ළය තුල නළියන චංචල කෝමළ...

ළය තුල නළියන..
චංචල කෝමළ...
සිතුවිළි කොහොමද..
නුඹට කියන්නේ...
අද ඔබ ඈතක...
නොවෙද සිටින්නේ...
අද ඔබ ඈතක...
නොවෙද සිටින්නේ...

දෑලේ දෙනුවන් ඉවුරු තෙමායන...
කඳුලින් ලියැවෙන ගී නැලැවෙන්නේ...
කඳුලින් ලියැවෙන ගී නැලැවෙන්නේ...

දේවදාර මල් පිපි සෙවනැල්ලේ
කවුරු බලන්නද සිතු සැනැසිල්ලේ
මනසේ පාවෙන මේඝ වලාකුලු
කොහොදෝ ඈතක මා ගෙන යන්නේ...
කොහොදෝ ඈතක මා ගෙන යන්නේ...

හිරු නැති අහසේ මට හොර රහසේ...
කාලය ගතවෙයි මා හද ලතැවෙයි
කාලය ගතවෙයි මා හද ලතැවෙයි...

ළය තුල නළියන
චංචල කෝමළ
සිතුවිළි කොහොමද
නුඹට කියන්නේ.......


ගීතය අහන්න... ඔන්නම් බාගන්න...


Read More!

මොක්පුර රන් නෞකා බලන් සකි.....!

කලින් දවසේ දුරකථනයට දිගුවක් [extension] දැමීමට කල උත්සාහය නිසා ගෙදර දුරකථනය ක්‍රියාවිරහිතව ඇත. ගෙදර පැමිණි විගස වයර් නැවත අමුණන්නට පටන් ගතිමි. අවසාන වයරය  අමුණන විටම දුරකථනය නාද වූයේය. හිතට යම් අවගුණයක් කාන්දු විය. අප්පච්චීද ගෙදර එන්නට ප්‍රමාදය..

"හලෝ... මේ මිස්ටර්... ගේ ගෙදරද..?
"ඔව්"
"අපි මේ හැන්දෑවරුවෙම ඉඳන් කෝල් කරනවා.... ගෙදර ෆෝන් එක වැඩ කලේ නැද්ද?... ඔ‍ෆිස් එකේදී එයාට අසනීප වෙලා ජයවර්ධන පුර ඇඩ්මිට් කළා..."

මාසයකට පමණ පෙර වැඩ ඇරී ගෙදර විත් අප්පච්චී බොහෝ වේදනාවෙන් ඇඳේ වැතිරී සිටියේ අතේ වේදනාවක් කියාය... දෙවැනි දිනටත් මේ වූ කල මස්සිනාගේ බලවත් පෙ‍රැත්තය මත ඔහු රෝහල් ගතකෙරිණි... අප ඉස්ඉස්සෙල්ලාම හෘදයාබාධයක් සැබෑවටම අඳුනාගත්තේ එළෙසය... අසනීප ගතිය තරමක් සමණය වී ගෙදර ආ අප්ච්චීව වෛද්‍ය වසන්ත වෙත යොමුකළෙමු

"ආ ඔයාට බයිපාස් එකක් කරන්න වෙනව නැත්නම් ඔයා මැරෙයි"

වෙදැදුරා රෝගියාගේ මූණටම කීවේ අප සියල්ල තැතිගැන්වෙන ලෙසිණි.
----------------------------------------------------------
ආර්ථික සුනාමියන් එකක් පසුපසින් එකක් ආවේ මා කුඩාකල පටන්මය... අප්පච්චීගේ දෑසින් කඳුලක් මා මුලින්ම දු‍ටුවේ එවන් දිනකය... එදා අපගේ උදේ ආහාරය පිණිස යමක් ගෙන ඒමට ගෙදර හරියේ මුදලක් නොවිණි...  දෙමහල්ලන් පත්වූ අසීරුතාවය මට තේරුණාද නොතේරුණාද යැයි මතකයක් නැත... මගේ සියලු වස්තූන් සු‍රැකිව තුබූ ලී ඩැස්කුවේ කොණක, වඩාත්ම වටිනා දේ තබා තිබිණි... නොබැඳි සමුළුව වෙනුවෙන් නිකුත් කල කාසි දෙකකි... ඒ මිටි මොළවාගත් මම අප්පච්චීට මිටිකල සුරත පා, කාසි දෙක ඔහු අතේ තැබීමි...
----------------------------------------------------------
එකල "ශ්‍රී ලංගමය" දේශපාලන පක්ෂ වලට, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට ‍තෝතැන්නක් විය... සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය මම හැබැහින් දු‍ටු එකම වතාව වූයේ වේරහැර වැඩ බිමේදී ‍රැස්වීමක් අමතන අතරතුරදීය... ඒ වෙලාවේ මා සිටියේ අප්පච්චීගේ කරමත වාඩිවී, ඔහුගේ හිස දෑතින් බදා, නිකට හිස මත තබාගණිමිනි... ඒ දහඩිය සුවඳ අදත් මට හොඳහැටි මතකය... ඔහුගේ ඇඳුම් වලද ඇති ඒ දහඩිය සුවඳ, ඒ ඇඳුම් ඔහුගේම යැයි අඳුනා ගැනීමට ඇති පහසුම ක්‍රමයයි.... හැත්තෑහතේදී වේරහැර වැඩපලේ බණ්ඩාරණායක ප්‍රතිමාවට කඹයක් දමා බිමට ඇද දැමූ බව අප්පච්චීගේ මිතුරන් කියනු අසා සිටියේ ඔවුන් සියලු දෙනාම ලැබී ඇති ස්ථාන මාරු ගැන අප්පච්චී හා කථා කරන අතරතුරය...  මා උපැදුනු කාලයේ පිටි කිරි ගෙනෙන්නට අනේක දුක් විඳි අප්පච්චීට එයින් හය හත් වසරක් ඇවෑමෙන් අප උස් මහත් කිරීමට අනේක දුක් උහුලන්නට සිදුවිය... ලංගමය සේම කඩාවැටෙමින් ගිය අප පවුලේ ආර්ථිකය හමුවේ අමතර ‍රැකියාවන්ද, එයින් නොනැවතී දිගින් දිගටම ‍රැකියා මාරු කරමින් ඔහුගේ ශ්‍රමයට උපරිම තක්සේරුවක් සෙවීමේ උත්සාහයකද හේ නිරත වන්නට විය.... අවසානයේ ඔහුගේ උත්සාහය සඵල විය... එහෙත් ඒ උත්සාහය, ඔහුගේ ගත නොඉවසීය...
--------------------------------------------------------
අතේ තුබූ මුදල් සියල්ලම සාක්කුවේ  රුවාගත් මා අම්මාත් සමග දැඩි සත්කාර ඒකකයට ගියේ අවුරුද්දත් වියැති දරුවාත් සමග ගෙදර, බිරිඳට භාර කරමිනි... කෘතිම සවසන පද්ධතියක් ආධාරයෙන් හුස්ම ගනිමින් සිටි ඔහුට කථාකිරීමට හැකි තත්වයක් නොතිබිණි... දෑස් හයා මාදෙස බැලූ ඔහුගේ හිස අතගා
"අප්පච්චි බයවෙන්න එපා... මායි අම්මයි දෙන්නම  ඉන්නව ලඟ..." යැයි කීවෙමි...
ඒකකය භාර එක් වෛද්‍යවරියක් ලඟට ගිය මට දැන ගන්නට ලැබුනේ බලවත්  හෘදයාබාධයක් හටගැනීම නිසා එයට හේතු භූත වූ ලේ කැටිය දියකිරීමට දෙන ප්‍රෝටීන එන්නතක් [Streptokinase] ඔහුට දී ඇති බවයි...

හදිසියේම දෙවරක් වේගයෙන් උස් පහත් වූ අප්පච්චිගේ ළය, ඉනික්බිති සෙමින් ඇඳ මත නිසල විය... උස් පහත් වූ කොළ පැහැ රේඛාව සරල රේඛාවක් බවට පත්වී තිබිණි...
".. අයියෝ අර ලෙඩාව බලන්න...." මම වෛද්‍යවරියට කෑගැසීමි....
පි‍ටුපසින් තිබූ බිත්තියට පිටදී ඒ දිගේ රූටා පහලට ගිය මම අධිසත්කාර ඒකකයේ බිම මත වාඩි වීමි...
ලෙඩා වෙත කඩිනමින් දිවූ අනෙක් වෛද්‍යවරිය,
"අන්න අරයට කලන්තේ හැදුනා.... එයාවත් බලන්න"  මා දක්වමින් හෙදියකට කීය...
මට අනතුරක් නැති බවත් ලෙඩා බලන්නයැයිත් මම අතින් කියාපෑමි...
-------------------------------------------------------
පන්දර සිරුරු කිස පිණිස වැසිකිළියට යන මට දක්නට ඉඳහිට දක්නට ලැබෙන්නේ ‍වැසිකිලි වලේ රැඳී ඇති ස්වල්ප ජලයට වැටී  පණ බේරාගැනීමට පිහිනන කුහුඹුවන්ය... වැසිකිලිය ඇමදීමට ඇති බුරුසුවෙන් ඔවුන් ඉවත් නොකර, මාගේ කාරිය කිරීමට මට සිත්  නොදේ... ඒ කුහුඹුවන් ඒ මොහොතේ මගේ සිතට ආවේ කෙසේදැයි නොතේරේ... එහෙත් එසේ "බේරූ පණ" නියායෙන්වත් අප්පච්චිගේ ජීවිතය බේරාදෙන්නයි ජීවිතේ පළමු වරට, නොහැ‍ඟෙනෙන නොපෙනෙන බලවේගයන් ඇත්නම්, ඒවායින් ඉල්වීමි...
-------------------------------------------------------
කිහිපවරක් දෑත්වලින් දැඩි ලෙස අප්ච්චිගේ පපුව තෙරපුමෙන්වත් කොල පැහැ රේඛාව ඉහලට ඔසවන්නට වෛද්‍යවරිය සමත් නොවීය... අවසාන උත්සාහය ලෙස ඍජු ධාරා විදිලියේ පිහිට පැතීමට ඔවුනට සිදුවිය... පලමු වර, දෙවැනි වර උත්සාහ අසාර්ථක විය... තෙවැනි උත්සාහය සාර්ථක විය...

මා දැඩි සත්කාර ඒකකයෙන් එළියට ආවේ කෙසේදයැයි නිනව් නැත...
"අප්පච්චිට අමාරුයි අම්මේ..."
මේ 1999 වසරයි ... ජංගම දුරකථනයක් තිබ්බේ එහෙමත් කෙනෙකුටය... කොහේදෝ සිට ප්‍රාදූර්ත වූයේ පාසැල් මිතුරෙකි... ඔහු පැමිණ සිටියේ හෙදියකව සිටි ඔහුගේ අම්මා වැඩ මුරයෙන් පසුව ගෙදර එක්කන් යාමටය...
"මොකද බං මේ...???"
"අප්පච්චිට අමාරුයි බං... උඹ ගාව ෆෝන් එකක් තියේද..??"
"තියෙනව තියෙනව......ආ..!!!"
මස්සිනාට පණිවිඩය දීගන්නට හැකිවිය...  මිතුරාගේ මව ඔහුට යන්නට පෙ‍රැත්ත කරයි... මට අන්ත අසරණ ගතියක් දැණිනි...
"උඹ යන්නද මචං.....?"
"පිස්සුද බං...  උඹලගේ ගෙදරින් එනකල් මම උඹව දාල යන්නේ නෑ...."
විදුහලෙන් පිටවී අවුරුදු එකොළහකට පසුව නැවතත් මට ඔහුව මුණ ගැසුනේ එදිනය....

නැන්දාත් මල්ලීත් දුර බැහැර සිට සියලු වැඩ පසෙකලා අප ගෙදර ආවේ අපගේ දුක බෙදාහදාගෙන කලහැකි යමක් කිරීමටය... මල්ලීත් දමාගෙන මම පසුවදා උදෙන්ම සේවාස්ථානයට ගියේ දින හතක නිවාඩුවක් ගැනීමටය... ආපසු එද්දී මාලඹේ  පිරිමි විදුහල ලඟ වංගුවේදී අධික වේගයෙන් අනෙක් වාහන ඉස්සර කරමින් ඉදිරියෙන් මූණටම පැමිණි ඩබල් කැබ් රියක් මගේ වාහනේ දකුණු පස බොනට්‍ටුවත්, දොර දෙකත්, පි‍ටුපසත් හාරාගෙන පාර මැද නැවතිණි.... මට දැනුනේ අනෙක් පස සිටි මල්ලී කැගසනවා පමණි.... කරදර එන්නේ එකපිටය.... සීරීමක්වත් මටවත් මල්ලීටවත් සිදු වී නැත... එහෙත්  වාහනයේ දකුණු පැත්තක් යැයි කිව හැකි යමක් තිබුණේ නැත...
---------------------------------------------------------
දින දාහතරක උග්‍ර සටනකින් අධිසත්කාර ඒකකයෙන් මිදුණු අප්පච්චී තවත් සතියක් වාට්‍ටුවේ සිට ගෙදර ආවේ බෙහෙවින්ම දුර්වලවය... අම්මා, මගේ ගෙදර ඇත්තන්, ආදී සියල්ලගේ වෙහෙස මහන්සියත් අප්ච්චීගේ අප්‍රතිහත ධෛර්‍යයත්  නිසා අප්පච්චී ගොඩ ආවේ එළොව ගොසිනි... අද ඔහු තවත් උපන්දිනයක් සමරයි... හැකි පමණින් ඔහුගේ සිත සතුටින් තැබීමට බලවත් උත්සාහයක යෙදෙමි... මෙවර, සුභ පැතුම් පතකින්, ඇමතුමකින්, පමණක් ඔහු පිදීමට සිදුවිය...
---------------------------------------------------------
ගිය වතාවේ ඔහු වෙනුවෙන් මගේ දෙවැනි කාව්‍ය නිර්මාණය කළෙමි... දිල්ශරා සොයුරියගේ උදව්වෙන් එය පුවත්පතක පලකරවාගැනීමටද හැකිවිය...  එය ඔහු බොහෝ හැඟුම් බරකල බව ගෙදර ඇත්තන් විසින් මට දැනුම් දුනි...

සකසා කෙහෙ වැටිය, කමිසය සුදුපාට...
අල්ලන් සුරත හැරලූ පාසල වෙතට...
මතකයි, අද මෙන්ම අප්පච්චී මෙමට...
යන්නෙමි ‍රැගෙන  මතකය, ඒ, හෙට දිනට...

තම සැප සතුට පා දූලිය මෙන් සලකා...
දුක් කන්දරා සිත් සතොසින් මෙන් වලඳා...
ඔසවා තබන්නට අප හැම නොම පසුබා...
වෙහෙසුණු තරම දනිමිය මම, කුකුස් නැතා...

අපිස් සතොස් ජීවිතයේ ඵල මෙලෙසයි...
මුවින් නොබැන පෙන්වුයේ ඔබෙ දිවියයි...
ඒ ගුරු කොටම සරුකරගත් මා දිවියයි...
ඒ වෙනුවෙන් ඔබ හට මා සදා ණයයි...

හඳුනමි ඇඳුම් දහඩිය සුවඳින්ම ඔබේ...
හඳුනමි සරින් ගැටෙනා පා යුගල ඔබේ...
හඳුනමි නිතොර පෑරෙන සිත තරම ඔබේ...
හඳුනමි සැණින් උණුවන හද මඬල ඔබේ...

අනියත දිවිය කාටත් හිමි වී ඇත්තේ...
තැවුමට යමක් ඔබ හා ඉතිරිව නැත්තේ...
දිගාසිරි ගෙනෙයි ඔබ පුතු දුර ඇත්තේ...
සැමදා සිතින් ඒ පුතු ඔබ ලඟ ඇත්තේ..

--------------------------------------------------

අසල්වාසී රමණී නැන්දා අසූ ගනන්වලදී පමණ පිටරට ගොස් ගෙනා කැසට් ප්ලේයරය පාවිච්චියට, ඇයගේ පොල් අතු නිවසේ විදිලි බලය නොවිනි. තාවකාලිකව එය අප නිවසේ ලැගුම් ගැණිනි. අප්පච්චී විසින් "උත්තම මුනි දළදා.. වඩම්මන..." ගීය මිහිරි ලෙස ගායනා කරනාවිට එකල මම එය පටියකට නැගීමි.... අපත් සමග දිරාපත් වුණු ඒ කැසට් පටය අද සොයාගැනීමට නැත... එහෙත් මුල් ගීය මතකය අවදිකරයි...

සුබ උපන් දිනයක් අප්පච්චී...!!
Read More!
 
Blogger Wordpress Gadgets