-------------------------------------------------------
"හලෝ සචිත්‍රා....... ඔයා කොහෙද මෙහේ...?"
-------------------------------------------------------
මානව සම්පත් කළමණාකරණයේ තම දක්ෂතා මැනවින් ප්‍රගුණ කර, අන්තර්ජාතික මට්ටමින්ම ඒවා තම ආදායමට සරිකරගත් සචිත්‍රාගේ සැමියා ඇයට හමුවන්නේ ඇය ගුරු විද්‍යාලයේ පුහුණුවන කාලයේදීය. ගුරුවිද්‍යාලය තම නිවස අසලම පිහිටි හෙයින් සචිත්‍රා ඒ දුර ගෙවා දැමුවේ පා ගමනිනි. මිහිකත නොනැලවූවද, මග මල් නොගැන්වූවද ඇගේ දිගූ කේෂ කල්‍යාණිය පිට මැද කෙළිදෙලෙන් කල් ගතකලේ ආයාචනත්මකවය. දිනක් සචිත්‍රා එසේ විද්‍යාලයට යන මග මෝටර් සයිකලයක ටයරයක් සිදුරුවී ඇගේ දෛවයත් කැටුව ඈ එන මග බලා සිටියේය.
------------------------------------------------------------------------------------------------------------
"කොච්චර කාලෙකින්ද මුණගැහුණෙ.... ඉතින් ඉතින් සචිත්‍රා කෙට්ටු වෙලා ටිකක්... කොණ්ඩෙට මොකද වුණේ... හරි ඔක්කොටම ඉස්සෙල්ල පොඩි දෙන්නටත් එක්ක බොන්න යමක් ගමු..."
------------------------------------------------------------------------------------------------------------
තම පළමු උසස්වීම සඳහා සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙනදා සුමිත් පාරට බැස්සේ වෙනදාටත් වඩා කලිනි. නුවුමණාදේම වන්නාසේම, ටයරය සිදුරුව ගියේ අලුත්වැඩියාව කරගත යුතු ස්ථානයට බොහෝ දුරිනි. දාඩිය මුගුරු දමමින් බයිසිකලය තල්ලු කල සුමිත් මදක් විඩාහරිනූ පිණිස නැවත්වූයේ ඒ අපුරු රුසිරිය නෙත ගැටිණි. මදක් ගෙල හරවා බැලු බැල්මෙන්ම ඔහු හද සිදුරුව ගියේ මුහුණ දුන් අබග්ගයද අමතකවය.
------------------------------------------------------------------------------------------------------------
"කොයි කාලෙද ලංකාවට ආවෙ... ලොකු දුව හම්බවෙච්චි ගමං නේද ගියේ ඔයාලා...?"
------------------------------------------------------------------------------------------------------------
"සියලු සතුට දෙන දෑ දිනක නිමවේ" යන්න සුමිත් අල්ලගෙන සිටියේ වැරදි අන්තයෙනි. සචිත්‍රා තම මන තුටු කරනා විෂයක් නොවීම, සිඟිති පුතුගේ ආගමනයත් සමග තවත් සීග්‍රවනු සුමිත්ට ඉවසිය හැකි කාරණයක් නොවිණි. සිතෙහි සංහිඳියාව බිදීයාමට ඒ හැටි වෙලාවක් යන්නේ නැත. සුමිත් ව්‍යාපෘති සහායිකාවට ලංවන්නේ පිටතින් සතුට සෙවීමටය. තම සිත් ගත් මියුලැසිය හැරපියා ඒ කහ පැහැයෙන් යුතු ඡවී කල්‍යාණියට කිට්ටුවන්නේද තම ලෙයින් මසින් වැදූ දරුවන්ද අමතක කරලමිනි. කාලයේ අභියෝගයනට මුහුණ දුන්නද සචිත්‍රා පෙර මෙන්ම ප්‍රියමනාප ලෙසින් සිටින්නට උත්සාහ ගත්තද, සුමුදු සයනයන්හි සිනිදු ඇතිරිළිවලින් පලා ආ සිතුම් සියොතුන් ඈ පසුකර ඉගිලුණි.
-------------------------------------------------------------------------------------------------------------
"ඔයාගෙ හිත මෙච්චර හයියයි කියල ටියුෂන් යන කාලෙ මම නම් හීනෙකින්වත් හිතුවෙ නෑ...!"
------------------------------------------------------------------------------------------------------------
වනස්පතියක් බදා එහි වෙලී ඇති ලතාවෙක් මෙන් උන් සචිත්‍රා රූපාන්තරනය වුණාද, එසේ නැතිනම් කලාද යන්න හරි හැටි දන්නේ සුමිත්ම පමණකි. ඈ තිරණයක් ගත්තාය.
------------------------------------------------------------------------------------------------------------
"දැන් ඉතින් මේ කඩිමුඩියේ කොහෙද යන්නේ....."
------------------------------------------------------------------------------------------------------------
සුමිත් අහසින් පොළවට එනවිට පළිඟුව බිඳී තිබුණි. එහෙත් ඔහුට සචිත්‍රාගේ නවාතැන්පලෙහි තවමත් දොර විවෘතව ඇත. එහෙත් ඒ බදු ඔප්පුවකට යටත්ව ඉන්නා නිවැසියකුට හිමි වරප්‍රසාද මත පමණි. ඇගේ සිත එතරම්ම කාරුණික වීම ගැන දරුවන් දෙදෙනා මතු දිනකදී ඇයට බෙහෙවින්ම ස්තුතිවන්ත වනු ඇත.
------------------------------------------------------------------------------------------------------------
"හොඳයි හොඳයි එහෙමනම් යන්න... ගෙදර කට්ටියට කෑම ලෑස්ති කරන්නත් එපායෑ නේද?.... ඉස්සරනම් මෙහෙම යමක් බොන්න එන්න කියන්නවත් අපි බයයිනෙ.... ඔයා මෙහෙම කථා කල එක ගැන සතුටුයි... සුමිත්ව මතක් කලා කියන්න...!
--------------------------------------------------------------------------------------------------------------
ඉද්ද මල් දෙනිය වත්තෙන් ඉද්ද මල් නෙලා
පිච්ච මල් කඩා කන්දෙන් මාලයක් හදා
හැන්දෑවේ මං එනකොට දූට ගේනවා
ඉන්න නාඬලා එනකල් ඉන්න නාඬලා....
පුංචි දුවේ බලන්න බිම් තඹුරු පිපීලා
රූං කියනවා බඹරුන් රොනට ඇවිල්ලා
පුංචි දූට අහන් ඉන්න සින්දු කියනවා
පුංචි දූට අහන් ඉන්න සින්දු කියනවා....
ආං ඉගිලුනා ඈතට කොණ්ඩ කුරුල්ලා
පේර අත්ත උඩ ඉඳගෙන කොණ්ඩෙ බඳිනවා
පුංචි දූට බලන් ඉන්න කොණ්ඩෙ බඳිනවා
පුංචි දූට බලන් ඉන්න කොණ්ඩෙ බඳිනවා....