දෙදරු ලඳුනි මට නිදි නෑ....

ආයේ මොන පෙරවදන්ද, හැම දෙයක්ම සින්දුවේ කියනවා... කාසි හොයාගෙන, දරුමල්ලන් දාලා මේ කතරට එන, කීයක් හරි අත මිට මොළවගෙන, ආපහු තමන්ගේ දරු මල්ලන් වෙත යන්න බලන් ඉන්න, අම්මලා තාත්තලා හැමෝම වෙනුවෙන්...

දෙදරු ලඳුනි මට නිදි නෑ....
තරු පෑයූ ගිනි කතරේ...
ඉඳි ගස් සෙවනේ...
වැලි හුල‍ඟේ... කාසි නොවේ...
සිඹින්න බැරි දරු සුවඳයි පාවී එන්නේ...

උපන් බිමට දත නියවා...
රන් කාසිය මිට මොළවා...
සිත කකියන්නේ...
උන්නත් පෙර අප නොකා නොබී....
නවසි තැඹිලි ගස් සෙවනයි....
දැන් සිහිවෙන්නේ....

සැනසෙන්නට නුඹගේ කියා...
කටහඬවත් ඇහෙනවනම්...
ඉහ ඉද්දරිනේ, දැක ගන්නටවත් නුඹයි කියා...
හීනෙන් වත් පෙනෙනවනම් ...
ඇහැ පියවෙන්නේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න..
Read More!

උඩහ ගෙදර රං එතනා දෝතට දිය බොයි...

උදෙන්ම දුරකථන ඇමතුමක්... "මචං අර දුමී, උගේ සෙට් එකත් එක්ක හෙට අපේ ගෙදර එනවා... උඹත් අනිවා එන්නෙ ඕනේ ..පැදුරක් හොඳේ...විස්තර දවල් වෙලා කියන්නම්..." මගේ හිතවත් දුකාගෙන්.... ඊලඟට පෑ දෙකකින් විතර ආයෙමත් "මචෝ වැඩේ prepone වුනා... අද රෑට..." "හප්පට සිරි...OK OK" මමත් මේ කම්මැලි කමට සති අන්තය මේකේ අස්සට වෙලා ඉන්නවා... අරහෙන් සුලා මල්ලී කථාකරනවා එහේ එන්න කියලා... මම මෙහෙම අස්සට වෙලා ඉන්නවා දැකලා දවසක් ගල්මල් අයියත් ගෙදරටම ඇවිත් සොයා බැලුවා... (මූට Home Sick නිසා පිස්සා වෙලාද කියලා බලන්න වෙන්නෑති..!!!). මොනවා වුනත් මම වාසනාවන්තයි... මව් බිමෙන් පිටවුනත් එහෙම සොයා බලන, ඒ වෙනුවෙන් යමක් කරන යාලුවෝ ලැබෙන්න... (වචී පරම නොවී...!!! ඕං දැන් මණ්දාකිනියකිනුයි තවත් පි‍ටුවකිනුයි දුම් පිටවෙන්න ගනී...)

කොහොම හරි සංග්‍රහ බර සේරම දුකාගෙයි, දුකාගේ ගෙදර ඇත්තන්ගෙයි කරපිට... දුමී (ගිටාර්), දර්ශන (තබ්ලා), රජීව් (බොන්ගෝ), හා බ්‍රයන් කට්ටිය රෑ දහය හමාරට පටන් ගත්තු පැදුර අවසන් වුනේ (කළේ) පාන්දර හතහමාරට විතර... කදිම පැදුරක් ඒක... කඳු නගිමින් පල්ලම් බහිමින් හැල්මේ දුවමින් ඉකි ගසමින් ගැයෙන ගී මනරම්ව ඇසුනා.... අතරින් පතර රස කථා, හා බ්‍රයන් ගේ ඉල ඇදෙන comment... "ඇස ප්‍රීති කරන රූපා...", "මුතු වාගේ බබලනවා...", "මල් සිනා උදා වුනා...", "දෑස වසා ගමි..." එතකොට මිල්ටන් ඩබලගේම සින්දු.. හරිම ලස්සනට ඔවුන් වාදනය කරමින් ගායනය කරා... ටොප් ක්ලාස් ටෙස්ට් එකක්...

ඒ අතර මට අතුල සෝමසිරිගේ ගීයක් ගයන්න ඕනෑ වුනා (ගී කියන්න හරි හැටි බැරි වුනත්...) එතකොට දර්ශන (තබ්ලා) කියාපි "ඒ මගේ මාමා නේ..." ඔන්න බලමු... ඒ වියයුතු ලෙසින්ම දර්ශන මැක්සා ටෙස්ට් එකක් තියන දක්ෂයෙක්... මට තව අපූරු දෙයක් මෙ අතර නිරීක්ෂනය වුනා..මේ පැදුරට තව නියම තරුණ තරුණියෝ ටිකකුත් සෙට් වුනා... ඔවුන් මේ කාන්තාර ලෝකේ ටිකක් කල් ඉන්න උදවිය මට වඩා... මනෝජ්, ජනක, හශිත, හශිතා, මනෝජ් ගේ බිරිඳ හා මස්සිනා... අපි (මමයි දුකයි) හද්දා පරණ ඒවාට සෙට් වෙන කොට හශිත මෙහෙම කියාපි... "අපි ගොඩක් පරණ සින්දු දන්නේ නැහැනේ... ඒ නිසා ටිකක් අලුත් එවා කියමු හැබැයි දෙදාහෙන් මෙහා...." ඔව්... මෑත කාලෙදී බිහිවෙච්චි, සාදයකට හෝ පැදුරකට කියන්න මතක හිටින... ඔව් මෙන්න මේකයි වචනය... අනායාසයෙන් මතක හිටින ගී කීයක් බිහි වෙලා තියනවද...? තියනවනම් මගේ කණ නොවැටී, මතකයේ නො‍රැඳුනාවත්ද...? නොදනිමි කාගේ දොසා... මඩිස්සලේට හෙන ගැසූ විට කිල්ලෝටය ඉතිරි වෙද...? මොනව වුනත් ඒ යෞවනයින්ටත් ඉස්තරම්ම පන්නයේ රස වින්දනයක් තිබ්බා... එතන හිටිය බාලම කොලූ, මනෝජ් ගේ මස්සිනා, සිංදු මෝලක්... ඔහු පැ‍රැණි ලස්සන සිංදු බොහොමයක් දන්නවා...

මගේ මේ සුලු ව්‍යායාමයෙනුත් ඒ ලස්සන සිංහල ගී, චිරාත් කාලයක් යහතින් වැජඹීමට, පොඩි හෝ තල්ලුවක් ලැබේවා....

අද ගීය සුනිල් සරත් පෙරේරා මහතාගේ මුල්ම රචනය, අතුල සෝමසිරිගේ හඬින්...

උඩහ ගෙදර රං එතනා දෝතට දිය බොයි...
රත්තරනින් ගිගිරි වළලු රන් රසු හඬ දෙයි...
දණ්ඩි පැටව් උඩ පැන පැන පැන රණ්ඩු දබර වෙයි...
සුදට සුදේ කොකෙක් ඇවිත් වක්කඩ ලඟ දොයි....

පලා ගිරා නලා හඬට රොන් රස ඉල්ලූ...
ඇසේ මලින් මල පුබුදන මී මැසි සින්දූ...

සමන් ගිරේ ගිරේ ගිරි මුදුනට යන සමණලුනේ..
පාර කියනවද අප හට සිරිපා තඹරේ....

උඩහ ගෙදර රං එතනා දෝතට දිය බොයි...
රත්තරනින් ගිගිරි වළලු දෑතම රඟ දෙයි...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

යුග යුග හද බැඳ ආවෙමි පියමැන....


මට ලස්සන, තරමක් පැරණි ටෙලි නාට්‍යයක කථාවක් අද උදේ මතක් වුනා... දුකා ගේ පොස්ට් එකත්, සොඳුරු සිත මෑතකදී දැමූ පෝස්ට් එකත්, හදිසියේම රන්දිල් නංගී මගේ මිතුරාට (පවණට සැලෙණා දොඹමල් සුවදින් පෝස්ට් එකේ කියැවුනු) වුණේ මොකද කියා ඇසීමත් යන සේරමත් නිසායි මේ කථාව මතක් වුනේ.... ප්‍රධාන චරිතය රඟපාන්නේ පාලිත පෙරේරා... ඔහුට හොඳ පෙම්වතියක් ඉන්නවා... විවාපත් වෙන්න ලංවෙලා ඔහුට කේන්දරය බැලූ කෙනා කියනවා ඔබට හරියන්නේ දෙවැනි කසාදේ, පළවෙණි කසාදේ කෙනා මැරෙනවා කියා... තම පෙම්වතියට ඉතසිතින් ආදරය කරන ඔහුට මෙය දරාගන්න බැහැ... ඔහු මාරුවක් හදාගෙන දුෂ්කර පළාතට ගොස් ගෙදරක නවතිනවා... ඒ ගෙදර තරුණිය පරණ පන්නයේ කෙනෙක් නමුත් ගුණ යහපත්... ප්‍රේමයෙන් මුසපත් වෙලා ඉන්න ඔහුගේ සිතට දරුණු අදහසක් එනවා... එනම් මේ තරුණියව විවාහ කරගන්න... ඔහුගේ සිතේ බලපවත්වන මේ දුෂ්ඨ චේතනාව නොදන්නා ඒ අහිංසකී මේ තරුණයාට බහ දෙනවා... ඔවුනාතර විවාහයත් තරුණයා ඒ ගමේදීම සිදුකරනවා ඔහුගේ පාර්ශවයේ කිසි කෙනෙකුට දැනගන්න ඉඩ නොතබාම... විවාහ වුනත් අර තරුණයා ඔහු හිටි කාමරයේම ඉන්නවා... අර තරුණියටත් එය බරපතල ප්‍රස්නයක්...හෘදය සාක්ෂිය දැඩි ලෙස කථා නායකයාට වද දෙනවා...

මේ අතරතුර අර තරුණිය රෝගාතුර වෙනවා... හිමින් සීරුවේ ඒ ලෙඩට ප්‍රථිකාර කිරීම මගහරවනා ඔහු ලෙඩේ උත්සන්න වු විටක වෛද්‍යවරයෙක් ලඟට ගෙනියනවා...සොයාගන්න අමාරු බෙහෙතක් නියම වෙනවා.... තම කාරනය මුදුන්පත් වනු දකින ඔහු ඒ බෙහෙත කොලඹින් ගෙන එන්නෙමැයි කියා එළියට බහිනවා.... ඔහු හිතන්නේ එයින්ම මේ තරුණිය මියෑදෙයි කියා... දින කිහිපයකට පස්සේ කාරණය හරියටම දැනගන්න නැවත ගමට යන ඔහු පාළමක් මතදී යහතින් ඇවිදන් එන තමන්ගේ බිරිඳව දකිනවා... සිහි මූර්ජා වෙන තරමට කළබල වෙන ඔහු ඇළට ඇද වැටී ගිලෙන්න යනකොට අර තරුණිය වහා ඇළට පැන ඔහුගේ ජීවිතය බේරා ගන්නවා... මගේ ප්‍රියතම නිලියන් තිදෙනාගෙන් කෙනෙකු වන චාන්දනී සෙනෙවිරත්න මේ චරිතය අපූරුවට කරනවා...

හැබෑ ජීවිතයත් ඉතින් මේ වාගේමයි නේද?... සහකාරයා සහකාරිය තොරාගන්න පස් මහ බැලුම් බලන අතරවාරයේ තමා දෙස ආදරයෙන් කරුණාවෙන් බලන, සොයන බොහෝ දෙනෙක් මඟහැරී යන්න පුලුවන්... ජීවිතේ ගොඩක් අවස්ථා දෙන්නේ නැහැ නෙව... සරමක් කමිසයක් ගන්නවා වාගේ fit-on කර කර බලන්නත් බෑ නෙව... දෛවය යනුවෙන් යමක් ඇත්නම් එය මටනම් බොහෝ කාරුණික වී ඇත... ඇයත් මමත් මුණ ගැසුණු ඒ පන්තියේ සිසුන් ගේ හමුවක් අවුරුදු විස්සකට පසු අපි සංවිධානය කළා... ආපහු ගෙදර ඇවිත් ඇය මගෙන් හරි අපූරු ප්‍රස්නයක් ඇහුවා... "අපි එදා මෙහෙම එකතු නොවුනානම් අද ඉතින් යාලුවෝ වසයෙන් විතරක් හම්බ වෙලා යන්න තිබුණා නේද ...?" කියා... මම මගේ මතය හොඳ හැටි අවදි කර ආපහු rewind කර බැලුවා... හැබෑටම එදා මට ඈ කැමත්ත නොදුන්නානම් මම කාට කැමැති වෙයිද....???? අරයා... මෙයා... එතකොට අර කෙනා.....ම්ම්හ්... හරියන්නේ නෑ...."අනේ මන්දා මොනවා වෙන්න තිබුනද කියලා... හිතයන කෙනෙක් හම්බ වෙලා නෑනේ ආයේ...." මම අවංකවම උත්තර දුන්නා... සතුටෙන්ද, ඔච්චමටද සිනාසුනු ඈ..."ඔව් ඔව් ඉතින් හම්බ වුනා නම් ඔය ඩෝං යන විදිහට ඒ කෙනා වැඩි කල් ඉන්න එකකුත් නෑ..." හැබෑව... නමුත් දැන්නම් ටිකක් අඩුවෙලාය...!

යුග යුග හද බැඳ ආවෙමි පියමැන, සුහදේ දෑත පතා...
සවනට ලන්වී මිහිරේ කිවමැන,අමයුරු මියුරු කතා... අමයුරු මියුරු කතා

දහසක් දෙනුවන් අතරින් රහසේ, බැන්දෙමි පෙම්හර ඔබෙ නිල් දෑසේ...
සිහිනෙන් දිවගෑ රන් රස රහසේ, යලි වින්දෙමි සුහදේ... යලි වින්දෙමි සුහදේ

නොගැයූ ගීතය හදින් ගයන්නම්, මිහිරෙන් පිබිදී දෙපා තබන්නම්...
දෙහදේ පතුමන් එක්කර ලන්නම්, පසුපස මා එන්නම්... පසුපස මා එන්නම්

සින්දුව අහන්න.... ඕන්නම් බාගන්න...

ගායනය ඉන්ද්‍රා විජේරත්න
Read More!

ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට...

අලුතින් නිවස සාදා නිමකල මා මිතුරාට යම් ත්‍යාගයක් ගන්නට මට ඕනෑ කලේ නිවාඩුවට ලංකාවට එන්නට පෙර සිටමය... ගෙදර ඇත්තන්ට පිඟන් බඩු අතපත ගාන්නට තිබු ආසාව යටින් තබා "අර සීබල් ඇවනියු එක ඉස්සරහ තියන දංකො‍ටුව ෂෝ රූම් එකේ නම් ඔයාට ඕනේ විදිහේ දෙයක් ගතහැකි...!" ලෙසින් කල යෝජනාවට මමද එකඟ වුනෙමි... තුන් හතර ගමනක් එහි උඩ පහල ඇවිද ගොස් එකඟතාවකට එන්නට අප දෙදෙනාට හැකිවිය... ගෙදර ඇත්තන් එක්ක මෙබඳු ගමන් යාමට මමද ප්‍රියකරමි.... යමක් මිලදී ගත්තත් නොගත්තත් ඈ ඒවා අතපත ගා රස විඳිනවා බලන්නට මා කැමතිය... බලාපොරොත්තු නැති අවස්ථාවක ඈ විස්මයට පත් කරන්නට මට ඉඩ ලැබෙන්නේ එලෙස පුරවා ගත් මතකය කැලැත්තීමෙනි....

මා ප්‍රිය කරන ඒ සොඳුරු ගායකයා, නිහතමානී සරල මිනිසා, ඒ ඒ සාප්පුවට ගොඩ වුනේ ඔය මොහොතේදීය... කථා කරන්නට ඉඩක් නොලැබුනත් "ඔහු දැකුමෙන්ම" මට ඔහුගේ ගී ගොන්නම මතක් වුණි... මා ‍තෝරා ගත් අයිතමය එකලස් කොට නිසි පරිදි අසුරන තෙක් මමත් ගෙදර ඇත්තනුත් ඒ කවුන්ටරයට වී දෙඩවමින් උන්නෙමු... සේවකයින් කාර්‍ය බහුලය... එය සුරුවමෙන් කල කටයුත්තකි... එවිට "සෝමතිලක ජයමහ" නම් වූ ඒ සොඳුරු මිනිසාද ඔහුගේ අයිතමය ඇනවුම් කර, එකලස් කරවාගන්නට එතනට පැමිණුනි... සේවකයින්ට ගනු දෙනු කරුවන්ගේ මුහුණු බල බලා ඉන්ට වෙලාවක් නැත... ඔහුට මා පි‍ටුපසින් පෝලිමේ ඉන්නට දෙන්න මටද සිත් නොදේ... කවුන්ටරයට ඔලුව ඔබා "මල්ලි මේ මහත්තයාගේ වැඩේ ඉස්සෙල්ල කරලා දෙන්න... " යයි කීවෙමි.... සේවකයා රොබෝවක් මෙනි... මගේ වැඩය එහෙමම් අතැරී ඔහු එතුමාගේ වැඩය කරන්නට පටන් ගත්තේය... ඔහු මා හට කාරුණික සිනහවකින් සංග්‍රහ කලේය... ගායකයින්, ගී නිර්මාපකයින් හෝල් සේල් සන්ෆ්ලවර් වන්දනාවේ යද්දී නිසොල්මන්ව වුන් අතලොස්සක් දෙනාගෙන් කෙනෙකි ඔහු...

සෝමතිලක ජයමහයන්ගේ පියාණන් ඔවුන් කුඩා කල නින්ද යනතුරු ලඟට වී ගී ගායනා කල බව මා පුවත් පතකින් කියවා ඇත්තෙමි... ගොර ගොර හඬකින් වුවද, මාද එය, මගේ වුන් කුඩා කාලයේදී කරන්නට පුරුදු වූයේ ඒ මතකය ඔස්සේ යැයි සිතමි... ලොකු හාදයා බහ ‍තෝරන වියේදීම "මුහුදු පතුල යට ඉඳලා..." ගීය මා කියනවා අසා "පාට පාට... " යන්න තාලයට කියන්න උත්සාහ කල හැටි මගේ සිතේ නොමැකී ඇඳී ඇත...

සේවකයා ඔහුගේ ඇණවුම නිම කර බාර දුන්නේය... "අපි ගිහිල්ල එන්නම්..." කියන්න තරම් ඔහු නිහතමානීය... මම පසෙකට වී දෑත් එකතු කොට ඔහුට ආචාර කළෙමි....

ඒ මතකය වෙනුවෙන් මා ප්‍රියකරනම ඔහුගේ ගීයක්...

ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට...
සිත් විය කප් අග හිරු පායන තුරු...
යෞවන ප්‍රේමය නව දලු මල් ලා...
කුරුලු සරෙන් කන් කන් පියවයි සුමියුරු...

ආදර සෙනෙහස කිසි අඩුවක් නැත...
මා හැරදා ගිය නමුදු අතීතෙක...
පෑල දිගින් විත් මතකය පුබුදයි...
මහලු වියට පත් වසන්ත සඳවත...

ගම සතපාලන නින්ද ඇදෙන විට...
අන්ධකාර කඳු වැටියෙන් මෙපිටට...
අත ගත් පිය හිමි සමග ගයනු මැන...
මටද ඇසෙන්නට කුරහන් සී පද...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

ඔබ දකින්නට කාලෙකට මම මුහුදු වෙරලට එන්නේ නෑ....

"ක‍ටුනායක...!"
මිහිරිම මතකයනුත් අමිහිරිම මතකයනුත් අතර අනිවාර්‍යයෙන්ම ‍රැඳී ඇති නගරය... ලංකාවේ සිටින විට වුව ගෙදරින් බැහැර යාමට මනාපයක් නොදක්වන මට, මේ ගව් ගනනක් දුරු රටක සිරවීමට සිදුවීම කෙතරම් රුදුරුද...? තීරණය අප දෙදෙනා විසින්ම එකල තුබු කාරණා තුලනය කොට අනාගතය වෙනුවෙන් ගත්තකි... කාටවත් දොස් පැවරිය නොහැක... අවුරුදු දෙකකට හෝ අවුරුද්දකට වරක් ගම රට බලා යන්නට වුණු ‍රැකියාවක් විණි නම් මා මෙහි නො එන්නට බොහෝ ඉඩ කඩ තිබුණි...

පොඩි හාදයා සුබ පතන්නවත් වඳින්නවත් ලඟට නාවේය... ඇඳුම් මල්ල සකස් කරන විට "මම මේකට බැහැලා ඔයත් එක්ක එන්නද...?" මගෙන් ඇසී... කෙසේ නම් ඉවසා ඉන්නද...? ඔහුගේ සිත මට තේරේ... හිතේ දුකක් ඇති කරගෙන මට සමු දීමට ඔහු නොකැමතිය... ලොකු හාදයා හිත තද කරගෙන ඉන්න පුරුදු වෙනවා වැනිය... මගේ හිසට ඈ විසින් සිඳ සකස් කෙරූ තැඹිලි තෙල් ඩිංගක් දමා කදිම සම්බාහනයක් ඔහු විසින් යනදා උදේ මා වෙත තිළිණ කරන ලදී... මා ඔහු වැලඳ ගත් විට "පරිස්සමින් ගිහින් එන්න තාත්තේ..." කියන්න තරම් දැන් ඔහු මෝරා ඇත... එය සිතට යම් සහනයකි...

"ඔන්න ඉතින් පොරොන්දු වුනා නේද...?"
ඇය තරම් මා දක්ෂ නැත... උගුරෙන් මතුවන ඉකිය මට වලක්වා ගත නොහැක... ඇයගේ ස්වරයද හැඩුම් බරය... ඉමහත් වගකීම් සම්බාරයක් ඈ මත පැටවුනද, මේ දින කිහිපය මා සතුටින් තබන්නට ඈ ගත් මහන්සියට අලගු තබන්නට වත් "සෙනෙහස ගැන සිතා, මද්දහනේ ගොස්, කර ලන්නට ගෙනා රිදී පොටට" කිසිසේත් නොහැකිය...

ලංකාවට පා තබා නිවසට ගොඩවූ සැණින් මා පිලිගන්නට ආ ඇයව, වැලඳ ලයට තුරුලු කර නිමේශයක් දෙකක්, අප එදා ගත් තීරණය නිවැරදි දයි මෙනෙහි කළෙමි...
"පව් අප්පා..."
මා අසාමාන්‍ය වේලාවක් එලෙස ගතකර ඇති බව මට මට එවෙලෙහි අවබෝධ වුනේ ඇගේ ඒ වදනත් සමගය...

ඉක්මණින්ම මේ යාම් ඊම් වලට සමුදිය යුතුය... මරණය මීලඟ මොහොතේ වුව අපකරා ලඟාවිය හැක... එහෙත්...

දුකිනි තනිවම ඉවත යන්නේ... මගේ ගම රට හැරදමා....
හරිම ආසයි යන්න ඇත්නම්... තවත් සැරයක් ඔබ බලා....
මාගේ රන්කඳ පිය ලඳේ... කාලෙකට මම එන්නේ නෑ...
ඔබ දකින්නට කාලෙකට මම... මුහුදු වෙරලට එන්නේ නෑ....

සුදට සුදු පෙණ සෙමර සලමින්...වෙරළ සිප එන හැටි පෙනේ....
මුහුදු රළ පෙළ බොලඳ මියුලැස... ඔබට මුතු මාලා ගෙනේ...
මාගේ රසවති සඳවතී....කාලෙකට මම එන්නේ නෑ...
ඔබ දකින්නට කාලෙකට මම... මුහුදු වෙරලට එන්නේ නෑ....

සුමුදු පාණී ඔබේ අත ගෙන... බඹර ‍රැව් පෙම් ගී ගයා...
යොවුන් මල්බර වසන්තයෙ ඔබෙ... නමට බැන්දෙමි රස සොයා...
මාගෙ සිරි ළියේ පෙම් ලියේ... කාලෙකට මම එන්නේ නෑ...
කාලෙකට මම ඔබ දකින්නට මුහුදු වෙරළට එන්නේ නෑ...

ලඳේ මේකයි කදෝකෙමි නිල්.. පබලු ඉහිරෙන රසික කාලය....
මගේ මුලු ළය මඬල නලවන... ගීතවත් වුනු උමතු ආලය...
මාගේ පබසර රසවතී... කාලෙකට මම එන්නේ නෑ...
ඔබ දකින්නට කාලෙකට මම මුහුදු වෙරළට එන්නේ නෑ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!
 
Blogger Wordpress Gadgets