සපුතන්ත්‍රි මහත්තය බාස්කින් රොබින්ස් එකේ අයිස්ක්‍රීම් එකක් තොලගගා හිටිය... ලඟ උන්නු තරුණිය
හැසිරුණු දඟකාර විලාසෙන් පලකලේ බොහොම යෞවන ගතියක්... උරිසට වැටුණු කෙස් වැටිය
දෙපැත්තටම ගස්සන ඇය එතනින් මෑත්වෙලා ලී වැටගාවට ගියේ සපුතන්ත්‍රී මහත්තය ලඟ හිටියොත්
බැහැගෙන යන ඉර ඔහුට මුවාවෙලා නොපෙනී යන හින්ද...
"මල්ලී....????? මේ කොහෙ හක්කලං කරනවද ?"
සපුතන්ත්‍රී මහත්තය බොහෝවිට හැමෝටම වාගේ කථා කලේ 'පුතා' නැත්නම් 'මල්ලී' කියල -
සමකාලීන්ටයත් එහෙම කියන්නේ උපහාසෙටත් එක්ක...
තමන් උගත් විෂය ධාරාවේ බොහොම දක්ෂ කමක් පෙන්නපු හින්ද සමකාලීන සගයන්ව උපහාසයට
ලක්කරල දෙකේ කොළේට දාල කථාකරන්න ඒක ආයුධයක් කරගත්තද මන්ද කියලත් හිතෙනව...
ඒත් කවදාවත් ඒ ස්වරයේ නම් අපහාසයක් ගැබ්වෙලා තිබ්බේ නෑ...
මූණ පුරා විහිදිච්ච රැවුළ මූණට එක්කකලේ හරිම කරුණාවන්ත ගතියක් - අනෙක් අතින් කෙස්
බොහොමයක් අඩුවුණ හිසේ අඩු පාඩුව ඒ රැවුළෙන් මකා දැම්මා...
සපුතන්ත්‍රී මහත්තය නිවාඩුවකට ඇවිත්... ලෝකේ වටේ සංචාරය කරන ගමන් තාවකාලික නැවතුමක්.. ඒ වෙනකොට සපුතන්ත්‍රී මහත්තය රටවල් බර ගනනකට රස්සාවල් වලටයි සංචාරයටයි ගොහිල්ල ඇවිල්ල තිබුණ වෙන්න ඕනේ...
"අපි මේ යාලුවෙක් එනකල් ඉන්නව... පහට මෙතැනට එනව කීවට පැයක් දෙකක් පරක්කු වෙනව
කියල කෝල් එකක් ආව... ඉතින් පුතෝ සැප දුක කොහොමද - කමුද අයිස් කිරිමක්?"
පිටුපස සාක්කුවට අතදාල
පසුම්බිය එළියට අදින ගමන් අහනව ඒ පාර....
හැමදාමත් ඔහුගේ ඒ පසුම්බිය පිරිල තිබ්බේ, අමාරුකම් තිබ්බ මිනිස්සුන්ට බොහොම කරුණාවෙන් අත දිගඇරල
සලකපු හින්ද වෙන්නැති...
මැද පෙරදිග සෑහෙන කාලයක් රාජකාරී කල ඔහු ලංකාවේ මිනිස්සු බොහොමයකට රැකියා සඳහා ඉඩ
කඩ සලකල දුන්න... කාලෙත් එක්ක බලනකොට ඒ කාලේ රැකියා ඒජන්සියකට වඩා මිනිස්සු මයේ
හිතේ සපුතන්ත්‍රී මහත්තය එක්කන් ගිහින් තියනව, යවල තියනව... ඒ විතරක් යෑ... ආපු ගමන්
කරකෝල අතැරියා වාගේ වෙන වහන්සේලාව, ටික දොහක් යනකල් බලාගන්න එකත් කරනව...
"මොකද මිනිහෝ...? ආ මට අමතක වුණා... තමුසෙගේ කෑම බීම ඉතින් අමුතු පිළිවෙලක් නේ...."
ඒත් අයිස් කිරීම් වලට වඩා කුතුහලය අවිස්සිලා තිබ්බේ, අර දඟකරන කොණ්ඩේ නිසා... සපුතන්ත්‍රී
මහත්තයගේ උරිස්සට උඩින් සීරු මාරු වුණු කලු ඉංගිරියාව නිමේශයකට වඩා එක ප්‍රමාණයෙන්ම
තිබ්බ කියල ඔහුගේ තියුණු දැසට අහුවුණා...
"මොකද....???? ඉරිසියද....?"
සපුතන්ත්‍රි මහත්තය ඒ කාලේ ඔය
වාගේ මාතෘකා වලට බැස්සේ නෑ මෙහෙම...
"මල්ලී මේ...තාම මගේ ඇස් හොඳට පේනව හරි... මේ රස්සාව
කරන්න බෑ ඇස් පේන්නේ නැතුව..."
අර සුපුරුදු උපහාසය තාම තියනව....
කළු ඉංගිරියාව ශ්‍රෙක් එකේ පූසගේ ගාණට ලොකු නොවුණත් ඒකේ තිවුණු වරදකාරී හැඟීම ඔහුට
තේරුණා...
"හරි හරි තමුසේ ඉතින් අපේ ගෙදර ආගිය මනුස්සයනේ... මම දන්නව දැන් පුතා හිතන දේ... අපි
අන්තිමට මුණ ගැහුණේ කොයි කාලේ වාගෙද...? මට මතකක් නෑනෙව හරියට..."
ඒ වෙනකොට ඒ අන්තිම හමුවට පසුව අපට නොදැනීම සෑහෙන කාලයක් ගතව ගොස් තිබිණි...
"එහෙමනම් දැන් දරුවෝ මල්ලෝ හෙන ලොකු ඇතිනේ... කෝ මල්ලී මට මංගල්ලේ වත් කීවේ
නෑනේ...
මේ ඒක නෙමේ .... ඉන්නව ඉන්නව.... ෆෘට් ජූස් එකක් වත් බොමු...."
පලතුරු බීම වීදුරුව පෙනුමෙන් නම් මනස්කාන්තය... එහෙත් මේ රටවලට නැවුම් පළතුරු
ලැබෙන්නේ කලාතුරකිනි...
"ඉතින් මම දන්නෑනේ අයිසේ දැන් මෙහේ කියල.... දැන් කොච්චර කල්ද මෙහේ ඇවිල්ල....?
හැබැයි පුතෝ
මාලුවා බාගෙන ආයෙම ආ දිහාටම ඉක්මණටම තොලොංචි වෙන එක තමා හොඳ..."
ඔරලෝසුවේ සෑහෙන වෙලාවක්, එක් නිමේෂයකට හකුලුවාලන්නට ඔහු පූර්විකාව ඇරඹුවේ එලෙසිනි...
"මල්ලී දන්නවනේ අක්කයි මමයි අපි අපේ ෂොප් එක පටන් ගත්තු කාලේ ඉඳන්... යාන්තන්
අටවගත්තු ගේ විතරයි මුලින් අපට ස්ථාවරයකට කියල තිබ්බේ... අක්ක ඉගෙන ගත්තු විදිහට ගැලපෙන
රස්සාවක් ලැබුනේ නෑනේ... ඒක තමා මට රට එන්න සිද්ධවුණු මූලික හේතුව... අනෙක කෙල්ලො
දෙන්න ලැබුණට පස්සේ උන්ව සර්වන්ට දාල රස්සාවකට යන්න ඒ කාලේ අක්කත් කැමති වුණේ නෑ... මගේ ආදායම ටික ටික
සරුවෙනකොට ළමයි දෙන්න ලොකු වෙනකොට අක්කට එයාගේ ඉගෙනුම ගැන පසුතැවිල්ලක් ආවා...
එයාගේ පවුලෙන් එයා විතරයි කැම්පස් ගියේ... ආයෙමත් වැඩිදුර ඉගෙන ගන්න ඕනේ කියල ඔන්න නෝර්වේ
යන්න හැදුව ස්කොල් එකක් හදාගෙන... අවුරුදු දෙකක කාලෙකට වුණත් මම ඒ වැඩේට කැමති වුණේ නෑ... ඒ
පාර තමා ඔය ෂොප් එක එයාට මම දාල දුන්නේ ගෙදරට කිට්‍ටුව ටවුන් එකේ..."
තරුණිය රැළ පාගන්ට ගොස් විය යුතුය.... අහල පහලක පේන්නට නැත... ඇය මේ පරිසරයට
හුරුකාරියක් විය හැක...
"මම කවදාවත් හිතුවේ නෑ එයාට බිස්නස් අල්ලල යයි කියල... ඒත් අවුරුද්දකින් විතර අල්ලපු කඩ කාමරෙත්
ගන්න ගානට එයා ඒක දියුණු කලා.... දරුවෝ දෙන්නගේ වැඩ එයාගේ අම්මයි සර්වන්ට් අතිනුයි
හොඳින් සිද්ධ වුනා... අනෙක ගෙදෙට්ට ලඟ හින්ද එයාට නිතරම දුවල එන්න යන්න, කෙල්ලො
දෙන්නගේ ඉස්කෝලේ අඩු පාඩු බලන්නත් පුලුවන්කම තිබ්බ... බිස්නස් එක හොඳටම නැගල යන්න ගත්තු කාලේ අක්කට සුලු දණිස්
අමාරුවක් ආවා... ෂොප් එක කාට හරි දාල ගෙදර ඉන්න කිව්ව මම... අමාරුවෙන් ගොඩනගාගත්ත සාප්පුව
වහන්න එයා කොහොමටවත් කැමති උණේ නෑ.. ඊට පස්සේ මමම පත්තරේ දැන්වීමක් දාල හොඳ
මැනේජර් කෙනෙක් සොයල දුන්න... ඒකෙන් එයාට ෂොප් එකේ වැඩට එහාට මෙහාට දුවන්න පනින්න වෙන එක සෑහෙන්න අඩුවුණා... ඔන්න ඔය කාලේ තමා මම මල්ලිවත් ගෙන්න ගත්තු අපේ
එක්ස්පෑන්ෂන් ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ..."
එය ඩොලර් බිලියන් ගණනක ඒකාබද්ධ ව්‍යාපෘතියකි... සපුතන්ත්‍රී මහත්තයා එහි එක් අංශයක
වගකිවයුතු තණතුරක් දැරීය... ඒ පිහිටෙන් ලාංකිකයන් බොහෝ දෙනෙකුට එහි රැකියා අවස්ථා සලසා
ගන්නට පුලුවන් විය... සපුතන්ත්‍රී මහත්තයාට රාජකාරියට අමතරව කුඩා ගමක වැසියන් මෙන් ඔහු
ගෙන්වා ගත් ලාංකිකයන් සියලු දෙන බලාගන්නට සිදුවිය... පරිපාලනයට අනුව ලාංකික පිරිස
උපකොන්ත්‍රාත් කරුවන්ය... ස්ථීර නිවාස පහසුකම් ඔවුනට අහිමිය... ඒ බරත් සපුතන්ත්‍රී මහත්තයා
ස්වකැමැත්තෙන් ඔහු පිට පටවාගෙන විසඳා දෙන ලදී...
"මම හිතන්නේ මල්ලී මාස හය හතයි හිටියේ අපිත් එක්ක නේ...???
උඹ හිටියනම් අද එතන
ඔපරේෂන් මැනේජර්... කෝ එදත් හරහට හිටියේ උඹේ ඔය කෑම ප්‍රස්නේ නේ..."
යලිත් අර කරුණාවන්ත පුළුල් සිනහව මුහුණේ පැතිර යයි...
"මට ඒ වෙනකොට ගෙදර යන එන වෙලාවක් තිබ්බේ නෑ පිලිවෙලකට... සමහර කාලවල අවුරුද්දක්
ගෙදර ගියේ නැති අවස්ථා තිබ්බ... ඒත් දවසක් ෆ්ලයිට් එක ඩිලේ වෙලා සාමාන්‍යයෙන් රෑ වෙලා එන
මම උදේ වරුවේ ආවා... ඉස්කෝලේ දවසක් හින්ද මම කෙලින්ම ෂොප් එකට ගියේ... වැඩ
කරණ ලමයෙක් කිව්ව නෝනගේ දණහිසේ අමාරුව වැඩිවෙලා කියල මැනේජර් මහත්තය හොස්පිටල්
එක්ක ගියා කියල.... මම ආපහු ගෙදර ආවා... අක්කලගේ අම්මත් මට වැඩිය මූණ දීල කථා කලේ නෑ...
කෝල් එකක් දෙනකොට වත් නොකියපු හදිසියේ වැඩිවුණු දණිස් අමාරුව මට මහ ප්‍රෙහෙලිකාවක් වුණා.. ඒත් මම
ටිකෙන් ටික දැනගත්ත ඒ වෙණකොට මට විසඳන්න ප්‍රෙහෙලිකාවක් ඉතිරි වෙලා නැති වග..."
සපුතන්ත්‍රී මහත්තයට ලස්සන කටහඬක් තිබුණ... මිල්ටන් මල්ලවාරච්චිගේ ගී ඔහු අපූරුවට කිව්ව...
සාද වලදී "මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ..." සින්දුව කියල අන්තිමේට
"ඉන් මතු
කිසිදාක යන්නේද හද රන් ලෙනේ..... පහන නිවා...." කියල අක්කව බදාගෙන ඉන්නව...
මධුවිත මුසුවෙන
සාද වලදී මේක සම්මත අවසාන රංගනය වෙලා තිබ්බ ඒ කාලේ....
එතකොට ඒ කිසිම දෙයක් අක්ක ගාව ඉතිරි වුණේ නැද්ද?
"එදා හොස්පිටල් ගිහින් ගෙදර ආවට පස්සේ අක්කට බ්ලීඩින් තිවුණා ගොඩ දවසක්... මම ඒ ගැන කථා කලේ
නෑ වචනයක් .. නර්ස් කෙනෙක් ගෙන්නල තිබ්බ උදව්වට... ළමයි දෙන්නගේ විභාග ලඟ එනව.... ඒ
වෙලාවේ අපි දෙන්න වෙන් වෙලා ළමයි දෙන්නට ලොකු පීඩනයක් දෙන්න ඕනේ නෑ කියල මට
හිතුන... අන්තිමට ඒ තත්වය සාමන්‍යකරණය වුණා... මටත් පුදුමයි මට ඒක දරාගන්න හයියක් තිබ්බ
එක...එකම ගෙදර ෂෙයා කරන බෝඩින් කාරයෙක් වුණා මම මගේම ගෙදරම, ඊට පස්සේ... මම රට යනව.. ආපහු එනව... අපි ගෙදර
ඉන්නව... කෑම කනව... එළියට බැහැල ගමන් යනව... ඒත් වෙනම ජීවිත... අන්තිමට මට දරාගන්න බැරි වුණේ අර මනුස්සය මම ඉඳිත්දීම ගෙදෙට්ට එන්න ගත්තු එක...
ගෑණියෙකුට එච්චරම නරුම වෙන්න පුලුවන්ද බං..?"
සපුතන්ත්‍රී මහත්තයා උරිසට උඩින් ආපිට බලමින්
අසයි...
දඟකාර කෙස්වැටිය අංශක 220 කලාපයට ඇතුළුවිණි... කළු ඉංගිරියා සීරු මාරුව නැවත ඇරඹිණි...
"හිටපන්.. හිටපන්... ඔය විස්තරෙත් කියන්නම්... මම උඹට මෙව්ව කියන්නේ උඹත් මේ කටු ඉඹුලේ
දැන් භාගයක් නැගල හින්ද... "
ශ්‍රෙක් පූසාගේ වෙස්, කිට්ටුවට හෝ දෙවරක් ගැනීම අපහසුය...
"මගේ බෙල්ලෙයි උරපත්තෙයි අමාරුවක් ආව දැන් අවුරුද්දකට උඩදි විතර....
ඒකට රෙගියුලර් පිසියෝ තෙරපි දෙන්න ඕන වුණා...
පස්සේ අමාරුව හොඳවුණත් මම ඒ සුවයට ආස කරන්න ගත්ත...
එහෙම ගිය තැනකදි තමා හමුවුණේ...
දැන් ඉතින් එයාට සිංගල් ක්ලයන්ට්... "
සපුතන්ත්‍රී මහත්තයා මහහඬින් සිනාසෙයි....
පරණ පලතුරු රසය, උඩින් දමා තිබූ රස කාරක පරයා කට හාරවන ගතියක් දනවන්නට විය....
බලන්නෙපා යුග නුවන් විදා
විදි රුදු හී සර සේ මසිත පෙලා...
පෙර ඔබ මුව නැගි පහන් සිනා
ලැව් ගින්නකි අද මා දවනා...
රඟහල කැටිවුණ අඳුරක සැඟවී
ඔහු ළමැදේ හිස සඟවලා....
අසා සිටියෙ ඔබ හිත මා තනිවී
හඬනා රාවයදෝ...
එදා ඔබේ හදවතින් ගලාවිත්
මවෙත තුරුළු වූ සිනා සලා...
සදා සොඳුරු සිහිනයක උදාවුණු
අතීතයක් හඬවන්න එපා...
බිරිඳ සැමියා ගැන දුටු විදිහ ගැන කියන ගීයක පෝස්ටුවකුත් දාන්න තිස්ස..