හදේ පිපෙන බැති මල් ගෙන...





හදේ පිපෙන බැති මල් ගෙන
සෙනේහයේ පිණි දිය ඉස
ඔබේ මුදු දෙපා අභියස
තබා පුදන්නම්..
තබා පුදන්නම්...

ඔබේ ගෙලට මුතු මාලා
සයුරෙන් මතු වේ වලා
ඔබේ පිනට රන් මිණි කැට
පොළවෙන් මතුවේ...
පොළවෙන් මතුවේ...

මවුනි ඔබේ විරු දරුවන්
වැළලූ මිහි දෙරණ පුරා
ගත සිත සිත දිරියෙන් පුබුදන
රුවනකි ඇත්තේ...
රුවනකි ඇත්තේ...
Read More!

නෙත් සඟලින් කියාපන්කො....

"අපේ පරම්පරාවේ නම් දිගටම පුරුදු පුහුණුවීම් කරගෙන ආ සංගීතඥයෝ ඉඳලා නෑ.." 
කථාව පටන් ගැනෙන්නේ එහෙමය..

"1960 තමා මම ඉන්දියාවට ගියේ... ඒ කාලයේ ඉන්දියාවට යන්න වීසා ඕනෙත් නෑ... ඉස්සෙල්ලම ගමේ කනම්පැල්ලේ මහා විද්‍යාලයට ගියා... බද්‍යුදීන් මහමුද් විදුහල්පතිකම දාරපු කොස්ගම සුමේධ විද්‍යාලයට ඊලඟට ගියා... ඊට පස්සේ හංවැල්ල ශාන්ත ජෝන් බොස්කෝ එකට, අන්තිමේ හොරණ ශ්‍රීපාලියට... ශ්‍රීපාලියට මුල්ගල තියල තියෙන්නේ 1820 1934 රබීන්ද්‍රනාත් තාගෝර් මහත්තයා... විල්මට් පෙරේරා මහත්තයගේ නෝනා ශාන්ති නිකේතනයේ ඉගෙන ගන්න කාලේ විල්ම්ට් පෙරේරා ඉන්දියාවට යන එනගමන් තමා තාගෝර් තුමා එක්ක හිතවත් කමක් ඇතිවෙලා මෙහෙත් ශාන්ති නිකේතනය වාගේ ආයතනයක් පිහිටුවන්ට ඕනැයි කියන අදහස ඇවිල්ල තියෙන්නේ..." දැන් අප කථා නායකයාගේ වයස ගැන අනුමානයක් ඔබට ඇති කරගත හැකිය.


"ලයනල් එදිරිසිංහ, අනංගලාල් අතුකෝරාල, සූර්‍යශංකර් මොල්ලිගොඩ, චිත්‍රසේන, පණී භාරත වාගේ දැවැන්තයෝ මම යන කාලේ කාලේ ශ්‍රීපාලියේ ගුරු මණ්ඩලයේ හිටියා... විල්මට් පෙරේරා මහත්තයා තාගෝර්තුමාගෙන් කල ඉල්ලීමක් පිට එයාලා සෞන්දර්‍ය අධ්‍යාපනය හදාරන්න ඉන්දියාවට ගිහිල්ලා තමා ආපහු ඇවිත් ශ්‍රීපාලියට සම්බන්ධ වෙලා තිබුණේ... ගෙදරින් දොස්තර කෙනෙක් වෙන්න කියලා විද්‍යා විෂයයන් හදාරන්න කීවට මම ඒ මග අතහැරලා කලාවට බැස්සා..."

"බොහොම මුලදී ශ්‍රීපාලියේ සෞන්දර්‍ය විෂයට ගුරුවරු නැති නිසා ශාන්ති නිකේතනයෙන් ගුරුවරු ආවා තාගෝර්තුමා හරහා.. ගායන විෂයට වී. වී. වසල්වාර, නැටුම් වලට ශාන්තිදේව ගෝරිස් පඩිවරයා, චිත්‍ර වලට නන්දලාල් ගෝස්ගේ ගෝලයෙක් වාගේ පිරිස ආවා... මෙයාලා තාගෝර්තුමාගේ නෘත්‍ය නාටක (ඩ්‍රාමා) මෙහේ කරන්න ගත්තා.. පස්සේ මම ඉගෙන ගන්න කාලේ  හිටපු ගුරුවරු ඒවා සිංහලෙන් කරන්න ගත්තා... සාමා, චිත්‍රාංගනා, නයනානන්ද වාගේ ඒවා... මේවායේ ගීත ගායනා කරන්නත් මට අවස්ථාවක් ලැබුණා... ලංකාවේ ඒ කාලේ තිබ්බ ලොකුම විභාග තමා ලංකා ගාන්ධර්ව සභා විභාග... ලයනල් ඒදිරිසිංහ, ඩන්ස්ටන් සිල්වා, බී. එස්. විජේරත්න වාගේ මහත්තුරු තමා ඒවා මෙහෙයෙව්වේ... ඔය අතරේ රජයේ සංගීත විද්‍යාලයත් බිහිවෙනවා 1952 විතර... ඔහොම යනකොට ඔන්න 1957 විතර ගුරු තනතුරු ගැසට් කලාම ඒකට ඉල්ලුම් කරල මට පත්වීමක් ලබෙනවා කුරුනෑගල වෑබඩ මහා විද්‍යාලයට සංගීත උපදේශක හැටියට..."



"මේ වෙලාවේ සෞන්දර්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක වුනු මකුළොලුව මහත්තයා රජයේ වාදක මණ්ඩලයක් ස්ථාපනය කරනවා... නිවාඩු මාසයක් හම්බවුණු ගමන් මකුලොලුව මහත්තය රෝයල් එකේ හරි ලුම්බිණියේ හරි ගුරුවරුන්ව ගෙන්නවගෙන පුරුදු කරවනවා ඒ මාසෙම... නිවාඩු කාලේ අපට මේ ඉගැන්වීම්, පුහුණුවීම් නිසා ගෙදර යන්නත් ලැබුනෙ නෑ... මොකද මාව තෝරාගෙන හිටියා සිතාර් වාදකයා හැටියට... මාව කොළඹට ලඟ ඉස්කෝලෙකට, කැළණියේ ධර්මාලෝකෙට මාරු කරවල ගත්තා 1959 දි විතර ඔය වැඩේට පහසුවෙන්න, මකුළොලුව මහත්තයම... සතිස්චන්ද්‍ර එදිරිසිංහ අටේ පන්තියේ වගේ හිටියේ ඒ ඉස්කෝලේ, එයාගෙ මල්ලිත් හිටියා පහල පන්තියක, දැන් ඔය මේ සින්දු කියන්නේ... ඉතින් මකුළොලුව මහත්තයා ඒ කාලේ මහාභිනිෂ්ක්‍රමණය, ගොයම් දා මගුල වගේ ගොඩක් ගීත නාටක හදල අපි ලව්වා පුරුදු කෙරෙව්වා..."

"මේ කථා අතර ඉතින් ලස්සන ලස්සන කතන්දර මැද තියනවා... ඒවා නැතුව මම මේ යන්නේ හරිද....? මේ පුහුණුවීම් යන අතරේ මකුළොලුව මහත්තය රෑ දහයට එකොළහට විතර කඩං පනිනව අපි පුහුණු වීම් කරනවද බලන්න.. ඔහොම ඉන්න අතර තමා මම 1960දී ශාන්ති නිකේතනේට යන්නේ... හැට හතරවෙනකොට එතැන ඉගනීම් ඉවර කරලා ලක්නව්, භාත්ඛන්ඩේ ගියා... ලක්නව් යන්න කලින් ශාන්තිනිකේතනයේදී ගායන, වාදන, නැටුම් ඒ කියන්නේ ඔය කතකලි, මනිපුරි වගේ එව්වා, සිතාර්, එස්රාජ්, ඔව්වා ඔක්කොම කලා... ලක්නව් වල සංගීත විශාරද, ගායන විශාරද කරල ඉවර කලා... හැට අටවෙන වෙනකොට අලහබාද් විශ්වවිද්‍යාලයට ගියා ඊට පස්සේ සංගීත හා වාදන ප්‍රභාකර් කරන්න... ඔය උපාධි පහ හයක් අරගෙන තමා මම හැට නමේදි විතර ලංකාවට ආවේ... එනකොට පොල්ගොල්ල ගුරු විද්‍යාලයටයි පත්වීම ලැබිල තිබුණේ... ඒත් විල්මට් පෙරේරා මහත්තයා 'පිස්සු නැතුව ඔයා ඇවිල්ලා ශ්‍රීපාලිය භාරගන්න' කීවා... එහෙමයි ඒකේ විදුහල්පති වුණේ..."


විල්මට් පෙරේරා මහත්තය මට මෙහෙම යෝජනාවක් කලා මම ලක්නව් ඉන්න කාලේ 'මේ ලංකාවේ ඉන්න දුප්පත් කට්ටියට භාත්ඛන්ඩේ යන්න බැරි නිසා මෙහේ බැරිද අපේ අයට ශාඛාවක් පිහිටුවන්න..?' කියල.. මම මේ ඉල්ලීම ඒ කාලෙම එහේ බෝඩ් එකට ලිපියකින් ඉදිරිපත් කලා... බෝඩ් එකේ හිටියේ රතනජංකර් පඬිතුමා, ගෝවින්ද නාරායන් නාඩු පඬිතුමා ඇතුළු කිහිපදෙනෙක්... කොහොම හරි මේක අනුමත වුණා... මම ලංකාවට එනකොට ඒ අනුමැතිය අරන් ඇවිත් විල්මට් පෙරේරා මහත්තයට දුන්නා 'ඔන්න සර් මම වැඩේ කලා..' කියලා... 1970 අපි මෙහෙම ශ්‍රීපාලියේ පිහිටුවාපු ආයතනය විවෘත කරන්න නාඩු පඬිතුමාත් ලංකාවට ආවා...


"ඔය අතරෙදි 1974 විතර රජයේ සංගීත විද්‍යාලය කැළණිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්‍ය ආයතනය බවට පත්වෙනවා... මාව ඒකේ අංශාධිපති කරලා ගත්තා ඒක මම ඒකට ඉල්ලුම් පත්‍රයක් දැම්මම... සංගීත, නැටුම්, චිත්‍ර අංශ තුනේම අංශාධිපති... 78දී විතර ශ්‍රීපාලිය හොරණ මණ්ඩපය බවට පත්වෙනවා... ඒකෙත් පරිපාලනය මට පැවරුණා..."

"ඔය අතරේ හරි අපූරු වැඩත් වුණා... කටුබැද්ද විශ්වවිද්‍යාලයේ වයිස්චාන්සලර් අපේ සාකච්ඡාවකදී මගේ ඇහුවා 'ප්‍රොෆෙසර් මේ ලමයි ටිකක් හීලෑ කරන්න සංගීතය පාවිච්චි කරන්න බැරිද කියල...' අපි මේ වැඩේ අවුරුදු හතරක් විතර ලමයි එකතු කරගෙන කලා ඉංග්‍රීසි බාසාවෙන්.. පරාභව සූත්‍රය, මහා මංගල සූත්‍රය වාගේ එව්වා පාදක කරගෙන මම යම් යම් නිර්මාණ කලා... අපි හැට දෙන්නෙක්ගේ විතර ඔකෙස්ට්‍රා එකකුත් හැදුවා..."


"අපි මේ භාත්ඛන්ඩේ ආයතනය පිහිටුවල මුල් කාලෙ වෙනකොට ඉස්කෝලවලට සංගීත අංශයෙන් ප්‍රවීනතා තිබ්බ ගුරුවරු නැති නිසා සාමාන්‍ය පෙල දක්වා සුදුසුකම් පසුබස්සවන්න වෙලා තිබ්බා අමාත්‍යාංශයට... අද වෙනකොට භාත්ඛන්ඩේ ආයතන දහයක් විතර පිහිටුවල තියනව ලංකාවේ... දැන් සංගීත ගුරු පුරප්පාඩු නැති තරම්... අපේ ආයතනයෙන් විතරක් අපි දහසය දාහකටත් වැඩියෙන් ගුරු පුරප්පාඩු මේ වෙනකොට පුරවල තියනවා... මම තමා මේ වෙනකොට ලංකාවේ සංගීත විභාග පාලක... ලංකාවේ මේ භාත්ඛන්ඩයේ සංගීත පද්ධතිය ව්‍යාප්ත කරන්න කල සේවය නිසා මාව ඉන්දියානු පරීක්ෂකවරයෙක් විදිහටත් බඳවා ගත්තා... ඒකට තව හේතුත් තිබ්බා...මට ඉන්දියානු බාසා අටක් විතර කථා කරන්න පුලුවන්... තාගෝර් සංගීතය හදාරනකොට කොහොමත් බෙංගාලි බාසාව එහෙම ඉගෙන නොගෙන බෑ..."

"මම 1952 ඉඳන්ම වාගේ මම ලියාපුම ගීත කීවා... හැත්තෑගනන් වල තමා ඩෝල්ටන් අල්විස්ලා, සේකරලා වගේ අය ලියාපු ගීත කියන්න ගත්තේ.... මම පොත් ලියන කාලේ පාන්දර වෙනල් සෝදුපත් බැලීමේ වැඩ කරනවා... මෙහෙම නිදි මරලා වාහනේ එලවලා දවසක් අනතුරකටත් මූණ පෑවා.. ඒ අනතුරෙන් පස්සේ මගේ හඬේ තිබ්බ 'මිහිරි බව' පොඩියක් අඩුවුණා... දැන් මගේ හඬ ටිකක් වැඩියි... ටිකක් උඩ තලයක තමා මට කියැවෙන්නේ..."


"මේ ලංකාවට අපි කල දේවල් ගොඩක් ලොකු පිංකම් පුතා... ලොකු දේවල් විතරක් නෙමේ කුඩා මට්ටමිනුත් අපි වැඩ කරල තියනවා...ඒකාලේ ශ්‍රීපාලියේ හිටියා මාසික ගාස්තුව වෙන රුපියල් පහ ගෙවාගන්න බැරි අය හිටියා... ඒ අයට අප ගානේ අපි ඉගැන්නුවා... අද ලංකාවේ ප්‍රසිද්ධ ගායිකාවන්ට ඒකාලේ ශිෂ්‍යාවන්ව ඉන්න කාලේ මම මාසික ප්‍රවේශපත්‍ර පවා අරන්දීලා තියනවා බස් එකේ යන්න... අනෙක් කාරණේ තමා මේ කලාවේ ව්‍යවහාරයේ ඉන්න ඕනෑ... රවි ශංකර්ට මාසයක් සිතාර් ගැහුවේ නැත්නම් එයාට වුණත් අඩුපාඩු වෙනවා..."


අප කථානායක ප්‍රේමදාස මුදුන්කොටුව මහතා කලාභූෂණ සම්මානයෙන් සම්භාවනාවට පාත්‍රවෙද්දී කියැවුණු හේතුපාඨයෙන් කොටසක් සටහන් කරමින් මේ සටහන නිමා කරමි.

"විශ්ව විද්‍යාල ආචාර්‍යවරයෙකු වශයෙන්ද විශිෂ්ට සේවයක නිරතව බරණැස හින්දු විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති හා සංගීතපති උපාධි හිමිකර ගනිමින් කල්කටා විශ්ව විද්‍යාලයෙන් ආචාර්‍ය උපාධියෙන්ද පිදුම් ලැබීය. මේ අනුව ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අදාලව අතිවිශිෂ්ට මෙහෙවරක යෙදෙමින් සුවහසක් ඇදුරන්ගේ හා සිසුන්ගේ සම්භාවනීය ආචාර්‍යවරයා වශයෙන් නිර්වචනය කළ හැකි පරිද්දෙන් ගෞරවාදරයට පාත්‍රවෙමින් ලාංකේය සංගීත කලාවේ යුග පුරුෂයෙකු ලෙස සම්භාවනාවට පාත්‍රවිය."



නෙත් සඟලින් කියාපන්කො
අනේ නෑනො කියාපන්කො
මට නොකිව්ව ලස්සන ගීතේ

මම කොහොමද එය කියන්නෙ
හිතේ කවුද කවි ලියන්නෙ
මලේ රුවට මල වට දුන්
බඹර විලාපේ... 
බඹර විලාපේ...

හිත පාළුයි නෙත පාළුයි
මට පාළුයි කියාපන්කො
නෙත් සඟළින් නොකිව්ව ගීතේ
මට නොකිව්ව ලස්සන ගීතේ

කනේ තෝඩු කරේ මාල
ඉණවට සළු සේල නැතිව
පැලේ පිළේ තනියම ඉඳ
මම කොහොමද එය කියන්නෙ

මා නොකිව්ව ලස්සන ගීතේ
මට නොකිව්ව ලස්සන ගීතේ
Read More!

අවදිවන්න පුත, දෙනෙත් අරිනු පුත, නව හිරු පායන්නේ...

සිංහල කලා කෙත තුල මාගේ සිත්ගත් "පුන්‍යා" ලා තිදෙනෙකි. ඒ තිදෙන නියෝජනය කරන්නේ යුග තුනක් වීම අහම්බයකි. පළමුවැන්නා නම් පුන්‍යා හීන්දෙනියයි. ඈ හා සමව යථාර්තවාදී රංගනයන් ඉදිරිපත්කල අනෙකෙකු ඇත්නම් මට අනුව ඒ ස්වර්ණා මල්ලවආරච්චි පමණෙකි. තුන්වෙනි පුන්‍යා මට හමුවන්නේ "සමනළ සංධවනිය" තුලය. මා සිත ඉමහත් කම්පනයක් ඇතිකල ඒ "පුන්‍යා"ද සදා මතකයෙන් බැහැර නොයයි.

දෙවැන්නිය නම් පුන්‍යා කත්‍රිආරච්චි හෙවත් අද කතාන්දරයේ කථා නායිකාවයි.

"ගාථා කියනකොට පන්සලේ බුදුගෙයි ඇතිවන දෝංකාරයට මගේ හිත ඒ කාලේ තදින් ඇලුනා... මගේ කටහඬ මටම අහන්න නැවත නැවතත් ආසාවක් ඇතිවුණා... ඒක කොච්චර දුර දිග ගියාද කියනවානම් මම කවුරුවත් නැති වෙලාවලට බුදුගේ ඇතුලට ගිහිල්ලා 'බුදු සාදූ - බුදු සාදූ සඳුන් ගසක් වෙන්නම් - මම සමන් වැලක් වෙන්නම්' වගේ සින්දු කියන්නත් පෙළඹුණා..." අපගේ කතිකාව අරඹමින් ඈ සිනාසෙන්නීය. "මගේම කටහඬ මටම ඇහෙන නිසා හිස් බැරල් ඇතුලට ඔලුව දාගෙන දෝංකාරය දෙන විදිහට සින්දු කියන්න මම පෙලඹුණා...."

පාසැල් අධ්‍යාපනය හමාර කොට කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළුවූ ඈ කලා උපාධියක් හදාරන අතරතුරදීම සංගීතය විශාරද විභාගය දක්වාම හදාරන්නීය. "මම ආසාවටමයි සංගීතය හැදෑරුවේ..." ඈ ඌනපූරණද එකතු කරන්නීය.

"ඔය අතරතුර සංගීත තරඟවලටත් මම සහභාගී වුණා... ගුවන් විදුලියෙන් පවත්තපු එක තරඟෙක අවසාන වටය එනකොට මම ගුවන් විදුලියේ වැඩටත් ගිහින්... එතනම වැඩකරන හින්දා මට සහභාගී වෙන්න දෙන්න බෑ කිව්වා... ඒත් ඉල්ලීමක් කරහම ඒ අවස්ථාව ලැබුණා... අවසන් තරඟෙට දෙලොස් දෙනෙක් හිටියා... අම්මා කලබලේට ගෙනාපු සාරියයි නොගැලපෙන හැට්ටෙයි ඇඳගෙන සාරි පොටෙන් හැට්ටේ වහගෙන සින්දු කියාපු නිසා කවුරුවත් ඉතින් මුලින් මගේ පින්තූර ගන්නවත් ආවේ නෑ.." ඈ නැවතත් සිනාසෙයි.

"කොහොම හරි ඉතින් සුනිල් එදිරිසිංහත්, සංධ්‍යා කියල කෙනෙකුත් මමත් අවසන් තුන්දෙනාට තේරුණා... මම පළමු වැන්නා වුණා... මම කිව්වේ නන්දා මාලිනිය ගායනා කර තිබූ 'කරදර පොදි බැඳ' ගීය... ඊට පස්සේ නම් ඉතින් පින්තූර ගත්තා ගොඩක් පත්තරවල වල කට්ටිය..." මාධ්‍යයේ ඇස් යොමුවන්නේද ඉව ඇල්ලෙන්නේද අද මෙන්ම එදාත් දිස්නයට මිසක ගුණයට නොවන බව මේ තවත් සාක්කියකි! එහෙත් එදා විනිශ්චය මණ්ඩල වල තීරණ කොපමණ සාධාරණදැයි, දුරදක්නාදැයි, අද පසක් වේ.

"රස්සාවට යන ගමන්ම තමා විශ්වවිද්‍යාලයේ අවසන් වසර දේශන වලට සහභාගී වුණේ... ගුවන්  විදුලියේදී කලබලෙන් දවල් කෑම අරගෙන ඔතන තිබ්බ ජාතික පොල හරහා කොළඹ විශ්ව විද්‍යාලයට ඇවිදගෙන එනවා.. කොහොම හරි විභාගයත් සාර්ථකව කරගත්තා... ගුවන් විදුලියේ තැටි ගබඩාවේ වැඩකරන කාලේ මම ටයිපින් ඉගෙන ගෙන තිබ්බ හින්දා මට ෂෙඩුල් ටයිප් කරන්නත් ලැබුණා.. ඒකාලයේ නිවේදක ප්‍රොස්පර් ප්‍රනාන්දු මහත්තයා මට දවසක් කථා කරලා මගේ රුචිකත්වය හොඳ හන්දා කීවා එයාගේ වැඩසටහන් වලට ගීත තෝරන්න කියලා... ඔහොම ගියාම මටම පෑ භාගෙක 'සම්පාදක තෝරයි' වැඩසටහන කරන්න ලැබුණා... මම නිෂ්පාදිකා, සහන නිවේදක වාගේ තනතුරු වලට ගියා... බොහොම ආසාවෙන් උනන්දුවෙන් වැඩ කරපු කාලයක් ඒක.."

"දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට.." සින්දුව ගැන යමක් කියන්න, මගෙන් ඉල්ලීමකි.
"ඒක මගේ මුල්ම සරල ගී වැඩ සටහනට දයා අක්කා ලියා දුන්නු ගීයක්... ඊට කලින් මම 'මට මතකයි ඔබ පිපිලා උන්නා...' එහෙම කියල තිබ්බා... සරල ගී වැඩ සටහන මෙහෙයවෙව්වේ ගුණදාස කපුගේ මහත්තයා... ලොකු වාදක මඩුල්ලක් එහෙමත් හිටියා.. ඒත් මේ ගීය ගයන්න හදනකොට වයලීනයත්, බටනලාවත්, තබ්ලාවත්, ගිටාරයත්, සර්පිනාවත් වයන අයව ඉතිරි කරලා ඔකෙස්ට්‍රා එකේ අනෙක් අයව පිටත් කලා 'දැන් ඔයාලා ඕනේ නෑ..' කියලා... මම පුදුම වුණා මේ මොකක්ද කරන්න යන්නේ කියලා... ඒත් ඒ ගීය පුදුමාකාර විදිහට ලස්සනට කෙරුණා... ඔය ගීය නිසා හාදවුනු, වෙන්වුණු බොහොමයක් දෙනා මට මුණගැහෙනවා... ඕක රින්ග්ටෝන් එකකට කට්ටියක් මගෙන් ඉල්ලුවා ටිකක් වෙනස් කරල දාමුද කියලා... මට දෙන්න හිතක් තිබුණෙ නෑ..."
ඒ තීරණය කෙතරම් හොඳද!

"ඔබතුමියගෙ මම බොහොම ආසාකරන ගීයක් තියෙනවා
'මට නොකියා ඔබ මාගේ හිත ලඟ, රහසින් මේ ලෙස ඇයි ඉන්නේ..'
 ඒක කවුද ලීවේ..?" සිත තුල තෙරපෙන ප්‍රස්න ගොන්න සම්බන්දයකින් තොරවම මුවින් ගිලිහෙයි.
"ආ ඔව් ඒක ලීවේ ඩෝල්ටන් අයියා... 'ස්වර්ණ වර්ණ සළු පළඳා ස්වර්ණ තලාවේ, සූරිය දෙවියන් වැඩමන ස්වර්ණ වලාවේ' ඒකත් ඩෝල්ටන් අයියගේ..."

පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය හමුවීමට යාමට ලකලෑස්ති වෙනවිට මගේ ගෙදර ඇත්තන් ගීයක් මුමුණයි
"බකිනි ගහේ බකිනි මලෙන් පාර අසන්න්නේ..."
"හරි හරි ඒ සින්දුව ගැනත් විස්තර අහන්න කියලනේ ඔය නොකියා කියන්නේ.." මම ඈ අස්වසාලීමි.

"සිතක සතුට නැලවෙන දිය රැලි සේමා,
බසක මහිම ගල පිට ඇඳි ඉර සේමා,
ලඳුනි ඔබේ රුව පිපි තල මල සේමා,
සරා කොමළ මල වට බඹරා සේමා..."
මේක ගැන ඔබතුමියගේ මතකය කොහොමද?
"ඕක කෙරුණේ සේන වික්‍රමාරච්චිගේ සරල ගී වැඩසටහනකට.. ඒකට මට යුග ගීයකට ආරාධනාවක් ලැබුණා.. ඒකට දයා අක්කා ලියා දීපු ගීයක් මතක හැටියට ඕක... 'ඉපදුන දා සිට මව්පිය සෙනෙහස...' ගීයත් මම සේන අයියා එක්ක කීවේ.. මට සෝමතිලක ජයමහ එක්ක සින්දුවක් කියන්න ලොකු ආසාවක් තිබ්බා... ඊට පස්සේසෝමේ අයියා එයාගෙ වැඩසටහනකට මට ආරාධනාවක් කරලා අපි දෙන්නා 'දෙනුවර මින්පසු එක නුවරක් වෙයි..' ගීය කීවා..."

"මම හරි ආසා මගේ තවත් ගීයක් තියනවා... ය'මන් රාගයෙන් ගැයෙන ඩන්ස්ටන් ද සිල්වා සංගීතය කරපු
'බුදුරැස් දහරින් මුලු ලොව සතපා, 
සමන් වතුරු හිමි කරුණා මෙතපා, 
ඉසිපතනේ මිගදායේ...'
මට ඕක ඉසිපතනේ මිගදාය ඉදිරිපිටම ඒක කියන්න අවස්ථාවක් ලැබුණා... ඒක හරිම හැඟුම්බර අවස්ථාවක් වුණා..."

"මගෙ තව සින්දුවක් තියනවා... හරිම ලස්සනයි ඔයාට මතකද මේක...?" ඈ ඒ ගමන මට ඉඩක් නොතියාම මා ගී පිපාසය නිවාලයි.. මේක ලිව්වේ ඩෝල්ටන් අයියා... සංගීතවත් කලේ ඩන්ස්ටන් මහත්තයා..
'පෙර කිසි දවසක
කිසියම් කෙනෙකුට
නොලිව්ව සුමිහිරි
ඔබගේ ගීතය
ලියා දෙන්න මට සුහදේ,
ලියා දෙන්න මට සුහදේ.."

ඈ මේවා ගායනා කරන්නේ කිසිම සංගීත භාණ්ඩයක් නොමැතිවය. ඒ කටහඬ තවමත් තාරුණ්‍යයෙන් පිරී ඉතිරී ඇත්තේය. ඒ ඈත අතීතයේ සම්පාදක තෝරයි හා මෙබඳු ගීත වලින් අප ලෝකය සුමිහිරි කල හඬමය. ඈ කියනා හැටියට හඬ නොවෙනස්ව රඳන්නේ නිතර අභ්‍යාසවල යෙදීම නිසාය. ශාස්ත්‍ර ඥානය ලබාගැනීමට ඇයගේ ඇත්තේ නොතිත් ආසාවකි. ඈ දැන් හොඳ හැටි හින්දි භාෂාව දන්නීය. එයට අමතරව කර්ණාටක සංගීතය හැදෑරීම ආරම්භ කර ඇත. ඉගෙනීම කෙරෙහි උපන්ගෙයි මැළිකමක් ඇති මට ඒ නම් අසාමාන්‍ය ආසාවකි!!

"මගෙ නාට්‍ය සින්දුව ඔයාට මතකද.. ආනන්ද විජේසිරිත් එක්ක කියාපු?"
ඒක නම් නොගයා ඉන්නට මම කෙසේවත් ඇයට ඉඩ නොදෙමි!!
"දිවිය ලෝකේ ලඟයි පේන මානේ - කිම්ද සංකා සිතේ මේ විලාසේ.."

අද වන විට ගුවන් විදුලියේ රැකියාවේ නිරත නොවූවද ඈ ගුවන් විදුලිය වෙනුවෙන් නොයෙක් කලාකරුවන් සහභාගී කරවාගෙන "ගී පිළිසඳර" වැඩ සටහන බොහෝ වෙහෙස මහන්සි වී නිෂ්පාදනය කරණු ලබයි.

"මගේ මව්ගුණ ගීතය ඔයාට මතකද...?"
එය නම් කෙසේ අමතක වන්නද?
මගේ ගී එකතුවේ ඉහලින්ම වැජඹෙන්නකි ඒ!

'නිම්මා නැති දුක් විඳ විඳ මා දැඩිකල අම්මා, 
පෙම්මා කිරි කැටි හුරතල් බස් තෙපලූ අම්මා, 
අම්මා බැති පෙමින් වඳිමි සදා සිරස නම්මා, 
සම්මා සම්බුදු හමුවේ නිවන් දකින් අම්මා..'


"සුනිලා ජයන්ති වීරක්කොඩි කියල තරුණ කෙනෙක් තමා ඕක ලීවේ... කපුගේ අයියා තමා සංගීතය සැපයුවේ.." ඈ වගතුග සම්පූර්ණ කරන්නීය. (සම්පූර්ණ ලිපියම නොකියෙව්වත් කම් නැත! මේ ගීතය නොඅසා නොයන්න!)

මගේ සිත පිරී, මුව ගොලුවී ගියා වැනිය. ගුවන් විදුලිය ගැන ඈ කථා කරනුයේ භක්ති පූර්වකය. උපේක්ෂා සහගත කාලාකාරිනියක් වන ඇයගේ ගීත එකතුවක් නිකුත් නොකිරීම ගැන මා ඇයට නැගූ බලවත් දෝශාරෝපනය ඈ ඉවසා සිටියේ සිනහ මුසු මුහුණිනි. විජිත ගුණරත්න වැනි හොඳ සී ඩී තැටි නිකුත් කල නිෂ්පාදකයින් නඩු හබ හරහා දුර්මුඛ වීමෙන් නැතිවී යන්නේ තරුණ පරම්පරාවල යහපත් රුචිකත්වයයි. එකල මෙන් කාර්ගිල්ස්, විශාකාමාල්ස්, සූරිය වැනි නිෂ්පාදකයින් අද නැත. තරංගා හා සින්ග්ලන්කා සිටින්නේ නිද්‍රෝපගතවය. කේ එන් ඩී හා තොරානා 'යමක්' කිරීමට උත්සාහ දරයි. කලාකරුවනට සීඩී පටයක් වෙනුවෙන් ලක්ෂ ගනන් වියදම් කිරීමට මුදල්ද නැත. ඒ හැකියාව ඇති අයද නිහඬව සිටින්නේ, අද පිටකරනා සීඩී පටය හෙට රුපියල් සියය ගනනේ මල්වත්ත පාරේ දැකීමට ඇති අකමැත්ත නිසාමය.

නැවුම් පොළවක් මත නැවුම් සුවඳකින් අවදිවන්නට, දෙනෙත් හරින්නට, පුත නුඹට කාලයයි!

"අවදි වන්න පුත දෙනෙත් අරිනු පුත - නව හිරු පායන්නේ...
නැවුම් පොළව මත නැවුම් සුවඳමය - ඔබෙ නැහැයට එන්නේ....

පෙර රජ දවසේ උරුමය රැකගෙන - නැවත උපන් පොළවේ...
වෙහෙසෙන් පුතණුවනේ රැක ගන්නට - මතුවන බළ මහිමේ...

දෙදහස් වසරක් හිරු සඳු පසුකර - උදාවුණේ පුතුනේ...
නව නිපැයුම් පිරි නව යුගයක්මය - උදාර වූ පොළවේ...

නව ලොව පුතු හට උරුම කරන්නට - නව සම්පත් මතුවේ...
දැය උල්පත් රන් දිය ගලනා මේ - පොළව ඔබේ පුතුනේ..."


ලලිත් කරුණාරත්නගේ ගී සංකල්පනාවක් ගුණදාස කපුගේ ගේ මියුරු ස්වර සංයෝජනයෙන් හා පුන්‍යා කත්‍රිආරච්චිගේ මියුරු ස්වරයෙන්....
Read More!

සමිඳුනි ඔබ සෙවණැල්ලේ අමා සුවය සදනු මැනවි...

සමිඳුනි ඔබ සෙවණැල්ලේ
අමා සුවය සදනු මැනවි...
ඔබ නියරැස් ගඟුලැල්ලේ
අමාවතුර සලනු මැනවි...

නටබුන් වී වල්මත් වූ
ඔරු පාවේ භව සයුරේ...
රුවන් නිවන් දිවයින වෙත
නැළවි නැළවි ඇදී ඇදෙයි
තනිවූ ජීවන නෞකා...

ලවණ කඳුලු නදිය ගලා
දෙතොල් තෙමී වියැලෙනවා...
කතර පිපාසයෙන් පෙළී
ගිලන් හැඟුම් හදේ මැවෙයි
ජීවිතයම හඬා වැටෙයි...



෴  වෙසක් පොහෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ ෴
Read More!
 
Blogger Wordpress Gadgets