ජීවන ගංගා ඉවුරේ අපී... ඇවිද යමු ප්‍රියේ...

නිවාඩුවට ගෙදර එනවිට ගෙනෙන තැගි බෝග අඩුක්කුව ඈ විවෘත කරනවා බලාසිටීම මා ඉමහත් ප්‍රිය කරන කාරියකි... එහෙත් මෙවර මට යමක් අමතක වී තිබුණි... "මේ මොකක්ද අප්පේ මේක... මොකක්ද මේ... පින්තූරයක්ද...? හ්ම්ම් ලස්සනට ඔතලත් එක්ක..." "ආහ්.. ඒක මේ මගේ යාලුවෙකුට...ඒක වෙනම තියන්න..." "හොඳයි හොඳයි..." වෙනදා මෙන්ම වැඩිදුර පුරස්න නොමැතිව ඈ ඉතිරිය අස් පස් කරන්ට පටන් ගත්තාය...

-------------------------------------------------------------------------

පාන්දර පහයි ගණනට ජංගම දුරකථනයේ එලාමයත් සමගම මාද අවදි විණි... මදුරු දැල ඈත් මෑත් කල ඈ බිමට පැන්නාය... ලොකු කොලූගේ සංගීත විභාගයත්, පොඩි කොලූගේ අමතර පන්තියකුත් පැවැත්වෙන අද, සෙනසුරාදාවක් වූවද ඇයටනම් නිවාඩුවක් නැත්තේමය... කෑමට බීමට අතොරක් නැති ජල්ලි අල්ලන පොඩි හාදයාට උදෙන්ම කිරි බෝතලයක් පොවා නොගතහොත් උදේ කෑම වෙලාවට කිරි පෙවීමට නම් දෙයියන්නාන්සේටවත් බැරිය... ඇය බිමට පැන්නේ ඒ සෑදීමට විය යුතුය... "කිරි එක දීලා ආයේ එනවා නේද...?" මම ඇසීමි.. "එන්නං.. එන්නං..."

ලද අවසරයෙන් ඇ‍ඳෙන් බිමට බට මා අල්මාරියේ සු‍රැකිව තැබූ, මා විසින්ම දින ගණනක් තිස්සේ අඟලෙන් අගල කපා සකසා රාමු කර රැගෙන ආ පින්තූරයත්, ඈ වෙනුවෙන්ම ඉතිරි කරගත් මුදලින් ගත් තෑග්ගත් කණ්නාඩි මේසය මත තබා නැවතත් ඇඳට පැන බොරු නින්දකට අවතීර්ණ විමි....

"ආහ්...?? මේ මොනවද...???"
මම දෙනෙත් නෑරීමි....
නිමේශයන් කිහිපයකට පසු... මගේ උරිස සෙලවූ ඈ... "ඒයි මොකද මේ තෑගි දීලා නිදාගන්නේ...?"
බොරු නින්දෙන් එළියට බට මා අපගේ විවාහ සංවත්සරය වෙණුවෙන් ඇයට සුභ පැතීමි...
ඇයගේ දැස් තෙමී යනු මට දැනේ... "අනේ මන්දා මේවට කොහොම ස්තූති කරන්නනද මම.. ඔයා හැම විශෙෂ දවසකටම මට මොනවා හරි දෙයක් දෙනවා..."
"ඔව්... ඒ වුනාට ඔයා මාව දිනපතාම සතුටින් තියනවා... එතකොට ඒ තෑග්ගද මේකද වඩා වටින්නේ....? "
ඈ මාගේ ලය මත මුහුණ හොවාගත්තාය... ඇගේ කඳුලින් මගේ ළය තෙත්වනු මට දැනේ...
දෑත දෙපය වාරු නැති වූ දාක මේ මතකයන් මා ප්‍රබෝධයෙන් තබනු ඇත...
දූ දරුවන් ජීවිතයේ තරඟ කාරිත්වයට අවතීර්ණව ජීවිත අවුල් කරගන්නා දාක ජීවිතය සරල සතුටින් පුරවන මෙබඳු අවස්ථා ගැන මට කියා දිය හැක...

රාමුකල පින්තූරය අතට ගත් ඈ ඒ දෙස බල සිටින්නට වූවාය....
කිරි බෝතලය හමාර කල පොඩිත්තා දිවවිත් ඇගේ අසළින් දිගාවී පින්තූරයේ අකුරු එකින් එක පුරුද්දමින් කියවන්නට විය....

"එ-යි-න් මි-දෙ-න මං-පෙ-ත සො-ය-නා ස-ඳ...
ඔ-බෙ-න් ලැ-බි-ණ නි-බ-ඳ-ව-ම සි-ය-ලු වෙ-ර..."

සිනාසුනු මා "ඔන්න එහෙමනම් තෑග්ග සම්පූර්ණයි හොඳේ..." කිවෙමි...
"චිත්‍රපටියක වගෙයි දෙයියනේ..." කී ඈ බෙහෙවින් තෙත්වූ දෙනෙතින් පොඩිත්තා වැලඳ ගත්තාය....

ජීවන ගංගා ඉවුරේ අපී... ඇවිද යමු ප්‍රියේ...
පායන හිරුට හාදු දී මල් පිපී තියේ..
ජීවන ගංගා ඉවුරේ අපී... ඇවිද යමු ප්‍රියේ...
පායන හිරුට හාදු දී මල් පිපී දිලේ...

නිම්නෙහී... සෞම්‍ය වේ... ගතෙහි සිතෙහි සුව සැදේ...
සුවඳින් පිරී... සිසිලෙන් සැදී...
සන්තානේ සං‍තෝසේ මෝදුවේ...
රුවැති ගුණැති දූ පුතුන් පිය කුසුම් වගේ..
පැහැද සුවඳ වී ගලා විහිදුවා ලෝ තුලින් නැගේ...

අනාගතේ ඔවුන් අතේ තබමු සතුට වේ සිතේ...
දුකින් මිදී... සැපෙන් සැදී සැනසීමෙන් සතුටෙන් ලෝ හිඳී...
ඉන්පස්සේ යන්නේ උදානයේ නිම්නේ බලා ඔබේ...
අවසානේ ගමනේදී යමු අපී..
ගංගා තීරේ ඔහේ...
ජීවන ගංගා ඉවුරේ අපී... ඇවිද යමු ප්‍රියේ...
පායන හිරුට හාදු දී මල් පිපී තියේ..

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!
 
Blogger Wordpress Gadgets