Showing posts with label චිත්‍රා සෝමපාල. Show all posts
Showing posts with label චිත්‍රා සෝමපාල. Show all posts

පෙම් සුවඳයි මංගල සිරිදෙයි...



 
පෙම් සුවඳයි මංගල සිරිදෙයි 
සිරි බර පෙම් මල් උයනේ 
සැලළිහිණි ගිරා කැල ප්‍රේම කථාවෙන් 
නැලවෙති තුරු සෙවණේ....

පෙම් ගඟුලේ දිය බුං ගසලා
අපි කිමිදෙමු නාමු ප්‍රියේ....

මුළු ලොව ඇති හොඳ පාට එකට ගෙන  
මම ඔබෙ රුව අඳිමි හඳේ 
ඕ මම ඔබෙ රුව අඳිමි හඳේ....

පෙම් සුවඳයි....

අර සමනළයයි රතුරෝස මලයි
වගෙ පෙම් කඳ අපි දෙන්නා.....

පැණි බොන්න හිතයි ඉල්ලන්න ගොතයි
එය දෙනතුරු ඉවසන්නා
එය දෙන තුරු ඉවසන්නා... 

පෙම් සුවඳයි.... 

 
 

[පසු සටහන: මේ ගීය 1955 මාර්තු 04 තිරගත වූ අසෝකා චිත්‍රපටියෙනි... දැන් මේ ගීතයට අඩ සියවසකට ආසන්නය... රසය තවමත් නොඅඩුව තිබේ... තනුව හින්දි හෝ ද්‍රවිඩ තණුවක් බවත්, ගී පද රචකයා අසෝකා චිත්‍රපටියට ගී ලියූ කරුණාරත්න අබේසේකර, හර්බට් එම් සෙනෙවිරත්න හෝ පියසේන කොස්තා යන අයගෙන් කෙනෙකු විය හැකි බවත් මහාචාර්‍ය සුනිල් ආරියරත්නයක්නේ මතයයි. ප්‍රවීන ගුවන් විදුලි නිලදරුවකු වූ අශෝක තිලකරත්නයන්ට අනුව මේ කරුණාරත්න අබේසේකරයන්ගේය. පී එල් ඒ සෝමපාලයන්ගේ මධුර සංගීතය සංයෝජනයත් මේ ගීය අපේ ගීයක් බවට හැරවීමට ඉවහල් වී ඇත. ගීත දොලහක් අඩංගු වූ අසෝකා චිත්‍රපටියේ, 'පෙම් ගීතේ සංගීතේ නාදේ නගී....' (සත්‍යවතී), 'පෙම් පහන නිවී පෙම් මල් පරවී....' (ජී එස් බී රාණී / මොහිදීන් බෙග්), 'තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ....' (මොහිදීන් බෙග්) ගීතත් අදද එකසේ ජනප්‍රියය. අවුරුදු 13 දී පාසලේදී මේ ගිය ගයා විශාරද සනත් නන්දසිරියනට වූ හදිය මෙතැනිනුත්, අසෝකාට රඟපෑ පුෂ්පා ජෙනට්ගේ අද දවසේ විස්තර මෙතැනිනුත් කියවා දැනගත හැක.

"කන්තොරුවෙ බ්ලොග් බලන අපි වගේ උන්ට උඹේ මේ සින්දු කොහෙ බාන් අහන්නද. ඒ නිසා කතා නැතිව සින්දුව විතරක් දාන එකා කොටියම කාපිය." - ලෙස කලින් ගීයක් පමණත් දැමූ සටහනක, හෘදයංගම ප්‍රතිචාරයක් යෙදූ ඉන්දික උපශාන්ත වියුණු සටහන් කරුට උපහාරයක් පිණිස ඉහත පසු සටහන එකතු කරන ලදී. ]
Read More!

පුංචි පුංචි තරු කැට මැද...


"...වැන්ද දෙපා යළි අදත් වඳින්නම්..."
මාමන්ඩිය ඇතුලු පිරිස ඈ මට බාරදී යන අවස්ථාවේ ඈට හැඬුම් ආවාය. සිය පියාට වාරුවූ ඇයගේ මුහුණේ වූ ආලේපණ ඔහුගේ සුදු ජාතික ඇඳුමේ රත් පැහැයක් තැවරුවේ, මුවින් පිට නොකල මාමණ්ඩියගේ වේදනාව සංකේතාත්මකව දක්වන්නටදෝහෝයි මට සිතිණි. අප පවුලේ හිතවතියක වූ මගේ ලදරු පාසල් ගුරුවරියද ඒ දෙස බලාසිටියේ තෙත්වූ දෑසිණි. දියණියන් දෙදෙනෙකුටම මෙලෙස සමු දී ඇති ඇයට මේ අත්දැකීම අලුත් නොවන්නකි... එහෙත් ඈ කඳුලු පිරුණු දෑසින් බලාසිටී... මාමණ්ඩිය සිය සහපිරිවර සමග පිටව ගියේ මා දෙවුර තදින් අල්ලාගෙන, මගේ මූණ දෙස ඍජුව  බලා "අපි එහෙනමනම් යනව පුතේ..." කීමෙනි...

ඉක්මණින්ම පල දරූ අප විවාහ ජීවිතය, අටලෝ දහමට යටත්ව, අනේක දුක් කම්කටොළු මැද වුවද, සතුටෙන් පුරවාලන්නට පුතාගේ ආගමනය සමත්විය... ප්‍රසූතියට දින ලංවූ කල  මිතුරන්ගේද අවවාද මැද, ගෙදර ඇත්තන්ව රජයේ රෝහලකට ඇතුලත් කලෙමි... වාට්ටුවේ කොරිඩෝවේ වුවද රැඳී සිටින්නට අමුත්තන්ට තහනම්ය.. ‍රෑ බෝවනතුරුම වාට්‍ටුවට පිටින් අහල පහල කරක් ගසා ආපසු ගෙදර ආවෙමි... ඒ වැනි ‍රැයක් සුවෙන් නිදන්නට හැක්කේ පියවරුන් කීයෙන් කී දෙනාටද? පාන්දරම නැවතත් වාට්‍ටුව ලඟට මා පැමිණියේ කෙසේදැයි අදටත් මතකයක් නැත... ‍රැකවලුන්ට හෙදියන්ට බෙහෙවින් යාප්පු වී ඇයගේ ඇඳ ලගට යන්නට හැකිවිය... දරුවෙක් ඒ ඇ‍ඳෙහි නොවිණි... මා බලාපොරොත්තු අත් හළෙමි... හිසට අත තබාගෙන ඈ ඉන්නේ බොහෝ අපහසුවෙනි... ඇඳ සිටි චීත්තයට පහලින් නිරාවරණය වූ දෙපයේ යටි පතුල්ම දක්වා ඇදී ගිය වේලුණු රුධිර ධාරා කිහිපයකි... අම්මා හොඳින් සිටීමම මට සෑහේ...

"මට උණයි ප්‍රෙෂර් එකයි ඇවිත් හොඳටම අමාරු වුණා..." මම කිසිත් නොකීමි...

"අන්න ඔයාගේ බබාව දැන් බේබි රූම් අරන් යනව... එලියෙන් ගියොත් බලතෑකි..." හෙදියක් මට කීවාය...

කොරිඩෝවට දිව ගිය මට හෙදියක් විසින් සු‍රැකිව ඔතා, ගෙනෙමින් සිටි අපගේ මල් කැකුළ දැක ගැනීමට හැකිවිය... දැත් දෙපා ගුලිකරන් සිටි ඔහු සුව නින්දේ පසුවිණි...  ඔහුගේ හිස යන්තමින් පිරිමැදි මා, "මගේ පුතේ...." යැයි කීවිට වම් ඇස පමණක් හැර මා දෙස බැලූවේ මගේ කටහඬ හඳුනාගත්තාක් මෙනි... ඇයගේ දහවල් අහර වේලද ‍රැගෙන නැවත ආපසු ආ යුතු බැවින් කිළිටිද ‍රැගෙන මා ආපයින්ම ආපසු ගෙදර ආවෙමි...

"ඔය රෙදි තනිකරන්න එපා පුතේ..." අපේ අම්මා කීවාය..
"ඔය රෙදි දාපු බාල්දියට යකඩ ඇනයක් දාල තියන්න.. පෙ‍ඟෙනකම්"...

මූණ කට යන්තමින් සෝදා ගෙට ගොඩවුණු මට මුණ ගැසුනේ සුභ පැතීමට අවුත් සිටියේ මාමන්ඩියයි... "Hello... congratulations my son..!!"  කාරණා දැන සතුටින් සිටි ඔහු එදා මෙන්ම මා දෙවුරෙන්, එහෙත් මෘදුව අල්ලා සෙලවීය... දෙදිනක් දරාගෙන සිටි දුක, උගුර හිරකරන ඉකියක් සමගින් පිටවිණි...

විවාහ ජීවිතයේ  බොහෝ පළමු අත්දැකීම් වලට මුහුණ දෙන්නට අපට ඉඩ සලසා දුන්නේ ලොකූය... එක දිගට නිදි නොලබන්නට සිදුවෙන රාත්‍රී ජාමයන්, රෝහල් වාට්‍ටු ලී බංකු, ණය තුරුස්, නොනවතින "ලුණු" ගෙනියෑම්, නුහුරු නුපුරුදු බෙහෙත් වර්ග, යමක් කෑමට පටන් ගත් ගමන්ම සිදු කරන්නට වන සේදීම්, එක් පසක තිබියදී, අදද සිතෙහි ගැඹුරින් ‍රැඳී ඇති සතු‍ටු සිනා, මතකයන් බොහොමයක් ඔහු අපවෙත ගෙනාවේය.. ඒ  ඔහු වෙනුවෙන් අප විඳි, අව පස දෑ අමතක කරන්නට මෙනි...

දෙවැනි දරුවා ඇගේ කුසට ආ පසු, යම් යම් කාරණා නිසා එතෙක් අප වාසය කල මහ ගෙදරින් තිදෙනාම ‍රැගෙන නික්මෙන්නට මා තීරණය කළෙමි... පාසල් යන පුතෙකුගේ සියළු වැඩ කටයුතුත්, පාන්දරින් එළියට බසින සැමියාගේ අඩෝවැඩිය සම්පාදනයත්, දිනෙන් දින මෝරණ ගැබත් ඔසවාගෙනම ඈ නොපිරිහෙලා ඉ‍ටු කලාය... පදිංචියට ‍තෝරාගත් ඇනෙක්සිය ඉතා කුඩා වුවද එය ඇයගේ සිතට ඉමහත් සැනසිල්ලක් ගෙනාවේය... දෙවැන්නා දියණියක් වූවානම් ඒ ඇයට අනාගතයේදී පහසුවක් වේයැයි මට සිතිනි... මුවින් නොබැණ ඈ සිනහවකින් ඒ කැමත්තට ප්‍රතිචාර දක්වන්නේ පුතුන් කෙරෙහි තවමත් ඇති ආසාවෙන්ද, එහෙමත් නැත්නම් ඈ විඳි දුක් තවත් කෙනෙකුන් විඳිනවා දැකීමට දීමට ඇති අකමැත්ත නිසාවෙන්දැයි මට පැහැදිලි වූයේ නැත...

දෙවැන්නා කවුරුන් වූවද මෙලොව එළිය දකින්නටත් ප්‍රථම බෙහෙවින් කලහ කරන්නෙක් විය... අපි නූපන් දරුවාට "jelly fish" යැයි තාවකාලික නමක් පටබැඳීමු... සිඟිති, නොමේරූ, දෑත් දෙපා වලින් කරන සෙල්ලම නිතරම පටන් ගන්නේ ඈ විවේකයක් ලබන්නට නින්දට යන ‍රෑ යාමයේය... එහෙයින් ඇයට නින්ද ලැබීමේ අඩුපාඩුවක් දරුණු ලෙස විය... ප්‍රසූතියට ලබා දී ඇති දවස හෙට වන දිනයද උදාවිය... ලොකු පුතා ඈ පසෙකින් නිදයි... මට නින්ද හලකටවත් නොඒ... පිරිත් පොතත් ‍රැගෙන ඈ අසලින් බිම වාඩිගත් මා ඇගේ පිරුණු ගැබ සෙමින් පිරිමදිමින් අංගුලිමාල පිරිත නැවත නැවතත් පහත් හඬින් කියවන්නට විය...

"ඊයේ නම් හොඳට නින්ද ගියා..." රෝහලට යාම සඳහා පාන්දරින් නැගි‍ටුනු ඈ කීවේ උස් පහත් වෙමින් නැගෙන වේදනාව තාවකාලිකව යටපත් කොට සිනාසෙමිනි... දරුවාද ඊයේ වැඩි කලබලයක් නොකල වග මටද දැණිනි...

පාන්දර පහයි තිහට වාට්‍ටුවට ඇතුලත්කල ඇගේ කුසෙන්, දරුවා මොලෙව එළිය දු‍ටුවේ දහවල් එකයි තිහට පමණය.... ඇ භාරව සිටි වෛද්‍යවරයා වූ සිරිසේන දොස්තර මහතා සීසර් සැත්කම් කිරීමට එතරම් කැමැත්තක් නොදක්වන්නෙකි... පහසුවෙන් පහන් කල ‍රැයට හිලව්වන්නට මෙන් දෙවැනි වතාවටද දරුණු යුද්දයක් නිමාකල ඇය, මෙවර ආපසු පැමිණියේ, දරුවාද පසෙකින් හොවාගෙනය.... කොරිඩෝවෙහි නොනවතින සක්මණෙහි යෙදී උන් මා ඔවුන් වෙත නැඹුරු වූයේ සිත් පුරා මා දරුවා දෙස බලන නියායෙනි... වරදකාරියක ලෙස හිස ඔසවා මා දෙස බැලූ ඈ මෙලෙස කීවාය...

"පුතාල දෙන්නා ඔයාට දුවල දෙන්නෙක් ගෙනත් දෙයි..... ආයේ නම් අමාරුයි මට....."


පුංචි පුංචි තරු කැට මැද
     දිලිසෙන සඳ වත...
තරු මොකටද සඳ මොකටද
     මට මගෙ දුව ඇත...

සිනහ වෙන්නේ ඉඳ හිටලයි
     ආඩම්බර කම...
නිදා වැටෙයි මා නැතිනම්
     ඒ නිදිමත නැත...
මගේ කුඩා කාලය සිහිකරන
     ඇගේ වත...
පුතුන් සතර දෙනෙකුට නැත
     එක දුවලඟ ඇත...
     එක දුවලඟ ඇත...


තිලක තබා නළල් තලේ
     හැන්දෑවට හැඩ...
වැළිබත් මුට්ටියට තමයි
     ඈ ඇති තැන වැඩ...
මුලු ගෙදරම හරි පාළුයි
     නැති කල ඇගෙ හඬ...
පුතුන් අතර පියුමි දුවේ
     හද තුල ඉඩ ඇත...
     හද තුල ඉඩ ඇත...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!
 
Blogger Wordpress Gadgets