දඩයක්කාරයාට දඩයමට වඩා දඩයමේ යාම සතුටට කාරණයක් විය හැක.....
-----------------------------------------------------------------------------------------------------------------------
ගොම්මන්
කළුවර හාත්පස වෙලාගත් පසු දැනෙනා පාළුව විටෙක උහුලාගනු නොහැකිය. ගණඳුර මතක්
කරදෙන්නේ අනිත්‍යයද? අනිත්‍යය මතක් කර ගැනීමට අඳුර නිමිත්තක්ද? හෙන්රි
කල්දේරාගේ ගීයක මෙලෙස ගැයේ "ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා - සිතරු තෙම
සැඳෑ අඳුරට ඉඩ තබා ගියා". අප්පච්චී මිය ගිය දා පටන් අම්මාගේ ලොවට හිරු
පායන්නේම නැති සැටියකි. කෑමට ලුණු තුනපහ එකතු කරත්දීත්, පිගන් සෝදත්දීත් ඇ
පිටි අල්ලෙන් කඳුලු පිසගනී. ඈ හා මීට වඩා වැඩි කාලයක් මට ගත කිරීමට ඇත්නම්
කොපමණ හොඳද? අඳුරත් ආලෝකයත් අතර දෝලනය වන දවස් අතරට කඩා වැදුණු වගකීම් මා
එයින් මුදවා තබයි. හුරු පුරුදු වේදනා නාශකය වන ගීතයකට සවන් දීමට සුදුසුම
වේලාවකි.......
රැයේ සොඳුරු රැයේ - රැයේ
සිහිල් සුමුදු පියේ - පියේ
නිවා ගිමන කයේ - කයේ
දෙන්න සිහිල ලයේ - ලයේ
"භාවනාවක් වාගේ ගීයක් නේද?" අම්මාගේ අවධානය පැහැර ගන්නට පවා ඒ සමත්ය.
දිවා පුරා තැවුල් වඩා දිනිඳු අවරැ ගියේ - ගියේ
වෙළා දුවන මෙදුක් රැසින් මිදුම් පතමු රැයේ - රැයේ
ගීයේ පෙල එකින් එකෙහි සිත පටලැවෙන කල ලිහා ගත නොවුණු පද කිහිපයකි. අයිවෝ
ඩෙනිස්ගේ කටහඬත් කුමරතුඟු බසත් පටලැවිල්ල ලිහාගැනීමට උදව් නොදේ. අයිවෝ
ඩෙනිස් මහතාගෙන් පුද්ගලිකව විමසූ මුත් හරි අදහසක් නොලැබුනි. එහෙත් ගීය ලියා
ඇත්තේ විශ්ව විද්‍යාල වල උගැන්මේ නිරත ඥානසිරි ගුණරත්න නම් මහතෙකැයි
ඔත්තුවක් මා අත පත්කලේය.
වහා පිසැර නෙදුරු සමර ගහට ගතේ ලයේ - ලයේ
සදා එන්නැ නවමු මිහිර පවන් පහස රැයේ..... පවන් පහස රැයේ.......
ජයවර්ධනපුර
සරසවිය ප්‍රියංකර තැනකි. වචනාර්ථයෙන්ම සරසවියකි. ඒ මගේ තක්සේරුවයි. කිහිප
වතාවක්ම ආගන්තුකයෙක් ලෙස එහි ආ ගිය මට ඒ ගිය කාරියන් කරගන්නට මග පෙන්වූයේ
සිසු දරුවන්ය. කුමන හෝ හේතුවක් නිසා ඒ දරුවන් මට බෙහෙවින් කරුණික විය. තමන්
යෙදී සිටි ගමන් බිමන් පසෙක ලා මගේ වුවමනාව ඉටු කර දෙන්නට ඔවුන් උත්සුක
විය. එහි පා තැබූ මට මේ
විදුදය සරසවිය, විටෙක දරුණු ලෙස කලබල ඇතිවන තැනක් යැයි කිසිවිටෙකත් හැඟී නොමැත.
නිදි දිවඳුන් දරා අතින් කළු තුරඟුන් රියේ - රියේ
මුදු සිහිලස් පවන් රැළිමැ නගා එන්නැ රැයේ - රැයේ
මා
ගියේ මහැදුරු සුනිල් ආරියරත්නයන් හමුවන්නටය. අවාසනාවකි! ඔහු එදින පැමිණ නැත. සිංහල
අධ්‍යයන අංශයේ දොර ලෑලි වල ඇති නාම පුවරු කියවමින් ලතැවෙනවා දුටු
කාර්යාල සේවිකාවක මා ආ කාරිය විමසා ඇදුරු රත්නසිරි අරංගලයන් වෙත යොමු
කරවූවාය. එතුමා බොහෝ කාර්ය බහුලව තිබෙද්දීද මගේ කාරිය සාවධානව අසා ඔහුගේ
අර්ථ දැක්වීම ලබා දුනි.
දඩයක්කාරයා තවම තෘප්තිමත් නැත!!
රෑ කුමාරි නවපුල් මල් සුවඳ දිදී දියේ - දියේ
සිව්කොණැ කළු වියන් මහරු එළා එන්නැ පියේ..... එළා එන්නැ පියේ.....
සුමංගල ශාලාවේ සිට ආපසු එන මග මිටි තාප්පයේ වම්පසින් පොත් ලැල්ලකි! කෙටි තාප්පය පනින්නට දඩයක්කාරයාව දෛවය විසින් තල්ලු කරන ලදී!
පොත්
ලෑල්ලෙහි මූලිකව ඇත්තේ 'සංස්කෘති' සඟරාය. "අපේ පොත් කිහිපයක් අරන්
අනුග්‍රහය දක්වන්න" කියමින් පොත් විකිණූ තරුණයින් දෙදෙනාට කථා කරන්නට ඉඩක් නොතබාම
දැක හුරු පුරුදු මහත්මයෙක් ඉදිරියට ආවේය... " මහත්තයව දැකල පුරුදුයි මට
හොඳට..." මම කීවෙමි. " මම ජයන්ත අරවින්ද.... ඔයා මොන ෆැකල්ටියෙද?"
තැනින් තැන පැසී තිබෙන මගේ හිස කෙස් ඔහු නොදකින්නට ඇති!
රුදා දැවිළි සියොලඟ සෙද පෙළා නගී රැයේ - රැයේ
සරා නුවරැ ලැගුම් රිසින් ආ ඔබ වෙතැ පියේ - පියේ
පොත්
පත් තෝරනා අතරතුර මා මෙහි ආ කාරිය ඔහු මගෙන් විමැසීය.
"ඥානසිරි ගුණරත්න
මහත්තය අපේ සංගමයේ සාමාජිකයෙක්නේ. මේ තියෙන්නේ එයාගේ විස්තර"
ගමන
පිටත්වන්නට ඇත්තේ හොඳ නැකතකිනි!
"අපිත් එක්ක එකටම තමා විශ්ව විද්‍යාලයෙ හිටියේ -
අපි කීවේ ප්ලේටෝ කියල - ඒ මොකද මේ ලෝකේ ඒවා නෙමේ එයාට කල්පනා වෙන්නේ"
ජයන්ත අරවින්දයන් මගේ දඩමග එළි පෙහෙලි කරයි!
එලා පවන් සිහිළැල් මුදු වහා ගතේ ලයේ - ලයේ
නිවා නුවන් නිදි මී බිඳු වෙහෙස කඩා රැයේ...... වෙහෙස කඩා රැයේ......
----------------------------------------------------------------------------------------------------------------------
මා
එනතුරු ඔහු පාර අද්දරට වී බලා සිටියේය. මුලින් දුරකථනයෙන් කථා කල විට " මගේ මළකුණ
බලන්නද එන්න අහන්නේ " යැයි සෝපහාසයෙන් ඇසුවද මගේ බලවත් ඇවටිල්ල මත මා හමුවීමට එකඟ විය.
අරවින්ද
මහතා කීවා හරිය. හේ ග්‍රීක, ලතින්, ඉංග්‍රීසි, පාළි හා සිංහල වියතෙකි.
"ඕක ලීවේ විජිරාරාම පන්සලේ බංකුවක් උඩ තියාන" හේ කථාව අරඹයි. "Marlowe
ගේ Charioteers of the Night කියන කවියේ ඡායාවක් අනුව තමා ඕක ලීවේ". තනිකඩ
ඔහුගේ කාමරයේ කදිම බළල් සුරතුලුන් කිහිප දෙනෙකි. "කවි ලියල ලියල අවුල් යයි
කියල අම්ම මගෙ කවි පොත් ඔක්කොම පිච්චුවා. ඉතිරි වුණේ ඕකයි 'සට සට වැහි
බිඳු වැස්ස වලාවේ' (සුනිල් ශාන්ත) ගීයයි විතරයි. ඒ දෙක නැත්නම් මම කියල
කෙනෙකුත් නෑ අද" හේ කුඩා ළමයෙක් සේ සිනාසෙයි.
" ඔයා අමරදේව ගැන මොකද
හිතන්නේ..." මා ගියේ ඔහුගෙන් වත ගොත දැන ගන්නටය, හේ මා පිරික්සයි. "කැමතිම
කවියා කවුද?" මේ ඔහුගේ ඊලඟ ප්‍රස්නයයි. මහත්වූ ග්‍රීක ලතින් පාලි ඉංග්‍රීසි
පොත් සම්භාරයක් ඔහු සතුය. ඒවා අපිළිවෙලට රාක්ක වල අසුරා තිබිණ. "මේවා
පිළිවෙලක් කරගන්න ගුණරත්න මහත්තයට හිතෙන්නේ නැද්ද?" "ඔන්න ඔහෙ තිබිච්චාවේ"
තෘෂ්ණාවෙන් විනිර්මුක්ත පිළිතුරෙකි. " සමහර පොත් මම එංගලන්තෙන් ඕඩර් කරල
ගෙන්න්න ගත්තු ඒවා - ඒ කාලේ දෙදාස් පන්සීයක් විතර වුණා සමහර ඒවා".
සුනිල්
ශාන්ත ගැන ඔහුට ඇත්තේ ඉමහත් පහන් හැඟුමකි. "සුනිල් ශාන්තගෙ ආරය ගෙනියන්න
කවුරුවත් ඉතිරි වුනේ නෑනේ" දුක් වෙයි! "මේ බළල්ලු මෙහෙම හිටියට වෙලාවකට මට
කේන්තියි. මේ පොත් අස්සේ හිටි මම ඇති කරාපු හූනෝ ඔක්කොම කැවනේ" ඉන්පසු රොස්
මුහුණෙකි! "ඔයා චීනෙ ගැන හිතන්නේ මොකද?" නැවතත් විමසුමෙකි!
ඔහු මට ලබා දී
තිබූ පැය තුල අපි බොහෝ දේ කථා කෙරුවෙමු. සැත්තෑවිය පසු කර ඇති ඔහු
කුටුම්බ රක්ෂණය, දරුවන් උස් මහත් කිරීම, කාම සම්භෝගය වැනි මාතෘකා පිළිබඳව
අපූරු අදහස් ඇත්තෙකි. "ඔය සින්දුව සැහෙන කාලෙකින් අහුවෙ නෑ.." කෝකටත් කියා
රැගෙන ගිය පරිගණකය පණගන්වා ඔහුගේ ගීය ඔහුටම ඇසෙන්නට සැලැස්වීමි!!