ලංකාවේ සංගීත සම්භවය සොයා ගිය සී ද එස් කුලතිලකයන් මහා ගවේෂණයකට පසුව එනමින්ම පොතක් පල කර නවතින්නේ නැත. ඒ ඇසුරින් හේ
නිර්මාණකරණයේද යෙදෙන්නේය. ඒ දල්වන පහන් එළි නව නිර්මණකරුවන්ට එලිදැක්වූවා පමණක් යැයි මම නොසිතමි. නිර්මාණකරණයේ යෙදීමට පෙර ශාස්ත්‍රයට අමතරව ඒ ශාස්ත්‍රයන් බිහිවූ පසුබිමද හැදැරීමේ වටිනාකමද ඒ හා සමානව ඔහු කියාදෙයි. නිර්මාණ බිහිකරන්නේ කා වෙනුවෙන්ද යන්න, ගබ්සාව, දැවැද්ද, දේව-අදේව වාදය වැනි පිළුණු මාතෘකා වුවද පෙට්ටගම් ඇවිස්සීමෙන් අහඹු ලෙස වටිනා දෑ හම්බ නොවන්නේද නොවේ. ගුණදාස කපුගේ ගේ හඬෙහි මා දකින විසේසයකි. පොඩියක් එහා මෙහා කරගෙන ඒ හඬ අපේම හඬක් කරගත හැකි ඉඩ කඩ ඉතා වැඩිය. 'අඳුරේ ඉන්නෙමි ලොවම එපාවී..' සිට 'සිටු කුමාරියේ නුඹට සීත අගුනයි...' හරහා ඕනැම ගීයක් සෘතියේ පිහිටා හෝ නැතිව අනායාසයකින් අපටම ගායනා කල හැකිය. ඒ හා සමාන හඬක් මීලඟට ඇත්තේ සේනානායක වෙහෙරලියැද්දයන්ටය. නිර්මාණකරනයේ යෙදෙන්නට පෙරම විකිනෙන්නට පටන් ගත් නිසා දෙවැනුව කී හඬ පොදු ජනයාගෙන් ඉවත්ව ඇතැයි හඟිමි. 'නංගීට බැඳපු මල් වියන..' පමණක් ඉතිරිව ඇත...
කලා විචාරය ගැන මා දන්නා අලබෝලයක් නැත. මම රසිකයෙක් පමණක්ම වෙමි. විචරකයා යනු නිර්මාණය රස විඳීමට උත්තේජනයක් ලබාදෙන්නෙකුයැයි කදිම නිර්වචනයක් සහෝදර බ්ලොග් කරුවකු වන
නලීන් දිල්රුක්ෂ කියා තිබුණි. රස විඳීමේ දී සිතන පතන දෑ බෙදාහදා ගැනීම ආනන්දයෙන් ප්‍රඥවට යා හැකි තවත් ක්‍රමයකි.
ඔපෙරාව යනු ගීත නාටක බව අසා ඇත්තෙමි. ලංකාවේ ගීත නාටක කලාවක් තිබුණාදැයි ඇසුවොත් ඔපෙරා ගැන සිතා නම් උත්තර බැඳීමට බැරිය. එහෙත් දෙපානෝ, මූදු පුත්තු ඇසුරෙන් නම් එවන් ඔපෙරා හා ඊටත් කලින් සන්නි යකුමේ, කොහොඹා කංකාරීයේ ඉඳන් මනමේ නාඩගම දක්වාම මටනම් ගීත නාටක ඇත. බෙදා වෙන්කිරීම් ශාස්ත්‍රඥාණය ඇත්තවුන්ට හා විචාරකයින්ට භාර කරමු. අපට 'ඔපෙරා' වචනය නිර්මාණත් සමඟ හඳුන්වාදෙන්නේ ආචාර්‍ය කේමදාසයන්ය. 'කැන්ටාටා' යන වචනයත් ඊට පසු හෙතෙම හඳුන්වාදුන්නා මතකය.
ඊට බොහෝ කලකට පෙර එනම් 1963 දක්වා පෙර කාලයක කේමදාසයන් නිමැවූ 'කැලෑමල්' ගීත නාටකයේ ගීත පබැඳුම් කිහිපයකට, විමලවීර පෙරේරා නම් තරුණයෙක් සහභාගී වෙයි. ඔහු අල්ලපු ගමේ ජී. එච්. පෙරේරා කවීන්ද්‍රයානන්ගේ බාල පුතුය. පවුලේ ජ්‍යේෂ්ඨයා විමලසිරි පෙරේරා වන අතර ඔහුද සරසවියේ ආරම්භක කතුවරයෙක් වී ඇත. 1963 කැලෑමල් ගීත නාටකය නිපදවූ කේමදාසයන් ඊට සැහෙන කලකට පසුව ඔපෙරාවක් නිමැවීම වෙසෙසින්ම පැසසියයුතුය. තම නිර්මාණ බැංකුව හිඳෙන්නට පෙර හේ පටන් ගත් තැනින් ඉදිරියටම ගිරි දුර්ග තරණය කර රටේ ජනතාවට පල නෙලා දෙමින්ම, ඔහුගේ ගමන ගොස් ඇත. නමුත් 1963 දී ඔහු කැන්ටාටාවක් නිමැවූවානම් [ඒ පරිචය එවකට ඔහුට ගුත්තිල පඬිට ලැබුණු ගුලි මෙන් ලැබුණායැයි මොහොතකට සිතමු] ඒ කෙසේ ජනයා වැලඳ ගනුදැයි සිතීම භින්න රුචියුත් ඔබට භාර කරමි.
විමලවීර මහත්තයා ගැන කථා කිරීම ආශ්වාදජනකය. මාලිනී ෆොන්සේකා මුලින්ම රඟපෑ චිත්‍රපටිය පුංචි බබාය. තොරානා සමාගම එහි හොඳ කොපියක් වෙලඳ පලට නිකුත් කොට ඇත. මනරම් ගී ගොන්නකින් සමන්විත එහි තිර රචකයාද විමලසිරි මහත්තයාය.
"ඉතාලි නැටුමක් තොගෙන් නටාපිය උඩරට නැටුමක් මගෙන් නටන්නම්
බිංකුණ්ඩෝ තෝ පොතෙන් නටාපිය මං මගෙ තාලෙට හිතෙන් නටන්නම්
තොත් නටාපිය මාත් නටන්නම් බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ..."
ගීයද ඔහුගේ කදිම නිමැවුමකි..
අද පලකරන මේ ගීය පාන්දරක අසිරිය ගැන කියාපාන්නකි... මගේ සිත් ගත් යෙදුම නම් 'තණ කොල' නොකියා 'තණ ගොබ' යැයි කීමය... පරිසරය ගැන අපූරු හැඟීමක් රචකයාට තිබී ඇත. කේමදාසයන්ගේ සංගීත මුසුවේ පසුබිමින් අසෙන බෙර නදත් කඩින් කඩ හැඬවෙන වයලීනයත් මේ ගීය කීවතාවක් අසුවද එපා නොවේයැයි සිතීමට කාරණාය. ධර්මදාස වල්පොලයන්ගේ හඬ තාරුණ්‍යයෙන් පිරී ඇත්තේය. මේ නිර්මාණකරනයට බට සියල්ලන්ගේම තුරුණු බව අරුණෝද වැණුමකින් හෙලිකලා වැණිය.
උදෙන්ම නැගිට, හිස්බඩ වතුර කෝප්ප දෙක තුනක් හෝ බී, වැසිකිලියට ගොස් බඩ නිදහස් කරගන්නා අද දවසේ තරුණ නිර්මාණකරුවනුත් එවන් අරුණෝදයක විශ්මය දකිත්නම් අපේ දරුවන් හැබෑම වාසනාවන්තයන්ය..!
සිරිකත එන මග ලා තණ ගොබ මත පිණිකැට අතුරාලා...
පිරිවර කඳුගැට ඈතින් හිනැහෙයි - මිහිදුම් සළු පොරවාලා...
හිරුරැස් කැටිවෙනවා - ජෝතිය දිලිසෙනවා...
තොල්පෙති පොපියනවා - සිරිදුව හිනැහෙනවා...
රතු සියපතෙකින් නිල් මහනෙලකින් කෙමියට පැණි පිරිලා...
මීමැසි තුඩකින් කඩිසර වැඩෙකින් ඒ පැණි මී පැණි වීලා...
පෙල පෙති පෙළගැසිලා - රජ පෙරහැර යනවා...
සිලිසිලි හඬ නංවා - රහසක් මුමුණනවා...
අඹ දළු ලෙලවා නෙක මල් නලවා සීත සුලං හමලා...
ජය සක පිඹලා වෙණ තත වයලා - හේවිසි බෙර හඬවාලා...
සිරිකත කැඳවනවා - ඇය පෙර මග එනවා...
සිලි සිලි හඬ දීලා - මගේ ගම පිබිදෙනවා...
ගීතය අහන්න...
ඕන්නම් බාගන්න....