Showing posts with label නීලා වික්‍රමසිංහ. Show all posts
Showing posts with label නීලා වික්‍රමසිංහ. Show all posts

කොළඹදි කම්පලක් නැතුව සෙනගක් මරාදාලා..!

මායාදුන්න පුත් ටිකිරි රජ්ජුරු බණ්ඩාර [1581 - 1592] හෙවත් සීතාවක රාජසිංහ හෙවත් පලවෙනි රාජසිංහටත්, අවුරුදු පනස් දෙකක් රජකම් කල දෙවැනි රාජසිංහටත් [1635 - 1687] ප්‍රතිකාලුන්ට මුහුණ දීමට සිදුවිය.

පුරුතුගීසීන් මෙරටට ගොඩ බහින විට රජකම් කලේ මායාදුන්නේගේ මහප්පා වූ ධර්මපරාක්‍රමබාහුය. ධර්මපරාක්‍රමබාහුගේ අවෑමෙන් එක් බිරියක් හා එකගේ කෑ ඔහුගේ සහෝදරයන් දෙදෙනාගෙන් විජයබාහු රාජ්‍යපද ප්‍රාප්ත වන්නේය. අනෙක් සහෝදරයාවන පරරාජසිංහ හා එකගේ කෑ බිරියගේ අභාවයෙන් කීරවැල්ලේ කුමරිය විජයබා මෙහෙසිය වන්නීය. කලින් බිසවගෙන් ලැබුණු බුවනෙකබා, රයිගම් බණ්ඩාර හා මායාදුන්නේ පැත්තක තබා කීරවැල්ලේ කුමරියගේ දුවගේ දරුවාට රජකම බාර දීමට විජයබාහු කරුණු කාරණා සකස් කිරීම විජයබා කොල්ලයට මග පාදන්නේය.

බුවනෙකබා රජද පියා අනුව යමින් අත්තනෝමතික වීම මායාදුන්නේව අමනාප කිරීමට මගපාදයි. පුරුතුගීසීන්ගෙන් උදව් ඉල්ලීමට තරම් නිවට වන බුවනෙකබාහුගේ ක්‍රියාවලිය එක් පසෙකින් දොන් ජුවන් ධර්මපාල නම් බෑනෙකු බිහිකිරීම දක්වා දිවගියද අනෙක් පසෙන් රාජසිංහ කෙනෙකු බිහිකිරීමට හේතු භූත වූ බව අමතක නොකල යුතුය.

ප්‍රතිකාලුන්ට එරෙහිව කල සටන්, මුල්ලේරියාව හටන, දන්තුරේ හටන, බලන හටන, රන්දෙනිවල හටන හා ගන්නොරුව හටන නමින් ප්‍රධාන වශයෙන් හතරකි. මායාදුන්නේ බුවනෙකබාහු සමග කල ගුරුබැවිල හටනට පුරුතුගීසීන් සම්බන්දවන්නේ අනියමිනි.

කෝට්ටේ රජකල බුවනෙකබාහුගේ මරණින් පසු තම ඇණි ශක්තිමත් කිරීම සඳහා ගෝවෙන් දොන් ජීවන් අරික්කු හා පොන්සි පෙරේරා නම් පාදිලිතැන සමග විසාල සේනාවක් හා ආයුධ ප්‍රමාණයක් ලැබෙන්නේ බුවනෙකබා මුණුපුරු ධර්මපාල කුමරු දොන් ජුවන් ධර්මපාල නමින් අන්දෘෂ්ඨි වැලඳ ගැනීමත් යන අවස්ථා හා සමගාමීවය.

පලවෙනි රාජසිංහ රජතුමාට මුහුණදීමට සිදුවන්නේ පුරුතුගීසීන්ට පමණක්ම නොවේ. වීදිය බණ්ඩාර නිතර ඇති කල 'වීදියේ හටන්' වලටද අනේක ලෙස මුහුණ පාන්නට සිදුවන්නේය. සවැනි පැරකුම්බාවන් [1410 - 1462] කෝට්ටේ රජකම් කරමින් ඇතිකල විභූතිය, සාහිත්‍යාලෝකය මැකී යන්නට මේ නොනවතින සටන් හේතු වූවායැ‍යි ද සිතිය හැක. වීදිය බණ්ඩාර යනු අසීරු අවස්ථාවලදී තමනට පිහිටවූ, ගම්බිම් නවාතැන් දී සැලකූ, හත්කෝරළයේ ඉරුගල් රාජ පරපුරේ එදිරිමාන්නසූර්‍ය රජද මැරවූ කෙනෙකි.

එහෙත් සීතාවක රාජසිංහයන් සත්කෝරලේ ආක්‍රමණය කර එදිරිමාන්නසූ‍ර්‍ය රජු මැරවූ අයට දඬුවම් දී, උපකාර කල අයට කළගුණ නොසැලකූ විට සිදුවන ව්‍යසන රට වැසියනට දැනගනු පිණිස අඬබෙර ලැවීය. අවසානයේ වීදිය බණ්ඩාරට ලැගුම් වන්නේ යාපා පටුනය. එහෙත් තම රටට ව්‍යසන කල විදිය බණ්ඩාරට එහි වුසූ දෙමළ ජනයා අතින් මැරුම් කන්නට වන්නේ තනිවම නොව අඹේපිටිය නයිදේ හා විජයපාල ආස්තාන කුමාරයා ඇතුලු තවත් බොහෝ දක්ෂ සටන් කරුවන් සමගින්මය.

මායාදුන්නේගේ අවෑමෙන් ලක්දිව බලය කෙමෙන් කෙමෙන් තරකරගමින් සිටි සීතාවක රාජසිංහ සමග දරුණු සටනකට ප්‍රතිකාලුන් පිලිපන්නේ දොන් ජුවන්ගේද සහය ඇතිවය. එහෙත් නිර්භය රාජසිංහ රජු පලමුව යුදට යැවූ වික්‍රමසිංහ මැති පැරදෙනු දුටද නැවත උපක්‍රම සකසා, අතුරුගිරි කෝරලය, නව යොදුන් කෝරලය, ගිරුවාපත්තුව, තිරික්කෝවිල, තිරිකුණාමලය, පස්යොදුන් කෝරලය, අනුරපුර, හලාවත  මාතර ඈ නොයෙක් පෙදෙස්වල ජනයා එක් රැස් කොට විසාල බලමුළුවක් සාදා මුල්ලෙරියාවේ වාඩිලාගත් ප්‍රතිකාලුන්ව වටකොට පහර දිනි. දෙවැනුව, ඉසුඹුවක් ගැනීමට ඉඩ නොතබා තුමූම සේනාවක් ගෙන හදිසි ප්‍රහාරයක් දියත් කොට පුරුතුගීසීන්ට දරුණු පරාජයක් අත්කර දෙන්නේය. එහිදී රජතුමා සමගින් සටන පිලිපන් 'අත්තන්හරී අබය අලහප්පෙරුම විජයවර්ධන' මැතිදුන්ට දෙනවක පස්රට තෑගි ලෙස ලැබෙන්නේය.

නිර්මාණශීලී ගැමි කවියකුද වූ අලහප්පෙරුම කවියා යුද සේවයෙන් තම මෙහෙවර නිම නොකොට 'සීතාවක හටන' නමින් සිංහලයේ මුල්ම හටන් කවි සාහිත්‍යය අරඹන්නේ කවි 1120ක් රචනා කර ඉතිහාසයේ වැලලීමට තිබූ කාරණා රැසක් සිය ඇසින් අරුත්ගන්වා ග්‍රන්ථාරූඪ කරය. අල්ලක් දැන කන්දක් විලිලන්ට දතකන අද දවස පණ්ඩිතයන් මෙන් නොව ඔහු සිය කාව්‍යය නිමකරන්නේ නිහතමානීවවත්, අදීනවත් ලෙසය.

'එළු පාලි නොමදැන
බසින් සිංහල රැගෙන
මෙ සීතාවක හටන
කව් කල පෑය මනැන පමණිය'

ලංකා ඉතිහාසයේ බටහිර ආක්‍රමණයට අතිශය නිර්භවූත් සාහසික වූත් ප්‍රහාරයක් එල්ලවන්නේ සීතාවක රාජධානි සමයේය. සෑම රජෙකුටම තිබෙන්නාවූ යම් දුර්වල කමක් ප්‍රයෝජනයට ගන්නාවූ අවස්ථාවාදීන් එමටය. රාජසිංහ රජතුමාට කුඩා කළදීම මුහුණු දීමට සිදුවූ අභියෝග නිසා එතුමාට ආරෝපණය වූ සැහැසි බව තුලනාත්මකව දකිනට නොහැකි වූ සංඝරත්නය නිසා හේ මලබාරයෙන් ආ අරිට්ඨ කීවෙන්ඩු පෙරුමාල්ට ලංවිය. ශිව සමයද වැලඳ ගති. තමාට උදව් කල දක්ෂ සෙන්පතියකු වූද තමනට බොහෝ ජයග්‍රහණ අත්පත් කර දුන්නාවුද වික්‍රමසිංහ මුදලිඳුට වස දී මරා දැම්මවීය.

මාන්නප්පෙරුම මොහොට්ටාල නමින් අලුත් නම් ලත් මේ අරිට්ඨකී අවසන 1593 රාජසිංහ රජුගේ මරණින් පසු නවතින්නේ දොන් ජුවන් ලඟය. රූකඩයෙකු වන දොන් ජුවන් ලවා ලංකා රාජ්‍යයේ ඔප්පු තිරප්පු තමන්වෙත ලියවා ගැනීමට ප්‍රතිකාලුන් ක්‍රියාකල අතර 1597 දොන් ජුවන්ගෙ අවෑමෙන් කන්ද උඩරට හැර අනෙක් සියලු භූමිය අත පත් කර ගැනීමටද සමත්වන්නේය.

ප්‍රතිකාලුන් සිංහලයා මත ඇතිකල අධික පීඩනයට මෙකල නායකත්වය සපයන්නේ කොනප්පු බණ්ඩාරයන්ය. බලන දුර්ගයේදී බිහිසුණු සටනකින් විසාල ජයක් අත්පත් කරගන්නා හේ විසාල යුධෝපකරණ රාශියක් අත්පත් කරගන්නේ, විමලධර්ම සූරිය [1592 - 1604] නමින් දිවයිනේ පරමාධිකාරීවරයාව, යාපාපටුන, ගාලු, කොළඹ කොටුද මුදාගෙන, දෝන කතරිනාවද පාවාද ගනිමිනි!

නැවතත් ප්‍රතිකාලුන් තමනට නැතිව ගිය භාග්‍යය ලබාගැනීමට එන්නේ ජෙරනිමෝ ද අසවේදු ගේ නායකත්වයෙනි. බලන දුර්ගයේ දී කෙරුනු නොයෙක් බිහිසුණු සටන්, පසුබැසීම්, නැවත පහරදීම් වලින් නොසෑහෙන ලෙස සමන්විත විණි. විමලධර්මසූරිය රජුගේ අවෑමෙන් දෝන කතරිනාවන්ගේ සහය ලබාගන්නා හීරළුවකු වූ සෙනරත් නැමැති දුර්වල පාලකයා රාජ්‍යත්වය ලබයි.

පලවැනි රාජසිංහ අනුගාමික නිකපිටියේ බණ්ඩාර 1616 දී සත් කෝරලේ කැරළි අරඹන්නේ මේ දුර්වල පාලනයට හා දිනෙන් දින ඉහල යන පූරුතුගීසි බලයට එරෙහිවය. Antonio Bocrro නැමැති පුරුතුගීසි ඉතිහාසඥයා පවසන්නේ ලක් දනන්ගේ අසහනකාරී මානසිකත්වයට හේ කොතරම් හොඳින් නායකත්වය දුන්න්නාද යත් දින 80කින් මුලු දිවයිනේම ජනයාගේ නතුභාවය ලබාගන්නට හේ සමත්වුණු බවයි. සෙනරත් රජුගේ සෙනාංක භාර ප්‍රධානියා ලෙස අන්තෝනි බරෙත්තු හෙවත් 'කුරුවිට රාළ' පත් කිරීම සෙනරත් රජුගේ අඥාණ භාවය ප්‍රකට කරවන්නකි. හේ පසුව නිකපිටියේ බණ්ඩාර හා එක්වන්නේ සබරගමුව දක්වා කැරළි දිග්ගැස්සවීමෙනි.

සුභාෂිතය ලියූ අලගියන්න මුකවැටිතුමා පසුව දෘෂ්ඨීන් වෙනස් කොට ලියූ 'කුන්ස්තන්තීනු හටන' හී කථා නායක කුන්ස්තන්තීනු ද සා දෙවැනි වරට මෙරටට පාතබන්නේ මේ කැරැළි මැඩ පැවැත්වීම සඳහාය. දිගින් දිගටම ලක් රාජ්‍ය කොල්ලකෑම පුරුතුගීසීන් විසින් කරගෙන යන්නේ කන්ද උඩරට ආක්‍රමණය කිරීම පෙරදැරි කරගෙනය. දෙවැනි රාජසිංහ [1634 - 1687] හෙවත් සෙනරත් රජුගේ පුත් කුමරුන්, කන්ද උඩ පස් රට බලය ලබා ගන්නේ මෙවැනි වටපිටාවක් තුලය.

1638 දී පුරුතුගීසීන්ගේ බලවත් ප්‍රහාරයකට ලක්වූ දෙවැනි රාජසිංහ රජතුමා මහනුවරින් උපක්‍රමශීලීව පැනයන්නේ නුවරට ඇතුලු වූ සතුරන්ට සතරවටින් දොරගුළු දාගෙනය. නුවර ගිනිබත් කොට කොල්ල කෑ විශාල පුරුතුගීසී හමුදාවෙන් තිස් තුන් දෙනෙකු හැරෙන්නට සියළු දෙනාම බලන කන්දෙන් පිටවී යාමට තැත්කිරීමේදී රාජසිංහ හමුදාවට අසුව මැරුම් කෑහ. පුරුතුගීසි හමුදාවේ සිටි ලස්කිරිඥ්ඥා හේවායින් හෙවත් දේශීය කුලී හේවායින්ද ඔවුනගේ පුරුතුගීසි ස්වාමියා අත්හලේ මරණයට බියෙනි. හිස්ගෙඩි ගෙලින් සිඳ රණබිමෙහි ගොඩගස්වනු ලැබීය. රාජසිංහ රජ රාජ්‍යත්වය නැවත් ස්ථාවර කරන ලදී.

රාජසිංහ රජුගේ උඩරට හමුදාව, සාමාන්‍ය හමුදාව (අතපත්තු හමුදාව), යුධ හමුදාව හා අනිවාර්‍ය සේවා කොටස්වලින් සමන්විත විය. අතපත්තු හමුදාව සාමන්‍ය ගම් වැසියන්ගෙන් සෑදුනාවූ විය. විශේෂ සේවා සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙනා අගම්පොඩි හමුදාවක්ද උඩරට බලකායේ විය. පලවෙනි රාජසිංහ සමයේ මෙන්ම කලාව, සාහිත්‍යය, ආගම පිරිහීම දෙවැනි රාජසිංහ සමයේ පැවතීම තේරුම් ගැනීම අපහසු නොවේ. ඒ වෙනුවට හටන් කවි, ප්‍රශස්ති අතරින් පතර හෝ බිහිවීම අගය කල යුත්තකි. ඒ මන්ද යත් සාහිත කලා බිහිනොවන කාල වකවානුවක ඒ යුගයේ ඇවතුම් පැවැතුම් නශ්ඨාවෂේශව පවත්නේ මේ නිර්මාණ තුල නිසාය. රජතුමාගෙන් තාන්න මාන්න බලා අතිශෝක්තියෙන් වර්ණනාවන් සිදුවීම නොවැලැක්විය හැකි කරුණකි. එහෙත් රාජ්‍යත්වය ස්ථාවර කිරීමෙහි ලා ඒ අභීත රජවරුන් ගිය ගමන් මග තුල නිමැවූ මේ නිර්මාණවල ඇති ඒ නුගුණ පමණක් ඉස්මතු කිරීම නොමනා යැයි සිතමි.

පලවෙනි රාජසිංහට මෙන්ම දෙවැනි රාජසිංහට වැරදී ගියේ පෘතුගීසීන් එලවීමට ලන්දේසී සහය පැතීම නිසාය. පසුව එය වැරැදි තීරණයක් බව පැහැදිලිව ගියද ලන්දේසීන් සමග එකඟතාව රජතුමා පාඩු දරමින්ම නොබිඳි බව ප්‍රකටය. රජතුමාගේ රණශූරත්වය ප්‍රකට කරමින් කවි, සිලෝ, ප්‍රශස්ති ලියූ වන්දිභට්ටයින් අතර බුන්නෑපාන රාළ, බිංතැන්නේ සාමි, වේවැල්දෙනියේ මොහොට්ටාල, ඌවේ මොහොට්ටා යන අය බෙහෙවින් ප්‍රකටය.

රාජසිංහ නාමය වනමින් ලියූ රචනා බොහොමයකි. ඒ අතර, පැරකුම්බා සිරිත අනුව යමින් ලියූ 'පවන' හා 'රාජසිංහ වර්ණනාව' එයින් ප්‍රකටය. අඹන්වෙල රාළ මෙහෙයවූ නිලඹේ කැරැල්ලෙන් පසු රාජසිංහ රජතුමා හඟුරන්කෙත වාසස්ථානය කර දියතිලක පුර නැංවූ [1668] කාලයෙහි ලියැවුණු 'පවන' කෘතිය අමුද්‍රිතය. කාව්‍ය සාහිත්‍යයෙන් ගීත සාහිත්‍යයට ගත හැකි ගුණාංග මේවායේ ඇති බව කියැවේ. බටහිර ගීයෙහි ඇති 'කෝරස්' බඳු මුද්‍රප්පදයක්ද මේ කවි වල රඳවා ඇත්තේ ඒවා ගායනයෙන් රජතුමා පිනවීම සඳහාමය. 'ශ්‍රී නාමය', 'රාජසිංහ විරුදාවලි', 'පරංගි හටන', 'රජසිහ සිරිත' අනෙකුත් ප්‍රසිද්ධ රචනාවේ.

ඉස්තරම් ගණයේ භාෂා ඥාණයක් තිබූවෙකු යැයි සිතිය හැකි ඌවේ මොහොට්ටාල ලියූ කවක් පහත ටී එම් ජයරත්නයන් හා නීලා ව්ක්‍රමසිංහයන්ගේ මධුර හඬින් ගැයෙයි. එහි ඇති එක් පදයක් කාව්‍යයේ එක් පෙලක් ලෙස ලියැවී ඇත්තේ මාත්‍රා 52ක් පමණ එන පරිදිය:

"නොතැකුම් රුදු විරුදු අඩම්බර නොතරම් කර සිරිඳු උතුම් රඟ
සැතැපුම් සැදු මහරු විකුම් බුජ රණ මන්දිර බූපා"

ගීයෙහි මුල් පද 'රාජසිංහ සිරිත' කෘතියෙන් ගත් ඒවා ලෙස පෙනේ.



යුද්දෙටත් ඇවිත් සිඳු පිට නැව් නැගිලා - පරංගි
උන්නු මුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
අන්දමත් සොඳයි කෙරු කිසි බිසී ගාලා - කොළඹදි
කම්පලක් නැතුව සෙනගක් මරාදාලා

ලත් දනත් කියත් මහ සෙන් රට ගන්ටා - සතුරු
මත් වෙලත් දොඩත් වෙරි මත පෙන්වන්ටා
කත් ගෙරිත් මසුත් උන්ගේ පනයන්ටා - නැමද
රත් පෙලත් ඉඳිත් සියොගත බැරි වෙන්ටා

යුදයද නැංග - නෙතුරිඳු ගුම්ද
ලෙසට දිනින්ද - ගෙන පානේ
යුදට අනංග - සරගෙන ගුම්ද
කොඩි බැඳමින්ද - එයි රුසිනේ

නොතැකුම් රුදු - විරුදු අඩම්බර
නොතරම් කර - සිරිඳු උතුම් රඟ
සැතැපුම් සැදු - මහරු විකුම් බුජ
රණ මන්දිර බූපා

සතපෙම් කොඳ කිවිඳු - පියුම් වන
හිම ගිම් රිවි විලස - උදම් සහ
තැවැරුම් කර තෙදන - කොකුම් තෙන
දිගඹුන් පර තාපා

මනරම් යස කෙහෙළි - නොහිම් ලෙස
බිහිඟුම් දිගු යටග - නැගුම් කළ
සුරඳුම් තිලිනිසුරු - සුජම්පති
මනයොන් තුනු රූපා

සදහම් තෙල කෙසර - රැඳුම් වන
රණකුම් දිසි දඹදෙණි - ගම්පොල
දැදිගම් නගරාදිප - රම්යුර
නෘපසිංහ මහීපා

ඇසුරු කල පත පොත
• උඩරට නැටුම් කලාව - ජේ. ඊ. සේදරමන්
සීතාවක හටන - මහාචාර්‍ය රෝහිණී පරණවිතාන සංස්කරණය
රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය
දියතිලක නුවර - සෙනර්ත් බණ්ඩාර දිසානායක
ලංකාවේ ලන්දේසි බලය - ආචාර්‍ය එස් අර්සරත්නම්
සතර කෝරළේ ඓතිහාසික හා සාහිත්‍ය විමර්සනය- ජී. ආර් ගුණවර්ධන බණ්ඩා
කෑගලු වර්ථාව - එච්. සී. පී බෙල්
සීතාවක රාජධානියේ උන්නතියේද අවනතියේද සමහර අංශ පිළිබඳ විමර්ශනයක් - මහාචාර්‍ය රිසිමන් අමරසිංහ
Battle of Randeniwela 1630 AD - Sri Lanka Military Academy


පාඨකයන්ගෙන් ලැබුණු තොරතුරු
1. පෘතුගීසීන් හා ලංකාව | පරංගි කෝට්ටේ - මහාචාර්‍ය ටිකිරි අබේසිංහ 
2. ලක්දිව ප්‍රතිකාල් ප්‍රයත්නය - සෝමපාල උඩකන්දගේ
3. Fidalgos in the Kingdom of Kotte (1505-1656) - O M de Silva

4. පළමුවන රාජසිංහයන් පිළිබඳ අප්‍රකට ජනකතාවක්  - එම්.පී.පී.ගුණසිංහ
5. බැරැණ්ඩි කෝවිල හා පෙතංගොඩ උයන ගැන මග විස්තර - Thanoja's Dreams

සංස්කරණය 1
යුද්දෙටත් ඇවිත් සම්පූර්ණ ගීතය
[උපුටා ගැනීම සේදරමන් ගුරුන්නාන්සේගේ උඩරට නැටුම් කලාව කෘතිය - 1962/2014- එම් ඩී ගුණසේන]

යුද්දෙටත් ඇවිදින් සිදු පිට නැවි නැගිලා - පරංගි
උන්නුමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
අන්දමත් සොඳයි කෙරු කිසි බිසී ගාලා - කොළඹදි
කන්පලක් නැතුව සෙනගක් මරාදාලා

ලත් දනත් තැනින් කියත් මහසෙන් රට ගන්ටා - දෙමළු
මත් වේලත් දොඩත් වෙරිමත පෙන්වන්ටා
කත් ගෙරිත් මසුත් උන්ගේ කුණුපණයන්ටා - මෙහි
නැත් කිසිත් ජයක් යුධ කෙරුමෙන් උන්ටා
                [පිට - 148]

නොමදින් විකුම් පාලා
සැදෙමින් යුදට ජය ලන්දෙසින් සමගින් එ ජනරාලා
සමිඳුන්ගෙ භුවි පාලා
සියසේ අතින් මියෙමින් ගියෝ  යුදයෙන් ඇනුම් කාලා

රන්නා එ ලන්දේසී
මන්නා මෙලෙස පෙන්නා බලය පන්නාලීය සීසී
ගෙන්නා ඉංග්‍රීසී
දන්නා ඔවුන් ගෙන්නා බැඳල සෙන්නා අයට දාසී
                [පිට - 27]

 


Read More!

ස්වර්ණදීප පරවියනේ...!

පරවියන්ට කවුරුත් කැමතිය. උන් සාමයේ සංකේතයය. නූතනයේ කවුරුන් හෝ විසිකරන යමක් කා ජීවත් වෙයි. පාටින්ද විවිධය. ජනක රත්නායක කළු පරවියෝ කියා කථාවක්ද ඇඳීය. සුදු පරවියන් විරලය. රජගෙදර පරවියෝ නමින් චිත්‍රපටියක්ද විණි. පරවියන් මෙන්ම කොබෙයියන්ද එන්නේ රෑන් පිටින්ය. ඒත් එහෙම එන්නට ලේසි නැත. සර්පයින් නිසාය. මුලින් බොරු කියා හැම රැවටූ රැංගෝට තුවාලවුනු කුරුල්ලා මෙලෙස කියයි:

Wounded Bird: You killed bird.
Rango: Yeah. [laughs] Matter of fact I did.
Wounded Bird: Bird dead. Snake come.
Rango: Is it snake?

රැංගෝ නාගයා ගැන නොදනියි. එයට උත්තර දෙන්නේ සුහුඹුල් ප්‍රිසිලාය:

Priscilla: He means Rattlesnake Jake, Mr Rango. 
He never comes to town cause he's scared of that hawk, but might come now. 
May I have your boots when you're dead?

රැංගෝට චක්ෂුසය පහල වන්නේ මියෙම්වා රැකෙම්වා කියා අධිවේගය හරහා පාර පැන්න විටය.

උකුස්සන් සරන්නේ තනිවමය. රාජාලීන්ද එසේමය. උකුස්සන්ගේ සටන ඇත්තේ නාගයන් සමගය. පරවියන් සමග උනට සටනක් නැත. උකුස්සා පෙහෙළි කල මගට විසී කල, කෙතෙහි සිටවූ ආහාර පරවියන්ට රිසිසේ බුක්ති විඳිය හැක. උකුස්සන් එකිනෙකා අතර සටන් දැක නැත්තේමය. 'ගගන' සරන උකුස්සන් එකිනෙකා කා කොටා ගැනීමට සැලස්වීම හොඳ නැත. එය ඔට්ටුවට කුකුලන් කෙටවීම මෙන් නොවේය. නාගයනට බර හෑල්ලු වේ. ගොදුරු පහසු වේ!




අත රන්වන් පරවියනේ

තුඩ රන්වන් පරවියනේ
ගෙල රන්වන් පරවියනේ
පාට එරන් පරවියනේ
ස්වර්ණදීප පරවියනේ

ලස්සන රන් හිමවතිනේ
වී බරටම අහුලාගෙනේ
රෑණ පිටින් නුඹ ගොසිනේ නුබ කුසිනේ
ඉගිල වරෙව් පරවියනේ

ස්වර්ණදීප රන් පොළවේ
වී වපුරව් පරවියනේ
හිරු දෙවියන් සරණින්නේ
බාල ලියන් සමගින්නේ
මියුරස ගී ගයමින්නේ
කෙතට බසිව් පරවියනේ
Read More!

ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා...


සුනිල් එදිරිසිංහයන් සුනිල හඬින්, වාදකයාණෙනි ඔබේ සිතාරය, මෝහයේ සුරාවිත අඩ අඳුරේ තොලගාන්නා මන්මත් කරවීමට නොවයා, කෙතක ගොයම් නෙලනා ලඳුන්ගේ දෙතොලේ ගීයේ තනුවට මුසුකරවන්න යැයි ගයයි. සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගේ ඒ අපූරු ගීයට තනුව යොදන්නේ සනත් නන්දසිරියන්ය.

ගායකයනටද එපරිද්දෙන්ම කරනා අපූරු ඉල්ලීමක් ප්‍රියානන්ද විජේසුන්දරයන්, නීලා වික්‍රමසිංහගේ මුවගට නංවන්නේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අපූරුම තනුවකිනි.

ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා
ගායකයාණෙනි මන බඳිනා - මන බඳිනා
සෝ ළතැවුල් හද උතුරන අයුරින්
පෙම් ගී නොගයන් මතු දවසේ

නීලා 'සෝ ලතැවුල් හද...' යන පෙලට ඉමහත් අලංකාරයක් ගෙනඑයි. මුලදී ලඝු ලෙසත්, දෙවැනුව ගුරු ලෙසත් මන බන්දනීය ලෙස ඈ මේ ඉල්ලීම කරන්නීය.

සවිබල දෑතින් පස්කැට පෙරලන
ඩා බිඳු මතුවී සියොළඟ උතුරන
දරුවන් දිරි ගන්වන්නට දෙරණේ
ගයනු මැනවි අභිමානන ගී

පොදු නිශ්පාදන කටයුත්තකට සම්බන්ද නොවී, ශ්‍රමය නොවගුරා, අතනින් මෙතැනින් පහුරු ගා සොයාගත්දෑ අතන මෙතන එල්ලීමට පුරුදු පුහුණු කරනා, රුකුල් දෙන, අගැයීමට ලක්වන සමාජයක, වෑකන්දද අතනින් මෙතැනින් ඉරිතැලීම ස්වාභාවිකය. පාසැලේ දරුවන් සඳහා සමහර ගුරුවරුන් කරුණු එකතු කරන්නේද මූණු පොත ඇසුරිනි. ගුරුවරයා 'ශික්ෂක වෘත්තිකයා' ලෙසින් මුනිදාස කුමාරතුංගයන් හැඳින්වූයේ නිකමට නොවේ. ගුරුවරයා මුළු මහත් සමාජයක්ම ගතින් සිතින් සවිබල ගන්වන්නන්ය. ඒ වරුවෙන් ගෙදර ඒමටවත්, වෙනත් වෘත්තියක යෙදිමට අධ්‍යාපනික පරිණතභාවයක් නොමැති වීමක් නිසා කෙරෙන්නක් නොවේ. අද අපට ඇති ගුරුවරු කවුරුන්ද?

මරසෙන් ගුගුරා පෙරමුණ ආවත්
අපගේ අරමුණ නෑ නවතින්නේ
සෞභාග්‍යය සැප සතුට නිධානවු
ලොව ඉදිකෙරුමට යනවා

කඩදාසි මත සිදුවන සැලසුම්, පසෙහි යථාර්තයක් කරගැනීමට නොපසුබස්නා වීර්‍යයක් අවශ්‍යය. වීර්‍යය සැමට එකලෙස නැත. කණ්ඩායම් ක්‍රියාකරකම් හා නායකත්ව මැදිහත්වීම් මෙහිලා වැදගත් වන්නේ, එකී නොකී සෑම දෙනම යම් කටයුත්තකදී නිශ්චිත ලක්ෂයක් වෙත සමූහයක් ගෙනයාමටය.

ඔබගෙ පෙම් ගී දැහැනින් මිදිලා
ගායකයාණෙනි අපි දිරි වැඩුමට
උදාන ගී මතුරණු මැනවී
උදාන ගී මතුරණු මැනවී

ගුවන් විදුලියෙහි ප්‍රබුද්ධ ගී නමින් නිමැවුණු මේ ගීය ඇතුලු අනෙක් ගී අකාලික යැයි සිතේ. ඒවා ප්‍රබුද්ධ වන්නේ සමාජයේ සෑම සංරචකයක් විසින්ම විඳගැනීමට සමත් කමක් ඇති නිසා බව මම විශ්වාස කරමි. ඉතා අල්ප රස ඇති ගීයක් දෙකක් ලියා ගී ලිවීමට උපදෙස් දෙන්නට යන, එබඳු ගීයක් දෙකක් ගයා ගී විනිශ්චයට පෙළැඹෙන මෙවන් යුගයක, සැමකල්හීම දනන් තුඩග රැව්දෙන මෙබඳු නිර්මාණ බිහිකල ප්‍රියානන්ද විජේසුන්දරයන් වැන්නවුන් සිංහල ගී කෙතෙහි යුග පුරුෂයන්මය!

ගීතය අසන්න...




Read More!

සඳ එළියේ ඔබ ඉන්නේ...

අමරදේවයනට මහගම සේකර විය. වික්ටර්ට, මර්වින් පෙරේරාට, ශ්‍රීමතී තිලකරත්නට ප්‍රේමකීර්ති සිටියේය. මහගම සේකරගේත් ප්‍රේමකීර්තිගේත් කිත් යසස් මැද වැළලී යන්නන්ද බොහෝය. ඒ මහගමසේකරගේවත් ප්‍රේමකීර්තිගේවත් වරද නම් නොවේමය.

ඉස්සර වූයේ නිතර දෙවේලේ දකින කුකුලාගේ කරමල ඉක්මණින්ම සුදු වී යාමයි. එහෙත් අද වන්නේ නිතර දෙවේලේ දකින කුකුලා 'බෝයාවක්' කරගන්නා සුහුඹුල් මාධ්‍යවේදීන් තමා ගිලෙන්නට නොදී මේ බෝයාවන්හි එල්ලීමය. [මේ බෝයාවේ කථා රසකර කියන්නේ දුෂාන් සොයුරාය! ඒවා පසුවට!!]

ගීත එක්දහස් හයසීයක් පමණ ලියූ, නීලා වික්‍රමසිංහයනට ගී පද මාලා උල්පතක් වූ, පසුවූ දශක දෙකහමාරක පමණ යුගයේ කිසිම ප්‍රසිද්ධ මාධ්‍යයක සාකච්ඡාවට, විභාගයට ලක් නොවූ ගීත නිබන්ධකයෙකු, ශබ්ද පරිපාලකයකු, නිවේදකයකු, සහාය සිනමා [දෙව්දුව, පරසතුරෝ, මිහිදුම් සිහින, මේජර් සර්, මධු සිහින] අධ්‍යකෂකවරයකු වූ එක් අපූරු මිනිසෙක් ගැන සොයන්නට බලන්නට මා පෙළැඹවූයේද ඔහුගේ ඒ අපූරු ගී නිර්මාණයි.

මීට දශකයකට පමණ පෙර අප්‍රිකාණු මහද්වීපයේ දකුණු කෙළවරටම වන්නට වී ගතකල කාලය තුල, කුමක් හෝ හේතුවක් නිසා මගේ මතකයට නිතරම ආ ගීයකි: එහි රචකයා ගැන එදා ඒ හැටි නිනව්වක් නොවිණි:

"සදා උකුළු තල - මා සුව යහනට
තොළගින් මැතිරූ - නැලැවිල්ලෙන්
හැරලා මා සුව - සිහින විමානෙට
නිදි ගන්වා මා - ඔබ තුරුලේ...."


දකුණු පයාගල උපත ලැබූ අපේ කථා නායකයාට වයස හය හත වන විට එස්රාජ් පුහුණුවට යන නැන්දාගේ තනියට ඇයත් සමග යෑමට සිදුවෙයි. මේ කම්මැලි රාජකාරියක් වුවද කථා නායකයාට මේ වටපිටාව සැකසෙන්නේ අප වන් රසිකයින්ගේ භාග්‍යයටමය. පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සිට සාමාන්‍ය පෙළ සඳහා හේ කොළඹ ඉසිපතනට විද්‍යාලයට එයි. අද 'කිවි' දේශයේ වසන, එදා මේ අප තරුණ, කඩවසම් කිවියා, සිය කිවි කමින් නොසෑහී නිබයවම ප්‍රසිද්ධ ගායක ගායිකාවනට සිය ගීත ප්‍රබන්ධ ලියා, තැපැල් කර යවන්නේ පාසල් සගයින්ගේ ඔච්චම්ද මැද්දේය. "කෝ තාම උඹේ සින්දුවක් කීවේ නැද්ද කවුරුත්..?"

කාලය මෙසේ ගෙවී යද්දී අප කථා නායකයාට අතුල සෝමසිරිගෙන් "මල්ලී" ආමන්ත්‍රණයෙන් අපූරු තැපැල් පතක් ලැබේ. ශ්‍රී ලංකා
ගුවන් විදුලි සංස්ථාව, සිය බිරිය වන ලාලනී සෝමසිරිගේ සරල ගී වැඩසටහනකට අප කථා නායකයාගේ ගී තුනක් ගායනය කරවා පටිගත කර ඇති බවත්, අසුවල් දා, අහවල් වේලාවට ඒ විකාශනය කරවන බවත්ය.

මේ එක්දාස් නමසිය හැත්තෑ එක වසරයි!

ගුවන් විදුලි යන්ත්‍රයක් තමන්ටය කියා නොතිබූ අප කිවියා ඩිස්ප්‍රීන් දෙකක් ගැනීමට යයි කියා සිය මිතුරු සිරිපාල සමග සිය නිවසින් එළියට බසින්නේ සිරිපාලගේ පියාට හිමි පිළියන්දල 'සිරි බේකරිය' අසලට යාමටය. ඒ එතැන ඇති ගුවන් විදුලියෙන් අර තමන් ලියූ ලාලනී සෝමසිරි ගැයූ ගීත අසන්නටය. 


සියලු බලාපොරොත්තු ගිලිහී යන්නේ 'ප්‍රවෘත්ති' ඇසීමට සිරි මුදලාලි රේඩියෝව අනෙක් චැනලයට සුසර කිරීම නිසාය. අවසානයේ තම නිර්මාණ දිවියේ පළමු සජීවී ප්‍රචාරය ඇසීමේ භාග්‍යය ඔහුට අහිමි වේ. ගුවන් විදුලියෙන් තැටි වලට නොකැපුණු, නොනැගුණු මේ ගීත අද සොයා ගැනීමටවත් නොහැකි බව හෙතෙම කියයි. එහෙත් දුර්මුඛ නොවී ගී එක්දහස් හයසීයක් ඒ පන්හි‍ඳෙන් ලියැවෙන්නේ කළු වලාවන්හි රිදී වනින් දිළිසුණු රේඛා හෙතෙම දු‍ටු නිසාය.
සුළං කෝඩ වැහි වලා පෙළ ගැසේ
සිත් සමුදුරු අහසේ
කුණා‍ටු විහඟුන් අඳුරු වලා මැද
රිදී වනින් දිළිසේ...

ඔබ සයුරේ මා අඳුරු පැල්පතේ
රළ නැගෙනයුරින් නුරා වේදනා
නැගී නැ
ගී තෙරපේ සිත් සයුරේ...

වාරකන් සුළං සිත් සනහාලයි
නුරා වේදනා නිවී නිවී යයි
කුසගිනි සෙබලුන් හිස ඔසවාලයි...

[සංගීතය සේන වීරසේකර | ගායනය නීලා වික්‍රමසිංහ]


සහන නිවේදයකයෙක්
ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රාජකාරි කල සමයේ, සිරිමා බණ්ඩාරණායක අගමැතිනිය කතරගම ශුද්ධ භූමියක් කර සුදු ඇත් පැටියෙකු පූජා කරනා උත්සව අවස්ථාව ආවරණය සඳහා ඔහුට යන්නට ලැබෙන්නේය. ඒ, මැද මාස්ටර් (අමරබන්දු රූපසිංහ) හා පොඩි මාස්ටර් (ප්‍රේමකීර්ති) ට අමතරවය. සජීවී ප්‍රචාරය උදේ හත හමාරට පටන්ගන්නා බව දන්වා තිබූ නිසා මාස්ටර් කට්‍ටුව පාන්දරම වැඩ ඇල්ලීමට නික්ම ගොසිනි. එහෙත් නොසිතූ ලෙස සම්භාවනීය අමුත්තන්ගේ කලින් පැමිණීම නිසා එදා වැඩසටහන පෑ භාගයක් ඉදිරියට පැමිණෙන්නේය. රිජ්වේ තිලකරත්න පාලන සමය වූ එදවස වැඩසටහන් නිෂ්පාදිකාව වූ ජී. එස්. බී. රාණී මහත්මියගේ බලවත් ඉල්ලීම පිට කාරිය බාරගන්නා ඔහුට, හතරවාරයක්ම වැසිකිලි ගොස් වුවද සාර්ථක සජීවී ප්‍රචාරයක් ලබා දීමට හැකිවී ඇත. එදා එසේ වූයේ කතරගම දෙවියන්ගේ ආශීර්වාදය මේ සද්කාර්‍යය සඳහා නොඅඩුවම ලැබූ නිසාම විය හැකි බව අද හේ සිනාසෙමින් කියයි.

"ඉඟි බිඟි කරනා - තරු නෙතු වලට හොරා
සැඟව සිනාසෙමු - අප ලොව හිඳින තුරා"


'ඔබේ ගීත එකතු කරල පොතක් එහෙම නිකුත් කරන්න බාලාපොරොත්තුවක් නැද්ද?' මම විමසීමි. "අත් පිටපතක්වත් මම තියාගෙන නෑනේ... ඒත් ඉතින් මගේ ප්‍රියාදර බිරිඳ ඉතින් හෙමින් සැරේ මේව එකතු කරගෙන යනව...". රිඟින් ටෝන්ස් වලින් කෝටිපතියන් බිහිකරන සමාජයක මෙවන් මිනිසුන්ද අපිස් සතොස් බවින් යුක්තව විසීම හැබෑටම පුදුම සහගතය.

"ප්‍රේම යාතිකා - ඇති ඔබ ගැයුවා
ගායකයාණෙනි මන බඳිනා - මන බඳිනා
සෝ ලතැවුල් හද උතුරන අයුරින්
පෙම් ගී නොගයන් මතුදවසේ - මතු දවසේ.."


ඔහුගේ අසාමාන්‍ය සරල වාග් විලාශයට විෂය වන්නේ ප්‍රේමය පමණක් නොවන වගට ඉහත ගීය කදිම නිදසුනකි. ඒ වචනවල ඔහුටම ආවේණික ගුණයක් මම දකිමි. සාහිත්‍යමය ගුණයත්, ජනවහරත්, කටවහරත් එක මිටියට බැන්දු රන් හුයක් ලෙස මම ඒ අර්ථ දක්වමි. තවද ඒවායේ අතිශය සුගායනීය බවකුත්, නොගැටෙන නම්‍යශීලී බවකුත් මම දකිමි.

"ඔබගෙ සෙවනේ - දැනෙන සහනේ
වේවා සදා වාසනාවන්
ඔබගෙ සරණේ  - නොහිමි සෙනෙහේ
සසර සරණ තුරුම වාසනා.."

[විජේසුන්දර මහත්මිය විසින් මේ කුලරත්න ආරියවංශයන් ගේ නිර්මාණයක් බව දන්වා එවා තිබුනා. නිවැරදි කරමි. කුලරත්න ආරියවංශයනට කණගාටුව පලකරමි]

ලංකාවෙන් බැහැර ගතකලත් වසරකට වරක් හේ සිය මවිබිමට එන්නේ නිකම්ම නොවේ. සිය ශක්ති පමණින් කිවි දේශයේ මිතුරන් හා එක්ව එක් ‍රැස්කරගන්නා යමක් සිය මව්බිමේ කිසියම් පුණ්‍ය කටයුත්තක යෙදවීමටය. මව්බිමෙන් බැහැරවී, මව්බිමේ දොස්ම වයා සිටින්නට ඔහුට උවමනාවක් නැති සෙයකි. ඔවුන්ගේ සවියෙන් මවිබිමේ හිනා මල් කොපමණ මැවේද?

රෑහි රංචු හඬ අහලා හැන්දෑවට තරු බලන්න
බකිණි ගහේ ඉඟි කරනා කණාමැදිරි මල් ගණින්න
ඉස්සර වගේ ගොම්මනේට අම්මා එන මග බලන්න
අක්කණ්ඩී - ඉඳි වැට ගාවට යමුද හිනා මල් මවන්න...

කුප්පි ලාම්පුවෙ එළියෙන් බිත්තියෙ හෙවණැලි අඳින්න
ඉර‍ටු ඉලක්කම් ගැනලා පුංචි කතන්දර අහන්න
කෝම්පිට්‍ටු ගෙදර ඉඳන් රණ්ඩු වෙවී ඇද කරන්න
අක්කණ්ඩී - ඒ පුංචි ලොවට යමුද හිනා මල් මවන්න...

[සංගීතය රෝහණ වීරසිංහ | ගායනය නීලා වික්‍රමසිංහ]

සොඳුරු නිර්මාණකරණයේ යෙදුනු / යෙදෙන මිනිසුන්ගේ මා දු‍ටු  සුන්දරම කරුණකි. එනම් ඔවුනගේ නිහතමානිත්වයයි. ඒ සිත් වශීකරවනසුළුය. අමාරුවෙන් තටමා නිර්මාණයක් දොට්ට දමා, සිය සියලු ශක්තිය යොදමින් එම නිර්මාණය මුදල් කර ගැනීමට දත කන යුගයක මෙවැනි මිනිසුන් තම තමන්ගේ සොඳුරු නිසංසල රජදහන්හි රජවී සිටියි! 

ඔබ සිටින්නේ සිතට සිතාගන්නට බැරි තරම් ඈතක නොවේ. ඔබ විසින් නිමැවූ සියළුම ගී නිර්මාණ ඔබ ඔබේ ගුණ සුවඳ රැගෙන මේ ගුවන් ගැබේ සදා ඇදෙනු ඇත. ප්‍රියානන්ද විජේසුන්දරයාණෙනි; ඔබට නිදුක් නිරෝගී සුවත්, දීර්ඝායුත් පතමි. මෙතැනට එන සහෘදයන්ගේද නියත පැතුමත් එය වන බව මට විශ්වාසය.


"සිතක සිතා ගන්නට බැරි - දුරක නොවේ ඔබ ඉන්නේ
අතක දුරක පෙනෙන තැනක - සඳ එළියේ ඔබ ඉන්නේ

ඔබේ සුවඳ අරන් ඇදෙන - සුළං රොදක පැටලීගෙන
ගත දැවටුනු මගේ සළුව - ඔබ පහසට ඉගිලෙන්නේ

ගතේ පබා කැල්ම දුටිමි - නෙතේ සරා බැල්ම දුටිමි
ඔබ අසලට දිව එන්නට - දෙපා ගිගිරි පොරකන්නේ"
[සංගීතය පී. ඩන්ස්ටන් ද සිල්වා | ගායනය නීලා වික්‍රමසිංහ]
Read More!

කැන්දන් යන්නේ කවදද මා.....!

කථිකයා මැදි වියද පසු කල අයෙකි. දුඹුරු පැහැ ලියුම් කවර මිටිය තබා තිබූ ටීපෝව පසු කල ඔහු මනාල යුවල පසෙකින් සිට ගත්තේය. ආරිය ඇඳුමේ කර වාටියේ දෙපස දෑතින්  සීරුවට අතගෑවේ මහා බැ‍රැරුම් කථාවක් කීමටය...

ඔහු කථාව පටන් ගත්තේ මෙලෙසය...
"විගස වාහනයෙන් නිමූන් මු.... "
සභාව සිනාසුනි. මගේ ආච්චී කම්මුලේ අත තබාගත්තාය. එකල වයස අවුරුදු හයක් හෝ හතක් පමණ වූ මට ඒ කථාවෙන් මතක තිබෙන්නේ එපමණි.

දැරියක් කායිකව වැඩිවියට පත්වූ පසු සමවයස් පිරිමි ළමයෙකුට වඩා මානසිකව පරිණත බවක් දැක්වන බව මගේ අත්දැකීමය. දරුවන් තදබල ලෙස තමා සන්තකයේ තබා ගන්නා මැද පාන්තික පවුල් තුල අද දවසේ මෙසේ දැරියකට මනසින් මුහුකුරා යාමට ඉඩක් ලැබේදෝයි සැක සහිතය. පොදු ක්‍රියාකාරම් ඇත්තේද අඩු වැඩි ලෙස අදහස් වලින් සමාන වූ සමාජ ජාල තුලමය.

උත්සව සම්භාෂණ තවදුරටත් මිනිසුන් මුහුවීමේ අවස්ථා නොකිරීමට ඡායාරූප ශිල්පීනුත් සංගීත කණ්ඩායමුත් පැහැදිලි ලෙසම වගකීම භාරගෙන ඇත. අනෙක් පසින් බාල වයස්කාර විවාහයන් ගැනද බෙහෙවින් අසන්නට ලැබේ. එහි ඇත්තේ අර කථිකයා කී ලෙස "විගස වාහනයෙන් හනිමූන් යාමේ අවශ්‍යතාව පමණක්මද?

යුවතියක් විවාහයට පෙර බලාපොරොත්තු පුරවාගෙන සිටී...
ජාති කුළ මල කුමක් වුවද ඒ බලාපොරොත්තු ජීවිතයේ සොඳුරු පැත්ත හා බැඳී පවතී....

සුදු ඔසරිය ඇඳලා - සුදු මුතු පොට බැඳලා...
සුදු මල් පියවිල්ලේ සුදට සුදු - කවදද මා යන්නේ...

රෑ හීනෙන් දකිනා ඔබේ රුව - හදවත ඇඳගනිමි...
උදෑසනින් බි‍ඳෙනා සිහින ලොව - තනිවම ඉකිබිඳිමි....

රන් මිණි අබරණ හෝ පටසළු -  නැත මට දායාදේ...
කඳුලක රස දැනෙනා හදක් ඇත - වෙන්වූ නමින් ඔබේ...

අනුලා බුලත්සිංහල

එළෙසින්ම විවාභිමුඛ අප රට තරුණයාටද දැනෙනා වගකීම්ද සුළුවෙන් තැකිය හැකි නොවේ.
අවාසනාවකට ඒ ගැන කථා කරන්නෝද දුලබය. පැහැදිලි ජීවිකාවක් අරඹා නැති, අව්වට වැස්සට හෙවණක් දෙමාපියන්ගෙන් දායාද ලෙස නොලද තරුණයාට ඒ දෑ මහත්ම වූ පීඩනයකි.
ඒවා සම්පූර්ණ වනතෙක් සිටියහොත් ඔහුට තම සිත් ගත්තී හා එක් වන්නට මේ කපේදී බැරිවෙනු ඇත.
දෙමාපියන් තම වර්ථමානයද ඉවතදා දරුවන් වෙනුවෙන් උපයා තබන්ට වෙහෙසෙන්නේ මේ නිසාද?

රන්වන් රන් කෙත - සිපගෙන හමනා - පවන් පහස විඳලා
රන්වන් රන් - ආදර කඳු මුදුනේ - අළුත් ගෙයක් හදලා
කැන්දන් යන්නේ කවදද මා....

රන්වන් රන් හිරු - පායන දවසේ - ඉසිරු කුසුම් පිපිලා
රන්වන් රන් රත්තරන් ලඳේ පෙම් සිහින වැලක එතිලා
කැන්දන් යන්නට එන්නෙමි මා....

විහඟ තුඩක - සංගීතය මුමුණන - මතක ගීත අහලා
මියුරු කල්පනා - ලොවක් මවන්නෙමි - හිතක සුවඳ විඳලා
කැන්දන් යන්නේ කවදද මා

හිතක හැඟුම් පොදි - දෝතට අරගෙන - ඔබ දෑතේ තබලා
අලුත් බතක රස - විඳගන්නෙමි මම - ඔබේ අතින් උයලා
කැන්දන් යන්නට එන්නෙමි මා...
කැන්දන් යන්නේ කවදද මා....

අමරදේව - චන්ද්‍රිකා

විවාපත් යුවලට හතර වරිගයෙන් ලැබෙන පි‍ටුබලය කෙසේ වුවත් දේසනා නම් නිමක් නැතිය.
විටෙක දෙමාපියන් දරුවන් විවාපත් කරදී ඔවුනගේ ජීවිතය ඔවුනට ගෙනයන්නට ඉඩ දෙනවාට වඩා ඔවුනගේ ජීවිතද මෙහෙයවන්නට පටන් ගනී.
යෝධ ඇලේ බැස්ම සේ මේවා මුලදී පටන් ගන්නේ සුලුවෙන්ය: අවසන් වන්නේ නයගරා ඇල්ලෙනි.

අලුත ගෙනා මනමාලී - හරි ලස්සන හැඩ වැඩ ගම්බද කෙල්ලකි - 
අලුත ගෙනා මනමාලී....

නැන්ද මාම ගොඩක් - සතුටින් පිළිගත්තෙ - දෙපැත්තෙම  නෑ මිතුරන්
ප්‍රිය සම්භාෂණෙන් පසු - මංගල සබේ සිට - දැක්වූ කථාවලටත් සවන් දුනි - 
අලුත ගෙනා මනමාලී....

පුංචි මාම නැගී සිටිමින් - අවවාද ‍රැසක් දුනි - දේශණයෙන්
දරු මල්ලො - ගොඩක් ලැබෙවා නව යුවලට - කිව්වම කට කොණකින් සිනාසුනි - 
අලුත ගෙනා මනමාලී....

නෑසියන් පිටවූ - සැනෙකින්ම නැන්දම්ම ඇවිත් - ඉඳගත්තේ ලඟින්
දරු මල්ලෝ දෙකක් - හොඳටෝම අපිට ඇති - නේද දුවේ කියමින් වැලඳගති - 
අලුත ගෙනා මනමාලී...

රෝහණ බැද්දගේ - නීලා වික්‍රමසිංහ

බාල වයස්කාර නොවේනම්ද, විවාපත් වන්නට අදහසක් තිබේනම්ද එයට ඒ හැටි සුනංගු නොවීම කොයි දේටත් හොඳයැයි සිතේ.
සිතුවිලි සංකීර්ණ වී මිණුම් දඬු සංකීර්ණ වීම සහකරුවෙක් සහකාරියක් සොයාගැනීම, ‍තෝරාගැනීම අපහසු කරවන්නකි.
තරුණ කාලයේ හිතේ ඇතිවන ප්‍රේමණීය හැඟීම් ඒවාට සුදුසු කල්හීම දැරිය හැකි නම් මනාය.
කල් නොයවා ඔබ ගන්නා තීරණ නිසා තවෙකෙකුගේ හිත රිදිය හැක.
ඒත් මේ ඔබගේ  ජීවිතයයි...

කිරි පබළු ගෙල මුතු පලඳා - හෙට මම දීගෙක යනවා
ගමම සතු‍ටු වෙයි ඔබ පමණක් ඇයි - මා හා අමනාපෙන්

මල් වැට අද්දර පොකුණු ඉවුරු පිට - ගෙදරට නොපෙනෙන මානේ
සතර පෝය දින මහවැලි ගංතෙර - බොඳවී ගිය සඳපානේ
ලිපියක ලියැවුණු අකුරු කීපයක් - මැදි වී දු‍ටු පෙම් සීනේ
සිත් නෙත් අතරට හසුවී එළඹුණි - මේ අවසානේ

පළඟැටි රෑණක් අඬන විලාසෙන් - අඳුරට ඉඩදී ඇහැරී
වැඩි බර පැත්තට හිත හරවාගෙන ඉන්නට සිදුවිය ඉහිරී
හෙට පිය සැමියකු අතිනත ගන්නට - මොහොතක් එළඹෙයි මිහිරී
ඔබ සැනසෙව්වොත් ගමක් තරහවෙයි - අසරණනේ ඔබෙ සොඳුරී

රංජනී පෙරේරා
Read More!

වැහි පොද වැටිලා බිම් මල් පිපිලා....

වැහි පොද වැටිලා
බිම් මල් පිපිලා
සුදු පාටට මුතු කුඩ ඉහලාලා

සුදු මුතු කුඩ යට
පිණි පාවඩ පිට
කඩියෙක් යනවා රජෙක් වගේ
කඩියෙක් යනවා රජෙක් වගේ...

කඩියට යන්නට පාර තියනකොට
කඩියට ඉන්නට ගෙයක් තියනකොට
කඩියට කන්නට කෑම තියෙන කොට
ඌ නම් මේ ලොව රජෙක් වගේ
ඌ නම් මේ ලොව රජෙක් වගේ....



wahi poda watila bim mal pipila
Read More!

අකලට වට මහ වරුසාවක් සේ...| තොල ගෑ අමාවේ රහා..

A වෙත.

මේ ලියුම ලියන්නේ කථා කරලා කිව්වොත් මට මේක කියන්න බැරි වෙන නිසා. කිසිම හේතුවක් නැතිව මාව නිකන් කඩමාල්ලක් වාගේ අමතක කරලා ඔහේ හිටිය අවුරුදු ගනන, ඔයා, ඔයාගේ දියුණුවට ගමන් කරන්න යොදාගත්තට මම ඒ කාලේ ගතකල හැටි දන්නේ මම විතරයි. මෝරලා තිබිච්ච නැති මගේ හිත ඇතුලට, මම දුර්වල හැඟීම් බරවුණු වෙලාවක් බලලා රිංගපු ඔයාව, මට මගේ ලෝකෙම වුණා.

 ඒ සියලු දේම එහෙම්මම් තියෙද්දී, මෙහෙම මගේ ලෝකෙට ආවේ ඇයි ආයෙමත් අනාරාධිතවම?
මම දැන් නිවී සැනහිච්චි පවුල් ජීවිතයක් ගතකරන බව ඔයා හොඳින්ම දන්නවා, එහෙම නැත්නම් ඔයා ඒක උවමනාවෙන්ම අමතක කරනවා.

මට ඇත්ත කියන්න, එදා මගේ මුහුණට මුණගැහුණේ හොඳිනම සැලසුම් කරලා නේද? ඒක අහම්බයක් නෙවී නේද? අවාසනාවට මගේ හිත එදාත් දුර්වල වුණා අතීතයේදී වාගෙම. ඉන් පස්සේ මට මුහුණ දෙන්න වුණු දේවල් කියලම මේ ලියමන නවත්තන්නම්.

කවි ලියන්න තියා හුස්මක් කටක් ගන්න ඉස්පාසුවක් නැති මගේ අතින් එදා ගෙදර ඇවිත් කවියක් ලියැවුණේ කොහොමද කියලා මම වත් දන්නේ නෑ. අපේ අතීත මතකයන් වාගෙම, අල්මාරියේ යටින්ම ගහලා තිබිච්ච කවිය ලියවිච්ච කොලය, හැඳුනුම් පත නැතිවෙලා කාමරය අනික් පැත්ත දදා සොයාපු ඔහුගේ අතට පත්වුණා. වෙනදා ගෙදරින් පිටත්වෙලා ආපහු යනකොට මගේ බෙල්ල බදාගෙන අඬන මනුස්සයා එදා "මම ගිහින් එන්නම්" කියලා විතරයි කීවේ. ඒ ඇස්වල හැන්ගිච්ච කඳුලු බින්දු මම අඳුනනවා හොඳින්ම. පව්, ඒ මනුස්සයාට එහෙම කරන්න තියා හිතන්නවත් වටින්නේ නෑ. කෙනෙක්ගේ පළමු ආදරේ - අමතක නොකල හැකි ආදරේ - වන්දිය මම ගෙවනවා. වෙනදට දවස ගානේ කථා කරපු මනුස්සයා දැන් කෙටි පණිවිඩයක් විතරයි. ඒ හිත රිදිලා. එයා එහෙම ඉන්නේ එහෙම උණාම බව මම දන්නවා. කරුණාකරලා අයේ මට කථාකරන්න උත්සාහ කරන්න එපා. පණිවිඩ එවන්නත් එපා. අහසින් පාත්වුණා වාගේ මූණ ඉස්සරහට එන්නත් එපා දෙයියනේ. මට නිවී හැනහිල්ලේ ඉන්න දෙන්න. මට මේක මෙතනින් නවත්තන්න ඕනේ.

මීට B
-------------------------------------------------------------------------------------------------------------
C වෙත

ඔයාට පුදුමත් ඇති මම ඔයාට ලියුමක් ලියන එකට නේ...? පුලුවන්නම් මට කථාකරන්න මේ ලියුම කියවලා... ඔව් මම දන්නවා ඔයා අහයි ඇයි ආයේ කථා කරන්න එපා කියපු මමම මෙහෙම ලියුම් ලියන්නේ කියලා නේ...? නමුත් අනෙක් හැමෝටම වඩා යාලුවෙක් විදිහට මට ලංවෙච්චි ඔයාට විතරයි මේක කියන්න පුලුවන්... අසීමිත නිදහසක් බුක්තිවිඳිත්දිත් මම ඔයා එක්ක යාලුවෙක් විදිහට ඉන්න උත්සාහ කලේ, මම මේ ගමන ආවේ වෙන අරමුණක් නිසා බව ඔයා දන්නවා... ඒක ඔයාට ඉහිලුම් නොදෙන කාරණයක් වුණත් මට අර මණුස්සයාගේ මූණ මතක්වෙණකොට එහෙම නොවී ඉන්න බැරි වුණා.. ඒත් මම එහෙම ලොකුවට හිතා හිටි දේවල් බිඳවැටෙන්න ගියේ එක මොහොතයි... මා වෙණුවෙන් කවදාවක්වත්ම එලියට නොආපු කවි සිත් දැන් පහලවෙන්න පටන් අරන්... මෝටර් ස්පෙයාර්ස් කඩේ නිශාන්ත අයියා මුණගැහිච්ච් වෙලාවක කථාවේ ඉතිරි හරිය සම්පූර්ණ කරගන්න මට පුලුවන් වුණා...
ඔයා අහලා ඇතිනේ අර සින්දුව..."මගේ මුවින් මම ලොවට කියා ඇත..." දැන් මට කෙනෙක් එක්ක කථා කරන්නවත් මූණ බලන්නවත් හිතක් නෑ... ඔ‍ෆිස් එකෙන් ආපු ගමන් කොහේ වත් නොයා මේකේ අතුලටම වෙලා ඉන්නවා... රෙස්ට්ටොරන්ට් එකේ බාර්මන් මට පොඩි පිහිටක් වෙලා තියනවා තාව කාලිකව... ආත්මාර්ථකාමී ඉල්ලීමක් උනත් වෙලා තියේනම් කථාකරන්න...

මීට D




අකලට වට මහ වරුසාවක් සේ...
අසුබ දිනක ආ සුභ පැතුමක් සේ...
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක...
ඇයිදෝ යළි ආවේ...

පෙරදා මෙන් හද මල් පිපුණාදෝ...
සතු‍ටු කඳුලු නුවනත සිඳුනාදෝ...
ආදර අතීත නටඹුන් අතරේ...
මන්දිර මැව්වාදෝ...

සොවක් නැතේ නොසිතනු මැන සංකා...
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා...
රජෙකුට හිමිවුන මා දැන් ‍රැජිනකි...
සතුටයි කිරුළ අපේ...

හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ...
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ...
විමසන වදනට පිලිතුරු දෙන්නම්...
ලඟකදි ලබන දිනේ...

------------------------------------------------------------------------------------------------
තොල ගෑ අමාවේ රහා...
තොලට හුරු වෙලා...
නොකරණු චෝදනා...
මා අසරණයි...
ගෙදර බිරිඳ දරුවන් සිහිවේ...

මහද හඬන හඬ ලොවක් පුරා...
ඇසුනොත් කියයි....
මගේ මනාප ඇගේ මනාප රෑ දෙපොලක නිදයි....
මා කොතැන කොහි ගියත් එන්නේ ගෙටයි...

නැවත හෙටද එයි දිනක් ලඳේ...
එදිනත් මගෙයි....
ඔබ නිසාම දුක් වුනාට හදවත හඬයි...
ඒ කඳුලු හඬ දෙතැයි දෙනුවන් කියයි...

Read More!

ගල් අරනේ හැංගෙන්නා... උන් රහසේ ලංවෙන්නා...

අපි ලෝකෙට කොච්චර බණ කියනවද... අන්තර්ජාලයත් එක්ක අනුන්ව විවේචනය කරන එක, අනෙකාගේ ඇහැටම ඇන, අපහාස, උපහාස, පරුස වචන කීම රස්සාවක් වෙන තරමටම ඇවිල්ලා නේද...? නමුත් අපි ලෝකයෙන් බලාපොරොත්තු වෙනදේ අප අසලම ඉන්න තමන්ගේම එක්කුස සහෝදරයා හරි සහෝදරිය හරහා හරි කරවලා බලන්න උත්සාහ කරලා තියනවද...? කාරණය වඩාත්ම බරපතල වෙන්නේ දරුවන් උස් මහත් කරන්න ගියහම....

හෙළ බසට ඉහලම සේවයක් කල පඬිරුවනකගේ පුත්‍ර රත්නයක් ගැන මා දන්නවා... ඒ වාගේමයි අපේ ගැමි වහර ගැන බොහොමයක් පොත් ලියා පල කල තවත් ආචාර්‍යවරයෙක් ගේ පුතෙක්.... සිංහල ගීත රචනයේ අමරණීය පි‍ටුවක් පෙ‍රැළූ වෙකුගේ පුතෙකුන්... ඒ රචකයා ගේ ගී බොහොමයක් ගායනා කල හෙලයේ මහා ගාන්ධර්වයකුගේ පුත්‍ර රත්නය...(ඔහු මගේ පාසැල් සගයකුද විය)... මොවුන් කිසිවෙක් තම පියාණන් වරුන්, ඔවුන්ගේ නිර්මාණ හරහා තනන්නට උත්සාහ කල ලෝකය තනන්නට අද උරදෙත්ද...? ඔවුන් ඒවාට ඉඳුරා පටහැනි මාර්ග වල ගමන් කරන්නේ ඇයි...? ජාතියම උරාගන්නා නිර්මාණ වල හරයන් ඒවා ලඟින්ම ඇසුරු කරනා දරුවන් උකහා ගන්නේ නැත්තේ ඇයි...? මගේ සිතට හැමදාමත් වදදෙන ප්‍රස්නයක්...

එකට පාසල් ගොස් එකට උස් මහත්වුනු මගේ ඉතා කිට්‍ටු සගයන් කිහිප දෙනෙකුත් මේ පැනය අර පුතුන් දෙස බලා එකල නිතර විමසා ගතිමු... අප ඉනික්බිති එක් එකඟතාවයකට පැමිණියෙමු... මඩිහේ හාමුදුරුවන් කීවා වාගේ ලෝකය හදන්නට බැහැ... අප ආදරයෙන් ගෞරවයෙන් රකිනා දේ රකින, ඒවා ඉදිරියට ගෙනයන, මිල මුදල් වෙනුවෙන් හෘදය සාක්ෂිය පාවා නොදෙන, උපන් මාතෘ භූමියට නොගරහන, එහි මිනිසුන්ට නිගා නොකරන, එක් පුතෙකුන් පුලුවන්නම් අප හදමු... අපි සෑම දෙනෙක්ම එලෙස කලහොත් වැදි බණ දෙසා හදන්නට සමාජයක් ඉතිරි වනු ඇත්ද...? එනිසා දැන් මා පුද්ගලිකව අදහන මතයද එයම වේ... මා දරුවන් යහපත්ව හදන්නට බැරි මා ලෝකයට කෙසේ නම් ඔවදන් දෙම්ද...? පන්සිල් රකින්නට බැරි මා කෙසේ නම් ශ්‍රමණ උතුමන් විවේචනය කරම්ද...?  යම් විද්‍යාවක් කෙළ නොපැමිණි මා, ඒවා යම් පමණින් උගෙන උගතුන් වියතුන් සභා මැද ශිල්ප දක්වන්ට යාම අණුවන නොවේද... නමුත් ඒ වෙනුවට කල හැකි යමක් අත ලඟම ඇත...

ගල් අරනේ හැංගෙන්නා...
උන් රහසේ ලංවෙන්නා...
මා පුතු අල්ලන් යන්නයි...

නෑ එන්නට දෙන්නේ...
මා පුතු ලඟ ඉන්නේ...
නාඬා නිදියන්නේ...

සඳුන් වනේ මල් නෙලනා සුරංගනාවෝ...
සුවඳ දොවා ඇල් පවනේ පුතුට ගෙනාවෝ...

සිඟිති නෙතේ කැකුලු මුවේ මැවෙන සිනාවේ...
සසල ලොවේ නිමල සෙනේ සිතට ගෙනාවේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....
Read More!

අයියණ්ඩියේ සීරුවේ වැල් පොටේ බසීන්..

මට දැනුන හැටියට පුදුමාකාර ලස්සන ගීයක් මේ... හැත්තෑව දශකයේ ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය අලංකාර කල තවත් ජනගීයක්... ඒවාට වැඩි හරියක් පණ පෙවූ ටී එම් හා නීලාගේ හඬින්... අපේ ජන ගී ඇසුරෙන් හා නවතම අත්හදා බැලීම් වලින් සමන්විත වුණු "පර්යේෂණ ගී" නමින් බිහිවුණු ගී ගොන්නට ආචාර්‍ය සී ද එස් කුලතිලකයන් විසින් නිර්මානය කරන ලද ගීයක්.... ගීයේ පදනම ඹමර කැඩිල්ල... බලමු කොයි තරම් අව්‍යාජවට ඒ හැඟීම් ප්‍රති නිර්මාණය කරලා තියනවාද කියලා... මටනම් හැ‍ඟෙන්නෙම නෑ මේ ගායක ගායිකා යුවලක් කියලා.... එක තැනක්දී නීලා "හයියෙන් අල්ලන් අයියේ වැල් තොටිල්ල..."යන්න නොඉවසිලිමත් අයුරින් ගයන්නේ.... හැබෑවටම කෙනෙක් වැල් පොටේ යන්න වාගේ... හිතා මතාම කලාද කියා තේරෙන්නේ නෑ... ඒ වගේමයි අවසන් හරියේදී අද අපට පැණි නොදෙයිද යන්න බොහෝ දුක්බරවත් ගායනා කරනවා... මං අසා ඇති ගී අතරින් අසාමාන්‍යම ගීයක් හැටියට මම දකිනවා... පපුව හිරකරන ශෝකී රාවයක් හෙමීන් නැගෙන බටනලා හඬේ තියනවා... "අපේ ජනගීයේ ස්වර කීයද ඇත්තේ... ඒවායින් මොනවද කලහැකි නිර්මාණ..." යැයි කියූ කේමදාස ශූරීන් මෙ ගී නාසා තිබුනාදැයි මම කියන්න දන්නේ නෑ... එහෙම නැතිනම් සංගීතය හදාරපු නැති මං වාගේ අයට හොඳින් ගෝචර වන ගී මේවා වන්නටත් පුලුවන්... බලන්න ඔබටත් රස විඳින්න පුලුවන්ද කියා මේ ගීය....

බැද්ද වටට සුදු මොරමල් පිපීලා...
සද්ද කර ඒ ඹමරු ඒ වග කියාලා...
ඉටීත් පැණීත් ලොව සැමටම බෙදාලා....
යන්නාන් ඹමරු දුක් මැසිවිලි කියාලා...

කන්දේ දෙයියන්ට පින් දීපන් නැනෝ...
පින් දෙඤ්ඤං අයියන්ඩී පින් දෙඤ්ඤංකෝ...
කොල අතු කපාලා එල්ලන්කෝ නෑනෝ...
එල්ලඤ්ඤං අයියණ්ඩී එල්ලඤ්ඤංකෝ
අයියාණ්ඩියේ සීරුවේ වැල් පොටේ බසීන්...
මාද්දේ ගලට වැහි වැහැලා.....
අයියණ්ඩියේ සීරුවේ වැල් පොටේ බසීන්...

ඹමරුන්ගේ සුවඳ හෙල වටේට...
උන්ගෙන් ඇති වරදක් නෑ අහිංසකයි...
හයියෙන් අල්ලන් අයියේ අයියේ වැල් තොටිල්ල...
කන්දේ දෙයියන්පල්ලා එල්ලෙඤ්ඤංකෝ...
දුක් මැසිවිලි කියාන්නේ කාටද ඹමරෝ...
සැමැදා අපට දෙන පැණි අද නොදේදෝ...
දුක් මැසිවිලි කියාන්නේ කාටද ඹමරෝ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....
Read More!

ගාථා අසන්නට වර රත්නවල්ලියේ...

හුලවාලි චිත්‍රපටිය බොහෝ දෙනෙක් බලලා ඇති නෙව... මේ හුලවාලී කියන්නේ රොඩී ‍රැහේ නායකයා... රොඩීන් කියන්නේ රාජකාරි ක්‍රමය මත පදනම් වූ කුල පරපුරක, කිසිවෙක් ඒ තම පරපුරට සම්මත වූ සිරිත් විරිත් වලට පටහැනි යමක් කල විට පලවා හැරි, ඈයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායම්ය කියා මම කියවා තිබෙනවා... ඔවුන්ට නිෂ්පාදනයේ යෙදෙන්ටත්, උඩු කය ආවරණය කිරීමත් තහනම් වුනාලු... තව තැනෙක කියවෙන හැටියට ඔවුන් ඉන්දියාවේ සිට පැමිණි යම් දඩයම් කාර ගෝත්‍රයක්...

පුරාණ ජනකථාවල හැටියට පැරකුම් රජ්ජුරුවන්ගේ මුලුතැන්ගෙට මුවමස් සපයන දඩයම් කාරයාටත් දවසක මුවෙකු සොයාගන්න බැරිව මුණ ගැසුනු දරුවෙකුගේ මස් ගෙනැවිත් දී තිබෙනවා... ඒ මස් ආහාරයට ගත්තු පැරකුම් රජුගේ දියණියට කෙසේ හෝ මේ මසෙහි විශේෂ රසක් දැනිලා හැමදාම ඒවා ගේන්න මස්වැද්දට අණ කලාලු... රටේ දරුවන් එකින් එක අතුරුදන් වෙනකොට, පැමිණිලි එනකොට, රජතුමා මේ ගැන සොයා බැලුවලු... කාරණව කොහොම හරි දැනගෙන සියලු රාජ වස්ත්‍රාභරණ ඉවත් කොට චණ්ඩාල කුලයේ ඇත්තකු ගෙන්වා පාවා දී තම කුලයෙනුත් මාලිගාවෙනුත් පලවා හැරියාලු... ඉන් පසු ඔවුන් රොඩී කුලයට වැදගත්තද රජකුමරියක් නිසා ඔවුන් ඇයට විශේෂ තැනක් දී තියනවා... ඔවුන් ගේ පූජා ගායනාවන්ට මේ රත්නවල්ලි කවි එකතු වන්නේද එහෙමයි කියා කථාවකුත් තියනවා...

මේ රත්නවල්ලිය අනුරාධපුරේ තෙලඹු ගසක් ආස්‍රව වාසය කිරීම නිසා එතැන රොඩී ජනයා පූජා පවත්වන ස්ථානයක් වන්නට ඇති... දු‍ටු ගැමුණු රජතුමාට "ඔබේ නමින් සෑය බඳිමි, විමාණයෙන් බසිනු මැනවි..." කියා කියන්නට වෙන්න ඇත්තේ අර ජනයාගේ විස්වාසයන්ට එකහෙලා විරුද්ධව කටයුතු නොකල නිසා වන්නට පුලුවන්... "හොඳයි ඔබේ නම යොදන්නම් වැඩේ කරගන්න ඉඩ දෙන්නකෝ ..." කියලා පොඩි පහේ සම්මුතියකට එන්ටෑති.... .

ඊට අමතරව, පසු කාළෙක කතරගම දෙවියෝ බවට පත්වෙච්චි මහසෙන් දෙවියන්නේ බිරිඳත් රත්නවල්ලි (පසුව වල්ලි අම්මා...?) නමින් හැඳුන්වුනාලු... බුදුන් දවස මෙරට හිටි කුම්බා නම් යක් රජුගේ දුවත් වල්ලිරාණි හෙවත් රත්නවල්ලී නමින් හැඳින්වී තිබෙනවා...

ඒ මොක වෙතත් මේ රත්නවල්ලි කවි නම් බොහොම මනෝ රම්‍යයි... ඇයගේ තේජසත්, බිය උපදවන ස්වභාවයත්, ඇඳුම් පැලඳුම් වල තිබුණු ස්වරූපයත් පිලිබඳ අපූරු චිත්‍රයක් අපට මවා දෙනවා...

නිල්බර නිල් රුකට නැගිලා උන්නු ලියේ...
නිල්බර නිල් වරළ ගවසා බැන්ද ලියේ...
නිල්බර එ නිල් අතු පැහැපත් ලාපු ලියේ...
නිල්බර තෙලඹුවෙන් බහු රත්නවල්ලියේ...

ඈත සිටන් එන්න සෙල්ලි සෙල්ලියේ...
මෑත සිටන් එන්නෙ මෙල්ලි මෙල්ලියේ...
කරේ බැන්ද පවලන් වැල නොසෙල්ලියේ...
පැරකුම් රජුගෙ දුව නව රත්නවල්ලියේ...

සීත සුලං සල් ඔලියෙල් ඇන්ද ලියේ...
බීත කරන රෝ දුක් ලෙඩ නැතිද ලියේ...
රාසි ගනන් මුතු මාලා ඇන්ද ලියේ...
ගාථා අසන්නට වර රත්නවල්ලියේ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!
 
Blogger Wordpress Gadgets