ඕ... එන්න ඈත යන්න ප්‍රේම ගංතෙරේ...

විවාහ වර්ග කිහිපයක් ඇති බැව කියවේ. සැණකෙලි ආකාරයෙන් පවත්වන්නාවූ බ්‍රහ්ම හෙවත් ප්‍රජාපතී විවාහය එකකි. හුදු දෙදෙනාගේ කැමැත්ත මත පමණක්ම විවාහය සිදු කිරීම ගන්දබ්බ ගාන්ධර්ව විවාහ යැයි කියනු ලැබේ. අසුර විවාහය සිදුවන්නේ යෝජිත ආකාරයෙනි. විවාහයට පෙර ඇල්මක්, බැල්මක්, කැල්මක්, ඒ හැටි ඇත්තේ නැත. මනුෂ්‍ය විවාහය, සිරිත් විරිත් වලට තැනදී දෙපක්ෂයේ සහෝයෝගයෙන් කෙරෙන්නකි.

මා විවාහෝත්සව සහභාගී වීමට ආසාකරණුයේ ඒ එක් එක් අවස්ථාවල සිදුකරන චාරිත්‍ර වාරිත්‍ර විදි නැරඹීමට ඇති බලවත් ආසාව නිසාමය. බුලත්, සුදු රෙදි කච්චියක්, රන් නූලක්, පැන්කෙණ්ඩිය, තැළි-පිළි හා මුදු, පොල්ගෙඩියක් හා කැත්තක් මූලික වශයෙන් පෝරුව චාරිත්‍රයනට අවශ්‍ය කළමණාය. මනුෂ්‍ය විවාහය යශෝධරා විවාහය ලෙසද හැඳින්වේ. පෝරුවෙහි චාරිත්‍ර විදි, අෂ්ඨක ගායනා ආදියට වැඩිහරියක් පාදක වී ඇත්තේ මේ සිදුහත් බෝසතාණෝ හා යශෝධරා විවාහයයි.

පුන් කලස්ද, පොල් මල්ද, ධෘතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතරවරම් දෙවියන් වෙනුවෙන් දිලෙන පහන්ද, උඩට උඩු වියන්ද, පයට පාවඩද, ඇට පස් වර්ගයකින්ද යනාදී අංගයන්ගෙන් සැරසුණු පෝරුව ඉතා අලංකාර වෙයි. මගුල් බෙර වාදනයෙන්ද, නැටුමින්ද මනෝරම්‍යව කැඳවාගෙන එන්නාවූ මනාලයාත් මානාලියත් ඒ දෙපස සිට ගනී. ත්‍රිවිධ රත්නයේ පිහිට පතා, පිරිස පසඟ පංච ශීලයේ පිහිටවූ පසු මාමාවරුන් විසින් දෙදෙනා පරිස්සමට පෝරුවට නංවනු ලැබේ.

ලකුණු දැන අප බෝසතානෝ - විදුරසුන් පිට වැඩම කරමින්
මෙකුණු සසරෙහි තිබුන කෙලෙසුන් - නසා අලුයම බුදු වෙමින්
අකුණු හඬසේ ගර්ජනා කර - එ වසවතු බිඳ හැරි තෙදින්
දකුණු පය පෙරටුව තබා පෝරුවට - ගොඩවෙනු නැකත හරි දැන්

පෝරුව චාරිත්‍ර ඉටුකරන්නා විසින් පත්තිනි මෑණියනට භාරයක් ලෙස යුවල අතට දී නැවත ලබාගන්නා පලමු බුලත් අත සහ පඬුරු, පෝරුවේම උස් තැනෙකින් තැන්පත් කරයි. හත්වෙනි මුත්තාගේ සිට අවිඡ්ඡින්නව පැවත එන දෙදෙනාගේම හත්මුතු පරම්පරාව වෙනුවෙන් දෙදෙනා අතින් වෙන්වෙන්ව බුලත් හුරුළු හයබැගින්ද දෙදෙනා අතින්ම එක් හුරුල්ලක්ද පෝරුව මත බිම හෙළනු ලැබේ. මහී කාන්තාව මත අඛන්ඩව පැවැති පරපුරකින් පැවත ආ මිනිසුන් යුවලකට ඇගේ අශීර්වාදය ඉන් ලැබෙන්නේය. පුවක් මල් කිණිත්තෙන් ආශීර්වාදය ලබාගන්නා යුවල, පෝරුව කාරිය කරන්නාටද බුලත් දෙනු ලැබේ.

මහත්මවූ සෙනෙහසිකින් යුතුව ජීවිත කාලය පුරා බලාගන්නා බවට හතර වරිගය ඉදිරි පිට පිළිද, තැළිද අන්දවා මනාලයා විසින් සංකේතාත්මක පොරොන්දුවක් දෙයි. මංගල මුදු හුවමාරු කිරීමෙන් පසු සුලැඟිලි එකට බැඳ අතපැන් වත් කොට මනාලියගේ පියා විසින් මනාලයාට සිය පණසේ රැක බලාගත් දුවණිය පවරා, පාවා දෙන්නේය. ඉදිරියේ එන සකලවිද ගැටළු සීරුවෙන් දිග ඇරගතයුත්තාවූ මෙන්ම, ගැට ගැසුනාවූද, දියෙන් තෙත්වීමෙන් තදවුනාවූද. සුලැඟිලි වෙන්කරගන්නා යුවල, ඉනික්බිති කිරිබතින්ද දියබිඳකින්ද සන්තර්පණය වී පෝරුව ඉඳුල් කරන්නෝය.

ඉන්පසු එළඹෙන්නේ වැදගත් අවස්ථාවකි! සියල්ලනටම හැඟුම් බර අවස්ථාවෙකි!!

පෝරුව චාරිත්‍ර ඉටු කරන්නා මතක් කරදෙනුයේ සුබ්‍රහ්ම ගම්පතියාගේත් මාලතී බැමිණියගේත් දුහිතෲ රුමත් සෝමසීලී දියණිය ආවාහ කරදීමේදී වූ සිද්දියකි.

එදා දඹදිව තල - ඔක්කාක නම් රජ කල
සුබ්බ්‍රහ්ම ගම තුල - බමුණෙකු දරණ බල කල

මාලතී නම් ලද - බැමිණිය හට සතුට මැද
ලැබුණු දියණිය සොඳ - සෝමසීලී වීය මන නඳ

පොවා කිරි ලේ කොට - අදරින් හදපු දියණිට
නිසි වයස වන විට- සෙවී තරුණෙකු සුසර දිවියට

තරුණයෙකු ආවා - රුවැතියට ඇහැ ලෑවා
ඔහු සතුටු වූවා - මම කැමැත්තෙමි මවට කීවා

පුතුගෙ දෙස බලලා - දියණියට අත තියලා
හරි යසට ගයලා - කීය මෙලෙසින් සුමට කරලා

'බොහෝ දුක් විඳලා - හැදුවෙමි චරිතෙ රැකලා
එම කුලිය ගෙවලා - රැගෙන යනු මගෙ දෙපා වැඳලා'

තරුණයා එතකොට - මව්නි කිම කුලියට
එවිට තම දියණියට - කුලිය දෙන්නැයි කීය මෙලෙසට

'දස එකඩ මස සරී - උපන්දා සිට දුන් කිරී
කච්චියක් රෙදි සරී - තෙමෙන්නට ඇත දුවට දුන් කිරී'

ඒ ඇසු තරුණයා - ළය දැවටුවා කරුණා
පවුළෙ අය පිරුණා - කුලියෙ මෙහෙවර මෙලෙස කෙරුණා

රනින් හෙප්පුවකුයි - රනින් නිමැවුණු ගිරයයි
රනින් කිල්ලෝටෙකුයි - රනින් කෙන්දක් සමග බුලතුයි

කිරිකඩ රෙද්ද ගෙන - හෙප්පුව බුලත ඇතුරුණ
මත තබා අඟයන - ගිරෙයි කෙන්දයි තැබුණි සතුටින

එය මවට දුන්නා - හිසෙන් හිස මත ගන්නා
එ පිළිබඳ දන්නා - යුරෙන් පස්පසට පියමැන්නා

තෙත්වුණු දෑසින් විවාපත් යුවල අතින් කිරිකඩ සේලය හිසින් ගන්නා මනාලියගේ මව, පිටුපසින් පිටුපසට යන්නේ විවාපත් යුවලගේ කෘතවේදීත්වයට අශීර්වාද කරමිනි....
-------------------------------------------------------------------------------------------------------
අම්මා ආසයි බෙල්ලන්විල යන්න ඉස්සර ඉඳන්ම....

එහෙමනම් අම්මව එක්ක යමු... දැන් ඇවිදින්නත් එන්න එන්නම අමාරු වෙනවනේ....
අයියලාටත් වැඩ අධික එකේ අපි කරමු...
පොඩි පිරකර කිහිපයකුත් ලෑස්ති කරමු ගමේ පන්සලේ ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේලා කිහිප නමකට අම්මා අතින්ම පූජා කරවන්න...

ඔව් එහෙම හොඳයි තමා... එහෙමනම් මම ලෑස්ති කරන්නම්....
-------------------------------------------------------------------------------------------------------
අපි ගියා බෙල්ලන්විල පන්සලට උදේ... ඔක්කෝම හොඳට කෙරුණා...
එන ගමන් ගමේ පන්සලටත් ගියා... පිරිකරත් ඔයා කීව විදිහටම පූජා කෙරෙව්වා...
ලොකු හාමුදුරුවෝත් හිටියා... ලොකු හාමුදුරුවෝ අතින්ම අම්මට පිරිත් නූලකුත් දැම්මෙව්වා..
ඔයාට ස්තූතියි ඈ ඉතින් මාව මේ වැඩේට උනන්දු කරාට...


හ්ම්ම්ම්... මේ පාර ඇනිවසරියට ඉතින් ඉන්න වෙන්නේ නෑ ලඟට වෙලා...
මුකුත් තෑග්ගක් ගන්න ලැබුනෙත් නෑ...
ඉතින් අර උනන්දු කිරීම, ඔයා වගේ කෙනෙක් මට හදලා වඩලා දුන්නු අම්මට දීපු තෑග්ගක් විදිහටවත් ගන්න එහෙමනම්...

අවුරුදු දහ අටකුත් ගියානේද..? 
යාළුවෙලා හිටපු අවුරුදු හතත් එක්ක බැලුවම ජීවිත කාලයෙන් බාගයකටත් වැඩියෙන්....
ඒක නේන්නම්....
-------------------------------------------------------------------------------------------------------


ආ සීත සුනිල ප්‍රේම ජලේ... ප්‍රේම ගංතෙරේ...
මල් පෙම්බරී දෙතොලෙහි බඹර තොල් පොරේ...

ඒ රාග මැවිලා සුමදුර මත්වෙන තාලේ..
ඒ සිතිජෙහි පෙම් රූප මැවේ සීගිරි කාලේ...
ඕ එන්න ඈත යන්න ප්‍රේම ගංතෙරේ...
ආ සීත සුනිල ජලේ ප්‍රේම ගංතෙරේ...

ඕ පැහැර ගනී තීගේ දෙතොල් පැහැ දින රාජා...
තී දෑසෙහි නිල් මිණි පැහැ දෙයි මේ දිය ඕජා...
ඒ දේව ලියෝ ඔබේ රූ දැක ඈත අම්බරේ..
ආ සීත සුනිල ජලේ ප්‍රේම ගංතෙරේ..

මා පාට කුසුම් තෝරා පෙම් මාල ගොතන්නම්..
මල් පියලි  වැදී සියොමැලි රත් ඇඟිලි රිදෙයි පෙම් ..
ආ දේවි ප්‍රේම වදන් ප්‍රේම ගංතෙරේ...
ආ සීත සුනිල ජලේ ප්‍රේම ගංතෙරේ
...


පසු ලිපි: ජූලි 2019
ගීයේ තනුව පාදක කරගත් හින්දි ගීය
Read More!

කොළඹදි කම්පලක් නැතුව සෙනගක් මරාදාලා..!

මායාදුන්න පුත් ටිකිරි රජ්ජුරු බණ්ඩාර [1581 - 1592] හෙවත් සීතාවක රාජසිංහ හෙවත් පලවෙනි රාජසිංහටත්, අවුරුදු පනස් දෙකක් රජකම් කල දෙවැනි රාජසිංහටත් [1635 - 1687] ප්‍රතිකාලුන්ට මුහුණ දීමට සිදුවිය.

පුරුතුගීසීන් මෙරටට ගොඩ බහින විට රජකම් කලේ මායාදුන්නේගේ මහප්පා වූ ධර්මපරාක්‍රමබාහුය. ධර්මපරාක්‍රමබාහුගේ අවෑමෙන් එක් බිරියක් හා එකගේ කෑ ඔහුගේ සහෝදරයන් දෙදෙනාගෙන් විජයබාහු රාජ්‍යපද ප්‍රාප්ත වන්නේය. අනෙක් සහෝදරයාවන පරරාජසිංහ හා එකගේ කෑ බිරියගේ අභාවයෙන් කීරවැල්ලේ කුමරිය විජයබා මෙහෙසිය වන්නීය. කලින් බිසවගෙන් ලැබුණු බුවනෙකබා, රයිගම් බණ්ඩාර හා මායාදුන්නේ පැත්තක තබා කීරවැල්ලේ කුමරියගේ දුවගේ දරුවාට රජකම බාර දීමට විජයබාහු කරුණු කාරණා සකස් කිරීම විජයබා කොල්ලයට මග පාදන්නේය.

බුවනෙකබා රජද පියා අනුව යමින් අත්තනෝමතික වීම මායාදුන්නේව අමනාප කිරීමට මගපාදයි. පුරුතුගීසීන්ගෙන් උදව් ඉල්ලීමට තරම් නිවට වන බුවනෙකබාහුගේ ක්‍රියාවලිය එක් පසෙකින් දොන් ජුවන් ධර්මපාල නම් බෑනෙකු බිහිකිරීම දක්වා දිවගියද අනෙක් පසෙන් රාජසිංහ කෙනෙකු බිහිකිරීමට හේතු භූත වූ බව අමතක නොකල යුතුය.

ප්‍රතිකාලුන්ට එරෙහිව කල සටන්, මුල්ලේරියාව හටන, දන්තුරේ හටන, බලන හටන, රන්දෙනිවල හටන හා ගන්නොරුව හටන නමින් ප්‍රධාන වශයෙන් හතරකි. මායාදුන්නේ බුවනෙකබාහු සමග කල ගුරුබැවිල හටනට පුරුතුගීසීන් සම්බන්දවන්නේ අනියමිනි.

කෝට්ටේ රජකල බුවනෙකබාහුගේ මරණින් පසු තම ඇණි ශක්තිමත් කිරීම සඳහා ගෝවෙන් දොන් ජීවන් අරික්කු හා පොන්සි පෙරේරා නම් පාදිලිතැන සමග විසාල සේනාවක් හා ආයුධ ප්‍රමාණයක් ලැබෙන්නේ බුවනෙකබා මුණුපුරු ධර්මපාල කුමරු දොන් ජුවන් ධර්මපාල නමින් අන්දෘෂ්ඨි වැලඳ ගැනීමත් යන අවස්ථා හා සමගාමීවය.

පලවෙනි රාජසිංහ රජතුමාට මුහුණදීමට සිදුවන්නේ පුරුතුගීසීන්ට පමණක්ම නොවේ. වීදිය බණ්ඩාර නිතර ඇති කල 'වීදියේ හටන්' වලටද අනේක ලෙස මුහුණ පාන්නට සිදුවන්නේය. සවැනි පැරකුම්බාවන් [1410 - 1462] කෝට්ටේ රජකම් කරමින් ඇතිකල විභූතිය, සාහිත්‍යාලෝකය මැකී යන්නට මේ නොනවතින සටන් හේතු වූවායැ‍යි ද සිතිය හැක. වීදිය බණ්ඩාර යනු අසීරු අවස්ථාවලදී තමනට පිහිටවූ, ගම්බිම් නවාතැන් දී සැලකූ, හත්කෝරළයේ ඉරුගල් රාජ පරපුරේ එදිරිමාන්නසූර්‍ය රජද මැරවූ කෙනෙකි.

එහෙත් සීතාවක රාජසිංහයන් සත්කෝරලේ ආක්‍රමණය කර එදිරිමාන්නසූ‍ර්‍ය රජු මැරවූ අයට දඬුවම් දී, උපකාර කල අයට කළගුණ නොසැලකූ විට සිදුවන ව්‍යසන රට වැසියනට දැනගනු පිණිස අඬබෙර ලැවීය. අවසානයේ වීදිය බණ්ඩාරට ලැගුම් වන්නේ යාපා පටුනය. එහෙත් තම රටට ව්‍යසන කල විදිය බණ්ඩාරට එහි වුසූ දෙමළ ජනයා අතින් මැරුම් කන්නට වන්නේ තනිවම නොව අඹේපිටිය නයිදේ හා විජයපාල ආස්තාන කුමාරයා ඇතුලු තවත් බොහෝ දක්ෂ සටන් කරුවන් සමගින්මය.

මායාදුන්නේගේ අවෑමෙන් ලක්දිව බලය කෙමෙන් කෙමෙන් තරකරගමින් සිටි සීතාවක රාජසිංහ සමග දරුණු සටනකට ප්‍රතිකාලුන් පිලිපන්නේ දොන් ජුවන්ගේද සහය ඇතිවය. එහෙත් නිර්භය රාජසිංහ රජු පලමුව යුදට යැවූ වික්‍රමසිංහ මැති පැරදෙනු දුටද නැවත උපක්‍රම සකසා, අතුරුගිරි කෝරලය, නව යොදුන් කෝරලය, ගිරුවාපත්තුව, තිරික්කෝවිල, තිරිකුණාමලය, පස්යොදුන් කෝරලය, අනුරපුර, හලාවත  මාතර ඈ නොයෙක් පෙදෙස්වල ජනයා එක් රැස් කොට විසාල බලමුළුවක් සාදා මුල්ලෙරියාවේ වාඩිලාගත් ප්‍රතිකාලුන්ව වටකොට පහර දිනි. දෙවැනුව, ඉසුඹුවක් ගැනීමට ඉඩ නොතබා තුමූම සේනාවක් ගෙන හදිසි ප්‍රහාරයක් දියත් කොට පුරුතුගීසීන්ට දරුණු පරාජයක් අත්කර දෙන්නේය. එහිදී රජතුමා සමගින් සටන පිලිපන් 'අත්තන්හරී අබය අලහප්පෙරුම විජයවර්ධන' මැතිදුන්ට දෙනවක පස්රට තෑගි ලෙස ලැබෙන්නේය.

නිර්මාණශීලී ගැමි කවියකුද වූ අලහප්පෙරුම කවියා යුද සේවයෙන් තම මෙහෙවර නිම නොකොට 'සීතාවක හටන' නමින් සිංහලයේ මුල්ම හටන් කවි සාහිත්‍යය අරඹන්නේ කවි 1120ක් රචනා කර ඉතිහාසයේ වැලලීමට තිබූ කාරණා රැසක් සිය ඇසින් අරුත්ගන්වා ග්‍රන්ථාරූඪ කරය. අල්ලක් දැන කන්දක් විලිලන්ට දතකන අද දවස පණ්ඩිතයන් මෙන් නොව ඔහු සිය කාව්‍යය නිමකරන්නේ නිහතමානීවවත්, අදීනවත් ලෙසය.

'එළු පාලි නොමදැන
බසින් සිංහල රැගෙන
මෙ සීතාවක හටන
කව් කල පෑය මනැන පමණිය'

ලංකා ඉතිහාසයේ බටහිර ආක්‍රමණයට අතිශය නිර්භවූත් සාහසික වූත් ප්‍රහාරයක් එල්ලවන්නේ සීතාවක රාජධානි සමයේය. සෑම රජෙකුටම තිබෙන්නාවූ යම් දුර්වල කමක් ප්‍රයෝජනයට ගන්නාවූ අවස්ථාවාදීන් එමටය. රාජසිංහ රජතුමාට කුඩා කළදීම මුහුණු දීමට සිදුවූ අභියෝග නිසා එතුමාට ආරෝපණය වූ සැහැසි බව තුලනාත්මකව දකිනට නොහැකි වූ සංඝරත්නය නිසා හේ මලබාරයෙන් ආ අරිට්ඨ කීවෙන්ඩු පෙරුමාල්ට ලංවිය. ශිව සමයද වැලඳ ගති. තමාට උදව් කල දක්ෂ සෙන්පතියකු වූද තමනට බොහෝ ජයග්‍රහණ අත්පත් කර දුන්නාවුද වික්‍රමසිංහ මුදලිඳුට වස දී මරා දැම්මවීය.

මාන්නප්පෙරුම මොහොට්ටාල නමින් අලුත් නම් ලත් මේ අරිට්ඨකී අවසන 1593 රාජසිංහ රජුගේ මරණින් පසු නවතින්නේ දොන් ජුවන් ලඟය. රූකඩයෙකු වන දොන් ජුවන් ලවා ලංකා රාජ්‍යයේ ඔප්පු තිරප්පු තමන්වෙත ලියවා ගැනීමට ප්‍රතිකාලුන් ක්‍රියාකල අතර 1597 දොන් ජුවන්ගෙ අවෑමෙන් කන්ද උඩරට හැර අනෙක් සියලු භූමිය අත පත් කර ගැනීමටද සමත්වන්නේය.

ප්‍රතිකාලුන් සිංහලයා මත ඇතිකල අධික පීඩනයට මෙකල නායකත්වය සපයන්නේ කොනප්පු බණ්ඩාරයන්ය. බලන දුර්ගයේදී බිහිසුණු සටනකින් විසාල ජයක් අත්පත් කරගන්නා හේ විසාල යුධෝපකරණ රාශියක් අත්පත් කරගන්නේ, විමලධර්ම සූරිය [1592 - 1604] නමින් දිවයිනේ පරමාධිකාරීවරයාව, යාපාපටුන, ගාලු, කොළඹ කොටුද මුදාගෙන, දෝන කතරිනාවද පාවාද ගනිමිනි!

නැවතත් ප්‍රතිකාලුන් තමනට නැතිව ගිය භාග්‍යය ලබාගැනීමට එන්නේ ජෙරනිමෝ ද අසවේදු ගේ නායකත්වයෙනි. බලන දුර්ගයේ දී කෙරුනු නොයෙක් බිහිසුණු සටන්, පසුබැසීම්, නැවත පහරදීම් වලින් නොසෑහෙන ලෙස සමන්විත විණි. විමලධර්මසූරිය රජුගේ අවෑමෙන් දෝන කතරිනාවන්ගේ සහය ලබාගන්නා හීරළුවකු වූ සෙනරත් නැමැති දුර්වල පාලකයා රාජ්‍යත්වය ලබයි.

පලවැනි රාජසිංහ අනුගාමික නිකපිටියේ බණ්ඩාර 1616 දී සත් කෝරලේ කැරළි අරඹන්නේ මේ දුර්වල පාලනයට හා දිනෙන් දින ඉහල යන පූරුතුගීසි බලයට එරෙහිවය. Antonio Bocrro නැමැති පුරුතුගීසි ඉතිහාසඥයා පවසන්නේ ලක් දනන්ගේ අසහනකාරී මානසිකත්වයට හේ කොතරම් හොඳින් නායකත්වය දුන්න්නාද යත් දින 80කින් මුලු දිවයිනේම ජනයාගේ නතුභාවය ලබාගන්නට හේ සමත්වුණු බවයි. සෙනරත් රජුගේ සෙනාංක භාර ප්‍රධානියා ලෙස අන්තෝනි බරෙත්තු හෙවත් 'කුරුවිට රාළ' පත් කිරීම සෙනරත් රජුගේ අඥාණ භාවය ප්‍රකට කරවන්නකි. හේ පසුව නිකපිටියේ බණ්ඩාර හා එක්වන්නේ සබරගමුව දක්වා කැරළි දිග්ගැස්සවීමෙනි.

සුභාෂිතය ලියූ අලගියන්න මුකවැටිතුමා පසුව දෘෂ්ඨීන් වෙනස් කොට ලියූ 'කුන්ස්තන්තීනු හටන' හී කථා නායක කුන්ස්තන්තීනු ද සා දෙවැනි වරට මෙරටට පාතබන්නේ මේ කැරැළි මැඩ පැවැත්වීම සඳහාය. දිගින් දිගටම ලක් රාජ්‍ය කොල්ලකෑම පුරුතුගීසීන් විසින් කරගෙන යන්නේ කන්ද උඩරට ආක්‍රමණය කිරීම පෙරදැරි කරගෙනය. දෙවැනි රාජසිංහ [1634 - 1687] හෙවත් සෙනරත් රජුගේ පුත් කුමරුන්, කන්ද උඩ පස් රට බලය ලබා ගන්නේ මෙවැනි වටපිටාවක් තුලය.

1638 දී පුරුතුගීසීන්ගේ බලවත් ප්‍රහාරයකට ලක්වූ දෙවැනි රාජසිංහ රජතුමා මහනුවරින් උපක්‍රමශීලීව පැනයන්නේ නුවරට ඇතුලු වූ සතුරන්ට සතරවටින් දොරගුළු දාගෙනය. නුවර ගිනිබත් කොට කොල්ල කෑ විශාල පුරුතුගීසී හමුදාවෙන් තිස් තුන් දෙනෙකු හැරෙන්නට සියළු දෙනාම බලන කන්දෙන් පිටවී යාමට තැත්කිරීමේදී රාජසිංහ හමුදාවට අසුව මැරුම් කෑහ. පුරුතුගීසි හමුදාවේ සිටි ලස්කිරිඥ්ඥා හේවායින් හෙවත් දේශීය කුලී හේවායින්ද ඔවුනගේ පුරුතුගීසි ස්වාමියා අත්හලේ මරණයට බියෙනි. හිස්ගෙඩි ගෙලින් සිඳ රණබිමෙහි ගොඩගස්වනු ලැබීය. රාජසිංහ රජ රාජ්‍යත්වය නැවත් ස්ථාවර කරන ලදී.

රාජසිංහ රජුගේ උඩරට හමුදාව, සාමාන්‍ය හමුදාව (අතපත්තු හමුදාව), යුධ හමුදාව හා අනිවාර්‍ය සේවා කොටස්වලින් සමන්විත විය. අතපත්තු හමුදාව සාමන්‍ය ගම් වැසියන්ගෙන් සෑදුනාවූ විය. විශේෂ සේවා සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙනා අගම්පොඩි හමුදාවක්ද උඩරට බලකායේ විය. පලවෙනි රාජසිංහ සමයේ මෙන්ම කලාව, සාහිත්‍යය, ආගම පිරිහීම දෙවැනි රාජසිංහ සමයේ පැවතීම තේරුම් ගැනීම අපහසු නොවේ. ඒ වෙනුවට හටන් කවි, ප්‍රශස්ති අතරින් පතර හෝ බිහිවීම අගය කල යුත්තකි. ඒ මන්ද යත් සාහිත කලා බිහිනොවන කාල වකවානුවක ඒ යුගයේ ඇවතුම් පැවැතුම් නශ්ඨාවෂේශව පවත්නේ මේ නිර්මාණ තුල නිසාය. රජතුමාගෙන් තාන්න මාන්න බලා අතිශෝක්තියෙන් වර්ණනාවන් සිදුවීම නොවැලැක්විය හැකි කරුණකි. එහෙත් රාජ්‍යත්වය ස්ථාවර කිරීමෙහි ලා ඒ අභීත රජවරුන් ගිය ගමන් මග තුල නිමැවූ මේ නිර්මාණවල ඇති ඒ නුගුණ පමණක් ඉස්මතු කිරීම නොමනා යැයි සිතමි.

පලවෙනි රාජසිංහට මෙන්ම දෙවැනි රාජසිංහට වැරදී ගියේ පෘතුගීසීන් එලවීමට ලන්දේසී සහය පැතීම නිසාය. පසුව එය වැරැදි තීරණයක් බව පැහැදිලිව ගියද ලන්දේසීන් සමග එකඟතාව රජතුමා පාඩු දරමින්ම නොබිඳි බව ප්‍රකටය. රජතුමාගේ රණශූරත්වය ප්‍රකට කරමින් කවි, සිලෝ, ප්‍රශස්ති ලියූ වන්දිභට්ටයින් අතර බුන්නෑපාන රාළ, බිංතැන්නේ සාමි, වේවැල්දෙනියේ මොහොට්ටාල, ඌවේ මොහොට්ටා යන අය බෙහෙවින් ප්‍රකටය.

රාජසිංහ නාමය වනමින් ලියූ රචනා බොහොමයකි. ඒ අතර, පැරකුම්බා සිරිත අනුව යමින් ලියූ 'පවන' හා 'රාජසිංහ වර්ණනාව' එයින් ප්‍රකටය. අඹන්වෙල රාළ මෙහෙයවූ නිලඹේ කැරැල්ලෙන් පසු රාජසිංහ රජතුමා හඟුරන්කෙත වාසස්ථානය කර දියතිලක පුර නැංවූ [1668] කාලයෙහි ලියැවුණු 'පවන' කෘතිය අමුද්‍රිතය. කාව්‍ය සාහිත්‍යයෙන් ගීත සාහිත්‍යයට ගත හැකි ගුණාංග මේවායේ ඇති බව කියැවේ. බටහිර ගීයෙහි ඇති 'කෝරස්' බඳු මුද්‍රප්පදයක්ද මේ කවි වල රඳවා ඇත්තේ ඒවා ගායනයෙන් රජතුමා පිනවීම සඳහාමය. 'ශ්‍රී නාමය', 'රාජසිංහ විරුදාවලි', 'පරංගි හටන', 'රජසිහ සිරිත' අනෙකුත් ප්‍රසිද්ධ රචනාවේ.

ඉස්තරම් ගණයේ භාෂා ඥාණයක් තිබූවෙකු යැයි සිතිය හැකි ඌවේ මොහොට්ටාල ලියූ කවක් පහත ටී එම් ජයරත්නයන් හා නීලා ව්ක්‍රමසිංහයන්ගේ මධුර හඬින් ගැයෙයි. එහි ඇති එක් පදයක් කාව්‍යයේ එක් පෙලක් ලෙස ලියැවී ඇත්තේ මාත්‍රා 52ක් පමණ එන පරිදිය:

"නොතැකුම් රුදු විරුදු අඩම්බර නොතරම් කර සිරිඳු උතුම් රඟ
සැතැපුම් සැදු මහරු විකුම් බුජ රණ මන්දිර බූපා"

ගීයෙහි මුල් පද 'රාජසිංහ සිරිත' කෘතියෙන් ගත් ඒවා ලෙස පෙනේ.



යුද්දෙටත් ඇවිත් සිඳු පිට නැව් නැගිලා - පරංගි
උන්නු මුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
අන්දමත් සොඳයි කෙරු කිසි බිසී ගාලා - කොළඹදි
කම්පලක් නැතුව සෙනගක් මරාදාලා

ලත් දනත් කියත් මහ සෙන් රට ගන්ටා - සතුරු
මත් වෙලත් දොඩත් වෙරි මත පෙන්වන්ටා
කත් ගෙරිත් මසුත් උන්ගේ පනයන්ටා - නැමද
රත් පෙලත් ඉඳිත් සියොගත බැරි වෙන්ටා

යුදයද නැංග - නෙතුරිඳු ගුම්ද
ලෙසට දිනින්ද - ගෙන පානේ
යුදට අනංග - සරගෙන ගුම්ද
කොඩි බැඳමින්ද - එයි රුසිනේ

නොතැකුම් රුදු - විරුදු අඩම්බර
නොතරම් කර - සිරිඳු උතුම් රඟ
සැතැපුම් සැදු - මහරු විකුම් බුජ
රණ මන්දිර බූපා

සතපෙම් කොඳ කිවිඳු - පියුම් වන
හිම ගිම් රිවි විලස - උදම් සහ
තැවැරුම් කර තෙදන - කොකුම් තෙන
දිගඹුන් පර තාපා

මනරම් යස කෙහෙළි - නොහිම් ලෙස
බිහිඟුම් දිගු යටග - නැගුම් කළ
සුරඳුම් තිලිනිසුරු - සුජම්පති
මනයොන් තුනු රූපා

සදහම් තෙල කෙසර - රැඳුම් වන
රණකුම් දිසි දඹදෙණි - ගම්පොල
දැදිගම් නගරාදිප - රම්යුර
නෘපසිංහ මහීපා

ඇසුරු කල පත පොත
• උඩරට නැටුම් කලාව - ජේ. ඊ. සේදරමන්
සීතාවක හටන - මහාචාර්‍ය රෝහිණී පරණවිතාන සංස්කරණය
රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය
දියතිලක නුවර - සෙනර්ත් බණ්ඩාර දිසානායක
ලංකාවේ ලන්දේසි බලය - ආචාර්‍ය එස් අර්සරත්නම්
සතර කෝරළේ ඓතිහාසික හා සාහිත්‍ය විමර්සනය- ජී. ආර් ගුණවර්ධන බණ්ඩා
කෑගලු වර්ථාව - එච්. සී. පී බෙල්
සීතාවක රාජධානියේ උන්නතියේද අවනතියේද සමහර අංශ පිළිබඳ විමර්ශනයක් - මහාචාර්‍ය රිසිමන් අමරසිංහ
Battle of Randeniwela 1630 AD - Sri Lanka Military Academy


පාඨකයන්ගෙන් ලැබුණු තොරතුරු
1. පෘතුගීසීන් හා ලංකාව | පරංගි කෝට්ටේ - මහාචාර්‍ය ටිකිරි අබේසිංහ 
2. ලක්දිව ප්‍රතිකාල් ප්‍රයත්නය - සෝමපාල උඩකන්දගේ
3. Fidalgos in the Kingdom of Kotte (1505-1656) - O M de Silva

4. පළමුවන රාජසිංහයන් පිළිබඳ අප්‍රකට ජනකතාවක්  - එම්.පී.පී.ගුණසිංහ
5. බැරැණ්ඩි කෝවිල හා පෙතංගොඩ උයන ගැන මග විස්තර - Thanoja's Dreams

සංස්කරණය 1
යුද්දෙටත් ඇවිත් සම්පූර්ණ ගීතය
[උපුටා ගැනීම සේදරමන් ගුරුන්නාන්සේගේ උඩරට නැටුම් කලාව කෘතිය - 1962/2014- එම් ඩී ගුණසේන]

යුද්දෙටත් ඇවිදින් සිදු පිට නැවි නැගිලා - පරංගි
උන්නුමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
අන්දමත් සොඳයි කෙරු කිසි බිසී ගාලා - කොළඹදි
කන්පලක් නැතුව සෙනගක් මරාදාලා

ලත් දනත් තැනින් කියත් මහසෙන් රට ගන්ටා - දෙමළු
මත් වේලත් දොඩත් වෙරිමත පෙන්වන්ටා
කත් ගෙරිත් මසුත් උන්ගේ කුණුපණයන්ටා - මෙහි
නැත් කිසිත් ජයක් යුධ කෙරුමෙන් උන්ටා
                [පිට - 148]

නොමදින් විකුම් පාලා
සැදෙමින් යුදට ජය ලන්දෙසින් සමගින් එ ජනරාලා
සමිඳුන්ගෙ භුවි පාලා
සියසේ අතින් මියෙමින් ගියෝ  යුදයෙන් ඇනුම් කාලා

රන්නා එ ලන්දේසී
මන්නා මෙලෙස පෙන්නා බලය පන්නාලීය සීසී
ගෙන්නා ඉංග්‍රීසී
දන්නා ඔවුන් ගෙන්නා බැඳල සෙන්නා අයට දාසී
                [පිට - 27]

 


Read More!

කවිකාරියේ, සින්දු 'ලියනා' ලඳේ... [ශීලා ගම්වර]

ඉරිදාට ලංකාවේ මිලදී ගැනීමට ඇති පුවත් පත් ගණන කොපමණද? සමහරෙක් මේවා ගන්නේ සුමානයම බත් බැඳීමට තරම් ගෙදර සාමාජිකයින් ඇති බැවිනි. 'ජාතික' පුවත්පත්ද, ටැබ්ලොයිඩ් ගණයේ පුවත්පත්ද රාශියකි. මැරුම්, කැපුම්, අතවර කිරීම්, පැහැර ගැනීම්, මංකොල්ල කෑම්, හිංසනයන්, හදිසි අනතුරු තළු මරා වාර්ථා කිරීමේ 'ජාතික' වගකීම හැරුණවිට සාහිත්‍යාංග සඳහා ඇති ඉඩකඩ 'යන්ත්‍ර මන්ත්‍ර', 'සාපෙ/උපෙ', 'දක්ෂ දරුවෙකු හදාගන්නේ කෙලෙසද' හා 'අනාගතය ජයගන්නා සරල විදි' වලින් සෙමින් ආක්‍රමණය කරමින් පවතී. යම් වර්ධිත අවස්ථාවක ඇති පුවත් පත් වැනි මාධ්‍යයන් වලින් පෙරා ශුද්ධ කරන ලද මතවාද වලින් නූතන අන්තර්ජාලය ආලෝකමත් කිරීම පසෙකලා, මූණු පොතේ ඇති කුණු කන්දල් වාර්ථාකරණයට ජාතික(යැයි කියාගන්නා) පුවත්පත් වල පිටුද වෙන්කරයි. සොඳුරු සිනමා නිර්මාණයක්, පොතක් පතක්, හඳුන්වා දීමට ඇති ඉඩකඩද වෙන් වන්නේ නිර්මාණය කල එකා ඉන්නා රට වුවද ලේසියෙන් හොයාගැනීමට නොහැකි රටවල වුන්ගේ නිර්මාණයන් වෙනුවෙනි. [මෙයින් ලෝක නිර්මාණ අප රට ජනතාවට හදුන්වා නොදිය යුතුයැයි නොකියැවේ - එහෙත් හඳුන්වාදෙන නිර්මාණවල, අප රට ජනයාටද හඳුනාගත හැකි, වින්දනය කර ගත හැකි, කොටින්ම කියනවානම් දිරවාගත හැකි, පොදු රුව, ගුණ තිබේදැයි බැලීමේ යුතුකමක් විචාරන්නාට හා පලකරන්නාට තිබිය යුතුය].

මේ පුවත් පත්වල කවි පිටුද ඇත්තේය. දක්ෂ ප්‍රතිභාවක් ඇති කවියන් අතෙහි වැජඹුණු මේ කවි පිටුවල නම් අදත් යම් කාන්තියක් දැකිය හැක. ඒ, එකල මෙන්ම අදද මේවායේ සකසු කාරිය, ප්‍රතිභාව හඳුනාගැනීමෙහි සමත් කවියන් අතම රැඳී ඇති නිසා විය යුතුය. සීමිත පුවත්පත් ගනනක් තිබූ දශක තුන හතරකට ඉහත පුවත් පතක තම කවියක් පලකරවා ගැනීම, තමන් ලියූ ගීයක් ගායකයකු විසින් ගැයවීම හා ප්‍රචාරය කරවීම තරම්මම අමාරු කාරියක්ව තිබිණ. ඒ මන්ද යත් රස භාව ඉහලට ඔසවා තැබීමෙහි සමත් හා ඒ සඳහා ඇවැසි නීර්ණායකයන් අතදැරූ නිර්භය කලාකරුවන් ගේ කළමණාකරණය නිසාය. 'පුංචි මස්සිනා සිටි අරලිය මල් රිකිල්ල' හා 'රූකඩ මඩු යාග පොලවල්' ඔවුනගේ කඩුලු පනින්නට අසමත් වන්නේ එනිසාමය. ඒ සියල්ලම සමගින් පුවත් පතක තමන්ගේ එක් කවියක් හෝ පලවීම කෙතරම් අහ්ලාදජනක යන්න දන්නේ ඒ නේරංජනාව තරණය කල අයමය.

කලකට ඉහත 'හද ගී පොතේ' පලවූ ටී එම් ජයරත්නයන්ගේ ගීයක පෙළෙහි ඇති අපූර්වත්වය සොයාගිය මට හමුවූයේ අපූරු තැනැත්තියකි. එක කවියක් නොව කවි සිය ගනනක් විවිධාකාර වූ පුවත්පත් වල පල කරවා ගැනීමට තරම් ප්‍රතිභාවක් ඇති ඇය, නමින් ශීලා ගම්වරයි. ඈ, ඒ. පී. ශීලා නමිනුත් ඈ විසින්ම හඳුන්වා ගනු ලබයි. ටී. එම්. ජයරත්නයන්ගේ කාරුණික මග පෙන්වීම මත මට, ඈ ඉන්නා ඉසව්ව සොයා ගැනීමට හැකිවිය. එහෙත් අවාසනාවකට මා ඈ හමුවීමට යනවිට ඈ සිටියේ භාවනා අභ්‍යාස මධ්‍යස්ථානයකය. 'අවශ්‍ය දෑ කෙසේ හෝ කරගනිම්හ!' යන බලවත් ආත්මාර්ථකාමී සිතුවිල්ල තාමත් තරුණ කාලයේ මෙන්ම අදද චිත්ත සන්තානයෙහි ඉඳහිට මතුව එයි! අභ්‍යාසයන් මදකට අත්හිටවූ ඈ ඒ මධ්‍යස්ථානයෙන් එළියට ආවාය. කලින් දිනක දුරකථනයෙන් කථා බස් කර ඇති බැවින් ඈ මා අඳුනා ගත්තාය.

"මම නම් මේ දැන් යම් වැඩකනේ ඉන්නේ..." ඈ පැවසුවාය.
'හොඳයි එහෙමනම් කථාබස් කරන්න වෙන වෙලාවක එන්නම්... ඒත් මට පින්තූරයක් ගන්න පුලුවන්ද?' මා ඇසීය..
"මෙතැන පින්තූර ගන්න එපා... එහෙමනම් ගෙදර යමු..." කී ඈ එතැන අභ්‍යාසයෙහි යෙදී සිටි තම මලණුවන්ද කැටුව මාත් සමග ඇගේ ගෙදර බලා ආවාය. සසර මග එතෙර වන්නට පුරුදු පුහුණු වන්නන් නච්ච ගීත වාදයෙන් නැවතත් මෙතෙරට ඇද දමත්දෝහෝයි යන වරදකාරී හිතත් මා සමගින්ම ඈ නිවසට පැමිණුනි.

'අර සින්දුව ලියන්න පදනම වැටුනෙ කොහොමද?' නිසසල හිතක් කළඹන්නට පටන් ගතිමි.
"ඕක 1970 විතර ලියැවුණේ... මම ඒ වෙනකොට විටින් විට කවි ලියලා තිබුණ පුවත් පත් වලට..." ඉන්පසු ඈ මට පෙන්වූයේ ඈ විටින් විට ලියූවයි කියූ කව් රචනායි. ඇල්බමයක් වෙනුවට ඈ පාවිච්චි කර ඇත්තේ පැරණි ඉංග්‍රීසි සඟරාවකි. එහෙත් ඒවා ඉතාම පිලිවෙලට සුරැකිව තබාගෙන තිබිණි.


"පුවත් පත වලට කවි තැපල් කරලා යවාපු ඒවා දින වකවාණු එක්ක මගෙ කවි පොතේ සටහන් කලා"
'ඒ අතින් කවි පොත් තියනවද තාම?' මූලික කථාවෙන් පිට පැන මං මුලා වන්නට මම කැමතිය.
"ඉන්න..." නැවත කාමරයට ගිය ඈ මා මෙතෙක් දැක ඇති අතින් ලියූ අපූරුම කවි පොත් දෙකක් මා හමුවෙහි තැබුවාය.


'එතකොට අර සින්දුවේ විස්තරේ...?'
"ආ ඔව්... ඒ කාලේ ගුවන් විදුලි වැඩ සටහනක් තිබ්බා පද්‍යාවලී කියල.. ඩෝල්ටන් අල්විස් මහත්තය, විමල් අබේසුන්දර මහත්තය එහෙම කරපු... ඕකට අපේ කරුණාතිලක හඳුවල කවියක් එවා තිබ්බා 'ආදරය විකිණීමට තිබේ' කියල... ඕකට මම උත්තරයක් විදිහට තමා ඔය ගීය ලිව්වේ 'ආදරය විකිණීමට නොවේ' කියලා..."

සත් ගිරි කුළු හිස එපිටින්
සත් මහ සමුදුරු එපිටින්,
සක්වල දේශය එපිටින්,
එන වන බඹරෝ.... 
එන වන බඹරෝ....

මලේ පියලි වරුණ සළුව ගෙතුවේ නුඹටයි...
මලේ කෙමිය මල් මුවරද පිරුවේ නුඹටයි...
මලේ සුගන්ධය පිටාර ගැලුවේ නුඹටයි...
මලේ උරුම මල වට කර රඟනා නුඹටයි...

සුදු මල්පෙති වියන යටින්,
ළහිරු කැලුම් පලස පිටින්,
නල ‍රැළි සෙන් සමග තුටින්,
එන වන බඹරෝ.... 
එන වන බඹරෝ....

මලේ තුෂර මුතු මාලය බැන්දේ නුඹටයි...
මලේ මෙළෙක සුව සයනය සැදුවේ නුඹටයි...
මලේ සුසුම වාතල පිට ‍රැඳුණේ නුඹටයි...
මලේ හැඬුම මේ වනතුරු ඇසුණේ නුඹටයි....


'පරණ පින්තූර එහෙම නැද්ද?'
සිනාසෙමින් නැවත ගෙට ගිය ඈ පින්තූර දෙකක් මා අත පත් කලාය.





'දැන් පින්තූරෙකුත් ගන්නම් එහෙමනම්?'
"හොඳයි...!"
ඒ. පී . ශීලා





* මුල් සංගීත සංයෝජනය සහිත ගීතය අසන්න මෙතැනින්

Read More!

ස්වර්ණදීප පරවියනේ...!

පරවියන්ට කවුරුත් කැමතිය. උන් සාමයේ සංකේතයය. නූතනයේ කවුරුන් හෝ විසිකරන යමක් කා ජීවත් වෙයි. පාටින්ද විවිධය. ජනක රත්නායක කළු පරවියෝ කියා කථාවක්ද ඇඳීය. සුදු පරවියන් විරලය. රජගෙදර පරවියෝ නමින් චිත්‍රපටියක්ද විණි. පරවියන් මෙන්ම කොබෙයියන්ද එන්නේ රෑන් පිටින්ය. ඒත් එහෙම එන්නට ලේසි නැත. සර්පයින් නිසාය. මුලින් බොරු කියා හැම රැවටූ රැංගෝට තුවාලවුනු කුරුල්ලා මෙලෙස කියයි:

Wounded Bird: You killed bird.
Rango: Yeah. [laughs] Matter of fact I did.
Wounded Bird: Bird dead. Snake come.
Rango: Is it snake?

රැංගෝ නාගයා ගැන නොදනියි. එයට උත්තර දෙන්නේ සුහුඹුල් ප්‍රිසිලාය:

Priscilla: He means Rattlesnake Jake, Mr Rango. 
He never comes to town cause he's scared of that hawk, but might come now. 
May I have your boots when you're dead?

රැංගෝට චක්ෂුසය පහල වන්නේ මියෙම්වා රැකෙම්වා කියා අධිවේගය හරහා පාර පැන්න විටය.

උකුස්සන් සරන්නේ තනිවමය. රාජාලීන්ද එසේමය. උකුස්සන්ගේ සටන ඇත්තේ නාගයන් සමගය. පරවියන් සමග උනට සටනක් නැත. උකුස්සා පෙහෙළි කල මගට විසී කල, කෙතෙහි සිටවූ ආහාර පරවියන්ට රිසිසේ බුක්ති විඳිය හැක. උකුස්සන් එකිනෙකා අතර සටන් දැක නැත්තේමය. 'ගගන' සරන උකුස්සන් එකිනෙකා කා කොටා ගැනීමට සැලස්වීම හොඳ නැත. එය ඔට්ටුවට කුකුලන් කෙටවීම මෙන් නොවේය. නාගයනට බර හෑල්ලු වේ. ගොදුරු පහසු වේ!




අත රන්වන් පරවියනේ

තුඩ රන්වන් පරවියනේ
ගෙල රන්වන් පරවියනේ
පාට එරන් පරවියනේ
ස්වර්ණදීප පරවියනේ

ලස්සන රන් හිමවතිනේ
වී බරටම අහුලාගෙනේ
රෑණ පිටින් නුඹ ගොසිනේ නුබ කුසිනේ
ඉගිල වරෙව් පරවියනේ

ස්වර්ණදීප රන් පොළවේ
වී වපුරව් පරවියනේ
හිරු දෙවියන් සරණින්නේ
බාල ලියන් සමගින්නේ
මියුරස ගී ගයමින්නේ
කෙතට බසිව් පරවියනේ
Read More!
 
Blogger Wordpress Gadgets