Showing posts with label රෝහණ වීරසිංහ. Show all posts
Showing posts with label රෝහණ වීරසිංහ. Show all posts

සඳ එළියේ ඔබ ඉන්නේ...

අමරදේවයනට මහගම සේකර විය. වික්ටර්ට, මර්වින් පෙරේරාට, ශ්‍රීමතී තිලකරත්නට ප්‍රේමකීර්ති සිටියේය. මහගම සේකරගේත් ප්‍රේමකීර්තිගේත් කිත් යසස් මැද වැළලී යන්නන්ද බොහෝය. ඒ මහගමසේකරගේවත් ප්‍රේමකීර්තිගේවත් වරද නම් නොවේමය.

ඉස්සර වූයේ නිතර දෙවේලේ දකින කුකුලාගේ කරමල ඉක්මණින්ම සුදු වී යාමයි. එහෙත් අද වන්නේ නිතර දෙවේලේ දකින කුකුලා 'බෝයාවක්' කරගන්නා සුහුඹුල් මාධ්‍යවේදීන් තමා ගිලෙන්නට නොදී මේ බෝයාවන්හි එල්ලීමය. [මේ බෝයාවේ කථා රසකර කියන්නේ දුෂාන් සොයුරාය! ඒවා පසුවට!!]

ගීත එක්දහස් හයසීයක් පමණ ලියූ, නීලා වික්‍රමසිංහයනට ගී පද මාලා උල්පතක් වූ, පසුවූ දශක දෙකහමාරක පමණ යුගයේ කිසිම ප්‍රසිද්ධ මාධ්‍යයක සාකච්ඡාවට, විභාගයට ලක් නොවූ ගීත නිබන්ධකයෙකු, ශබ්ද පරිපාලකයකු, නිවේදකයකු, සහාය සිනමා [දෙව්දුව, පරසතුරෝ, මිහිදුම් සිහින, මේජර් සර්, මධු සිහින] අධ්‍යකෂකවරයකු වූ එක් අපූරු මිනිසෙක් ගැන සොයන්නට බලන්නට මා පෙළැඹවූයේද ඔහුගේ ඒ අපූරු ගී නිර්මාණයි.

මීට දශකයකට පමණ පෙර අප්‍රිකාණු මහද්වීපයේ දකුණු කෙළවරටම වන්නට වී ගතකල කාලය තුල, කුමක් හෝ හේතුවක් නිසා මගේ මතකයට නිතරම ආ ගීයකි: එහි රචකයා ගැන එදා ඒ හැටි නිනව්වක් නොවිණි:

"සදා උකුළු තල - මා සුව යහනට
තොළගින් මැතිරූ - නැලැවිල්ලෙන්
හැරලා මා සුව - සිහින විමානෙට
නිදි ගන්වා මා - ඔබ තුරුලේ...."


දකුණු පයාගල උපත ලැබූ අපේ කථා නායකයාට වයස හය හත වන විට එස්රාජ් පුහුණුවට යන නැන්දාගේ තනියට ඇයත් සමග යෑමට සිදුවෙයි. මේ කම්මැලි රාජකාරියක් වුවද කථා නායකයාට මේ වටපිටාව සැකසෙන්නේ අප වන් රසිකයින්ගේ භාග්‍යයටමය. පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සිට සාමාන්‍ය පෙළ සඳහා හේ කොළඹ ඉසිපතනට විද්‍යාලයට එයි. අද 'කිවි' දේශයේ වසන, එදා මේ අප තරුණ, කඩවසම් කිවියා, සිය කිවි කමින් නොසෑහී නිබයවම ප්‍රසිද්ධ ගායක ගායිකාවනට සිය ගීත ප්‍රබන්ධ ලියා, තැපැල් කර යවන්නේ පාසල් සගයින්ගේ ඔච්චම්ද මැද්දේය. "කෝ තාම උඹේ සින්දුවක් කීවේ නැද්ද කවුරුත්..?"

කාලය මෙසේ ගෙවී යද්දී අප කථා නායකයාට අතුල සෝමසිරිගෙන් "මල්ලී" ආමන්ත්‍රණයෙන් අපූරු තැපැල් පතක් ලැබේ. ශ්‍රී ලංකා
ගුවන් විදුලි සංස්ථාව, සිය බිරිය වන ලාලනී සෝමසිරිගේ සරල ගී වැඩසටහනකට අප කථා නායකයාගේ ගී තුනක් ගායනය කරවා පටිගත කර ඇති බවත්, අසුවල් දා, අහවල් වේලාවට ඒ විකාශනය කරවන බවත්ය.

මේ එක්දාස් නමසිය හැත්තෑ එක වසරයි!

ගුවන් විදුලි යන්ත්‍රයක් තමන්ටය කියා නොතිබූ අප කිවියා ඩිස්ප්‍රීන් දෙකක් ගැනීමට යයි කියා සිය මිතුරු සිරිපාල සමග සිය නිවසින් එළියට බසින්නේ සිරිපාලගේ පියාට හිමි පිළියන්දල 'සිරි බේකරිය' අසලට යාමටය. ඒ එතැන ඇති ගුවන් විදුලියෙන් අර තමන් ලියූ ලාලනී සෝමසිරි ගැයූ ගීත අසන්නටය. 


සියලු බලාපොරොත්තු ගිලිහී යන්නේ 'ප්‍රවෘත්ති' ඇසීමට සිරි මුදලාලි රේඩියෝව අනෙක් චැනලයට සුසර කිරීම නිසාය. අවසානයේ තම නිර්මාණ දිවියේ පළමු සජීවී ප්‍රචාරය ඇසීමේ භාග්‍යය ඔහුට අහිමි වේ. ගුවන් විදුලියෙන් තැටි වලට නොකැපුණු, නොනැගුණු මේ ගීත අද සොයා ගැනීමටවත් නොහැකි බව හෙතෙම කියයි. එහෙත් දුර්මුඛ නොවී ගී එක්දහස් හයසීයක් ඒ පන්හි‍ඳෙන් ලියැවෙන්නේ කළු වලාවන්හි රිදී වනින් දිළිසුණු රේඛා හෙතෙම දු‍ටු නිසාය.
සුළං කෝඩ වැහි වලා පෙළ ගැසේ
සිත් සමුදුරු අහසේ
කුණා‍ටු විහඟුන් අඳුරු වලා මැද
රිදී වනින් දිළිසේ...

ඔබ සයුරේ මා අඳුරු පැල්පතේ
රළ නැගෙනයුරින් නුරා වේදනා
නැගී නැ
ගී තෙරපේ සිත් සයුරේ...

වාරකන් සුළං සිත් සනහාලයි
නුරා වේදනා නිවී නිවී යයි
කුසගිනි සෙබලුන් හිස ඔසවාලයි...

[සංගීතය සේන වීරසේකර | ගායනය නීලා වික්‍රමසිංහ]


සහන නිවේදයකයෙක්
ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රාජකාරි කල සමයේ, සිරිමා බණ්ඩාරණායක අගමැතිනිය කතරගම ශුද්ධ භූමියක් කර සුදු ඇත් පැටියෙකු පූජා කරනා උත්සව අවස්ථාව ආවරණය සඳහා ඔහුට යන්නට ලැබෙන්නේය. ඒ, මැද මාස්ටර් (අමරබන්දු රූපසිංහ) හා පොඩි මාස්ටර් (ප්‍රේමකීර්ති) ට අමතරවය. සජීවී ප්‍රචාරය උදේ හත හමාරට පටන්ගන්නා බව දන්වා තිබූ නිසා මාස්ටර් කට්‍ටුව පාන්දරම වැඩ ඇල්ලීමට නික්ම ගොසිනි. එහෙත් නොසිතූ ලෙස සම්භාවනීය අමුත්තන්ගේ කලින් පැමිණීම නිසා එදා වැඩසටහන පෑ භාගයක් ඉදිරියට පැමිණෙන්නේය. රිජ්වේ තිලකරත්න පාලන සමය වූ එදවස වැඩසටහන් නිෂ්පාදිකාව වූ ජී. එස්. බී. රාණී මහත්මියගේ බලවත් ඉල්ලීම පිට කාරිය බාරගන්නා ඔහුට, හතරවාරයක්ම වැසිකිලි ගොස් වුවද සාර්ථක සජීවී ප්‍රචාරයක් ලබා දීමට හැකිවී ඇත. එදා එසේ වූයේ කතරගම දෙවියන්ගේ ආශීර්වාදය මේ සද්කාර්‍යය සඳහා නොඅඩුවම ලැබූ නිසාම විය හැකි බව අද හේ සිනාසෙමින් කියයි.

"ඉඟි බිඟි කරනා - තරු නෙතු වලට හොරා
සැඟව සිනාසෙමු - අප ලොව හිඳින තුරා"


'ඔබේ ගීත එකතු කරල පොතක් එහෙම නිකුත් කරන්න බාලාපොරොත්තුවක් නැද්ද?' මම විමසීමි. "අත් පිටපතක්වත් මම තියාගෙන නෑනේ... ඒත් ඉතින් මගේ ප්‍රියාදර බිරිඳ ඉතින් හෙමින් සැරේ මේව එකතු කරගෙන යනව...". රිඟින් ටෝන්ස් වලින් කෝටිපතියන් බිහිකරන සමාජයක මෙවන් මිනිසුන්ද අපිස් සතොස් බවින් යුක්තව විසීම හැබෑටම පුදුම සහගතය.

"ප්‍රේම යාතිකා - ඇති ඔබ ගැයුවා
ගායකයාණෙනි මන බඳිනා - මන බඳිනා
සෝ ලතැවුල් හද උතුරන අයුරින්
පෙම් ගී නොගයන් මතුදවසේ - මතු දවසේ.."


ඔහුගේ අසාමාන්‍ය සරල වාග් විලාශයට විෂය වන්නේ ප්‍රේමය පමණක් නොවන වගට ඉහත ගීය කදිම නිදසුනකි. ඒ වචනවල ඔහුටම ආවේණික ගුණයක් මම දකිමි. සාහිත්‍යමය ගුණයත්, ජනවහරත්, කටවහරත් එක මිටියට බැන්දු රන් හුයක් ලෙස මම ඒ අර්ථ දක්වමි. තවද ඒවායේ අතිශය සුගායනීය බවකුත්, නොගැටෙන නම්‍යශීලී බවකුත් මම දකිමි.

"ඔබගෙ සෙවනේ - දැනෙන සහනේ
වේවා සදා වාසනාවන්
ඔබගෙ සරණේ  - නොහිමි සෙනෙහේ
සසර සරණ තුරුම වාසනා.."

[විජේසුන්දර මහත්මිය විසින් මේ කුලරත්න ආරියවංශයන් ගේ නිර්මාණයක් බව දන්වා එවා තිබුනා. නිවැරදි කරමි. කුලරත්න ආරියවංශයනට කණගාටුව පලකරමි]

ලංකාවෙන් බැහැර ගතකලත් වසරකට වරක් හේ සිය මවිබිමට එන්නේ නිකම්ම නොවේ. සිය ශක්ති පමණින් කිවි දේශයේ මිතුරන් හා එක්ව එක් ‍රැස්කරගන්නා යමක් සිය මව්බිමේ කිසියම් පුණ්‍ය කටයුත්තක යෙදවීමටය. මව්බිමෙන් බැහැරවී, මව්බිමේ දොස්ම වයා සිටින්නට ඔහුට උවමනාවක් නැති සෙයකි. ඔවුන්ගේ සවියෙන් මවිබිමේ හිනා මල් කොපමණ මැවේද?

රෑහි රංචු හඬ අහලා හැන්දෑවට තරු බලන්න
බකිණි ගහේ ඉඟි කරනා කණාමැදිරි මල් ගණින්න
ඉස්සර වගේ ගොම්මනේට අම්මා එන මග බලන්න
අක්කණ්ඩී - ඉඳි වැට ගාවට යමුද හිනා මල් මවන්න...

කුප්පි ලාම්පුවෙ එළියෙන් බිත්තියෙ හෙවණැලි අඳින්න
ඉර‍ටු ඉලක්කම් ගැනලා පුංචි කතන්දර අහන්න
කෝම්පිට්‍ටු ගෙදර ඉඳන් රණ්ඩු වෙවී ඇද කරන්න
අක්කණ්ඩී - ඒ පුංචි ලොවට යමුද හිනා මල් මවන්න...

[සංගීතය රෝහණ වීරසිංහ | ගායනය නීලා වික්‍රමසිංහ]

සොඳුරු නිර්මාණකරණයේ යෙදුනු / යෙදෙන මිනිසුන්ගේ මා දු‍ටු  සුන්දරම කරුණකි. එනම් ඔවුනගේ නිහතමානිත්වයයි. ඒ සිත් වශීකරවනසුළුය. අමාරුවෙන් තටමා නිර්මාණයක් දොට්ට දමා, සිය සියලු ශක්තිය යොදමින් එම නිර්මාණය මුදල් කර ගැනීමට දත කන යුගයක මෙවැනි මිනිසුන් තම තමන්ගේ සොඳුරු නිසංසල රජදහන්හි රජවී සිටියි! 

ඔබ සිටින්නේ සිතට සිතාගන්නට බැරි තරම් ඈතක නොවේ. ඔබ විසින් නිමැවූ සියළුම ගී නිර්මාණ ඔබ ඔබේ ගුණ සුවඳ රැගෙන මේ ගුවන් ගැබේ සදා ඇදෙනු ඇත. ප්‍රියානන්ද විජේසුන්දරයාණෙනි; ඔබට නිදුක් නිරෝගී සුවත්, දීර්ඝායුත් පතමි. මෙතැනට එන සහෘදයන්ගේද නියත පැතුමත් එය වන බව මට විශ්වාසය.


"සිතක සිතා ගන්නට බැරි - දුරක නොවේ ඔබ ඉන්නේ
අතක දුරක පෙනෙන තැනක - සඳ එළියේ ඔබ ඉන්නේ

ඔබේ සුවඳ අරන් ඇදෙන - සුළං රොදක පැටලීගෙන
ගත දැවටුනු මගේ සළුව - ඔබ පහසට ඉගිලෙන්නේ

ගතේ පබා කැල්ම දුටිමි - නෙතේ සරා බැල්ම දුටිමි
ඔබ අසලට දිව එන්නට - දෙපා ගිගිරි පොරකන්නේ"
[සංගීතය පී. ඩන්ස්ටන් ද සිල්වා | ගායනය නීලා වික්‍රමසිංහ]
Read More!

රන් තරු මිණි මුතු ආභරණ ඇඳන්...

බිත්තියේ එල්ලා ඇති උෂ්නත්වමාණයේ පහල ඇතිආර්ද්‍රතාමානයේ පෙන්වන අගය ඉතා පහලය. වාතය බොහෝ සෙයින් වියලිය. හිසට දිනපතා තෙල් දැමීමට කම්මැලි කමක්ද වෙයි. විපරීත සිහින බොහෝ පෙනෙන්නට පටන් ගෙන ඇත්තේ ඒ නිසාද? හිස පනාවෙන් පීරා මදක් ඉහලට ගත් සැනෙකින් ආරෝපිත කෙස් පනාව මුණගැසෙන්නට විත් නැවතත් "බල බිඳ දමා හිරු යනවිට අවරගිරෙන්" මෙන් නැවතත් හිස මත පහත් වේ. 

සූක්ෂ්ම උපකරණවලින් මිනිසාගේ හිසවටා ඇති යම් රෂ්මි ප්‍රභා මණ්ඩලයක් නිරීක්ෂණය කල ඉන්දීය විද්වතෙකු හිසට තෙල් දැමූ විට මේ නිරීක්ෂණය කල නොහැකි යයි  කියා ඇත. ස්ථිති විද්‍යුත් ආරෝපණ ස්ථාවර වන්නේ පරිවාරක තුලය. සිහින් තඹපත්‍රයක් යම් මන්ත්‍රයක් හෝ ගාථාවක් කොටා සුරයක් තුලට බහා ශරීරයේ ගැටෙන්නට තබාගන්නේ, භෞතික තත්ව නිසා මේ කැලඹෙන මනස නිරවුල් කරන්නට උදව්වක් වශයෙන්දෝහෝයි නොදනිමි.
------------------------------------------------------------------------------
"හලෝ... ආ..කොහෙද ඉන්නේ?"
"අද පොලට ආවනේ... පොල දවසනේ..."
" ඊයේ හීනෙන් දැක්කනේ..."
"අපොච්චියේ..." ඈ පහත් හඬින් සිනාසෙයි..."මොකක්ද
ඉතින් දැක්කේ...?"
" අපි දෙන්නා අර මියුසියම් එක ලඟ බස් හෝල්ට් එකේ, බස් එකක් එනකල් තාප්පෙට පිටදීලා වාඩි වෙලා උන්නානේ...!"
" දෙයියනේ...!!!" පොල මැද්දේ ඈ කෙසේ මෙලෙස සිනාසෙනවාදැයි
නොසිතේ...
------------------------------------------------------------------------------

අවුරුදු විසි ගනනකට උඩදී මුණගැසුණු අප, ඉසිඹුවක් ලද විගස හමුවී දොඩමලු වන්නට බොහෝ ප්‍රියකළෙමු. නුසුන් වූ ඒ ආසාවන්, සිරුරෙන් දුරස් වූ මෙකල, උඩුහිත නිසල වූ මොහොතක් බලා මතුපිටට පැමිණියා විය හැක.  මොහොතක් සැඟවී ලොවෙන් මුවාවී දොඩමළුවීමට එකල අපට තුබුණේ සීමා සහිත පරිසරයකි. හඩ්සන් සමරසිංහයන් "රඟහල දැන්......" ගීය රචනා කරන්නට ඇත්තේ අප වැනි අසරණයන්ට මග පෙන්වීමටදෝ යැයි මතක් වෙන විට දැන් නැගෙන්නේ මන්දහාසයකි.
-------------------------------------------------------------------------------
මෙවර නිවාඩුවට ගෙදර ගිය මට, මා එකළ ගුවන් විදිලියෙන් කැසට් පට වලට පිටපත් කරගත් පැරණි ගී ගොන්නක්
ම හමුවුණි. එයින් එක් ගීයක මුල් පද කිහිපය කොළයක් මත්තෙහි සටහන් කොට මාවිසින්ම එය කැසට් පටයේ කවරය තුලට රිංගවා සකසා තිබුණි. 

"රන් තරු මිණි මුතු ආභරණ ඇඳන්
අඩ සඳ වත පවසන කොමළ වදන්
ඇස දැක නැත ඔය රුව සමැති ලඳුන්
මට දෙනු මැන මුවරද සුවය නොදුන්..
"

අද ඒ කඩදාසිය බොහෝ කහ පැහැ ගැන්වී ඇත්තේය... කාබන් පෑනෙහි අකුරු ඒ මත්තෙහි බොඳව ගොස් ඇති ලෙසකි.... එහෙත්..... ගීයෙහි අරුතත්, ඒ විසින් කුළු ගන්වන අතීත මතකයනුත් සිතෙහි ඇතිකරන ආහ්ලාදය නම් එදා මෙන්මය.

රන් තරු මිණි මුතු ආභරණ ඇඳන්...
අඩ සඳ වත පවසන කොමළ වදන්...

   ඇස දැක නැත ඔය රුව සමැති ලඳුන්...
   මට දෙනු මැන මුවරද සුවය නොදුන්...

පුබුදනට පියුම් පෙතී පරිදි විලේ...
නෙක සොඳුරු දසුන් දෙන උවන දිලේ

   මධු බඳුන් පුරා ලද නිමල සුවේ
   කඳු පෙළින් රිදී දිය විලස සැලේ

        කඳු පෙළින් රිදී දිය විලස සැලේ...

රණ මොණර ‍රැඟුම් ලෙස සිතැඟි හැඟුම්
කොඳ කැකුලට සඳ මෙනී නෙතග බැලුම්

   මිණි බරණ හැඬුම් දෙන අමර පැතුම්
   සඳ කිඳුරු ලියන් ලෙස නටන ‍රැඟුම්

        සඳ කිඳුරු ලියන් ලෙස නටන ‍රැඟුම්...

.

Read More!

අන්න බලන් දැමුණු දනා නෙත රසඳුන් වෙනවා...

හිතත් එක්ක ඔට්‍ටු සෙල්ලං කර තිබෙනවාද...? ගොඩක්ම පුංචි කාලෙදී "චොකලට් එකක් ඕනෙද, අයිස් ක්‍රීම් එකක් ඕනෙද" කියල කවුරු හරි අහපු කාලේදී ඉඳලාම හිත දෙගිඩියාවෙන් පෙලෙනවා නේද තීරණ ගන්න වෙලාවට... මොළේ ඇට්ටකුනා වෙච්චි කාලෙක නම් "චොකලට් අයිස්ක්‍රීම් එකක් කමු..." කියලා දෙකම ගොඩ දාගන්නත් තිබුනා... නමුත් වෙලාවක් එනවා, යම් යම් කාරනා වලදී, හිත ඇතුලෙම බලවත් ප්‍රතිවිරුද්ධ තාවයන් ගොඩ නැගෙන... එතකොට කොහොමද තීරණ ගන්නේ...? මට හිතෙන්නේ යම් යම් ක්‍රීඩාවලදී අසීරු කාර්‍යයන් කරන්න පුරුදු පුහුණු වෙනවා වාගේ, යම් යම් සංගීත භාණ්ඩ වයන්න පුරුදු පුහුණු වෙනවා වාගේ, හිතත් මෙයට පුහුණු කලයුතුයි කියා.... මොකද හිතේ කොටසක් A හරිය කියා කියනවා... තවත් කොටසක් B හරිය කියා කියනවා...එතකොට ඒ හිත තුලම ඉඳන් තමයි මේ දෙකෙන් තේරීමක් කරන්න වෙන්නෙත්... ඒ හා බී වලින් නතර වුනොත් හොඳා... තවත් බොහෝ විකල්ප එකතු වුනහම...? හිතේ දමනයකුත් නැතිවුණහම...?

ගතත් සිතත් එක්තැන් කරන ක්‍රීඩා වලිනුත් මේ සිත දමනය කරගන්න උදව් ගන්න පුලුවන් කියා මට හිතෙනවා... පිහිණීම, දිගු දුර දිවීම, සරල ක්‍රීඩා වුවත් සිතේ ශක්තිය, මෙල්ල කිරීම පුහුණු කරවන්න උදව් වෙනවා... බෝධිධර්ම භික්ෂුව විසින් ඉන්දියාව හරහා චීනයට, එතනින් ජපානයටත් ව්‍යාප්ත වුණු කරතේ ක්‍රීඩාවෙත් මේ වාගේ "නිසල මනස" [Peaceful Mind - Heian] නමින් "කාතා" වර්ගයක් තිබෙනවා... ඉංග්‍රීසි අයි අකුරේ හැඩයට චලනයන් දක්වන මේ "කාතා" සරලයි... නමුත් මානසික ඒකාග්‍රතාව වෙනුවෙන්ම වර්ධනය කල ඒවා වෙනවා... විශේෂයෙන් නවකයන් උදෙසා ලබාදෙන... යෝග ව්‍යායාමත් අනිවාර්‍යයෙන්ම සැකසී ඇත්තේ ඒ වෙනුවෙන්මයි මගේ හිතේ... අමාරු ඉරියව්වක විනාඩි දෙකක් ඉන්න, හිතේ බලවත් ශක්තියක් ඕනෑවෙනවා...

අසංවේදීව හිතත් එක්ක කරන ඔට්‍ටු සෙල්ලන් ජීවිතයේ එමට වුවත්, සිහියෙන් යුතුව සෙල්ලමක් කර බැලුවොත්... තමන්ට නතර කර ගත නොහැකි සමහර චර්යා... කෑමෙන් පසු ලොසින්ජරයක් කැම, සිග‍රැට්‍ටුවක් පානය, ‍රැට අඩියක් ගැහීම... වගේ දෙවල් එක්ක අත් හදා බැලුවොත්....? මම හිතන්නේ ඒක අපේ හිතේ හයිය පිලිබඳ නියම "අම්ල පරීක්ෂාව - Acid Test" කියා... උප්පත්තියෙන්ම දැමුණු සිතැත්තන් ඉන්නා අතර වෙහෙසවී සිත් දමනය කරගත්තවුන්ද අප අතරම මා දැක තියනවා... ඔවුන් නියතයෙන්ම මට නම් මග එලි දක්වන්නන්... අවසන් පදයේ තණුව වෙනස් වන අයුරු නිස්කාන්සුවේ විඳින්න..

දලින් අනින පයින් මඬින රුදුරු සැහැසි කම් කල ඇතු....
අන්න බලන් සැදැහැ සිතින් කරඬුව ගෙන යනවා...
ආ.... කරඬුව ගෙන යනවා.... කරඬුව ගෙන යනවා....

දෙපයින් අහසට නැගෙමින හේෂාරව නද නැගු අසු....
අන්න බලන් ආදරයෙන් රජුට අසුන දෙනවා...
ආ... රජුට අසුන දෙනවා... රජුට අසුන දෙනවා...

අඟිනවුලා මුල් උදුරා ගුරු තවරා ගත් ගවදෙන...
අන්න බලන් මවක වෙමින් කිරි දෙන්නට එනවා...
ආ... කිරි දෙන්නට එනවා... කිරි දෙන්නට එනවා...

නින්දා රලු බස් පහරින සසල නොවී නිසසල වන...
අන්න බලන් දැමුණු දනා...
අන්න බලන් දැමුණු දනා නෙත රසඳුන් වෙනවා...
නෙත රසඳුන් වෙනවා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....
Read More!

බිඳුණු පෙමට නාඩන් මා නැගණියනේ...

හද ගී පොත හරහා සංවේදී සිත් ගොඩාක් අඳුනා ගන්න මට ලැබුනා... මට බාල සහෝදරයො, සහෝදරියෝ නෑ... හරිම පාලුවෙන් පුංචි කාලේ ගෙවුනේ... අදටත් මේ සංවේදී, ජවසම්පන්න, සොයුරු සොයුරියන් ඇසුරු කරන කොට මට සොයුරු පෙම බලවත්ව නැගෙනවා... ඒත් ඒ අතරින් කිහිප දෙනෙක් තමන්ගේ ප්‍රියයන්ගේ වෙන්වෙලා... ඔවුන්ගේ හිත් මට වඩා ශක්තිමත්... මම එක්කෙනෙකුට ඊයේ ලිව්වා මටනම් ඔහොමදෙයක් වුනොත් සියදිවි නසාගන්න හිතෙයි කියලා... ඔහු කියනවා "නෑ ඔබ ඒ තත්වයන් එක්ක ජීවත් වෙන්න පුරුදු විය යුතුයි " කියල... ඔවුන් සැබෑ වීරයො නේද..? ජීවිතයෙන් පලා නොයන...? තවත් සංවේදී සොයුරෙක් ලියනවා "හද මළගම දා මම වැලපෙන්... විදුලිය සේ යලි සිනහා නොවෙන් ..." යන්න, හදාගත් ඔහුගේ හිත ඉඳහිට පාරවනවලු... එතකොට අනෙක් සොයුරිය...අතිශය සංවේදී ඇයත් එලියට නොපෙන්නුවට අමාරුවෙන් හිතහදාගෙන ඉන්නේ... මගේ හිත කනස්සල්ලෙන්... සංවේදී හදවත් ඇත්තවුනට මෙහෙම වෙන්නේ ඇයි...? සමාවෙන්න, මම ඕගොල්ලෝ ඔක්කොටම වඩා දුර්වලයි... මට ඕගොල්ලන්ගේ හිත් හදන්න බැහැ... නමුත් මම ඔබට හිතාදර සොයුරෙක් වෙන්නම්... මිතුරෙක් වෙන්නම්... දුකක් කණගා‍ටුවක් දැණුනු විටක ඒක ඒ විදිහටම තේරෙන සොයුරෙක් ඔබටත් ඉන්නවායැයි හිතන්න...හිත නිදහස් කරගන්න ඕන නම් මට කතාකරන්න... මම අහගෙන ඉන්නම්, ඔක්කෝම පැත්තක දාලා...
මට කළ හැකි එපමණයි...

බිඳුණු පෙමට නාඩන් මා නැගණියනේ...
මිහිළිය සේ...
නාඩන් මා නැගණියනේ...

අහසට බැන්ද පෙම නිය‍ඟෙන් නුඹ දෑවා..
පොළව නුඹයි ඒ නියගෙන් අලු වූවා...
නුඹ දුක් ඉහිලුවා බැරි බර ඇදලූවා...
අහසට හඬන්නට වෙනවා නුඹ ගාවා...

ගහ කොල සියක් මල් පිපිලා තියෙන විට...
අහසට සිනාසෙන්නට හැකි නේ නුඹට...
ඇති තෙක් විඳින්නම් කරදර දුක් ගැහැට...
ඉර හඳ පුරුදු සේ එනවා නුඹ ලඟට...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න...
Read More!

අද ඉපැදුනු නැවුම් ලොවට ...

ඉස් ඉස්සෙල්ලම දෙයියන් බුදුන් වැඳලාම වැඩේ පටන් ගමු.
සුනිල් එදිරිසිංහයන්ගේ මේ ලස්සන ගීයෙන්....

අද ඉපැදුනු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න...
පතිනි මවුනි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න...

උපන් බිලිඳු නහවන්නට රුවන් පිරිස පැන් වඩතී...
සිරිමා බෝ පත් සෙලැවී මෙත් සිහිලෙන් සුවය දෙතී...
දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිතී...
සඳ හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී...කල්පයකට ආයු දෙතී...

සහසක් බුදුවදන් නිතර නැලවිලිගීයෙන් ගයතී...
සිරි දලදා හිමිසරණින් පිහිට ලබා නිදුක් වෙතී...
උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී...
බාල බිලිඳු පිලිගන්නට සමන් දෙවිඳු දෝත දෙතී... සමන් දෙවිඳු දෝත දෙතී...

සිංදුව අහන්න මෙන්න මෙතැනින්....ඕන්නම් බාගන්න...
Read More!
 
Blogger Wordpress Gadgets