යුග්ම තාරකා දිලිසෙන ලස්සන දෑසේ...

යුග්ම තාරකා දිලිසෙන ලස්සන දෑසේ...
පුංචි වසන්තයක් හැංගිලා..

සවන් මැදින් සීණු හඬක් හදට රිංගලා
අවිහිංසක ලොවක් නැංවිලා..

හිමාලයද ටජ්මහලද ඕනේ..

සූකිරියෙන් මාළිගාද ඕනේ...
ඇත්තෙන් මොනවද ඔයාට ඕනේ..
තරහ ගන්න එපා හිච්චි නෝනේ...

අංජනමක් බලව ගන්න ඕනේ...
හොරේ මොකද අල්ලගන්න ඕනේ...
සැනසීමක් ලබාදෙන්න ඕනේ..
ඇහැ පියාන නිදාගන්න ඕනේ...


ඕන්නම් බාගන්න....


1964 තිරගතවූ දෝස්ති චිත්‍රපටිය ඇසුරෙන් 1971 දී නිපදවූ 'කළණ මිතුරෝ'චිත්‍රපටියේ ගීයකි....
Read More!

රන්දෝ මං නුඹ හන්දා...

කන්දේ රන් සඳ උන්නා...
හැංගී රන් තරු උන්නා...
රන්දෝ මං නුඹ හන්දා...
කන්දේ පාමුල උන්නා....

සැලෙනා කහ මල් ඉත්තෙන්...
පෙණුනා
නුඹෙ අත රන්වන්....
හඬනා බඹරුන් තැන් තැන්...
ඇසුණා නුඹෙ ගී ලන්දෙන්....
දු‍ටුවා මං නුඹ නින්දෙන්....
එනවා බැහැගෙන කන්දෙන්....
පිපුනා මදු මල් බැද්දෙන්....
හැඬුවා මොණරුන් සද්දෙන්

බැන්දෙ ගෙවැට කවුරුන්...
ඉන්නේ තනියට කවුරුන්....
ගන්නේ ආදර කවුරුන්....
දුන්නේ මට දුක කවුරුන්....
හැංගී රන් සඳ යන්නා....
හැංගී රන් තරු යන්නා...
රන්දෝ මං නුඹ හන්දා...
ගම දා යන්නට යන්නා....


Read More!

බඹර සිහිනයෙක....

නින්දෙන් අවදිවූයේ විසිලු සහගත සිහිනයක අවසානයේදීය..
දකුණු කකුලේ ඉහල ගැටිති පහක් හයක් මතුව ඇති අතර එය පෙන්වූ වෛද්‍යවරයා කීවේ එය ඔඩු දිවූ පිළිකාවක් බවය...
තරුණයන් මේවා කියූ විට කියන්නේ  "අයියට හීනෙන් ගොක්කොල පේනවද...?" කියාය

ගෙවුණු සතියේ 'කිලිටි වූ රෙදි' සෝදන යන්ත්‍රයට දමා අවුත් තේ එකක් සාදා ගෙන සුපුරුදු ලෙස 'start' බොත්තම එබීමි...

JP, Pinch Point නැමැති බ්ලොගය ලියන්නේ 2007 බඳු ඈත කාලයක සිටය - දීර්ඝ කාලයක් බ්ලොග් ලියන මා දන්නා අනෙකා පැතුම් හේරත්ය. මේ දෙකම නිසල විලක අසිරි මගේ සිත්හි මවයි...

JP මෙවර ලියා ඇති සටහන මගේ බොහෝ සිත් ගති. ඒ සටහන් පොත් ගැන සටහනෙකි. ඇතෑරුණු අතීත මතක සටහන් වලට එබීමට සටහන් පොත් කදිම ද්වාරයකි.. සෝදන යන්ත්‍රයෙන් ලැබෙන්නේ පිරිසිදු වූ රෙදි වුවද සටහන් පොතේ සටහන්ව ඇති මතකයන් ගෙන් සිත එසේ පිරිසිදු කරගත හැකිද???

ජනේලයෙන් එපිට පෙනෙන අහස්කුස දෙසැම්බරය ලංවන විට මණස්කාන්ත දසුන් මවයි...
අබුඩාබියේ  අහස  'වලාකුලක් නැති අහසක් ඈතින් දු‍ටුවා' ගීය නිතරම සිහි කැඳවයි....
උඳුවප් හීතල සමග වලාකුළු, ගෙවුණු වසරේ අහසේ පාළුව මකන්නට මෙන් හෙමින් හෙමින් එක් රොක් වේ..
තත්පරයෙන් තත්පරය වෙනස්වන පැහැයත් රූ රටාත් අහසේ මවන අනේක දසුන් ග්‍රහණය කරගැනීමට කැමරාවක් ලඟ නැත...ඒත් ඒ හදන්නේද ඒ දසුන ජීවත්වන හැමදා තමා සතු කරගැනීමට නොවේද?
ඒ සොඳුරු බව එලෙසින් විඳ, ඒ එතන දමා එන්නට, සිතක් සකස් කරගන්නේ කවදාද...??

'ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින්, දෙනයන..' හඳුනා ගත යුතුය.. නැවත සිතා බැලීමකට හොඳ දවසකි...
එලාමය හැඬවෙන්නේ කිලිටි රෙදි ටික පිරිසිදු වී ඇති බව දන්වන්නට විය යුතුය..
බඹර සිහිනයෙක, සුරංගනා වතක ගැලී ඉන්නට වෙලාවක් නැත...
කලයුතු වැඩ බොහෝ ඇත...

Read More!

සිරිකත එන මග ලා තණ ගොබ මත පිණිකැට අතුරාලා...

ලංකාවේ සංගීත සම්භවය සොයා ගිය සී ද එස් කුලතිලකයන් මහා ගවේෂණයකට පසුව එනමින්ම පොතක් පල කර නවතින්නේ නැත. ඒ ඇසුරින් හේ නිර්මාණකරණයේද යෙදෙන්නේය. ඒ දල්වන පහන් එළි නව නිර්මණකරුවන්ට එලිදැක්වූවා පමණක් යැයි මම නොසිතමි. නිර්මාණකරණයේ යෙදීමට පෙර ශාස්ත්‍රයට අමතරව ඒ ශාස්ත්‍රයන් බිහිවූ පසුබිමද හැදැරීමේ වටිනාකමද ඒ හා සමානව ඔහු කියාදෙයි. නිර්මාණ බිහිකරන්නේ කා වෙනුවෙන්ද යන්න, ගබ්සාව, දැවැද්ද, දේව-අදේව වාදය වැනි පිළුණු මාතෘකා වුවද පෙට්ටගම් ඇවිස්සීමෙන් අහඹු ලෙස වටිනා දෑ හම්බ නොවන්නේද නොවේ. ගුණදාස කපුගේ ගේ හඬෙහි මා දකින විසේසයකි. පොඩියක් එහා මෙහා කරගෙන ඒ හඬ අපේම හඬක් කරගත හැකි ඉඩ කඩ ඉතා  වැඩිය. 'අඳුරේ ඉන්නෙමි ලොවම එපාවී..' සිට 'සි‍ටු කුමාරියේ නුඹට සීත අගුනයි...' හරහා  ඕනැම ගීයක් සෘතියේ පිහිටා හෝ නැතිව අනායාසයකින් අපටම ගායනා කල හැකිය. ඒ හා සමාන හඬක් මීලඟට ඇත්තේ සේනානායක වෙහෙරලියැද්දයන්ටය. නිර්මාණකරනයේ යෙදෙන්නට පෙරම විකිනෙන්නට පටන් ගත් නිසා දෙවැනුව කී හඬ පොදු ජනයාගෙන් ඉවත්ව ඇතැයි හඟිමි. 'නංගීට බැඳපු මල් වියන..' පමණක් ඉතිරිව ඇත...
කලා විචාරය ගැන මා දන්නා අලබෝලයක් නැත. මම රසිකයෙක් පමණක්ම වෙමි. විචරකයා යනු නිර්මාණය රස විඳීමට උත්තේජනයක් ලබාදෙන්නෙකුයැයි  කදිම නිර්වචනයක් සහෝදර බ්ලොග් කරුවකු වන නලීන් දිල්රුක්ෂ කියා තිබුණි. රස විඳීමේ දී සිතන පතන දෑ බෙදාහදා ගැනීම ආනන්දයෙන් ප්‍රඥවට යා හැකි තවත් ක්‍රමයකි.

ඔපෙරාව යනු ගීත නාටක බව අසා ඇත්තෙමි. ලංකාවේ ගීත නාටක කලාවක් තිබුණාදැයි ඇසුවොත් ඔපෙරා ගැන සිතා නම් උත්තර බැඳීමට බැරිය. එහෙත් දෙපානෝ, මූදු පුත්තු ඇසුරෙන් නම් එවන් ඔපෙරා හා ඊටත් කලින් සන්නි යකුමේ, කොහොඹා කංකාරීයේ ඉඳන් මනමේ නාඩගම දක්වාම මටනම් ගීත නාටක ඇත. බෙදා වෙන්කිරීම් ශාස්ත්‍රඥාණය ඇත්තවුන්ට හා විචාරකයින්ට භාර කරමු. අපට 'ඔපෙරා' වචනය නිර්මාණත් සමඟ හඳුන්වාදෙන්නේ ආචාර්‍ය කේමදාසයන්ය. 'කැන්ටාටා' යන වචනයත් ඊට පසු හෙතෙම හඳුන්වාදුන්නා මතකය.

ඊට බොහෝ කලකට පෙර එනම් 1963 දක්වා පෙර කාලයක කේමදාසයන් නිමැවූ 'කැලෑමල්' ගීත නාටකයේ ගීත පබැඳුම් කිහිපයකට, විමලවීර පෙරේරා නම් තරුණයෙක් සහභාගී වෙයි. ඔහු අල්ලපු ගමේ ජී. එච්. පෙරේරා කවීන්ද්‍රයානන්ගේ බාල පුතුය. පවුලේ ජ්‍යේෂ්ඨයා විමලසිරි පෙරේරා වන අතර ඔහුද සරසවියේ ආරම්භක කතුවරයෙක් වී ඇත. 1963 කැලෑමල් ගීත නාටකය නිපදවූ කේමදාසයන් ඊට සැහෙන කලකට පසුව ඔපෙරාවක් නිමැවීම වෙසෙසින්ම පැසසියයුතුය. තම නිර්මාණ බැංකුව හි‍ඳෙන්නට පෙර හේ පටන් ගත් තැනින් ඉදිරියටම ගිරි දුර්ග තරණය කර රටේ ජනතාවට පල නෙලා දෙමින්ම, ඔහුගේ ගමන ගොස් ඇත. නමුත් 1963 දී ඔහු කැන්ටාටාවක් නිමැවූවානම් [ඒ පරිචය එවකට ඔහුට ගුත්තිල පඬිට ලැබුණු ගුලි මෙන් ලැබුණායැයි මොහොතකට සිතමු] ඒ කෙසේ ජනයා වැලඳ ගනුදැයි සිතීම භින්න රුචියුත් ඔබට භාර කරමි.

විමලවීර මහත්තයා ගැන කථා කිරීම ආශ්වාදජනකය. මාලිනී ෆොන්සේකා මුලින්ම රඟපෑ චිත්‍රපටිය පුංචි බබාය. තොරානා සමාගම එහි හොඳ කොපියක් වෙලඳ පලට නිකුත් කොට ඇත. මනරම් ගී ගොන්නකින් සමන්විත එහි තිර රචකයාද විමලසිරි මහත්තයාය.
"ඉතාලි නැ‍ටුමක් තොගෙන් නටාපිය උඩරට නැ‍ටුමක් මගෙන් නටන්නම්
බිංකුණ්ඩෝ ‍තෝ පොතෙන් නටාපිය මං මගෙ තාලෙට හිතෙන් නටන්නම්
තොත් නටාපිය මාත් නටන්නම් බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ..."
ගීයද ඔහුගේ කදිම නිමැවුමකි..

අද පලකරන මේ ගීය පාන්දරක අසිරිය ගැන කියාපාන්නකි... මගේ සිත් ගත් යෙදුම නම් 'තණ කොල' නොකියා 'තණ ගොබ' යැයි කීමය... පරිසරය ගැන අපූරු හැඟීමක් රචකයාට තිබී ඇත. කේමදාසයන්ගේ සංගීත මුසුවේ පසුබිමින් අසෙන බෙර නදත් කඩින් කඩ හැඬවෙන වයලීනයත් මේ ගීය කීවතාවක් අසුවද එපා නොවේයැයි සිතීමට කාරණාය. ධර්මදාස වල්පොලයන්ගේ හඬ තාරුණ්‍යයෙන් පිරී ඇත්තේය. මේ නිර්මාණකරනයට බට සියල්ලන්ගේම තුරුණු බව අරුණෝද වැණුමකින් හෙලිකලා වැණිය.

උදෙන්ම නැගිට, හිස්බඩ වතුර කෝප්ප දෙක තුනක් හෝ බී, වැසිකිලියට ගොස් බඩ නිදහස් කරගන්නා අද දවසේ තරුණ නිර්මාණකරුවනුත් එවන් අරුණෝදයක විශ්මය දකිත්නම් අපේ දරුවන් හැබෑම වාසනාවන්තයන්ය..!

සිරිකත එන මග ලා තණ ගොබ මත පිණිකැට අතුරාලා...
පිරිවර කඳුගැට ඈතින් හිනැහෙයි - මිහිදුම් සළු පොරවාලා...
හිරු‍රැස් කැටිවෙනවා - ජෝතිය දිලිසෙනවා...
තොල්පෙති පොපියනවා - සිරිදුව හිනැහෙනවා...

රතු සියපතෙකින් නිල් මහනෙලකින් කෙමියට පැණි පිරිලා...
මීමැසි තුඩකින් කඩිසර වැඩෙකින් ඒ පැණි මී පැණි වීලා...
පෙල පෙති පෙළගැසිලා - රජ පෙරහැර යනවා...
සිලිසිලි හඬ නංවා - රහසක් මුමුණනවා...

අඹ දළු ලෙලවා නෙක මල් නලවා සීත සුලං හමලා...
ජය සක පිඹලා වෙණ තත වයලා - හේවිසි බෙර හඬවාලා...
සිරිකත කැඳවනවා - ඇය පෙර මග එනවා...
සිලි සිලි හඬ දීලා - මගේ ගම පිබිදෙනවා...

ගීතය අහන්න... ඕන්නම් බාගන්න....
Read More!

සමන් පොකුර, මැණික් කැටය, හංස ධේනුවේ...

"සුභා කියා මා ඔබ අමතන්නද
ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්නද
මට නම් නොහැ‍ඟෙන්නේ
කොහොම ඇමතුවත්
ඒ හා සැස‍ඳෙන ඔබේ රුවින්
භවය පුරා මා සුවපත් වන්නේ...."

පුන්සිරි සොයිසා ගයන්නේ නම් එහෙමයි...

භාෂණයේදී සියල්ලන්ම 100% විවෘත නොවූවත් පිරිමින් යමක් කීවම, ඒ කී දෑට සියයට පණහට එහාවත් බර ගතියක් තියනව කියලයි මට හිතෙන්නේ... පරිගණක ආධාරයෙන් මැන තීරණය දෙන තුන්වන විනිසුරුවෙක් හරහා නොකීවත් එදිනෙදා සංවාදයන්වලදී මේ ගතිය 'මොනවට පෙනේ' කීවොත් විරුද්ධ පාර්ශවය අවි අමෝරා ගනීවිද...??

මිතුරෙකුට දුරකථන ඇමතුමක් ගත්තම පසුබිමින් ඒ සංවාදයට මැදිහත් වන ඔහුගේ බිරින්දෑගේ හඬ නම් සවනප්‍රිය ඩෙසිබල් සමූහයක් නෙවේමය... අර අසරණයා කන් දෙකකින් දෙකක් අසා දෙපැත්තටම උත්තර දෙන්නේ කොහොමද....? "මම නැතිව එයාට මුකුත් කරගන්න බෑ..." කීවද එවන් බොහෝ අවස්ථාවක ගෙදර වැඩකටයුතු බොහොමයක් කෙරෙන්නේ පිරිමියා අතිනි...

බිරින්දෑවරු සෑමියන්ගේ ගුණ(?)දොස් වනන අවස්ථා නිතැතින්ම කණ වැටී ඇත්තේ දරුවන්ගේ ගුරු දෙගුරු හමුවීම් අතර වාරයේය... අතලොස්සක් හැර පිරිසකට 'එයාට නම් මොකද...!' යන්න 'ඕම් ශාන්තී..' බඳු මන්ත්‍රයකි.. ඇතැමෙකුට සැමියා ත්‍යාගයක් ගෙනැවිත් දුනහොත් ඒ යටි අරමුණකටය... එසේත් නැත්නම් ඒ කාර්‍යාලයේ ක්‍රීඩා තරඟයකට සති අන්තයේ යාමට අර ඇඳීමකි... මනඃකල්පිත සුපිරි සැමියෙකු, බිරිඳකට ගොතන කව් ගී පමණක් ඒ සාකච්ඡා වල රැව් පිළිරැව්දේ.... සාජහාන් රජ ඔවුනගේ වීරයාය... උතුරා පිරී යන ආදරය වෙනුවෙන්, විවිධ නම් වලින් ඈ ඇමතූ, කල හැකි සියල්ල ඈ වෙනුවෙන් කල අසරණයෙකුට ලැබුණ පිළිතුරකි මේ...

සමන් පොකුර, මැණික් කැටය, හංස ධේනුවේ...
මෙවන් වදන් වලින් මොටද මා අමතන්නේ...
මිනිස් ලඳකි ආදරයෙනි ඔබ ලඟ ඉන්නේ...

සුරංගනා කථා වලින් පලක් නැත ප්‍රියේ
බදුරු ඝටය කප් තුර අද උයන් තුල තියේ
අඳුර තරම් එළියක් ආදරෙන් පිරි ළයේ
තව කොතැනද කියනු මැනවි හැඟුම් ඉතිරියේ...

රතැඟිලි තුඩු රන් මුදු ලා මොටද සරසවා...
මහ මැදුරක දොර‍ටු තුලින් පිවිසි රෑ දිවා
දන සම්පත් සිඳී ගියත් පලක් ලොව නැතේ
ආදරයෙන් අමතනු මට ඇතේ එයම මට ඇතේ

සින්දුව අහන්න...
Read More!

T 20 Final රොක්ස්....!

මම වැඩකරන සේවා ස්ථානයේ මැඩ්‍රාස් වලින් ආ ඉංජිනේරුවෙක් වෙයි. මොහුට ආචාර්‍ය පට්ටමක්ද තිබේ. තමාගේ 'Business Card' පත මුද්‍රණය වූ පසු එහි නම මුලට 'Dr.' කෑල්ල නැතියයි මහ කලබගෑනියක් කලද අප කලමණාකරුවා කීවේ මේ රාජකාරියට ඒ සුදුසුකම අනවශ්‍ය නිසා දැනට ඒක ඕනෑ නැති බවයි. ඒ කළමණාකාරවරයා අස්ව ගිය පසු අලුතින් කළමණාකාරවයකු පත්ව ආවේය. බිස්නස් කාඩ් පතේ දෙවැණි මුද්‍රණයේ අර අහවල් කෑල්ල අඩංගු විය. වැදගත්ම දේ ඒ නොවේ. කිසියම්ම ‍රැස්වීමක් කැඳවූවද මොහු ඒවාට එන්නේ විනාඩි කිහිපයක් පසුවය. ‍රැස්වීමේ වාඩිවීමට සුදුසුම අසුන ඔහු ඉනික්බිති ‍තෝරාගනී. එක් එක් සේවකයාට උදෘත කාරණය ගැන අදහස් දැක්වීමට පැමිණි විට අර අසුනේ ආනුභාවයෙන් ඔහුට ලැබෙන්නේ අවසන් වාරයය. මෙහිදී ඔහු මැජික් එකක් රඟ දක්වනු ලබයි. එනම් සියලු අදහස් අතර හරි මැදින්  සිටගත හැකි පරිදි අදහසක්  දැක්වීමයි. අන්ත කීපයක් අතර මැදින් සිටගැනීම යනුද අන්තයක් විය හැකි බව දන්නේ ටික දෙනෙකි. මෙය බුදුන් වදාල මධ්‍යම ප්‍රතිපදාව ලෙස අර්ථදක්වන්නට තරම් සමහරෙක් නිර්භයය. සරල රේඛාවක මැද තීරණය කරන්නේ අන්තදෙක බව තේරුම් ගැනීම ප්‍රස්න විසඳීමට පෙර අවබෝධකරගන්නේ නම් මැනවි.
---------------------------------------------------------------------------------------------------------------

හෙට විස්සයි විස්ස ලෝක ශූරතාවේ අවසන් තරගයය. තරඟාවලිය වෙනුවෙන් අපූරු ගීයක් නිර්මාණය වී තිබුණි. ගීය ගයන්නේ උමාරියා සිංහවංශ, භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, දිනේෂ් කනගරත්නම් යන කළාකරුවන් විසිනි. සහභාගී වන කාලකරුවන් ගේ අනන්‍යතාවයන් දෙස බැලූ බල්මට මෙය කදිම 'ශ්‍රී ලාංකික' නිර්මාණයක් බව පෙනේ.

අති විශිෂ්ට ගණිත ආචාර්‍යවරයකු වූ අභාවප්‍රාප්ත රාජා අල්විස් ගුරු භවතාණන් සමහරක් අවස්ථාවලදී  '.....බව පෙන්වන්න' යනුවෙන් අවසනට හැඳින්වෙන ගණනක් කලු ලෑල්ලේ සාදාගෙන ගොස් අවසන,
"බව නොපෙනේ - එබැවින් ගණන වැරදිය" යනුවෙන් අපූරු ලෙස පවසයි.

මෙම ගීයේ පෙල පහත වශයෙනි.

විස්සයි විස්සේ - විස්සයි විස්සේ
විස්සයි විස්සේ - විස්සයි විස්සේ
ගැස්සේ ගැස්සේ sixer අස්සේ
දස්කම් විස්කම් ඉස්සේ විස්සයි විස්සේ
‍Free hit මැද්දේ යෝකර් මැද්දේ
පපරේ සද්දේ උස්සාදේ හැම තිස්සේ

පිත්තේ අස්සේ Doosra ගැස්සේ
Slinga රිංගා දමයි විස්සයි විස්සේ
විස්සේ රස්නේ දිස්නේ දෙන්නේ
Fulltoss කුඩුවේ වැදිලා Bat අග්ගිස්සේ

20  தடவை 'In swing' அ Pஒடுல
20 தடவை ஸ்லின்கலா ஜின்கலா
'Dil scoop' ஆடத தூகுதட
'Helicopter shot' பரக்குதட
பொடுன்க பொடுன்க ஆடத பொடுன்க
'Bat'ட டன் தூகுன்க ரஸ
பொஉன்டர்ய் பரக்குத்து மைதனம் தெரிக்குது
ஸூடு பரக்குது லெஸ

හෙට තරඟය කොදෙව් දූපත් දෙකොටසක් අතර බව තවත් විශේෂ කාරණයකි. අපේ රටේ මිනිසුන් 'කොදෙව් මානසිකත්වයකින්' පෙලෙන බවට දැනටමත් බොහෝ ලිපි පලව තිබේ. ඒ මානසිකත්වය නිසාම දෝ හෝ බොහෝ විට මුලින් උත්තරයක් හෝ අරමුණක් නිමවා එයට ප්‍රස්නයක් සකස් කරගැනීමට අප දක්ෂකම් දක්වයි. ප්‍රස්නය විවිධ විවිධ රූපාන්තරණයන් ගැන්වීම උත්තරය නිමවූ පුද්ගලයාගේ කාර්‍යභාරය නොවේ.

විස්සයි විස්සේ ගීය ගයා මහන්සි වූවිට, චියර් ලීඩර්ලාගේ නැ‍ටුම් බලා මදකින් තෙහෙට්‍ටු වූ විට, ග්‍රැන්විල් රොඩ්‍රිගෝ අභාවප්‍රාප්ත අපගේ සහෘද කලාකරුවාණන් නිමැවූ මෙම ගීය කදිමයැයි මට සිතේ. සුක්ෂම පන්දු යැවීමේ උපක්‍රම, උපක්‍රමශීලී පන්දු ‍රැකීම් සඳහා ස්ථානගත කිරීම්, හමුවේ මන්ද ගාමී වන තරගයට පණපෙවීමට මේ ගීය සමත්වනු ඇතියැයි මම සිතමි. මේ ගීයේ පෙල ඇසෙන පරිදි මෙසේය..

මායාවෝ අකල් මකෝ අමීනාවො කෑවෝ...
එලේ ලේ මඤ්ඤා මොකෝ අනවිරාවෝ කෑවෝ...

රබ්ද පිඤ්ඤ මාඉසිඤ්ඤෝරේ යෙ යෙ යෙ යේ
මෙරාය රම්පි පපර බැන්ජෝරේ
දෝනබැතී - සිතූලියා සිමේලියා අච්චරු මං කොඃ...!!

කිරිංඤ්ඤ - කාමරංක - පිපිඤ්ඤා ඤ ඤ ඤ ඤා...
මඤ්ඤොක්ක බොසල කව්ලො පියල්ලා
වියෝලේ බයිලා - බැලරිනා සුකී ඇනී මෙරේ හයි කපරිඤ්ඤා....



ලංකාවේ වසන අප්‍රිකානු සම්භවයක් ඇති ජනයාගේ සංගීතරටාවන් අනුව සකස්ව ඇති බැවින් මෙය කොදෙව්වන්ට වඩාත් සමීප වනු ඇත. සුලු ටෙම්පෝ වෙනස්කිරීමකින් 'ගන්ග්නම් ස්ටයිල්' නැ‍ටුමකට කදිම එකක් ලෙසද මට මේ ගීය හැ‍ඟේ.  වචන සම්මිශ්‍රණයේ සම්බන්ධයක් සොයාගත නොහැකි වුවද එක් එක් වචනය ඇසුරෙන් මෙය ඕනෑම ලෙසකට අර්ථදක්වා හත හැක.

තරඟය අවසන් වී සතුටට හෝ දුකට  අප හා එක්වන 'මිතුරා' හා පමණට වඩා බජනය  නිසා සඳුදා  'මංඤ්ඤං මොකෝ?' ගනනට නොවැටීම ඔබ සතු වගකීමකි.
නැතිනම් "අච්චරු මං කොඃ..??" කියා ඔබට ඔබවම සෙවීමට වනු ඇත...
ඒ වගත් මෙසේම ෴
Read More!

නැලවිළි ගී පද මා මුමුණන සඳ....


නිමිත්ත:
රූ.... said...
හද ගී පොතේ මෙවන් පිටු කියවද්දී නිබ්බුත පද නිතරම මතක් වෙන්නේ ඇයි?
බිරිඳ සැමියා ගැන දුටු විදිහ ගැන කියන ගීයක පෝස්ටුවකුත් දාන්න තිස්ස..
කථාව ලිවිය යුත්තේ ඔබය....
 

නැලවිළි ගී පද මා මුමුණන සඳ
ඒ ගී පදයට තනුව ගෙනෙන ඔබ
ඔබ සෙවනේ ඉඳ ගයනෙමි ඒ ගීතේ...

නීල නෙතු පියන් මවෙත හෙලන සඳ
ඒ නෙත් යුග තුල සැතපෙන්නෙමි මම
ඔබ නෙත් යුග මට සුව යහනෙකි මිහිරේ...

ඈත ලොවක සිට දෑත වනන සඳ
සිහින කවුලුවෙන් මා වෙත එනු මැන
ඔබ අත් යුග මට සුව යහනෙකි මිහිරේ...


 
 
ඔබ ලියූ පසුවදන... ස්තූතියි දිමුතු...

Dimuthu said...
තිගැස්මෙන් බලාපොරොත්තුවෙන් සහ වදන් කල නොහැකි හැඟීම් ගොන්නකින් පිරී තිබු...ඒ රාත්‍රිය

රාත්‍රිය මට දිගු එකක් කලේ කොන්ද දිගේ වරින් වර නැග ආ වේදනාව........

නිදාගන්නට හිතක්වත් නොමැතිව මගේ දෙපා උකුල උඩ තබා අතගාමින් සිටි නුඹට ඒ රාත්‍රිය දිගු එකක් බවට පත් කලේ කුමක් විය හැකිද??

ඊටත් පැය ගානකට පසු මා රෝහලට අතුල් වූ කල,

ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ රැඳී සිටීමට නොහැකි බව දනිමින්ම
නැවත මා වෙතට පැමිණිය හකි හෝරාව එනතෙක්ම මට පෙනෙන දුරින් සිටගෙනම සිටි අයුරු.....

සූතිකාගරය තුල මා එතෙක් විඳි වේදනාව ක්ශණිකව ප්‍රහර්ශයක් බවට පත් වූ මොහොතේ මට සිහිවුනේ නුඹේ නෙත්යුගයි

ඒ වසර දෙකකට පෙරයි අද.... පුන්චි අලු හාපැටියාද තුරුලුකොට මා අසලින් නිදන පුතු වෙනුවෙන් මා ගයනා ගීතයට,ගීතය නොමතිව වුවද රස විඳිය හැකි මේ සොඳුරු තනුව ලියූවේ නුඹම නොවේද?

Read More!

සොඳුර නුඹ මට මව් වෙයන්...

කාල තරණය මාතෘකා කරගෙන බිහිවූ නිර්මාණ මෙතෙකැයි කිව නොහැක. මිනිසුන් වර්ථමානයට වඩා අතීතයටත් අනාගතයටත් පෙම් බඳිත්ද? වර්ථමානය එතරම්ම නීරසද? එසේත් නැත්නම් මිනිසුන්ගේ ඇති නොතිත් කුතුහලයද? වර්ථමානයේ සිදුවී ඇති දේ අතීතයට ගොස් නිවැරදි කරගැනීමේ උවමනාවක් ඇත්ද? එහෙත් හෙට වනදේ අද ක්‍රියාවෙහි ඵලයක් බව වුවමනාවෙන්ම අමතක කරත්ද?
මාමණ්ඩිය මගේ හිතවතකු, අනුශාසකයකු වූයේ මා ඈ විවාහ කරගැනීමට පෙර සිටය. "පුතේ මිනිහෙක් කසාද බඳිනවා කියන්නේ දෙවැනි පාරට උපදිනවා කියන එකයි..." ඔහු, මා ඈ විවාහ කරගැනීමට ලකලෑස්ති වන කාලයේ,  සංවාදයෙහි යෙදෙමින් අප ගතකල එක් අවස්ථාවක පැවසුවේ බොහොම නිස්කාංසුවේය. එහි තේරුම එදා නොතේරිණි. අතීතයට ගොස් ඔහුට මුවනොසෑහෙන ලෙස ස්තූති කරන්නට ඇත්නම්?
පුනරුප්පත්තිය, පුනර්භවය, මනෝකාය යන සංකල්පවල එල්බ සංවාදයෙහි, වාදයෙහි යෙදීමට මිනිසුන් බොහෝ කැමතිය. ඒත් මාමණ්ඩිය අපූරු වැකියකින් මට නැවත ඉපදීම ගැන කියාදුනි.  ඒ වචන වල ඇති ගුප්තාර්ථයන්, යථාර්තයන් පසෙකලා "මරණින් මතු උපදීම..." යන කියැවීම තුල භව සසර තුල අඛන්ඩ ගමන් කිරීමක් අප බලාපොරොත්තු වෙයි. එහෙත් අවුරුදු දහයකට පෙර සිටියේ මේ සිටිනා අපමද? බටහිර විදුඇසට අනුව දිනපතා බිඳී වැටෙමින් නැවත ගොඩනැගෙමින් ඇති සෛල සමූහයකුත් දිනපතා වැහැරෙන සෛල සමූහයකුත් ඇති අප, කාලයක් ඇවැමෙන් පංචිකාවත්තෙන් සම්පූර්ණයෙන්ම අමතර කොටස් සවිකොට ටින්කර් කොට ඇති වාහනයක් බවට පත්වේ. අලුත් කොටස් නැවත සවිකර ඇතද අප සිතන්නේ මේ ඇත්තේ එදා අපගත් වාහනයම කියාය. සිතුවිලි පරම්පරාව එයට කිසිසේත්ම නොදෙවෙනි නොවෙත්ද..?
"ආදරයේ සනාතනික සංකල්පය අම්මා..." සෝමරත්න පෙරේරා ගයයි. එය අත්විඳ උස්මහත්වූවාට ඒ පිලිබඳ හැබෑ වැටහීමක් ලබාගැනීමට නම් කාලතරණයක් කලයුතුමය. එහෙත් මාමණ්ඩියගේ වචන සැබෑකරමින් ඈ මට මවක් දරුවන් වෙනුවන් දයාභරිත වීම කාලතරණයක් නොමැතිවම පෙන්වූවාය. විටක එය මා ඉරිසියාවෙන් පුරවන්නට තරම් සමත් කම් දැක්වීය. එහි කොන්දේසි, කාල රාමු, ලාභාංශ පරමාර්ථ,  ඇත්තේම නැත. එහි බිඳක් හෝ ගිලෙන්නට සිතීම අසාධාරණ නැතැයි මට සිතේ...



සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ
බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
නිවාලන්නට පව් ගෙවන්නට

දුකේ සැපතේ එක ලෙසේ
පණනල ලෙසේ මා ලඟ ‍රැදී
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ

හදට දුක් ගිනි කිසිත් නොමදී
නුඹ රකින්නට ණය ගෙවන්නට
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ


සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....
Read More!
 
Blogger Wordpress Gadgets