Showing posts with label රෝහණ බැද්දගේ. Show all posts
Showing posts with label රෝහණ බැද්දගේ. Show all posts

කැන්දන් යන්නේ කවදද මා.....!

කථිකයා මැදි වියද පසු කල අයෙකි. දුඹුරු පැහැ ලියුම් කවර මිටිය තබා තිබූ ටීපෝව පසු කල ඔහු මනාල යුවල පසෙකින් සිට ගත්තේය. ආරිය ඇඳුමේ කර වාටියේ දෙපස දෑතින්  සීරුවට අතගෑවේ මහා බැ‍රැරුම් කථාවක් කීමටය...

ඔහු කථාව පටන් ගත්තේ මෙලෙසය...
"විගස වාහනයෙන් හනිමූන් යමු.... "
සභාව සිනාසුනි. මගේ ආච්චී කම්මුලේ අත තබාගත්තාය. එකල වයස අවුරුදු හයක් හෝ හතක් පමණ වූ මට ඒ කථාවෙන් මතක තිබෙන්නේ එපමණි.

දැරියක් කායිකව වැඩිවියට පත්වූ පසු සමවයස් පිරිමි ළමයෙකුට වඩා මානසිකව පරිණත බවක් දැක්වන බව මගේ අත්දැකීමය. දරුවන් තදබල ලෙස තමා සන්තකයේ තබා ගන්නා මැද පාන්තික පවුල් තුල අද දවසේ මෙසේ දැරියකට මනසින් මුහුකුරා යාමට ඉඩක් ලැබේදෝයි සැක සහිතය. පොදු ක්‍රියාකාරම් ඇත්තේද අඩු වැඩි ලෙස අදහස් වලින් සමාන වූ සමාජ ජාල තුලමය.

උත්සව සම්භාෂණ තවදුරටත් මිනිසුන් මුහුවීමේ අවස්ථා නොකිරීමට ඡායාරූප ශිල්පීනුත් සංගීත කණ්ඩායමුත් පැහැදිලි ලෙසම වගකීම භාරගෙන ඇත. අනෙක් පසින් බාල වයස්කාර විවාහයන් ගැනද බෙහෙවින් අසන්නට ලැබේ. එහි ඇත්තේ අර කථිකයා කී ලෙස "විගස වාහනයෙන් හනිමූන් යාමේ අවශ්‍යතාව පමණක්මද?

යුවතියක් විවාහයට පෙර බලාපොරොත්තු පුරවාගෙන සිටී...
ජාති කුළ මල කුමක් වුවද ඒ බලාපොරොත්තු ජීවිතයේ සොඳුරු පැත්ත හා බැඳී පවතී....

සුදු ඔසරිය ඇඳලා - සුදු මුතු පොට බැඳලා...
සුදු මල් පියවිල්ලේ සුදට සුදු - කවදද මා යන්නේ...

රෑ හීනෙන් දකිනා ඔබේ රුව - හදවත ඇඳගනිමි...
උදෑසනින් බි‍ඳෙනා සිහින ලොව - තනිවම ඉකිබිඳිමි....

රන් මිණි අබරණ හෝ පටසළු -  නැත මට දායාදේ...
කඳුලක රස දැනෙනා හදක් ඇත - වෙන්වූ නමින් ඔබේ...

අනුලා බුලත්සිංහල

එළෙසින්ම විවාභිමුඛ අප රට තරුණයාටද දැනෙනා වගකීම්ද සුළුවෙන් තැකිය හැකි නොවේ.
අවාසනාවකට ඒ ගැන කථා කරන්නෝද දුලබය. පැහැදිලි ජීවිකාවක් අරඹා නැති, අව්වට වැස්සට හෙවණක් දෙමාපියන්ගෙන් දායාද ලෙස නොලද තරුණයාට ඒ දෑ මහත්ම වූ පීඩනයකි.
ඒවා සම්පූර්ණ වනතෙක් සිටියහොත් ඔහුට තම සිත් ගත්තී හා එක් වන්නට මේ කපේදී බැරිවෙනු ඇත.
දෙමාපියන් තම වර්ථමානයද ඉවතදා දරුවන් වෙනුවෙන් උපයා තබන්ට වෙහෙසෙන්නේ මේ නිසාද?

රන්වන් රන් කෙත - සිපගෙන හමනා - පවන් පහස විඳලා
රන්වන් රන් - ආදර කඳු මුදුනේ - අළුත් ගෙයක් හදලා
කැන්දන් යන්නේ කවදද මා....

රන්වන් රන් හිරු - පායන දවසේ - ඉසිරු කුසුම් පිපිලා
රන්වන් රන් රත්තරන් ලඳේ පෙම් සිහින වැලක එතිලා
කැන්දන් යන්නට එන්නෙමි මා....

විහඟ තුඩක - සංගීතය මුමුණන - මතක ගීත අහලා
මියුරු කල්පනා - ලොවක් මවන්නෙමි - හිතක සුවඳ විඳලා
කැන්දන් යන්නේ කවදද මා

හිතක හැඟුම් පොදි - දෝතට අරගෙන - ඔබ දෑතේ තබලා
අලුත් බතක රස - විඳගන්නෙමි මම - ඔබේ අතින් උයලා
කැන්දන් යන්නට එන්නෙමි මා...
කැන්දන් යන්නේ කවදද මා....

අමරදේව - චන්ද්‍රිකා

විවාපත් යුවලට හතර වරිගයෙන් ලැබෙන පි‍ටුබලය කෙසේ වුවත් දේසනා නම් නිමක් නැතිය.
විටෙක දෙමාපියන් දරුවන් විවාපත් කරදී ඔවුනගේ ජීවිතය ඔවුනට ගෙනයන්නට ඉඩ දෙනවාට වඩා ඔවුනගේ ජීවිතද මෙහෙයවන්නට පටන් ගනී.
යෝධ ඇලේ බැස්ම සේ මේවා මුලදී පටන් ගන්නේ සුලුවෙන්ය: අවසන් වන්නේ නයගරා ඇල්ලෙනි.

අලුත ගෙනා මනමාලී - හරි ලස්සන හැඩ වැඩ ගම්බද කෙල්ලකි - 
අලුත ගෙනා මනමාලී....

නැන්ද මාම ගොඩක් - සතුටින් පිළිගත්තෙ - දෙපැත්තෙම  නෑ මිතුරන්
ප්‍රිය සම්භාෂණෙන් පසු - මංගල සබේ සිට - දැක්වූ කථාවලටත් සවන් දුනි - 
අලුත ගෙනා මනමාලී....

පුංචි මාම නැගී සිටිමින් - අවවාද ‍රැසක් දුනි - දේශණයෙන්
දරු මල්ලො - ගොඩක් ලැබෙවා නව යුවලට - කිව්වම කට කොණකින් සිනාසුනි - 
අලුත ගෙනා මනමාලී....

නෑසියන් පිටවූ - සැනෙකින්ම නැන්දම්ම ඇවිත් - ඉඳගත්තේ ලඟින්
දරු මල්ලෝ දෙකක් - හොඳටෝම අපිට ඇති - නේද දුවේ කියමින් වැලඳගති - 
අලුත ගෙනා මනමාලී...

රෝහණ බැද්දගේ - නීලා වික්‍රමසිංහ

බාල වයස්කාර නොවේනම්ද, විවාපත් වන්නට අදහසක් තිබේනම්ද එයට ඒ හැටි සුනංගු නොවීම කොයි දේටත් හොඳයැයි සිතේ.
සිතුවිලි සංකීර්ණ වී මිණුම් දඬු සංකීර්ණ වීම සහකරුවෙක් සහකාරියක් සොයාගැනීම, ‍තෝරාගැනීම අපහසු කරවන්නකි.
තරුණ කාලයේ හිතේ ඇතිවන ප්‍රේමණීය හැඟීම් ඒවාට සුදුසු කල්හීම දැරිය හැකි නම් මනාය.
කල් නොයවා ඔබ ගන්නා තීරණ නිසා තවෙකෙකුගේ හිත රිදිය හැක.
ඒත් මේ ඔබගේ  ජීවිතයයි...

කිරි පබළු ගෙල මුතු පලඳා - හෙට මම දීගෙක යනවා
ගමම සතු‍ටු වෙයි ඔබ පමණක් ඇයි - මා හා අමනාපෙන්

මල් වැට අද්දර පොකුණු ඉවුරු පිට - ගෙදරට නොපෙනෙන මානේ
සතර පෝය දින මහවැලි ගංතෙර - බොඳවී ගිය සඳපානේ
ලිපියක ලියැවුණු අකුරු කීපයක් - මැදි වී දු‍ටු පෙම් සීනේ
සිත් නෙත් අතරට හසුවී එළඹුණි - මේ අවසානේ

පළඟැටි රෑණක් අඬන විලාසෙන් - අඳුරට ඉඩදී ඇහැරී
වැඩි බර පැත්තට හිත හරවාගෙන ඉන්නට සිදුවිය ඉහිරී
හෙට පිය සැමියකු අතිනත ගන්නට - මොහොතක් එළඹෙයි මිහිරී
ඔබ සැනසෙව්වොත් ගමක් තරහවෙයි - අසරණනේ ඔබෙ සොඳුරී

රංජනී පෙරේරා
Read More!

රාජ පණ්ඩිත නාග විමානේ... | ත්‍රිවිධ ඥාණ විදුරූ.....

මා කුඩා කල විධුර ජාතකය ගැන දැනගත්තේ මේං මේ ගී දෙකෙන්...
සින්දු වලින් කියන දේ මෙලෝ දෙයක් නොතේරුනාට ඒ කාලේ, පස්සේ කාලෙක තොරණ් බලලා, විධුර ජාතකය කවි පොත රුපියල් දහයකට පදික වේදිකාවෙන් මිලට ඇරන් කියවලා, හරි අපූරු විසිතුරු බවක් සිතුවමක්, විධුර ජාතකය ගැන මගේ හිතේ ඇඳුනා. ඕං කෙටියෙන් විදුර ජාතකය මෙතන ලියනවා... කථාව කියවලා බලලම සින්දු දෙක අහන්නකෝ...

විධුර පණ්ඩිතයන් කියන්නේ ධනංජය රජ්ජුරුවන්ගේ ඇමතියෙක් නෙව. ඒ කාලෙම හිටි තවත් සි‍ටු පුත්‍රයින් සතර දෙනෙක් ඉතින් දන් පින් කරලා මියගියායින් පස්සේ එක්කෙනෙක් සක්දෙවි වෙලාත් , තවත් කෙනෙක් නාග භවනෙ වරුණ රජ්ජුරුවෝ වෙලාත්, තව කෙනෙක් ගුරුළු භවනෙත්, අනෙක් කෙනා අපේ ධනංජය රජ්ජුරුවන්ගේ පුතාවෙලත් උපන්නලු. කුමාරයා ධනංජය කොරව්‍ය නමින් ඕං ඉතින් රජ වුනත් කියමුකෝ.

පරණ යාලුවෝ හතරදෙනා ඉතින් ආයෙමත් ඒ ආත්මෙදිත් එකතු වෙලා පරණ කල කී දෑ කථා කරන අතරමගදී කාගේ සිල්වත් බවද ශ්‍රේෂ්ඨ කියලා ඕං කථාවක් ඇතිවුනා. කථාව වාදෙට පෙරළුනහම ඔන්න ඉතින් එහෙනම් විධුර පණ්ඩිතයින්ගෙන්ම විසඳුමක් ගනිමුය මේකට කියල එකඟ වුනා. කරුණු කාරණා අහපු පණ්ඩිතයෝ සීලයන්හි අඩු පාඩුවක් නොදිටි නිසා සියලු දෙනාගේම සීලයන් එක ලෙස උසස් කීවා. හතරදෙනාම අගනා තෑගි බෝගයෙන් පණ්ඩිතයන් පුදන්ට තරම් සං‍තෝස වුනා.

හැන්දෑවට ගෙදර ගොහින්, උදේ හිටන් වැඩ පලේ, මගතොටේ වෙච්චි පල් හෑලි සේරෝම, ගෙදර ඇත්තිත් එක්ක කියැන්නැහෙ, ඒ ඇත්තිත්, දිග කෙස් ගස්, ඩබල් බස් ටිකට් සාක්කුවල ඇත්දැයි බලන්නැහෙ වැඩක් ඕං ඉන් මත්තේ ආපහු නාග භවනට ගිය වරුණ රජ්ජුරුවන්ට වුණානෙව. කරේ පලඳා උන් මැණික කොයි කියා විමලා දේවී ඇසුවාම, වෙච්චි සන්ගදිය, විධුර පණ්ඩිතයින් ගැන වර්ණනාවක් එක්කම කීවාම, ඕන් මේ දේවියට පුදුමාකාර දොලක් ඇතිවුනා පණ්ඩිතයින්ගෙන් බණ ඩිංගක් අහන්ට.

නා දේවිය වුණත් ගැහැණියක් නෙව, මේකට සූත්තරයක් කල්පනා කරලා විධුර පණ්ඩිතයිගේ හදවත අනුභව කරනකල් සන්සි‍ඳෙන්නැති ලෙඩක්ය කියා ඕං ලෙඩ ඇඳට වුනා. සෝකෙන් ඉන්න පියරජතුමා දැකපු එරන්දතී නා දෝනී ඇවිත් මේක අහලා, ඈත් සූත්තරයක් යෙදුවා අම්මාගේ ලෙඩේ සුවකරන්න. බොහොම එඩිබල ඇති, වෙසමුණි රජ්ජුරුවන්ගේ බෑනණුවන් කෙනෙකුත් වෙන, පූර්ණක යක්ෂයාව මේ වැඩේට පොලඹවාගන්ට ඈ හිතුවා. කාලගිරි කන්දේ ඉඳන් සුවඳ විහිදුවා විහිදුවා මලින් සැරසී ගී කියන එරන්දතිය දු‍ටු පූර්ණක යකුට උන්හිටි තැන් අමතක වුනා. එරන්දතියගෙන් කථාව ඉන්තේරුවෙන්ම අහගෙන ඕකත් මට කජ්ජක්දැයි කියූ පූර්ණක යකු විධුර පන්ඩිතයින් විමලා දේවින්නාන්සේ ගාවට එක්කන් යන්න පොරොන්දු වුනා, ඉන් මත්තේ ඈ ආවාහ කරගන්න පොරොන්දුව මත.

ඊලඟට මේක බලෙන් කෙරිය හැක්කක්ක? ධනංජය රජුව සූදු කෙලියෙන් පරදවා, හිලව්වට විදුර පණ්ඩිතයින් ගන්නම් කියලා ඔන්න, ඒ සඳහා උපකාර විය හැකි, කුම්භාණ්ඩයින් ලක්සයක් විතර රකින මැණිකකුත්, උන්ව පළවා හැරලලා අරගෙන ගමනට පිටත්වුනා. සූදුත් කෙලලා, දිනලා, පඬුරු විදිහට පණ්ඩිතයින්ව ඉල්ලුවහම තමා රජ්ජුරුවන්ට දෙයියන් සිහිවුනේ. ඇයි තමාට අර්ථයෙන් ධර්මයෙන් අනුසාශසනා කරන පඬිතුමා නෙව. කොහොමෙන් කොහොමෙන් හරි ඕං පණ්ඩිතයින්ව අරන් යනවා පූර්ණකයා නා ලොවට. සරීරේ සෙරෝම අරන් යන්නේ මක්කටෙයි, හදවත විතරයි නෙව ඕනේ කියා හිතලා, ගලේ ගසා මරන්ට, වේරම්භ වාතයකින් සුණු විසුණු කරදමන්ට, බිහිසුණු වෙස් මවා තැති ගන්වන්ට උත්සාහ කලත් හරිගියේ නැති තැන, උඩ විසිකර කීප විටක් බෙල්ල පල්ලෙහාට වෙන්ට කකුල් දෙකෙන් අල්ලා සෙලෙව්වා ඕං. මේ දසවධ වලින් නෙසෙල්වුණු පණ්ඩිතයෝ මෙහෙම කරන්නේ ඇයිද අහලා ඕං කාරණේ දැනගත්තා.

එහෙමනම් ඒකත් එහෙමද කියා, මං මැරෙන්ට කලින් යමක් කියාදෙන්නම් ඊට පස්සේ ඕං කැමති දෙයක් කරන්ට කියා සාධු නර ධර්ම කාරණා හතර කියා දුන්නා. පළවෙනි එක නම් උදව්වක් කල අයට නැවත උපකාරය, දෙවැන්න යම් කෙනෙකුගේ ගෙදර නැවතී ආහාරත් ගෙන ඒ කෙනාටම නපුරක් කිරීමට නොසිතීම. තුන්වැන්න තමන්ට සෙවන දුන් ගසක අත්තක් නොකඩන ගානටවත් මිත්‍ර ද්‍රොහී නොවීමයි. අන්තිම එක තමා කාරණේ - අසත්පුරුෂ ස්ත්‍රීන්ගේ වසඟයට නොයාමයි. ඊට පස්සේ ඕං දැන් එහෙමනම් යමු, මා පව් නොකර ඇති නිසා මරණයට බයක් නැත කියලා කිව්ව. පූර්ණක යකු බොහොම ලජ්ජවෙලා ඔබතුමා ආපහු යන්ට, මට එරන්දතියත් නුවුමනා යැයි කියලා කිව්වා ඒ ගමන. එහෙම නෙමේ, අපි එහෙටත් යහපතක් කරමු මේ ගමනින්ම කියලා ඕං දෙන්නම නා ලෝකෙට ගියා.

අනේ අප්පේ ඉතින් වරුණ නා රජ්ජුරුවෝ බොහොම තු‍ටු පහ‍ටු වෙලා ධර්ම දේශණාවකට ආරාධනා කලා. ඒ ධර්මය අසා විමලා දෙවීන්ගෙත් මනදොල සංසිඳුනා නෙව. එහෙමනම් දැන් ඉතින් මගේ හෘදය මාංසය ගන්ටයි කිව්වහම, නා රජ්ජුරුවෝ කියාපි කෙනෙකුගේ හෘදයනම් ප්‍රඥාවමයි, අප එය ලබූවෙමුයි කියා. මේ නා ලෝකේ බණ කියන්ට කෙණෙකුත් නැත, ටික දිනක් ඉඳලා බණ කියන්ටයිත් ආරාධනා කලා. පූර්ණකයාට දොණියන්දැත් පාවා දුන්නා. පූර්ණකයා ඉමහත් සතුටට පත්ව ආපහු එක්කනුත් ගොහින් තමා ලඟ තිබ්බ අර සූදුව දිනන්ට උපකාර කල බලසම්පන්න මැණිකත් ඕං විධුර පණ්ඩිතයින්ටම පූජා කලා. ධනංජය රජ්ජුරුවනුත් ඉතින් පඬිතුමා යහතින් ආවා දැකලා අධික සතුටෙන් අඬා වැලපිලා, බොහෝ දිනක් සැණකෙලිත් පැවත්වූවාලු.

ජාතක කථාවේ හැටියට නා රජ සැරියුත් රහතන් වහන්සේ වූ අතර, ගුරුළු රජුන් මුගලන් මහ රහතන් වීලු. ධනංජය රජතුමා ආනන්ද මහරහතන් වහන්සේ වුනු අතර විධුර පණ්ඩිතයින් බෝධිසත්වයන් වීලු.

-------------------------------------------------------------------------------------

රාජ පණ්ඩිත නාග විමාණේ.... ලෝහිමි විධුර පඬීගෙ ඤාණේ....
කීර්ති සුන්දර තේජස පෑවේ...ලෝහිමි විධුර පඬීගෙ ඤාණේ
කීර්ති සුන්දර තේජස පෑවේ...ලෝහිමි විධුර පඬී.....

ප්‍රේම පතා විමලා දේවීගේ.... පූර්ණක යකු දොල සන්සිඳනාසේ.....
දෙන්ට සිතා මහ පණ්ඩිත හර්දේ..... කාලා ගිරි මුදුණේ දී...
රාජ පණ්ඩිත නාග විමාණේ.... ලෝහිමි විධුර පඬී.....ගෙ ඤාණේ
කීර්ති සුන්දර තේජස පෑවේ... ලෝහිමි විධුර පඬී...

සම්මා සම්බුදු මහ සත් ප්‍රාණේ.... පුරන පාරමිතා හිමි ප්‍රාණේ
නසන්ට වෙර ගත් කල්හී ප්‍රාණේ.... ධර්මාමෘත සදා දී දානේ....
සැනසූ ස්වාමි එදා...... රාජ පණ්ඩිත නාග විමාණේ....
ලෝහිමි විධුර පඬීගෙ ඤාණේ... කීර්ති සුන්දර තේජස පෑවේ...
ලෝහිමි විධුර පඬී..

ගායනය: ඒ ආර් එම් ඊබ්‍රාහීම්
--------------------------------------------------------------------------------------

ත්‍රිවිධඤාණ විදුරූ පඬි අපේ මහ... ගෞතම මුනිඳුන් ඒ බුදුවූ.... ගෞතම නම් මුනිදූන්...

දෙසූ දහම් ඇසුමට ඒ නිමලා.... ඇසූ බවය පඬිගෙන් යකු ඇරලා...
අසාගන්ට කිව් දිවි නොනසා බණ... දෙසූ විධුර පණ්ඩිතමයි ගෞතම....
ත්‍රිවිධඤාණ විදුරූ පඬි අපේ මහ... ගෞතම මුනිඳුන් ඒ බුදුවූ.... ගෞතම නම් මුනිදූන්...

එදා එ ඇතු විදුමට ආ වැදි හට... පුදා එ දල දෙක දීලා දෑතට....
මෙදා මෙ බුදු බව ලැබු මාතා හට.. පුදා වඳිමු අපි මල් ගෙන දෝතට...
ත්‍රිවිධඤාණ විදුරූ පඬි අපේ මහ... ගෞතම මුනිඳුන් ඒ බුදුවූ.... ගෞතම නම් මුනිදූන්...

ගයනය: රෝහණ බැද්දගේ ඇතුලු පිරිස
-------------------------------------------------------------------------------------


සින්දු දෙක අහන්න...
ඕන්නම් බාගන්න...



පසු ලිපි:
ඊබ්‍රාහීම් මහත්තයගේ සින්දුව ඇතුලු ග්‍රැමෆෝන් ගී ගොන්නක්ම මාවෙත තෑගි කල අමිල සෝමරත්න සොයුරාට මගේ නොමද තුතිය මුලින්ම... ඊලඟට මේ කථාවේ පූර්ණකයාටයි එරන්දතියටයි දාව උපන්න පුත් කුමරා පසු කාලෙක දැඩිමුණ්ඩ දෙවියෝ වුනා කියලත් කියනවා... මාර පරාජයේදී සියලු දෙවිවරු පැනලා දුවනකොට මාරයාට බයෙන්, සුදු වතක් හැඳ දුන්නත් තබා නොබියව බෝසතාණන් ලඟ උන්නේ දැඩිමුණ්ඩ දෙයි හාමුදුරුවෝ විතරයි කියලත් කියවෙනවා...
Read More!
 
Blogger Wordpress Gadgets