Showing posts with label එම් එස් ප්‍රනාන්දු. Show all posts
Showing posts with label එම් එස් ප්‍රනාන්දු. Show all posts

ලක්ෂණ බයිලා.....!

සිතට නපුරු සිතිවිලි ගලා එන මං තවකාලිකව වැටකඩොලු බැඳ ඇති සේය. බොහෝ දුක් මහන්සියෙන් උස් මහත් කර හදාවඩා ගත් කෙන්තියද මුල්ලකට වී නිදයි. වතුර බාල්දියක් දමා හෝ දැන්ම නැගිටින පාටක් නැත. යහපත්  මිනිසුන්ගේ සමාගමය සිතට මෙපණ සංහිඳියාවක් ගෙන දෙනු ඇතැයි කවදාවත් නොසිතීමි.

මට ඇති තදියම නිසාම පළමු ‍රැකියාවට හදිසියේ සමුදුන්නේ අවුරුදු එක හමාරක් තරම් කෙටි කලක් එතැන ගතකිරීමෙනි. ඒ තීරණය එදා වැරදිනි! එහෙත් යහපත් සිතක් විසින් මා පෙරකී සෙවාස්ථානයටම නැවත බඳවා ගැනුනි! ලතෙත් ගුණයක් නැත්තෙකු ලෙස පරසිදුව සිටි ඒ මහතා මා නැවත බඳවාගැනීමට "no objection"  සටහනක් තැබීම මගේ ජීවිතයේ කොපමණ වෙනසක් කලාද? 

නඩත්තු කටයුතුවලදීත් මෙහෙයුම් කටයුතුවලදීත් මුණගැසුණු යහපත් මිනිසුන් මට හැමදාම යමක් උගැන්වීය. වසර දෙකක්, එක දිගට නොකඩවා සෑම තත්පරයක් හරහාම දිවෙන යන්ත්‍රාගාරයක, මෙහෙයුම් කටයුතු සිදුකිරීම දෑතේ සවියෙන්ම පමණක් කල නොහැක්කකි. කුඩාම කුඩා හෝ  වායු කාන්දුවක්, තෙල් කාන්දුවක් බරපතල ලෙස ගෙන, ඒවාට ‍රැයක් දවාලක් නොබලා පිලියම්  යෙදිය යුතුය. අවසන් නිෂ්පාදනයන්හි පිරිවිතරයන් නියමාකාරයෙන්ම තිබිය යුතුය. අලුතින් සේවයට එක්වන්නන් "babysit"  කිරීමක් මෙහෙයුම් නිලධාරීන් ගෙන්, නඩත්තු නිලධාරීන්ගෙන් බලාපොරෙත්තු විය නොහැකිය.  එහෙත් තම තමන්ගේ රාජකාරීන් කරණා ගමන්ම  මා සමඟ දැනුම බෙදාගැනීමට තරම් ඔවුන් කාරුණික විය. අවුරුදු දහයකින් පසු ඒ සේවා ස්ථානය හැර යාමට සිදුවීමේදී දැනුණු බලවත්ම දුක නම් ඒ ' මිනිසුන් ' හැරයාමට සිදුවීමය.

"මූල්‍ය තත්ව" ශ්‍රිතයේ දෙවැනි ව්‍යුත්පන්නය බිංදුවට වඩා විශාල වන්නට දත කෑ අටෝරාසියක් අවස්ථාවලදී, ඒවායින් ආත්මාභිමානයට කැලලක් නොවී ගොඩ එන්නට මට දෑත් දිගුකල මිනිසුන් බොහෝය.  අද ඒ කාලය දිහා හැරී බලනවිට එය එක්තරා ආකාරයක මැජික් එකකි! බාගයට නිමා කල නිවස නිම කරන්නේ කවදාදෝදැයි සිතමින් සිටි යුගයකදීද තවත් එවැනි යහපත් මිනිසෙක් ශක්තිමක් ඉනිමගක් මා අසලින් ගෙනවිත් තැබුවේය. එබඳුම තවත් දෙදෙනෙකු ඒ සෙලැවේයයි දෙපසින් අල්ලා සිටියේය. ඔවුනගේ ඒ සද්ක්‍රියාවන් මට තවත් බොහෝ දෙනෙක් වෙනුවෙන් ඉනිමං සාදා දීමට ඇවසි ඉඩ හසර සලසා දුනි.

සොයාගන්නට බොහෝ අපහසු පොතක් සොයාගැනීමට මා එක් අධ්‍යාපන ආයතනයක පුස්තකාලයකට ගොඩවැදුනේ වෙනත් විකල්පයක් නොමැති තැනය. "පුස්තකාලයාධිපති" මගේ විශ්ව විද්‍යාල ජේෂ්ඨයකු වූයේ අහම්බයකින්දැයි නොදනිමි! අවුරුදු දහදොලහකින් පමණ පසුව අලුත් වූ ඒ මිතුරුදම, තමාතින්ම මුදල් ගෙවා ඒ පොතෙහි පිටපතක් මා වෙත 'පිරිනැමීමට' තරම් කාරුණික විය. ඔවනගේ දරුවනුත් එපරිද්දෙන්ම යහගුණැතිව සැදෙනවා ඇසූ මා ඉමහත් ප්‍රීතියට පත්වීමි! මුං වපුරා මුංම ලැබෙනබව අමතක වන්නේ ඇයි??

ආසන්නයේම දිනක මා තවත් මිතුරෙකු සමග අබුඩාබියේ බස් රථයකට නැගුනද, කොන්දොස්තරවරු නැති මේ බස් රියේ ගාස්තුව ලෙස පෙට්ටියට දැමිය යුතු මාරු කාසි අප අත නොවිනි. ගාස්තුව එක් අයකුට ඕනෑම ගමනාන්තයක් සඳහා දිරාම් දෙකකි; දෙදෙනෙක් සඳහා දිරාම් හතරකි. කරන්නට දෙයක් නැති හෙයින් දිරාම් පහක කොලයක් නමා පෙට්ටියට දැමීමි. මා පසුපසින් බස්රියට නැගි නන්නාඳුනන්නා මා උරහිසට සන් කර ඔහු අත තිබූ කාසි දෙකින් එක් කාසියක් පෙට්ටියට දමා අනෙක් කාසිය මා අත තැබීය! ඒ කාසිය කොපමණ වටිනවාදැයි ඔබට තක්සේරු කල හැකිද?

සේවා ස්ථානයේ තවත් බැරෑරුම්ම තීරණයක් ගැනීමට සිදුවන්නේ කාලයත් සමගමය. පවරාතිබෙන වගකීම් මැද වුවද පෞද්ගලික කාරණා නිසා සමහර තීරණ ගතයුතුම වේ.  දෙපසට නොවැනී ප්‍රධානියා හමුවේ මගේ කාරණය පැහැදිලිව දැනුම් දුන්නද සිතෙහි සුලු වරදකාරී සිතිවිල්ලක් ඉතිරිවිය. යම් සකච්ඡා වටයකින් අනතුරුව ප්‍රධානීයා කිවේ "ඔව්... හැමදෙයක්ම වෙනස් වන බව දහමේ  සඳහන් නේ! එයට මුහුණ දීමට නිරතුරුව සුදානම්ව සිටිය යුතු" බවය.  මගේ වරදකාරී හැඟුම හිරු දු‍ටු කදෝපැණියන් මේ දූරිභූත විය.  මට ආර් ප්‍රේමදාස ශූරීන් රන් මිණි මුතු පොතේ ලියූ තිබූ කවක කොටසක් මතක් විය. "මිනිසුන් තරම්  මගේ මේ මව් පොළව මත - වටිනා වස්තුවක් වෙන මා දුටුවේ නැත.."

Read More!

පෙම් පාලා රෑ දිවා....

පසුගිය සැප්තැම්බර් නමවන දින ඇරඹුණු කුජ මාරුවක් ගැන ඵලාඵල සාකච්ඡාවක් අද උදේ මගේ නෙත ගැටුනා... පහත ඇත්තේ ඒ සංවාදයේදී තරුණයකු විසින් පලකල අදහසක්...

"මට නම් හිතෙන්නේ මෙච්චරයි..... ඉපදුනානම් කවදා හරි මැරෙනවා... ඒක හෙට උනත් එකයි, අද උනත් එකයි, දැන් උනත් එකයි, එන්න කියලා කෝල් එක ආවම මොන වැඩේ තිබුනත් අපි යන්න ඕනේ.... ඒක ගැන හිතලා හිත හදා ගත්තාම ඔය මොන මඟුල මාරු උනත් හිතට ගානක් නෑ..."

කුඩා කල කියවූ රුසියානු පරිවර්තනය කෘතියකට මගේ සිත දිවගියා... ඒකේ නම "අපේ කාලයේ වීරයෙක්"... කථාවේ එක් අවස්ථාවක කථා නායකයා උඩඟු මාන්නක්කාර තරුණයෙක් සමග ගැටුමක් ඇතිකරගන්නවා... ගැටුම සමථයකට පත් කර ගැනීමට ඔවුන් තෝරාගන්නේ රුසියානු රූලේට් ක්‍රමයට සමාන ක්‍රමයක්... තරුණායාට මුල් වෙඩිල්ල කථානායකයාට තැබීමට අවස්ථාව ලැබෙනවා... මානාධික ඔහු කථා නායකයා දිහා බලා රිවෝල්වරය අහසට එල්ල කොට කොකා ගස්සනවා... ඉන්පසු කකුලක් පිට කකුලක් දමාගනිමින් පුටුවක ඉඳගන්නා ඔහු යම් ඇට සහිත පලතුරක් සපමින් ඇට කටින් එළියට වීසිකරමින් කථානායකයා කොකා ගස්සන තුරු බලා ඉන්නවා, ...

කථා නායකයා ඒ වෙලාවේ මෙහෙම කියනවා... "ඔව් මම මේ අවස්ථාව දැන් පාවිච්චි කරන්නේ නෑ... මම දවසක මේ උණ්ඩයත් රැගෙන ඔබ හමුවට එන්නම්..." කියා... අවුරුදු ගණනාවකට පසු අර තරුණයා විවාහ වෙනවා... විවාහ දින සන්ධ්‍යාවේ රිවෝල්වරයත් අර උණ්ඩයත් රැගෙන කථානායකයා තරුණයා හමුවීමට යනවා... සුදුමැළිවණ තරුණයා දණින් වැටී ජීවිතය අයදිනවා...

ජීවිතය ගැන, තමා අවට සමාජ වටපිටාව, ආගම්, දේශපාලන න්‍යායයන්, සංස්කෘතික අංගයන් ගැන ප්‍රත්‍යක්ෂයෙන් අදහස් පලකිරීමට පෙර ඒවායේ දිග පලල පිලිබඳ පරිචයක් ලැබීම අවශ්‍යයි කියා මට හිතෙනවා... පරිගණකයක්, අන්තර්ජාල පහසුකමක් තිබූ පමණින්මම කෙනෙකුට සමාජයට බලපෑමක් කළහැකි ලියන්නකු වේ යැයි අධිතක්සේරුවකට පැමිණීම ඒ තරම් සාධාරණ නෑ... අන්තර්ජාලයේදී තමන්ට රුචි ඕනෑම දෙයක් ලිවීමට නිදහස ඇතත් ලිවීමේ අභ්‍යාසය සම්පූර්ණ වන්නේ තවත් කෙනෙකු එය කියවූ විට පමණි... අතථ්‍ය සත්‍යයෙන් මිදී සැබෑ ජීවිතයම ස්පර්ශ කල යුතුය... අකුරු කරන වචන වල ඇති සැබෑ බර අන්‍යයන්ට සංවේදනය කල හැකි වන්නේ ඒලෙස තෙම්පරාදු වූ සිතුවිල්ලි ගොන්නක් හරහා පමණි... නිසඟ ප්‍රතිභාවක් කෙනෙකුට පිහිටන්නේ කලාතුරකිනි...

අන්තර්ජාල පුවත් කඩමාලු හරහා විසිරෙන විසිහතර පැයේ ඕපාදූප, අපේක්ෂා භංගත්වයන්ම තැනින් තැන නැවත නැවතත් කට් ඇන්ඩ් පේස්ට් වී පැටව් ගස්සවනු ලබයි... අවසානයේ පුරුෂාර්ථ නැති සමාජයක් අප විසින්ම බිහිකරනු ලැබ ඇත්තේය... ගුණදාස අමරසේකරයන්ගේ "දෙපා නොලද්දෝ" කථාව එදාට වඩා අද තරුණ සිත පිලිඹිබු කරන කැඩපතක් වැනිය...

පෙම්පාලා ‍රැ දිවා...
සැළෙන, ලෙළෙන, ඇලෙන, ගැලෙන, බැ‍ඳෙන, ‍රැ‍ඳෙන, සිහින මවන...
සමණල රංචුව සේ...
සං‍තෝසෙන්....
හිතන, පතන, සොයන, බලන, මිහිරි සුවය, විඳිමු ලබමු...
චංචල මේ ලෝකේ....

අත්වැල් බැඳගනිමු...
සිත් සේ සතු‍ටු වෙමු...
විදුලිය තාලේ පියඹන කාලේ...
එන්නේ නෑ....

පෙම්පාලා රෑ දිවා...

මීවිත අතට ගමූ....
ගීතයේ රසය බොමූ...
ජීවිත ගමනේ මාවත මැදනේ...
මේ ඉන්නේ....

පෙම්පාලා ‍රැ දිවා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...

ගායනය එම් එස් ප්‍රනාන්දු
Read More!
 
Blogger Wordpress Gadgets