නිදිකුම්බා මල් කැකුලී....

ඩබ්ලිව් ජයසිරි කියන කලාකරුවා මම හරියටම හඳුනා ගත්තේ, මතක හිටිනම විදිහට, කරන්නාගොඩ අප්පුහාමි ගේ චරිතයෙන්... ඒ තිලක් ජයරත්නගේ කඩුල්ල නාට්‍යයෙන්.... අසාමාන්‍ය කලා හැකියාවන් වලින් පිරුණු කෙනෙක් ඔහු... බඹරු ඇවිත් සිත්තරේට "උදුම්බරා හිනැහෙනවා.... ඉර අවරට හැංගෙනවා...." අදහන්න බැරි ගීය ලියා ඇත්තෙත් ඔහු.... මහ නගරංකාර චරිතයක් වන කරන්නාගොඩ අප්පුහාමි අවසානයේ  සල්ලිය බාගේ තියන මුදලාලිගේ අතකොලුවක් වෙනහැටි අපූරුවට නිරූපණය කරනවා ජයසිරි මහත්තයා.... කඩුල්ල නාට්‍යය නම් කිහිප වතාවක් වත් බැලිය යුතු නාට්‍යයක්....
කොහොම නමුත් ජයසිරි මහත්තයා ලියපු  මේ අපූරු ගීයත් ඔහුගේ ප්‍රතිභාව කදිමට විදහා පාන්නක්....

සුලං හමයි...
ලොව නැලැවෙයි...
නුඹ නිදියයි.... නිසංසලේ..
නිදිකුම්බා මල් කැකුලී...
නිදිකුම්බා මල් කැකුලී...

බිම වැතිරෙයි.. යාය නිදයි...
අතු හැකිලෙයි... පිණි බේරෙයි....
මගේ දුකට නුඹ නාඬන්...
නිදිකුම්බා මල් කැකුලී....

ලොව සසළයි... නුඹ නිසලයි...
ලොව නිසලයි... නුඹ හිනැහෙයි...
මගේ දුකට නුඹ නාඬන්...
නිදි කුම්බා මල් කැකුලී...
සුලං හමයි...
ලොව නැලැවෙයි...
නුඹ නිදියයි.... නිසංසලේ..

ගීය අහන්න... ඔන්නම් බා ගන්න...
Read More!

මේ සුභ උපන් දිනේ... තුටින් සිනා පාලා...

Happy Birthday To You...
Happy Birthday To You...
Happy Birthday My Darling...
Happy Birthday To You...

මේ සුභ උපන් දිනේ... තුටින් සිනා පාලා...
ආසිරි පැතුම් ලබා... විනෝද මත් වීලා...
සැපෙන් දිනේ...
Oh.. My Love...

දෑස පාලා දේ සුපෙම් සිනා...
මේක ‍රැයකි මතු මතක් වෙනා...
මල් ලතාව දාලා වාසනා....
ඉන්න ළහිරු වාගේ පායලා...
සැපෙන් දිනේ...
Oh.. My Love...

සිතෙන පතන දෙයම ඉ‍ටුවෙලා... දකින සිහින වැල් සැබෑවෙලා...
මිහිරි මධුර ලොවක පාවෙලා... රඟමු ලළිත සුවයේ නෑවෙලා...
සැපෙන් දිනේ...
Oh.. My Love...

තබන තබන පයට පෙළ ගැසී... සුමුදු සිනිඳු පියලි වැසි වසී...
සවන පිනන මධුර ගී ඇසී... ඔබට සිසිල සිසිල වැසි වසී...
සැපෙන් දිනේ...
Oh.. My Love...

(එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටියෙන්...!)

ගීතය අහන්න... ඔන්නම් බාගන්න...
Read More!

අන්න බලන් දැමුණු දනා නෙත රසඳුන් වෙනවා...

හිතත් එක්ක ඔට්‍ටු සෙල්ලං කර තිබෙනවාද...? ගොඩක්ම පුංචි කාලෙදී "චොකලට් එකක් ඕනෙද, අයිස් ක්‍රීම් එකක් ඕනෙද" කියල කවුරු හරි අහපු කාලේදී ඉඳලාම හිත දෙගිඩියාවෙන් පෙලෙනවා නේද තීරණ ගන්න වෙලාවට... මොළේ ඇට්ටකුනා වෙච්චි කාලෙක නම් "චොකලට් අයිස්ක්‍රීම් එකක් කමු..." කියලා දෙකම ගොඩ දාගන්නත් තිබුනා... නමුත් වෙලාවක් එනවා, යම් යම් කාරනා වලදී, හිත ඇතුලෙම බලවත් ප්‍රතිවිරුද්ධ තාවයන් ගොඩ නැගෙන... එතකොට කොහොමද තීරණ ගන්නේ...? මට හිතෙන්නේ යම් යම් ක්‍රීඩාවලදී අසීරු කාර්‍යයන් කරන්න පුරුදු පුහුණු වෙනවා වාගේ, යම් යම් සංගීත භාණ්ඩ වයන්න පුරුදු පුහුණු වෙනවා වාගේ, හිතත් මෙයට පුහුණු කලයුතුයි කියා.... මොකද හිතේ කොටසක් A හරිය කියා කියනවා... තවත් කොටසක් B හරිය කියා කියනවා...එතකොට ඒ හිත තුලම ඉඳන් තමයි මේ දෙකෙන් තේරීමක් කරන්න වෙන්නෙත්... ඒ හා බී වලින් නතර වුනොත් හොඳා... තවත් බොහෝ විකල්ප එකතු වුනහම...? හිතේ දමනයකුත් නැතිවුණහම...?

ගතත් සිතත් එක්තැන් කරන ක්‍රීඩා වලිනුත් මේ සිත දමනය කරගන්න උදව් ගන්න පුලුවන් කියා මට හිතෙනවා... පිහිණීම, දිගු දුර දිවීම, සරල ක්‍රීඩා වුවත් සිතේ ශක්තිය, මෙල්ල කිරීම පුහුණු කරවන්න උදව් වෙනවා... බෝධිධර්ම භික්ෂුව විසින් ඉන්දියාව හරහා චීනයට, එතනින් ජපානයටත් ව්‍යාප්ත වුණු කරතේ ක්‍රීඩාවෙත් මේ වාගේ "නිසල මනස" [Peaceful Mind - Heian] නමින් "කාතා" වර්ගයක් තිබෙනවා... ඉංග්‍රීසි අයි අකුරේ හැඩයට චලනයන් දක්වන මේ "කාතා" සරලයි... නමුත් මානසික ඒකාග්‍රතාව වෙනුවෙන්ම වර්ධනය කල ඒවා වෙනවා... විශේෂයෙන් නවකයන් උදෙසා ලබාදෙන... යෝග ව්‍යායාමත් අනිවාර්‍යයෙන්ම සැකසී ඇත්තේ ඒ වෙනුවෙන්මයි මගේ හිතේ... අමාරු ඉරියව්වක විනාඩි දෙකක් ඉන්න, හිතේ බලවත් ශක්තියක් ඕනෑවෙනවා...

අසංවේදීව හිතත් එක්ක කරන ඔට්‍ටු සෙල්ලන් ජීවිතයේ එමට වුවත්, සිහියෙන් යුතුව සෙල්ලමක් කර බැලුවොත්... තමන්ට නතර කර ගත නොහැකි සමහර චර්යා... කෑමෙන් පසු ලොසින්ජරයක් කැම, සිග‍රැට්‍ටුවක් පානය, ‍රැට අඩියක් ගැහීම... වගේ දෙවල් එක්ක අත් හදා බැලුවොත්....? මම හිතන්නේ ඒක අපේ හිතේ හයිය පිලිබඳ නියම "අම්ල පරීක්ෂාව - Acid Test" කියා... උප්පත්තියෙන්ම දැමුණු සිතැත්තන් ඉන්නා අතර වෙහෙසවී සිත් දමනය කරගත්තවුන්ද අප අතරම මා දැක තියනවා... ඔවුන් නියතයෙන්ම මට නම් මග එලි දක්වන්නන්... අවසන් පදයේ තණුව වෙනස් වන අයුරු නිස්කාන්සුවේ විඳින්න..

දලින් අනින පයින් මඬින රුදුරු සැහැසි කම් කල ඇතු....
අන්න බලන් සැදැහැ සිතින් කරඬුව ගෙන යනවා...
ආ.... කරඬුව ගෙන යනවා.... කරඬුව ගෙන යනවා....

දෙපයින් අහසට නැගෙමින හේෂාරව නද නැගු අසු....
අන්න බලන් ආදරයෙන් රජුට අසුන දෙනවා...
ආ... රජුට අසුන දෙනවා... රජුට අසුන දෙනවා...

අඟිනවුලා මුල් උදුරා ගුරු තවරා ගත් ගවදෙන...
අන්න බලන් මවක වෙමින් කිරි දෙන්නට එනවා...
ආ... කිරි දෙන්නට එනවා... කිරි දෙන්නට එනවා...

නින්දා රලු බස් පහරින සසල නොවී නිසසල වන...
අන්න බලන් දැමුණු දනා...
අන්න බලන් දැමුණු දනා නෙත රසඳුන් වෙනවා...
නෙත රසඳුන් වෙනවා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....
Read More!

මා සුකුමාලි... මහද දිනූ රමණී...

ජීවිතය ගැන අලුතින් සිතන්නට පටන් ගනිමින් සිටිමි... ආදරය ගැන අබමල් රේණුවක්වත් වත් හිතේ නොතිබූ කාලයක හිතට අපූරු හැඟීම් කාවද්දන්නට ඇය සමත් වූවාය... කව්, ගී වල සොඳුරු තැන්, හදටම සමීප කරන්නට, මගේම සිතට පෙලඹවීම් කරන්නනට වදනකුද නොදොඩා ඈ සමත් වූවාය... අනෙක් අතට ඈ ඒ හා සමාන ආදරයක්ද ආපිට බලාපොරුත්තු නුවූවාය... "පුතේ කසාදේ කියන්නේ පිරිමියකුගේ දෙවෙනි උප්පත්තියයි..." මට මගේ මාමණ්ඩිය දුන් පළමු හා අවසාන අවවාදයයි...ඉන් පසු ඔහුත් මමත් මිතුරන් වීමු.... එයට අඩි තාලම දැමූයේද ඇයයි... දුෂ්කරම අවස්ථාවලිනුත් ඔබ්බට ඇති අවස්ථා, කඩ ඉම්, බොහොමයක්ම ඇගේ වාරුවෙන් මා පසු කළෙමි... රාමදාන් සමය නිසා රාජකාරි පටන් ගන්නේ ප්‍රමාදවය... ගුවන් විදුලියේ උදේ ධර්ම ප්‍රචාරයට දිගටම සවන් දීමට හැකිවිය... වියත් යතිවරයන් ගේ සුමධුර දේශනයන් උදයේ හිතට තදින් කාවදී... මම ඇය ගැනද මෙනෙහි කළෙමි... උපේක්ෂාව ලයෙහි පුරවාගත් ගත් ඈ වැන්නකගෙන් මා මෙතෙක් කල් පාඩම් ඉගෙන නොගත්තේ මන්ද යැයි මට මහා කනස්සල්ලක් දැනුනි... ආදරයත් ජීවිතයත් යනු මිනිසෙකු තවත් මිනිසෙකුට මාරු කරන යෂ්ටීන් බඳුයැයි මට සිතේ... නිසි වෙලාවට මාරු කලහොත් සියල්ලන්ටම දිනිය හැක... ජීවිතයෙන් මට ලැබිය යුතු දේවල් පිලිබඳ කනස්සලු වීම ඒ කල්පනාවත් සමගම දියවෙන හැටියක් දැනෙන්නේය... ඈ මට නිහඬ මුවින් බොහෝ දේ උගන්වන්නීය... මා අකීකරු ශිෂ්‍යයකු සේ ඉවක් බවක් නැතිව හැසිරේ... ඈ මද සිනහ නගන්නීය... ජීවිතයෙන් හති වැ‍ටුනු මට, ඈ ගැන පෙරටත් වඩා ආදරයක් උපදී...

මා සුකුමාලි... මහද දිනූ රමණී...
කෝමල පාණී... සුන්දර කල්‍යාණී...
මා හද ප්‍රීතී... දැනූනම පෙම්රසෙහි...
ඔබ වේ මාගේ... හද මන්දිරේ... ‍රැජිනී ප්‍රියේ....

සිහිල ගෙන දෙන මේ.... නාමු පෙම් නදියේ...
ගීත ගයමිනි මේ....ලාල් ලල්ල ලල... ලාල් ලල්ල ලල...
ප්‍රේම නැති ලෝකේ.... දුකට මුල පෑදේ...
විරහ ගිනිදැල්ලේ... කැබලි යනසෙයි මා....

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....
Read More!

ගල් අරනේ හැංගෙන්නා... උන් රහසේ ලංවෙන්නා...

අපි ලෝකෙට කොච්චර බණ කියනවද... අන්තර්ජාලයත් එක්ක අනුන්ව විවේචනය කරන එක, අනෙකාගේ ඇහැටම ඇන, අපහාස, උපහාස, පරුස වචන කීම රස්සාවක් වෙන තරමටම ඇවිල්ලා නේද...? නමුත් අපි ලෝකයෙන් බලාපොරොත්තු වෙනදේ අප අසලම ඉන්න තමන්ගේම එක්කුස සහෝදරයා හරි සහෝදරිය හරහා හරි කරවලා බලන්න උත්සාහ කරලා තියනවද...? කාරණය වඩාත්ම බරපතල වෙන්නේ දරුවන් උස් මහත් කරන්න ගියහම....

හෙළ බසට ඉහලම සේවයක් කල පඬිරුවනකගේ පුත්‍ර රත්නයක් ගැන මා දන්නවා... ඒ වාගේමයි අපේ ගැමි වහර ගැන බොහොමයක් පොත් ලියා පල කල තවත් ආචාර්‍යවරයෙක් ගේ පුතෙක්.... සිංහල ගීත රචනයේ අමරණීය පි‍ටුවක් පෙ‍රැළූ වෙකුගේ පුතෙකුන්... ඒ රචකයා ගේ ගී බොහොමයක් ගායනා කල හෙලයේ මහා ගාන්ධර්වයකුගේ පුත්‍ර රත්නය...(ඔහු මගේ පාසැල් සගයකුද විය)... මොවුන් කිසිවෙක් තම පියාණන් වරුන්, ඔවුන්ගේ නිර්මාණ හරහා තනන්නට උත්සාහ කල ලෝකය තනන්නට අද උරදෙත්ද...? ඔවුන් ඒවාට ඉඳුරා පටහැනි මාර්ග වල ගමන් කරන්නේ ඇයි...? ජාතියම උරාගන්නා නිර්මාණ වල හරයන් ඒවා ලඟින්ම ඇසුරු කරනා දරුවන් උකහා ගන්නේ නැත්තේ ඇයි...? මගේ සිතට හැමදාමත් වදදෙන ප්‍රස්නයක්...

එකට පාසල් ගොස් එකට උස් මහත්වුනු මගේ ඉතා කිට්‍ටු සගයන් කිහිප දෙනෙකුත් මේ පැනය අර පුතුන් දෙස බලා එකල නිතර විමසා ගතිමු... අප ඉනික්බිති එක් එකඟතාවයකට පැමිණියෙමු... මඩිහේ හාමුදුරුවන් කීවා වාගේ ලෝකය හදන්නට බැහැ... අප ආදරයෙන් ගෞරවයෙන් රකිනා දේ රකින, ඒවා ඉදිරියට ගෙනයන, මිල මුදල් වෙනුවෙන් හෘදය සාක්ෂිය පාවා නොදෙන, උපන් මාතෘ භූමියට නොගරහන, එහි මිනිසුන්ට නිගා නොකරන, එක් පුතෙකුන් පුලුවන්නම් අප හදමු... අපි සෑම දෙනෙක්ම එලෙස කලහොත් වැදි බණ දෙසා හදන්නට සමාජයක් ඉතිරි වනු ඇත්ද...? එනිසා දැන් මා පුද්ගලිකව අදහන මතයද එයම වේ... මා දරුවන් යහපත්ව හදන්නට බැරි මා ලෝකයට කෙසේ නම් ඔවදන් දෙම්ද...? පන්සිල් රකින්නට බැරි මා කෙසේ නම් ශ්‍රමණ උතුමන් විවේචනය කරම්ද...?  යම් විද්‍යාවක් කෙළ නොපැමිණි මා, ඒවා යම් පමණින් උගෙන උගතුන් වියතුන් සභා මැද ශිල්ප දක්වන්ට යාම අණුවන නොවේද... නමුත් ඒ වෙනුවට කල හැකි යමක් අත ලඟම ඇත...

ගල් අරනේ හැංගෙන්නා...
උන් රහසේ ලංවෙන්නා...
මා පුතු අල්ලන් යන්නයි...

නෑ එන්නට දෙන්නේ...
මා පුතු ලඟ ඉන්නේ...
නාඬා නිදියන්නේ...

සඳුන් වනේ මල් නෙලනා සුරංගනාවෝ...
සුවඳ දොවා ඇල් පවනේ පුතුට ගෙනාවෝ...

සිඟිති නෙතේ කැකුලු මුවේ මැවෙන සිනාවේ...
සසල ලොවේ නිමල සෙනේ සිතට ගෙනාවේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....
Read More!
 
Blogger Wordpress Gadgets