බිලිඳු මුවින් මව් දෙතන උරා බිව්....

බැළලිය තැඹිලි ගහ වටා තිබූ පස් කන්දට බර දී ඇලවුනාය. කලින් දින රාත්‍රී පැටව් තිදෙනෙක් බිහිකල ඈ තාප්පයක් මතින් යාමට හෝ ගොස්, බඩ මැදින්ම දරුණු තුවාලයක් ඇතිකරගෙන සිටියාය. පැලුණු තැනින් බඩවැල් කොටස් එළියට ඇදෙමින් තිබිණ. ඉතා අමාරුවෙන් මාත් අප්පච්චීත් විසින් පෝර බෑගයකට රුවා ගත් බැළලිය, මාත් අපේ ගෙදර ඇත්තනුත් විසින් පශු වෛද්‍යවරයකු වෙත ගෙන ගියෙමු.

කාරුණික වෛද්‍යවරයා ඇයව සිහි නැති කොට, පරිස්සමින් පැලුණු තැන එක්කොට මසා, කෑමට දමා දෙන්නට යැයි බෙහෙත්ද නියම කලේය. පැටවුන්ගෙන් ටික දිනකට වෙන් කර තබන ලෙස උපදෙස් ලැබුණේ බෙහෙත් වල සැර නිසා විය හැක. අප ගෙදර ආවේ දිනක් වියැති අසරණ පැටවුන් තිදෙන බලාගන්නේ කෙළෙසකදැයි කල්පනා කරමිනි.

එවකට දෙවැනි දරුවා කුසට විත් ගෙදර ඇත්තන්ට මාස තුන හතරක් වන්නට ඇත. ලොකු දරුවා නාවන්නට ඇගේ පියා සාදවා දෙන ලද බංකුව කුස්සිය මුල්ලේ තියා වාඩිගත් ඈ, දියකර පිටිකිරි බඳුනක් සාදා කුඩා පහන් තිරයකින් වරකට එකා බැගින් ගෙන අර කුඩා පැටවුන්ට පෙවීය. දිනකට කිහිප වරක් බැගින් කල මේ කාරිය නිමවූයේ බැළලිය තරමක් සුවපත් වී කිරි දෙන්නට සුදුසු තත්වයට පැමිණුනු පසුවයි. ඉල්ලා හෝ කතාකොට කෑම ඉල්විය නොහැකි අසරණ සතුන්ට කෑම බීම ලබාදීම, ආත්ම සියයක් ආයු, වර්ණ, සැප, බල, ලැබෙන්නට හේතු වන බව "දක්ඛිණ විභංග" සූත්‍ර විග්‍රහයකදී මා අසා ඇත.

තම දෑතින් ඉතා අලංකාර ලෙස නිම කල සිවුරු ද්වය තෙවරක්ම බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ ප්‍රජාපතී ගෝතමිය බෙහෙවින් දුක්වූවාය. එම සිවුරු සංඝයා වහන්සේලා වෙත පූජා කල මැනවැයි වදාලේ, දානය වුවද ඇල්මක් හරහා සිදු නොකල මනා නිසා විය හැක. කිරිමවුන් ලෙස සිදුහත් කුමරා ‍රැක බලා ගත් අයුරු මෙනෙහි කරමින් ආනන්ද හිමියන් කල ඇවිටිල්ල නිසා ප්‍රජාපතී ගෝතමිය වෙනුවෙන් "දක්ඛිණ විභංග" සූත්‍රය දේශනා කල බව ප්‍රකටය. සිදුහත් කුමරාට පස් දිනක් බාල වූද, තම කුසින් වැදුවාවූද,  නන්ද කුමරුවන් කිරි මවුන්ට භාර දී, තමන්ගේම දරුවා සේ සිදුහත් කුමරුන් ‍රැක බලාගත් ප්‍රජාපතී ගෝතමිය අවසානයේ බුද්ධ ශාසනයේ පළමු භික්ෂූණී උපසම්පදා පදවියෙන් පිදුම් ලබන්නට වාසනාවන්ත වූවාය. අෂ්ට ගරුධර්ම පිලිගනිමැයි ප්‍රතිඥා දුන් පසු, ඇය ඒ ලැබුයේද සිදුහත් කුමරුන්ගේ කිරිමවුන් වූ පිනින්ම නොව, සෝතාපන්න වී සිටියද, යොදුන් ගනන් දුර ගෙවා ඉදිමුණු පාදයෙන්, දූවිලි වැකුණු දෙපයින් විත් කල ඉල්ලීම් දෙවරක්ම ප්‍රතික්ෂේප වුණු නිසා දොම්නස්ව කඳුලැල් සලා ඉදිමුණු දෑසින්ද යුතුව කල උත්සාහයන් නිසාය.

තම කුසෙන් වැදූ දරුවන් නොවූවාට දරුවන් කෙරෙහි වූ මහත්ම ආදරයෙන් දරුවන් රකිනා මව් වරුන්ද, ඔවුනට සෙනෙහසින් හරි මග කියාදී සිප් සතර බෙදා දෙන ගුරු මවුන්ද මා සිහිපත් කරන්නේ අප්‍රමාණ භක්තියකිනි. කුසල අකුසල කර්මයන් හෝ වෙන අන් යම් හේතුවක් නිසා උපතින් කායික හෝ මානසික වශයෙන් වෙනස් දරුවන් කිසිත් අඩුවක් නොකොට සිය ශක්ති ප්‍රමාණයෙන් ‍රැක ගන්නා මව්වරුන්  ගැන පුවත් පත් වාර්ථා තුලද, දන්නා අඳුනන මිනිසුන් අතරද දුලබ නොවේ. මේ කාරිය කොතරම් නම් දුෂ්කරද? එමෙන්ම ඒ කොපමණ ශ්‍රේෂ්ඨද? එය දයාර්ද්‍ර වූ ස්නේහයයෙන් පිරි සිතකටම කල හැකි කාරියක්ම බව පමණක් දකිමි. අවසන් විනිශ්චයේදී ගෲෂා දරුවා අතහැරියේද දරුවාටම ආදරයෙනි.

බිලිඳු මුවින් මව් දෙතන උරා බිව්
කිරි සයුරට කල ගුණ පිදුණේයා
  ප්‍රජාපතී මාතා දුන් සෙවණට
  මෙසඳ එමව් බුදු පුත් සෙවණේයා

මිණිමුතු මිරිවැඩි සළුපිළි බරණින්
එසඳ එමව් කුමරුන් සරසායා
  උතුම් මෙතුන් ලොව කසාවතින් යළි
  මෙසඳ එපුත් කිරි මව් සරසායා

සුමියුරු තෙපුලින් නැළවිලි කවකින්
එසඳ එමව් තම පුත් නලවායා
  මෙසඳ එමව්හට බුදුබණ පදයෙන්
  නිවන්පුරේ රන්දොර හැරුණේයා




bilindu muwin maw
සොයාගන්නට ඉතා අපහසු ගීතයක් වූ මෙය සොයා, සුමට ලෙස කැසට් පටියෙන් ඩිජිටල් තාක්ෂණයට නගා, අප හා බෙදා හදා ගත් ආචාර්‍ය නිමල් රත්නායක මහතාට ගෞරව පූර්වක ස්තූතිය.
Read More!

කැන්දන් යන්නේ කවදද මා.....!

කථිකයා මැදි වියද පසු කල අයෙකි. දුඹුරු පැහැ ලියුම් කවර මිටිය තබා තිබූ ටීපෝව පසු කල ඔහු මනාල යුවල පසෙකින් සිට ගත්තේය. ආරිය ඇඳුමේ කර වාටියේ දෙපස දෑතින්  සීරුවට අතගෑවේ මහා බැ‍රැරුම් කථාවක් කීමටය...

ඔහු කථාව පටන් ගත්තේ මෙලෙසය...
"විගස වාහනයෙන් නිමූන් මු.... "
සභාව සිනාසුනි. මගේ ආච්චී කම්මුලේ අත තබාගත්තාය. එකල වයස අවුරුදු හයක් හෝ හතක් පමණ වූ මට ඒ කථාවෙන් මතක තිබෙන්නේ එපමණි.

දැරියක් කායිකව වැඩිවියට පත්වූ පසු සමවයස් පිරිමි ළමයෙකුට වඩා මානසිකව පරිණත බවක් දැක්වන බව මගේ අත්දැකීමය. දරුවන් තදබල ලෙස තමා සන්තකයේ තබා ගන්නා මැද පාන්තික පවුල් තුල අද දවසේ මෙසේ දැරියකට මනසින් මුහුකුරා යාමට ඉඩක් ලැබේදෝයි සැක සහිතය. පොදු ක්‍රියාකාරම් ඇත්තේද අඩු වැඩි ලෙස අදහස් වලින් සමාන වූ සමාජ ජාල තුලමය.

උත්සව සම්භාෂණ තවදුරටත් මිනිසුන් මුහුවීමේ අවස්ථා නොකිරීමට ඡායාරූප ශිල්පීනුත් සංගීත කණ්ඩායමුත් පැහැදිලි ලෙසම වගකීම භාරගෙන ඇත. අනෙක් පසින් බාල වයස්කාර විවාහයන් ගැනද බෙහෙවින් අසන්නට ලැබේ. එහි ඇත්තේ අර කථිකයා කී ලෙස "විගස වාහනයෙන් හනිමූන් යාමේ අවශ්‍යතාව පමණක්මද?

යුවතියක් විවාහයට පෙර බලාපොරොත්තු පුරවාගෙන සිටී...
ජාති කුළ මල කුමක් වුවද ඒ බලාපොරොත්තු ජීවිතයේ සොඳුරු පැත්ත හා බැඳී පවතී....

සුදු ඔසරිය ඇඳලා - සුදු මුතු පොට බැඳලා...
සුදු මල් පියවිල්ලේ සුදට සුදු - කවදද මා යන්නේ...

රෑ හීනෙන් දකිනා ඔබේ රුව - හදවත ඇඳගනිමි...
උදෑසනින් බි‍ඳෙනා සිහින ලොව - තනිවම ඉකිබිඳිමි....

රන් මිණි අබරණ හෝ පටසළු -  නැත මට දායාදේ...
කඳුලක රස දැනෙනා හදක් ඇත - වෙන්වූ නමින් ඔබේ...

අනුලා බුලත්සිංහල

එළෙසින්ම විවාභිමුඛ අප රට තරුණයාටද දැනෙනා වගකීම්ද සුළුවෙන් තැකිය හැකි නොවේ.
අවාසනාවකට ඒ ගැන කථා කරන්නෝද දුලබය. පැහැදිලි ජීවිකාවක් අරඹා නැති, අව්වට වැස්සට හෙවණක් දෙමාපියන්ගෙන් දායාද ලෙස නොලද තරුණයාට ඒ දෑ මහත්ම වූ පීඩනයකි.
ඒවා සම්පූර්ණ වනතෙක් සිටියහොත් ඔහුට තම සිත් ගත්තී හා එක් වන්නට මේ කපේදී බැරිවෙනු ඇත.
දෙමාපියන් තම වර්ථමානයද ඉවතදා දරුවන් වෙනුවෙන් උපයා තබන්ට වෙහෙසෙන්නේ මේ නිසාද?

රන්වන් රන් කෙත - සිපගෙන හමනා - පවන් පහස විඳලා
රන්වන් රන් - ආදර කඳු මුදුනේ - අළුත් ගෙයක් හදලා
කැන්දන් යන්නේ කවදද මා....

රන්වන් රන් හිරු - පායන දවසේ - ඉසිරු කුසුම් පිපිලා
රන්වන් රන් රත්තරන් ලඳේ පෙම් සිහින වැලක එතිලා
කැන්දන් යන්නට එන්නෙමි මා....

විහඟ තුඩක - සංගීතය මුමුණන - මතක ගීත අහලා
මියුරු කල්පනා - ලොවක් මවන්නෙමි - හිතක සුවඳ විඳලා
කැන්දන් යන්නේ කවදද මා

හිතක හැඟුම් පොදි - දෝතට අරගෙන - ඔබ දෑතේ තබලා
අලුත් බතක රස - විඳගන්නෙමි මම - ඔබේ අතින් උයලා
කැන්දන් යන්නට එන්නෙමි මා...
කැන්දන් යන්නේ කවදද මා....

අමරදේව - චන්ද්‍රිකා

විවාපත් යුවලට හතර වරිගයෙන් ලැබෙන පි‍ටුබලය කෙසේ වුවත් දේසනා නම් නිමක් නැතිය.
විටෙක දෙමාපියන් දරුවන් විවාපත් කරදී ඔවුනගේ ජීවිතය ඔවුනට ගෙනයන්නට ඉඩ දෙනවාට වඩා ඔවුනගේ ජීවිතද මෙහෙයවන්නට පටන් ගනී.
යෝධ ඇලේ බැස්ම සේ මේවා මුලදී පටන් ගන්නේ සුලුවෙන්ය: අවසන් වන්නේ නයගරා ඇල්ලෙනි.

අලුත ගෙනා මනමාලී - හරි ලස්සන හැඩ වැඩ ගම්බද කෙල්ලකි - 
අලුත ගෙනා මනමාලී....

නැන්ද මාම ගොඩක් - සතුටින් පිළිගත්තෙ - දෙපැත්තෙම  නෑ මිතුරන්
ප්‍රිය සම්භාෂණෙන් පසු - මංගල සබේ සිට - දැක්වූ කථාවලටත් සවන් දුනි - 
අලුත ගෙනා මනමාලී....

පුංචි මාම නැගී සිටිමින් - අවවාද ‍රැසක් දුනි - දේශණයෙන්
දරු මල්ලො - ගොඩක් ලැබෙවා නව යුවලට - කිව්වම කට කොණකින් සිනාසුනි - 
අලුත ගෙනා මනමාලී....

නෑසියන් පිටවූ - සැනෙකින්ම නැන්දම්ම ඇවිත් - ඉඳගත්තේ ලඟින්
දරු මල්ලෝ දෙකක් - හොඳටෝම අපිට ඇති - නේද දුවේ කියමින් වැලඳගති - 
අලුත ගෙනා මනමාලී...

රෝහණ බැද්දගේ - නීලා වික්‍රමසිංහ

බාල වයස්කාර නොවේනම්ද, විවාපත් වන්නට අදහසක් තිබේනම්ද එයට ඒ හැටි සුනංගු නොවීම කොයි දේටත් හොඳයැයි සිතේ.
සිතුවිලි සංකීර්ණ වී මිණුම් දඬු සංකීර්ණ වීම සහකරුවෙක් සහකාරියක් සොයාගැනීම, ‍තෝරාගැනීම අපහසු කරවන්නකි.
තරුණ කාලයේ හිතේ ඇතිවන ප්‍රේමණීය හැඟීම් ඒවාට සුදුසු කල්හීම දැරිය හැකි නම් මනාය.
කල් නොයවා ඔබ ගන්නා තීරණ නිසා තවෙකෙකුගේ හිත රිදිය හැක.
ඒත් මේ ඔබගේ  ජීවිතයයි...

කිරි පබළු ගෙල මුතු පලඳා - හෙට මම දීගෙක යනවා
ගමම සතු‍ටු වෙයි ඔබ පමණක් ඇයි - මා හා අමනාපෙන්

මල් වැට අද්දර පොකුණු ඉවුරු පිට - ගෙදරට නොපෙනෙන මානේ
සතර පෝය දින මහවැලි ගංතෙර - බොඳවී ගිය සඳපානේ
ලිපියක ලියැවුණු අකුරු කීපයක් - මැදි වී දු‍ටු පෙම් සීනේ
සිත් නෙත් අතරට හසුවී එළඹුණි - මේ අවසානේ

පළඟැටි රෑණක් අඬන විලාසෙන් - අඳුරට ඉඩදී ඇහැරී
වැඩි බර පැත්තට හිත හරවාගෙන ඉන්නට සිදුවිය ඉහිරී
හෙට පිය සැමියකු අතිනත ගන්නට - මොහොතක් එළඹෙයි මිහිරී
ඔබ සැනසෙව්වොත් ගමක් තරහවෙයි - අසරණනේ ඔබෙ සොඳුරී

රංජනී පෙරේරා
Read More!

මොහොතකට සැප ලෙසට පෙනෙනා...

සෑහෙන කලක් මගහැරී තිබූ ඡායාරූප දෙස ඇල්බමයෙහි පිටු එකින් එක පෙරළමින් හේ බලා සිටියේ  කුඩා දරුවෙකු මෙනි....
"මේං මේ පින්තූරය මට දෙනවද?"
හදිසි ප්‍රස්නයෙන් ඈ කළබල වූයේ නැත....
       "ඇයි මම ලස්සනද ඒකේ...? ම්ම්ම්... හොඳයි මම එවන්නම්කො හිමින් සැරේ..."

"කෝ අරක...?" නොඉවසිලිමත් සිතකට සතියක් දෙකක් මහ කාලයකි
       "නෑ මං ඒත් මේ කල්පනා කලේ........."
"කල්පනා කරන්න කීවේ නැහැනේ.... පින්තූරේ එවන්නනේ කීවේ"
      "නෑ ඉතින්... ඕක එවන්න කියල ඇල්බම් එක අතට ගත්ත වෙලාවේ මමත් මගෙ පින්තූර ටික පොඩි කාලෙම ඉඳල එක පෙළට තියල බැලුවා....."
මේ පඳුර වටේ තැලීම් ඔහුට ඉහිලුම් නොදේ... "මොන විකාරයක් කියවනවද...!!!" නොරිස්සුමට විවේකයක් නැත....

     "නෑ ඉතින්... මමම දැක්ක ඉතින් මම වෙනස්වෙල ඉන්න හැටි.... ඔය ඉල්ලපු පින්තූරේ ඉන්න මම නෙමේනෙ ඉතින් දැන් මේ ඉන්නේ... 'ඒ මම' ආයේ කවමදාවත් ඉතින් ඔයාට හම්බ වෙන එකක් නෑ..."

සංවාද මාධ්‍යය විසන්දි කිරීමට තරම් බලවත් ආවේග සිතක් පහලවුවද ඒ පිළිතුරෙහි ගැබ්ව ඇති අසුභ සංඥාව තේරුම් ගැනීමට ඔහුට යාන්තමින් හැකියාවක් තිබුණි
අසාමාන්‍ය නිහැඬියාව ඇයටද ප්‍රස්නයකි... " නැද්ද හොඳයි.....??"
"ඔව්... ඒකත් හරි....."
     "නෑ නෑ මම ඒක එවන්නම්... මම මේ නිකම් හිතුන දෙයක් කීවේ..."
"එක්කෝ එපා එහෙමනම්...."
කොයිකටත් සිනහ තලන ඈ "ඉතින් ආයේ තරහ ගියාද...?" අහන්නේද සිනහ තලමිනි....
සිනහවට යටින්, අනෙකා සියුම් උගුලක හසුකර, කෙලෙස් තැවීමට තරම් ඒ සිත ප්‍රඥාවන්තය..

දමනය වූ අනෙක් සිත ඉනික්බිති ඒ සිනාවෙන් කෝප නොවිණි....
ඡායාරූපයද කවදාවත්ම හුවමාරු නොවිණි.....


යා දෙකය රත නොරත - පෑහීම නැත එකට
මායාව ලුහු බඳිනු පමණා....
මායාව ලුහු බඳිනු පමණා....

ජීවිතයෙ මරු කතර - තොප සොයන සැප නොමැත
මොහොතකට සැප ලෙසට පෙනෙනා....
මිරිඟුවෙහි මායාව පමණා....

ඡායාව ලෙස නොහැර - ලුහු බඳින කෙලෙසුනට
නැත එයින කිසිම පිළිසරණා....
එපමණය, මිණි කඳුලු නගනා...

මග නොදැන ගණඳුරෙහි - යන ක‍ටුක මෙම ගමන
නතර වෙද කොයි ලෙසක කෙදිනා...
නැත තවම තොප විසින හැඳිනා....


yaa dekaya noratha ratha
Read More!

වැහි පොද වැටිලා බිම් මල් පිපිලා....

වැහි පොද වැටිලා
බිම් මල් පිපිලා
සුදු පාටට මුතු කුඩ ඉහලාලා

සුදු මුතු කුඩ යට
පිණි පාවඩ පිට
කඩියෙක් යනවා රජෙක් වගේ
කඩියෙක් යනවා රජෙක් වගේ...

කඩියට යන්නට පාර තියනකොට
කඩියට ඉන්නට ගෙයක් තියනකොට
කඩියට කන්නට කෑම තියෙන කොට
ඌ නම් මේ ලොව රජෙක් වගේ
ඌ නම් මේ ලොව රජෙක් වගේ....



wahi poda watila bim mal pipila
Read More!

ලක්ෂණ බයිලා.....!

සිතට නපුරු සිතිවිලි ගලා එන මං තවකාලිකව වැටකඩොලු බැඳ ඇති සේය. බොහෝ දුක් මහන්සියෙන් උස් මහත් කර හදාවඩා ගත් කෙන්තියද මුල්ලකට වී නිදයි. වතුර බාල්දියක් දමා හෝ දැන්ම නැගිටින පාටක් නැත. යහපත්  මිනිසුන්ගේ සමාගමය සිතට මෙපණ සංහිඳියාවක් ගෙන දෙනු ඇතැයි කවදාවත් නොසිතීමි.

මට ඇති තදියම නිසාම පළමු ‍රැකියාවට හදිසියේ සමුදුන්නේ අවුරුදු එක හමාරක් තරම් කෙටි කලක් එතැන ගතකිරීමෙනි. ඒ තීරණය එදා වැරදිනි! එහෙත් යහපත් සිතක් විසින් මා පෙරකී සෙවාස්ථානයටම නැවත බඳවා ගැනුනි! ලතෙත් ගුණයක් නැත්තෙකු ලෙස පරසිදුව සිටි ඒ මහතා මා නැවත බඳවාගැනීමට "no objection"  සටහනක් තැබීම මගේ ජීවිතයේ කොපමණ වෙනසක් කලාද? 

නඩත්තු කටයුතුවලදීත් මෙහෙයුම් කටයුතුවලදීත් මුණගැසුණු යහපත් මිනිසුන් මට හැමදාම යමක් උගැන්වීය. වසර දෙකක්, එක දිගට නොකඩවා සෑම තත්පරයක් හරහාම දිවෙන යන්ත්‍රාගාරයක, මෙහෙයුම් කටයුතු සිදුකිරීම දෑතේ සවියෙන්ම පමණක් කල නොහැක්කකි. කුඩාම කුඩා හෝ  වායු කාන්දුවක්, තෙල් කාන්දුවක් බරපතල ලෙස ගෙන, ඒවාට ‍රැයක් දවාලක් නොබලා පිලියම්  යෙදිය යුතුය. අවසන් නිෂ්පාදනයන්හි පිරිවිතරයන් නියමාකාරයෙන්ම තිබිය යුතුය. අලුතින් සේවයට එක්වන්නන් "babysit"  කිරීමක් මෙහෙයුම් නිලධාරීන් ගෙන්, නඩත්තු නිලධාරීන්ගෙන් බලාපොරෙත්තු විය නොහැකිය.  එහෙත් තම තමන්ගේ රාජකාරීන් කරණා ගමන්ම  මා සමඟ දැනුම බෙදාගැනීමට තරම් ඔවුන් කාරුණික විය. අවුරුදු දහයකින් පසු ඒ සේවා ස්ථානය හැර යාමට සිදුවීමේදී දැනුණු බලවත්ම දුක නම් ඒ ' මිනිසුන් ' හැරයාමට සිදුවීමය.

"මූල්‍ය තත්ව" ශ්‍රිතයේ දෙවැනි ව්‍යුත්පන්නය බිංදුවට වඩා විශාල වන්නට දත කෑ අටෝරාසියක් අවස්ථාවලදී, ඒවායින් ආත්මාභිමානයට කැලලක් නොවී ගොඩ එන්නට මට දෑත් දිගුකල මිනිසුන් බොහෝය.  අද ඒ කාලය දිහා හැරී බලනවිට එය එක්තරා ආකාරයක මැජික් එකකි! බාගයට නිමා කල නිවස නිම කරන්නේ කවදාදෝදැයි සිතමින් සිටි යුගයකදීද තවත් එවැනි යහපත් මිනිසෙක් ශක්තිමක් ඉනිමගක් මා අසලින් ගෙනවිත් තැබුවේය. එබඳුම තවත් දෙදෙනෙකු ඒ සෙලැවේයයි දෙපසින් අල්ලා සිටියේය. ඔවුනගේ ඒ සද්ක්‍රියාවන් මට තවත් බොහෝ දෙනෙක් වෙනුවෙන් ඉනිමං සාදා දීමට ඇවසි ඉඩ හසර සලසා දුනි.

සොයාගන්නට බොහෝ අපහසු පොතක් සොයාගැනීමට මා එක් අධ්‍යාපන ආයතනයක පුස්තකාලයකට ගොඩවැදුනේ වෙනත් විකල්පයක් නොමැති තැනය. "පුස්තකාලයාධිපති" මගේ විශ්ව විද්‍යාල ජේෂ්ඨයකු වූයේ අහම්බයකින්දැයි නොදනිමි! අවුරුදු දහදොලහකින් පමණ පසුව අලුත් වූ ඒ මිතුරුදම, තමාතින්ම මුදල් ගෙවා ඒ පොතෙහි පිටපතක් මා වෙත 'පිරිනැමීමට' තරම් කාරුණික විය. ඔවනගේ දරුවනුත් එපරිද්දෙන්ම යහගුණැතිව සැදෙනවා ඇසූ මා ඉමහත් ප්‍රීතියට පත්වීමි! මුං වපුරා මුංම ලැබෙනබව අමතක වන්නේ ඇයි??

ආසන්නයේම දිනක මා තවත් මිතුරෙකු සමග අබුඩාබියේ බස් රථයකට නැගුනද, කොන්දොස්තරවරු නැති මේ බස් රියේ ගාස්තුව ලෙස පෙට්ටියට දැමිය යුතු මාරු කාසි අප අත නොවිනි. ගාස්තුව එක් අයකුට ඕනෑම ගමනාන්තයක් සඳහා දිරාම් දෙකකි; දෙදෙනෙක් සඳහා දිරාම් හතරකි. කරන්නට දෙයක් නැති හෙයින් දිරාම් පහක කොලයක් නමා පෙට්ටියට දැමීමි. මා පසුපසින් බස්රියට නැගි නන්නාඳුනන්නා මා උරහිසට සන් කර ඔහු අත තිබූ කාසි දෙකින් එක් කාසියක් පෙට්ටියට දමා අනෙක් කාසිය මා අත තැබීය! ඒ කාසිය කොපමණ වටිනවාදැයි ඔබට තක්සේරු කල හැකිද?

සේවා ස්ථානයේ තවත් බැරෑරුම්ම තීරණයක් ගැනීමට සිදුවන්නේ කාලයත් සමගමය. පවරාතිබෙන වගකීම් මැද වුවද පෞද්ගලික කාරණා නිසා සමහර තීරණ ගතයුතුම වේ.  දෙපසට නොවැනී ප්‍රධානියා හමුවේ මගේ කාරණය පැහැදිලිව දැනුම් දුන්නද සිතෙහි සුලු වරදකාරී සිතිවිල්ලක් ඉතිරිවිය. යම් සකච්ඡා වටයකින් අනතුරුව ප්‍රධානීයා කිවේ "ඔව්... හැමදෙයක්ම වෙනස් වන බව දහමේ  සඳහන් නේ! එයට මුහුණ දීමට නිරතුරුව සුදානම්ව සිටිය යුතු" බවය.  මගේ වරදකාරී හැඟුම හිරු දු‍ටු කදෝපැණියන් මේ දූරිභූත විය.  මට ආර් ප්‍රේමදාස ශූරීන් රන් මිණි මුතු පොතේ ලියූ තිබූ කවක කොටසක් මතක් විය. "මිනිසුන් තරම්  මගේ මේ මව් පොළව මත - වටිනා වස්තුවක් වෙන මා දුටුවේ නැත.."

Read More!
 
Blogger Wordpress Gadgets