මී මැස්සෝ කණ්ඩායම විසින් "ටික වෙන්න නාලා - කොන්ඩේ කඩාගෙන" ලෙස ගැයූ ගීය "ටික වේ....න්න නාලා" ලෙස අදිමින්, තවත් එබඳුම ගී රැසක් සමග අමුණමින් ගයා "අල" කිරීමෙන් පසුව දැන් සෑහෙන කලක් ගතවී ඇත. "ඇවිලේ සැමදා රශ්මිය විහිදා - ඉටිපන්දම තනියේ" දැන් සාදයකදී වත් අසන්න නොලැබේ. සාද වලටත්, විනෝද චාරිකා වලටත් සරිලන වර්ගයේ ගී සිංහල ගීතාවලියේ එමට ඇත. එහෙත් ඉහත කී අල කිරීම් නිසාදෝ දැන් තරමක වේග රිද්මයකින් යුතු මනරම් ගී බොහොමයක් යටපත් වී ඇත. විනෝද චාරිකාවලදී හෝ සාදයකදී "මින්දද හී සර" ගයන්නට සැරසෙන්නෝද අඩු නොවේ.
සාජ්ජ, බජව් පසුකර දැන් අපි "පැදුරු පාටි" යුගයට අවතීර්ණ ව ඇත. සමන් අතාවුදහෙට්ටි ඇතුලු රසවතුන් කරළියට ගෙනා ආ, දල වශයෙන් මැද පන්තියේ විනෝදාස්වාද කටයුත්තක් වූ පැදුරු පාටිද ගලායන්නේ එකම රිද්මයකටමය. පැදුරු පාටියකට අඩුම ගනනේ සර්පිනාවක් (හෝ සමාන සංගීත භාණ්ඩයක්) හා තබ්ලාවක් නැතිවම බැරිය. එහෙත් බොහෝ එබඳු සාද වලදීද අසන්නට ලැබෙන්නේ එකම පන්නයේ ගීත වීම කණගාටුවට කරුණකි. අමරදේව (ඒකෙනුත් මහගම රචනා!!!), ගුණදාස කපුගේ, නන්දා වික්ටර්, නීලා මේ සාද වලදී ගැයෙනු අසා මට නම් හැබෑවටම තිත්තවී ඇත. රුචිය එකිනෙකාගේ වෙනස් බැව් විශේෂයෙන් කීමට ඇවැසි නැත. මේ මාගේ රුචියයැයි කීමට ඒ බාධාවක් නොවේ යැයි එලෙසින්ම සිතමි!
මාධ්‍ය වලිනුත් නිර්මාණය කෙරෙනුයේ / කරණුයේ මීටම සමාන වටපිටාවකි. ගී පද රචකයෙක් ගැන කථා කලහොත් ඒ ප්‍රේමකීර්ති, මඩවල, මහගම, ඩෝල්ටන් වීමට බොහෝ ඉඩකඩ ඇත. ගී හාරදාහක් පමණ ලියූ හේම ශ්‍රී ද අල්විස් වැන්නවුණ් ජීවමානව, බෙහෙවින් ආර්ථිකව අබල දුබලව සිටියද (රෝගී ව ඉන්නා අයිරින් ද අල්විස් මහත්මියද රැක බලාගනිමින්) ඔවුන් මාධ්‍ය තුලින් එළියට එන්නේ ඉතාම කලාතුරකිනි. මෙලෙස අඩු ලෙස මාධය තුලින් දිස්වෙන තවත් කලාකරුවෙක් වන
විජේසුන්දර පොලොන්ඕවිටයන් ගැන මම කලින් කියා ඇත. පරසතු මල්හී බොනී මහත්තයා විසින් සංකේතවත් කල (සල්ලාල මොඩලයේ වුවුද!) සහෘද අර්ථපතීන් සොයා ගැනීමට මෙතරම් උගහට වන්නේ සාමාන්‍ය සරල රසවතුනුත්, රසකැවිල්ලක් තලු මරා කනවාට වඩා රස සිඳී හංකඩයක් වූණු පසුවද දිගින් දිගටම, කිසිඳු රහක් මෙරක් නැතිව හපන "චූවින් - ගම් " සැපීමට රුචියක් ලබා ඇති නිසාමද?
අප අතරින් වියෝවුනු නොයෙල් ගුණරත්නයන් ගයන, හේම ශ්‍රී ද අල්විස් විසින් රචිත මොහොමඩ් සාලී විසින් සංගීතය යෙදූ මේ ගීය කෙතරම් අපූරුද? චූවින්-ගම් ඉවත දමමු!
Read More!