නිල් වන ලන්දේ මල් මකරන්දේ...

නිල් වන ලන්දේ මල් මකරන්දේ
අසිරි හිමව් පෙත හොබවමිනා
කිඳුරු සමින්දේ මෙසඳ නිබන්දේ
නුරා මුකුලු ලොබ උපදවනා

කින්නර ලන්දූ දැක හද බැන්දූ
ආලමතින් මන්තොස වඩනා

ගිරිකුළු උරමඩලින්ද
තෙදබල නෙතු කැල්මෙන්ද
නුඹ හිමි කිඳුරු සමින්ද - මට ඔබිනා

දේදුනු බැම සඟලින්ද
රෑන වලා මුහුලින්ද
දියපිට පියුමක් මෙන්ද - නුඹ දිලෙනා

මේ වන පුෂ්ප සුගන්දේ
නේක තැවුල් හද සින්දේ
පෙම්බර කිඳුරු රජින්දේ - මගෙ සරණා

රාග හැඟුම් කළඹාලා
පියොයුරු වටකුරු ලීලා
සැනහෙමු පෙම් සිතුලෝලා
වන අරණේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...

අජන්තා රණසිංහ / සරත් දසනායක / වික්ටර් - නන්දා මාලිනී / 'මුවන් පැලැස්ස 2'
Read More!

My Dreams are Roses for My Love...

හද ගී පොත බ්ලොග් අඩවිය පටන්ගත්තේ මා කුඩා කාලයේදී නිතැතින් ඇසුණු, දැන් ඇසෙන්නේම නැති බොහෝ සිංහල ගී අනෙක් අයත් සමග බෙදා හදාගැනීමේ අරමුණෙනි. ඒ ඇසූ ගීත, පොතක් ලෙස එක්තැන් කරගැනීමේ ආසාව ඇතිවූයේ ඊටත් බොහෝ කලකට පෙරය. එකල අප්පච්චී ලංගම වේරහැර වැඩපොලෙහි වැඩ කරන කාලයේ ඉඳහිට මා එහි කැඳවාගෙන යයි. මා යතුරු ලියනයක් අතපතගෑවේ මට අවුරුදු හයක් පමණ වූ ඒ කාලයේදීය. මේ 70 දශකයේ මැද භාගයයි. සිංහල ගීත, නාටක, චිත්‍රපටි ඒවායේ කාලාත්මක භාවයන්ගේ උපරිමය ප්‍රදර්ශනය කල කාලය ඒ ලෙස මා සලකමි. මාධ්‍යයන් සාමාන්‍ය ජනයා විසින්ද, මාධ්‍ය විසින් සාමාන්‍ය ජනයාද එකිනෙකා පෝෂණය කල ලංකාවේ අවසාන යුගය එය විය. සාමාන්‍ය ජන රුචිය මේයැයිද, විදග්ධ රුචිය මේයැයිද වෙන්කල නොහැකි වූ මෙකල, රාජ්‍ය ආයතන බොහොමයක් රසාලිප්ත සාහිත බීජ නැවත නැවතත් වැපිරවූ සරු කෙත්බිම් විය. අප්පච්චීගේ මිතුරන් සමග ගිය බොහෝ විනෝද චාරිකා වලදී අපට අසන්නට ලැබුනේද එබඳුම රසවෑහෙන ගීතම පමණි.

"සැමන් පින්ක්" යනුවෙන් හඳුන්වන රෝස - තැඹිලි ලිපිගොනු කවර වගයක් එකල ලංගමයෙහි භාවිතා වුණි. එබඳු පරණ ෆයිල් කොලයක් කවරයට යොදා, කොලපැහැ ටැග් ලේස් එකකින් ඇමිණූ, සිංහලෙන් යතුරු ලියනය කල "කාන්ති වක්වැල්ල" ගේ ගීත පොත මා අතට පත්වූයේ වේරහැර වැඩපොලට ගිය එබඳු ගමනකදීය. ගීත පොත් පිලිබඳ කළලයක් මගේ සිතේ පිලිසිඳ ගත්තේ එලෙසදෝහෝයි දැන් සිතේ. ඒ ගීත පොත මෑතක් වන තුරුම අප නිවසේ තිබුණි. දැන් ලොව කොයිදෙස ගියත් අතුරුදැලක් ලඟ ඇත්නම් මම කැමතිම ගීත ගොන්න මගේ පිටුව හරහා රසවිඳීමට මට බාධාවක් නැත. ඒ වෙනුවෙන් අප රටත්, සමාජයත් කර ඇති කැපකිරීම කථාකිරිම පසෙක තියෙම්වා. මේ ගීයද මගේ කණට ඇසී ඇත්තේ ඒ කුඩා අවදියේමය. එහෙත් අවුරුදු විස්සකින් පමණ මෑතකදී මෙය නැවතත් අසන්නට ලැබුණි.

සිංහල ගීයක් නොවන ගීයක් හද ගී පොතෙහි සටහන් කරන්නේ මේ දෙවැනි වරටය. සුනිල් ශාන්තයන් විසින් මුලින්ද පසුව අයිවෝ ඩෙනිස් ශූරීන් විසින්ද ගායනා කල මේ ගීයෙහි පද අඳුනා ගැනීම මට බෙහෙවින්ම අපහසු විය. අප්පච්චීට දුරකථන ඇමතුමක් ගතිමි...

"ආ ඕක අර ජී ඩී එල් පෙරේරා ගේ දහසක් සිතුවිලි ෆිල්ම් එකේනේ... අර නිලන්ති විජේසිංහයි ජෝ අබේවික්‍රමයි නේ ඕකේ රඟපෑවේ..."

අම්මා ලියාදෙන බඩු ලැයිස්තුවෙනුත් දෙතුන්කට්ටුවක් අමතක වන ඔහුගේ සිත දශක කිහිපයක් එපිටට නිවැරදිව ඉගිල යන සැටි පුදුම සහගතය. වැඩේ හරිය, දැන් ඉතින් මගේ කාරිය ඔහුට කීමි. පසුදා ඔහු මාව දැනුවත් කලේ මෙලෙසිනි..

"පුතේ මං සරසවියට කථා කරලා අයිවෝ ඩෙනිස් මහත්තයාගේ නොම්මරේ සොයන් ගෙදෙට්ට කථා කලා... ඒ මහත්තයා හිටියේ නෑ.. පුතා හිටියේ... හැන්දෑවේ කථා කරන්න කිව්වා.. සොයාගන්න පිළිවන් වේවි.."

මගේ සිත මහත්ම සොම්නසට පත්වූයේ අප්පච්චී ඒ ගැන ගන්නා උනන්දුව නිසාමය. අතුරුදැල පරිහරණය උගත්තේ නම් ඔහු මට වඩා හොඳට මේ කාරිය කරණු නිසැකය. මුද්දරයක් ගැසූ ලියුම් කවරයක් එවන්න යැයි කියූ අයිවෝ ඩෙනිස් මහතා ගීයෙහි පදවැල් නොපමාව අප්පච්චීට එවා තිබිණි. ඉනික්බිති මගේ ගෙදර ඇත්තන් විසින් පිටපත් කර ඊ තැපෑලෙන් මා වෙතට එවන ලදී.

සිංහල අතුරුදැලෙහි දක්ෂ කවිකිවිඳියන් බොහෝය. සොඳුරු සිත, මන්දාකිණිය ලියනා නිමන්ති, උල්පත ලියනා නෙතු, හදපතුල ලියන චතුර ඒ අතුරින් මම බොහෝ සෙයින් කැමති කවි ලියන්නන්ය. කවි ලිවීම ප්‍රතිභාවක් ඇත්තවුනට පමණක් හිමි කාරියකැයි මට හිතෙන්නේ මම ඒ කෙරෙහි දක්වන අසමත් කම දුටුවිටදීය. එහෙත් ගරු මර්සලීණු ජයකොඩියන් පියතුමන් විසින් විරචිත මේ රස වෑහෙන පදවැල් දුටුවිට මට තතන තතනා හෝ මා සතු අල්ප ඉංග්‍රීසි සාහිත දැනුමත්, නොදියුණු කවීත්වයත් යොදාගෙන එහි පරිවර්තනයක් කිරීමට සිත්විය. ඉංග්‍රීසි පදවැල් කියවා, ගීය රසවිඳ, අවදානමක් ගෙන මගේ පරිවර්තනය කියවන්න. රසභාව බිඳුනහොත් වගකියනු නොලැබේ! සංගීත භාණ්ඩ දෙකකින් පමණක් සංගීතය යෙදූ මේ ගීයේ සුමධුර තණුව ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේය. දහසක් සිතුවිලි චිත්‍රපටය තිරගත වී ඇත්තේ 1968 දී පමණය.

My Dreams are Roses for my love
I drop them down for her feet
walk on them softly my love
your feet will make them more sweet

Love is love only
When love is in love with love
I am so lonely
Come my love and love my love

Don't wake them don't break them my love
Walk on them softly and come
They are my dreams of your love
I am lonesome come my lovesome

Love is love only
When love is in love with love
I am so lonely
Come my love and love my love

My Dreams are Roses for my love
I drop them down for her feet
walk on them softly my love
your feet will make them more sweet

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...


"සෙව්වන්දි සේ පිපේ මා සිහින ඔබ කෙරෙහි
පුදන්නෙමි ඒ ඔබේ දෙපා මුල සෙනෙහසිනි
එනු මැනව සිහින මල් මතින් මුදු පා හොවා
වේවි විකසිත කුසුම් පහස ලැබ ඔබ දෙපා

'ආදරය' වදනරුත් පලදරන්නේ සොඳුර
'ආදරය - ආදරය' හා පෙමින් බැ‍ඳෙන සඳ
නසා මා හද ගැඹර කාන්සිය, එනු මැනව
‍රැගෙන ඔබ ආදරය, වෙතට මා ආදරය

සිනිඳු මුදු පෙති තැලෙයි, මුකුලිතව මියෑදෙයි
දෙපා තුඩු මතින් විත්, හීන්සීරුවෙ එන්න
මගේ ඒ සිහින මල්, ඔබ නිසා විකසිතවු
පාලුවේ බලා උන්,වඩිනතුරු ආදරිය..."
Read More!

සඳ.....

පෝය පහකින් ආයේ එන්නම් කියා පිටත් වූවද එලැඹෙන පොහොයක් ගානේ "අනේ මව් රටේ උන්නානම් පන්සලකට ගොහිං මලක් පහනක් පූජා කරනවා නේදැයි" සිතේ. මිනිස් සිත පාපයට ඇදෙන්නේ කාන්දමක් මෙනි. කරණවැමියාට මඛාදේව රජු standing instruction එකක් දී තිබුණේ නර කෙසක් දු‍ටු විගසම red alert එකක් දෙන පරිද්දෙනි. අනතුරු හැඟවීම ලැබුණු සැනින් රජකම දූපුතුන්ට පවරා වනවැද උට්ඨාන වීර්‍යයෙන් භාවනා කොට බඹළොවත් ඉපදිණි. අප්පා කලදේ පුතා නොකලොත් ඌ නොට්ටිගේ පුතා වේයැයි කිව්වහේ red alert ආ කල පුතුන් දෙන්නත් ඒ මගම ගියා. පස්සෙන් පහු පොඩි රිවීව් එකක් දා බලනකොට බඹලෝකේ හිටි මඛාදේව රජ්ජුරුවන්ට පෙණුනා මේ වැඩේ දිගටම කරගෙන යන්න කෙනෙක් නැතිවෙන තත්වයක් මනුලෝකේ - ඕං ආයෙම නිමි කුමාරයා වෙලා මේ ලෝකෙට ආවා චාරිත්තරේ නොකඩවා අරන් යනු පිණිසම.

ඔහොම නිමි කුමාරයා වෙලා බොහෝ පින් දහම් කරන් ඉන්නකොට කාටත් වාගේ කුමාරයාටත් සැකයක් ආවා "මේ කරන එව්වායින් පලක් වෙදැයි" කියලා. කළින් නිමි කුමාරයාගේ ලොක්කා වෙච්චි සක්‍රයාට මේක දැනුනාම අනෙක් වැඩ පස්සට දාලා "මුන්නැහේට පෙන්නන්නම් පවේ පිනේ විපාක" කියලා, හිතුවා නිමි කුමාරයාව පොඩි චාරිකාවක් එක්ක යන්න. සඳුදා උදේ මීටිමේදී බොසා "OK guys we have a good news and a bad news" කියලා, බෑඩ් නිවුස් දෙකක්ම දෙන්නැහේ නිමි කුමාරයාව චාරිකාව එක්ක යන්ට යවාපු රථාචාරී මාතලී ඇහුවා "ඉස්සෙල්ලා අපායටද දෙව්ලොවටද යන්ට ඕනෑ" කියලා නිමි කුමාරයාගෙන්. අපිත් සඳුදාට Bad news first කියන්නැහේ මුන්නැහෙත් කියාපි "අපායම මුලින් බලමු"යි කියා.

ඕං ඉතින් නිරයන් බලාන ගිහිං ගිහිං, දිග, පළල හා ගැඹුර සැට යොදුන බැගින් වූ ඉඹුල් වනවලින් පිරී ඇති, "ඉඹුල්වන" නිරයට ආපි. මේකේ ඉඹුල් ගස්වල එක් පැත්තක ගිනිගෙන දැවෙන උඩට හැරවූ උල් කටුත් අනෙක් පැත්තේ එවැනිම වූ පහතට හැර වූ කටුත් තියේ. අකුසල් කළ ගැහැණියකට හිස සිට පය දක්වා ගිනියම් වූ ආභරණ පළන්ඳන යමපල්ලෝ ඔවුන් අත ඇති යගදාවෙන් පහර පන්සීයක් ගසා ඉඹුල් ගසට නංවති. එහි කටු ඇනී ලෙයින් තෙත්ව හඬ හඬා බසින අතරේ ඇයට පෙම්බැඳි පුරුෂයාටද එසේම කරති. දෙදෙනාම ගව්වක් උස් වූ ඉඹුල් ගසේ නගිමින් බසිමින් මියයමින් උපදිමින් විපාක විඳිති. එහෙව් වදයක් දැක තැතිගත් කුමාරයා දැකලා මේං මෙහෙම විස්තරයක් මාතලීත් කියාපි "මහරජ… මොවුන් මිනිසුන්ව සිටි කළ තම තමන්ගේ බිරින්දන් හා ස්වාමිපුරුෂයින් රවටමින් පර අඹු හා පරපුරුෂ සේවනයෙහි යෙදුනවුන්" යැයි පහදා දුනි. එතනිං ගියහම "මොවුන් මෙසේ විපාක විඳ නරකයෙන් ගොඩ වුවද පන්සියයක් ජාති නපුංසකව උපදින බව" ත් කීවා.

චාරිකාව නිමකර හො‍ඳෙයි නරකෙයි ප්‍රථිඵල දෙකම දැකගත්තු නිමි කුමාරයා, සැකක් නැතිව, විචිකිච්චා මගෑරලා පින් දහම් වල යෙදිලා ආයෙමත් red alert ආවහම චාරිත්තරේ ඉස්සරහටම අරන් ගියා.

උතුරු සළු හැඳ...

උතුරු සළු හැඳ පොරවලා
උතුරු දම් හද තවරලා
පතුරණා මුදිතා සිනා
මිතුරියේ ඔබ දු‍ටුවෙමී

සරණ සිල් ගෙන අරණ තුල උන්
උවැසියන් මැද්දේ
ගුවන තරුපිරි වැරුණ සඳ සේ
සිටි පබාවතියේ... සඳසේ සිටි පබාවතියේ

වීතරාගී හදවතකි ඇස
නැත සරාගී රස විඳින්නේ
දෑත සංවරලෙස තබන් මා වෙත
සෙමින් පියවර නගන්නේ

නුමුමුණන්ණෙමි වදනකුදු මම
ඔබට ඇති අපමණ දයාවෙන්
ඉවත් වන්නෙමි වෙහෙර බිම ඇති
නොකිලිටි සුදු වැළි තලාවෙන්

ගුණසේන කඩිගමුව / සිසිර සේනාරත්න



පියවර තබනා හඬින්...

පියවර තබනා හඬින් පවා
මට ඔබා හඳුනා ගත හැකි නම්
මා වෙත හෙලනා නෙතින් නුරා
මට ඔබ හැඳිනිය නොම හැකිදෝ
එනමුදු හිතවත මුනිවත රකිමි
සමාවෙන්න මා අන්සතු ලඳකි

උදේ දිවාරෑ රසබස් මුමුණා
සුවයහනක සතපන හැටි දනිමි
නිබඳව ඔබේ හද සනහස ගෙනෙනා
රස සිලිලාරය මම බව දනිමි
එනමුදු හිතවත මුනිවත රකිමි

මින්දද හීයේ පස්මල් සුවඳයි
නුරාව වැහෙන ඔබෙ නෙතු කැල්මයි
නිහඬව ගෙන එන ඔබේ ඇරයුමයි
මගෙ සිත දනිතත් මුනිවත රකිමි
සමාවෙන්න මා අන්සතු ලඳකි


ත්‍යාගා එන් එඩ්වඩ්/චන්ද්‍රසේන රංගේ/ස්ටැන්ලි එම් ප්‍රනාන්දු

Read More!

මිහිරෙන් මා දිනු බාල ලඳුන්...

මට එකල වයස කීයදැයි හරියට නිනව්වක් නැත. අලුත් සිත්තරපටියක් සිනමා හලට ආවිට අප සියල්ල එකතු කරගෙන එය බලන්ට යාම අප්පච්චිගේ සිරිතය. සිත්තරය කුමක්දැයිද මතක නැත. රබර් වත්තක් මැදින් බයිසිකලයක් පදිමින් නලුවෙකු එයි. පසුබිමින් ගීයක් වාදනය වේ. ඒ ගීතයේ මුල් පද කිහිපය මෙලෙස හදේ කිඳාබැස්සේ කුමන හේතුවක් නිසාදැයි අදවත් මට නොතේරේ.
----------------------------------------------------------------------------------
පැරණි විශ්ව විද්‍යාල මිතුරන් සමග මෙලෙස එකට සතු‍ටු සාමීචියේ යෙදෙන්නට මට අවස්ථාවක් ලැබුණේ බොහෝ කලකට පසුය. එකල මෙන් නොව අද මධුවිත හිස්වන්නේ කථා බහේ උණුසුම අනුවය. අප බොහෝ දෑ කථා කලෙමු. අවසානයේ මගේ බ්ලොග් සටහන් වෙතටද කථා බහ සම්ප්‍රාප්තවිය.

අනූ ගනන් වල මුල්ම හරියේ විශ්ව විද්‍යාලයට ගිය අප, එහි ගියේ භයානක භීම සමයක් එයින් පිටත ගෙවාලමිනි. පළමු ශිෂ්‍ය නියෝජිතයන් තේරීමේදීම නඩය දෙකට බෙදෙන ලදී... එහෙත් එදා පටන්ම එක දිගට අවුරුදු හතරක්, අඛන්ඩව අධ්‍යයන කටයුතු කළහැකි ආකාරයට අනේක ගැ‍ටුම් මධ්‍යයේ වුවද, බැ‍රැරුම් භූමිකාවක් කල, මා බෙහෙවින් ගරු කරන අපේ සගයෙක්ද සුහද හමුවට එදා පැමිණ තිබිණ. ආනන්දයෙන් සිප් සතර හැදැරූ ඔහු අද ලංකාවේ පරිගණක ක්ෂේත්‍රයේ ඉහලම තණතුරක් දැරුවද තවමත් ඔහු එදා ඒ මා දු‍ටු සරල සොඳුරු මිනිසාමය. ඔහු අප මෙන් දොඩමළු වන්නේ නොවේ. වචන මුවින් පිටකරන්නේ වචන වලට ලෝබ වෙමිනි. ඒ නිසා ඒවා අහක දැමීමට කිසිසේත්ම නුලුළුවන. අපි ඔහුට "සමන්" කියමු.
---------------------------------------------------------------------------------
"ඔය බ්ලොග් ලියන කොට උඹට අමතර වාසිත් ලැබෙනවා ඇති නේද....?" ඇසක් ඉඟි මැරූ සමන් කීය. උපහාසය වටහා ගත් මම පැලය පීදෙන්නට පෙර ඉක්මණින්ම එය එසේ නොවන බව සරලව කීවෙමි. "අනේ පලයං බං යන්න... ඔය කොයි එකත් අන්තිමට හුච්චක්කුවක් වෙන එක වලක්වන්න බෑ..." සමන්ගේ හඬ දැඩිය. "උඹ ඉතින් මගේ සටහන් කියවනවානම් මම ඒ ගැන හිතන හැටි උඹට තේරෙයි..." අනපේක්ෂිත ප්‍රහාරයෙන් අන්ද මන්ද වුනු මා කීවෙමි...  "උඹ ඔය ලියන එව්වා ඇත්තද බොරුද කියන එක පැත්තකින් තියමු, ඒත් ඒවා ඇත්තනම්, ඒක ඒ උඹ අවුරුද්දෙන් භාගයක් ගෙදරින් පිට ඉඳලා එන නිසා හිතේ ඇතිවෙන හැඟීමක් විතරයි, උඹත් දිගටම ගෙදර හිටියනම් ඔය හැඟීම් වල කිසි හරයක් නෑ, උඹටත් බෙන්ස් එකක් පදින්න හිතේවි....." සමන් යලිඳු දෙනෙත් අයාලේ යන්නට හැර අවකාශයට වචන කිහිපයක් මුදා හලේය. විදුලි බල මණ්ඩලයේ ලාභ හා පාඩු වෙත කථාව හැරිණි...
---------------------------------------------------------------------------------
රාත්‍රී දොලහෙන් පසු සුක්කානම මත දෙඅත් තබා අසීරුවක් නැතිව මාර්ගයේ එක එල්ලේ වාහනය එලවිය හැක. ගත් සුලු මධුවිතෙන් අවුල් නොවූ සිත සමන් ගේ කථාවට නැවතත් මාව අදියි.
"ඌ කියාපු දේ එහෙම්මමද..??" මගේ හිත මගෙන්ම අසයි...

"මිහිරෙන් මා දිනු බාල ලඳුන්... කෝමල ඔබ මා නෙතට අඳුන්...
අමල් බිසෝ මගේ අමල් බිසෝ.... ඔබගෙන් මා හදවත උණුසුම්..."

මධුවිතෙන් බලපෑමක් නැත්තේම නැත... ඒ හිතේ පතුල අතගායි..... ජනේල වීදුරුව ඇරගත් මම ඒ පදවැල මහහඬින් ගායනා කරන්නට පටන් ගතිමි... දෙපස මාර්ගයේ ඇති වීථි ලාම්පු පි‍ටුපසට යන වේගය ඉක්මන් කල යුතුයැයි මට සිතිණ....
---------------------------------------------------------------------------------
"අද පොඩියක් රෑ වෙයි... කැම්පස් එකේ කට්ටිය මට සෙට් වෙන්නේ ගොඩක් කාළෙකින්... ඔයා කෑම කාල දොරයතුරු දාලා නිදාගන්න.... මම අනෙක් යතුර අරන් යන්නම්..."
"ඇයි මොකද, දොර නාරින් අමල් බිසෝද....?" ඈ සිනාසෙයි...

ගෙදර උදවියට නෑසෙන අයුරින් සීරුවෙන් ගෙට්‍ටුව අසල වහනය නැවත්වූ මා ගේට්‍ටුවේ කොක්ක පැන්නූ සැණින් ගෙදර ඉදිරිපස විදුලි බුබුල දැල්විණි....
"හ්ම්ම්ම්...ඉතින් කිව්වට අහන එකක්යෑ...." මගේ හිත මටම කියාගනී...

වාහනය ගරාජයට දැමූ මම අවදිව සිටින්නේ ඇයිදැයි ඈගෙන් ඇසීමි.... ඒත් ඒවාට උත්තර හැටියට හැමදාම ලැබෙන්නේ "කොහොමද අදවත් කෑම අල්ලලා ගියාද...?" වැනි ප්‍රස්නය...

"යමු යමු හොඳටෝම රෑවෙලා..." ජනේලය ලඟ මුහුණට මුහුණලා තැබූ පු‍ටු දෙක නැවත සකස් කරමින් ඒ මත තිබූ කොට්ටයත් පෙරවන රෙද්දත් එක් අතකින් ගත් ඈ අනෙක් අතින් මගේ සුරත අල්ලා ගත්තාය....

මිහිරෙන් මා දිනු බාල ලඳුන්...
කෝමල ඔබ මා නෙතට අඳුන්....
අමල් බිසෝ මගේ අමල් බිසෝ...
අමල් බිසෝ මගේ අමල් බිසෝ....
ඔබගෙන් මා හදවත උණුසුම්....

පැතුමන් පිරුණැයි දෙපය බිම හෙලා ඉන්න හැකී...
ආදරයෙන් අනාගතේ සරසන්න හැකී....
බුහුමන් ලැබුණැයි රජ වාසල වෙත යන්න හැකී....
උදම් හිතින් මතුදා හි‍රු දැක ගන්න හැකී....

හැඟුමන් ඔකඳයි රන් අසිපත ලෙළවන්න හැකී...
අවබෝදෙන් එහි මුවහත ජයගන්න හැකී....
පියුමන් පිපුණැයි මල් මාලා අමුණන්න හැකී...
නවෝදෙකින් ආයෙම මෙහි පැමිණෙන්න හැකී....

මිහිරෙන් මා දිනු බාල ලඳුන්...
කෝමල ඔබ මා නෙතට අඳුන්....
අමල් බිසෝ මගේ අමල් බිසෝ...
අමල් බිසෝ මගේ අමල් බිසෝ....
ඔබගෙන් මා හදවත උණුසුම්....

අමල් බිසෝ..... මගේ.... අමල් බිසෝ.....

ගීතය අහන්න... ඕනනම් බාගන්න...

පසු ලිපි: ගීයේ පබැඳුම ඔගස්ටස් විනයාගරත්නම් සූරීන්ගෙනි. කතන්දර සූරීන් කීවාක්මෙන්ම ඔහුගේ පබැඳුම් ඉතා අරුමය. මේ ගීයට පෙම් බැඳි මුත් මට මේ ගීය අසන්නට ලැබුණේ ඉතාමත්ම කලාතුරකිනි. ලුහුබැඳීම ඇරඹිණි. වික්ටර් රත්නායකයන් පැරණි නාවින්නේ ගෘහයේ දැන් වාසය නොකරයි. ඔත්තුවක් හරහා ඔහුගේ පුත් ජයන්ත රත්නායකයන්ට කථා කලෙමි. ඉතා කාර්‍ය බහුලව සිටියද මට ඉතාමත්ම හොඳින් කථාකල ඔහු ඔහුගේ නැගණියන්ට කථාකොට ඒ බව දන්වන මෙන් ඉල්ලා සිටියේය. මා ඇයට කථාකරන විට ඇ සිටියේ දරුවාට බෙහෙත් ගන්නට ගොසින්ය. දෙතුන් වතාවක් කථාකොට ඈ නිදහස් වෙලාවක සම්බන්ධ කරගත් පසු ඈ මට ඇවැසි සින්දු කිහිපය කොළයක ලියාගත්තාය. හදිසියේ ලංකාවට යන්ට සිදුවූ පසුගිය දිනක නැවතත් ඇ සම්බන්ධකරගත්පසු මට පහසු ආකරයකට මේ ගීය ලබාදීමට ඈ කටයුතු කලාය. චාන්දනී ගුණසේකර මැතිණියනි ඔබට බොහෝ පින්.
Read More!

මිදි උයනේ ඉමු චුට්ටක් වේලා... හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා...

කලා මාධ්‍යයනට, විශේෂයෙන් සිංහල ගීත සාහිත්‍යයට යහපත් විචාර කලාවක ඇති වටිනාකම ගැන යම් අදහස් හුවමාරුවක් පසුගිය ගීයත් සමග සිදුවුණි. සිංහල කණ්ඩායම් සංගීතයද ගුවන් විදුලි සංස්ථාවේ අනුග්‍රහයක් නැතිවම ආරම්භ වුණද, පසුව එයින් ලද යම් අනුග්‍රහයක් නිසා උපරිමයකට නතුවී "සඳක් නැගී සඳක් ගිලෙයි සාගරේ" මෙන් දැන් නැත්තටම නැතිවී ඇත්තාසේය. හුදෙක් පුද්ගලයන් සමූහයක් එක්ව කරන ගායනයක්, වාදනයක් කණ්ඩායම් සංගීතයක් ලෙස ගැනිය නොහැක්කේය. කණ්ඩායම, පුද්ගලයන් ඉස්මතු නොවී, කණ්ඩායම ලෙස ඉස්මතුවී පෙනෙනා නිර්මාණ තුලින් බිහි කරන සංගීතයෙන්ම එහි අනන්‍යතාව රඳවාගනී. සංගීත කණ්ඩායම් බිඳී යන්නට මූලික හේතුවක් ලෙස, පුද්ගලයින් කණ්ඩායමෙන් ඉස්මතුව ගොඩනගා ගන්නා ප්‍රතිරූපය ගැන කරගන්නා අධි තක්සේරුවකුත් හේතු වේයැයි මට සිතේ. සංගීත කණ්ඩායමක් ගොඩ නගා ගැනීම, පවත්වා ගෙනයාම, දිගින් දිගටම නිර්මාණකරණයේ යෙදීම අධික පිරිවැයක් සහිත කාරියකි.

සිංහල කණ්ඩායම් සංගීතය, ලොස් කැබෙලෙරොස්ලා ගෙන් පටන්ගෙන, ලා සිලොනියන්ස්, ධර්මරත්න බ්‍රදර්ස්, වින්ස්ලෝ සික්ස්, සමනළයෝ, මූන්ස්ටෝන්ස්, ත්‍රී සිස්ටර්ස්, ගෝල්ඩන් චයිම්ස් හරහා පසුව ජිප්සීස්, ශක්ති, සිහ ශක්ති හරහා මේරියන්ස් ලාගෙන් ඉවර වුණි යැයි සිතිය හැක.

සන්ෆලවර්, ෆෝචූන්ස්, ෆ්ලැෂ්බැක්, අපසරාස්, මාරිම්බා, [ගෙම්බා කියා එකකුත් ඇතිද?] "සංගීත කණ්ඩායම්" මිසක "සිංහල කණ්ඩායම් සංගීතයේ" කොටස් කරුවන් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ

සිංහල කණ්ඩායම් සංගීතයේ අවගමනයට බලැපෑ, ආර්ථික කරුණු, ප්‍රාසාංගික කලාවන් ඇහිරීම, "සාහිත්‍යය කන්ඩද?" වැනි සංකල්ප, පසෙක තියෙද්දී අප නැවතත් ලංකාවේ සංගීත වියතුන් "සිංහල කණ්ඩායම් සංගීතය" ගැන තුබූ දැක්ම හා ඒ පිලිබඳ ඔවුනගේ විචාරාක්ෂිය, අතීතයේ යොමු වූ ආකාරය සොයා බැලීම අද දවසේ අංකුර සංගීත නිර්මාපකයින් හඳුනා ගැනීම, ඔවුනට අතදීම, අගය කිරීම, සම්බන්ධයෙන් කෙතරම් වටීදැයි සොයා බැලීමට අවස්ථාවක් වන්නේය.

පහත උධෘතයන් මහැදුරු සුනිල් ආරියරත්නයන් ගේ "ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය" පොතිනි

[පි‍ටුව 114] "ගුවන් විදුලි සංගීතය උසස් තලයකට නැංවීමට ප්‍රමිති ගත කිරීමට අනූපමය මෙහෙයක් කළ එහි සංගීත පාලක පී ඩන්ස්ටන් ද සිල්වා කණ්ඩායම් සංගීතය පි‍ටු දු‍ටු ප්‍රධාන උද්ඝෝෂකයෙක් විය. සිංහල සංගීතයට බටහිර සංගීතය මුසු වීම නො සිදුවිය යුත්තකැයි ඔහු විශ්වාස කළේය. ඩන්ස්ටන් ද සිල්වා, ජෙරාල්ඩ් වික්‍රමසූරියට [සූරිය ලේබල් තැටි නිශ්පාදක] කියා සිටියේ ඔහුගේ ලේබලයෙන් එන කන්ඩායම් සංගීතය විෂ බවත් ඒවා කසල ගොඩට විසිකල යුතු බවත්ය. [පි‍ටුව 115 ] ඩන්ස්ටන් ද සිල්වා අතුලු සම්භාව්‍ය සංගීත කරුවන් කණ්ඩායම් සංගීතය හැඳින්වූයේ "තුප්පහි සංගීතය" යන නමිනි."
[පි‍ටුව 115] "බටහිර සංගීතය ප්‍රියකලද කණ්ඩායම් සංගීතය ප්‍රිය නොකල කේමදාස 'සරසවිය' පත්‍රයට ලිපියක් ලියමින් මෙසේ කියා සිටියේය. 'මාගේ ලොකුම විරුද්දත්වය මේ වාගේ විකාර දේවල් කණ්ඩායම් සංගීතය ලෙස හැඳින්වීම ගැනයි. මේවාට සංගීතය කියන වචනය යෙදීමත් නින්දාවක් මොවුන්ගේ ගීත වල සාහිත්‍යයක්වත් සංගීතයක්වත් නැහැ. ඇත්තේ එකම හඬක් ඔස්සේ කරන ඝෝෂාවක් පම්ණයි. .... මේ නවීන විකාර දේවල් බටහිර සංගීතය ලෙස හැඳින්වීම බී‍තෝවන්, ශූබ'ට් වැනි බටහිර සංගීතඥයණයනට කරන නින්දාවක්"
[පි‍ටුව 115] "ප්‍රවීණ සංගීතඥයකු වන සෝමදාස ඇල්විටිගල 'සරසවිය' පුවත් පතට - අලුත් සංගීත කණ්ඩායම් නිසා සිංහල සංගීතයට වෙලා තියෙන්නේ විශාල හානියක්. මෙය අපේ දේශයේ සංගීතය ට බෝවුණු වසංගතයක් වාගේ... මේ සංගීත කල්ලි වල සමහර ගීත අහගෙන ඉන්න බැරි තරම් කංකරච්චලයක්. හැම තිස්සේම වාදනය කරන්නේ කිසිම විවිධත්වයක් නැති එකම රිද්මයක්."
[පි‍ටුව 116] "...අමරදේවයෝ මෙසේ කීහ - නා නා විද මිනිස් කොටස් වලින් සැදුම් ලත් අපේ සමාජයේ කණ්ඩායම් සංගීතය වැනි දෙයක් බිහි වූයේ ඊට ප්‍රිය කරන එක්තරා කොටසක් සිටි නිසයි. ඔවුනටත් සංගීතයක් තිබිය යුතුයි. හැමදෙනාගේම රස වින්දනය එක මට්ටමක නැහැ. අපේ සංගීතයේ භාහිර ලක්ෂණ ඒ ඒ කාලයට අනුව වෙනස් වේවි. එහි මූලික හරය හැමදාම නොනැසී පවතීවී..."
[පි‍ටුව 116] "ෂෙල්ටන් ප්‍රේමරත්න - සංගීත කණ්ඩායම් නිසා අපේ දේශීය සංගීතයට හානියක් වන්නේ නැහැ. සමාජයට අවශ්‍ය දෙයක් තියනවා නම් එය සමාජයේ ජීවත් වෙනවා. සමාජයට අනවශ්‍ය නම් නිරායාසයෙන්ම නැතිවෙලා යනවා. සමාජ විපර්‍යාස සීදුවන මෙවනි කාලයක මේ අලුත් සංගීත කල්ලි ජනප්‍රිය වෙන්න හේතුව එවැනි සංගීතයක් සමාජයට අවශ්‍ය නිසයි. ඒවායේ වචන වලට වඩා බලපාන්නේ රිද්මය. මිනිසුන්ට ඒකාකාරී බවෙන් මිදෙන්ට අවශ්‍යයි. එක් එක් අවස්ථාත් සඳහාත් එක් එක් විදිහේ සංගීත ශෛලීන් අවශ්‍යයි. එකම දේකින් සියල්ල පිරිමහා ගන්න බැහැ. මේ බටහිර ශෛලියේ ගීත අපේ රටේ ජනප්‍රිය වීමට එක් හේතුවක් මේ මිශ්‍ර ජාති රිද්මයයි... මේ අලුත් සංගීත ක්‍රමය නරකයි කියල බැහැර කළයුතුයි මට හිතෙන්නේ නෑ. මන්ද ඒ ගීතවල එක්තරා ක්‍රමවත් රටාවක් ශාස්ත්‍රීමය හරයක් තිබෙන නිසා.."
 [උධෘතයන් නිමයි]

ඊලඟට මේ පොතේ ඇත්තේ තිස්ස අබේසේකරයන් ඉන්දියානු සංගීතය ඔසවා තබාගෙන බටහිර සංගීතය යොදා කරන නැවුම් නිර්මාණ [වන දෙව්ලිය තුරුලේ, දිල්හානී දුවනී] හෙලා දකීමට තැත් කරනා සංගීතඥයනට බලවත් අතුල් පහරක් තම විචාරයන් මගින් එල්ල කල හැටි.

ඒ ඒ විචාර පිලිබඳ සෙවිල්ල නවකයිනට අතදීම සම්බන්ධයෙන් කෙසේ වුවද, සම්භාවිතාව නැමැති ගණිතමය සංකල්පය හරියන්නේ සමාන අවස්ථාවල පමණක්ම සේම, බලහත් කාරයෙන් සංස්කෘතිකාංග ඔබ්බවීමට තැත්කරනා පරිසරයක මේ විචාර විවේචන වලංගු වේද යන්නත් බුද්ධිමත්ව සිතා බැලිය යුතු කාරණවකි. ඒ මන්ද යත් "ජෝන් ඩොයිලීලා" අප අතරින්ම පැටව් ගසනා යුගයකුත් අද එලිපත්තටම පැමිණ ඇති බැවිනි.

ලස්සන ලෝකෙට පා ඔසවාලා..
හණමිටි හැරමිටි පැත්තක දාලා...
මිදි උයනේ ඉමු චුට්ටක් වේලා...
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා...

බොලඳ සිතුම් ඉවතට යයි...
වෙළඳ පැතුම් අහකට වෙයි...
හදවතේ පහන් සිලුවේ...
ඔබ නැලවෙයි ඔබ නැලවෙයි සදාංගනී...
හදවතේ පහන් සිලුවේ...
ඔබ නැලවෙයි ඔබ නැලවෙයි සදාංගනී ...

සිලිටි දෙතොල් හිතට නැගේ...
දිගටි දෙනෙත් පියාසලයි..
හදවතේ යහන් මලුවේ..
ඔබ නැලවෙයි ඔබ සැතපෙයි සදාංගනී...
හදවතේ යහන් මලුවේ...
ඔබ නැලවෙයි ඔබ සැතපෙයි සදාංගනී...

ලස්සන ලෝකෙට පා ඔසවාලා..
හණ මිටි හැරමිටි පැත්තක දාලා...
මිදි උයනේ ඉමු චුට්ටක් වේලා...
හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...

1967 තිරගත වූ අර්වින් ජයමාන්න අධ්‍යක්ෂණය කල "රහස් දූපත" චිත්‍රපටියේ එන මේ ගීයේ තනු හා සංගීතය නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ "ලොස් කැබෙලෙරොස්" කණ්ඩායමයි. ගී රචනාව ඔගස්ටස් විනයාගරත්නම් ගෙනි.
Read More!
 
Blogger Wordpress Gadgets