ලක්ෂණ බයිලා.....!

සිතට නපුරු සිතිවිලි ගලා එන මං තවකාලිකව වැටකඩොලු බැඳ ඇති සේය. බොහෝ දුක් මහන්සියෙන් උස් මහත් කර හදාවඩා ගත් කෙන්තියද මුල්ලකට වී නිදයි. වතුර බාල්දියක් දමා හෝ දැන්ම නැගිටින පාටක් නැත. යහපත්  මිනිසුන්ගේ සමාගමය සිතට මෙපණ සංහිඳියාවක් ගෙන දෙනු ඇතැයි කවදාවත් නොසිතීමි.

මට ඇති තදියම නිසාම පළමු ‍රැකියාවට හදිසියේ සමුදුන්නේ අවුරුදු එක හමාරක් තරම් කෙටි කලක් එතැන ගතකිරීමෙනි. ඒ තීරණය එදා වැරදිනි! එහෙත් යහපත් සිතක් විසින් මා පෙරකී සෙවාස්ථානයටම නැවත බඳවා ගැනුනි! ලතෙත් ගුණයක් නැත්තෙකු ලෙස පරසිදුව සිටි ඒ මහතා මා නැවත බඳවාගැනීමට "no objection"  සටහනක් තැබීම මගේ ජීවිතයේ කොපමණ වෙනසක් කලාද? 

නඩත්තු කටයුතුවලදීත් මෙහෙයුම් කටයුතුවලදීත් මුණගැසුණු යහපත් මිනිසුන් මට හැමදාම යමක් උගැන්වීය. වසර දෙකක්, එක දිගට නොකඩවා සෑම තත්පරයක් හරහාම දිවෙන යන්ත්‍රාගාරයක, මෙහෙයුම් කටයුතු සිදුකිරීම දෑතේ සවියෙන්ම පමණක් කල නොහැක්කකි. කුඩාම කුඩා හෝ  වායු කාන්දුවක්, තෙල් කාන්දුවක් බරපතල ලෙස ගෙන, ඒවාට ‍රැයක් දවාලක් නොබලා පිලියම්  යෙදිය යුතුය. අවසන් නිෂ්පාදනයන්හි පිරිවිතරයන් නියමාකාරයෙන්ම තිබිය යුතුය. අලුතින් සේවයට එක්වන්නන් "babysit"  කිරීමක් මෙහෙයුම් නිලධාරීන් ගෙන්, නඩත්තු නිලධාරීන්ගෙන් බලාපොරෙත්තු විය නොහැකිය.  එහෙත් තම තමන්ගේ රාජකාරීන් කරණා ගමන්ම  මා සමඟ දැනුම බෙදාගැනීමට තරම් ඔවුන් කාරුණික විය. අවුරුදු දහයකින් පසු ඒ සේවා ස්ථානය හැර යාමට සිදුවීමේදී දැනුණු බලවත්ම දුක නම් ඒ ' මිනිසුන් ' හැරයාමට සිදුවීමය.

"මූල්‍ය තත්ව" ශ්‍රිතයේ දෙවැනි ව්‍යුත්පන්නය බිංදුවට වඩා විශාල වන්නට දත කෑ අටෝරාසියක් අවස්ථාවලදී, ඒවායින් ආත්මාභිමානයට කැලලක් නොවී ගොඩ එන්නට මට දෑත් දිගුකල මිනිසුන් බොහෝය.  අද ඒ කාලය දිහා හැරී බලනවිට එය එක්තරා ආකාරයක මැජික් එකකි! බාගයට නිමා කල නිවස නිම කරන්නේ කවදාදෝදැයි සිතමින් සිටි යුගයකදීද තවත් එවැනි යහපත් මිනිසෙක් ශක්තිමක් ඉනිමගක් මා අසලින් ගෙනවිත් තැබුවේය. එබඳුම තවත් දෙදෙනෙකු ඒ සෙලැවේයයි දෙපසින් අල්ලා සිටියේය. ඔවුනගේ ඒ සද්ක්‍රියාවන් මට තවත් බොහෝ දෙනෙක් වෙනුවෙන් ඉනිමං සාදා දීමට ඇවසි ඉඩ හසර සලසා දුනි.

සොයාගන්නට බොහෝ අපහසු පොතක් සොයාගැනීමට මා එක් අධ්‍යාපන ආයතනයක පුස්තකාලයකට ගොඩවැදුනේ වෙනත් විකල්පයක් නොමැති තැනය. "පුස්තකාලයාධිපති" මගේ විශ්ව විද්‍යාල ජේෂ්ඨයකු වූයේ අහම්බයකින්දැයි නොදනිමි! අවුරුදු දහදොලහකින් පමණ පසුව අලුත් වූ ඒ මිතුරුදම, තමාතින්ම මුදල් ගෙවා ඒ පොතෙහි පිටපතක් මා වෙත 'පිරිනැමීමට' තරම් කාරුණික විය. ඔවනගේ දරුවනුත් එපරිද්දෙන්ම යහගුණැතිව සැදෙනවා ඇසූ මා ඉමහත් ප්‍රීතියට පත්වීමි! මුං වපුරා මුංම ලැබෙනබව අමතක වන්නේ ඇයි??

ආසන්නයේම දිනක මා තවත් මිතුරෙකු සමග අබුඩාබියේ බස් රථයකට නැගුනද, කොන්දොස්තරවරු නැති මේ බස් රියේ ගාස්තුව ලෙස පෙට්ටියට දැමිය යුතු මාරු කාසි අප අත නොවිනි. ගාස්තුව එක් අයකුට ඕනෑම ගමනාන්තයක් සඳහා දිරාම් දෙකකි; දෙදෙනෙක් සඳහා දිරාම් හතරකි. කරන්නට දෙයක් නැති හෙයින් දිරාම් පහක කොලයක් නමා පෙට්ටියට දැමීමි. මා පසුපසින් බස්රියට නැගි නන්නාඳුනන්නා මා උරහිසට සන් කර ඔහු අත තිබූ කාසි දෙකින් එක් කාසියක් පෙට්ටියට දමා අනෙක් කාසිය මා අත තැබීය! ඒ කාසිය කොපමණ වටිනවාදැයි ඔබට තක්සේරු කල හැකිද?

සේවා ස්ථානයේ තවත් බැරෑරුම්ම තීරණයක් ගැනීමට සිදුවන්නේ කාලයත් සමගමය. පවරාතිබෙන වගකීම් මැද වුවද පෞද්ගලික කාරණා නිසා සමහර තීරණ ගතයුතුම වේ.  දෙපසට නොවැනී ප්‍රධානියා හමුවේ මගේ කාරණය පැහැදිලිව දැනුම් දුන්නද සිතෙහි සුලු වරදකාරී සිතිවිල්ලක් ඉතිරිවිය. යම් සකච්ඡා වටයකින් අනතුරුව ප්‍රධානීයා කිවේ "ඔව්... හැමදෙයක්ම වෙනස් වන බව දහමේ  සඳහන් නේ! එයට මුහුණ දීමට නිරතුරුව සුදානම්ව සිටිය යුතු" බවය.  මගේ වරදකාරී හැඟුම හිරු දු‍ටු කදෝපැණියන් මේ දූරිභූත විය.  මට ආර් ප්‍රේමදාස ශූරීන් රන් මිණි මුතු පොතේ ලියූ තිබූ කවක කොටසක් මතක් විය. "මිනිසුන් තරම්  මගේ මේ මව් පොළව මත - වටිනා වස්තුවක් වෙන මා දුටුවේ නැත.."

Read More!

මිණිමුතු නැහැ මට ඔබ සරසන්නට...

සිරිමා(වෝ) බණ්ඩාරණායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් පසු පුවත් පත් කාටූන් ශිල්පීයෙකු මෙබඳු කාටූනයක් ඇඳ තිබුණා මතකය. ඒ සිසිර කුමාර මානිකාරච්චි ලියූ "සත් වසක සාපය" පොතේදැයි හරියටම මතකයක් නැත. එහෙත් ඒ වැකිය නම් මෙසේය; "ලඳුනි මට සමාවන්න - මා ඔබට ද්‍රෝහි වූවා නොවේ..." මෙහි ඇති උත්ප්‍රාසයනම් මේ වැකියේ නිමැවුම් කරුවා හෙවත් අද සටහනේ කථා නායකයාට සිරිමා බණ්ඩාරණායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට විරුද්ධව පෙත්සමක් අත්සන් කිරීම නිසා කුප්‍රසිද්ධ අසූව දශකයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩ තහනමකට ලක්වීමට සිදුවීමය. ගැඹුරු හඬකින් කියූ ඒ පාඨය මතකයේ කිඳා බැස ඇත්තේ  ඒ වැකියේ රිද්මය නිසාද හඬ නිසාද යන්න නොදනිමි; හින්දි චිත්‍රපටියක ප්‍රචාරක පටයේ අඩංගු වූ ඒ සම්පූර්ණ වැකිය නම් "ලඳුනි මට සමාවන්න - මා ඔබට ද්‍රෝහි වූවා නොවේ පියෙක් නැති දියණියකට පියෙකු වූවා පමණි" යන්නය. ඒ ගැඹුරු ස්වරයේ හිමිකරුනම් බණ්ඩාර කේ විජයතුංගයන්ය.

කේ ඩී කේ ධර්මවර්ධන, බණ්ඩාර කේ විජයතුංග හා ප්‍රේමකීර්ති යන ත්‍රිත්වයම අකාලයේ අප හැර යාම, සූර්‍යශංකර් මොල්ලිගොඩයන්ගේ වියෝවෙන් කම්පාවූ සුනිල් ශාන්තයන්ගේ "සුමිහිරි සුවඳැති මල් ඇයි මෙතරම් හනිකට පරවෙන්නේ" සිහි නොකරත්ද?  ප්‍රසිද්ධව ඇති, නිවේදක හා ගී රචනා කුසලතාවයන්ට අමතරව, බණ්ඩාර කේ විජයතුංගයන් චිත්‍ර ශිල්පියකු ලෙසත්, ප්‍රචාරක නිලධාරියකු ලෙසත් , කවියෙකු ලෙසත් වෙසෙස් කුසලතා දක්වා ඇති බව කල්‍යාණී විජයතුංග මැතිනිය විසින් එළිදක්වා ඇති "සුලඟ වගේ ඇවිදින්" ගීත එකතුවේ එයි. බණ්ඩාරයන් ගැන නූතන සහෘද පරම්පරාවනට දැනගැනීමට මංපෙත් සලසමින් ඔහුගේ ගීත එකතුවක්, ඔහුගේ වතගොතද සමගින්ම එසේ ප්‍රකාශයට පත් කර තිබීම ගැන කල්‍යාණී විජයතුංග මැතිනියට බෙහෙවින් කෘතඥ වෙමි. මහැදුරු සුනිල් ආරියරත්නයන් විසින් බණ්ඩාරයන් එහි හඳුන්වා දී ඇත්තේ "ප්‍රේමාවනාද්ධ ගීත රචකයා" නමිනි.

බණ්ඩාරයන් විසින් රචිත ගීත ගොන්නෙන් සෑහෙන ප්‍රමාණයක් රසවිඳ ඇති මට, ඔහුව හැඳින්වීමට මගේම වචනයක් සොයද්දී මගේ ශබ්දකෝෂයේ දිලිඳු ස්වභාවය මැනවින් පසක්විය.
"මහ වන පියසෙක අඳුරු ගුහාවෙක - යම් දිනයක ඔබ සඟවා තබනෙම
ඉරු ‍රැස් බිඳකුදු ඔබෙ රුව දු‍ටු සඳ - ඉරිසියාවෙන් පිරවෙයි මා හද" 
සිතක හටගන්නා ඉරිසියාවක් මීට වඩා කාව්‍යම ලෙස ඉදිරිපත් කල හැකිද? ඔහු ගී ලියා ඇත්තේ කාල තරණයෙහි යෙදෙමින් අපේ සිත්වලට අවේශ වී යැයි සිතමි. නැත්නම් අපේ සිත්හි පතුල මෙසේ අතගාන්නට තරම් ඔහුට කෙසේ හැකිවිණිද?

"සඳ උතුරා ගංගාවේ - ඔබේ රුව දෝ මැවුණේ",
--------------------------------------------------------
"මානවිකාවෙනි හෙට හිරු කිරණට ටිකිරි සිනාවක් මුසු කරවනු මැන"
ඇගේ වතත් සොබා සිරියත් මෙසේ වෙන්කල නොහැකි ලෙස බැඳ දමන්නට මගෙන් අවසරයක් නොලබාම ඔහු එඩිතර වී ඇති සැටියක්!!

"කල්පිතයක් මැද තනිවූ පමණින් මුව ගොලු ලාගෙන හිඳිනු එපා" ඔහු ඉල්ලන්නේය. අපි ඔහුගෙන් ඒ වචන ණයට ඉල්ලගෙන පුනුරුච්චාරණය කරමු. ගෙදර හබ නිසා ගෙදරින් පිටවූ ප්‍රේම් මුව ගොලු  නොලා හිඳිමින් අනෙක් පාර්ශවයේ දුක් ගැනවිල්ල ගැන මෙසේ ලිවීය.
"මා එක්කලා අමණාපව වී දබර - දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර".
එහිදී බණ්ඩාරයන් මේ ලියන්නේ තමන්ගේම සිතිවිල්ලයි
"ඉන්දීවරියේ හඬනු එපා - පියෙකුගෙ සෙනෙහස ඔබට අහිමි නැත - මා නෙත් කඳුලින් පිරෙන තුරා
මෙළොවට ඔබ ආ පළමු දිනේදී - කිරුළු පැළැන්දෙමි දිවිකතරේ
ඒ අභිමානය සි‍ඳෙනු බි‍ඳෙනු නැත - නැවතත් හමුවන තුරු සසරේ
සිරුරින් ඔබ ලඟ නොසිටිය පමණින් - පියකු නොමැති යයි සිතනු එපා
සදා කාලයෙන් සදා කාලයට - ඔබේ උරුමයයි ඔබේ පියා". 
මේ  සටහන තබනාතුර කෝදුරුවෙක්වත්  ඇසෙහි ගැ‍ටුණාදෝ?
එසේ නැත්නම් සිහින් පටලයකින් දෑස වැසී ගියේ ඇයි?

මහැදුරුතුමන්ගේ "ප්‍රේමාවනද්ධ" වචනයෙහි තේරුම මුලින් දැන නොසිටියා කියා පාඩුවක් වී නැත - බණ්ඩාරයන් ඇසුරෙන්ම ඒ තේරුම් ගනිමි.
"සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි - මා තේරුම් ගනු ඔබට නොහැකි නම් -  ඔබ තේරුම් ගනු මටද නොහැකි නම්",
..........................................................................................................................
"කෙලෙසද දෑතට දෙපයට ලා ඇති - විලංගු ගලවා නිදහස් වන්නේ - හමුවෙමු සුවබර තවත් සැඳෑවක",
.........................................................................................................................
"ඔබ වෙනුවෙන් සැදු දහසක් මාළිග - මහ වන වදුලක සැඟව ගියාදෝ"

හිත රිදවා ඈතකට යන්න මාන බලන ඇයටය මේ...
"සත් සමුදුරු තරණය කොට දුරු රටකට වඩින්නියේ -  මගේ සිතයි මගේ හදයි  - ඔබත් සමග ‍රැගෙන යන්න
එරට නුහුරු පරිසරයක - විලාසිනියේ ඔබ තනිවේදෝ - එවිට සිතනු මැනවි ලියේ - ඔබේ තනියට හිතක් ඇතේ  - ඔබේ තනියට හදක් ඇතේ
එරට මහරු විසිතුරු මැද - මෙරට ඔබට අමතක වේදෝ - එසේ වුවොත් නොපැතු ලෙසේ - මට ඉන්පසු සිතක් නැතේ - මට ඉන්පසු හදක් නැතේ"

ඔහුගේ ගී රසිකයනට "කවදා කොතැනකදෝ -කෙලෙසකදෝ - අතීත ආත්මයක මා ඔබ දු‍ටුවේ..."  කියමින් තැවෙන්නට කාරණා නැත, ඒ "මාද ඔබම විය - ඔබම මාද විය" ලෙසින් ඔහු අපම වී ඇති හෙයිනි.

එක ලෙස වටිනා මිණි මුතු පිරි මංජුසාවකින් කැමතිම කිහිපයක් ‍තෝරාගැනීම හිත රිදෙන කාරණාවකි. දුෂ්කර ක්‍රියාවකින් පසු, මා කැමතිම බණ්ඩාරයණ්ගේ නිතර නෑසෙන ගී කිහිපයක් ඔහුට ගෞරවයෙන් මෙලෙස සිංහල වෙබ් අවකාශයේ සටහන් කර තබමි.

සිතට නිවනක් නැති හැටි...

තරු මල් පලගත් අහස බලා හිඳ - දෙනෙත් පියූ සඳ
මීදුම මැද්දෙන් - ඔබේ මුහුණුවර මැවී පෙනෙයි මට....

ජීවිතයක රන් සිහින නාය ගිය - කඳු‍රැල්ලක් මැද්දේ
ආදරයක එක සිහින සිතාරෙක - හඬ පමණක් ‍රැව්දේ
ඒ හඬ එක් වී දහස් වාරයක් - දෝංකාර වෙද්දී........

අතීතයේ එක් සිහින සැඳැවක - දෙවැට දිගේ එද්දී
දු‍ටුවෙමි ඔහුගේ සිහින මනාලිය - විලස ඉවත යද්දී
ඒ රුව එක්වී දහස් වාරයක් - හිතෙහි ජනිත වෙද්දී.........
සංගීතය හා ගායනය වික්ටර් රත්නායක

වෙන හදක් කුමටද...?


සඳ මුතු මල්දම් සිරස පැලඳගෙන
ඉඳු සැව් දෙබැමින් අනඟ හීය ගෙන
මම එමි ඔබ වෙත හෙට දිනයේ...

සත් සමුදුර වුව තරණය කර එමි
ගිනිගත් කතරට වුවුද නොබා එමි
ඔබ යන මග මා සෙවනැල්ලක් ලෙස
සසර පුරුදු ලෙස දෙපා නගන්නෙමි...

ජීවිතයට අන් පැතුමක් නොමැතිය
යායුතු අන් කිසි මගකුත් නොමැතිය
එකම පැතුම සහ එකම මගද මට
ඔබ ගැන සිතනා සිතුවිල්ලයි...
සුජාතා අත්තනායක / ඔස්ටින් මුණසිංහ

 නොමියෙන සෙනෙහස....


මිණිමුතු නැහැ මට ඔබ සරසන්නට
ඇත්තේ හදවිල පිපි සුදු මල...
දසයොදුනක දුර සුවඳින් මත්කල
සිය පෙති රන් දැල හද පිපි මල...

තරුමල් අතු අග දිළි සැණකෙළි දින
ඔබ මගෙ දෙනෙතට නව දසුනක් වින...
අද ඔබෙ දෝතට මගේ දායාදය
ජීවිතයක් කැටි කල මේ ගීතය...

දඹරන් පටසළු වෛරොඩි රතුකැට
සොඳුරියෙ කුමටද විසිතුරු මාළිග....
නොමියෙන සෙනෙහස අද අප බැඳි කල
බිලිඳු හඬෙක හෙට තව සම්පත් ඇත...
විජේරත්න රකාගොඩ / ජයතිස්ස අලහකෝන්



Read More!

සැඳෑ මිහිර....

හැන්දෑව : දවසේ මෙහෙවර නිමවන්නන්ට ක්ෂේම භූමියකි. තවකෙකුට ගොදුරු සොයන කණිසම ඇරඹෙන වෙලාවය. රාත්‍රී වැඩමුරයට පිටත්වන්නන්ට එලියට බහින්නට කාලයයි. ස්වාමීන් වහන්සේලාට 'විකාල භෝජනය' නවන්වන්නට සුදුසු කාලයයි.

'සැන්දෑවේ රන් වලා - සයුරේ ගිලී පාවෙලා
අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ - ඔබ ඇයි මග තනිවෙලා....'

ගෙවල් මායිම්, උස් තාප්ප වලින් වෙන් නොවුණු මා කුඩා කල, සැඳෑ ඉරු ‍රැස් බොහෝ වෙලාවක් යනතුරුම ගෙයි ජනෙල් වලින් ඇතුල්ව, බිත්ති වල බොඳවුනු හෙවණැලි මතුකලා මතකය. සෙමින් සෙමින් කහපැහැයෙන් තැඹිලි පාටටත් එයින් රත් පැහැයටත් හරෙමින් ඒවා බිත්ති දිගේ ඉහලට යනු මා බලා සිටියේ දුකිනි. දවස තිස්සේ අප හා උන් හිතවතා අප හැරයනවා නේදෝ වැනි හැඟීමක් මා පෙලීය. අදද ඒ හැඟීම හිතේ කොණක නැතිවාම නොවේ.  එහෙත් ඔහුටද විවේකයක් ඇවැසිය...

"හිරු දිය ගොඩ ගිනියම් කරලා
ලොව වටේම රවුමක් දුවලා
හති අරිවී මුහුදේ ගිලිලා හැන්දෑවේ"

බලාපොරොත්තු, අලුත් අරමුණු, සැලසුම්, සමග නැගෙන උදා  හිරු‍ රැස්, දහවලේ සටනේ යෙදෙන චණ්ඩ හිරු‍ රැස්, හැමදාමත්  මට සුවපහසු හැඟීමක් ඇති කරයි. දවස පුරා විඳි බලාපොරොත්තු කඩවීම්, නින්දා, අසාර්ථක සැලසුම්,  සැඳෑ හිරු ‍රැස් සංකේතවත් කලාවත්ද?

'... වෙහෙස වෙලා ගෙයි හිමියෙක් ගෙදරට එන්නා
ඒ බව දු‍ටු සොඳුර ඇවිත් ඔහු පිලිගන්නා
ඔහු දරු දෙන්නා ගත එල්ලෙන්නා
ආදර පෙන්නා සිඹ සනසන්නා...'

හිතවතුන්, හුරු පුරුදු පරිසරය සියල්ලන්ගෙන් ඇත්ව වාසය කරනා ඇත්තන්ට පසුතැවිල්ලට, කන්ද කෙන්ද කර සිතීමට රත් පැහැ සැන්දෑ අහස නොමද රුකුල් සපයයි...

'ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා - සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
සීත සඳ නැගේ පෙරඹර කව්ළු දොර අයා - ඔබ තාම නෑ දයාවියේ මට ආදරෙයි කියා...'

නිදා ගන්නට කාලය ඇවිත් නැත. අනෙක් අතට නැවත ක්‍රියාශීලී වන්නට බැරි තරමටම දෛනික රාජකාරි වලින් ගතෙහි ජවය පිරිහී ඇත. දවස පුරා දු‍ටු විසූක දස්සන වලට තවත් ඒවා එකතු කිරීමට නම් හැන්දෑව කවුලුවක් නොවේ... රන්වන් වලා හිත රිදවමින්ම නේක රටා මවයි....

'... හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා...'

අද ඉ‍ටු කරන්නට බැරි වූ දෑ සිතට පෙලගැසී එන්නේ දියෙහි එබූ රබර් බෝලයක් මෙනි. මා මෙන්ම, මගෙන් රිදුම් ලැබූ අයද, හෙට දිනයේ ඒ පෑරුණු තුවාල වලට සහනයක් ලැබේදෝයි බලා සිටිනු ඇත...

'...සැන්දෑ අහස වගේ - සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ - මා රිදවන්නද සිතුවේ...'

සිත් රිදවී දෙනෙත් වල මතුව ආ රත්පැහැ අතුරුදන්ව, කාන්තිය විහිදෙන කාල සීමාව, හැන්දෑවේම, නොපමාව මතුව ඒනම් කොපමණ අපූරුද?

කිරණින් සොමි සඳ බබලන - මවමින් රස සිතුවම්
සැනසුම් සුවයෙන - සිතු පොබයන - සැඳෑ මිහිර මනරම්

රන් තරු කැට මාලයයි - නිල් තරු කැට මාලයයි
සඳ කොමලිගේ බඳ වට දිලි - රුවන් වලා සේලයයි
රන් ස්වරයෙන කන් පිනවන - කීර කොවුල් රාවයයි

කිරණින් සොමි සඳ බබලන - මවමින් රස සිතුවම්
සැනසුම් සුවයෙන -  සිතු පොබයන - සැඳෑ මිහිර මනරම්

සිත් නලවන - මත් කරවන - පත් අසිරිය - දෙන හැඟුම්
නෙත් අලවන - අත්  ලෙළවන - ලක් මිහිරිය - වන ‍රැඟුම්
සිඳු රළ පෙළ දෙන ගිගුම් - බමන බඹර නගනගුම්
හඬ පසතුරු - දෙන නිරතුරු - ලෙස විසිතුරු - ලොව ‍රැඳී

කිරණින් සොමි සඳ බබලන - මවමින් රස සිතුවම්
සැනසුම් සුවයෙන -  සිතු පොබයන - සැඳෑ මිහිර මනරම්


Read More!

"Good 'Morning' Stanley...!!



නිමිත්ත: උපේන්ද්‍ර සොයුරා ලියූ සටහන හා එයට රවීන් සොයුරා එක්කල සටහන්...

වාසනාව වැඩ ඉන්නේ.... 
විමන් තුලද දෙවියන්නේ.... 
නැහැ එය ලොව වැජඹෙන්නේ.... 
උත්සාහෙන් මිනිසුන්නේ.... 

පිපෙනා සුවඳ සිතිවිලි හදවතේයා ....
පූජා කරන්නේ දාඩිය වෙතේයා ....
බිම කල සිතට මහ සතුටක් දැනේයා.... 
මිනිසුන් තරම් බලයක් ලොව නැතේයා ....

පුතේ දුවේ මේ අහන්න ....
නොවහල් දෙනෙතින් බලන්න.... 
සුමග දිගේ පෙරට යන්න.... 
යා හැකි දුර පා නගන්න.... 

ජය ලද වෙලේ ආඩම්බර නොවේවා.... 
වැරදුනු කලේ වත මුකුලිත නොවේවා.... 
දුක සැප දෙකේදිම හසරැලි නැගේවා.... 
සිතුවිලි තරුව එඩිතර වී දිලේවා.... 

පුතේ දුවේ මේ අහන්න.... 
නොවහල් දෙනෙතින් බලන්න ....
සුමග දිගේ පෙරට යන්න ....
යා හැකි දුර පා නගන්න.... 

ඕන්නම් බාගන්න....

ගී පද රචනය: ආර් ප්‍රේමදාස ශූරීන් 
තනුව: ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතවේදියානන්
ගායනය: රාජ්‍ය සංගීත කණ්ඩායම
Read More!

සැනසී නුවන් තලාවේ...

මී මැස්සෝ කණ්ඩායම විසින් "ටික වෙන්න නාලා - කොන්ඩේ කඩාගෙන" ලෙස ගැයූ ගීය "ටික වේ....න්න නාලා" ලෙස අදිමින්, තවත් එබඳුම ගී ‍රැසක් සමග අමුණමින් ගයා "අල"  කිරීමෙන් පසුව දැන් සෑහෙන කලක් ගතවී ඇත. "ඇවිලේ සැමදා රශ්මිය විහිදා - ඉටිපන්දම තනියේ" දැන් සාදයකදී වත් අසන්න නොලැබේ.  සාද වලටත්, විනෝද චාරිකා වලටත් සරිලන වර්ගයේ ගී සිංහල ගීතාවලියේ එමට ඇත. එහෙත් ඉහත කී අල කිරීම් නිසාදෝ දැන් තරමක වේග රිද්මයකින් යුතු මනරම් ගී බොහොමයක් යටපත් වී ඇත. විනෝද චාරිකාවලදී හෝ සාදයකදී "මින්දද හී සර" ගයන්නට සැරසෙන්නෝද අඩු නොවේ.

සාජ්ජ, බජව් පසුකර දැන් අපි "පැදුරු පාටි" යුගයට අවතීර්ණ ව ඇත. සමන් අතාවුදහෙට්ටි ඇතුලු රසවතුන් කරළියට ගෙනා ආ, දල වශයෙන් මැද පන්තියේ විනෝදාස්වාද කටයුත්තක් වූ පැදුරු පාටිද ගලායන්නේ එකම රිද්මයකටමය.  පැදුරු පාටියකට අඩුම ගනනේ සර්පිනාවක් (හෝ සමාන සංගීත භාණ්ඩයක්) හා තබ්ලාවක් නැතිවම බැරිය. එහෙත්  බොහෝ එබඳු සාද වලදීද අසන්නට ලැබෙන්නේ එකම පන්නයේ ගීත වීම කණගා‍ටුවට කරුණකි. අමරදේව (ඒකෙනුත් මහගම රචනා!!!), ගුණදාස කපුගේ, නන්දා වික්ටර්, නීලා මේ සාද වලදී ගැයෙනු අසා මට නම් හැබෑවටම තිත්තවී ඇත. රුචිය එකිනෙකාගේ වෙනස් බැව් විශේෂයෙන් කීමට ඇවැසි නැත. මේ මාගේ රුචියයැයි කීමට ඒ බාධාවක් නොවේ යැයි එලෙසින්ම සිතමි!

මාධ්‍ය වලිනුත් නිර්මාණය කෙරෙනුයේ / කරණුයේ මීටම සමාන වටපිටාවකි. ගී පද රචකයෙක් ගැන කථා කලහොත් ඒ ප්‍රේමකීර්ති, මඩවල, මහගම, ඩෝල්ටන් වීමට බොහෝ ඉඩකඩ ඇත. ගී හාරදාහක් පමණ ලියූ හේම ශ්‍රී ද අල්විස් වැන්නවුණ් ජීවමානව, බෙහෙවින් ආර්ථිකව අබල දුබලව සිටියද (රෝගී ව ඉන්නා අයිරින් ද අල්විස් මහත්මියද ‍රැක බලාගනිමින්) ඔවුන් මාධ්‍ය තුලින් එළියට එන්නේ ඉතාම කලාතුරකිනි. මෙලෙස අඩු ලෙස මාධ‍ය තුලින් දිස්වෙන තවත් කලාකරුවෙක් වන විජේසුන්දර පොලොන්ඕවිටයන් ගැන මම කලින් කියා ඇත. පරසතු මල්හී බොනී මහත්තයා විසින් සංකේතවත් කල (සල්ලාල මොඩලයේ වුවුද!) සහෘද  අර්ථපතීන් සොයා ගැනීමට මෙතරම් උගහට වන්නේ සාමාන්‍ය සරල රසවතුනුත්, රසකැවිල්ලක් තලු මරා කනවාට වඩා රස සිඳී හංකඩයක් වූණු පසුවද දිගින් දිගටම, කිසිඳු රහක් මෙරක් නැතිව හපන "චූවින් - ගම් " සැපීමට රුචියක් ලබා ඇති නිසාමද?

අප අතරින් වියෝවුනු නොයෙල් ගුණරත්නයන් ගයන, හේම ශ්‍රී ද අල්විස් විසින් රචිත මොහොමඩ් සාලී විසින් සංගීතය යෙදූ මේ ගීය කෙතරම් අපූරුද? චූවින්-ගම් ඉවත දමමු!





Read More!

සපුමල් සුවඳක් සේ....

කාන්සිය නිවාගැනීමට ඉඳහිට සවන්දෙන ගීතවල වගතුග සෙවීමේදී  "රචිකාවියන්" මුණගැසුණේ අතලොස්සකි. සිංහල ගීත රචනාවලියේ පිරිමි පාර්ශවයට සාපේක්ෂව කාන්තා නියෝජනය ඉතාම අඩුයැයි හැ‍ඟේ. පුවත්පත් වල කවි පි‍ටු පුරා ඔවුන් ලියූ කවි බොහෝ ඇතත් ගීත රචනා විෂයේදී කාන්තා නියෝජනය එසේ වී නැත්තේ ඇයිදැයි යන්න තේරුම් ගැනීමට අපහසුය. යමුනා මාලිනී කිවිඳිය තවමත් ගී රචනා කරන අතර කුසුම් පීරිස් මහත්මියගේ, රත්නා ලංකා අබේවික්‍රම මහත්මියගේ ගී රචනා ඉඳහිට අසන්නට ලැබේ. "දයා ද අල්විස්", මේ ගී රචිකාවියන්ගේ පාලු අඹරේ දිදුලන තරුවක් බැව් නම් නොකියාම බැරිය. ඇගේ 'සූරියකාන්තා 'ගීත එකතුව මීට අවුරුදු පහලොවකට පමණ පෙර එළිදක්වන්නේ පසුපිටේ ඇති මෙවන් වැකියකිනි...

"කිසි ලෙසකිනිදු හමුවිය නොහැකි නිසා මගේ මේ ගීයක සියුම් වදනකින් ඔබේ හදවත ස්පර්ශ කරමි"

දයාද අල්විස් මහත්මියගේ මා කැමති ගී කිහිපයක් මෙලෙස සටහන් කරමි...

• ඉහත කී වැකියටම ගැලපෙන ලෙස ගුණදාස කපුගේ ශූරීන් විසින් වයලීනය හඬවමින් තනු යෙදූ පුන්‍යා කත්‍රිආරච්චි ගායනා කරණ  මේ ගීය නම් අදත් එක ලෙස ජනප්‍රියය...
"දැස වසාගමි ඔබ නොපෙනෙන්නට - සිහිනෙක දැවටී ඔබ එනවා
සිත සිරකරගමි ඔබට නොඑන්නට - සිතුවිල්ලක් වී ඔබ එනවා
.......................................
අහසත් පොලොවත් ඔබමද මාහට - නැතිවද ඔබ මා හැර යන්නේ
තහනම් දේසෙදි බැඳි බැමි බිඳදා - කෙදිනද ඔබ මා හමුවන්නේ"

• ගීයක් ලියාදෙන්නැයි මිල්ටන් පෙරේරා කල ඉල්ලීමකින් ඈ ගී රචනා ලොව පළමු පියවර තබන්නීය. තනුව තුමූම යෙදූ මිල්ටන් පෙරේරා එය මෙලෙසින් ගායනා කලේය...
"කඳුලු අතරට සිනහ ‍රැළි වෙමි - විඩාවට සෙවනක් වෙමී
ජීවිතේ පොත පුරා ලියැවෙන - ආදරේ කවියක් වෙමී"

• සනත් නන්දසිරි විසින් තනු යෙදූ අපූරු ගීත යූග්මයක් දයාද අල්විස් ගී එකතුවේ ඇත (සනත් නන්දසිරි විසින් මෙබඳුම "ගී - පිලිතුරු ගී" යුගලක් තවත් වරෙකද ගයා ඇත - "ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ" හා "ආකාසේ තාරුකා මූදෙ මඩ වුණත් අරන්දෙන්නට කෝපි කඩේ දාන් අදින ගැටව් හපන්නූ" යන ගී ඒවායි)
"සහසක් පැතුමන් ඉපිදී මියගොස් - ඉතිරිව ගිය එක පැතුම දරාගෙන
ඇහැල මහට අඩසඳ පෑයූදා - මතකද සිරි දළදා වැන්දා
..................................
අහිමිව ගිය සම්පතට වඩා - හිමිවූ දුක මිහිරියි සලකන්නම්
ඔබ වැනි කෙනෙකුට නෑනා වීමත් - පෙර පිනැකැයි මා සලකන්නම්" - සනත් / මල්කාන්ති

"සහසක් පැතුමන් නැත මා පැතුවේ - එකම පැතුම පමණකි සිත ‍රැඳුණේ
හද අඹරෙහි අඬසඳ වැනි නෑනේ - මතකයි සිරි දළදා වැන්දා
................................
අහිමි සැපත මිහිරියි සිත පුරවා - තැවෙමු හඬමු මේ භවය පුරා
මතු භවයෙත් මගෙ නෑනා වෙනු මැන - අදට වඩා අනුකම්පාවෙන්" - සනත් නන්දසිරි

• සිසිර සේනාරත්නයන් තනු යොදා ගැයූ මේ ගීය නම් අපූරුම එකකි...
"අහසේ ඈතට - පාවී යනවා - සරුංගලේ..... සරුංගලේ......
...............................
සැරසිලි දාලා කවුද හැඩකලේ - සරුංගලේ නෑ දන්නේ
අන්න ඒ ලෙසේ නිදහස සොයනා - ඔබෙ සිත මා සසලන්නේ
...............................
නොපෙනෙන ඈතට ඉගිලී ගියදා - ඉරණම කෙලෙසද වන්නේ
ඉරුණු සරුංගල් තැන තැන වැලපෙණු - නැතිදෝ ඔබට පෙනෙන්නේ"

• ස්වයංවරයක් අභියස හිඳින නෙළුමකටයි මේ පැණය දයා ද අල්විස්ගෙන්
"හිරුට අයිති බව හිරු පවසනවා - විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා - ඔබ කාටද හිමි නෙළුම් මලේ
.....................
හිරු ලඟ අහසේ රුවට පිපීයන් - විල් දිය තුල සැඟවී සැනසීයන්
ආදරයක් නැති මිනිසකු දෑතට - නෙළුමේ නුඹ හසුවන්න එපා" - රෝහණ / නීලා
රචිකාවිය නෙළුම් මලකට කියූවක් වුවුද මේ ගීය, ගීතයේ ස්වාමිත්වය වෙනුවෙන් සටන් වැද, ඉනික්බිති අපූරු ගී නිර්මාණ ආර්ථික අරමුණු වෙනුවෙන් හුවමාරු වී, අවසන, එහි රසය සම්පූර්ණයෙන් නැති කරන්නන් නිසා කල ඉල්ලීමක්දෝයි මට සිතේ...

• වැරදීම මිනිස් ගතියකි!
"යලි උපදින්නම් අලුත් කෙනෙකු වී - නැවුම් ලොවක නව හිරු සඳු සෙවනේ
ඔබේ සෙනෙහසේ සුවය ලබා - සුවය ලබා
......................
යලි උපතක් දුන් සෙනෙහේ නාමෙන් - දෙපා සිඹින්නම් මෙළෙසින් මතුදා
දෙවියෙකි ඔබ මේ මහ පොලවේ - මහ පොලවේ" - රෝහණ / නන්දා පතිරණ

• ලක්ෂ්මී දෙවඟන පැමිණෙන විට එතුමියට ඉඩදීමට කවුරු හෝ පිටවිය යුතුය!
"එහෙත් මෙහෙත් නෑ මුහුණ පෙනෙන්නේ - පාළුව යාළු වුණේ
පැතූ වදන් නෑ ලබැඳි සිනා නෑ - කාලය ඉබි ගමනේ
...............................
ටිකින් ටිකට අඩි පාර පළල් වී - රිය සළකුණු ඇඳුණා
ඊයේ නිවහන මහ මැදුරක් වී - අංගනයද සැදුනා
...............................
කහවණු හිනැහෙයි අද මතු මහලේ - මා හිත බිම් මහලේ
හිමියනි මා නෙතු කඳුලු බලන්නද - කහවණු නළවන්නේ
...............................
බුමුතුරුණක් කර යසිසුරු අතුරා - හිත්මල එහි පරවී
පළිඟු විමන් තුල දුක් සඟවන්නද - සැදුණේ රන්කාසී" - රෝහණ / නිර්මලා

• හෙක්ටර් සිල්වා හා පුන්‍යා කත්‍රි ආරච්චි ගයන මේ ගීයද දසක තුනක් වත් අඩුම ගනනේ පැරණි යයි සිතේ. මිදි යුෂ මෙන් පැරණිවන තරමට අගය වැඩි වන හැටි!
"මට මතකයි ඔබ පිපිලා උන්නා - දුනුකේ ගසක සුදූ
මට මතකයි ඔබ සොයලා ආවා - බඹරෝ සුවඳ මගේ" - තනුව හෙක්ටර් සිල්වා
මේ ගීය පිළිබඳ අපූරු සටහනක් ගී රස විනිස හි දක්නට ඇත

• අසමාන ආදර අන්දරයක කථාව ඇගේ පෑන් තුඩින්!
"සපුමල් සුවඳක් සේ සීතල රෑ යාමේ - හද කුටියට ඔබ හිමිහට වැඩියා - කිසිවකු නෑ දු‍ටුවේ
...............................
හැන්දෑ වලාකුලේ අටවක සඳ මඩලේ - මේ හැම තැන ඔබ සැඟවී උන්නා - මා පමණයි දු‍ටුවේ
...............................
ලොව නිදි අඳුරු පැයේ සීපදයක් වැන්නේ - සවනත සනසා මා ලඟ උන්නා - ‍රැය පමණයි දු‍ටුවේ
...............................
සපුමල් සුවඳක් සේ යළි නෑ හැර යන්නේ - මහ මෙර සේ ඔබ නොසැලී උන්නා - ඇයි මුලු ලොව දු‍ටුවේ?"
- දයාරත්න / අමරා
.............................................................................

ප්‍රේමය, විරහව, තනිකම, පාලුව යන නිමිති කවියට, ගීයට ඉතා සුලබ මාතෘකා වුවද ඈ ඒවා ස්පර්ශ කර ඇත්තේ ඇයටම විශේෂිත වූ ආකරයටය. තනු නිර්මාපකයින්ද ඇගේ සිතැඟි එලෙසින්ම වටහා ගත්තාක් බඳුය. නිරංජලා, නිර්මලා, ඉන්ද්‍රානි බෝගොඩ යනාදීන්ගේ මුවින් ගැයෙන්නේ ඇයගේම හඬ යැයි වෙලාවකට මට සිතේ. මම ඈගේ සෑම ගියකම පාහේ සැඟවුණු කාංසියක් දකිමි. මෙහි කථා නොකල "කඳුරැල්ලෙන් එහා ගමට ඔබ කැඳවා ගිය මාවත - කඳුලැල්ලෙන් වැසී ගියා" (අබේවර්ධන), "ආපසු එනවා මගේ සිත ඉබි ගමනින් - ඔබ ඈතක රඳවා" (ප්‍රියා), "මහා මෙරක් ලෙස ඔබ ගැන සිතුවද - වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ" (නිර්මලා), "අකලට වට මහ වරුසාවක් සේ - අසුබ දිනක ආ සුබ පැතුමක් සේ" (නිරංජලා), යනාදී ගී බොහොමයක මම ඒ සැඟවුණු කාංසිය විඳිමි.

ගුවන් විදුලි නාලිකාවලත් රූපවාහිනී නාලිකා සම්මුඛ සාකච්ඡා බොහොමයකත් දක්නට අසන්නට ලැබෙන්නේ එකම චරිතය. අසන්නේද එකම ප්‍රස්නයන්ය. "ඔබේ ජීවිතේ අමතක නොවන සිද්දි?" "පලමු පෙම?" "ඔබට ඔබේ ගමන් මගේ දිරිදුන් අය?" ඒවා අතරින් ප්‍රසිද්ධ පැණයන්ය. වියත් ගුවන්විදුලි නිවේදිකාවක්ද වූ ඈ බඳු අයගෙන් ඒ ක්ෂේත්‍ර වල ඉන්නා අයට මෙන්ම, සරල කලාවන් රසාස්වාදනයේ යෙදෙන අප වැන්නන්ටද ඉගෙනීමට ඇති තරම් කරුණු තවත් ඇතියැයි සිතමි.

දයා ද අල්විස් මහත්මිය බොහෝ කෘතවේදීව සිහිපත් කරන අතර ඇය 'සූරිය කාන්තා' ගීත එකතුවට ලියූ පෙරවදනෙහි කොටසකින්ම නැවතීම තබමි.

"ගොරෝසු ව වචනවලින් නොකළ හැකි බොහෝ විශ්මය ජනක සුන්දර වෙනස්කම් ගීයකින් කළ හැකි බව මගේ විස්වාසයයි. නිසරුව වියළිව ඇති හදවතකට තෙතමනයක්දී, සුවඳමල් පුබුදුවාලීමේ හැකියාවක් මිහිරි ගීයක ‍රැඳී පවතී. මිනිස් වර්ගයාට හා සොබා දහමට ආදරය කිරීම, ජීවිතාවබෝධය ලබා දීම, ගීයකින් සිදුවිය යුතු මෙහෙවර ලෙස මම සලකමි . ගීයක් ඇසීමෙන් හිත සමාධිගතවී ඇතිවන සංයමයෙන්, අකාරුණිකත්වය බොහෝ දුරට පලායන බව දැකිය හැකියි. මා මේ අවබෝධය ලැබුවේ වසර විසි ගණනක් ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස ලද අත්දැකීම් තුළිනි. සිතක් ඉතා පහසුවෙන් ස්පර්ශ කල හැක්කේ ගීයකට පමණයි. එසේනම් ගීය, ඉතා වේගයෙන් සමාජ මෙහෙවරක යොදා ගත හැකි දූතයෙකු නොවන්නේද?දයා ද අල්විස් - 1997

ගීත අසන්න...
 


Read More!

බුදු ‍රැස්මි විදා ප්‍රාතිහාර්‍ය පෑ සඳපානේ....


පොල් කඩන්නාට ගස පාමුල සිට පැසී ඇති පොල් හරියටම විනිශ්චය කල නොහැක. එහෙත් ඉඩමේ අයිති කරු සමග අහවල් ගෙඩි කඩමියැයි වාදයෙහි එල්බ සිටීමට ඒ නො-දැනීමෙන් අවහිරයක් නැත. පුරුදු පුහුණු වූ සමහරෙක්ට මේ කර්තව්‍යය අනුමාණයෙන් කල හැක. එසේත් නැත්නම් වෙහෙස මහන්සිවී ගස් නැගීමෙන්ම ඒ කාරිය නිසි පරිදි කල හැක. ගසේ මදක් නැගුණු විට හාත්පස දර්ශණයෙන් වශීකෘතව සිටියහොත් අදාල කාරිය නිමකරන්නට නොහැකිවනු ඇත. ඒ හැටි උස නැති තැඹිළි ගස් බඩ ගා නැග්ගද වලල්ල දා උස පොල් ගස් වලට නැගීමට ඇවැසි පරිචය මා ලබා නැත්තෙමි. තමන් ලද දැනුමක් මෙන්ම නොලද දැනුමක් ගැනද විමසිලිමත්වීම මනාය. එහෙත් ඒ අවසාන ඵලය ගැන සමග ගැටගැසුණු උවමනාව සමගින්ය.

අප බොහෝ දෙනෙක් උදේ හවා "සිස්ටම්" වල දොස් දකීමටත් ඒවාගැන දෙඩීමටත් රුචිය. තම නිවසේ "සිස්ට'න්" එක වැඩ නොකිරීම වෙනම කාරණයකි! කව්සිළුමිණ මෙසේ කියයි - "තමා වරදස නො දිස්නේ - මෙරමා දොස් මැ දිස්නේ - නුවන් තමා මුත් බැහැරැ නහමන නොදක්නේ කිම්?

ජාති, ජරා, මරණ දුක් සේ දකිත්ද?? - උත්තරය "නැතිය" නම් බුදුදහම ඉගෙනීමෙන්, ඔබගේ වටිනා කාලය නාස්ති නොකරගන්න. ඔබ බලාපොරොත්තු වෙන වෙනත් ඵල නෙලා ගැනීමට බොහෝ විකල්ප, විමුක්ති මාර්ග ඇත. උත්තරය "ඔව්" නම් එයින් මිදෙන මං පෙත කියා දුන් දිවාකරයාණන්ට ගෞරව සම්ප්‍රයුක්තවී වහ වහා ශ්‍රද්ධා, ප්‍රඥා මාර්ගයන්හි ගමන ඇරඹීම ඇති බාධාව කුමක්ද?

අද අප මෙන්ම එදා සිටි දුහුනන්ද කෙලෙස් පාදම මත සිටිමින් නන්දොඩවණ කල්හි ශාඛ්‍යසිංහයානෝ කැණිමඩල පලා මැදුර සුණු විසුණු කොට සිංහ නාද පැවැත්වූහ. දාන, සීලයෙන් පෝරුගා සකස්කල බිම් මත්තෙහි භාවනා බීජ වැපුරුවහොත්, එයට උවමනා පරිචය ලබාගැනීමේ යුහුසුලු වුවහොත්, අවසාන ඵලය බලාපොරොත්තු වූ අයුරින්ම නෙලාගත හැකිවෙනු ඇත! නිර්වාණ ස්වර්ණ ද්වාරය නිරතුරුව අප සියල්ලන් වෙනූවෙන් සපුරා විවෘතව ඇත!
ඔබ සැමට සුන්දර නිර්වාණේ අභිනන්දන සැප ලැබේවායි මේ වෙස‍ඟේ පතමි!

ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින වෙනුවෙන් බොදු බැති ගී පෙලකි...

1. බුද්ධගයාවට ගිය ඇත්තෙක් කීවේ මේ ගීයේ තේරුම හැබැවින්ම විඳ ගැනීමට නම් බුද්ධගයාවේ අතිශය සීතල සුලං පහස විඳ බැලිය යුතුම වගකි.  ගුණරත්න අබේසේකර ලියූ "සුවදේ මට සීතල සුලඟ පවා - හිමි බුදු වුණු බුද්ධගයාවේ" ගායනය බෙග් මාස්‍ටර්ගෙනි

2. තෙරුවන් නැමදීම අපූරුවට ගද්‍යයක් ලෙස හුවා පාමින් ආචාර්‍ය අජන්තා රණසිංහ ශූරීන් විසින් ලියූ මේ ගීය ඉමහත් බොදු බැතිය දනවන්නකි. සංගීතය හා ගායනය විශාරද සනත් නන්දසිරිගෙනි;
 
"නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන් - සම්බෝධිරාජ පාද පද්ම - වන්දනා කරම්
ක්ලේෂ තාපයේ අනන්ත වේදනා ජලේ - නෞකාව දම් අමා වඳිම් - නමා නළල් තලේ
දෑගසව් රහත්  බුදුන්  මා සිතින් පුදා - වන්දාමි සඟ රුවන් - ගඳින් මලින් බැතින් සදා"


3. සී වීරසේකර ශූරීන් ලියූ එම් කේ වින්සන් ගැයූ මේ ග්‍රැමෆෝන් යුගයේ ගීය අදටත් එකසේම බොදු බැතිය වඩවයි;

"සිරි ගෞතම ශ්‍රී පාද වදිම් සමනළ කන්දේ - අභිනන්දන සැප පතනෙම් සුන්දර නිර්වාණේ
කල්‍යාණ පුරේ නා කැල සිරි ධර්මෙන පහදා - ආකාස තලේ වැඩ සිටි මුනි රාජා තෙදිනා
බුදු ‍රැස්මි විදා ප්‍රාතිහාර්‍ය පෑ සඳපානේ - තුන් ලෝ දිනු මුනි පාද වඳිමු පතමින මෝක්ෂේ - අමර සිරිබර මෝක්ෂේ
තුම්  ගුණැති සමන් දෙවියන් පිදු සේම තිලෝනා - සිරිපාද තබා ඉඳුනිල් මිණ මුදුනේ එදිනා
ලෝ වාසි දනන් සාධු නදින පූජා පානා - ත්‍රෛලෝහිමි සිරි පාද වඳිමු නිවන් පතාලා - සිරි නිවන් පතාලා"


4. "වඳිමු සුගත ශාඛ්‍යසිංහ - සසර දිනූ බුදු පියා - රමණී මන්දාර කුසුම් - කරමින පූජා - බැතියෙන මේ ගී ගයා" අමරදේවයන් විසින්ම ලියා, තනු නිමවා, ගැයූ මේ ගියේ අග්‍රගන්‍ය භාවය කීමට අ‍ටුවා ටීකා අවැසි නැත. මෙබඳු ගී තව තවත් නිමැවේවායි - කරමි මා ප්‍රාර්ථනා!

5. "සල් වනේ ලකල් - දුල් සල් වනේ ලකල්" සිදුහත් කුමාරෝත්පත්තී වර්ණනාවක යෙදෙන මේ ගීය ගයන්නේ ග්‍රේටා ජෙනට් ද සිල්වාය. ග්‍රැමෆෝන් යුගයේ ගීයක් වන මේ ගීයේ තනුව හා සමගාමීව  එම් කේ වින්සන් විසින් "තෙල් මල් පුදා වඳිම්" ලෙසින් ගැයූ තවත් බොදු බැති ගීයක්ද වෙයි. තනුව හින්දි තනුවකි

6. "මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුලං ‍රැල් පාවෙනා - සම්බුදුන් සම්භාවනීයයි සාධු සාධූ වන්දනා" කිංකිණි නාද චිත්‍රපටියට නිහාල් ජයසේන විසින් රචිත පී එල් සි සෝමපාලයන් විසින් තනු නිමවා සුජාතා අත්තනායකය මොහිදීන් බෙග් ඇතුළු පිරිස විසින් ගායනා කල ගීයකි

7. බන්දුල මල්ලිකාවගේ චරිතය අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය ප්‍රකට කරවන්නකි - ඈ, යුධයට ගිය සැමියාත්, පුතුන් කැලත් ජීවිතක්ෂයට පත්වූ බව දන්වා ලැබුණු තල්පත ඉනේ ගසාගෙන යෙදෙමින් හුන් දන්බෙදීමේ කාරිය දිගටම කරගෙන ගිය බව සාහිත්‍ය පොතපතෙහි සඳහන්ය. එවිට එක දැස්සක ගේ අතින් ගිතෙල් බඳුනක් බිම වැටී බිඳී ගියේය.  ඒ දුටු දන් පිළිගනිමින් හුන් සැරියුත් මා හිමියෝ “මල්ලිකාවනි, බිඳෙන ස්වභාවය ඇති දෙය බිඳී යන්නේය. ඒ ගැන සිත නරක්කර නො ගත යුතුය”යි කීහ. ඒ  ඇසූ මල්ලිකාවෝ ඉණෙහි රඳවා හුන් තිබුණු තල්පත  අතට ගෙන “රහතුන් වහන්ස, මගේ පුතුන් දෙතිස් දෙනාත් සැමියාත් මළ බව සඳහන් කොට ඇති මේ හස්න ලැබීමෙන් වත් කලබල නොවූ මම, දැස්ස අතින් ගිලිහී බිඳී ගිය ගිතෙල් බඳුන ගැන ශෝක කරම්දැ’යි කීවාලු.
"බන්ධුල ප්‍රේමී සි‍ටු කුමාරී - පංච කල්‍යාණී මල්ලිකා දේවී" - සිසිලියානා ඩයස් හා ටයිටස් පෙරේරා

8 "බුදු රශ්මිය විහිදේ - සම්බුදු සිරිපාදේ - දර්ශණ පූජනීය සමණල කන්දේ" සිරිපා සමය වෙසක් පොහොයෙන් කෙලවර වේ.  බුදු සිරි පා පහස ලැබූ සමණල කන්ද වෙස‍ඟෙහි කෙසේ නම් අමතක කරම්ද? ගායනය ලතා වල්පොල ඇතුලු පිරිසගෙනි. තනුව හින්දි චිත්‍රපටි ගී තණුවකි

9. "පාරමිතා බල පූජිත පූරිත - බුද්ධ දිවාකරයාණෝ" -  රන්මුතුදූව චිත්‍රපටයට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අතින් ලියැවුනු විශිෂ්ඨ නිර්මාණයකි. සංගීතය හා ගායනය ඩබ්ලිව් ඩී අමරදේවයන්ගෙනි.

10. "ක්‍රිෂ්ණජිනා ජාලිය හා" - චාගයට කොපමණ දුරක් යා හැකිද??

11."පසක් කොට ඇති සසර දුක් ගිනි - උතුම් සම්බෝධිය පතා - කෙලෙස් නේරංජාව තරණය - කලේ අප මහ බෝසතා"
සුනිල් සරත් පෙරේරා ශූරීන් ගේ අපූරු උපමා වලින් අලංකෘත මේ බැති ගීයෙහි ස්වර සංකලනයත් ගායනයත් ගුණදාස කපුගේ සතුය

12. "තණ්හා ආශා ඔලොගු කරේලා - මගතොට නොබලා - වගතුග නොඅසා - එළිය දකින්නද මේ යන්නේ - සැපත දකින්නද මේ යන්නේ"
එක මග යන පුතෙක් හා පියෙක් ගැන මේ ගීයෙහි කියවෙයි. ඔබේ ජීවිතයටත් ඒ පිය පුතුන් බලපෑමක් කලාද?? පටාචාරා චිත්‍රපටියේ එන මේ ගීතය සංගීතවත් කලේ ලයනල්අල්ගමයන්ය - නාද තනූ මාධූර්‍යය හා ගායනය අමරදේවයන් විසින්මය

සින්දු බාගන්න...


 කලින් බොදු බැති ගී වලට මං....
ශ්‍රී මුනිඳා නමදිමු දැන් -  ශ්‍රී බුද්ධ වර්ෂ 2556 වෙසක්
සක්කාය දිට්ඨි - ශ්‍රී බුද්ධ වර්ෂ 2555 වෙසක්
Read More!

මා ඔබ හඳුනා ගත්තේ ඒ සුන්බුන් අළලා...


තෑගි ගන්නට ලැයිස්තු හදන කාලයත්, ඒ එක්කම ආටෝරාසියක් ආර්ථික ප්‍රස්නත් සාදා දෙන, අවුරුද්දේ දෙකන්සෙන්ම ඩා බිඳු වැගිරෙන කාලය පැමිණ ඇත. ඉන්න හිටින්නට ගෙයක් දොරක් හදාගන්නා කාලයේ මට වැඩිහිටියෙක් උපදෙස් දුන්නේ ගඩොල්, හුණු වැනි දේශීය ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිලදී ගැනීමටද සුදුසු අලුත් අවුරුද්දට පෙර කාලයය කියාය. මිල ඉහල යනතුරු අට්ටි ගසා නොසිට ඉක්මණින් මුදල් කරගැනීමට විකුණන බැවින් සාධාරණ මුදලකට දෙපක්සයටම අසාධාරණයක් නොවන පරිදි ඒ කාලයට ඒවා මිලදී ගත හැක. ප්‍රායෝගික උපදෙසකි.

බලා ඉන්නවුණට 'මෙච්චර කල් රෙදි නැතිව හිටියාද' සිතෙන තරමට රෙදි පිළි තෑගි ලෙස ගැනීමට අලුත් අවුරුදු කාලයේ උනන්දුවක් ඇත. මම එහි වරදක් නොදකිමි.  ඒ ලැබෙන තෑග්ගක් 'අම්මා අවුරුද්දට දුන් කමිසය / කලිසම' යැයි සිතමින්, ඒ හැඟීමෙන්ම ඇඳුම දිරාපත් වනතුරුම භාවිතා කල හැකි බැවිනි. එසේ වුවුද මෙසේ යහපත් සිතින් ඤාති මිත්‍රාදීන් වෙත දීම සඳහා තෑගි ගන්නට උනන්දු වෙන අහිංසක මිනිසුන් අතර තෙරපෙමින් තම නුසුන් ආශාවන් සන්තර්පණය කරගැනීමට සැරි සැරූ අපූරු පුද්ගලයෙක් මහරගම පොලීසිය විසින් අල්ලා ගැනීමට සමත්ව තිබූ බවක් පුවත්පතක සඳහන්ව තිබිණි! අඳෝමැයි - අන් අරමුණක යෙදී උන් මිනිසුන් අතර නොමිනිස් ගති සොබා විහිදන්නට මිනිසුන් පෙලඹෙන මනෝ භාවය කවරක්ද??

හද ගී පොතටද ඒ පටන් ගත්දා සිට යම් යම් තෑගි ලැබී ඇත. කාංසිය නිවාගැනීමටත් මා කැමති සිංහල ගීත ජාල ගත කොට එක තැනක තබා ගැනීමට තිබූ වුවමණාවත්, නිතර ප්‍රචාරය නොවන රසවත් සිංහල ගී, සුලු මට්ටමකින් හෝ නැවත ඉස්මතු කොට දැක්වීමත් අරමුණු කොට ගෙන පටන් ගත් මේ කටයුත්ත වියතුන්, රසවතුන් හා දානපතීන් ගේ ආගමනය හේතු කොටගෙන මෙතුවක් කල් දක්වා කරගෙන ආ හැකි විය.

මේ කටයුත්තේදී මා මුලින්ම ඉතාමත්ම සතුටට පත්වූ දිනය නම් හෂිත අබේවර්ධනයන්ගෙන්  සුනිල් ශාන්තයන් ගයන 'හමල් මරූ - ජහස් සුයු - හස්සන් දල්ලා' ගීයට අර්ථකථන සැපයුණු දාය. බොහෝ ඇසූ පිරූ තැන් ඇති හෂිත, සීගිරි ගී පිළිබඳ ලියවුණු පරණවිතාණයන්ගේ සියලුම පොත් පත් වාගේ පරිහරණය කොට ඇති බවක්ද පසුව කීවා මතකය. තේරුමක් නොදැන පෙමින් බැඳුණු ඒ ගීයේ අපූරු සංකල්පනාව පහදා දීම හද ගී පොතට ලැබුණු මුල්ම තෑග්ගයි.

අහසින් කඩා පාත්වූවා මෙන් ඊලඟට ලැබුණේ  තාමත් චිරි චිරි හඬ දෙන ග්‍රැමෆෝන් ගී ගොන්නකි. ඒ බුරාතීනෝ නමින් තමන්ව හඳුන්වාගන්නා කෙනෙකුගෙනි. නමක් ගමක් බ්ලොගයක් නැති වුවුද බොහෝ බ්ලොග් අතර සැරි සරමින්, දන්නා යමක් වරෙක උපහාසාත්මකවත්, වරෙක ප්‍රහසනාත්මකවත්, වරෙක අතිශය වියත් බවකිනුත් බෙදාහදා ගැනීමට බුරාතීනෝ රුසියෙකි. පැ‍රැණි ගී අතර සැරි සරන්නෙකුට ඒ වාගේ තෑග්ගක වටිනා කම මිල කල හැකිද?

ඉඳහිට මුණගැසුණු පැරැණි කලාකරුවන් කිහිපදෙනෙකුන් හා තවත් පිරිසකුත් එකතු කර ඔවුනගේ සුභ සාධනය පිණිස යම් කටයුත්තක් කිරීමට කලෙක සිතක් ඉපිද තිබුණි. මේ පිලිබඳ ඒ හැකියාවන් ඇති අයගෙන් විමසා බලද්දී ලැබුණු ප්‍රතිචාර, ඊලඟට හද ගී පොතට ලැබුණු  තෑගියි. දුකා කලයුතු දැ 100% ක්ම වාගේ  ඇතුලත් සම්පූර්ණ සටහනක් ඉක්මණින්ම සදා එවා තිබුණි. නාලිනී රණසිංහයන් වෙනුවෙන් දායකත්වය දැරීමට නෙතු  ඉක්මණින්ම කැමතිවිය. ඒ, ඒ අවස්ථාව වෙන කාහටවත් යාවී දෝ යැයි මෙන් හදිසියකිනි. අතුල සෝමසිරි  හා කේ. සේන සඳහා දායකත්වයට කැන්ගරු දේශයේ රවී සොයුරා එක පයින්ම කැමති විය.  ශාලා ගාස්තු ගැන සංවාදයේ යෙදී සිටිනාතුර 'ආකාස කුසුම්' එක්වරම පවසා සිටියේ ඈ ඒ බාරගන්නා බවය. මගේ විශ්මිතය දු‍ටු ඈ එක් වරම ඇසුවේ 'ඇයි මදිද?' කියාය.  ඒ ඇගේ ත්‍යාගශීලිත්වයයි. බොහෝ කටයුතු සාර්ථකව නිමවා ගැනීමට හැකි යැයි පෙනෙනා මානයේ සිදුවූ යම් යම් කාරණා නිසා ඒ කර්තව්‍යය කල්දමන්නට සිදුවිය. වඳින්නට යන දේවාල සමහර අවස්ථා වල ඉහේ කඩා වැටෙනා බව ප්‍රස්ථා පිරුලකද සඳහන්ව ඇත.

ආයෙත් අලුතින්ම තැග්ගක් හම්බවිණි . ඒ තිසර ගෙනි. විමල් ජේ ශ්‍රියාරත්නයන්ගේ 'කන්දේ රන් සඳ උන්නා' ගීය ගැන සටහන පලකලාට පසුව ඒ කියවූ තිසර මා වෙත එවූයේ මා බොහෝ කලක් සොයමින් උන් ශ්‍රියාරත්නයන්ගේ 'සකුන්තලා' ගීයයි. ගීය රසාලිප්ත වුවුද සමහර පද ගායනයේදී ගීලී ඇති බවක් හැ‍ඟේ. මෙය විසඳා දුන්නේ  ඊ-මේල් කවිකාරියයි. ඇගේ වැඩුමල් සොයුරා හා ශ්‍රියාරත්න මහතා අතර ඇති මිත්‍රත්වය නිසා ගයන්නාගෙන්ම ගී පද වැල් අසාගන්නට මට හැකි විය. ඔහු හා දුරකථනයෙන් කල සංවාදය සැබැවින්ම අපූරුය. සරල තෘප්තිමත් විනෝදකාමී පුද්ගලයකු වන ශ්‍රියාරත්න මහතා හා කල ඒ සංවාදය වෙනමමම සටහනකට ගොනු කල යුත්තකි.

තෑගි දීම නොයෙක් ආකාරයෙන් කල හැක. ඇවසි වන්නේ හොඳ හිතක් පමණි. ඒ නිසා අලුත් අවුරුද්දට රෙදි කඩ ගානේ පොදි කන ජනී ජනයා ගැන කිසි ලෙසකින් හෝ අහිතක් මා සිතට නොනැඟේ. බරපතල මතවාද හරස්කොට ඒ මිනිසුන්ගේ අහිංසක වුවමනාව අඩු තක්සේරු කරන්නට මට සිත් නොදේ. හද ගී පොතට විත් 'නන්නාඳුනනා මාගේ අකුරු' වෙත තිලිණ පුද කල ඔබද එසේමය. තමන්ගේ දැනුම කාලය ශ්‍රමය හෝ ධනය යහපත් අරමුණක් වෙනුවෙන් යෙදවීමට ඔබද නොමසුරුය. ඒ ගැන බොහෝ සෙයින් කෘතඥ වෙමි. මහරගම පොලීසියෙන් අල්ලාගත් නන්නාඳුනන්නාටද අවුරුදු කන්න ගෙදර එන්න ලැබේවායි පතමු.

රන් මුදුව ගං දියේ කිඳුණා මතකය වළලා...
මා ඔබ හඳුනා ගත්තේ ඒ සුන්බුන් අළලා...
සකුන්තලා සකුන්තලා...

ශාපය මිනිසුන්ගේ ඊ පහර ලෙස වැදී....
මා පසු පස එද්දී සුළි සුලඟ ලෙස ඇදී...
දේදුණු පවුරෙන් ඈතට නොයා මෙන් රිදී...
ආදර ගඟ ගලනු දුටිමි සිනිඳු ‍රැළි දිදී...

ඇස් ඇතිනම් ලොව ඇති පුදසුන් පෙනේ නිතී...
දුෂ්මන්තට කිසිදා ඔබ අමතක නොවුණී...
බොහෝදුර ගොස් අතරමංව ලොවේ පෙම්වතුන් ....
අදත් කියති මේ ආදර  බසම සිය මුවින්....

ගීතය අහන්න... ඕන්නම් බාගන්න...

Read More!

කුරවි කෙවිල්ලන් පානා ඉඟි බිඟි....

'පාඨශාලාන්තර තරඟාවලදී ගැ‍ටුම් ඇතිවීම ස්වාභාවිකය' අතනින් මෙතනින් ඇසෙන වර්ථමාන කතිකාවක කොටසකි. සැබෑවය. පාරක තොටක සිදුවන රිය අනතුරකදී වාහන පැදවූ රියදුරු දෑත් හතර හා දෙපා හතර යහතින් නම් ගැ‍ටුමක් ඇතිවන්නට ඇති ඉඩකඩ ඉතා වැඩිය. මිනිසුන් සෙමින් සෙමින් සුලු වශයෙන් හෝ අන්මත නොඉවසන තැනකට ඒම, ගැ‍ටුම් වල අවසන් ප්‍රථිපල (පුවත් මවන්නන් බහුල වුවද) අර ඉහත කී ස්වාභාවිකත්වය එහි සාමාන්‍යය ඉක්මවා යන්නට හේතු වි නොමැතිද?  නිර්නායකයන් විශ්ලේෂණයන් ඉහවහා යන සමාජයක එහෙම වීම විස්මිතය.  ගරුසරුව බලාපොරොත්තු වන්නේද බලහත්කාරයෙනි - එසේ නොමැතිවීම උහුලාගත නොහැකි අපෙක්ෂා භංගත්වයක් හිතේ ඇති කරයි. පෙරකී ගැ‍ටුම් වලට ආදි සිසුන් මුල් වී ඇති බවක් පෙනී යන්නේ වීඩියෝ දසුන් නැරඹීමෙනි.

මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් විසින් දියත් කල 'ධර්ම විජය පදනමේ' තේමා ගීතය අපූරු එකකි. එය පටන් ගන්නේ 'මිනිසා මිනිසට එරෙහිව එන්නේ - සිතුවිළි නපුරට හැරෙන නිසයි' යනුවෙනි. සාහිත කලා ඇත්තේ ආවේග පරිපාලනයටැයි සිතමි - ඒවා කෑමට නොහැකි නිසා ඉවතලන්නට නොවේ! කෑමට නොහැකි දේ ඉවත ලමුයැයි වහසි බස් දෙඩූ මාවතේ ඉන්දවූ පැල දැන් පල බරව අතු නැවී ඇත. 'නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතී' කියන අයියලාට වඩා නංගීට ප්‍රථමයෙන් සියල්ල කඩාගෙන තමගෙට ගන්නට දැන් අයියලා උත්සුකය.

ආවේග මටසිලිටිව, සමාජයට හානිදායක නොවන මට්ටමකින් එලිදක්වන්නට ඇවැසි සාහිත කලාවන්හි නිර්මාණයන් එලි දක්වන්නට තරඟයක් තිබිය හැක්කේ එක්කෝ තරඟය අවසානයේ ත්‍යාගයක් ලැබෙන බවට තරඟ සංවිධායකයින් දැන්වූ විටය. එසේ නැත්නම් ඕනෑ කුණු කන්දලයක් සල්ලි කරගත හැකි පරසරයක් තුලදීය. "නිර්මාණ කුසලතාව" ප්‍රදර්ශනයට ඇති තරඟයන් දැකීම මෙකල බෙහෙවින් උගහටය. වික්ටර් රත්නායකයන් "වදාරන්න පෙර හදාරන්න ඕනේ" කියා නිකම් සිටියේ නැත. හදාරාම වදාරා මුලු රටක්ම කුල්මත් කලේය. රත්න ශ්‍රී විජේසිංහයන් කියන්නේ 'අලුත් දෙයක් බිහිකරමු' උදාන ගී ගයන්නන් මුලින් 'පරණ' දේ හැදෑරිය යුතු බවය. නැත්නම් 'පු‍ටුව' හදන්නේ මොකක් කඩාදැයි යන්න තමන්ටවත් තේරුම් ගත නොහැකි වන නිසාය.

අප රට සාහිත කලා 'දියුණු' මට්ටමක එදත් අදත් තිබී නැති බව වර්ථමානයේ නොයෙක් තැනක කියැවේ. අපේ රටේ සංගීතයේ මුල් සොයා ගිය සී ද එස් කුලතිලකයන්ද ඉන්දියාවෙන් මුදුන් මුල මතු කර තම හැදෑරිල්ල කෙලවර කර ඇති බවෙක්ද කියති. පොත්පත්වල කුමක් කියවුනිද එතුමා අතින් අලංකාර අපේම යැයි කිව හැකි ගී කිහිපයක් නිර්මාණය වී ඇත්තාසේම, ඒවා සොයන්නන්ට අත්හදා බලන්නන්ට ගුවන් විදුලි සංස්ථාව හරහා විසල් මංපෙත් විවර කලේය.

සමහර සිංහල ගීත රචනා හෙමින් සීරුවේ විමසා බලද්දී, ඒවායේ තිරයෙන් එබී බලන සුරූපිනියන් සේ, මටසිලිටි සිංහල ජන කවි සාහිත කෘතීන්වල වල කොටස් සූක්ෂමව සඟවා ඔබ්බවා ඇති බවක් දැකිය හැක. මෙබඳු දස්කම් පාන්නට මහැදුරු සුනිල් ආරියරත්නයන් බෙහෙවින්ම සමත්කම් පායි. ඊලඟට මතකයට එන්නේ කේ ඩී කේ ධර්මවර්ධනයන්ය. අජන්තා රණසිංහයන්, ධර්මසිරි ගමගේ ශූරීන් අපහසුවකින් තොරවම සම අසුන් වල ගෞරවයෙන් වාඩි කරවිය හැක. මනස හෙමින් සීරුවේ දිගහැරෙන්නට සලස්වන ඒ නිර්මාණ 'දෙගොඩ තලා' යන ගංගා නොවී 'හෙළදිව රස දහරින් නලවා' හෙමින් සීරුවේ ගලා බැස යයි.

නන්දා පතිරණ ගයන මල් වනේ රෝස කැකුලු ගීය ගාමිණී විජේතුංගයන් අතින් නිමැවුණද පෙලහර පාන්නේ තනු නිමවන බන්දුල විජේවීරයන්ය.
ඒ රිටිගල ජයසේනයන් සමග පටලැවුණු ගෝඨයිම්බරයන්ගේ ඒ රූමත් බිරින්දෑ පසුව අලකලංචියට පත්ව ගයන ගෝඨයිම්බර වැලපුම ඇසුරෙනි.

"බස්මනං අසුර රජුගේ සොහොනෙ ඉපදුනේ [මල් වනේ රෝස කැකුලු මැදින් මට පෙනේ]
තිස්දහස් පිරිවර හර රජව සිටිමිනේ                 [නිල්වලා යහන් ගැබේ කිරි සිනා දිලේ]
ඉක්මනින් ගෝඨයිම්බර සමඟ යුදවුනේ         [වන් සැනේ සෝක තැවුල් නිවාලන මෙනේ ]
දිස්වෙමින් ඔළුව නැතුව නිදිද හිමියනේ"        [එනු මැනේ මගේ යහනට ඇත ලොවින්නේ]

"රුක් අත්තන මල මුදුනේ බඹරු නටන සැන්දැවේ.." ගීයද උකුසා වන්නමේ මනහර රිද්මයෙන් ගැයෙයි
- එය නන්දා මාලිනියගේ කදිම වික්‍රමයකි!!!
-----------------------------------------------------------
මර්වින් සිල්වා අමැතිතුමාගේ ගර්හාවට ලක්වුණු අඹන්වෙල නිළමේගේ කවි ගායනාද කර්ණ රසායන ගී බවට පත්ව ඇත. ඒ නිර්මාණය වී ඇත්තේ අඹන්වෙල රාළගේ දරු නැලවිල්ලක් ඇසුරෙනි.

"චන්දෝපම බිලිඳේ නුඹ නාඬන් - ඉන්ද්‍රෝ කමලක නිරිඳුට දාවු
බයි බාලොලි නාඬන් බිලිඳේ

දැන් දෙවියන් මට දුන් තුනු රූපා - චන්දන කුංද සමන් සිරි සේපා
වන් පිරිසිදු යස සිත් සු මනා පා - මන්මද දැන් දරු පෙම් බැඳි රූපා

පැන්න තැනම කුකුළන් හඬලනවා - කන්නට බත් ලැබ ඌ  සැම තෑනා
ගොන්න ගහේ හිඳ හා හං ගානා - ඔන්න ඇවිත් පැනපිලු බකමූණා
"

අඹන්වෙල රාළගේ තවත් ප්‍රසිද්ධ කාව්‍යමය සාක්කියක් ඇත...
රෝහණ බැද්දගේ ශූරීන් මේ මදක් කපා කොටා කදිම තනුවක් යොදා ගායනා කරත්...


"ඔහොයියා අවුල් නාද සපිරිවර්ධනේ - දින දින සපිරිවර්ධනේ...

කළුත්, සපුත්. සවුන්දරිත් - ලමිත්, කුමිත්, සුමිත්තරිත්,
කිරිත්, ගිරිත්, පවුත්තරිත් - ඇවිත් කළ රොසේ - ඔහොයියා.....
පසුත් පෙරත් දෙයත් වරත් - රකිත් සිටිත් අනිත් බනිත්
ගසත් ඉසිත් ගලුත් වැලුත් - මමත් දුටු ලෙසේ - ඔහොයියා.....

පින්නගමුවේ දුරයගෙ අඹු - පින්නමලිට බැන සරොසින්
පෙන්න කෙළිගෙ පුතෙයි කියා - ඇවිත් ලංව මා - ඔහොයියා.....
ඔන්න මෙමාගේ රඟ දැන - ගන්න කියාලා තොඟ තොඟ
තොංඟන පදයෙන් ඔලුවට - ඇන්නෙ බිම දමා - ඔහොයියා.....

ඇඹුල් දෙනියෙ කිරාගෙ අඹු - දිඹුල් මලිට ඇන්න ටොක්ක
බුබුල් නැඟිනි ඉස හැම තැන - ඇඹුල් දෙසි ලෙසේ - ඔහොයියා.....
නැඹුල් යකුට නිති පුදකොට - එකල් දියඟු දිවගෙන ගොස්
දිඹුල් දියට කඩන් පැනපි - කිඹුල් මොටෙකුසේ - ඔහොයියා.....

නල්ල ගෙදර සෙල්ලගෙ අඹු - එතැනම සිට ගුල්ලො නොවිඳ
ඉන්නක් ගෙන බල්ල කියා - ගැසී නොවලසේ - ඔහොයියා.....
ඉල්ල කකා ආඬින් වෙත - කොල්ලසේම ගොස් දියෝගු
බල්ල සේම පැනපිය ගොස් - වල්ල කැලයටා - ඔහොයියා.....

ටොක්ක නොකා ඉන්නා බඩ - බක්ක කියන එකාගෙ දුව
අක්ක නුඹත් එන්නෙද - අන්නක්ක නෙලුමටා - ඔහොයියා.....
කෙක්ක අගින් ඇන්න කලට - හක්ක දෙපිට දත් පෙනුනිය
ටොක්ක නොකා පැනපිය - ලිබ්බොක්ක ඇතුළටා - ඔහොයියා.....

වත්තල කළුවාගෙ අඹුව - තිත්ත කථාවෙන් බැණ බැණ
වත්ත මැදෙහි තිබුණු කිතුල් - පිත්ත ‍ගණිමිනා - ඔහොයියා.....
පැත්ත පිටට දුන්නේ - සම් පොත්ත ඉගිලි හඬක් ඇසුණි
අත්තන කැලයට දිව්වේ - චිත්ත බියගෙනා - ඔහොයියා.....
"
---------------------------------------------------------------------------
අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියනට පිදෙන යාතු කර්මයකදී ගැයෙන කවක් ධර්මසිරි ගමගේ ශූරීන් අත මනරම් ගීයක් වන්නේය...

දෑල දිලී අළු ගෝමර රේඛා         [දෑල ළමැද රන් ගෝමර රේඛා]
සලා ළමැද රන් පරදනු රේඛා
නීල පළිඟු බැඳි දුනු පට රේඛා      [නීල පලිඟු කැට නෙත් මිණි රේඛා]
බාල චන්දවන් නළලත රේඛා      [බාල චන්දනී නළලත රේඛා]

සවනත කිනිහිරි මල් පෙති රේඛා [දෙනෙතෙහි නිලුපුල් මල් පෙති රේඛා]
ලවනත බඳුවද දත් කොඳ රේඛා
දෙවුරත ගජ කුඹු බුජ වැල රේඛා
උදරත වද රන් රූබර රේඛා.."
---------------------------------------------------------------------------
මේ තවත් සුනිල් ආරියරත්න/ සරත් බාලසූරිය /නන්දා මාලිනී සුසංයෝගී වූ සොඳුරු ගීයකි...
ප්‍රේමයේ නියත දුක්ගින්නෙන් මිදීමට මීවිත සොයාගිය 'ඔහු' දෙස දෙස බලන දයාර්ද්‍ර බැල්මකි ඒ...

"සිරි පොද වැස්සේ රාත්‍රියේ - පහන් කණුව යට ඔබ හැමදාමත්
‍රැගත් සුරා පිරූ විතින් - පුවත් නොදැන බමන ගතින් - සුරත් තඹුරු පෙති සේ දෙනෙතින්

සංවේගයේ දළ රල පෙල කැළඹේ - සංසාරයේ ප්‍රාර්ථනා වැළලේ
මේ මොහොතේ ඔබ දෑස දකින්නේ - ප්‍රථම ප්‍රේමයේ ස්වප්නයදෝ

සංග්‍රාමයේ පරදුණු සෙබලකු සේ - සන්තානයේ දුක බිය සැක මතුවේ
වියෝ වියරුවෙන් සිරුර දවන්නේ - බිඳුණු ස්නේහයේ වෛරයදෝ
"

ගුත්තිලයේ තැනෙක "රැගත් සුරා පිරූ විතින් - සුරත් තඹුරු පෙතිසෙ නෙතින් - පුවත් නොදැන බමන ගතින් – නටත් අයෙක් සුරා මතින්” ලෙස ඇත . පුර වැනුමක් කවියා අත ස්නේහවන්ත බැල්මක් වී ඇති සැටි!!

මා සැලළිහිණිය මුලුමනින්ම කියවා නැති වුවත් "විළිකුන් සුරත් ඵල වැනි වේ රිවි මඬල" යන්නේ කොටසක් ගෙන "දෙඅදර විළිකුන් සුරත් පලේ - පෙම් මදිරා අයදිමින් සැලේ" ගෙතී ඇතියැයි සිතමි.

"හැකිනම් විසඳන්න" යැයි මෙන් භක්ත්‍යාදරයෙන්  කුහුළින් පිරිණු සරල ගී රසිකයින් වෙත පිදූ මේ ගීය පැරැණි සාහිත සංකේතයන්ගෙන් අතිශයින්ම විචිත්‍රය.  සසඳාවත, කෝකිලය, ජාතක පොත, කව්සිළුමිණය ආදියෙහි තැනින් තැන ඇති යෙදුම්, මෙසේ එක් හුයෙක ඇමිණීම, සාහිත්‍යයෙහි කිසිසේත්ම වියත් බවක් නැති අප වැනි දුහුනන්ට වුවද මහත්මවූ ප්‍රමෝදය ගෙනදෙන්නකි.

"සඳැස් විදා මොණරු නටති මේඝ වලා පාවේ
වලා වැලෙන් ගෙලේ වැටේ මලිගිය මල් මාලේ
සහ ගුම් බිඟු පේලි සැදී නගත මධුර නාදේ
මල් ගොමු තුළ නිල් පලු දල යහන් නිබඳ සෑදේ...

ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
සුරත් සහන්එළි දැල්වේ දෙනුවන් මිණි පානේ
ලඹ දුන් සපු දුණුකේ මැද පිපුණු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් හඳ පානේ
"
-------------------------------------------------------
තාරුණ්‍යයේ අසිරිය කියැවෙන මේ ගීයද සුනිල් ආරියරත්නයන්, ජයතිස්ස අලහකෝන් සංගීත වේදියානන් හා නන්ද මාලිනිය සුසංයෝගයකි...

"කුරවි කෙවිල්ලන් පානා ඉඟි බිඟි - නෑ නෑ මෙතෙක් පෙණුනේ - නෑ නෑ මෙතෙක් දැනුනේ
පද්ම තඩාගේ පුෂ්ප සුගන්දේ - නෑ නෑ මෙතෙක් දැනුනේ -
නෑ නෑ මෙතෙක් දැනුනේ

තුරු හිස ගුම් දෙන වාදන වෘන්දය - භෘංග හඬින් වයතී
ඉන්ද්‍ර දිගින් එන චන්ද්‍ර කුමරියෝ - මන්ද්‍ර සරින් ගයතී
නිර්මල ජල මත මල්වර රළ පෙල - මදන මතින් නටතී

ගගන තලාවේ කුසුම ගුලාවේ - පොපියන්නේ යෞවනයයි
ගොපලු නලාවේ දුලන නිලාවේ - පිබිදෙන්නේ යෞවනයයි
විගඟ විලාපේ කඳුළු   කලාපේ - නලියන්නේ යෞවනනයි
"

සැඟවී ඇති ඉඟි බිඟි දු‍ටුවාද???
-------------------------------------------------------------------------------
මේ ඉක්මනින් මගේ මතකයට එන සිංහල ගී රචකයන්ගේ පැරැණි සිංහල සාහිත පොත පත ඇසුරෙන් බිහිව ඇති සොඳුරු නිර්මාණ ස්වල්පයක්ය.
මෙයින් නිර්මාණකරණය පැරණි සාහිතයට ගැති බවක් දැක්විය යුතු බවක් කෙසේවත් නොකියවේ. එසේ වූවානම් අරිසෙන් අහුබුදු සූරීන් අතින් සංදේශය චිත්‍රපටිය සඳහා "පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා - සතුරු රාජ මාරයා මුලු ලෝ අල්ලන්න වීරයා" වත් මහගම සේකර සූරීන් අතින් ගැටවරයෝ සිත්තම සඳහා "ගන්න ගන්න මාගෙ රූපේ මං ෆොටෝජෙනික් - හාරිච්චි බෝරිච්චි" වත් නිමවෙනු නොමැත. 
Read More!

ජය කේලි බන්දන සිරි දේවි කැන්දන...



"සිංදු පහයි පයිට් දෙකක් ඇති 'ජීවන ගංගා' චිත්‍රපටිය, පවුලේ ඇත්තේ කෙට්‍ටු තුන් දෙනෙක් නම්, කෑලි තුනේ එක පු‍ටුවේ හිඳ හිරිකිතයක් නැතිව බැලිය හැකි, 'පවුලේ' වර්ගයේ එකකි. එහි ඇති  'නුපුබුදු තැඹිලි මල්' දර්ශන එකකින් දෙකකින් වත්, සිකැරට්  අරක්කු බොන දර්සන කිහිපයකින් වත්, කාගේ වත් හිරි ඔතප් බි‍ඳෙන්නට කාරණා නැති තරම්ය. ෆරීනා ලායිගේ මනස්කාන්ත ‍රැඟුමකුත් ඇත. රොබින් ප්‍රනාන්දු හා විල්සන් කරූ අතර 'තග දාන' දර්සනය, කාලෙකින් අසාගත හැකි දෙබසකින් වර්ණවත්ය. ඉන්පසු 'ඩුෂා...!' ලෙස සටන ඇරඹේ. 'තාන තිනානේ තර‍ඟෙට ගහන රබානේ - රණ මොණරු නටවලු තර‍ඟෙට කිඳුරු විමානේ - දොන් දොන් දොන් දොන් දොන් හරමානිස් - බලාගෙනයි දැලේ වැටෙයි කොලඹ සුවාරිස්' - යන සින්දුව අතරතුර දැරියක් නව යොවුන් තරුණියක් ලෙස වැඩෙනවාද බලාගත හැක. 1974 දෙසැම්බර් 20 තිරගත වූ මේ සිත්තරේ දයානන්ද රුද්‍රිගු ගේ අධ්‍යක්ෂණයකි. භයානක ලෙස ඇස් ලොකු පූජිත මෙන්ඩිස්ද මෙහි සටන් ජවනිකාවකට පණපොවයි. ඇම් ඩී චන්ද්‍රපාලයන් රඟපාමින් තමාගේ 'රන් මැණිකේ මගේ - රන් මැණිකේ මගේ - ඔබ දු‍ටු දා පටන් බැඳි ආලේ' ගීය ලක්ෂණට ගයනවාද බලාගන්නට පුලුවන. දැවන්ත නළු නිළි කන්දරාවක හා දක්ස ගායන, වාදන, සංගීත මඩුල්ලක සහභාගිත්වයෙන් නිපැයූ මේ සිත්තරේ, ඔබ සික‍රැට්, අරක්කු, බීර සඳහා වැය කරන චූටි රුපියල් හයසීයක් ගෙවා නුගේගොඩ අනුලා ගෑණු ඉස්කෝලේ ලඟ ඇති තරංගා ඕඩියෝ වෙතින් මිලදීගෙන තමන්ගේ වාගේ නිමාඩු පාඩුවේ බලත හැක."
අතරින් පතර දර්සන...

හද ගී පොතට 'ජීවන ගංගා' වැදගත් වන්නේ යම් කාරණයක් නිසාවෙනි. ඒ විශාරද දායාරත්න රණතුංගයන් චිත්‍රපටි ගීතයට කල එලි බසින්නේ 'ජීවන ගංගා' චිත්‍රපටිය තුලින් වීම නිසාය. පසුබිම් සංගීතය රොක්සාමි මාස්ටර් අතින් අලංකෘත වී ඇති අතර ජස්ටින් සිල්වා හා දයාරත්න රණතුංගයන් එක්ව ගී සඳහා සංගීතයෙන් දායක වී ඇත. ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, මල්ලිකා පෙරේරා, දයාරත්න රණතුංග, නාලිනී රණසිංහ, අමරා රණතුංග යනාදීන්ගේ ගායනා වාණිජ චිත්‍රපටියකට සුදුසු සරල විනෝදාස්වාදයක් සපයයි. ආනන්ද සරත් විමලවීරයන් හා උපාලි ධනවලවිතානයක් ගී රචනාවෙන් දායක වී ඇත. එහෙත් සරල ගීයක්ම ලෙස මා නොගන්නා පහත ගීය ආනන්ද සරත් විමල වීරයන්ගේ හා දයාරත්න රණතුංගයන්ගේ ප්‍රතිභාවන්  පිලිබඳ සාක්ෂි දරනවායැයි හිතේ. පහත පද පේළි බලන්න...
ජය කේලි බන්දන - සිරි දේවි කැන්දන
නන්දන රූ සිරිනී - පොබයන
අංජන නෙත් යුග - රන්මසු රන්දන
අනුරාගී මදහසිනී - වොරඳන
කවුරුද තී සොඳුරී - කිව මැන - කවුරුද තී සොඳුරී

රාජ රාජ රාවණ පරපුරෙහී - පැවතෙන ලංකා තලයේ ධරණී
යක් සේනාපතියන්ගේ දියණී - කුවේණි කුමරිය මම කපු කටිමී
කවුරුදු ඔබ රජුනී - කිව මැන - කවුරුදු ඔබ රජුනී

පියරාජ අණසක - පි‍ටුපාල සපැමිණ - තඹවන් බිම සොයමී නිවහන
චංචල තොල් යුග - මින්දද රංගන - කල්‍යාණී මනනදනී වරඟන
දඹදිව සිට පැමිණී විජලිඳු - මම වන්නෙමි මධුරී

ඈත ඈත නිල් වනපෙත් කමණී - රාජ ඉසුරු සලසයි රජතුමණී
යක්සේනා බල සුන්කරලමිනී - රාජ කිරුළු හිස පලඳිනු මැනවී
සඳකැන් හිරුට දෙමී - අඹර මිහිතලයට ‍රැගෙන එමී

දස රාජ දහමින - හෙළ දූව සුරකිමු  - වනු මැණ පිළිසරණා කුමරිය
රන්මිණි මන්දිර දෙන්නෙමි දොර හැර - තී මාගේ අග‍රැජිනී මියුලැසි
සරසමු රන්දීපේ - දද බැඳ - සරසමු රන්දීපේ

නව සිනමා චිත්‍රපටි සමාගම විසින් ඩිජිටල් තාක්ෂණයෙන් නැවත එළිදක්වා ඇති මේ චිත්‍රපටිය මා හට ‍තෝරා දුන්නේ මාගේ බිරිඳයි. එයින් ඉහත කී ගීය සම්පූර්ණයෙන් උපුටාගැනීම නීතිප්‍රකාරව කල නොහැකි නිසාවෙන් තැවෙනා කල්හී, මා විසින්ම අවුරුදු තිහකට පමණ පෙර කැසට් පටියකට ගුවන් විදුලියෙන් පටිගත කල මෙම ගීය හමුවිය. තැනින් තැන ශ්‍රවණ තත්වයේ බාධාවන් ඇත්තේ කැසට් පටියේ පැරණි කම නිසාය. චිත්‍රපටියේදී නාලිනී රණසිංහයන් හා එක්ව ගැයූවද පහත හඩ ගොණුවේ ඇත්තේ පසුකාලීනව අමරා රණතුංගයන් හා එක්ව ගැයූ ගීයයි...

Read More!

පෙම් සුවඳයි මංගල සිරිදෙයි...



 
පෙම් සුවඳයි මංගල සිරිදෙයි 
සිරි බර පෙම් මල් උයනේ 
සැලළිහිණි ගිරා කැල ප්‍රේම කථාවෙන් 
නැලවෙති තුරු සෙවණේ....

පෙම් ගඟුලේ දිය බුං ගසලා
අපි කිමිදෙමු නාමු ප්‍රියේ....

මුළු ලොව ඇති හොඳ පාට එකට ගෙන  
මම ඔබෙ රුව අඳිමි හඳේ 
ඕ මම ඔබෙ රුව අඳිමි හඳේ....

පෙම් සුවඳයි....

අර සමනළයයි රතුරෝස මලයි
වගෙ පෙම් කඳ අපි දෙන්නා.....

පැණි බොන්න හිතයි ඉල්ලන්න ගොතයි
එය දෙනතුරු ඉවසන්නා
එය දෙන තුරු ඉවසන්නා... 

පෙම් සුවඳයි.... 

 
 

[පසු සටහන: මේ ගීය 1955 මාර්තු 04 තිරගත වූ අසෝකා චිත්‍රපටියෙනි... දැන් මේ ගීතයට අඩ සියවසකට ආසන්නය... රසය තවමත් නොඅඩුව තිබේ... තනුව හින්දි හෝ ද්‍රවිඩ තණුවක් බවත්, ගී පද රචකයා අසෝකා චිත්‍රපටියට ගී ලියූ කරුණාරත්න අබේසේකර, හර්බට් එම් සෙනෙවිරත්න හෝ පියසේන කොස්තා යන අයගෙන් කෙනෙකු විය හැකි බවත් මහාචාර්‍ය සුනිල් ආරියරත්නයක්නේ මතයයි. ප්‍රවීන ගුවන් විදුලි නිලදරුවකු වූ අශෝක තිලකරත්නයන්ට අනුව මේ කරුණාරත්න අබේසේකරයන්ගේය. පී එල් ඒ සෝමපාලයන්ගේ මධුර සංගීතය සංයෝජනයත් මේ ගීය අපේ ගීයක් බවට හැරවීමට ඉවහල් වී ඇත. ගීත දොලහක් අඩංගු වූ අසෝකා චිත්‍රපටියේ, 'පෙම් ගීතේ සංගීතේ නාදේ නගී....' (සත්‍යවතී), 'පෙම් පහන නිවී පෙම් මල් පරවී....' (ජී එස් බී රාණී / මොහිදීන් බෙග්), 'තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ....' (මොහිදීන් බෙග්) ගීතත් අදද එකසේ ජනප්‍රියය. අවුරුදු 13 දී පාසලේදී මේ ගිය ගයා විශාරද සනත් නන්දසිරියනට වූ හදිය මෙතැනිනුත්, අසෝකාට රඟපෑ පුෂ්පා ජෙනට්ගේ අද දවසේ විස්තර මෙතැනිනුත් කියවා දැනගත හැක.

"කන්තොරුවෙ බ්ලොග් බලන අපි වගේ උන්ට උඹේ මේ සින්දු කොහෙ බාන් අහන්නද. ඒ නිසා කතා නැතිව සින්දුව විතරක් දාන එකා කොටියම කාපිය." - ලෙස කලින් ගීයක් පමණත් දැමූ සටහනක, හෘදයංගම ප්‍රතිචාරයක් යෙදූ ඉන්දික උපශාන්ත වියුණු සටහන් කරුට උපහාරයක් පිණිස ඉහත පසු සටහන එකතු කරන ලදී. ]
Read More!

පාර කියන්නෑ තෝනෙන්... පාර තියන්නෑ කෙවිටෙන්...

'යං දුන්නිමිත්තං අවමංගලංච
යෝ චා මනාපො සකුණස්ස සද්දො
පාපග්ගහො දුස්සුපිනං අකන්තං
බුද්ධානුභාවෙන විනාසමෙන්තු...'

...හැඟවෙන්නේ නිදාසිටියා ඇති බවය. පිරිත් දේසනාව ඉවර වෙන වෙලාව ඇ‍ඳෙන් බැසීමට වේලාවයි... 'දවසේ සිතුවිළි' කථාව යයි නම් එහි තේරුම අවදිවන්න පමාවී ඇති බවයි..  'දවසේ සිතුවිළි' කුමන ආගමක් පසුබිමේ වුවද අඩනින්දේ සිට පවා ඇසීමට ප්‍රියමනාප ස්වරයකින් දේශනා කරනු ලබයි... ගාට ගාට කුස්සියට එනවිට ගිනිදැල් පසුබිමෙහි අම්මා ලහි ලහියේ උදේ ආහාර පිලියෙල කරයි... දත්බේත් නැතිනම් අඟුරු කැල්ලක් හා ලුණු ඩිංගක් මේසේ කොණක තැබීමට ඇයට අමතක නොවේ...

'..... අරුණ කිරණ ගී තීරයක ආරම්භයයි....' 

දැන් ඉතින් යමක් ගිලදමා පොත් බෑගයද ගෙන එළියට බැසීමට කාලයයි....
වෙලාව ඔබවෙත ගෙන එන ඩයලොග් වෙතින් වත් දවසම ප්‍රබෝධයෙන් ගතකිරීමට චතුරිකාට උපකාරී වූ නෙස්ටොමොල්ට් වෙතින් වත් අරුණෝදයේ රිද්මයට බාධාවක් නැත...

ඒ වෙනුවට...

'අරුණ කිරණ සැලී සැලී - හෙළ දෙරණම පණ පෙවී
නැගෙන දැයට උරදීදී - පිබිදෙව් පිබිදෙව් හෙළ දරුවෙණී..'  

ලෙසින් සෙනෙහෙබර ඇරයුමකි......

එසේත් නැත්නම්  'ඈත ගමේ සරු පස පෙරළන්නට යන....' දයාබර සවාමි පුරුෂයකුගේ උදාන ගීයකි...

ඒ සියල්ලම රස විඳීමට ලැබුණේ සොච්චම් කාලයකි...

'කැලණි පාලම' නාටකයේ මෙච්චර පුෂ්ටිමත් සරීරයක් ලැබුණේ කෙසේද යැයි ගංවතුර ආධාර නියාමක 'පාලම් වැසියෙකු'ගෙන් ඇසූවිට හේ පවසන්නේ 'උදේම නැගිටල හන්දියේ වෑර්ලස් එකේ චූන් එකට අතපය ඇඹරීමෙන්..' බවය... එබඳු 'චූන්' ධර්මිෂ්ඨ සමාජයකට ඇවැසි 'තුමුල බලැති ගිජිඳුන්' බිහිකිරීමට මහෝපකාරී වියහැකියයි ඒවායේ නිර්මාපකයින් සිතුවා විය හැක...

අදද 'අරුණ උදාවෙයි.. දිනිදු සිනාසෙයි...' ඒත් ඒ ඔච්චමට යැයි මට හිතේ...
කොහේ හෝ තැනක පෙර දිනයේදී තමාගේ හෙදර එකතු වූ කුණු මල්ල අතෑර, මාරු සල්ලි සමග සටනට එන කොන්දොස්තර වෙත මූණ දීමට සූදානම් විය යුතුය...
'පේස්ට්‍රී' කඩය ඇර නැත්නම් වාහන වල යන්නවුන්ගේ උදය ආහාරය හබක් වේ... සියලු දෙනාම බලවත් වූ ජවයකින් යුතුව එළියට බසී..... කුමකටද?

'අරුන්දතී - තාරකාව සේ දිලී දිලී
නුවන්පෙති - විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පති - නැණින් යොවුන් සිත් බැඳී බැඳී
දවස්පති - රුවින් සිනාසෙයි නැගී නැගී..'

ඒ සිනාවෙමින් අසන්නේද 'ඔබ මේ දුවන්නේ කොහේද...?' කියාය....

ගීයකින් පමණක් දැයක් ගොඩනංවාලිය නොහැකි බව දනිමි... ඒත් පසුබිමින් ඇසෙනා මෙවන් ගීයක් ඔබේ හෘද සාක්ෂිය කුළුගන්වා නොලයිද?

'නිදහස් අදහස් - දැයට පොවා
නිවහල් සිතිවිළි - බසට කවා
දෙස බස ‍රැස වැඩූ.... නියාමක වී
ජන යුගයේ... ජන යුගයේ...'

ඒ එසේ නම්, ඒවා අසා, ඒවායින් පිබිද උදම්වුණු දූ පුතුන් හට කුමක් විණිද???

ඉල්ලා සිටියේ මේ පමණි....

'පුතුනේ මේ  ඔබ ඉපදුන දේශය
ඔබ වෙනුවෙන් බිහිවුණ ජය භූමිය
‍රැක ගන්නට ඒ පින්බර දේශය
ඔබේ ශ්‍රමය පුත දිය යුතු වේමය..'

එය ලබාදෙන්නට එක් පරපුරකට නොහැකිවිණි... යෂ්ටිය හුවමාරු නොවිණි... එතනින් එහා සිදුවූයේ කුමක්ද යන්න තම තම නැණ පමණින් විචාරය කර ගත හැක...

'අරුණාලෝකය අතරේ - හෙට නවලෝකය ඉදිවේ..' යනුවෙන් බලා සිටි අපට ලැබී ඇත්නම් ලැබී ඇත්තේ එනමින් ඉදිවුණු පෞද්ගලික රෝහල් සංකීර්ණයක් පමණි....

මිනිසුන් විවිධ දේ එකතු කරයි... පැරණි මුද්දර, කාසි, රට රටවල මුදල් ඒ අතරින් බොහෝ ජනප්‍රියය... මමද පැරණි ගී එකතු කරමි... අතීතයේ ලැබූ සරල ආශ්වාදයන් නැවත විඳීමේ මග පෙන්වන තාරකා දොර‍ටු ලෙස මා, ඒ දකිමි... ඔබටත් රුචි නම් ගොහින් එන්න...‍ තෝනෙන් පාර කීම හෝ කෙවිටෙන් පිටෙහි පාර තබා මග කීම මිනිසත් කමට නිගාවකි....!!!!


කැමති ගීයක් බාගන්න...
සිංදු සියල්ල එකවර බාගන්න [111 MB ගොණුවකි]...
ගී පොත බාගන්න...
Read More!
 
Blogger Wordpress Gadgets