Showing posts with label බණ්ඩාර කේ විජයතුංග. Show all posts
Showing posts with label බණ්ඩාර කේ විජයතුංග. Show all posts

මිණිමුතු නැහැ මට ඔබ සරසන්නට...

සිරිමා(වෝ) බණ්ඩාරණායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් පසු පුවත් පත් කාටූන් ශිල්පීයෙකු මෙබඳු කාටූනයක් ඇඳ තිබුණා මතකය. ඒ සිසිර කුමාර මානිකාරච්චි ලියූ "සත් වසක සාපය" පොතේදැයි හරියටම මතකයක් නැත. එහෙත් ඒ වැකිය නම් මෙසේය; "ලඳුනි මට සමාවන්න - මා ඔබට ද්‍රෝහි වූවා නොවේ..." මෙහි ඇති උත්ප්‍රාසයනම් මේ වැකියේ නිමැවුම් කරුවා හෙවත් අද සටහනේ කථා නායකයාට සිරිමා බණ්ඩාරණායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට විරුද්ධව පෙත්සමක් අත්සන් කිරීම නිසා කුප්‍රසිද්ධ අසූව දශකයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩ තහනමකට ලක්වීමට සිදුවීමය. ගැඹුරු හඬකින් කියූ ඒ පාඨය මතකයේ කිඳා බැස ඇත්තේ  ඒ වැකියේ රිද්මය නිසාද හඬ නිසාද යන්න නොදනිමි; හින්දි චිත්‍රපටියක ප්‍රචාරක පටයේ අඩංගු වූ ඒ සම්පූර්ණ වැකිය නම් "ලඳුනි මට සමාවන්න - මා ඔබට ද්‍රෝහි වූවා නොවේ පියෙක් නැති දියණියකට පියෙකු වූවා පමණි" යන්නය. ඒ ගැඹුරු ස්වරයේ හිමිකරුනම් බණ්ඩාර කේ විජයතුංගයන්ය.

කේ ඩී කේ ධර්මවර්ධන, බණ්ඩාර කේ විජයතුංග හා ප්‍රේමකීර්ති යන ත්‍රිත්වයම අකාලයේ අප හැර යාම, සූර්‍යශංකර් මොල්ලිගොඩයන්ගේ වියෝවෙන් කම්පාවූ සුනිල් ශාන්තයන්ගේ "සුමිහිරි සුවඳැති මල් ඇයි මෙතරම් හනිකට පරවෙන්නේ" සිහි නොකරත්ද?  ප්‍රසිද්ධව ඇති, නිවේදක හා ගී රචනා කුසලතාවයන්ට අමතරව, බණ්ඩාර කේ විජයතුංගයන් චිත්‍ර ශිල්පියකු ලෙසත්, ප්‍රචාරක නිලධාරියකු ලෙසත් , කවියෙකු ලෙසත් වෙසෙස් කුසලතා දක්වා ඇති බව කල්‍යාණී විජයතුංග මැතිනිය විසින් එළිදක්වා ඇති "සුලඟ වගේ ඇවිදින්" ගීත එකතුවේ එයි. බණ්ඩාරයන් ගැන නූතන සහෘද පරම්පරාවනට දැනගැනීමට මංපෙත් සලසමින් ඔහුගේ ගීත එකතුවක්, ඔහුගේ වතගොතද සමගින්ම එසේ ප්‍රකාශයට පත් කර තිබීම ගැන කල්‍යාණී විජයතුංග මැතිනියට බෙහෙවින් කෘතඥ වෙමි. මහැදුරු සුනිල් ආරියරත්නයන් විසින් බණ්ඩාරයන් එහි හඳුන්වා දී ඇත්තේ "ප්‍රේමාවනාද්ධ ගීත රචකයා" නමිනි.

බණ්ඩාරයන් විසින් රචිත ගීත ගොන්නෙන් සෑහෙන ප්‍රමාණයක් රසවිඳ ඇති මට, ඔහුව හැඳින්වීමට මගේම වචනයක් සොයද්දී මගේ ශබ්දකෝෂයේ දිලිඳු ස්වභාවය මැනවින් පසක්විය.
"මහ වන පියසෙක අඳුරු ගුහාවෙක - යම් දිනයක ඔබ සඟවා තබනෙම
ඉරු ‍රැස් බිඳකුදු ඔබෙ රුව දු‍ටු සඳ - ඉරිසියාවෙන් පිරවෙයි මා හද" 
සිතක හටගන්නා ඉරිසියාවක් මීට වඩා කාව්‍යම ලෙස ඉදිරිපත් කල හැකිද? ඔහු ගී ලියා ඇත්තේ කාල තරණයෙහි යෙදෙමින් අපේ සිත්වලට අවේශ වී යැයි සිතමි. නැත්නම් අපේ සිත්හි පතුල මෙසේ අතගාන්නට තරම් ඔහුට කෙසේ හැකිවිණිද?

"සඳ උතුරා ගංගාවේ - ඔබේ රුව දෝ මැවුණේ",
--------------------------------------------------------
"මානවිකාවෙනි හෙට හිරු කිරණට ටිකිරි සිනාවක් මුසු කරවනු මැන"
ඇගේ වතත් සොබා සිරියත් මෙසේ වෙන්කල නොහැකි ලෙස බැඳ දමන්නට මගෙන් අවසරයක් නොලබාම ඔහු එඩිතර වී ඇති සැටියක්!!

"කල්පිතයක් මැද තනිවූ පමණින් මුව ගොලු ලාගෙන හිඳිනු එපා" ඔහු ඉල්ලන්නේය. අපි ඔහුගෙන් ඒ වචන ණයට ඉල්ලගෙන පුනුරුච්චාරණය කරමු. ගෙදර හබ නිසා ගෙදරින් පිටවූ ප්‍රේම් මුව ගොලු  නොලා හිඳිමින් අනෙක් පාර්ශවයේ දුක් ගැනවිල්ල ගැන මෙසේ ලිවීය.
"මා එක්කලා අමණාපව වී දබර - දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර".
එහිදී බණ්ඩාරයන් මේ ලියන්නේ තමන්ගේම සිතිවිල්ලයි
"ඉන්දීවරියේ හඬනු එපා - පියෙකුගෙ සෙනෙහස ඔබට අහිමි නැත - මා නෙත් කඳුලින් පිරෙන තුරා
මෙළොවට ඔබ ආ පළමු දිනේදී - කිරුළු පැළැන්දෙමි දිවිකතරේ
ඒ අභිමානය සි‍ඳෙනු බි‍ඳෙනු නැත - නැවතත් හමුවන තුරු සසරේ
සිරුරින් ඔබ ලඟ නොසිටිය පමණින් - පියකු නොමැති යයි සිතනු එපා
සදා කාලයෙන් සදා කාලයට - ඔබේ උරුමයයි ඔබේ පියා". 
මේ  සටහන තබනාතුර කෝදුරුවෙක්වත්  ඇසෙහි ගැ‍ටුණාදෝ?
එසේ නැත්නම් සිහින් පටලයකින් දෑස වැසී ගියේ ඇයි?

මහැදුරුතුමන්ගේ "ප්‍රේමාවනද්ධ" වචනයෙහි තේරුම මුලින් දැන නොසිටියා කියා පාඩුවක් වී නැත - බණ්ඩාරයන් ඇසුරෙන්ම ඒ තේරුම් ගනිමි.
"සබඳ කමක් නැති දෙදෙනෙකු වෙමු අපි - මා තේරුම් ගනු ඔබට නොහැකි නම් -  ඔබ තේරුම් ගනු මටද නොහැකි නම්",
..........................................................................................................................
"කෙලෙසද දෑතට දෙපයට ලා ඇති - විලංගු ගලවා නිදහස් වන්නේ - හමුවෙමු සුවබර තවත් සැඳෑවක",
.........................................................................................................................
"ඔබ වෙනුවෙන් සැදු දහසක් මාළිග - මහ වන වදුලක සැඟව ගියාදෝ"

හිත රිදවා ඈතකට යන්න මාන බලන ඇයටය මේ...
"සත් සමුදුරු තරණය කොට දුරු රටකට වඩින්නියේ -  මගේ සිතයි මගේ හදයි  - ඔබත් සමග ‍රැගෙන යන්න
එරට නුහුරු පරිසරයක - විලාසිනියේ ඔබ තනිවේදෝ - එවිට සිතනු මැනවි ලියේ - ඔබේ තනියට හිතක් ඇතේ  - ඔබේ තනියට හදක් ඇතේ
එරට මහරු විසිතුරු මැද - මෙරට ඔබට අමතක වේදෝ - එසේ වුවොත් නොපැතු ලෙසේ - මට ඉන්පසු සිතක් නැතේ - මට ඉන්පසු හදක් නැතේ"

ඔහුගේ ගී රසිකයනට "කවදා කොතැනකදෝ -කෙලෙසකදෝ - අතීත ආත්මයක මා ඔබ දු‍ටුවේ..."  කියමින් තැවෙන්නට කාරණා නැත, ඒ "මාද ඔබම විය - ඔබම මාද විය" ලෙසින් ඔහු අපම වී ඇති හෙයිනි.

එක ලෙස වටිනා මිණි මුතු පිරි මංජුසාවකින් කැමතිම කිහිපයක් ‍තෝරාගැනීම හිත රිදෙන කාරණාවකි. දුෂ්කර ක්‍රියාවකින් පසු, මා කැමතිම බණ්ඩාරයණ්ගේ නිතර නෑසෙන ගී කිහිපයක් ඔහුට ගෞරවයෙන් මෙලෙස සිංහල වෙබ් අවකාශයේ සටහන් කර තබමි.

සිතට නිවනක් නැති හැටි...

තරු මල් පලගත් අහස බලා හිඳ - දෙනෙත් පියූ සඳ
මීදුම මැද්දෙන් - ඔබේ මුහුණුවර මැවී පෙනෙයි මට....

ජීවිතයක රන් සිහින නාය ගිය - කඳු‍රැල්ලක් මැද්දේ
ආදරයක එක සිහින සිතාරෙක - හඬ පමණක් ‍රැව්දේ
ඒ හඬ එක් වී දහස් වාරයක් - දෝංකාර වෙද්දී........

අතීතයේ එක් සිහින සැඳැවක - දෙවැට දිගේ එද්දී
දු‍ටුවෙමි ඔහුගේ සිහින මනාලිය - විලස ඉවත යද්දී
ඒ රුව එක්වී දහස් වාරයක් - හිතෙහි ජනිත වෙද්දී.........
සංගීතය හා ගායනය වික්ටර් රත්නායක

වෙන හදක් කුමටද...?


සඳ මුතු මල්දම් සිරස පැලඳගෙන
ඉඳු සැව් දෙබැමින් අනඟ හීය ගෙන
මම එමි ඔබ වෙත හෙට දිනයේ...

සත් සමුදුර වුව තරණය කර එමි
ගිනිගත් කතරට වුවුද නොබා එමි
ඔබ යන මග මා සෙවනැල්ලක් ලෙස
සසර පුරුදු ලෙස දෙපා නගන්නෙමි...

ජීවිතයට අන් පැතුමක් නොමැතිය
යායුතු අන් කිසි මගකුත් නොමැතිය
එකම පැතුම සහ එකම මගද මට
ඔබ ගැන සිතනා සිතුවිල්ලයි...
සුජාතා අත්තනායක / ඔස්ටින් මුණසිංහ

 නොමියෙන සෙනෙහස....


මිණිමුතු නැහැ මට ඔබ සරසන්නට
ඇත්තේ හදවිල පිපි සුදු මල...
දසයොදුනක දුර සුවඳින් මත්කල
සිය පෙති රන් දැල හද පිපි මල...

තරුමල් අතු අග දිළි සැණකෙළි දින
ඔබ මගෙ දෙනෙතට නව දසුනක් වින...
අද ඔබෙ දෝතට මගේ දායාදය
ජීවිතයක් කැටි කල මේ ගීතය...

දඹරන් පටසළු වෛරොඩි රතුකැට
සොඳුරියෙ කුමටද විසිතුරු මාළිග....
නොමියෙන සෙනෙහස අද අප බැඳි කල
බිලිඳු හඬෙක හෙට තව සම්පත් ඇත...
විජේරත්න රකාගොඩ / ජයතිස්ස අලහකෝන්



Read More!

මගේ සෙනෙහස මෙතෙක් වේයැයි...


මගේ සෙනෙහස මෙතෙක් වේයැයි මනින්නට ඔබ උගෙන නැත තව..
මගේ අවසන් සුසුම පමණද, ඇවැසි ඔබ හට මා දකින්නට...

වසර ගණනක යොදුන් ගණනක, ගමන් මග අප ගෙවා ඇත්තෙමු...
තරු වියන් යට කුසුම් පෙති මත දෑත් පටලා ඇවිද ඇත්තෙමු...
එහෙත් සුහදිනි...

මිලින කුසුමෙක, මිලින සිහිනෙක මගේ සිහියද සැඟව ගත් කල...
සිතනු මැන ඔබ, ඔබට අවනත හදක් මිහිමත මෙතෙක් ‍රැඳි වග...
එහෙත් සුහදිනි....


සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...

බණ්ඩාර කේ විජේතුංග / සුනිල් එදිරිසිංහ
Mage Senehasa
Read More!
 
Blogger Wordpress Gadgets