සෙනෙහේ පියුම් විලේ....


කුඩාකල පටන්ම මම මුහුදට අසා කළෙමි. ඉඳහිට ගෙදරින් අතුරුදහන් වී මූදු වෙරලට ගොස් පැයක් දෙකක් මූද දිහා බලා හිඳිමින් කාලය ගත කිරීමට මම ප්‍රිය කළෙමි. පුදුමයට කාරණයනම් මූද දිහා බලා හිඳීමට එපා නොවීමයි.  ගොඩබිමත්, ජලයත්, අහසත් එක තැනකදීම ග්‍රහණය කර ගන්නට මා අසා කලා විය යුතුය.  අදද ඒ ආසාව නුසුන් වී පවතී. ඒ භාවනාවට සමවැදුණු කල, මුහුදට උඩින් දෘෂ්‍යමාන වන වලාකුළු නිසොල්මනේ ගුවණේ පාව යද්දී, හැමදාමත්ම මතක් වුණු ගීයක්ද මා හිතේ තවමත් තැන්පත්ව ඇත...

'කොතැනක විසිරී යනවද
නොදැනයි මේ කුළු පාවෙන්නේ...

උණ පඳුරක මල් පිපිලා
ඔබේ පෙමත් ඒ වාගෙයි....

බෑ කියන්න බැරි හින්දද
මා හා ඔබ හිනැහී යන්නේ....'

මේ ගීය ගයන ගායකයා ගැන කිසිම නිච්චියක් මගේ හිතේ නොපැවතීමගැන මටම පුදුමය. ඒත් පසුගිය දිනක සරසවිය පුවත්පත බලද්දී  ඔහුගේ විස්තරය මගේ නෙත ගැ‍ටුණි. ලිපිය අග ලිපිනයත් දුරකථන අංකයත් වුණි....

"හලෝ මේ විජය සිරිවර්ධන පොලොන්ඕවිට මහත්තයද?"

"ආ ඔව්...."

මට ඔහු හමුවීමට අවශ්‍යබවත් ඔහුගේ නවතම සී ඩී පටය ලබා ගැනීමටත් වුවමනා බව පවසා ඒ වෙනුවෙන් දිනයක් ඉල්වීමි.
ඉතා කැමැත්තෙන් ඒ ඔහු මට ලබා දුනි.

සවස තුන පමණ වන විට මා ඔහු කියූ ඉසව්වට ගොස් නැවත දුරකථන ඇමතුමක් දුනි.

"ආ දැන් කොහෙද ඉන්නේ මම මේ දැන් බස් එකෙන් බැස්සා විතරයි - උදේ ගිය ගමන පරක්කු වුණා...""

බසයෙන් බැස පාර හරහා මාරු වෙන ඔහුගේ රුව මට එසැණෙන් දිස්වුණි...

කෑම කා නිවිහැනේ පැමිණෙන්නැයි මා කියත්දීත් "මට විනාඩි පහක් දෙන්න"  කියා ඇඳුම් මාරු කොට මා ඉදිරියෙන් හේ වාඩි වුනි....

අප දෙදෙනාගේ කථාව බොහෝ දිගට ඇදී ගියේය...
රන්ගිරි දඹුලු සේවාවේ ප්‍රචාරය වුණු ඔහුගේ වැඩසටහනක් හරහා ඔහුට සම්බන්ධ වුණු රසිකයෙක් සී ඩී එකක් කරන්නැයි ඔහු අත සැලකියයුතු මුදලක් තබා ගොස් ඇත. ස්ථීර ‍රැකියාවක් හෝ නොමැති දරු තිදෙනෙකුගේ පියෙකු වන ඒ රසිකයා [මතුගම චමින්ද] එලෙස කලේ ඇයිදැයි පොලෙන්ඕවිට මහත්තයාට තාම නොතේරේ. දැන් ඔහුගේ බලවත් උත්සාහය මේ සී ඩී තැටිය විකුණා මුලින් ලැබෙන එමුදලින් හැකි ඉක්මණින් අර ණය ගෙවාදැමීමය. දයාබර බිරිඳගේ කණකර ගැන කියනුම කවරේද?

මම අම්මට බොහොම ආදරෙන් හිටියේ... තාත්තා මලාට පස්සේ මගේ දෑතින්ම බොහෝ කාලයක් ඔත්පල වුණු අම්මව බලාගත්තා...

"විශාඛාව ඔබ මා දුටු බුදු සිරිතේ...
යශෝධරා ඔබ මාදුටු බුදු සිරිතේ... 
මහමායා ඔබ මා දුටු බුදු සිරිතේ... 
මාදුටු බුදු සිරිතේ..."

ඒ ගීය එපමණ හැඟීම් බරව ගායනා කරන්නට වෙන පරිචයක් කුමටද...???

"මම දවසක් බෙලන්විල පැත්තේ යනකොට බොහොම ලස්සන මලක් දැක්කා පිපිලා තියනවා......"
හේ තව කථාවකට මුලපුරයි.... ඒ විස්තරය කියා නිමකොට
"ඕක ඇසුරෙන් මට නිකම්ම පද යෙදිලා ගීයකුත් නිර්මාණය වුණා... ඒක  තමා....
සෙනෙහේ පියුම් විලේ... - කියන  සින්දුව
" කියා හේ  මදක් එය ගායනා කොට පෙන්වීය....

ඒ මොහොතෙහි මම කාලාර්ථයෙහි තීර්ථ යාත්‍රිකයෙක් විය....
මා ඉමහත් ආදරයක් දැක්වූ ඒ ගීය ගායකයාගේම කටහඬින්ම අවුරුදු විසිපහකට තිහකට පසුව අසන්නෙමි...!!!!
සිහින් කඳුලු පටලකින් මා දැස තෙත්ව ගියේ ප්‍රීතියටද විශ්මයටදැයි නොදැනිමි....

බොහෝ ප්‍රසිද්දියට පත් නොවූ මෙබඳු ගායක ගායිකාවන්ගේ වර්තමාණ ඉරණම එතරම් සතු‍ටු දායක නැත. ඒත් ඔවුනගේ නිර්මාණ සිංහල ගීතාවලියේ මහරු මිණි ලෙස තවමත් පවතී... උදාහරණයන් ලෙස ජේ ඒ ධර්මරත්න [නුවන් කැළුම් වතුරේ පීනා නොයන් ලඳේ...] ත්‍යාගා එන් එඩ්වඩ් [පියවර තබනා හඬින් පවා....]

තවත් බොහෝ දෙනෙකි, නාලිනි රණසිංහ, ඉන්ද්‍රා කුමාරි විජේරත්න, අතුල සෝමසිරි, වින්සන් රත්නායක [බිඟු වැල රොන් සොයලා, මල් ගොමු තුල සරලා], නොයෙල් ගුණරත්න [සැනසී නුවන් තලාවේ හිඳිමී දිවා‍රැයේ]...

කඳුලු වලින් යා හැකි දුර සීමා සහිතය... ඔවුන් සියලු දෙනා වෙනුවන් ඊට වඩා ස්ථීර සාර යමක් කිරීමට බලවත්ව සිතා ඉමහත් භක්ත්‍යාදරයෙන් යුතුව ඔහුට සමුදී සී ඩී තැටියත් ගෙන එළියට බැස්සෙමි....

සෙනෙහේ පියුම් විලේ....
පියුමී පියුම් ලොවේ....
තොල් පෙති විදහා මා දිහා...
ඉඟියක් මොකෝ කලේ...

සිසි කිරණ මැදින් එමි සිහින දොලින්....
සිප ගැන්මට ඔබේ මුව සුහද සිතින්...
හද කවුළු අයා ඔබේ දෙනෙත බලා...
සනසන්නට එමි ගී මධුර තතින් - මධූර තතින්

සෙනෙහේ පියුම් විලේ....
පියුමී පියුම් ලොවේ....

මල් රේණු සලා ආදරය කියා...
පිළිගන්න සිතා සිටියාද ඔයා...
අද නෑ දු‍ටුවේ මොනවාද උනේ....
පාලුවේ අද මා මෙහි තනි කෙරුවේ ඇයි පියුමී...

සෙනෙහේ පියුම් විලේ....
පියුමී පියුම් ලොවේ....
තොල් පෙති විදහා මා දිහා...
ඉඟියක් මොකෝ කලේ...

 සින්දුව අහන්න...

39 comments :

  1. මුහුද දිහායි තරු පිරිච්ච රෑ අහස දීහයි කොයි තරම් වෙලා උනත් බලන් ඉන්න පුලුවන් තිස්ස අයිආ. එපා වෙන්නෙ නෑ.
    මේ සින්දුවත් ඉතින් අද තමයි මුලින්ම ඇහුවෙ.

    ReplyDelete
  2. පුදුම වැඩක් තමා මලේ.

    ඒක වෙන්නෑති අර ටී එම් කියන්නේ;

    "රෑ තරු රෑනේ - හිතේ පැතුම් ලියා තියා.."

    කියලා

    ReplyDelete
  3. සිංදුව නන් අදයි ඇහැව්වෙ අයියා.. කොහොමත් අයියා දාන සිංදු කවදාවත් අහලා නෑනේ..

    මුහුද දිහා බලං ඉන්නවා තරං සතුටක් කොහෙද අයියා..

    රන්වන් ඉර එලිය
    ගිල ගනිද්දි සුදු වෙරළ හූරාගෙන
    රන්වන් පැහැයෙන්
    ඇත බැස යන හිරු එලිය
    දෝතින් තුරුළු කර
    බලා සිටියා සත්තමයි
    තවත් එක මොහොතක්...

    ReplyDelete
  4. හප්පට සිරි - සංගීතේ ඩිංගිත්තක් හරි පුලුවන් වුනානම්, ඒකට තනුවක් දාලා ගන්ට තිබ්බා.

    ReplyDelete
  5. මුහුදු වෙරළ, සිතිජය, රැළි රළ ඕනතරම් බලා ඉන්න පුලුවන්, එපා වෙන්නේ නැහැ. මුල් ඡේදයේ මුහුද ගැන සටහන ගැන ඉහළින්ම එකඟයි.

    ලස්සන, ප්‍රිය සිංදුවක් තෑගි කරාට පිං දීගෙන ආවත්, සිංදුව අහන්න වෙන්නේ පසුව. ලෝකයේ තවමත් ඉතිරිවී ඇති සුන්දර තැන් මතුකර ඔබේ සටහනට බොහෝම තුතියි මහත්මයෝ.

    ReplyDelete
  6. තව ටිකක් ඒ ඇසුරේ ඉන්න තිබුන අවස්ථාව නැති කල නරුමයා කවරෙක්ද..?

    ReplyDelete
  7. හෙහ් හෙහ් හෙහ් මෙහෙමත් මතකයක් අම්මපා!!!

    ReplyDelete
  8. "ලෝකයේ තවමත් ඉතිරිවී ඇති සුන්දර තැන්" සහතික ඈත්ත ගල්මල් මහත්තයෝ

    ReplyDelete
  9. "විශාඛාව ඔබ" ගීතය අහලා තිබ්බට දැනන් උන්නෙ නෑ නෙවැ කවුද කියන්නෙ කියලා.. හැමදාමත් වගේ තිස්ස අයියාට පිං..

    මේ සිංදුව ටිකාක් විතර ෆාස්ට් යන ගතියක් තියේ කියලයි මට හිතෙන්නෙ, තව චුට්ටක් ස්ලෝ වුනානං මීටත් වඩා ක්ලැසික් වෙයි.. අනේ මන්දා, ඒ මට හිතෙන හැටි.. :)

    ReplyDelete
  10. බුරා හරි: මේකේ ඔරිජිනල් එක මට හම්බවුනා - ඒක ටිකාක් විතර ස්ලෝ - ඒ වුණාට සවුන්ඩ් කොලිටි හොඳටම සවුත්තු වෙලා - මේකේ මියුසික් නම් හොඳා ටිකක් ස්ලෝ වෙලා - ජයන්ත රත්නායක තමා සී ඩී එකේම මියුසික් කරලා තියෙන්නේ

    ReplyDelete
  11. තිස්ස අයියා මේ සිංදුව නම් මරු.....අද තමා ඉස්සෙල්ම ඇහුවේ....අයියගේ ප්‍රශ්නේ අද රටේම තියෙන ප්‍රශ්නයක්....ඇයි මෙහෙම ගායකයෝ නන්නත්තාර වෙන්නේ?රසිකයාගේ වැරුද්දක්ද?නැත්තම් කාලයේ වැරුද්දක්?

    ReplyDelete
  12. පොලොන්නෝවිටයන්ගේ "විශාකාව ඔබ මාදුටු බුදු සිරිතේ" ගීතයට මා ගොඩක් ඇලුම් කරමි.


    අතීත මතකය අවදි කල ඔබට පිං තිස්ස . . .

    ReplyDelete
  13. මුහුදට මමද ආදරය කරමි. පැය ගනනක් එදෙස බලා සිටීමට මමද ප්‍රිය කරමි. "විශාකාව ඔබ" ගීයද "සෙනෙහේ පියුම් විලේ" ගීයද මීට පෙර අසා ඇති මා ප්‍රිය කළ ගීය. නැවත මතකයට නැංවූවාට ස්තුතියි.
    මැණික්

    ReplyDelete
  14. තිස්සයියා! සිංදුව අහලා නං නෑ. ඒත් ඔයා ඔයාගේ අත් දැකීම විස්තර කරපු විදිහට කියවන්න මට ආසකලා. ඉඳහිට පත්තරේක කියවලා මතක හැටියට ගොඩක් පරණ නම නොගිය හැංගිච්ච කලාකරුවන්නේ අද තත්ත්වය ඕකයි. මට ටක් ගලා මතක් උනේ හරූන් ලන්ත්‍රා. එතුමත් මීට වඩා අන්ත තත්ත්වයකද කොහෙද තමා හිටියේ ඒ දවස්වල...

    ReplyDelete
  15. මකුළුවා: මාර ප්‍රස්නයක් නේ බං ඇහුවේ.. රසිකයෝ නම් අවුලක් නෑ කියලා අද කට්ටියත් මේවාට කැමති කමෙන්ම පේනවා නෙව. ලංකාවේ සාහිත්‍යය කලාව ගලාගෙන ආපු වේගයක් තිවුනා හැත්තැවේ අග විතර වෙනකල් යම් ප්‍රගතියකුත් එක්ක - ඒවා ඔක්කොම ඊට පස්සේ නැතිවෙලා හැම එකක්ම විකිණෙන්න ගත්තු නිසා මෙහෙම වුනා කියලයි මටනම් හිතෙන්නේ... ඊට පස්සේ ඉතින් කවුරුවත් කලාවක්, වෘත්තියක්, රකින්න වෙහෙස වුනේ නෑ.. හයිය හත්තිය තියෙන අය ඉස්සරහට ගියා... දුර්වලයෝ මග හැලුණා... අද වෙනකොට පල නෙලන කාලය ඇවිත් තියේ - ඔය මගේ උත්තරේ - වෙන සාධාරණ උත්තරත් තියෙන්නෙ පුලුවන

    අකාස කුසුම්: ස්තූතියි ආකාස කුසුම් :-)

    මැණික්: ඔබව දු‍ටුවේ ටික දිනකින්.. :-)

    වන්නි: ලන්ත්‍රා මාස්ටර් උගුරින් දැන් සද්ද්යක් පිටවෙන්නෙම නෑ - කථාකරන්නේ අතින් - සිහිය නම් හොඳින් - ඒත් බොහොම දුර්වලයි සාරීරිකව...

    ReplyDelete
  16. ගීතය කීහිප වතාවක් ඇහුවා. ඔබ පොස්ට් එකේ සඳහන් කර ඇති ගායක ගායිකාවන්ගේ නිර්මාණ පේළියට හිතට එනවා.

    පරණ සින්දු කියලා වර්ග වෙලා තිබුණත් ඒ ගීත අදටත් මොනතරම් ජනප්‍රිය ද කියන එක කාලෙකට කලින් ගැවසුන සිංහල ගීත හා සාහිත්‍ය හවුල් දෙකක දී දුටුවා, විශේෂයෙන් අපිට බාල පරපුරේ උදවිය අතරේ. මගේ අදහස ප්‍රශ්ණය රසිකත්වයම නෙවේ, ඒ නිර්මාණ එළියට දාන්න ඇති ඉඩ ඇහිරීමත් එකක්.

    එවන් තත්වයක මේ පොස්ට් හරහා ඔබ කරන මේ කාර්යය ලොකු දෙයක්, පිං.

    ReplyDelete
  17. හෘද්‍යාංගම සටහනටත්.. ලස්සන සිංදුවටත් ස්තුතියි අයියා..

    ReplyDelete
  18. කට හඬත්,සින්දුවත් හරිම අගෙයි..මේ සීඩී එක තාමත් කඩවල්වල ගන්න තියේද තිස්ස මහත්තයෝ..?
    ආ..අනිත් සින්දු ටික අහන්න ලැබෙන්නේ කවදාද?

    ReplyDelete
  19. ගල්මල් මහත්තයා ඉතින් හොඳ රසවතෙක් නෙව මෙව්වයේ. මෙතැනින් නොනෑවතී ඉස්සරහට යමක් කරන්න හිතේ තියේ - ඒකටත් මට ගුරුහරුකම් ලැබේවි කියා හිතනවා

    චතුර මල්ලී: කියලා වැඩක් නෑ දැන් මේ සින්දුව සියගමනකට වඩා අහන්න ඇති - ඒත් මදි - ගෙදර අයත් විහිලු කරනවා දැන් :-)

    රූ: ඔව් ඔව් රූ නෝනේ මේක උණු උණු සී ඩී එකක් - ඒකයි සින්දුව ඩවුන්ලෝඩ් කරන්න නොදෑම්මෙත් - විජය මහත්තයා ඉන්නේ පැපිලියානේ - කඩවල නෑත්නම් උන්නැහේගේ ගෙදරින් ගත හැකි - මෙන්න ලිපිනය - 156/1 විද්‍යාල මාවත, පැපිලියාන, බොරලැස්‌ගමුව

    අනෙක් සින්දුත් ඉක්මනටම දාන්නම් - මහන්සියේ තරමට ප්‍රතිපල තියේ - දෑන් සින්දු ගොඩාක් හමුවුණා සොයාගන්නම අමාරු :-)

    ReplyDelete
  20. ස්තුතියි තිස්ස අයියා..

    ReplyDelete
  21. හෙට තමයි අහන්න වෙන්නේ.

    ReplyDelete
  22. මමත් පුදුම තරම් ආසයි මුහුද දිහා බලාගෙන ඉන්න..... ඉස්සර පානදුරේ ඉඳන් කෝච්චියේ ගෙදර යද්දි මුහුද නිසසලව තියෙන හැටි බලාගෙන හිතින් ඒ මතින් ඇවිදගෙන යනවා
    ඉස්සර මගේ ලිස්ට් එකක් තිබුනා කොච්චර බලං හිටියත් එපා නොවන කියලා දේවල් කිහිපයක්. දැන් ඉතිං තව එව්වා ඒකට එකතු වුනත් පරණ ලිස්ට් එක මං කියන්නම්.
    මුහුද
    තරු පිරුණු අහස
    ඉර බැහැගෙන යන අහස මුහුද අද්දරදී
    ලස්සන ලස්සන මාළු

    ඉර බැහැගෙන යන අහසෙ වළාකුළු මවන රටා බලාගෙන මං වෙනම රටක් මවා ගන්නවා ඒකේ
    ඒකේ කාර් යනවා මිනිස්සු යනවා ගෙවල් තියෙනවා ගස් තියෙනවා වනාන්තර තියෙනවා
    හි හි පුදුම ලස්සන රටක්........... කොටුව ඉස්ටේසමෙන් පස්සේ රට මාරු වෙනවානේ....... ඒත් ඒ රටට මං තාමත් කැමතියි

    ReplyDelete
  23. කාලෙකට පස්සෙ අහන්න ලැබුනෙ......

    මුහුද ,වෙරළ, සිතිජය ඊට වඩා සොඳුරු තැන් තියනවද?

    ඔය පරන සිංදු ටික මෙතනට එකතු කරන එකට පිං

    ReplyDelete
  24. මේ තාම ලංකාවෙද ඉන්නේ? මාර පොරක් නේ...

    ReplyDelete
  25. ලස්සන සිංදුවක් නේ.. පියුමී කිව්වම මගේ ප්‍රථම පෙරේමය සිහි වුණා නේ...කාලෙකට පස්සේ...

    ReplyDelete
  26. මෙතුමගෙ අර "උණ පඳුරේ" ගීතය කාලෙකට පස්සෙ රෑ ඉර පානෙන් ඇහුව. වටින මිනිහෙක් කලෙකින් ආයි එළියට එන එක ගැන සතුටුයි.

    හිතට හරි වදයක් වෙලා තීන ඒත් මෙතනට අදාල නැති ප්‍රශ්ණයක්.
    ටියුඩර් ජයශාන්තගෙ "ප්‍රසිද්ද විරහ ගීතයක්" තිබ්බ, පුළුවන්නං මතක් කරල දෙනවද?

    ReplyDelete
  27. රවා: ජයවේවා මල්ලියේ..

    රන්දිල්: මරු කථාව - කෝච්චි ගමන හරහා රටේ හරස් කඩක්... කවුරුවත් කලින් මෙහෙම හිතුවද මන්දා

    නිශ්: හ්ම්ම්ම් එහෙමනම් නිශ්ගේ රෑනේ මමත් ඈ :-)

    පැතුම්: නෑ නෑ අම්මේ නෑ - ඒත් ගෙදරත් එක්කමයි ජීවත් වෙන්නේ...
    ම්ම්ම් මම හිතුවා ප්‍රථම ප්‍රේමය ජයගන්න ඇති කියලා -

    ඉන්දික: ආයිබෝං මචෝ - ඒ මනුස්සයා මනුස්සකම පිරිච්චි කෙනෙක් ඉන්දික - මට හරිම සතු‍ටුයි මුණ ගැහුණට..

    " මගේ දෑසේ කඳුලු තව දෑසක සතු‍ටු කඳුලු වේ...
    අද ඇය නැත මට හිමි නැති මගුල් පෝරුවේ.."

    මේකද ? - මේක හැබැයි මිල්ටනුත් කිව්වා

    ReplyDelete
  28. තිස්ස,

    "ඇය අද ඇත මට හිමි නැති මගුල් පෝරුවේ.."

    අන්න හරි මචං, ඕක තමයි.

    ඕක අයිති ට්යුඩර් ජයශාන්තටම කියලයි එයානං කිව්වෙ. එතුමගෙ පුතයි මායි එකට ස්කූල් බෑන්ඩ් එකේ හිටිය. දවසක් ප්‍රැටිස් කරල මරදානෙ ඉඳන් කෝච්චියෙ එනකොට දරය (දර්ශන ජයශාන්ත ) ඔය සින්දුව කියන්ව ඇහිල අංකල් කෙනෙක් අපිගාවට ඇවිත් කතා කරා. බලනකොට ඒ ඔය "විජේසිරිවර්ධන පොලොන්නෝවිට". ටියුඩර් ජයශාන්ත ගැන රෑ ඉර පානෙ පළවෙනි වැඩසටහනේදි කතාකරාම මට ඔය සිද්ධිය මතක් උනා. ඒත් වචන මතක නැතිව හරි අසහනයකින් වගේ එකකින් උන්නෙ. අද මෙතන පොලොන්නෝවිට මහත්තය ගැන ලියල තිබ්බ නිසයි සින්දුව මතකද කියල ඇහුවෙ. බලහන් මොන විදියට මේ සිදුවීම් ගැලපෙන්නෙ!

    ReplyDelete
  29. ඉන්දික: "බලහන් මොන විදියට මේ සිදුවීම් ගැලපෙන්නෙ!" කියලාම වැඩක් නැත - අවසානයි - !!!!!

    ReplyDelete
  30. අර හකුරුයි කහටයි සීන් එක මතක් වෙලා මම පහුගිය දවස් ටිකේ හිත හිත හිටියේ... ඒක මේ සැරේ මිස් වුණා නේ.. එදා හම්බ වුණාට පස්සේ මම හැම වීකෙන්ඩ් එකේම මොකක් හරි වැඩක් නිසා හිටියේ නෑ... ඊළඟ පාර ට කල් දාමු..

    ප්‍රථම කිව්වේ සිරාවට ට්‍රයි කරපු ප්‍රථම එක... නිකං 50%ක් මගෙන් සහ 30% ඇගෙන් සහ ඉතිරි 20% වටෙන් වගේ සීන් එකක්... හැබැයි මම ඒ බොළද ලව් එක නිසා පොතකුත් ලියල.. සර් ආතර් සී ක්ලාක් වත් මීට් වුණා.. හැක් හැක්.. ඉතින් කොහොම අමතක කරන්න ද...

    ReplyDelete
  31. ගීවල අගය තවත් වැඩි වෙන්නෙ, ඊට පසුබිමින් ඇති කතාව නිසා. බොහොම ස්තුතියි.

    ReplyDelete
  32. //මෙතැනින් නොනැවතී ඉස්සරහට යමක් කරන්න හිතේ තියේ// - අපෙන් කරන්න පුලුවන් ඕනදෙයක් ඒ වෙනුවෙන් සහෘදයා. තවත් බොහෝ අයගේ සහයෝගය ලැබේවි.

    ඔබේ ඒ වචන පෙලත් එක්ක මගේ මතකයට ආවේ කාලෙකට කලින් යෝගී, පාලි, බුරා අතුලු අපි අතර මේ අඩවියේ වූ අදහස් හුවමාරුවක් ගැන.

    ReplyDelete
  33. හරිම රසවත් ගීත ටිකක්, පියවර තබනා හඩින් පවා, විශාකාව මෙන් මා දුටු බුදු සිරිතේ ගීත අපි කොච්චර ඒ කාලෙ රස වින්දාද? දවසක් ත්යාගා අක්කා සමඟ රූපා ඉන්දුමතී සහ ස්වර්ණලතා කවීශ්වර සහ යමුනා මාලනී වැඩසටහනකට ආව රූපවාහිනියේ , එදා කාලෙකට පස්සේ එයාලගෙ ගීත ඇහුවා. හරිම වටිනවා තිස්ස මේ හද ගී පොත. ජයම පතනවා ඔබට. මේ සත්කාරය දිගටම කරගෙන යන්න ලැබේවා!

    ReplyDelete
  34. තිසා මේ සී ඩී එක මිලදී ගන්න විදිහක් කියපන් . . .

    අපි පොඩි කැම්පේන් එකක් කරමුද මේ සී ඩී එක විකුනලා මේ අපූරු ගායකයාව දිරිමත් කරන්න .. ?

    ReplyDelete
  35. '' විශාකාව '' ගීතය මගෙත් ආසම ගීයක් . තිස්ස අය්ය නැත්නම් කවද ඕවා අයි අහන්නද . මේ ගීතය නම් අහල පුරුදු නැහැ වගේ . මුහුද දිහා බලන් ඉන්න එක එපා නොවෙන්නේ ඉමක් කොනක් නැති මුහුද ඉස්සරහ අපි කුඩා බව දැනිලද නැත්නම් අපිටත් ඒ සුවිසල් බවෙන් බිඳක් ලැබිලද එහෙමත් නැත්නම් කිෂිතජයෙන් එහා ඇති ලෝකය නොපෙනෙන සාන්කාවටද ..මේ සේරම නිසාද කියල මමත් හැමදාම හිතනවා . කොපමණ ආස වුනත් ඇති වෙනකම් මුහුද දිහා බලන් ඉන්න නම් කවද වත් ලැබිල නැහැ . එක එක තැන්වලදී මුහුදේ වර්ණයන් ගේ වෙනස හැමදා ම මම ප්‍රිය කල දෙයක් .

    ඉතින් මේ වගේ පරණ ගායකයින් නැවත අප අතරට ගෙන එන එක ගැන ඔබට බොහොම ස්තුතියි . මැණික් ගරන මිනිසෙක්ට මැණිකක් ලැබුන වගේ දැනෙනවද මේ වගේ ගීයක් ලැබුනම

    ReplyDelete
  36. දුකා කිවුවහම තමා මටත් හිතුනේ.. ඔන්ලයින් ඕඩර් කරන්න ක්‍රමයක් තියෙනවානං ඕක උණුකැවුම් වගේ යයි.. රටින් පිට ඉන්න අයට ඕවා මාර වටිනවා..

    ReplyDelete
  37. පැතුම්: කීවත් වාගේ කිතුල් හකුරු කිලෝ දෙකක් ඉතර ඇරං ආවා මේ පාර :-)
    50 : 30: 20 ඈ...! හ්ම්ම් පැරෙටෝ කියන්නෙත් 20% තමා ඔක්කොම සීන් එක තියෙන්නේ කියලනේ නේද?

    නලිනි: හනේ අම්මේද කියන්නේ... මිනිස්සු ගැනනම් ඒකේ අනෙක් පැත්ත නේද?
    ජයවේවා ගොඩ වුනාට

    ගල්මල් මහත්තයෝ: ඒ වාගේ වැඩක් මත් නෙමේ; මේක අර අමාරුවෙන් ජීවත්වෙන ගායකයනට ඍජුවම උපකාරයක් ලැබෙන දෙයක්

    චාන්දි: ඒකනම් එහෙම තමා නෝනේ...!!

    දුකා / බුරා: උන්නැහේට කථාකලවෙලාවක මටත් ඕක හිතුනා: තොගයක් අරන් එවන්නනම් පුලුවන් මට දුකාට 20 යි බුරාට 20 යි - කාටවත් පාඩුවක් නොවෙන්නනම් යන එන කෙනෙක් අතේ එවන එක තමා ලාබ - සී ඩී 50 ක් වාගේ විකිණුනොත් පොලොන්ඕවිට මහත්තයට ලොකු දෙයක් වේවි...
    අපට එහෙම පොඩි සර්විස් එකක් පටන් ගන්න බැරිද මචංලා...? හොඳම සින්දු තියන සීඩී වර්ග 50 ක් හෑටක් වාගේ මාලඟ තියේ... එව්වා සල්ලි වලට අරන් එව්වත් වටිනවා.. තොරානා සයිට් එකේ තියෙන්නේ සීමිත ප්‍රමාණයක් - ගල්මල් මහත්තයත් එක්කත් කථාකරලා බලන්න ඕනේ..

    බින්දි: කියලා වැඩක් නැ බින්දි; දැන් ගෙදර ඇත්තනුත් සිනහ සිතින් මෙව්වා ඉවසනවා...
    රෝහණ බැද්දගේ වරක් කීවා ඔය බෙර වලට දාලා තියෙන්නේ ඉර බැහැගෙන යනකොට මුහුදේ ඇතිවෙන පාට කියලා...

    ReplyDelete
  38. Mata polonnowita mahathage lipinayath phone ankayath laba dennenam isthuthi wantha wemi.

    ReplyDelete
  39. 156/1 විද්‍යාල මාවත, පැපිලියාන, බොරලැස්‌ගමුව

    ReplyDelete

 
Blogger Wordpress Gadgets