ළඳුනේ පිපියන් පුරසඳ සේම.....!

මා සිතා සිටියේ ලංකාවේ රූපවාහිනි නාටකය දැන් අවුරුද්දක් පතා මතක බණක් කියවා දානයක් දෙනවා කියාය..
නැත.. දීර්ඝ නිද්‍රා සමයක් අවසන් කොට අරුණු රැස් වලින් නැහැවී දෙපෙති විදා ඒ ඉහලට නැගෙයි..

අවසන් වරට සිනමා හෝ නාට්‍ය සිතුවමක් මගේ දෑස් තෙක් කලානම් ඒ දෙනගම සිරිවර්ධන්ගේ කථාවක් ඇසුරින් පරාක්‍රම නිරිඇල්ල විසින් සිනමාවට නැගූ අයෝමා කෘතියයි.
කථා නායිකාව වූ 'අයෝමා' තම සුජාත නොවූ දරුවා බිහිකරන්නේ චීවරධාරියකු [ජේ එච් ජයවර්ධන - 'මට වඳින්න එපා යකුනේ මම හාමුදුරු කෙනෙක් නෙමෙයි..!] විසින් පවත්වාගෙන යන 'අසරණ සරණ' නේවාසිකාගාරයක් තුලදීය. නොබෝ කලකින්ම ඒ තුල බිහිවන දරුවන්, දරුවන් අහිමි හා හදා වඩා ගැනීමට කැමති අය වෙත යොමු කෙරෙයි. අයෝමාගේ කුලුඳුල් දරුවාද මෙලෙස රැගෙන යද්දී ඈ බිම වැතිරෙමින් හඬා වැටෙන්නීය. ස්වර්ණා ඉවත හල අයෝමා වැලපෙන්නේ 'අනේ මගෙ දරුවා....' කියමිනි.
මම අසලින් හුන් ගෙදර ඇත්තන්ගේ වමත තදින් අල්ලා ගත්තද දෑස් තෙමෙනු වලකාලනු නොහැකි විය.

අවුරුදු බොහෝ ගණනක් ගතවී මගේ දෑස් නැවත තෙත්වන්නේ මිනිසුන් අතර ඇතිවන අනේකවිධ අන්තර්ක්‍රියා අපූරුවට ඉස්මතු කරන්නාවූ ශාන්ති දිසානායකගේ කෘතියක් ඇසුරින් සරත් කුමාර ලියනගේ නිර්මාණය කරන ලද ''එරන් ළන්දු" ටෙලි නාට්‍යය නිසාය. මෙගා ගණයට වැටුනා වුවද, නොකඩවා දිවෙන දැන්වීම් ඇතුරෙහි අතරින් පතර පෙන්වන නාට්‍යයක් වුවද, ඒ සියලු අභියෝග ජයගැනීමට සරත් කුමාර ලියනගේ සමත්ව ඇති සැටියකි.

කථාවෙහි ප්‍රධාන චරිතයක් වුවද ඈ ප්‍රධාන චරිතයක් නොවන්නීය. ප්‍රධාන චරිතය වන්නේ බලා සිටින අපමය. මෙය ගැහැණුන්ගේ කථාවකි. ගැහැණිය හා රමණය යනු එකක්යැයි කුඩා කල හිතට කාවැද්දී ඇති, නිර්මාණකරනට ඉඩ ප්‍රස්ථා ලද වුන් [මේ වර්ගයා නිර්මාණකරුවන් සේ දැකීමට මා අකමැතිය. යම් හේතුවක් නිසා ඔවුන් නිර්මාණකරණයට අවස්ථා ලද්දවුන් පමණමය...! නැතිනම් තමන්ට ලැබී ඇති මහඟු අවස්ථා නැනෝමීටරයක් පමණ වූ පරාසයක මෙහෙයැවීමට ඔවුන් නොපෙළඹෙති..!!] ගැහැණියකගේ හැඟීම් කුඩා කොටුවකට හකුලවද්දී 'එරන් ළන්දු' පුර හඳ සේම දසත දිදුලවමින් මෝරා එන්නීය.

නදීගේ මව ඈ උපතේදීම මියයයි. මවගේ හොඳම මිතුරිය හා පියා විවාහ වන්නේ කුඩා සිඟිත්තිය නිසාමය. කුඩම්මාගේ සෙනෙහස් ගඟුල සිඳෙන්නේ කුඩම්මාගේත් පියාගේත් දියණිය යොවුන් වියට පා තබන අතරතුරදීය. නදී මේ තමාගේ මව නොවන බව දැනගන්නේ බොහෝ කලකට පසුවය. ඇගේ වික්ෂෝභයත් ආත්මානුකම්පාවත් බලවත්ව නැග ආවද ඇයට ඒ පිට කිරීමට කෙනෙක් නැති තරම්ය. පිය පාර්ශවයේ සීයාත් අත්තම්මාත් වෙත පියමණින ඈ සෙනෙහෙසින් භාරගන්නේ දරු මුණුපුරන්ගෙන් හිස්වූ ඒ නිවසයි. එහෙත් සීයාගේ මරණය නිසා ඒ නිවනයෙහි විසුමද ඇයට එපාවෙයි. පියාගේ මව විසින් මුළදී පිළිකෙව් කල අම්මාගේ පාර්ශවය වෙත ඈ හැරෙන්නේ මෙතැනදීය. තම මව මෙළොව හැරපියා යද්දී කුඩා දැරියකව සිටින පුංචි අම්මා දැන් අවිවාහක කතකි. තම සොහොයුරියගේ අභාවය නිසා නදී හා වෛරයෙන් පසුවූ ඈ පසුව නදීව රකින්නේ ඉමහත් සෙනෙහසකිනි. ට්‍රැක්ටර් එලවන, හරකුන් පසුපස හඹායන, ධෛ‍ර්‍යවන්ත එඩි සිත් ඇති පුංචි අම්මා හා නදී අතර අන්තර්ක්‍රියාව මා නැරඹුවේ මහත් අභිරුචියකිනි. නදී කැඳවා යාමට නදීගේ පියා පැමිණෙන විට නදීව කාමරයකට දමා වසන පුංචි අම්මා "කොහෙ යන්නද? ගිහිල්ල ටොකු කකා ඉන්න?" කියමින් තුමූද කාමරට විත් දොරගුලු ලාගන්නීය. අසරණ වූ නදී පුංචි අම්මාගේ ලයට තුරුළු වන්නේ අම්මාගෙන් නොලැබුණු ආදරය රැකවරණය ඒ මූලයෙන්ම ලබා ගනිමිනි. ඉතාම සංවේදී ලෙස ඒ ජවනිකාව නිරූපණය වෙන්නේ මා නෙත් කෙවෙනිද තෙත් කරවමිනි.

කථාව තවමත් අප හමුවේ දිග හැරෙයි. නදීට සමාන්තරව මෙහි තවත් එකිනෙකට වෙනස් පෞරුෂයෙන් හෙබි කාන්තා චරිත කිහිපයකි. නදීගේ පුංචි අම්මා වන ගෝතමී එයින් කෙනෙකි. ගෝතමීව විවාහ කර ගැනීමට එන මැදිවියේ පසුවන ගුරුවරයාගේ පළමු පෙම්වතිය තවත් කෙනෙකි. සියලු දුක්ක දෝමනස්සයන් නිහඬ මුවින් දරාගන්නා ඈ ඒවායින් මිදීමට සටන් කිරීම නොදනී. ගෝතමීලාගේ ගමේ වළං නිෂ්පාදනයේ යෙදෙන ගොලු තරුණයා හා පෙමින් බැඳෙන තරුණිය ද තවත් චරිතයකි. අම්මාගේ දෙවැනි කසාදයේ බාප්පාගේ නොමද පීඩනයට අසුවුවද ඈ එයින් පසු නොබසින්නීය. ශක්ති පමණින් ඒවාට විරුද්ධව නැගී සිටින්නීය. කථාවේ විශේෂය නම් මේ චරිත හතර හා ලඟින්ම වෙසෙන අනෙකුත් කාන්තා චරිත ගෝතමීලා හා නදීලාගේ මනෝභාවයන් ගැන දක්වන්නාවූ නොසැලකිල්ලයි.

ගැහැණියකගේ හැඟීම්, බලාපොරොත්තු හා ආසාවන් ගැන තවත් ගැහැණියක් අසංවේදී වන කල්හී පිරිමින් ගැන කවර කථාද? එහෙත් ඔවුහු ඒවායෙන් පසු නොබසිති. ජීවිතය හැරදා නොයති. ජීවිතයෙන් පැරදී පලාද නොයති. ඔවුහු තම තමනට හුරු පෞරුෂයන්හි හිඳිමින්ම ඔවුන් ඒවාට මුහුණ දෙති.

මා දුටු ලාංකීය ගැහැණියගේ කථාන්දරයද මගේ මිත්තණියන්ගේ පටන්ම මෙලෙසය. දූදරුවන්ට අධ්‍යාපනය උපරිමයෙන් ලබාදීමට කටයුතු කල මගේ පිය පාර්ශවයේ මිත්තණියන් ඔවුනට ඉඩකඩම්ද මිලදීගෙන දායාද ලෙස ලබාදී මුණුපුරු මිණිපිරියන් දැකබලාගත් පසු ලෞකික සුව අතහැර අභිනික්මන් කොට දසසිල් මාතාවක්ව ඉතා නිස්කලංක දිවියක් ගතකොට අභාවප්‍රාප්ත වූවාය. එතක් පටන් මාදුටු එබඳු ධෛර්‍යයේ කාන්තාවන් අනන්තය අප්‍රමාණය. කුටුම්බයේ වේවා සේවාස්ථානයේ වේවා සියලු තාඩන පීඩන නොපනත්කම් සියල්ල දරමින් ඔවුන් ජීවිතයට නොබියව මුහුණ දෙති. ධර්මයද හැකි පමණින් ඇසුරු කරති. දරු මුණුපුරන්ද මැනවින් රකිති. අවසානයට මා දුටු එබඳු කාන්තාව නම් සේවාස්ථානයේ සනීපාරක්ෂක කම්කරුවකු වූ 'ශ්‍රියාණි'යි. මිත්තනියක වූ ඇය තම රාජකාරිය නොපිරිහෙලා ඉටුකලාය. වැටුප හැර අන් කිසිවක් බලාපොරොත්තු නොවූවාය. තාක්ෂණික නිලධාරීන් හා අනෙකුත් ඉහල වැටුප් ලබන රසායනාගාර සේවකයන් දිනපතා නගන මැසිවිලි කිසිවක් ඈ සතුව නොවූවාය. එහෙත් හදිසියේම ඈ විදෙස්ගත වූයේ තවත් කතක් වෙනුවෙන් ඈ ඇපවී පොළියට ලබාදුන් මුදලත් රැගෙන ඒ කාන්තාව අතුරුදහන් වීම නිසා එබඳු මුදලක් පියවීමට ඇයට ලැබුණු වැටුපෙන් කිසිසේත්ම නොහැකි වීම නිසාය.

අදට දහනව වසරක් මා සමග සියලු දුක්ඛ දෝමනස්සයන් නිහඬව විදිමින් මා ලඟින් ආදරයෙන් ඉන්නාවූ මගේම එරන් ළන්දු ඇතුලු සියලුම එරන් ළඳුන් පුර හඳ සේම දිලේවා!



පුරන් කෙතට නිල් දියවර නැතුවාද
සිහින් වැස්ස අව් රැල්ලේ මැකුණාද
පහන් වෙලා සඳ අහසේ ගිලුනාද
එරන් ලන්දු නුඹ තාමත් තනියෙන්ද..........

සෝඩි ටිකිරි... මුදු දෙතොලේ....
සිනා මැකෙයි.... හිම අරුණේ...
රෑට නිදන තනි කුටියේ
හීන බිඳෙයි ඝණ අඳුරේ

පෙම් සිත ගෙළු වුණා නොවෙයි
කතා සරිත් සාගරයේ....
රොන් සපුරා මල් නොපිපේ
අන් සතු මල්වර නැකතේ....
අන් සතු මල්වර නැකතේ....

මහන්සියෙන් උපයාගත් බැත සේම
සියක් යොදුන් ගෙවමින් ආ දුර බෝම...
මුවින් මුවට කවදාමත් නොකියාම
එරන් ලන්දු පිපියන් පුරසඳ සේම....
Read More!

මොනවටද කැලේ මෝටර්....?

මදෑ ඉතින් "දල්වව් බැති ආදර පෙම් - ජාතිය පොබයා ලෝ තුල්" කිය කියා හිටියා. කාලේ තාලෙට හැඩනොගැසෙන්නාට වෙන්නේ අලාභයක්ම කියල ඒකාලේ සිංහල පොතක අන්තිමට වගේ තිබ්බ "හණමිටිය" කවි පන්තියේ උගන්නල තිබ්බ. පොඩි රීමිස් පාරක් දාලා රවීන්ද්‍ර රූපසේන ගයාපු මේ ගීය මේ වැඩේට කදිම ආරම්භයක්. "හෝස්-පවර්" අස්සයො ඇරුණම වෙන සතුන්ගෙනුත් ගන්න පුලුවන් කියල තේරුණේ "විද්‍යාව"ට පින්සිද්ධ වෙන්න. එකෙක් මදිනම් දෙන්නෙක් දාලත් අදින්න පුලුවන් "පවර්" එක වැඩි කරගන්න...

ජහ් මහ් මගෙ වයිර පුතා... 

මේ ගමනට කියපු සතා...
තණකොළ දෙනවා දිය නාවාලා...
වැඩි දුර නෑ හනික යමන්...

මගෙ මේ රේස් කරත්තේ....
මේ පෙරේද ගත්තේ
මේ ගම පැත්තේ
ඒකයි බලා සිටින්නේ.....
ඔය කාර් එක වාගේ වියදම නෑනේ
වයිරා තමයි අදින්නේ....
ජය මගුල් පරස්තා
කොයික වුණාදෙන්
මේකෙන් මගේ ගමන්....

තාර පාරේ වැල්ලේ....
මඩ වගුරේ හෝ
කළුගල් ලෑව පාරේ ඔහේ දුවාවී....
මහ රෑ තිස්සේ  - හෝ වැස්සේ
වයිරා මගේ දුවාවී....
වැඩේට හරියයි මෙය මාගේ
මොනවටද කැලේ මෝටර්....





Read More!
 
Blogger Wordpress Gadgets