සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා...

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා...
ආදරයේ බිඟු යාද එමල හැර දාලා...
දුකදී ආදරයේ බිඟු යාද එමල හැර දාලා...

වනේ මලකට ලංවෙලා...
රහස් හෙමිහිට කොඳුරලා...
සීත සුලඟේ සැරි සරා...
පාමි පෙම් රැඟුමක් නුරා...

වැල්ල සිපගෙන ආදරේ..
රැල්ල පෙරැලේ සාගරේ...
නැද්ද බඹරෝ මාකෙරේ...
මුලදි පිදු ඒ ආදරේ...?

Read More!

ජීවන ගංගා ඉවුරේ අපී... ඇවිද යමු ප්‍රියේ...

නිවාඩුවට ගෙදර එනවිට ගෙනෙන තැගි බෝග අඩුක්කුව ඈ විවෘත කරනවා බලාසිටීම මා ඉමහත් ප්‍රිය කරන කාරියකි... එහෙත් මෙවර මට යමක් අමතක වී තිබුණි... "මේ මොකක්ද අප්පේ මේක... මොකක්ද මේ... පින්තූරයක්ද...? හ්ම්ම් ලස්සනට ඔතලත් එක්ක..." "ආහ්.. ඒක මේ මගේ යාලුවෙකුට...ඒක වෙනම තියන්න..." "හොඳයි හොඳයි..." වෙනදා මෙන්ම වැඩිදුර පුරස්න නොමැතිව ඈ ඉතිරිය අස් පස් කරන්ට පටන් ගත්තාය...

-------------------------------------------------------------------------

පාන්දර පහයි ගණනට ජංගම දුරකථනයේ එලාමයත් සමගම මාද අවදි විණි... මදුරු දැල ඈත් මෑත් කල ඈ බිමට පැන්නාය... ලොකු කොලූගේ සංගීත විභාගයත්, පොඩි කොලූගේ අමතර පන්තියකුත් පැවැත්වෙන අද, සෙනසුරාදාවක් වූවද ඇයටනම් නිවාඩුවක් නැත්තේමය... කෑමට බීමට අතොරක් නැති ජල්ලි අල්ලන පොඩි හාදයාට උදෙන්ම කිරි බෝතලයක් පොවා නොගතහොත් උදේ කෑම වෙලාවට කිරි පෙවීමට නම් දෙයියන්නාන්සේටවත් බැරිය... ඇය බිමට පැන්නේ ඒ සෑදීමට විය යුතුය... "කිරි එක දීලා ආයේ එනවා නේද...?" මම ඇසීමි.. "එන්නං.. එන්නං..."

ලද අවසරයෙන් ඇ‍ඳෙන් බිමට බට මා අල්මාරියේ සු‍රැකිව තැබූ, මා විසින්ම දින ගණනක් තිස්සේ අඟලෙන් අගල කපා සකසා රාමු කර රැගෙන ආ පින්තූරයත්, ඈ වෙනුවෙන්ම ඉතිරි කරගත් මුදලින් ගත් තෑග්ගත් කණ්නාඩි මේසය මත තබා නැවතත් ඇඳට පැන බොරු නින්දකට අවතීර්ණ විමි....

"ආහ්...?? මේ මොනවද...???"
මම දෙනෙත් නෑරීමි....
නිමේශයන් කිහිපයකට පසු... මගේ උරිස සෙලවූ ඈ... "ඒයි මොකද මේ තෑගි දීලා නිදාගන්නේ...?"
බොරු නින්දෙන් එළියට බට මා අපගේ විවාහ සංවත්සරය වෙණුවෙන් ඇයට සුභ පැතීමි...
ඇයගේ දැස් තෙමී යනු මට දැනේ... "අනේ මන්දා මේවට කොහොම ස්තූති කරන්නනද මම.. ඔයා හැම විශෙෂ දවසකටම මට මොනවා හරි දෙයක් දෙනවා..."
"ඔව්... ඒ වුනාට ඔයා මාව දිනපතාම සතුටින් තියනවා... එතකොට ඒ තෑග්ගද මේකද වඩා වටින්නේ....? "
ඈ මාගේ ලය මත මුහුණ හොවාගත්තාය... ඇගේ කඳුලින් මගේ ළය තෙත්වනු මට දැනේ...
දෑත දෙපය වාරු නැති වූ දාක මේ මතකයන් මා ප්‍රබෝධයෙන් තබනු ඇත...
දූ දරුවන් ජීවිතයේ තරඟ කාරිත්වයට අවතීර්ණව ජීවිත අවුල් කරගන්නා දාක ජීවිතය සරල සතුටින් පුරවන මෙබඳු අවස්ථා ගැන මට කියා දිය හැක...

රාමුකල පින්තූරය අතට ගත් ඈ ඒ දෙස බල සිටින්නට වූවාය....
කිරි බෝතලය හමාර කල පොඩිත්තා දිවවිත් ඇගේ අසළින් දිගාවී පින්තූරයේ අකුරු එකින් එක පුරුද්දමින් කියවන්නට විය....

"එ-යි-න් මි-දෙ-න මං-පෙ-ත සො-ය-නා ස-ඳ...
ඔ-බෙ-න් ලැ-බි-ණ නි-බ-ඳ-ව-ම සි-ය-ලු වෙ-ර..."

සිනාසුනු මා "ඔන්න එහෙමනම් තෑග්ග සම්පූර්ණයි හොඳේ..." කිවෙමි...
"චිත්‍රපටියක වගෙයි දෙයියනේ..." කී ඈ බෙහෙවින් තෙත්වූ දෙනෙතින් පොඩිත්තා වැලඳ ගත්තාය....

ජීවන ගංගා ඉවුරේ අපී... ඇවිද යමු ප්‍රියේ...
පායන හිරුට හාදු දී මල් පිපී තියේ..
ජීවන ගංගා ඉවුරේ අපී... ඇවිද යමු ප්‍රියේ...
පායන හිරුට හාදු දී මල් පිපී දිලේ...

නිම්නෙහී... සෞම්‍ය වේ... ගතෙහි සිතෙහි සුව සැදේ...
සුවඳින් පිරී... සිසිලෙන් සැදී...
සන්තානේ සං‍තෝසේ මෝදුවේ...
රුවැති ගුණැති දූ පුතුන් පිය කුසුම් වගේ..
පැහැද සුවඳ වී ගලා විහිදුවා ලෝ තුලින් නැගේ...

අනාගතේ ඔවුන් අතේ තබමු සතුට වේ සිතේ...
දුකින් මිදී... සැපෙන් සැදී සැනසීමෙන් සතුටෙන් ලෝ හිඳී...
ඉන්පස්සේ යන්නේ උදානයේ නිම්නේ බලා ඔබේ...
අවසානේ ගමනේදී යමු අපී..
ගංගා තීරේ ඔහේ...
ජීවන ගංගා ඉවුරේ අපී... ඇවිද යමු ප්‍රියේ...
පායන හිරුට හාදු දී මල් පිපී තියේ..

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

සක්කාය දිට්ඨි...!

"සියලු ආගම් වලින් කියැවෙන්නේ හොඳ දේය" ඔව් හෝ නෑ කීමට ඉක්මන් නොවෙමි... "මා" බුදු දහමද දන්නේ යන්තමිනි... ඒ යන්තම් දැනුමේ "මා සිත්" ගන්නා බොහෝ දේ ඇත... එකක් නම් ඉහත කී අඩංගු වාක්‍යයේම අඩංගු වන "මා සිත්" යන්නට මුල් වන "සක්කාය දිට්ඨිය" පිලිබඳ විස්තරයයි...

රෝහණ බැද්දගේ කලකරුවාණන් දිනක් රජයේ රෝහලක හෙදියන් සඳහා "සංගීතයෙන් මානසික සහනය" වැඩමුලුවක් පැවත්වුවා... මෙය රූපවාහිණියෙන් පෙන්වද්දී "මට" එය නැරඹීමට අවස්ථාවක් ලැබිණ... ඔහු එහිදී අපූරු කථාවක් කළා... "මට" මතක හැටියට ඒක මේ වාගෙයි....
"දැන් ඔන්න අපි මේ හීන දකිනවා... හීනෙන් පොල්ගහකින් කුරුම්බා බානවා.. පිහියෙන් වෑවරය කපා, ඇස්ස ගසා, වතුරත් බී, ලොඳත් කාලා, කෝම්බය දෙකට පලා මායිමට තියා එන්ට හැරෙනවිට ඕං ඇහැරෙනවා... පොල් ගහෙත් නැංගා, වතුරත් රස විඳ තලුමරා ලොඳත් කෑවා.. නමුත් සිහිනෙන්.. ජීවිතය ගැන කියනවානම් ඒකත් තවත් හීනයක් (පසිඳුරන් හරහා දකින?)... ඒකෙන් ඇහැරෙන එක තමා අමාරු...."
ඔහු මේ කී දෑ මොනතරම් හැබෑවක්ද...?

"අපි" නිශ්චලව ඇති වාහනයක් මත සිට එය අතින් තල්ලු කිරීමට උත්සාහ දරන්නන් වැනිය... පටිච්ච සමුප්පාදය ඉතා සුලුවෙන් තේරුම් ගත්තත්, "මා" කියවූ කිසිත් තැනක නොදැකි දහමක් එහි ගැබ්ව ඇත... ("මා" ඇසූ පිරූ තැන් බොහෝ ස්වල්ප වුවත්).. පසිඳුරන්ගෙන් ග්‍රහණය කරගන්නා ලෝකය මෙතෙක්ද, පසිඳුරන් අයාලේ යන්ට හැර අල්ලා ගන්නා ලෝකය කෙතෙක්වේද...? කන්ද මුදුනට යනතෙක් පහල ඇති සියලු දසුන් එකවර හසුනොවේ... එබැවින් දාන, සීල, භාවනා මාර්ගය ඒ ගිරි දුර්ගය තරණය කෙරීමේ අත්වැල කරගත යුතුය...

යම් දැයක විචාරයක යෙදීමට විචාරය කරණාදේ ගැන මනා පරිචයක් ඇවැසිය... පසිඳුරන්ට අසුවන අසුවන දෑ සිතින් විමසන්ටත් පෙර ඒ පිලිබඳ ලෝකයට කියන්ට අද කාලයේ බොහෝ මාධ්‍ය ඇත... එහෙත් තෙරුවණ විචාරයට යන්ට පෙර තෙරුවන පිලිබඳ අවබෝධයක් පමණක් නොව, විතර්කයද (මාරයා?) දමනය කලයුතු බව "මට" සිතේ...
පළමුව "මා දැකීම" උගැන්වන තෙරුවණ නමදිමි... දෙවැනුවත් නමදිමි... තෙවැනුවත් නමදිමි....!

ගීත අහන්න... ගීත බාගන්න...
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නිතර නෑසෙන බොදු බැති ගී දොලසක්...
ගී වලින් සමහරෙක් මට එවූ අමිල සොයුරාට පින්...
Read More!

නොසැලෙන් මලණුවනී...

ඔබ යන ගමනේ මාවත අවුරා ගැරහුම් අවමන් අවි ඔසවා ඇත...
කැට මුගුරෙන් රළු පහර වැදී ලෝහිත ගංගා ගලා ගියාවේ..
මලණුවනී නොසැලෙන් මලණුවනී...

කඳුලින් උපන්නෙමී ගැරහුම් අසමින් ඉණූ කඳුලකින්...
ලෝකය හැඳින්නෙමී...
ඵල ඇති ගසටයි පහර වැදෙන්නේ සඳු දැක සිව්පාවුන් මොරදෙන්නේ...
ක‍ටු පඳුරින් දස දෙසම වැසී හදවත් ඉකිබිඳිමින් හැඬුවාවේ...
මලණුවනී නොසැලෙන් මලණුවනී...
කඳුලැල් විඳින්නෙමී ගැරහුම් අවමන් මල්දම් සේ ගෙන...
නව මං සොයන්නෙමී...

ඔබ යන ගමනේ මාවත අවුරා ගැරහුම් අවමන් අවි ඔසවා ඇත...
කැට මුගුරෙන් රළු පහර වැදී ලෝහිත ගංගා ගලා ගියාවේ..
මලණුවනී නොසැලෙන් මලණුවනී...


Read More!

ලකල කොමල ටිකිරි ලියක් රබන් වයන්නා...

රබන් ගහන්ට කීප දෙනෙක් වුවමනාය.... කොපමණ නාද රටා දැනන් හිටියත් හදාරා තිබුණත් එක්වී පිලිවෙලට රබානට නොගැහැවෝතින් එය රබන් ගැහීමක් නොව තඩි බෑමක්ම වන්නේය... මුලු අවුරුදු උත්සවයම ගොඩ නැගෙන්නේ මේ සමුහිකත්වයේ පදනම එක් අතෙකින් දරාගෙනමය... සයිබර් මිතුරන්ගේ අවුරුදු උත්සවයකුත් එපරිද්දෙන්ම සාර්ථකව නිමකෙරුණු බවක් දක්නට ලැබුණි... විවිධ මතිමතාන්තරව එල්බ ගත් ඇත්තන් රාසියක් සාමුහිකව එක් අරමුණකින් එය සාර්ථක කරගන්නට කටයුතු කලේය... න්‍යායන් වලින් ප්‍රායෝගිකත්වය ගොඩනැගෙන්නේද ද, ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා න්‍යායන් ගොඩ නැගෙන්නේද, යන්න සැලකිය යුතු කාරණාවකි...

අත්දැකීම් ජීවිතයට හෙමින් හෙමින් එකතු වන්නට හැර යම් යම් න්‍යායන්හි ප්‍රායෝගිකත්වයන් උරගා බැලීම ජීවිතයට වටී... එසේ නොවුවහොත් අත ඇති සුලු දැනුමෙන් සියල්ල විග්‍රහ කිරීමට ගොස් පොතේ ගුරෙක් වන්නට පුලුවන... ගණිතයෙහි කොටසක් වන සම්භාවිතාව පිලිබඳ "න්‍යාය" හරිහැටි මා උගත්තේ පෙරෙල්මාන්ගේ "ගණිත විනෝදය" පොතේ ඇති කදිම කථාවකිනි... ගණිතය හදාරන දක්ෂ විශ්ව විද්‍යාල සිසුවෙකු බීම හලකදී සම්භාවිතාව ගැන අනෙක් අයට කියාදෙන්ට පටන් ගනී... ඒ කොපමණ දුර දිග යන්නේදැයි කිවහොත්, ඉදිරියේ ඇති මාවතේ, සියයක පිරිසක් එක්වර ගමන් කිරීමට ඇති ඉතා අඩු සම්භාවිතාව ගැන, රූබලයකට තමන්ගේ බයිසිකලය ඔට්‍ටු තබයි... හදිසියේම ඇසෙන තූර්‍ය වාදනයත් සමගම ගමන් ගන්නා පෙරහරක් නිසා සිසුවා බයිසිකලය පරදී.... ඈතින් සිටිනා මහැදුරෙක් තම කටහඬ අවදි කරයි... "දරුවා බොහොම දුර දිග ගියා නේද...? සම්භාවිතාව හරියන්නේ සාධාරණ හා සමාන අවස්ථාවලදී බව අමතකවුණා නේදැ" යි හේ පැරදුණු සිසුවාගෙන් විමසයි...

යම් යම් පොදු දෑ වල නියැලීමේදීත් සංවිධානය කිරීමේදීත් තම තම පුද්ගල න්‍යායන් කොපමණ ‍රැඩිකල් වුවද "මිනිස්සු මෙහෙම හිතාවි නේ...?" විමසා කටයුතු කරන්ට සිදු වේ... රටේ ලෝකේ සම්මතයනට ගරු කරන්නටද සිදුවේ... සඳ තරණය කල ගගන ගාමීන්ටත්, ක්ෂුද්‍ර ලෝකය අන්වීක්ෂයන් හරහා දැකගන්නා විදැදුරන්ටත් අප ඉන්නා ලෝකය ගැන දෙයාකාරයක වැටහීමක් ඇත්තේය...

අලුත් අවුරුද්ද යෙහෙන් ගෙවන්ට, රබාන වටේ සැවොම එක්ව සුරල් වයන්ට, නුවණ පහලවේවා....


අතුල සිනිඳු සුදු වැල්ලේ පතල සිහිල් සෙවණැල්ලේ...
ලකල කොමළ ටිකිරි ලියක්....
රබන් වයන්නා...
ලකල කොමළ ටිකිරි ලියක් රබන් වයන්නා...

ලෝල සිතින් දුලා දෑස කොණින් බලා...
දැතෙ ගිගිරි සලා සලා රබන් වයන්නා....
ලකල කොමළ ටිකිරි ලියක් රබන් වයන්නා...

පවන් පහර හිසට වැදී තෙදින් වරල පෙරට අදී
නුවන් බඳන ඔමරි ලියක් රබන් වයන්නා....
තාල මිහිරි නගා නගා රබන් වයන්නා....

සවන පිනන මන බන්දන සිහින ලොවක රස කැන්දන
මියුරු හඬින් සුහුරු ලියක් රබන් වයන්නා...
ගීත රාව නගා නගා රබන් වයන්නා....

අතුල සිනිඳු සුදු සුදු වැල්ලේ...
පතල සිහිල් සෙවණැල්ලේ...
ලකල කොමළ ටිකිරි ලියක්
රබන් වයන්නා...


සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...

ගීතය ගායනය: අමරදේව ශූරීන් හා වෙදැදුරු නන්දදාස කෝදාගොඩ ඇතුලු පිරිස ගෙනි...
චිත්‍රය: සිළුමිණ පුවත්පතේ පලවූ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ හයවසරේ උත්තරා විශ්ව සෞන්දරා දැරියගේය...
Read More!
 
Blogger Wordpress Gadgets