව්‍යායාමත් අනිවාර්‍යයෙන්ම සැකසී ඇත්තේ ඒ වෙනුවෙන්මයි මගේ හිතේ... අමාරු ඉරියව්වක විනාඩි දෙකක් ඉන්න, හිතේ බලවත් ශක්තියක් ඕනෑවෙනවා...

අසංවේදීව හිතත් එක්ක කරන ඔට්‍ටු සෙල්ලන් ජීවිතයේ එමට වුවත්, සිහියෙන් යුතුව සෙල්ලමක් කර බැලුවොත්... තමන්ට නතර කර ගත නොහැකි සමහර චර්යා... කෑමෙන් පසු ලොසින්ජරයක් කැම, සිග‍රැට්‍ටුවක් පානය, ‍රැට අඩියක් ගැහීම... වගේ දෙවල් එක්ක අත් හදා බැලුවොත්....? මම හිතන්නේ ඒක අපේ හිතේ හයිය පිලිබඳ නියම "අම්ල පරීක්ෂාව - Acid Test" කියා... උප්පත්තියෙන්ම දැමුණු සිතැත්තන් ඉන්නා අතර වෙහෙසවී සිත් දමනය කරගත්තවුන්ද අප අතරම මා දැක තියනවා... ඔවුන් නියතයෙන්ම මට නම් මග එලි දක්වන්නන්... අවසන් පදයේ තණුව වෙනස් වන අයුරු නිස්කාන්සුවේ විඳින්න..

දලින් අනින පයින් මඬින රුදුරු සැහැසි කම් කල ඇතු....
අන්න බලන් සැදැහැ සිතින් කරඬුව ගෙන යනවා...
ආ.... කරඬුව ගෙන යනවා.... කරඬුව ගෙන යනවා....

දෙපයින් අහසට නැගෙමින හේෂාරව නද නැගු අසු....
අන්න බලන් ආදරයෙන් රජුට අසුන දෙනවා...
ආ... රජුට අසුන දෙනවා... රජුට අසුන දෙනවා...

අඟිනවුලා මුල් උදුරා ගුරු තවරා ගත් ගවදෙන...
අන්න බලන් මවක වෙමින් කිරි දෙන්නට එනවා...
ආ... කිරි දෙන්නට එනවා... කිරි දෙන්නට එනවා...

නින්දා රලු බස් පහරින සසල නොවී නිසසල වන...
අන්න බලන් දැමුණු දනා...
අන්න බලන් දැමුණු දනා නෙත රසඳුන් වෙනවා...
නෙත රසඳුන් වෙනවා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....
Read More!

මා සුකුමාලි... මහද දිනූ රමණී...

ජීවිතය ගැන අලුතින් සිතන්නට පටන් ගනිමින් සිටිමි... ආදරය ගැන අබමල් රේණුවක්වත් වත් හිතේ නොතිබූ කාලයක හිතට අපූරු හැඟීම් කාවද්දන්නට ඇය සමත් වූවාය... කව්, ගී වල සොඳුරු තැන්, හදටම සමීප කරන්නට, මගේම සිතට පෙලඹවීම් කරන්නනට වදනකුද නොදොඩා ඈ සමත් වූවාය... අනෙක් අතට ඈ ඒ හා සමාන ආදරයක්ද ආපිට බලාපොරුත්තු නුවූවාය... "පුතේ කසාදේ කියන්නේ පිරිමියකුගේ දෙවෙනි උප්පත්තියයි..." මට මගේ මාමණ්ඩිය දුන් පළමු හා අවසාන අවවාදයයි...ඉන් පසු ඔහුත් මමත් මිතුරන් වීමු.... එයට අඩි තාලම දැමූයේද ඇයයි... දුෂ්කරම අවස්ථාවලිනුත් ඔබ්බට ඇති අවස්ථා, කඩ ඉම්, බොහොමයක්ම ඇගේ වාරුවෙන් මා පසු කළෙමි... රාමදාන් සමය නිසා රාජකාරි පටන් ගන්නේ ප්‍රමාදවය... ගුවන් විදුලියේ උදේ ධර්ම ප්‍රචාරයට දිගටම සවන් දීමට හැකිවිය... වියත් යතිවරයන් ගේ සුමධුර දේශනයන් උදයේ හිතට තදින් කාවදී... මම ඇය ගැනද මෙනෙහි කළෙමි... උපේක්ෂාව ලයෙහි පුරවාගත් ගත් ඈ වැන්නකගෙන් මා මෙතෙක් කල් පාඩම් ඉගෙන නොගත්තේ මන්ද යැයි මට මහා කනස්සල්ලක් දැනුනි... ආදරයත් ජීවිතයත් යනු මිනිසෙකු තවත් මිනිසෙකුට මාරු කරන යෂ්ටීන් බඳුයැයි මට සිතේ... නිසි වෙලාවට මාරු කලහොත් සියල්ලන්ටම දිනිය හැක... ජීවිතයෙන් මට ලැබිය යුතු දේවල් පිලිබඳ කනස්සලු වීම ඒ කල්පනාවත් සමගම දියවෙන හැටියක් දැනෙන්නේය... ඈ මට නිහඬ මුවින් බොහෝ දේ උගන්වන්නීය... මා අකීකරු ශිෂ්‍යයකු සේ ඉවක් බවක් නැතිව හැසිරේ... ඈ මද සිනහ නගන්නීය... ජීවිතයෙන් හති වැ‍ටුනු මට, ඈ ගැන පෙරටත් වඩා ආදරයක් උපදී...

මා සුකුමාලි... මහද දිනූ රමණී...
කෝමල පාණී... සුන්දර කල්‍යාණී...
මා හද ප්‍රීතී... දැනූනම පෙම්රසෙහි...
ඔබ වේ මාගේ... හද මන්දිරේ... ‍රැජිනී ප්‍රියේ....

සිහිල ගෙන දෙන මේ.... නාමු පෙම් නදියේ...
ගීත ගයමිනි මේ....ලාල් ලල්ල ලල... ලාල් ලල්ල ලල...
ප්‍රේම නැති ලෝකේ.... දුකට මුල පෑදේ...
විරහ ගිනිදැල්ලේ... කැබලි යනසෙයි මා....

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....
Read More!

ගල් අරනේ හැංගෙන්නා... උන් රහසේ ලංවෙන්නා...

අපි ලෝකෙට කොච්චර බණ කියනවද... අන්තර්ජාලයත් එක්ක අනුන්ව විවේචනය කරන එක, අනෙකාගේ ඇහැටම ඇන, අපහාස, උපහාස, පරුස වචන කීම රස්සාවක් වෙන තරමටම ඇවිල්ලා නේද...? නමුත් අපි ලෝකයෙන් බලාපොරොත්තු වෙනදේ අප අසලම ඉන්න තමන්ගේම එක්කුස සහෝදරයා හරි සහෝදරිය හරහා හරි කරවලා බලන්න උත්සාහ කරලා තියනවද...? කාරණය වඩාත්ම බරපතල වෙන්නේ දරුවන් උස් මහත් කරන්න ගියහම....

හෙළ බසට ඉහලම සේවයක් කල පඬිරුවනකගේ පුත්‍ර රත්නයක් ගැන මා දන්නවා... ඒ වාගේමයි අපේ ගැමි වහර ගැන බොහොමයක් පොත් ලියා පල කල තවත් ආචාර්‍යවරයෙක් ගේ පුතෙක්.... සිංහල ගීත රචනයේ අමරණීය පි‍ටුවක් පෙ‍රැළූ වෙකුගේ පුතෙකුන්... ඒ රචකයා ගේ ගී බොහොමයක් ගායනා කල හෙලයේ මහා ගාන්ධර්වයකුගේ පුත්‍ර රත්නය...(ඔහු මගේ පාසැල් සගයකුද විය)... මොවුන් කිසිවෙක් තම පියාණන් වරුන්, ඔවුන්ගේ නිර්මාණ හරහා තනන්නට උත්සාහ කල ලෝකය තනන්නට අද උරදෙත්ද...? ඔවුන් ඒවාට ඉඳුරා පටහැනි මාර්ග වල ගමන් කරන්නේ ඇයි...? ජාතියම උරාගන්නා නිර්මාණ වල හරයන් ඒවා ලඟින්ම ඇසුරු කරනා දරුවන් උකහා ගන්නේ නැත්තේ ඇයි...? මගේ සිතට හැමදාමත් වදදෙන ප්‍රස්නයක්...

එකට පාසල් ගොස් එකට උස් මහත්වුනු මගේ ඉතා කිට්‍ටු සගයන් කිහිප දෙනෙකුත් මේ පැනය අර පුතුන් දෙස බලා එකල නිතර විමසා ගතිමු... අප ඉනික්බිති එක් එකඟතාවයකට පැමිණියෙමු... මඩිහේ හාමුදුරුවන් කීවා වාගේ ලෝකය හදන්නට බැහැ... අප ආදරයෙන් ගෞරවයෙන් රකිනා දේ රකින, ඒවා ඉදිරියට ගෙනයන, මිල මුදල් වෙනුවෙන් හෘදය සාක්ෂිය පාවා නොදෙන, උපන් මාතෘ භූමියට නොගරහන, එහි මිනිසුන්ට නිගා නොකරන, එක් පුතෙකුන් පුලුවන්නම් අප හදමු... අපි සෑම දෙනෙක්ම එලෙස කලහොත් වැදි බණ දෙසා හදන්නට සමාජයක් ඉතිරි වනු ඇත්ද...? එනිසා දැන් මා පුද්ගලිකව අදහන මතයද එයම වේ... මා දරුවන් යහපත්ව හදන්නට බැරි මා ලෝකයට කෙසේ නම් ඔවදන් දෙම්ද...? පන්සිල් රකින්නට බැරි මා කෙසේ නම් ශ්‍රමණ උතුමන් විවේචනය කරම්ද...?  යම් විද්‍යාවක් කෙළ නොපැමිණි මා, ඒවා යම් පමණින් උගෙන උගතුන් වියතුන් සභා මැද ශිල්ප දක්වන්ට යාම අණුවන නොවේද... නමුත් ඒ වෙනුවට කල හැකි යමක් අත ලඟම ඇත...

ගල් අරනේ හැංගෙන්නා...
උන් රහසේ ලංවෙන්නා...
මා පුතු අල්ලන් යන්නයි...

නෑ එන්නට දෙන්නේ...
මා පුතු ලඟ ඉන්නේ...
නාඬා නිදියන්නේ...

සඳුන් වනේ මල් නෙලනා සුරංගනාවෝ...
සුවඳ දොවා ඇල් පවනේ පුතුට ගෙනාවෝ...

සිඟිති නෙතේ කැකුලු මුවේ මැවෙන සිනාවේ...
සසල ලොවේ නිමල සෙනේ සිතට ගෙනාවේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....
Read More!

අයියණ්ඩියේ සීරුවේ වැල් පොටේ බසීන්..

මට දැනුන හැටියට පුදුමාකාර ලස්සන ගීයක් මේ... හැත්තෑව දශකයේ ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය අලංකාර කල තවත් ජනගීයක්... ඒවාට වැඩි හරියක් පණ පෙවූ ටී එම් හා නීලාගේ හඬින්... අපේ ජන ගී ඇසුරෙන් හා නවතම අත්හදා බැලීම් වලින් සමන්විත වුණු "පර්යේෂණ ගී" නමින් බිහිවුණු ගී ගොන්නට ආචාර්‍ය සී ද එස් කුලතිලකයන් විසින් නිර්මානය කරන ලද ගීයක්.... ගීයේ පදනම ඹමර කැඩිල්ල... බලමු කොයි තරම් අව්‍යාජවට ඒ හැඟීම් ප්‍රති නිර්මාණය කරලා තියනවාද කියලා... මටනම් හැ‍ඟෙන්නෙම නෑ මේ ගායක ගායිකා යුවලක් කියලා.... එක තැනක්දී නීලා "හයියෙන් අල්ලන් අයියේ වැල් තොටිල්ල..."යන්න නොඉවසිලිමත් අයුරින් ගයන්නේ.... හැබෑවටම කෙනෙක් වැල් පොටේ යන්න වාගේ... හිතා මතාම කලාද කියා තේරෙන්නේ නෑ... ඒ වගේමයි අවසන් හරියේදී අද අපට පැණි නොදෙයිද යන්න බොහෝ දුක්බරවත් ගායනා කරනවා... මං අසා ඇති ගී අතරින් අසාමාන්‍යම ගීයක් හැටියට මම දකිනවා... පපුව හිරකරන ශෝකී රාවයක් හෙමීන් නැගෙන බටනලා හඬේ තියනවා... "අපේ ජනගීයේ ස්වර කීයද ඇත්තේ... ඒවායින් මොනවද කලහැකි නිර්මාණ..." යැයි කියූ කේමදාස ශූරීන් මෙ ගී නාසා තිබුනාදැයි මම කියන්න දන්නේ නෑ... එහෙම නැතිනම් සංගීතය හදාරපු නැති මං වාගේ අයට හොඳින් ගෝචර වන ගී මේවා වන්නටත් පුලුවන්... බලන්න ඔබටත් රස විඳින්න පුලුවන්ද කියා මේ ගීය....

බැද්ද වටට සුදු මොරමල් පිපීලා...
සද්ද කර ඒ ඹමරු ඒ වග කියාලා...
ඉටීත් පැණීත් ලොව සැමටම බෙදාලා....
යන්නාන් ඹමරු දුක් මැසිවිලි කියාලා...

කන්දේ දෙයියන්ට පින් දීපන් නැනෝ...
පින් දෙඤ්ඤං අයියන්ඩී පින් දෙඤ්ඤංකෝ...
කොල අතු කපාලා එල්ලන්කෝ නෑනෝ...
එල්ලඤ්ඤං අයියණ්ඩී එල්ලඤ්ඤංකෝ
අයියාණ්ඩියේ සීරුවේ වැල් පොටේ බසීන්...
මාද්දේ ගලට වැහි වැහැලා.....
අයියණ්ඩියේ සීරුවේ වැල් පොටේ බසීන්...

ඹමරුන්ගේ සුවඳ හෙල වටේට...
උන්ගෙන් ඇති වරදක් නෑ අහිංසකයි...
හයියෙන් අල්ලන් අයියේ අයියේ වැල් තොටිල්ල...
කන්දේ දෙයියන්පල්ලා එල්ලෙඤ්ඤංකෝ...
දුක් මැසිවිලි කියාන්නේ කාටද ඹමරෝ...
සැමැදා අපට දෙන පැණි අද නොදේදෝ...
දුක් මැසිවිලි කියාන්නේ කාටද ඹමරෝ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....
Read More!

මා ලඳ වත, තාරපතී අඳුරේ ලාපී...


"Beauty is only skin deep..." කියලා ඉංගිරිසි කියමනක් තියනවා නෙව.... Temptations නැමැති ගායක කණ්ඩායම ගයන පරණ සිංදුවකුත් තියනවා එම නමින්ම... කථාව ඇත්ත...මිලිමීටර දෙක තුනක් සිරුර ඇතුලට ගියහම, ඇසෙන් දු‍ටු "ලප නොමවන් සඳ සේ සොමි බව" සැනෙන් අතුරුදන් වෙනවා.... නමුත් හිතේ ඇඳුනු ලස්සන එහෙම අතුරුදන් වෙයිද...? ගායක හෙන්රි කල්දේරා විවාහ වුනේ තවත් එවැනිම කාන්තාවක් සමගම... දෙදෙනාටම දෙදෙනා නුදු‍ටු ඔවුනගේ ලෝකය ගොඩ නැගෙන්නට ඇත්තේ සවනේන්ද්‍රියත් ස්පර්ශයත් මුල්කරගෙන වෙන්නෑති.... එතකොට අපි කියන ලස්සන නෙවේ නේද ඔවුනට එකිනෙකා ගැන ඇති ලස්සන...? කාලයත් එක්කම රූපය නොදිරන්නේ කාගේද...? නමුත් සිතේ ඇඳුනු සුන්දරත්වය මරණය කරාම ගෙනියන්න පුලුවන්නම්... දවසක් සේවා ස්ථානයේදී ලැබුණු ඉසිඹුවකදී කරන්නට යෙදුනු අල්ලාප සල්ලාපයකදී (මෙතැන විවිධ රටවල අය මොහොතක විරාමයක් ගන්න තැනක්... ගැහැණු පිරිමි කවුරුත්..) ඔය බොලිවූඩ් නිලියන්ගේ ලස්සන ගැන කථා බහක් ආවා... කථා කරන්නට මට ලැබුනු අවස්ථාවේදී මම කීවේ "For me, my wife is the most prettiest person ..." කියලා... ගැහැණුන් ඉඟි මරණ අතරේදී ඉන්දියානු ජාතික ඉංජිනේරුවරයෙක් (අවාසනාවට මට මුණගැහුනු බොහෝ ඉන්දියානු ජාතිකයින් තවමත් හිතන් ඉන්නේ ලංකාව ඔවුන්ගේ නොනිල ප්‍රාන්තයක් කියා...!!!!) මගෙන් කට කොනකට නගාගත් උපහාසාත්මක සිනාවකින් යුතුව අහනවා "Oh really...? So was she Miss Sri Lanka..."  කියා...  අවසන් තේ උගුර මුවේ රුවාගත් මම මෙහෙම පිලිතුරු දුන්නා... "No way...she was The Miss World...Sri Lanka is a small country no...?" කලින් ඉඟි මැරූ කාන්තාවන්ගේ හිනහව මහහඬින් එලියට පනිද්දි මම රෙස්ට් රූම් එකෙන් එලියට ආවා... මා කී දේ ඔහු තේරුම් ගත්තාදැයි නොදනිමි.... දවසක අප සියල්ලන්ම ජරාවට යනු ඇත...එයට පෙර රෝගී වනු ඇත... සුදු ඇතිරූ රෝහල් ඇ‍ඳෙහි වැතිර, අසරණව සිවිලිම දිහා බලා ඉන්නා වේලාවේදී, සැබෑ සුන්දරත්වය කුමක් දැයි තේරුම් යනු ඇත.....

මා ලඳ වත...
තාරපතී අඳුරේ ලාපී...
ලාක්ෂණ වී...

මුකුළිත වේය...
සුපුෂ්පිත පද්මය....
පවසන මියුරු එ ගී නදැසූ...
බෘංගයෝ තාම රසේ...
විලී වැදී...
හැංගී ඇතී...
මාරම්බරී යං රෑ බෝවී...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....

(මේ ගීත කුඩා හෝ ඉයර් ෆෝන් යුගලයකින් අහන්න පුලුවන්නම් ලස්සන තවත් තීව්‍ර වී ඇසෙන බව මට හැ‍ඟේ...)
Read More!

රාන් කුරුල්ලයි රාන් කිරිල්ලයි සණ්ඩු දබර කරතෙයි...

ඩැල්රීන් සුබී (ඉස්සර ඩැල්රීන් ආනෝල්ඩා) හැත්තැවේ දශකයේ ලංකාවේ පොප් සංගීතයක් එක්ක නිතරම ගැවසුනු නමක්... ඇයගේ නුහුරු සිංහල උච්චාරනය ගීත වලට අගතියක් වුනු බවක් මටනම් දැනිලා නෑ... ඇය නන්දා මාලනී සමග චිත්‍රපටියකට ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් ගැයූ "No East - No West" ගීයත් හරිම අපූරුයි... ටෙලි නාට්‍යය එකකට හෝ දෙකකට මගේ මතකයේ හැටියට ඇය රඟපෑමෙන්ද සම්මාදම් වෙලා තියනවා... මේ ගීයත් සරලයි අපූරුයි... කඨෝර බවින් තොරව සාදයකදී වුනත් ගයා විනෝද විය හැකියි... මගේ මිත්‍ර හෂිත අපි සෙට් වුණු සොඳුරු, පැදුරේදී මිල්ටන් ගේ ගීයක් සැවොම ගායනා කලාට පසු කීවේ "මේ ලයින් වෙනවෙනම ඉස්සරහට ගියේ නෑ නෙවෙද...?" කියා... ඒ කථාව මසුරන්වටී... පැදුරක පන් වැල් මුල සිට අගට ගෙතී පැදුරේ නෙයෙක් රූ රටා මැවුවා වාගේ මේ දහරාද වෙන වෙනම දියුණුවක් ලබා සිංහල ගී කෙත පෝෂණය කරන්නට ඕනෑතරම් ඉඩ තිබුණා... කුමක් හෝ අවාසනාවකට ප්‍රධාන ගායකයන් කිහිප දෙනෙක් බිහිකල සම්මත "ප්‍රබුද්ධ" ධාරාවන්ට එව්වා වැහිලා ගියා... මක් කරන්නද... මෙහෙමවත් රස විඳිමු...

රාන් කුරුල්ලයි රාන් කිරිල්ලයි සණ්ඩු දබර කරතෙයි ...
රාන් කිරිල්ලි පුංචි කැදැල්ලේ හීන් හඬින් අඬතෙයි...
ආන් බලන් සකි දෙන්න දෙපැත්තේ මුහුණු බකුසු කරතෙයි...
හිරි මල් ජෝඩුව හිත් අමනාපෙන්දැයි...

ලස්සන පෙත්තප්පු... දවසක් හැංගි හොරා
කිරිල්ලි ගාව ඉඳන්... මොනවාදෝ කියලා...

විහිලු කොලොප්පම වෙයි... කුරුල්ලටත් වැදිලා
ඌටත් අපට වගේ... ආදර හිත රිදිලා....

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

ගාථා අසන්නට වර රත්නවල්ලියේ...

හුලවාලි චිත්‍රපටිය බොහෝ දෙනෙක් බලලා ඇති නෙව... මේ හුලවාලී කියන්නේ රොඩී ‍රැහේ නායකයා... රොඩීන් කියන්නේ රාජකාරි ක්‍රමය මත පදනම් වූ කුල පරපුරක, කිසිවෙක් ඒ තම පරපුරට සම්මත වූ සිරිත් විරිත් වලට පටහැනි යමක් කල විට පලවා හැරි, ඈයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායම්ය කියා මම කියවා තිබෙනවා... ඔවුන්ට නිෂ්පාදනයේ යෙදෙන්ටත්, උඩු කය ආවරණය කිරීමත් තහනම් වුනාලු... තව තැනෙක කියවෙන හැටියට ඔවුන් ඉන්දියාවේ සිට පැමිණි යම් දඩයම් කාර ගෝත්‍රයක්...

පුරාණ ජනකථාවල හැටියට පැරකුම් රජ්ජුරුවන්ගේ මුලුතැන්ගෙට මුවමස් සපයන දඩයම් කාරයාටත් දවසක මුවෙකු සොයාගන්න බැරිව මුණ ගැසුනු දරුවෙකුගේ මස් ගෙනැවිත් දී තිබෙනවා... ඒ මස් ආහාරයට ගත්තු පැරකුම් රජුගේ දියණියට කෙසේ හෝ මේ මසෙහි විශේෂ රසක් දැනිලා හැමදාම ඒවා ගේන්න මස්වැද්දට අණ කලාලු... රටේ දරුවන් එකින් එක අතුරුදන් වෙනකොට, පැමිණිලි එනකොට, රජතුමා මේ ගැන සොයා බැලුවලු... කාරණව කොහොම හරි දැනගෙන සියලු රාජ වස්ත්‍රාභරණ ඉවත් කොට චණ්ඩාල කුලයේ ඇත්තකු ගෙන්වා පාවා දී තම කුලයෙනුත් මාලිගාවෙනුත් පලවා හැරියාලු... ඉන් පසු ඔවුන් රොඩී කුලයට වැදගත්තද රජකුමරියක් නිසා ඔවුන් ඇයට විශේෂ තැනක් දී තියනවා... ඔවුන් ගේ පූජා ගායනාවන්ට මේ රත්නවල්ලි කවි එකතු වන්නේද එහෙමයි කියා කථාවකුත් තියනවා...

මේ රත්නවල්ලිය අනුරාධපුරේ තෙලඹු ගසක් ආස්‍රව වාසය කිරීම නිසා එතැන රොඩී ජනයා පූජා පවත්වන ස්ථානයක් වන්නට ඇති... දු‍ටු ගැමුණු රජතුමාට "ඔබේ නමින් සෑය බඳිමි, විමාණයෙන් බසිනු මැනවි..." කියා කියන්නට වෙන්න ඇත්තේ අර ජනයාගේ විස්වාසයන්ට එකහෙලා විරුද්ධව කටයුතු නොකල නිසා වන්නට පුලුවන්... "හොඳයි ඔබේ නම යොදන්නම් වැඩේ කරගන්න ඉඩ දෙන්නකෝ ..." කියලා පොඩි පහේ සම්මුතියකට එන්ටෑති.... .

ඊට අමතරව, පසු කාළෙක කතරගම දෙවියෝ බවට පත්වෙච්චි මහසෙන් දෙවියන්නේ බිරිඳත් රත්නවල්ලි (පසුව වල්ලි අම්මා...?) නමින් හැඳුන්වුනාලු... බුදුන් දවස මෙරට හිටි කුම්බා නම් යක් රජුගේ දුවත් වල්ලිරාණි හෙවත් රත්නවල්ලී නමින් හැඳින්වී තිබෙනවා...

ඒ මොක වෙතත් මේ රත්නවල්ලි කවි නම් බොහොම මනෝ රම්‍යයි... ඇයගේ තේජසත්, බිය උපදවන ස්වභාවයත්, ඇඳුම් පැලඳුම් වල තිබුණු ස්වරූපයත් පිලිබඳ අපූරු චිත්‍රයක් අපට මවා දෙනවා...

නිල්බර නිල් රුකට නැගිලා උන්නු ලියේ...
නිල්බර නිල් වරළ ගවසා බැන්ද ලියේ...
නිල්බර එ නිල් අතු පැහැපත් ලාපු ලියේ...
නිල්බර තෙලඹුවෙන් බහු රත්නවල්ලියේ...

ඈත සිටන් එන්න සෙල්ලි සෙල්ලියේ...
මෑත සිටන් එන්නෙ මෙල්ලි මෙල්ලියේ...
කරේ බැන්ද පවලන් වැල නොසෙල්ලියේ...
පැරකුම් රජුගෙ දුව නව රත්නවල්ලියේ...

සීත සුලං සල් ඔලියෙල් ඇන්ද ලියේ...
බීත කරන රෝ දුක් ලෙඩ නැතිද ලියේ...
රාසි ගනන් මුතු මාලා ඇන්ද ලියේ...
ගාථා අසන්නට වර රත්නවල්ලියේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

මේ වේදනා... මේ චේතනා... විඳිනා..

නන්දා පතිරනගේ කටහඬ අපේ ආරයට කදිමට ගැලපෙන්නක්... ඇගේ ගී ස්වල්පයත් සිංහල ගී අතර මුතු මාලයක් වාගෙයි... "ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ...", "යලි උපදින්නම් අලුත් කෙනෙකු වී...", "මගේ දෑස මගේ කියා ඔබ පවසනවා...", "මල් වනේ රෝස කැකුලු... "බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්ට එපා..." ඒ අතරින් මම ආසාම කරන ගීත... ඇගේ මේ සියලු ගීත තොරානා ලේබලය යටතේ එන, එක තැටියකින් (ලන්ද දිගේ ) මේ දිනවල ලබාගන්න පුලුවන්... ඇයට කරන ගෞරවයක් වශයෙන් අද ගීතය මම බාගන්න දමන්නේ නෑ.... මම දන්නවා රස්සාවක් කරන කාලෙක වුනත් මටත්, ගී තැටියක් මිලදී ගන්න මාස දෙක තුනක් සල්ලි එකතු කරන්න වුනා... ඒ වාගේම මේ ගායිකාවටත් අසාධාරනයක් වෙනවා මේ දිනවල අලෙවි වෙන තැටියක තියන ගී කවුරු හරි නොමිලේ බාගන්න දුන්නම... මේක තේරුම් යයි කියලා හිතනවා...
ටී එම් ජයරත්නයන් සමග ගයන මේ ගීය, කුලරත්න ආරියවංශයන්ගේ පද වැලක්, ස්ටැන්ලි පීරිස් සංගීත වේදියානන්ගේ මියුරු තණුවක්....

ඒ පද වැල් මොනතරම් මිහිරිද... "ඒ ආදරේ කඳුලින් නුවන් තෙමනා...."
උගුර හිරකරන, නෙත් කෙවෙනි තෙත් කරන, ඇගේ ආදරේ මට නිරතුරුවම මතක් කරදෙනවා....

මේ වේදනා... මේ චේතනා... විඳිනා...
ඒ ආදරේ කඳුලින් නුවන් තෙමනා...
ඒ පාලු යාමේ ආදරේ අඳුනා...
හිත සැලුනා...

සීත සෝ සුසුම්... පාවි පාවි යයි...
හදවත අරණේ...
දෑස පාලුවෙන්... වේදනා නගයි...
ඔබ නැති යහනේ....
ඒ පාලු යාමේ ආදරේ අඳුනා...
හිත සැලුනා...

රෑක ඒ නුවන්... තාරකා පිපෙයි...
සිතුවිලි උයනේ...
වේදනා ලොවින්... රෑ පහන් කරයි
ඔබ නැති සිහිනේ....
ඒ පාලු යාමේ ආදරේ අඳුනා...
හිත සැලුනා...

සිංදුව අහන්න..
Read More!

සිරිබෝ කවි....

ගී පොතේ කවියක් දාන්න හිතුනේ මිහිරි බව නිසාමයි... සංගීතය නැත්තෙම නැතිවුනත් අමරදේවයනුත් නන්දා මාලිනියත් මේ කව අපූරුම මාදූර්‍යයකින් ගයනවා (කියනවා..?)... රන්දිල් නංගී කීවා වාගෙම "හෝම් සික් " හදාගෙන විඳවන්න තරම්ම ලස්සන නිර්මාණයක්...

පාට වර්ණ ඇති කුකුලනි මං...
තොපට රනින් වලලූ...තනවාලා දෙමි පයට....
මෙ අප දෙන්න එක්වුනි රෑ තුන්යමට...
ඉර දු‍ටු මුත් නාඬන් කුකුළනේ හෙට.....


හඳට හොරෙන් සඳ මුදුනෙන් රාහු ගියා...
ඉරට හොරෙන් ඉර මුදුනෙන් ගිරව් ගියා...
මලට හොරෙන් මල මුදුනෙන් බඹරු ගියා
අපට හොරෙන් නුඹ දෑසට නොපෙනි ගියා..

ගිරවුන් හැර ගියත් ඉර තනි නොවේවා
සාවුන් හැර... ගියත් සඳ තනි නොවේවා....
බඹරුන් හැර ගියත් මල තනි නොවේවා...
මා හැර ගියද... නැගනිය තනි නොවේවා...

පින් ඇති ලඳක් කර කාරෙට ලැබීයන්...
රුවැති ගුණැති දූ දරුවන් ලැබීයන්...
මේ ජාතියේ මං කල පව් ගෙවීයන්...
මතු ජාතියේ හිමි සඳ ලෙස ලැබීයන්...

සවි ඇති කලට උක් දන්ඩේ පැණි සේමා..
සවි නැති කලට... වැට කෙයියා රො‍ටු සේමා
වෙර නැතිදා කෙතකට බැඳි වැට සේමා
අසරණ දා... මල් යායේ ක‍ටු සේමා...

වැල්ලේ පිපෙන බිම්මල වාසනාවන්...
ගොල්ලේ පිපෙන පන්මල වාසනාවන්...
දෙපෝදාට පුන්සඳ වාසනාවන්...
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්....



සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...

Read More!

දෙදරු ලඳුනි මට නිදි නෑ....

ආයේ මොන පෙරවදන්ද, හැම දෙයක්ම සින්දුවේ කියනවා... කාසි හොයාගෙන, දරුමල්ලන් දාලා මේ කතරට එන, කීයක් හරි අත මිට මොළවගෙන, ආපහු තමන්ගේ දරු මල්ලන් වෙත යන්න බලන් ඉන්න, අම්මලා තාත්තලා හැමෝම වෙනුවෙන්...

දෙදරු ලඳුනි මට නිදි නෑ....
තරු පෑයූ ගිනි කතරේ...
ඉඳි ගස් සෙවනේ...
වැලි හුල‍ඟේ... කාසි නොවේ...
සිඹින්න බැරි දරු සුවඳයි පාවී එන්නේ...

උපන් බිමට දත නියවා...
රන් කාසිය මිට මොළවා...
සිත කකියන්නේ...
උන්නත් පෙර අප නොකා නොබී....
නවසි තැඹිලි ගස් සෙවනයි....
දැන් සිහිවෙන්නේ....

සැනසෙන්නට නුඹගේ කියා...
කටහඬවත් ඇහෙනවනම්...
ඉහ ඉද්දරිනේ, දැක ගන්නටවත් නුඹයි කියා...
හීනෙන් වත් පෙනෙනවනම් ...
ඇහැ පියවෙන්නේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න..
Read More!

උඩහ ගෙදර රං එතනා දෝතට දිය බොයි...

උදෙන්ම දුරකථන ඇමතුමක්... "මචං අර දුමී, උගේ සෙට් එකත් එක්ක හෙට අපේ ගෙදර එනවා... උඹත් අනිවා එන්නෙ ඕනේ ..පැදුරක් හොඳේ...විස්තර දවල් වෙලා කියන්නම්..." මගේ හිතවත් දුකාගෙන්.... ඊලඟට පෑ දෙකකින් විතර ආයෙමත් "මචෝ වැඩේ prepone වුනා... අද රෑට..." "හප්පට සිරි...OK OK" මමත් මේ කම්මැලි කමට සති අන්තය මේකේ අස්සට වෙලා ඉන්නවා... අරහෙන් සුලා මල්ලී කථාකරනවා එහේ එන්න කියලා... මම මෙහෙම අස්සට වෙලා ඉන්නවා දැකලා දවසක් ගල්මල් අයියත් ගෙදරටම ඇවිත් සොයා බැලුවා... (මූට Home Sick නිසා පිස්සා වෙලාද කියලා බලන්න වෙන්නෑති..!!!). මොනවා වුනත් මම වාසනාවන්තයි... මව් බිමෙන් පිටවුනත් එහෙම සොයා බලන, ඒ වෙනුවෙන් යමක් කරන යාලුවෝ ලැබෙන්න... (වචී පරම නොවී...!!! ඕං දැන් මණ්දාකිනියකිනුයි තවත් පි‍ටුවකිනුයි දුම් පිටවෙන්න ගනී...)

කොහොම හරි සංග්‍රහ බර සේරම දුකාගෙයි, දුකාගේ ගෙදර ඇත්තන්ගෙයි කරපිට... දුමී (ගිටාර්), දර්ශන (තබ්ලා), රජීව් (බොන්ගෝ), හා බ්‍රයන් කට්ටිය රෑ දහය හමාරට පටන් ගත්තු පැදුර අවසන් වුනේ (කළේ) පාන්දර හතහමාරට විතර... කදිම පැදුරක් ඒක... කඳු නගිමින් පල්ලම් බහිමින් හැල්මේ දුවමින් ඉකි ගසමින් ගැයෙන ගී මනරම්ව ඇසුනා.... අතරින් පතර රස කථා, හා බ්‍රයන් ගේ ඉල ඇදෙන comment... "ඇස ප්‍රීති කරන රූපා...", "මුතු වාගේ බබලනවා...", "මල් සිනා උදා වුනා...", "දෑස වසා ගමි..." එතකොට මිල්ටන් ඩබලගේම සින්දු.. හරිම ලස්සනට ඔවුන් වාදනය කරමින් ගායනය කරා... ටොප් ක්ලාස් ටෙස්ට් එකක්...

ඒ අතර මට අතුල සෝමසිරිගේ ගීයක් ගයන්න ඕනෑ වුනා (ගී කියන්න හරි හැටි බැරි වුනත්...) එතකොට දර්ශන (තබ්ලා) කියාපි "ඒ මගේ මාමා නේ..." ඔන්න බලමු... ඒ වියයුතු ලෙසින්ම දර්ශන මැක්සා ටෙස්ට් එකක් තියන දක්ෂයෙක්... මට තව අපූරු දෙයක් මෙ අතර නිරීක්ෂනය වුනා..මේ පැදුරට තව නියම තරුණ තරුණියෝ ටිකකුත් සෙට් වුනා... ඔවුන් මේ කාන්තාර ලෝකේ ටිකක් කල් ඉන්න උදවිය මට වඩා... මනෝජ්, ජනක, හශිත, හශිතා, මනෝජ් ගේ බිරිඳ හා මස්සිනා... අපි (මමයි දුකයි) හද්දා පරණ ඒවාට සෙට් වෙන කොට හශිත මෙහෙම කියාපි... "අපි ගොඩක් පරණ සින්දු දන්නේ නැහැනේ... ඒ නිසා ටිකක් අලුත් එවා කියමු හැබැයි දෙදාහෙන් මෙහා...." ඔව්... මෑත කාලෙදී බිහිවෙච්චි, සාදයකට හෝ පැදුරකට කියන්න මතක හිටින... ඔව් මෙන්න මේකයි වචනය... අනායාසයෙන් මතක හිටින ගී කීයක් බිහි වෙලා තියනවද...? තියනවනම් මගේ කණ නොවැටී, මතකයේ නො‍රැඳුනාවත්ද...? නොදනිමි කාගේ දොසා... මඩිස්සලේට හෙන ගැසූ විට කිල්ලෝටය ඉතිරි වෙද...? මොනව වුනත් ඒ යෞවනයින්ටත් ඉස්තරම්ම පන්නයේ රස වින්දනයක් තිබ්බා... එතන හිටිය බාලම කොලූ, මනෝජ් ගේ මස්සිනා, සිංදු මෝලක්... ඔහු පැ‍රැණි ලස්සන සිංදු බොහොමයක් දන්නවා...

මගේ මේ සුලු ව්‍යායාමයෙනුත් ඒ ලස්සන සිංහල ගී, චිරාත් කාලයක් යහතින් වැජඹීමට, පොඩි හෝ තල්ලුවක් ලැබේවා....

අද ගීය සුනිල් සරත් පෙරේරා මහතාගේ මුල්ම රචනය, අතුල සෝමසිරිගේ හඬින්...

උඩහ ගෙදර රං එතනා දෝතට දිය බොයි...
රත්තරනින් ගිගිරි වළලු රන් රසු හඬ දෙයි...
දණ්ඩි පැටව් උඩ පැන පැන පැන රණ්ඩු දබර වෙයි...
සුදට සුදේ කොකෙක් ඇවිත් වක්කඩ ලඟ දොයි....

පලා ගිරා නලා හඬට රොන් රස ඉල්ලූ...
ඇසේ මලින් මල පුබුදන මී මැසි සින්දූ...

සමන් ගිරේ ගිරේ ගිරි මුදුනට යන සමණලුනේ..
පාර කියනවද අප හට සිරිපා තඹරේ....

උඩහ ගෙදර රං එතනා දෝතට දිය බොයි...
රත්තරනින් ගිගිරි වළලු දෑතම රඟ දෙයි...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

යුග යුග හද බැඳ ආවෙමි පියමැන....


මට ලස්සන, තරමක් පැරණි ටෙලි නාට්‍යයක කථාවක් අද උදේ මතක් වුනා... දුකා ගේ පොස්ට් එකත්, සොඳුරු සිත මෑතකදී දැමූ පෝස්ට් එකත්, හදිසියේම රන්දිල් නංගී මගේ මිතුරාට (පවණට සැලෙණා දොඹමල් සුවදින් පෝස්ට් එකේ කියැවුනු) වුණේ මොකද කියා ඇසීමත් යන සේරමත් නිසායි මේ කථාව මතක් වුනේ.... ප්‍රධාන චරිතය රඟපාන්නේ පාලිත පෙරේරා... ඔහුට හොඳ පෙම්වතියක් ඉන්නවා... විවාපත් වෙන්න ලංවෙලා ඔහුට කේන්දරය බැලූ කෙනා කියනවා ඔබට හරියන්නේ දෙවැනි කසාදේ, පළවෙණි කසාදේ කෙනා මැරෙනවා කියා... තම පෙම්වතියට ඉතසිතින් ආදරය කරන ඔහුට මෙය දරාගන්න බැහැ... ඔහු මාරුවක් හදාගෙන දුෂ්කර පළාතට ගොස් ගෙදරක නවතිනවා... ඒ ගෙදර තරුණිය පරණ පන්නයේ කෙනෙක් නමුත් ගුණ යහපත්... ප්‍රේමයෙන් මුසපත් වෙලා ඉන්න ඔහුගේ සිතට දරුණු අදහසක් එනවා... එනම් මේ තරුණියව විවාහ කරගන්න... ඔහුගේ සිතේ බලපවත්වන මේ දුෂ්ඨ චේතනාව නොදන්නා ඒ අහිංසකී මේ තරුණයාට බහ දෙනවා... ඔවුනාතර විවාහයත් තරුණයා ඒ ගමේදීම සිදුකරනවා ඔහුගේ පාර්ශවයේ කිසි කෙනෙකුට දැනගන්න ඉඩ නොතබාම... විවාහ වුනත් අර තරුණයා ඔහු හිටි කාමරයේම ඉන්නවා... අර තරුණියටත් එය බරපතල ප්‍රස්නයක්...හෘදය සාක්ෂිය දැඩි ලෙස කථා නායකයාට වද දෙනවා...

මේ අතරතුර අර තරුණිය රෝගාතුර වෙනවා... හිමින් සීරුවේ ඒ ලෙඩට ප්‍රථිකාර කිරීම මගහරවනා ඔහු ලෙඩේ උත්සන්න වු විටක වෛද්‍යවරයෙක් ලඟට ගෙනියනවා...සොයාගන්න අමාරු බෙහෙතක් නියම වෙනවා.... තම කාරනය මුදුන්පත් වනු දකින ඔහු ඒ බෙහෙත කොලඹින් ගෙන එන්නෙමැයි කියා එළියට බහිනවා.... ඔහු හිතන්නේ එයින්ම මේ තරුණිය මියෑදෙයි කියා... දින කිහිපයකට පස්සේ කාරණය හරියටම දැනගන්න නැවත ගමට යන ඔහු පාළමක් මතදී යහතින් ඇවිදන් එන තමන්ගේ බිරිඳව දකිනවා... සිහි මූර්ජා වෙන තරමට කළබල වෙන ඔහු ඇළට ඇද වැටී ගිලෙන්න යනකොට අර තරුණිය වහා ඇළට පැන ඔහුගේ ජීවිතය බේරා ගන්නවා... මගේ ප්‍රියතම නිලියන් තිදෙනාගෙන් කෙනෙකු වන චාන්දනී සෙනෙවිරත්න මේ චරිතය අපූරුවට කරනවා...

හැබෑ ජීවිතයත් ඉතින් මේ වාගේමයි නේද?... සහකාරයා සහකාරිය තොරාගන්න පස් මහ බැලුම් බලන අතරවාරයේ තමා දෙස ආදරයෙන් කරුණාවෙන් බලන, සොයන බොහෝ දෙනෙක් මඟහැරී යන්න පුලුවන්... ජීවිතේ ගොඩක් අවස්ථා දෙන්නේ නැහැ නෙව... සරමක් කමිසයක් ගන්නවා වාගේ fit-on කර කර බලන්නත් බෑ නෙව... දෛවය යනුවෙන් යමක් ඇත්නම් එය මටනම් බොහෝ කාරුණික වී ඇත... ඇයත් මමත් මුණ ගැසුණු ඒ පන්තියේ සිසුන් ගේ හමුවක් අවුරුදු විස්සකට පසු අපි සංවිධානය කළා... ආපහු ගෙදර ඇවිත් ඇය මගෙන් හරි අපූරු ප්‍රස්නයක් ඇහුවා... "අපි එදා මෙහෙම එකතු නොවුනානම් අද ඉතින් යාලුවෝ වසයෙන් විතරක් හම්බ වෙලා යන්න තිබුණා නේද ...?" කියා... මම මගේ මතය හොඳ හැටි අවදි කර ආපහු rewind කර බැලුවා... හැබෑටම එදා මට ඈ කැමත්ත නොදුන්නානම් මම කාට කැමැති වෙයිද....???? අරයා... මෙයා... එතකොට අර කෙනා.....ම්ම්හ්... හරියන්නේ නෑ...."අනේ මන්දා මොනවා වෙන්න තිබුනද කියලා... හිතයන කෙනෙක් හම්බ වෙලා නෑනේ ආයේ...." මම අවංකවම උත්තර දුන්නා... සතුටෙන්ද, ඔච්චමටද සිනාසුනු ඈ..."ඔව් ඔව් ඉතින් හම්බ වුනා නම් ඔය ඩෝං යන විදිහට ඒ කෙනා වැඩි කල් ඉන්න එකකුත් නෑ..." හැබෑව... නමුත් දැන්නම් ටිකක් අඩුවෙලාය...!

යුග යුග හද බැඳ ආවෙමි පියමැන, සුහදේ දෑත පතා...
සවනට ලන්වී මිහිරේ කිවමැන,අමයුරු මියුරු කතා... අමයුරු මියුරු කතා

දහසක් දෙනුවන් අතරින් රහසේ, බැන්දෙමි පෙම්හර ඔබෙ නිල් දෑසේ...
සිහිනෙන් දිවගෑ රන් රස රහසේ, යලි වින්දෙමි සුහදේ... යලි වින්දෙමි සුහදේ

නොගැයූ ගීතය හදින් ගයන්නම්, මිහිරෙන් පිබිදී දෙපා තබන්නම්...
දෙහදේ පතුමන් එක්කර ලන්නම්, පසුපස මා එන්නම්... පසුපස මා එන්නම්

සින්දුව අහන්න.... ඕන්නම් බාගන්න...

ගායනය ඉන්ද්‍රා විජේරත්න
Read More!

ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට...

අලුතින් නිවස සාදා නිමකල මා මිතුරාට යම් ත්‍යාගයක් ගන්නට මට ඕනෑ කලේ නිවාඩුවට ලංකාවට එන්නට පෙර සිටමය... ගෙදර ඇත්තන්ට පිඟන් බඩු අතපත ගාන්නට තිබු ආසාව යටින් තබා "අර සීබල් ඇවනියු එක ඉස්සරහ තියන දංකො‍ටුව ෂෝ රූම් එකේ නම් ඔයාට ඕනේ විදිහේ දෙයක් ගතහැකි...!" ලෙසින් කල යෝජනාවට මමද එකඟ වුනෙමි... තුන් හතර ගමනක් එහි උඩ පහල ඇවිද ගොස් එකඟතාවකට එන්නට අප දෙදෙනාට හැකිවිය... ගෙදර ඇත්තන් එක්ක මෙබඳු ගමන් යාමට මමද ප්‍රියකරමි.... යමක් මිලදී ගත්තත් නොගත්තත් ඈ ඒවා අතපත ගා රස විඳිනවා බලන්නට මා කැමතිය... බලාපොරොත්තු නැති අවස්ථාවක ඈ විස්මයට පත් කරන්නට මට ඉඩ ලැබෙන්නේ එලෙස පුරවා ගත් මතකය කැලැත්තීමෙනි....

මා ප්‍රිය කරන ඒ සොඳුරු ගායකයා, නිහතමානී සරල මිනිසා, ඒ ඒ සාප්පුවට ගොඩ වුනේ ඔය මොහොතේදීය... කථා කරන්නට ඉඩක් නොලැබුනත් "ඔහු දැකුමෙන්ම" මට ඔහුගේ ගී ගොන්නම මතක් වුණි... මා ‍තෝරා ගත් අයිතමය එකලස් කොට නිසි පරිදි අසුරන තෙක් මමත් ගෙදර ඇත්තනුත් ඒ කවුන්ටරයට වී දෙඩවමින් උන්නෙමු... සේවකයින් කාර්‍ය බහුලය... එය සුරුවමෙන් කල කටයුත්තකි... එවිට "සෝමතිලක ජයමහ" නම් වූ ඒ සොඳුරු මිනිසාද ඔහුගේ අයිතමය ඇනවුම් කර, එකලස් කරවාගන්නට එතනට පැමිණුනි... සේවකයින්ට ගනු දෙනු කරුවන්ගේ මුහුණු බල බලා ඉන්ට වෙලාවක් නැත... ඔහුට මා පි‍ටුපසින් පෝලිමේ ඉන්නට දෙන්න මටද සිත් නොදේ... කවුන්ටරයට ඔලුව ඔබා "මල්ලි මේ මහත්තයාගේ වැඩේ ඉස්සෙල්ල කරලා දෙන්න... " යයි කීවෙමි.... සේවකයා රොබෝවක් මෙනි... මගේ වැඩය එහෙමම් අතැරී ඔහු එතුමාගේ වැඩය කරන්නට පටන් ගත්තේය... ඔහු මා හට කාරුණික සිනහවකින් සංග්‍රහ කලේය... ගායකයින්, ගී නිර්මාපකයින් හෝල් සේල් සන්ෆ්ලවර් වන්දනාවේ යද්දී නිසොල්මන්ව වුන් අතලොස්සක් දෙනාගෙන් කෙනෙකි ඔහු...

සෝමතිලක ජයමහයන්ගේ පියාණන් ඔවුන් කුඩා කල නින්ද යනතුරු ලඟට වී ගී ගායනා කල බව මා පුවත් පතකින් කියවා ඇත්තෙමි... ගොර ගොර හඬකින් වුවද, මාද එය, මගේ වුන් කුඩා කාලයේදී කරන්නට පුරුදු වූයේ ඒ මතකය ඔස්සේ යැයි සිතමි... ලොකු හාදයා බහ ‍තෝරන වියේදීම "මුහුදු පතුල යට ඉඳලා..." ගීය මා කියනවා අසා "පාට පාට... " යන්න තාලයට කියන්න උත්සාහ කල හැටි මගේ සිතේ නොමැකී ඇඳී ඇත...

සේවකයා ඔහුගේ ඇණවුම නිම කර බාර දුන්නේය... "අපි ගිහිල්ල එන්නම්..." කියන්න තරම් ඔහු නිහතමානීය... මම පසෙකට වී දෑත් එකතු කොට ඔහුට ආචාර කළෙමි....

ඒ මතකය වෙනුවෙන් මා ප්‍රියකරනම ඔහුගේ ගීයක්...

ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට...
සිත් විය කප් අග හිරු පායන තුරු...
යෞවන ප්‍රේමය නව දලු මල් ලා...
කුරුලු සරෙන් කන් කන් පියවයි සුමියුරු...

ආදර සෙනෙහස කිසි අඩුවක් නැත...
මා හැරදා ගිය නමුදු අතීතෙක...
පෑල දිගින් විත් මතකය පුබුදයි...
මහලු වියට පත් වසන්ත සඳවත...

ගම සතපාලන නින්ද ඇදෙන විට...
අන්ධකාර කඳු වැටියෙන් මෙපිටට...
අත ගත් පිය හිමි සමග ගයනු මැන...
මටද ඇසෙන්නට කුරහන් සී පද...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

ඔබ දකින්නට කාලෙකට මම මුහුදු වෙරලට එන්නේ නෑ....

"ක‍ටුනායක...!"
මිහිරිම මතකයනුත් අමිහිරිම මතකයනුත් අතර අනිවාර්‍යයෙන්ම ‍රැඳී ඇති නගරය... ලංකාවේ සිටින විට වුව ගෙදරින් බැහැර යාමට මනාපයක් නොදක්වන මට, මේ ගව් ගනනක් දුරු රටක සිරවීමට සිදුවීම කෙතරම් රුදුරුද...? තීරණය අප දෙදෙනා විසින්ම එකල තුබු කාරණා තුලනය කොට අනාගතය වෙනුවෙන් ගත්තකි... කාටවත් දොස් පැවරිය නොහැක... අවුරුදු දෙකකට හෝ අවුරුද්දකට වරක් ගම රට බලා යන්නට වුණු ‍රැකියාවක් විණි නම් මා මෙහි නො එන්නට බොහෝ ඉඩ කඩ තිබුණි...

පොඩි හාදයා සුබ පතන්නවත් වඳින්නවත් ලඟට නාවේය... ඇඳුම් මල්ල සකස් කරන විට "මම මේකට බැහැලා ඔයත් එක්ක එන්නද...?" මගෙන් ඇසී... කෙසේ නම් ඉවසා ඉන්නද...? ඔහුගේ සිත මට තේරේ... හිතේ දුකක් ඇති කරගෙන මට සමු දීමට ඔහු නොකැමතිය... ලොකු හාදයා හිත තද කරගෙන ඉන්න පුරුදු වෙනවා වැනිය... මගේ හිසට ඈ විසින් සිඳ සකස් කෙරූ තැඹිලි තෙල් ඩිංගක් දමා කදිම සම්බාහනයක් ඔහු විසින් යනදා උදේ මා වෙත තිළිණ කරන ලදී... මා ඔහු වැලඳ ගත් විට "පරිස්සමින් ගිහින් එන්න තාත්තේ..." කියන්න තරම් දැන් ඔහු මෝරා ඇත... එය සිතට යම් සහනයකි...

"ඔන්න ඉතින් පොරොන්දු වුනා නේද...?"
ඇය තරම් මා දක්ෂ නැත... උගුරෙන් මතුවන ඉකිය මට වලක්වා ගත නොහැක... ඇයගේ ස්වරයද හැඩුම් බරය... ඉමහත් වගකීම් සම්බාරයක් ඈ මත පැටවුනද, මේ දින කිහිපය මා සතුටින් තබන්නට ඈ ගත් මහන්සියට අලගු තබන්නට වත් "සෙනෙහස ගැන සිතා, මද්දහනේ ගොස්, කර ලන්නට ගෙනා රිදී පොටට" කිසිසේත් නොහැකිය...

ලංකාවට පා තබා නිවසට ගොඩවූ සැණින් මා පිලිගන්නට ආ ඇයව, වැලඳ ලයට තුරුලු කර නිමේශයක් දෙකක්, අප එදා ගත් තීරණය නිවැරදි දයි මෙනෙහි කළෙමි...
"පව් අප්පා..."
මා අසාමාන්‍ය වේලාවක් එලෙස ගතකර ඇති බව මට මට එවෙලෙහි අවබෝධ වුනේ ඇගේ ඒ වදනත් සමගය...

ඉක්මණින්ම මේ යාම් ඊම් වලට සමුදිය යුතුය... මරණය මීලඟ මොහොතේ වුව අපකරා ලඟාවිය හැක... එහෙත්...

දුකිනි තනිවම ඉවත යන්නේ... මගේ ගම රට හැරදමා....
හරිම ආසයි යන්න ඇත්නම්... තවත් සැරයක් ඔබ බලා....
මාගේ රන්කඳ පිය ලඳේ... කාලෙකට මම එන්නේ නෑ...
ඔබ දකින්නට කාලෙකට මම... මුහුදු වෙරලට එන්නේ නෑ....

සුදට සුදු පෙණ සෙමර සලමින්...වෙරළ සිප එන හැටි පෙනේ....
මුහුදු රළ පෙළ බොලඳ මියුලැස... ඔබට මුතු මාලා ගෙනේ...
මාගේ රසවති සඳවතී....කාලෙකට මම එන්නේ නෑ...
ඔබ දකින්නට කාලෙකට මම... මුහුදු වෙරලට එන්නේ නෑ....

සුමුදු පාණී ඔබේ අත ගෙන... බඹර ‍රැව් පෙම් ගී ගයා...
යොවුන් මල්බර වසන්තයෙ ඔබෙ... නමට බැන්දෙමි රස සොයා...
මාගෙ සිරි ළියේ පෙම් ලියේ... කාලෙකට මම එන්නේ නෑ...
කාලෙකට මම ඔබ දකින්නට මුහුදු වෙරළට එන්නේ නෑ...

ලඳේ මේකයි කදෝකෙමි නිල්.. පබලු ඉහිරෙන රසික කාලය....
මගේ මුලු ළය මඬල නලවන... ගීතවත් වුනු උමතු ආලය...
මාගේ පබසර රසවතී... කාලෙකට මම එන්නේ නෑ...
ඔබ දකින්නට කාලෙකට මම මුහුදු වෙරළට එන්නේ නෑ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

උඩට උඩු වියන් පාවඩ පයට අතුරලා...

මගේ යුග දිවියට වසර දහතුනක් අද සපිරෙනවා... මගේ කුලුඳුල් ප්‍රේමයට වසර විස්සක් පිරුනෙත් මේ මාසෙමයි... ඇයට යම් තිලිණයක් දෙන්න මට උවමනාව තිබුනා... ඇයව විස්මයට පත් කරන්න උවමනාව තිබුනත් එයට වඩා ඇයගේ කැමත්ත අනුවම යමක් ‍තෝරා ගන්න ඉඩ දෙන්න මට හිතුනා... ඊයේ ටවුමට යන විදිහට දෙන්නත් එක්කම එලියට බැස්සට, මගදී සියලුම සැලසුම් වෙනස් කොට හිමින් සීරුවේ ඇයව තැනකට එක්කන් ගියා...නැත්නම් කවදාවත් කරන්න ඉඩ දෙන්නේ නෑ... ඇයට රුචි යමක් තොරාගන්න කිව්වා, මංගල මාලය ‍තෝරාගත් දිනයේ වාගේම... නමුත්... ඒ ඇයමයි... අවුරුදු දහතුනකට පස්සෙත්... චාම් අලංකාර මුදුවක් ‍තෝරාගන්න ඇයට ඒ හැටි වෙලාවක් ගියේ නෑ... අදත් එහි මිල මගේ සූදානමෙන් භාගයයි...

අද උදේ ඇයට එය පළඳවා "ස්තූතියි හැමදෙයක් වෙනුවෙන්ම..." තෙත් වූ දෙනෙතින් කීවෙමි...
යුගදිවියක උපරිම සන්තුෂ්ටිය අත් වින්දෙමි...

උඩට උඩු වියන් පාවඩ පයට අතුරලා....
දෙපස මල් යහන් ආසිරි දසත පතුරලා...

නැකත යන සුබයි... ඔහු පෙරට පය තබයි...
ලොවම ජය ලබයි... යන ගමන ඇය සුබයි...
මිහිරි පෙම් කතා රහසින් කනට කොඳුරලා...
සෙනෙහෙ ගඟ ගලයි හදවත් ඉවුරුතල තලා...

සිහිල උණුසුමයි... පැල ඇතුලෙ එක තමයි...
අමිල හදවතයි... අගේ අමිල හදවතයි...
ඔහු පතන සැනසුමයි...ඔහු පතන සැනසුමයි...
තිලිණ කොට පිදූ පිවිතුරු හදවතක් විනා....
නොමැත ඇය සතූ සම්පත් මුතු මැණික් ගෙනා....
මුතු මැණික් ගෙනා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න.
Read More!

මා සතුටින් බව ඔබට පෙනේ නම්...

සුනිල් පෙරේරා (ජිප්සීස්) ගායනා කල මියුරු ගීයක් මගේ සවනත වැකුණා මේ නොබෝදා... බොක්ස් ගිටාරයක් පමණක් පාවිච්චි කරමින් රූපවාහිනී වැඩසටහනකට ඔහු මේ ගීය මනරම්ව ගැයුවා... කුමක් හෝ අසා ඇති හුරු පුරුදු බටහිර ගීතයක තනුවක්ද මගේ හිතේ ඡායාවක් සටහන් කර ගියා... දෝරේ ගලා යන ආදරයකින් නහවත්දීත් "ඔබේ සෙනෙහස මට තුබුණත්, නැතත් කම් නැත... මා මගේ මග යන්නනෙමි..." කියනා කෙනෙක් වෙනුවෙන් ගැයුනු ගීයක් ලෙස මට මේ ගීය දැනේ...

මා සතුටින් බව ඔබට පෙනේ නම් එය වැරදියි රත්නේ...
නිතරම කඳුලෙනි මා පසුවන්නේ මට අයිතිය කඳුලයි...

පාලුව තනිකම, මට වද දෙනවිට...
කෙලෙසද ඉවසන්නේ...
කියන්න සොඳුරිය.... කියන්න සොඳුරිය...
ඇයි මට මෙහෙම වුනේ....

මා අමතක කොට, ඔබ ගත් නව මග...
ඔබහට සුව දේ නම්...
කුමක් වුනත් මට ඒ ගැන කම් නැත...
තනිවම මා ඉන්නම්...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න.

ඡායාරූප ස්තූතිය චමිල වික්‍රමසිංහ සොයුරාට....
Read More!

රත්තරන් කූඩුවේ, ඉන්නෙ රන් කිරිල්ලියේ...

රත්තරන් කූඩුවේ, ඉන්නෙ රන් කිරිල්ලියේ....
දැන් ඔයාගේ දුකට සැපට ඉන්නෙ මං තමයි... ඉන්නෙ මං තමයි....
සුන්දරයි ජීවිතේ ඉන්නෙ රන් විමානයේ...
ඔව් ඔයාගේ දුකට සැපට හිටියෙ මං තමයි....


කුරුලු ජීවිතේ රහා දැන් ඔයාට මතක නෑ....
මේ බලන්න මා සිටින්නේ රන් විමානයේ....
විලඳ මී පැණී අමා... කිරිදියෙන් කවා පොවා....
මේ බලන්න මා සිටින්නේ රන් විමානයේ....


මල් විනෝද බල බලා... ඈත අහසෙ පියඹලා....
ගී ගයන්න යන්න එන්න රන් කිරිල්ලියේ....
විලඳ මී පැණී අමා... කිරිදියෙන් කවා පොවා....
මේ බලන්න මා සිටින්නේ රන් විමානයේ....

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න.
Read More!

අඹරේ අද නැත පුන්සඳ....

"ඕ... අද එන්න පරක්කු වුනා නේ...?, අද ඇප්‍රේසල් එකක් කරන්න තියන හින්ද රෑ වෙනකල්ම ඔ‍ෆිස් එකේ... එපා වෙලා හිටියේ..."
"අයියෝ මේ චූටියාට සනීප නැති වෙලානේ... එයත් එක්කම නින්ද යනකල් ගොඩක් වෙලා ඉන්න වුනා ඇඳටම වෙලා... මොකද අද අනෙක් යාලුවෝ නැද්ද..."
"ඒ මොකද්ද ඒ කතාව... චූටියාට දැන් කොහොමද..."
"හ්ම්ම්... එයාටනම් සනීප වෙයී....."
"මොකද අද හරහටම කථාව... "
" මගේ මොන හරහක් ද... ඒක නෙවෙයි කවදද ඉතින් ගම් පලාතේ යන්නේ...."
"ඇයි මොකටද අහන්නේ....?"
"නෑ ඉතින් ඔයා යන්නේ ඔයාගේ සුදු මැණිකේ බලන්නනේ..."
"ඔව් ඉතින්....?"
"හරි හරි අපෝ මම විහිලුවක් කළේ....මේ අද වැල් වටාරම් ගොඩක් බෑ හරිද... මට ඉස්සරහට නිතර ඔන්ලයින් එන්නත් බැරිවෙයි...."
"එහෙනම් අද මොකද ආවේ...."
"හපෝ.... මොකද ඔය මූලග්ගින්න...?"
"මම ඉතින් එහෙම තමයි..."
"හරි හරි එහෙනම් මම යනවා අදට... ඕන වෙලාවක මට ලියන්නකෝ.... අමනාප නෑනේ...?"
"හ්ම්ම්..."

අඹරේ අද නැත පුන්සඳ.... කෑලි කැපෙන ගනඳුර මැද....
එන්න සොඳුර පාලුව බිඳ පැල් කවි කියමු...
සඳය කියන කොමළ අඟන තරු දරුවන් සමඟ නිදන...
අමාවකේ පොහොය මෙදින පාලුව ඒකයි...
පාලුව ඒකයි....

ඇල් හාලේ බතක් උයා... කිරි හොද්දක් ලිපේ තියා....
මුලුතැන්ගෙයි දොරග තියා එන්න මිහිරියේ....
එන්න මිහිරියේ....
සිරි පොද ටික ටික වැටෙනව... චිරි චිරි චිරි හඬ ඇහෙනව...
සුලඟ කවුලුවෙන් එබෙනවා.... හොඳටම සීතයි...
හොඳටම සීතයි....

ඈත කොවුල් දූතිකාව.... ගයයි ඇගේ ගීතිකාව....
එන්න මගේ රූපිකාව... ඉන්න මා ලඟින්....
ඉන්න මා ලඟින්....
අහස යකින්නියක වගේ... ඈ විදුලිය දත් නියවයි...
ගොරහැඩි ලෙස හෙණ හඬ දෙයි.... හද ගැස්සෙනවා...
හද ගැස්සෙනවා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

රන්මිණි මුතුවැල්... මල්පෙති වන විල්..

අපේ වැප් නිශාන්ත මල්ලියා ලඟදී වැදගත් කථාවක් කියලා තිබුනා.... බ්ලොග් ලියන අයට පොඩ්ඩක් හිතලා බලන්න.... ඒකාකාරී මාතෘකා ඔස්සේම ලියන්නේ නැතිව ටිකක් වෙනස් දේ නිර්මාණශීලී දේ කරන්න හිතන්න පෙලඹවීමක් හැටියට මම ඒක භාරගත්තා... තමන්ගේම නිර්මාණයක් එහෙම නැත්නම් අලුත් විදිහේ ඉදිරිපත් කිරීමක්, වෙනස් විදිහේ හිතීමක් (ද්වේශ සහගත හා අපහාස මුඛයෙන් තොරව) හැම තිස්සේම මිනිස්සුන්ට යහපතක් කරනවා කියලයි මම හිතන්නේ... හාස්‍ය රසය පවා කොච්චර වෙනස් විදිහකට ඉදිරිපත් කරන්න පුලුවනිද නේද...? ඔහොම හිතාගෙන යනකොට මට ඇන්ජලීන් ගුණතිලකගේ මෙන්න මේ ගීය හමු වුණා...

පළමු පද පේලිය "රන්මිණි මුතුවැල්, මල්පෙති වන විල් නොදෙන හැඟීමක් දේ... "Mi5", ISI" හා "RAW" ආයතන වල සමහර හිටපු ඒජන්ත වරුන්ගේ ලිපි දැන් දැන් ප්‍රසිද්ධියේ පලවෙනවා... ප්‍රසිද්ධ CIA හෝ MOSAAD සේවාවන්ට වඩා ඔවුන්ගේ විධික්‍රම බොහෝ සෙයින් වෙනස්... එතකොට චීන ඔත්තු සේවය ගැන කවුරුවත් අහලා තියනවද...? මම නම් නැත... හැබැයි මේ කොයි කවුරුනුත් පාවිච්චි කරන පැරණිම උපක්‍රමයක් තියනවා... ඉංගිරිසියෙන් මේකට Honey Trap කියලා තියනවා... රන්මිණි මුතුවැල් පටලවාගත් නයනඟ බැල්මට වශීවී රටවල් පවා පාවා දුන්නන් කොපමණද...? ආගම් ප්‍රචාරය කරන්නත් අනෙක් ආගම් විනාස කරන්නත් සිංහ සෙයියාවෙන් සිටිනා මිනිසුන් අන්ත අසරණ කරන්නත් අපේ රටේ ඇතුලෙම මේ උපක්‍රම කොපමණ පාවිච්චි වෙනවද...? කට කැඩෙන කල් කිව්වත් "කිව්වා නාහන ගුරු" වෙලා රස්සාවත්, ව්‍යාපාරත්, පවුල් ජීවිතයත් නැතිකරගත් මා මිතුරා අද යන්තම් ජීවිතය ගැට ගහගන්නේ තම හිතමිතුරන්ගේ කරුණාවට පින්සිද්ධවෙන්න... ආලය, ඍංගාරය, රාගය, හා බාඳුරා මල හඳුනාගන්නට ඔබට පුලුවන්ද...?


රන්මිණි මුතුවැල්...
මල්පෙති වන විල්...
නොදෙන හැඟීමක් දේ....
නයනඟ බැල්මෙන්...
විහිදෙන කැල්මෙන්...
ආදර ගඟ කැලතෙයි....

නුහුරු හැඟීමකි...
නුපුරුදු රසයකි...
තොල්පෙති පොපියන්නේ....
මතුවණ රසයෙන්...
ඇතිවෙන සුවයෙන්...
හිත මත් වී යන්නේ...

රඟනා ‍රැඟුමෙන්...
සැලෙනා සළුවෙන්...
සැඟවෙයි දුක සෝකේ....
ඉතිරිය ආලය...
ඇති තැන මිහිරිය...
මල් යහනකි ලෝකේ....

ඔබෙ අත ගන්නෙමි...
මගේ හිත දෙන්නෙමි...
සිහිකල රෑ යාමේ...
සිතු ලොව සැතපෙයි...
අපි මෙහි නැලවෙයි..
මගුල් සක්වලයි මේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න...

සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න...
පිපී පිපී නෙත් විල මැද බඹරා සනසන්න...

හැලෙන දොලෙන් ගලන ග‍ඟෙන්...
පිරි පෙණ පිඬු වෙන්නම්....
දෝත පුරා දිය බිඳ බිඳ...
බොනු දැක සැනහෙන්නම්....

සුසුම් වැලෙන් සුසුම් වැලට...
ඔබේ සුසුම් බොන්නම්...
ආදරයේ පණිවුඩ දී...
සුලඟක් වී එන්නම්....

සිහින වලාකුළු එවලා...
නිති සුව ගෙන දෙන්නම්...
ආශාවේ තොරණ් මැදින්...
ඔබ ජයගෙන ඉන්නම් ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...

ගායනය නාලිනී රණසිංහ
Read More!
 
Blogger Wordpress Gadgets