මතක හැටියට ඒ දෙකේ පන්තියේ විය යුතුය. නුගේගොඩට ආසන්න මිශ්‍ර පාසලක් වූවද එහි ගැහැණු ලමුන්හට එක පන්තියකුත් පිරිමි ලමුන් හට එක පන්තියකුත්ද විය. අප්පච්චී විසින් පාසලට හැරලන මා දෙකේ පන්තියට යන විට ආපසු ගෙනැවිත් ඇරලන්නට මහරගම 'ගම්පහ බෙහෙත් සාලාවේ' ලොකු වෙද මහත්මයා කාරුණික විය. වෙද මහත්තයාගේ දියණිය ගැහැණු ලමුන්ගේ පන්තියේ විය. හොරණ පාරේ පිළියන්දලට කිට්‍ටුවෙන් වාසය කල වෙද මහත්තයා අමතර වටයක් යමින් සෑමදාම මාව ගෙදර ලඟින් බස්සවා යන්නට තරම් හිත හොඳ මනුස්සයෙක් විය.
වාර විභාග වලදී ඔහුගේ දියණියත් මාත් අතර ශ්‍රේණියේ දෙවැණියාත් පලමුවැණියාත් බෙදිනි. හතර වසරදක්වාම මේ වාර්ථාව මෙලෙසම තිබිණි. විසේසයෙන් බරක් ගෙන පාඩම් නොකලද පැට්‍රෝ මැක්ස් පහනට දමන සීමිත භූමිතෙල් ඉවර වන්නට පෙර කරන දෙයක් කරගත යුතුය. කුප්පි ලාම්පුවෙන් පාඩම් කිරීම මහා කම්මැලි වැඩකි. බැටරි කෑලි තුන විටින් විට තද කිරීමට නැගිටීම හැර, මකරාගේ තානායම, ගුවන් විදුලි රඟමඬල හා මුවන්පැලැස්ස පාඩමට බාධාවක් එල්ල කලේම නැත.
ප්‍රගති වාර්ථා දෙන දාට ගම්පහ වෙද මහත්තයා "තමුසේ එහෙමනම් මේ පාරත් කප් එක ගැහුවා ඈ..." කියමින් මට සරදම් කරයි. එහෙත් ගමනේ අතරමග, බෙහෙත් සාලාව අසල වාහනය නවත්වන ඔහු, මටත් ඔහුගේ දියණියටත් වාහනයේ යන එන අපේ පන්ති වලම අනෙක් ගැහැණු ලමයාටත් අයිස්ක්‍රීම් අරන් දෙයි. අසල කඩයකින් ඒවා ඔහු ගෙන්වා ගන්නේ වීදුරු කුසලාන බඳු භාජන වලටය. අපි ඒවා කා අහවනතුරු තුරු හේ නිසංසලව බලාහිඳියි.... වෙද මහත්තයා තම දියණිය ඒ විදුහලෙන් අස්කරගත් පසු මට තනිවම ගෙදර එන්නට සිදුවිය....
ඒ දෙවැනි පන්තියට අලුතින් ආ ගුරුවරිය නවමු ලෙස උගන්වන්නට පටන් ගත්තාය. එපමණකින් නොනැවතී වාරාවසාන විභාගයේ ප්‍රථිඵල අනුව පලමුවැන්නාගේ සිට තුන්වැන්නා දක්වා පොත් තෑගි කිරීමට තරම් කාරුණික විය. මට 'හීන් හාමිනේ' මුලින්ම හමුවුණේ එපරිද්දෙනි.... පියසේන නිශ්ශංකයන්ගේ හුරුබූහුටි කථා පෙළකින් සමන්විත ඒ පොතෙහි රෝසපාට පිටකවරයෙහි ඇඳි රුව මෙන්ම ඒ ගුරුවරිය අපගේ සිත්ගත්තාය... මට අපේ ගෙදර ඇත්තන් හමුවුණු කාලේ 'හීන් හාමිනේ' කථාවේ කර්ළිනා මතක් වූයේ වරක් දෙවරක් නොවේ... කැන්දා එනවිට ඈ රැගෙන ආ ඇගේ පොත් ගොන්නේද 'හීන් හාමිනේ' පොතක් විය....
'සොයා යෑම' ඒ පොතෙහි ඇති තවත් අපූරු කථාවකි... තමන්ට ඉමහත් සෙනෙහසක් දැක්වූ නැන්දා හදිසියේම ගමෙන් රහසේම පිටවයන්නේය... අවුරුදු ගණනාවකට පසු වන්දනාවකදී කථා නායකයාට ආදරණීය නැන්දා හමුවේ.... "අනේ මගේ පුතේ.." කියමින් ඔහුගේ හිස ඈ සිපගන්නේ වට පිටාවේ මිනිසුන් හමුවේ කථානායකයාව ලැජ්ජාවට පත් කරමිනි.... එහෙත් "පුතා වෙන්නැති..." යැයි බලා ඉන්නවුන් මුමුණත්දී කථා නායකයාගේ ලැජ්ජාව පහව යයි...
තුන්වැනි ශ්‍රේණියට යනවිට පිරිමි පන්තියේ ඉඩ මදිවීම නිසා මාත් ඇතුලුව පිරිමි ලමුන් පස් දෙනෙක් ගැහැණු ලමුන්ගේ පන්තියට වැටුණි... ඒ පන්තියේද ඉඩකඩ මදිවීම නිසා ඒ අපූරු - මින් පෙර විසේස අවධානයකින් නොබැලූ - 'ඇයත්' - තවත් ගැහැණු ලමයෙකුත් සිටියේ ගුරුවරියට ආසන්නයෙන් එක ලඟින් තැබූ ඩෙස්ක් දෙකකය... දිනක් ගුරුතුමියට පොත් පෙන්නන්නට පෝළිමේ යනවිට පහත් හඬින් මට කථා කළ ඈ... "ෂ්... ෂ්...... මෙන්න ඔයාට...." කියමින් අපූරු පින්තූර දෙකක් මා අත තැබුවාය....
ආපසු මගේ අසුනට ආ මම ඒ පින්තූරු දෙක මගේ සගයාට පෙන්වූයේ මාහානර්ඝ වස්තුවක් ලෙසිණි.... එක පින්තූරයක වූයේ නුවර පෙරහැරයි... එදින පටන් අප ඇයට 'පෙරහැර' ලෙස නම් තැබීමූ. පහ පන්තියේදී ඈ ඒ පාසැලින් අස්ව නුගේගොඩම පිහිටි බාලිකාවකට යනවායැයි කියා නික්ම ගියාය.... පින්තූරය සුරැකිව මා ලඟ රැඳිණි...
ගෙදර ඇත්තන් මට හමුවූ දා සිට විවාහ වනතෙක් කාලයේදී අප දෙදෙනා අතර හුවමාරු වූ ලිපි, ගණනින් බොහෝය.... ඒ සියල්ල තවමත් දෙදෙනා විසින්ම වෙන වෙනම පොදි බැඳ තබාගෙන ඉන්නේ ඇයිදැයි දෙදෙනාටම නොවැටහේ... ඒත් ඒවා වීසි කරන්නට දෙදෙනාටම සිත් නොදේ.... එලෙස ලියැවුණු එක් ලිපියක අර කාරුණික හදවත ගැන කියා එතෙක් සුරැකිව තබාගත් 'පෙරහැරේ' පින්තූරය තැපැල් කළෙමි...
වේයන් බැඳීගෙන ආ ලියන මේසයේ පහලම කබඩ් ලාච්චුව විවෘත කරන්නට නියනක් ඇවැසි වූයේ එහි යතුරට වූ දෙයක් සිතාගන්නට බැරිවූ නිසාය.... අමාරුවෙන් විවෘත කර ගත් කබඩ් ලාච්චුවේ කොණක අපගේ අතීත ලියුම් මිටි දෙක එකලඟ උණුහුමට මෙන් තබා තිබිණි... වේ පස් කැඩීම පසෙක ලා අතීතය හාරාවුස්සන්නට ඒ වෙලාවෙහි සිත් දුන්නේ මන්දැයි නොදනිමි... එලෙස කියවන්නට ගත් එක් ලිපියක අර 'පෙරහැරේ' පින්තූරය විය....
නිවාඩුව ඉවරවී ආපසු රැකියාවට යාමට ඇත්තේ දින කිහිපයකි... එහෙත් ඒ විසිතුරු පින්තූරය 'සොයා යාමකට' මා පොලඹවයි... දුරකථනයකින් පිහිටක් ලබාගැනීමට නොහැකිය... අපේ කාලයේ ඇත්තන් මූණු පොතේ කරක් ගහන්නේ බොහෝවිට ඔවුන් විදේශගතව ඇත්නම් පමණි... එහෙත් නොපසුබස්නා උත්සාහය නිසා කෙසේ හෝ ඈ වසනා නිවස්නය සොයාගැනීමට මම සමත්විය... "දෙයියනේ...!!! කොහොමද....?" අවුරුදු තිස්පහකට පමණ පසු එදා මෙන්ම ඈ බොහෝ සෙයින් කාරුණිකව මා පිළිගත්තාය...
උඩින් ඇති ඒ හැබෑ පෙරහැරේ පින්තූරයේ වර්ණ බොඳව ගොස් ඇතද, මේ සිදුවීම් සියල්ල අලංකාරව තවමත් සිත්හි සටහන්ව ඇත... 'කරුණාව' කොතරම් ප්‍රබල හැඟීමක්ද?
සහන් සුවය ඇලුම් වැඩූ ඒ දුනුකේ මල..
හැඟුම් තෙරෙහි සුවඳ නොදේ ඒ දුනුකේ මල...
තුසර පිටාරය විසිරී නමුදු කිමැති පල...
සතර දිගාන්තයට ඇදී නොපෙනී යන කල...
සමන්ත සොම්නසින් සසල නිසල දහන තුල...
අනන්ත මල් කැකුළු පුබුදු පීදෙති විල තල
ඈත හිමාලේ සඳුනෙන් සැදුනු සඳලු තල
ගීත මවන්නේ හිමියනි නොමැති බමර කැල..
Read More!

- සරත් විමලවීර / ප්‍රේමසිරි කේමදාස / නාලිනී රණසිංහ - මී මැස්සෝ චිත්‍රපටියෙන් -