ජය කේලි බන්දන සිරි දේවි කැන්දන...



"සිංදු පහයි පයිට් දෙකක් ඇති 'ජීවන ගංගා' චිත්‍රපටිය, පවුලේ ඇත්තේ කෙට්‍ටු තුන් දෙනෙක් නම්, කෑලි තුනේ එක පු‍ටුවේ හිඳ හිරිකිතයක් නැතිව බැලිය හැකි, 'පවුලේ' වර්ගයේ එකකි. එහි ඇති  'නුපුබුදු තැඹිලි මල්' දර්ශන එකකින් දෙකකින් වත්, සිකැරට්  අරක්කු බොන දර්සන කිහිපයකින් වත්, කාගේ වත් හිරි ඔතප් බි‍ඳෙන්නට කාරණා නැති තරම්ය. ෆරීනා ලායිගේ මනස්කාන්ත ‍රැඟුමකුත් ඇත. රොබින් ප්‍රනාන්දු හා විල්සන් කරූ අතර 'තග දාන' දර්සනය, කාලෙකින් අසාගත හැකි දෙබසකින් වර්ණවත්ය. ඉන්පසු 'ඩුෂා...!' ලෙස සටන ඇරඹේ. 'තාන තිනානේ තර‍ඟෙට ගහන රබානේ - රණ මොණරු නටවලු තර‍ඟෙට කිඳුරු විමානේ - දොන් දොන් දොන් දොන් දොන් හරමානිස් - බලාගෙනයි දැලේ වැටෙයි කොලඹ සුවාරිස්' - යන සින්දුව අතරතුර දැරියක් නව යොවුන් තරුණියක් ලෙස වැඩෙනවාද බලාගත හැක. 1974 දෙසැම්බර් 20 තිරගත වූ මේ සිත්තරේ දයානන්ද රුද්‍රිගු ගේ අධ්‍යක්ෂණයකි. භයානක ලෙස ඇස් ලොකු පූජිත මෙන්ඩිස්ද මෙහි සටන් ජවනිකාවකට පණපොවයි. ඇම් ඩී චන්ද්‍රපාලයන් රඟපාමින් තමාගේ 'රන් මැණිකේ මගේ - රන් මැණිකේ මගේ - ඔබ දු‍ටු දා පටන් බැඳි ආලේ' ගීය ලක්ෂණට ගයනවාද බලාගන්නට පුලුවන. දැවන්ත නළු නිළි කන්දරාවක හා දක්ස ගායන, වාදන, සංගීත මඩුල්ලක සහභාගිත්වයෙන් නිපැයූ මේ සිත්තරේ, ඔබ සික‍රැට්, අරක්කු, බීර සඳහා වැය කරන චූටි රුපියල් හයසීයක් ගෙවා නුගේගොඩ අනුලා ගෑණු ඉස්කෝලේ ලඟ ඇති තරංගා ඕඩියෝ වෙතින් මිලදීගෙන තමන්ගේ වාගේ නිමාඩු පාඩුවේ බලත හැක."
අතරින් පතර දර්සන...

හද ගී පොතට 'ජීවන ගංගා' වැදගත් වන්නේ යම් කාරණයක් නිසාවෙනි. ඒ විශාරද දායාරත්න රණතුංගයන් චිත්‍රපටි ගීතයට කල එලි බසින්නේ 'ජීවන ගංගා' චිත්‍රපටිය තුලින් වීම නිසාය. පසුබිම් සංගීතය රොක්සාමි මාස්ටර් අතින් අලංකෘත වී ඇති අතර ජස්ටින් සිල්වා හා දයාරත්න රණතුංගයන් එක්ව ගී සඳහා සංගීතයෙන් දායක වී ඇත. ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, මල්ලිකා පෙරේරා, දයාරත්න රණතුංග, නාලිනී රණසිංහ, අමරා රණතුංග යනාදීන්ගේ ගායනා වාණිජ චිත්‍රපටියකට සුදුසු සරල විනෝදාස්වාදයක් සපයයි. ආනන්ද සරත් විමලවීරයන් හා උපාලි ධනවලවිතානයක් ගී රචනාවෙන් දායක වී ඇත. එහෙත් සරල ගීයක්ම ලෙස මා නොගන්නා පහත ගීය ආනන්ද සරත් විමල වීරයන්ගේ හා දයාරත්න රණතුංගයන්ගේ ප්‍රතිභාවන්  පිලිබඳ සාක්ෂි දරනවායැයි හිතේ. පහත පද පේළි බලන්න...
ජය කේලි බන්දන - සිරි දේවි කැන්දන
නන්දන රූ සිරිනී - පොබයන
අංජන නෙත් යුග - රන්මසු රන්දන
අනුරාගී මදහසිනී - වොරඳන
කවුරුද තී සොඳුරී - කිව මැන - කවුරුද තී සොඳුරී

රාජ රාජ රාවණ පරපුරෙහී - පැවතෙන ලංකා තලයේ ධරණී
යක් සේනාපතියන්ගේ දියණී - කුවේණි කුමරිය මම කපු කටිමී
කවුරුදු ඔබ රජුනී - කිව මැන - කවුරුදු ඔබ රජුනී

පියරාජ අණසක - පි‍ටුපාල සපැමිණ - තඹවන් බිම සොයමී නිවහන
චංචල තොල් යුග - මින්දද රංගන - කල්‍යාණී මනනදනී වරඟන
දඹදිව සිට පැමිණී විජලිඳු - මම වන්නෙමි මධුරී

ඈත ඈත නිල් වනපෙත් කමණී - රාජ ඉසුරු සලසයි රජතුමණී
යක්සේනා බල සුන්කරලමිනී - රාජ කිරුළු හිස පලඳිනු මැනවී
සඳකැන් හිරුට දෙමී - අඹර මිහිතලයට ‍රැගෙන එමී

දස රාජ දහමින - හෙළ දූව සුරකිමු  - වනු මැණ පිළිසරණා කුමරිය
රන්මිණි මන්දිර දෙන්නෙමි දොර හැර - තී මාගේ අග‍රැජිනී මියුලැසි
සරසමු රන්දීපේ - දද බැඳ - සරසමු රන්දීපේ

නව සිනමා චිත්‍රපටි සමාගම විසින් ඩිජිටල් තාක්ෂණයෙන් නැවත එළිදක්වා ඇති මේ චිත්‍රපටිය මා හට ‍තෝරා දුන්නේ මාගේ බිරිඳයි. එයින් ඉහත කී ගීය සම්පූර්ණයෙන් උපුටාගැනීම නීතිප්‍රකාරව කල නොහැකි නිසාවෙන් තැවෙනා කල්හී, මා විසින්ම අවුරුදු තිහකට පමණ පෙර කැසට් පටියකට ගුවන් විදුලියෙන් පටිගත කල මෙම ගීය හමුවිය. තැනින් තැන ශ්‍රවණ තත්වයේ බාධාවන් ඇත්තේ කැසට් පටියේ පැරණි කම නිසාය. චිත්‍රපටියේදී නාලිනී රණසිංහයන් හා එක්ව ගැයූවද පහත හඩ ගොණුවේ ඇත්තේ පසුකාලීනව අමරා රණතුංගයන් හා එක්ව ගැයූ ගීයයි...

Read More!

පෙම් සුවඳයි මංගල සිරිදෙයි...



 
පෙම් සුවඳයි මංගල සිරිදෙයි 
සිරි බර පෙම් මල් උයනේ 
සැලළිහිණි ගිරා කැල ප්‍රේම කථාවෙන් 
නැලවෙති තුරු සෙවණේ....

පෙම් ගඟුලේ දිය බුං ගසලා
අපි කිමිදෙමු නාමු ප්‍රියේ....

මුළු ලොව ඇති හොඳ පාට එකට ගෙන  
මම ඔබෙ රුව අඳිමි හඳේ 
ඕ මම ඔබෙ රුව අඳිමි හඳේ....

පෙම් සුවඳයි....

අර සමනළයයි රතුරෝස මලයි
වගෙ පෙම් කඳ අපි දෙන්නා.....

පැණි බොන්න හිතයි ඉල්ලන්න ගොතයි
එය දෙනතුරු ඉවසන්නා
එය දෙන තුරු ඉවසන්නා... 

පෙම් සුවඳයි.... 

 
 

[පසු සටහන: මේ ගීය 1955 මාර්තු 04 තිරගත වූ අසෝකා චිත්‍රපටියෙනි... දැන් මේ ගීතයට අඩ සියවසකට ආසන්නය... රසය තවමත් නොඅඩුව තිබේ... තනුව හින්දි හෝ ද්‍රවිඩ තණුවක් බවත්, ගී පද රචකයා අසෝකා චිත්‍රපටියට ගී ලියූ කරුණාරත්න අබේසේකර, හර්බට් එම් සෙනෙවිරත්න හෝ පියසේන කොස්තා යන අයගෙන් කෙනෙකු විය හැකි බවත් මහාචාර්‍ය සුනිල් ආරියරත්නයක්නේ මතයයි. ප්‍රවීන ගුවන් විදුලි නිලදරුවකු වූ අශෝක තිලකරත්නයන්ට අනුව මේ කරුණාරත්න අබේසේකරයන්ගේය. පී එල් ඒ සෝමපාලයන්ගේ මධුර සංගීතය සංයෝජනයත් මේ ගීය අපේ ගීයක් බවට හැරවීමට ඉවහල් වී ඇත. ගීත දොලහක් අඩංගු වූ අසෝකා චිත්‍රපටියේ, 'පෙම් ගීතේ සංගීතේ නාදේ නගී....' (සත්‍යවතී), 'පෙම් පහන නිවී පෙම් මල් පරවී....' (ජී එස් බී රාණී / මොහිදීන් බෙග්), 'තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ....' (මොහිදීන් බෙග්) ගීතත් අදද එකසේ ජනප්‍රියය. අවුරුදු 13 දී පාසලේදී මේ ගිය ගයා විශාරද සනත් නන්දසිරියනට වූ හදිය මෙතැනිනුත්, අසෝකාට රඟපෑ පුෂ්පා ජෙනට්ගේ අද දවසේ විස්තර මෙතැනිනුත් කියවා දැනගත හැක.

"කන්තොරුවෙ බ්ලොග් බලන අපි වගේ උන්ට උඹේ මේ සින්දු කොහෙ බාන් අහන්නද. ඒ නිසා කතා නැතිව සින්දුව විතරක් දාන එකා කොටියම කාපිය." - ලෙස කලින් ගීයක් පමණත් දැමූ සටහනක, හෘදයංගම ප්‍රතිචාරයක් යෙදූ ඉන්දික උපශාන්ත වියුණු සටහන් කරුට උපහාරයක් පිණිස ඉහත පසු සටහන එකතු කරන ලදී. ]
Read More!

පාර කියන්නෑ තෝනෙන්... පාර තියන්නෑ කෙවිටෙන්...

'යං දුන්නිමිත්තං අවමංගලංච
යෝ චා මනාපො සකුණස්ස සද්දො
පාපග්ගහො දුස්සුපිනං අකන්තං
බුද්ධානුභාවෙන විනාසමෙන්තු...'

...හැඟවෙන්නේ නිදාසිටියා ඇති බවය. පිරිත් දේසනාව ඉවර වෙන වෙලාව ඇ‍ඳෙන් බැසීමට වේලාවයි... 'දවසේ සිතුවිළි' කථාව යයි නම් එහි තේරුම අවදිවන්න පමාවී ඇති බවයි..  'දවසේ සිතුවිළි' කුමන ආගමක් පසුබිමේ වුවද අඩනින්දේ සිට පවා ඇසීමට ප්‍රියමනාප ස්වරයකින් දේශනා කරනු ලබයි... ගාට ගාට කුස්සියට එනවිට ගිනිදැල් පසුබිමෙහි අම්මා ලහි ලහියේ උදේ ආහාර පිලියෙල කරයි... දත්බේත් නැතිනම් අඟුරු කැල්ලක් හා ලුණු ඩිංගක් මේසේ කොණක තැබීමට ඇයට අමතක නොවේ...

'..... අරුණ කිරණ ගී තීරයක ආරම්භයයි....' 

දැන් ඉතින් යමක් ගිලදමා පොත් බෑගයද ගෙන එළියට බැසීමට කාලයයි....
වෙලාව ඔබවෙත ගෙන එන ඩයලොග් වෙතින් වත් දවසම ප්‍රබෝධයෙන් ගතකිරීමට චතුරිකාට උපකාරී වූ නෙස්ටොමොල්ට් වෙතින් වත් අරුණෝදයේ රිද්මයට බාධාවක් නැත...

ඒ වෙනුවට...

'අරුණ කිරණ සැලී සැලී - හෙළ දෙරණම පණ පෙවී
නැගෙන දැයට උරදීදී - පිබිදෙව් පිබිදෙව් හෙළ දරුවෙණී..'  

ලෙසින් සෙනෙහෙබර ඇරයුමකි......

එසේත් නැත්නම්  'ඈත ගමේ සරු පස පෙරළන්නට යන....' දයාබර සවාමි පුරුෂයකුගේ උදාන ගීයකි...

ඒ සියල්ලම රස විඳීමට ලැබුණේ සොච්චම් කාලයකි...

'කැලණි පාලම' නාටකයේ මෙච්චර පුෂ්ටිමත් සරීරයක් ලැබුණේ කෙසේද යැයි ගංවතුර ආධාර නියාමක 'පාලම් වැසියෙකු'ගෙන් ඇසූවිට හේ පවසන්නේ 'උදේම නැගිටල හන්දියේ වෑර්ලස් එකේ චූන් එකට අතපය ඇඹරීමෙන්..' බවය... එබඳු 'චූන්' ධර්මිෂ්ඨ සමාජයකට ඇවැසි 'තුමුල බලැති ගිජිඳුන්' බිහිකිරීමට මහෝපකාරී වියහැකියයි ඒවායේ නිර්මාපකයින් සිතුවා විය හැක...

අදද 'අරුණ උදාවෙයි.. දිනිදු සිනාසෙයි...' ඒත් ඒ ඔච්චමට යැයි මට හිතේ...
කොහේ හෝ තැනක පෙර දිනයේදී තමාගේ හෙදර එකතු වූ කුණු මල්ල අතෑර, මාරු සල්ලි සමග සටනට එන කොන්දොස්තර වෙත මූණ දීමට සූදානම් විය යුතුය...
'පේස්ට්‍රී' කඩය ඇර නැත්නම් වාහන වල යන්නවුන්ගේ උදය ආහාරය හබක් වේ... සියලු දෙනාම බලවත් වූ ජවයකින් යුතුව එළියට බසී..... කුමකටද?

'අරුන්දතී - තාරකාව සේ දිලී දිලී
නුවන්පෙති - විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පති - නැණින් යොවුන් සිත් බැඳී බැඳී
දවස්පති - රුවින් සිනාසෙයි නැගී නැගී..'

ඒ සිනාවෙමින් අසන්නේද 'ඔබ මේ දුවන්නේ කොහේද...?' කියාය....

ගීයකින් පමණක් දැයක් ගොඩනංවාලිය නොහැකි බව දනිමි... ඒත් පසුබිමින් ඇසෙනා මෙවන් ගීයක් ඔබේ හෘද සාක්ෂිය කුළුගන්වා නොලයිද?

'නිදහස් අදහස් - දැයට පොවා
නිවහල් සිතිවිළි - බසට කවා
දෙස බස ‍රැස වැඩූ.... නියාමක වී
ජන යුගයේ... ජන යුගයේ...'

ඒ එසේ නම්, ඒවා අසා, ඒවායින් පිබිද උදම්වුණු දූ පුතුන් හට කුමක් විණිද???

ඉල්ලා සිටියේ මේ පමණි....

'පුතුනේ මේ  ඔබ ඉපදුන දේශය
ඔබ වෙනුවෙන් බිහිවුණ ජය භූමිය
‍රැක ගන්නට ඒ පින්බර දේශය
ඔබේ ශ්‍රමය පුත දිය යුතු වේමය..'

එය ලබාදෙන්නට එක් පරපුරකට නොහැකිවිණි... යෂ්ටිය හුවමාරු නොවිණි... එතනින් එහා සිදුවූයේ කුමක්ද යන්න තම තම නැණ පමණින් විචාරය කර ගත හැක...

'අරුණාලෝකය අතරේ - හෙට නවලෝකය ඉදිවේ..' යනුවෙන් බලා සිටි අපට ලැබී ඇත්නම් ලැබී ඇත්තේ එනමින් ඉදිවුණු පෞද්ගලික රෝහල් සංකීර්ණයක් පමණි....

මිනිසුන් විවිධ දේ එකතු කරයි... පැරණි මුද්දර, කාසි, රට රටවල මුදල් ඒ අතරින් බොහෝ ජනප්‍රියය... මමද පැරණි ගී එකතු කරමි... අතීතයේ ලැබූ සරල ආශ්වාදයන් නැවත විඳීමේ මග පෙන්වන තාරකා දොර‍ටු ලෙස මා, ඒ දකිමි... ඔබටත් රුචි නම් ගොහින් එන්න...‍ තෝනෙන් පාර කීම හෝ කෙවිටෙන් පිටෙහි පාර තබා මග කීම මිනිසත් කමට නිගාවකි....!!!!


කැමති ගීයක් බාගන්න...
සිංදු සියල්ල එකවර බාගන්න [111 MB ගොණුවකි]...
ගී පොත බාගන්න...
Read More!

යුග්ම තාරකා දිලිසෙන ලස්සන දෑසේ...

යුග්ම තාරකා දිලිසෙන ලස්සන දෑසේ...
පුංචි වසන්තයක් හැංගිලා..

සවන් මැදින් සීණු හඬක් හදට රිංගලා
අවිහිංසක ලොවක් නැංවිලා..

හිමාලයද ටජ්මහලද ඕනේ..

සූකිරියෙන් මාළිගාද ඕනේ...
ඇත්තෙන් මොනවද ඔයාට ඕනේ..
තරහ ගන්න එපා හිච්චි නෝනේ...

අංජනමක් බලව ගන්න ඕනේ...
හොරේ මොකද අල්ලගන්න ඕනේ...
සැනසීමක් ලබාදෙන්න ඕනේ..
ඇහැ පියාන නිදාගන්න ඕනේ...


ඕන්නම් බාගන්න....


1964 තිරගතවූ දෝස්ති චිත්‍රපටිය ඇසුරෙන් 1971 දී නිපදවූ 'කළණ මිතුරෝ'චිත්‍රපටියේ ගීයකි....
Read More!

රන්දෝ මං නුඹ හන්දා...

කන්දේ රන් සඳ උන්නා...
හැංගී රන් තරු උන්නා...
රන්දෝ මං නුඹ හන්දා...
කන්දේ පාමුල උන්නා....

සැලෙනා කහ මල් ඉත්තෙන්...
පෙණුනා
නුඹෙ අත රන්වන්....
හඬනා බඹරුන් තැන් තැන්...
ඇසුණා නුඹෙ ගී ලන්දෙන්....
දු‍ටුවා මං නුඹ නින්දෙන්....
එනවා බැහැගෙන කන්දෙන්....
පිපුනා මදු මල් බැද්දෙන්....
හැඬුවා මොණරුන් සද්දෙන්

බැන්දෙ ගෙවැට කවුරුන්...
ඉන්නේ තනියට කවුරුන්....
ගන්නේ ආදර කවුරුන්....
දුන්නේ මට දුක කවුරුන්....
හැංගී රන් සඳ යන්නා....
හැංගී රන් තරු යන්නා...
රන්දෝ මං නුඹ හන්දා...
ගම දා යන්නට යන්නා....


Read More!
 
Blogger Wordpress Gadgets