ලේ පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීම්...!

ස්මරණයන් විස්මය ජනකය. යම් සංවේදනයක් නැවත හමුවීමේදී ඒ වටා බැඳුනු අනෙකුත් මතකයන්ද එලෙසම උඩු සිතට ඒම, සිතුවිලි කාලාවරෝධ නොවේ යැයි සිතීමට අප පොළඹවයි. ලෙඛනාරක්ෂාගාරයක ඇති ලියකියවිලි මෙන් සෙවුමක් එනතුරු ඒ පෙරැලීමට බලා සිටී.

ගීත සාහිත්‍යයෙහි රස හව් විඳිනා ජනයාගෙන් ගුවන් විදිලිය බහුල වූ කාලයෙහි ඔවුහු හාත්පසින් ඇසෙනා ඒ ගී අසා පමණක් නොඉඳ ඒවායේ වාදනයන්ද කල් යල් බලා ප්‍රචාරය කරවූහ. කණ්ඩායම් ගී රස පැමිණෙනා බව හඟවන්නට "මුතු වාගේ බබලනවා" ගීයෙහි රිද්මයද, දිවා ගී තීරය හඟවන්නට "කන්දේ රන් සඳ උන්නා" හි අනුවාදනයද ඔවුහු පෙරා වෙන්කර අප දෙසවනෙහි රැඳවූහ. යටාරෝ ගීත මංජරිය වෙනුවෙන් රුක්මණී දේවියගේ "නිලම්බරේ කැලුම් පිරී.." ගීයෙහි ගිටාර් වාදනයද, තවත් එබඳු වැඩ සටහනක් සඳහා ඉන්ද්‍රානි සේනාරත්නයක්ගේ "ආවේ ආවේ බයෙන් බයෙන් මා..." ගීයෙහි වාදන ඛන්ඩයද මේවාට තවත් උදාහරණය.

සවනත වෑහෙන නානා ගීත අතුරින් යථෝක්ත ගී ම එවැනි උදෘතයන් සැකසීම සඳහා සංගීතඥයන් පෙළඹවූ කාරණාව සංගීත විෂයෙහි අල්පශෘත වූ මටනම් නොතේරේ. තේරෙන එකම දේනම් දශක තුනක් හතරක් ස්මෘති ගබඩාවෙහි රැඳි සිටීමට හැකි යමක් ඔවුන් පෙරා වෙන්කර ඉදිරිපත් කල බවය.

අහන්න බලන්න මේ කටහඬත්, පසුබිම් වාදනයත් ඔබට හුරුද කියා..



ඒ නිවුණු කටහඬක් ඇත්තා ගැන මෙතැනින් දැනගත හැකිය.
ඒ ඛන්ඩයෙහි පසුබිම් වාදනය පෙරා වෙන්කර ඇත්තේ "හඳට අඬන කිරි දරුවෝ" නම් ගීයෙනි. සිංහල සිනමාවේ අදටත් නොබිඳිය හැකි වාර්ථාවක් වන පාසැල් සිසුන් සමූහයක් විසින් කල චිත්‍රපටිය වන නිම් වලල්ලෙහි ඇතුලත් ගීයකි එය.
1970 දී පමණ තිරගත වූ එම චිත්‍රපටියේ රසාලිප්ත තවත් ගීයකි:

"නිසයුරු මුතුලැල් සැලෙන වෙලාවේ
නුරා බඳුන් සතුටින් පුරවා
සිනා මැදින් එය ලවන් සිපිද්දී
මල් කුමරුන් මල් සොයා ඇදේ.."

මහින්ද අල්ගම විසින් රචිත එම ගීයටද, අද අප රස විඳිනා පහත ගීයෙහිද සංගීතයද, එකල පාසැල් සිසුවකු වූ රංජිත් ලාල් ගෙනි. සුනිල් ආරියරත්නයන්ගේ මුල්ම චිත්‍රපට ගී රචනයද වන්නේ "හඳට අඬන කිරි දරුවෝ..." ගීයයි. එකල "අලුත් පරපුර" වූ ඔවුනගේ භාව ප්‍රකාශනයට ඔවුන් යොදාගත් මාධ්‍යය වූයේ ගැට ගැසූ කොණ්ඩයවත් තමන්ට නැගී සිටිමට පසුබිම සැකසූ දෙමව්පියන් ඇතුලු මුලු මහත් සමාජයටම වෛරී මත වපුරන පුවත් පත් සාකච්ඡාවත් නොවේ. ඔවුන් ඒ සඳහා යොදාගත්තේ නිර්මාණකරණයයි.

මේ ගී රචනාවලවල ප්‍රකාශනයත් රිද්මයත් ඒ තරුණ සංගීත වේදියා මැනවින් හඳුනාගෙන සිටියා වැන්න. එකිනෙකට වෙනස් ගී රචනා හඳුනා, ඒ සඳහා කදිම තනු යෙදූ එතුමාට අපගේ ඉමහත් කෘතවේදිත්වය පුද කරමු.
 

 
හඳට අඬන කිරි දරුවෝ...

නොනිමි ගැටළු සාගරයේ
සිතුම් පැතුම් රැළි මාලා
ආසාවේ වෙරළ වැතිර
නිරන්තරව හඬා වැටේ

බලාපොරොත්තුව වැළලූ
සොහොන් බිමේ කොත මුදුනේ
නැවුම් දුඹුල් ප්‍රාර්ථනා
විහඟ සෙනග ලැගුම් ගනී

දියේ ගිලී මිය ගිය හිරු
උනා දැමූ සළු පිලි මිස
නෙත සනහන දසුනක් නැත
දෑස දකින තෙක් මානේ

බොඳවී ගිය නිම් වලල්ල
ජීවිතයයි අනාගතේ....
Read More!

"තිසා... අපි (ආපහු) යමු....."

"මිස්ටර් හාන්ලට ඕන කරන්නේ මේ ප්‍රඩක්ට් එක ගමේ වගේම අ'බන් මාකට් එකෙත් ප්‍රසිද්ධ කරන්න"

"We discussed all these no.... පහුගිය හැම මීටින් එකකදිම අපි කථා කලානෙ ඕක..."

"ඔව් ඔව් මම ආයේ ආයේ කියනව නෙමේ.... ඒත් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන මිස්ටර් හාන්.... මේ මූණ කියන එකේ වැදගත් කම ගමේදියි නගරෙදියි කියල වෙනසක් වෙන්නේ නෑ.... ඒ නිසා මේ ඇඩ්වටයිසිං කැම්පේන් එකේදී අපි මෙහෙම වැදගත් කමක් දෙනව මූණට..."

ඉන්පසු තිසර සභාවට කැඳවන්නේ මූණ හරහා සන්නාම පටියක් ඇලවූ තම බිරිඳයි....!

"මෙන්න මෙහෙම.... එතකොට මොකද වෙන්නේ...?
එත.....කොට මො....ක....ද වෙන්නේ...?
කන්සියුමගෙ අටෙන්ෂන් එක කෙලින්ම එන්නෙ මූණට... ඊලඟට බ්‍රෑන්ඩ් එකට..."


"ඒ වුණාට බ්‍රෑන්ඩ් නේම් එකක් කෙනෙක්ගෙ මූණ හරහ අලවන එක ඒ තරම් එතිකල් නෑ නේද?.."

"කෙමිකලි නරක දෙයක් විකුණන්න එතිකලි කරදර වෙලා බෑ මිස් ෂාමේන්...
" [මට තිසර හමුවන්නේ මෙතැනදීය...]
අධ්‍යක්ෂක රැස්වීම් කාමරය තෘප්තිමත් සිනහවෙන් පිරේ...

"තිසා... අයියන්ඩි I don't agree with you..." සුරම්‍යා(යශෝධා) පහත් හඬින් කියයි
"Don't make a scene.. you shut up and wait...."

ගරිල්ලා මාකටින් චිත්‍රපටිය ඇරඹෙන්නේ එහෙමය...

මල්පෙතිද, වැලිකැටද, යකඩ කුඩුද, වෙඩි බෙහෙත්ද, ඇට කැබලිද යන්න නොතකා එයට අසුවන මෙකී නොකී සෑම දෙයක්ම එකම වේගයෙන් භ්‍රමණය කල හැකි සුලිය ක්‍රියාත්මක වන්නේද එහෙමය.

අවසන් වතාවට මෙසේ කැලඹු සුලියක් ගැන අපට අසන්නට ලැබෙන්නේ සුරාසුර යුද්ධය ඇසුරෙනි. එදාත් ඒ සයුර කැලඹූ විෂ්ණු දිව්‍ය රාජයාට අමෘතයත්, ලක්ෂ්මියත්, වාලම්පුරියකුත්, කෞස්තුභ මාණික්‍යය ඇතුලු වස්තූන් හමුවිය.

සිගීරිය අභිමුඛව හිඳ පිලිස්සු මස් අනුභව කරනා අමාත්‍යකාරකාදීන් හමුවට ඊලඟට තිසර ඉදිරිපත් කරන්නේ නොමේරූ තරුණ තරුණියක් රැසකි. හේ "චේ"ගේ වාක්‍ය කිහිපයකුත් උපුටා දක්වයි...

"චේ කිව්වා ගරිල්ලා භටයා අනවශ්‍ය කථා වලින් තොර විය යුතු කෙනෙක් කියල...
තමන්ගෙ සගයො එක්කවත් එකම නිශ්චල කථාවක්වක් නොකල යුතුයි කියල...
ඒ වගේම ඔහු කිව්වා මොනම දෙයකින්වත් ටය'ඩ් නොවෙන කෙනෙක් විය යුතුයි කියල...
තමුන්නාන්සේලාට මම කියන්න ඕන මම මේ ට්‍රේන් කරපු පිරිසත් ආන්න ඒ වගේ කියල
හැබැයි වෙනසකට තියෙන්නේ මේ ගොල්ල කරන්නේ ගරිල්ලා ෆයිටින් නෙමේ...
ගරිල්ලා මාකටින්..."


අමාත්‍යකාරකාදීන්ගේ ගේ එල්ලෙන ලොඹු සතුටින් සිනහවෙන් සලිත වෙයි...

"කෙහෙන්ද බන් මෙච්චර ෂෝක් ජනසෘති ලෙවල් එකෙන් ගේමක් දෙන්න පුලුවන් කෙල්ලො කොල්ලො ටිකක් සොයාගත්තේ..?" උන් අසයි

තමා නොදත්, තමන් පෙලන භීනෝන්මාදය [schizophrenia] හැරුණු කොට තිසරට බරපතල ප්‍රශ්නයක් වන්නේ බිරින්දෑ තමන්ව සැක කිරීමයි.  ග්‍රෙගරි මහාධිකාරම් තැන අඩ අඳුරේ තිසර මූත්‍රා කරමින් හිඳනා තැනට විත් තුමූද මුත්‍රා කරමින්ම තිසරව ආමන්ත්‍රනය කරයි... තිසර විපිළිසර වෙයි...

"ඔය මූත්‍රා කරන එක නතර කොරන්න එපා..
ඒක ශරීර සෞඛ්‍යයට හොඳ නෑ....
මම හොඳ කථාවක් කියන්නම්.... ඔය මහජන මතය කියන එක තියනව නේද?
ඕක හරියට පාළු බංගලාවක තියන අවතාරයක් වගේ... කවුරුත් දැකලත් නෑ... ඒත් හැමෝම බයයි...
ඒත් මමනම් ඕකට තව දුරටත් බය නෑ...
ඒ මොකද දන්නවද... ඔය මහජන මතය කියන එක හදන්න ඇඩ්වර්ටයිසිං ෆර්ම්ස් වලට පුළුවන්...."

තමන්ගේත් තිසරගේත් මූත්‍රා දහරා මද දුරක් තනි තනිව ගොස් ඉනික්බිති එක්ව ගලනා හැටි ග්‍රෙගරි උතුමාණනුත් තිසරත් බලා සිටී...

ග්‍රෙගරි මහාධිකාරම් උතුමාණන්ගේ මැතිවරණ ප්‍රචාරණයට ඔහුගේ "ඩයිනැමික්" පින්තූරයක් ගැනීමට තිසරට අවශ්‍ය වුවත් ජාතික ඇඳුමින් සැරසී කවිච්චියක වාඩිවී සිටිනා මහාධිකාරම්ගෙන් එයට ගැලපෙන මුහුණ නොලැබේ.  මේ තේරුම් ගන්නා ග්‍රෙගරි උතුමාණන් "බැලේ ඩාන්සර්" කෙනෙකු ලෙස ඇඳුම් ඇඳ විත් තිසරගේ ඡායාරූප කණ්ඩායම ඉදිරිපස "දැවැන්ත බැලේ" නැටුමක් ඉදිරිපත් කරයි... එහිදී ගන්න එක් රූපයක් තිසරගේ උවමනාව සඳහා කදිමට පෑහේ... ඉනික්බිති තිසර ඒ රුව පරිගණකාධාරයෙන් ජාතික ඇඳුමක් අන්දවා මහා පරාක්‍රමබාහු මාළිගාව ඉදිරිපිට පෙලගස්වයි...

"කමක් නැත්නම් මම සර්ගෙන් ප්‍රස්නයක් අහන්නද?"
තිසර ගේ ප්‍රස්නය උතුමාණන් ඉවෙන් හඳුනයි....
"උත්තරේ මේකයි - මම නැට්ටුවෙක් නෙමේ ඩාන්සර් කෙනෙක්... මම දේශපාලනඥයෙක් නෙමේ පොලිටීෂන් කෙනෙක්...
මට වෙලාවකට අපි දෙන්න ගැනම හරි දුකක් ඇතිවෙනව 'අයිසේ'... තමුසෙ නැට්ටුවෙක් වෙන්න හීන දැක්ක... මම ඩාන්සර් කෙනෙක් වෙන්න හීන දැක්ක කෙනෙක් නොවුනත් මම ඩාන්සර් කෙනෙක්.... අන්තිමට තමුසෙ වෙළෙන්දෙක් වුණා... මම ලොකු කඩයක් වුණා...."
දෙදෙනාම මහ හඬින් සිනාසෙයි....

"සර්ගෙ පෝස්ටරේට මම මහා පරාක්‍රමබාහු මාළිගේ දැම්ම සර්.."

"ඒක හොඳයි... මොකද අපි ඕක මල්ටි නැෂනල් එකකට දෙන්න ඉන්නෙ...
අයිසෙ තිසර... අපි සංස්කෘතිය ආරක්ෂා කරන්න නම් ඒක විකුණන්න ඕන... මහා පරාක්‍රම බාහු.... හ්ම්ම්.... එයා තමා අර කව්සිළුමිණ ලිව්වෙ නේ...?"
"නෑ සර් ඒ දෙවැනි පරාක්‍රමබාහු.."
"අයිසෙ.... පරාක්‍රමබාහුල දෙන්නෙක් හිටියද..?"
"දෙන්නෙක් නෙමේ නම දෙනක් හිටිය සර්...."
උතුමාණන්ට බලවත් කැස්සක් එයි...
"මම චිකාගෝ වල ඉලිනොයි ඉන්න කාලෙ තමා මොඩර්න් ඩාංසිං ඉගෙන ගත්තෙ..... හයි ස්කූල් ඔෆ් ප්'ර්ෆොර්මිං ආට්ස් වල තිබිච්ච ජෝ ස්ටයිමන් ගේ ඩාන්සිං ව'ක්ෂොප් එකටත් මාව තේරුණා..."

"එතකොට සර් අවසාන පිළිගැනීමට ඔබතුමා එනකොට මම වාදනය කරන්න හිතාන ඉන්නෙ උඩරට බෙරයි පාතරට බෙරයි..."
"හාපෝ ඒ වැඩේ නම් කරන්න එපා... මට ඔය සිංහල බෙර සද්දෙ පෙන්නන්න බෑ..."
"ඒ මොකද සර්...."
"පොඩි කාලෙ ඉඳල ඔය බෙර සද්ද වලට මම බයයි අයිසෙ ....ඉට්ස් අ ෆෝබියා... බෙර ෆෝබියා..."

තිසරගේ අවධානය මහාධිකාරම් පැහැරගන්නේ යථාර්තයද(?) ඉක්මවා යමිනි. ඒ ගූඪ සත්වයා තිසරගේ නිදන කාමරයටද පැමිණෙයි. මෙය අපූරු ඇනලොජියකි... මෙලෙස කී දෙනෙකුගේ නිදන කාමර මහාධිකාරම් උතුමන් විසින් ආක්‍රමණය ඇද්ද? වික්ෂිප්ත තිසර බිරින්දෑගේ නිරාවරණ සිරුරු කොටස් පොරවනයෙන් වසයි...

"දුවන්න යන ගමන් ආවා...."
"දි.... දි....දිවීම ගැන ඔබතුමාගෙ අදහස මොකක්ද..."
"වැදගත් ප්‍රස්නයක්... අපි ඉපදුනේ දුවන්න... සෙම දාගෙන, හැහ් හොහ් ගාගෙන අපි මේ දුවන එකේ තියන ජොලිය මොකක්ද?"
"කිසිම ජොලියක් නෑ..."
මහාධිකාරම පුනරුච්ඡාරණය කරයි.... "කිසිම ජොලියක් නෑ"
"කිසිම වින්දනයක් නෑ..." -
"අන්න හරි..... කිසිම වින්දනයක් නෑ... මිනිහෙක් දුවන්නෙ හේතු දෙකක් නිසා... කවුරුහරි එයාව ලුහු බඳින නිසා... එක්කො ඒ කොලෙස්ටොරොල් වෙන්න පුලුවන් නැත්නම් ප්‍රභල හතුරෙක් වෙන්න පුලුවන්.... සතුරා ප්‍රභල වෙන තරමට අපි ධාවන ශූරයෝ වෙනවා...
....ඔන්න......ඔන්න මචෝ උඹේ ගෑණි ඇහැරිලා..... අපි යනවා......... බායි..."
"බායි සර්...බා......යි..."

තිසරගේ බිරිඳට සිහිනෙන් මෙන් ඇසෙන්නේ තිසරගේ තනියම කියවීමය...

"තිසර ඔයා මොනව හරි රිහර්ස් කරනවද..." දෑස් පිසලමින් ඈ අසයි...
"මම නෙමෙයි... දැන් මේ ආපු කෙනා...."
"ආහ්...... කවුද දැන් මෙතනට ආවේ....????"රංගී අසයි..
"ඇස් ගෙඩි දෙකට හෙන ගහලද..............................!!!" තිසර සිනාසෙමින් අසයි....

නිදිසයනය දක්වාම ඒ නිර්මාතෲන්  විසින් ගරිල්ලන් එවනතුරුම ඔවුන් බලා උනි...

තිසර නැටුම් පුහුණු වූයේ සුරම්‍යලාගේ ගෙදර පැවැති සුරම්‍යාගේ සියාගේ නැටුම් පන්තියෙනි... දළුලා වැඩි ඒ ප්‍රේම සම්බන්ධය විශ්වවිද්‍යාල ගමනින් තවදුරටත් වැඩී, ඉසිඹුවක් ලබාගන්නේ සුරම්‍යා "වැඩිදුර අධ්‍යාපනයට" එතෙර යාමෙනි. බෙහෙවින් නිර්මාණශීලී තරුණයෙක් වූ තිසරට සුරම්‍යා එනතුරු ඉවසා ඉන්නට ගරිල්ලන් ඉඩ නොදේ... දැවැන්ත මන්දිර, යාන වාහන, දැසි දස්සන් පිරිවරන ජීවිතය, ඒ ගරිල්ලන් තිසරගේ නිර්මාණශීලිත්වය වෙනුවෙන් ගෙනත් තැබූ දෑය.

ගරිල්ලා මාකටින් චිත්‍රපටිය ප්‍රදර්ශනය වූ කාලයේ එකල වෛද්‍යවරුන් මේ නම් භීනෝන්මාදය හුවා දක්වන කදිම කෘතියෙකැයි ඒ වෛද්‍ය පීඨය තුල ප්‍රදර්ශනය කර සාකච්ඡාවට භාජනය කරනා වැඩමුළු සම්මන්ත්‍රණ පවත්වන ලදී  [සභාවේ සිනා එසඳ නොනැගුණි].
තිසරගේ භීනෝන්මාදය, දිනපතා හතරෙන් පසු මැදියම් රෑ දක්වා කඩන පොල්, ලෙඩුන් කොපමණදැයි අසමින් රෝහලෙන් රෝහලට ඇදෙන දැවැන්ත වාහන, රථවාහන ගාලේ ඇති අළුත්ම මොඩලය, පිහිනුම් තාටක ඇති නිවෙස් යනාදියට කොපමණ දුරස්තද? කොපමණ සමීපද?

බියපත් වෙන රංගි සුරම්‍යාට කථා කරයි.. තිසර නොනවත්වා වේගයෙන් කථා කරයි...
"අපේ සමාජයට ඕනේ බය නැති වීරයෙක්... බය නැතුව රුසියාවෙන් කැවියා ගෙන්වන්න.... ඒ වගේම මෙක්සිකෝවෙන් මඤ්ඤොක්ක ගෙන්වන්න.... මහ පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ මාළිගේ විකුණන්න... සීගිරි කාශ්‍යපගෙ මාළිගාව සීගිරි කාශ්‍යප ඒ...ක්කම විකුණන්න බ....ය.... නැ....ති.... වී.....රයෙක්...."
කලකට ඉහතදී විශ්ව විද්‍යාලය තුලදීම තිසරට මෙය වැළදුණු බව සුරම්‍යාට මතකය....
ජයන්ත චන්ද්‍රසිරියන් මේ කාල වකවාණු ගලපන්නේ අපූරුවටය.... විශ්ව විද්‍යාලයට පැමිණ, අවසන් වසරේදී "හැව අරිමි" යැයි සීහනාද කොට ගරිල්ලන්ගේ මෙහෙයුමෙන් නා නා විධ භීනෝන්මාදයන් වද්දා ගන්නා චරිත කොපමණක් හමුවී ඇද්ද?

තිසර නැවත රෝහල් ගතවේ...
වෛද්‍යතුමා පැමිණ තිසරගේ කළු ඉංගිරියාවේ ක්‍රියාකාරිත්වය විදුලි පන්දමක ආධාරයකින් පිරික්සයි...
තිසර ඈතින් දකින්නේ සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරැසුණු මහාධිකාරම් උතුමන් ඇඳින් ඇඳට පණිමින් පිස්තෝලයක් ද රැගෙන තමන් හමුවට එන බවයි...
බියුගල් නලා හඬ මුවින් නංවා ආචාර සමාචාර සහිතව පිලිගත්තද උතුමාණන්ට අවැසි මේ නිර්මාණශීලී තරුණයා මරාදමන්නටය...
"මම උඹට මෙතන ඉන්න ඉඩ දෙන්නේ නෑ..."
"එකඟයි (උතුමාණෙනි).."
"(උඹලා ඉන්නකල්) මට නිදහසක් නෑ... " තිසරගේ අතට වෙඩි තබයි....
"තෝ මරණවා... මරණ එක මරණව යකෝ............. ඒත් බෑ... උඹව මෙහෙම මරල බෑ...... මෝඩයා.... උඹ මොනවද මරණය ගැන දන්නේ..." කටට පිස්තෝලය දමයි...."තව ටිකකින් විශාල සද්දයක් ඇහේවි.. ඊට පස්සේ කිසිම හීනයක් නොදකින ලස්සනම ලස්සන නින්දක් උඹව හොයාගෙන ඒවි... අන්න ඒකයි මරණය කියන්නේ...."
තිසරට දෝංකාරයකින් මෙන් ඇසෙන්නේ සුරම්‍යාගේ කටහඬයි...

"තිසා.... අයියන්ඩී...............!!!!"

ඈ පැමිණ සිටින්නේ තනිවම නොවේ... යක් බෙරය බැඳ, සුරයක්ද පැළැඳගත් ඇගේ සීයාද  සමගයි....
මහාධිකාරම ඔවුන්ට ගොරවයි "ගහනව ඉතින් ඕක...." තරමක නිශ්ශබ්දතාවකි
මහාධිකාරම උස් හඬින් අසයි.. "කාරක සභා සභාපති තුමණි... මේ නිහඬතාව කුමක් ප්‍රකාශ කරයිද?"
සුරම්‍යා උත්තර බඳියි... "(එයින් කියැවෙන්නේ) කවුරුවත් කියන පලියට මේ බෙර වැයෙන්නෙ නැති බවයි..."
"ඒ මොකද..." උතුමාණන් සෝපහාසයෙන් විමසයි....
"ඒ මේ බෙර ගහනකොට යක්කුන්ට දුවන්න පාර මදිවෙන හින්දා..."



සුරම්‍යා සෙනෙහසින් තිසරට කථා කරයි...

"තිසා.... අපි යමු...!"
---------------------------------------------------------------------------------------------------------

"තිසා... අපි ආපහු යමු....."
ඇයද මට ආදරයෙන් කීවාය....
මම ආපසු හැරුනෙමි...

---------------------------------------------------------------------------------------------------------

පසු සටහන

'පලදාවලියේ' හතරවෙනි වර්‍ගයේ "පෙරමග සුබ නිමිති" [58 - 60] කවි වලින් මුල් දෙපද ජයන්ත චන්ද්‍රසිරියන් විසින් කේමදාස ශූරින් ලවා අපුරු තනුවක් යොදා ගායනා කරවයි.

"ඇතුන් ගවයන් එළදෙනුන් සහ රැහැන් බැඳි ගොන් මුගටියන්
මසුන් එළුවන් මොණරු වෙසඹුන් දෙනුන් සහ පැටි රජකයන්
ලඳුන් බමුණන් ළදරු සහ මව් අසුන් සියොතුන් කොඩි වියන්
අඳුන් රතුවන් මසුන් දීකිරි හිස් වෙළුම් ගත් අතැතියන්

අහර කිරි සහ පියුම් අඹ වන් මල්ද උක් මැටි තුති බසා
පවර මිණි මුතු පුන්කලස් බෙර සුරා දිලිසෙන ගිනි රැසා
නුවර වදිනා මගුල් පිරිසද ගිතෙල් සිහසුන් අංකුසා
සතර වේදය කියන බමුණන් දපන දුනු මී රෙදි රැසා


ගොරද යහපත් අසුන් වීණා ධජ කොඩිද යන මින් දමක්
ලදද ගමනේ පෙරමුණේදී සොඳැති පෙර නිමිතියි උදක්
සබඳ දැනගෙන යනුව ඉන් තමහට නොවේ කිසි වියවුලක්
නොමද සිරි සැප වේය මෙහි පල පොරණ බස් ලෙස නැත සැකක්"


[ගැට පද: වෙසඹු: නළඟන | අංකුස: හෙණ්ඩුව | ගොර: ගෞරව]

මේ පද්‍යාවලියේ "පෙරමග අසුබ නිමිති" මැයෙන් කවි කිහිපයක්ද [61 - 66] වෙයි
එයින් එකක් මෙසේ වෙයි

"රතුද කහ රෙදි බළල් පොරයත් කොල්ලු මෝරුද කලුවතා
නිබඳ වමනය කරන අය සහ සිරස මුඩු කල ගිහිවතා
නොසොඳ වේ පෙරමුණට ගමනට ගියොත් ඒ දැක පල නැතා
මෙලෙස දැන ගනු නිමිති නම් පෙර කළ කමින් ලැබු ලෙසවෙතා"


මුල් කෘතියේ කතෘන් ලෙස ගැනෙන්නේ රුහුණෙහි වුසූ විජයරුවන් නම් දෛවඥයාය. තම හුරුවද, බුද්ධි ඥානයද, දෙස් විදෙස් ග්‍රන්ථ ඇසුරු කිරීමෙන්ද මේ ජන කවි මාලාව ඔහු විසින් සම්පාදිත වී ඇති යැයි පැවසේ. වර්‍ග සයකින්ද කවි හයසියයකට අධික සංඛ්‍යාවකින්ද සමන්විත මේ කව්මාලාව ගොවි කම් සම්බන්ධයෙන් පමණක් නොව, නම් තැබීම, අකුරු කරණය, ගෙට ගෙවැදීම යනාදී හැමෙකක් සම්බන්ධයෙන්ම ඇති නැකත්, පිළිවෙත් පහසුවෙන් මතකකයේ රඳවා ගත හැකි අන්දමින් සකසා කවියට නගා ඇත.
Read More!

රෝගිනි....!!



කා න් නු 

ගො යි ක් 
න් දේ 
ලා ලා
න්  
ලා ලු යි
යි ගො න්
මී ක් 

කා ලේ

වේ ලා
පා

වේ ලු යි
කා රෝ


යි ක් 
කා නෙ

හේ ලා පා

හේ ලු යි
ල් ලෝ

යි ක් 

ලා
කී

ගේ ලු යි
















































ගෝ න් නු  යි ක් න් දේ  කා ලා න්   පා ලු යි
මී ගො න් යි ක් වෙ ලේ  කා ලා වෙ පා ලු යි
රෝ යි ක් හේ නෙ කා ලා හේ පා ලු යි
ල් ලෝ යි ක් ලා ගේ කී ලු යි



 

ඌවේ ජනකවියක් (පෙරළුම් කවි) ඇසුරෙන් ජයන්ත චන්ද්‍රසිරි "අග්නිදාහය" චිත්‍රපටියට කල නිර්මාණයකි.
Read More!

දේදුනු සළු ඇන්දේ නැතත්...

යකඩ බිහිවී නොතිබුණි. තිබුනේ යපස්ය. යකඩ අමුතුවෙන්ම නිපදවිනි. ඒ සමගමද මළකෑමද ආරම්භවිණි. ඉන්පසු මළකෑමට එරෙහිව සටන් වැදුණි. ඒ වෙනුවෙන් යම් යම් සංයෝග නිපදවන්නට සිදුවිය. ඒ සමහර සංයෝගයන් ස්වභාවසිද්ධව බිහි නොවුන නිසා උත්ප්‍රේරක හඳුන්වා දෙන්නටද සිදුවිණි. මළකෑම බිහිවූයේ යකඩ නිපදවීම සමගමම බව අමතක විණි. 

ස්වභාවසිද්ධව බිහිනොවුණු දෑ භාවිතයෙන් පසු පලක් නොමැතිව ගොඩ ගැසෙන්නට වූයේ ඒවා නැවතත් මුල් තත්වයට ගෙන ඒමට තවත් දෑ බිහිකරන්නට සිදුවිය. අඹගසේ ප්‍රස්නය හා නෑයන්ගේ ප්‍රස්නය මෙතනදී අදාල කරගත හැක. තුමූම ප්‍රස්නයක කොටසක් වන කල්හී තමා ප්‍රස්නයේ හාත්පස දකිත්ද? තමා ප්‍රස්නයෙන් විනිර්මුක්ත තලයකදී ප්‍රස්නයක හාත්පස දකිත්ද? යන්න ඒ ප්‍රස්න දෙක වෙන්වෙන සීමා ලෙස හඟිමි. 

රූබික් කියුබයද සංයෝජනය පිළිබඳ අපූරු පාඩම් කියාදේ. කොටස් වෙන් වෙන්ව ගෙන සංයෝජනය කරන්නට යන උත්සාහයේදීම පද්ධතිය බිඳ වැටේ. ඕනෑම පද්ධතියක කොටස් වෙන් වෙන්ව ගෙන පද්ධතියට නොගැලපෙන සංයෝජනයන් කලහොත් 15 ක්‍රීඩාව මෙන් විසඳිය නොහැකි අවස්ථා ලැබීමට ඕනෑතරම් ඉඩ කඩ ඇත. 

සංස්කෘතිය යනු ඕනෑම කුණු කන්දලයක් ගෙන යන ප්‍රවාහයක් විය යුතු නැත. 
එහෙත් ස්වභාවසිද්ධ නොවන බලහත්කාරී මැදහත්වීම් වලින් ඒ අපූරුවට දූෂණය කල හැක.


දේදුනු සළු ඇන්දේ නැතත්
වරළස මල් බැන්දෙ නැතත්
රත්තරනෙන් රනින් නැතත්
අපටත් කල් යනවා...
හේනේ කුරක්කන් මල් යට
අපටත් කල යනවා...

විලක් දුටිමි සිහිළඹ මට සිහිලැල්ය
දොළක් දුටිමි දොළ හසරැළි සිඳුලොල්ය
තලක් දුටිමි තල දැකලා දිගුකල්ය
මලක් දුටිමි නිලුපුල් මල් බොරු මල්ය

රුවට රුවේ පිපී ඇතත්
නෙලා ගන්න සිතුවෙ නැතත්
අපටත් කල් යනවා...
හේනෙ කුරක්කන් මල් යට
අපටත් කල යනවා...

Read More!

ඕ... එන්න ඈත යන්න ප්‍රේම ගංතෙරේ...

විවාහ වර්ග කිහිපයක් ඇති බැව කියවේ. සැණකෙලි ආකාරයෙන් පවත්වන්නාවූ බ්‍රහ්ම හෙවත් ප්‍රජාපතී විවාහය එකකි. හුදු දෙදෙනාගේ කැමැත්ත මත පමණක්ම විවාහය සිදු කිරීම ගන්දබ්බ ගාන්ධර්ව විවාහ යැයි කියනු ලැබේ. අසුර විවාහය සිදුවන්නේ යෝජිත ආකාරයෙනි. විවාහයට පෙර ඇල්මක්, බැල්මක්, කැල්මක්, ඒ හැටි ඇත්තේ නැත. මනුෂ්‍ය විවාහය, සිරිත් විරිත් වලට තැනදී දෙපක්ෂයේ සහෝයෝගයෙන් කෙරෙන්නකි.

මා විවාහෝත්සව සහභාගී වීමට ආසාකරණුයේ ඒ එක් එක් අවස්ථාවල සිදුකරන චාරිත්‍ර වාරිත්‍ර විදි නැරඹීමට ඇති බලවත් ආසාව නිසාමය. බුලත්, සුදු රෙදි කච්චියක්, රන් නූලක්, පැන්කෙණ්ඩිය, තැළි-පිළි හා මුදු, පොල්ගෙඩියක් හා කැත්තක් මූලික වශයෙන් පෝරුව චාරිත්‍රයනට අවශ්‍ය කළමණාය. මනුෂ්‍ය විවාහය යශෝධරා විවාහය ලෙසද හැඳින්වේ. පෝරුවෙහි චාරිත්‍ර විදි, අෂ්ඨක ගායනා ආදියට වැඩිහරියක් පාදක වී ඇත්තේ මේ සිදුහත් බෝසතාණෝ හා යශෝධරා විවාහයයි.

පුන් කලස්ද, පොල් මල්ද, ධෘතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතරවරම් දෙවියන් වෙනුවෙන් දිලෙන පහන්ද, උඩට උඩු වියන්ද, පයට පාවඩද, ඇට පස් වර්ගයකින්ද යනාදී අංගයන්ගෙන් සැරසුණු පෝරුව ඉතා අලංකාර වෙයි. මගුල් බෙර වාදනයෙන්ද, නැටුමින්ද මනෝරම්‍යව කැඳවාගෙන එන්නාවූ මනාලයාත් මානාලියත් ඒ දෙපස සිට ගනී. ත්‍රිවිධ රත්නයේ පිහිට පතා, පිරිස පසඟ පංච ශීලයේ පිහිටවූ පසු මාමාවරුන් විසින් දෙදෙනා පරිස්සමට පෝරුවට නංවනු ලැබේ.

ලකුණු දැන අප බෝසතානෝ - විදුරසුන් පිට වැඩම කරමින්
මෙකුණු සසරෙහි තිබුන කෙලෙසුන් - නසා අලුයම බුදු වෙමින්
අකුණු හඬසේ ගර්ජනා කර - එ වසවතු බිඳ හැරි තෙදින්
දකුණු පය පෙරටුව තබා පෝරුවට - ගොඩවෙනු නැකත හරි දැන්

පෝරුව චාරිත්‍ර ඉටුකරන්නා විසින් පත්තිනි මෑණියනට භාරයක් ලෙස යුවල අතට දී නැවත ලබාගන්නා පලමු බුලත් අත සහ පඬුරු, පෝරුවේම උස් තැනෙකින් තැන්පත් කරයි. හත්වෙනි මුත්තාගේ සිට අවිඡ්ඡින්නව පැවත එන දෙදෙනාගේම හත්මුතු පරම්පරාව වෙනුවෙන් දෙදෙනා අතින් වෙන්වෙන්ව බුලත් හුරුළු හයබැගින්ද දෙදෙනා අතින්ම එක් හුරුල්ලක්ද පෝරුව මත බිම හෙළනු ලැබේ. මහී කාන්තාව මත අඛන්ඩව පැවැති පරපුරකින් පැවත ආ මිනිසුන් යුවලකට ඇගේ අශීර්වාදය ඉන් ලැබෙන්නේය. පුවක් මල් කිණිත්තෙන් ආශීර්වාදය ලබාගන්නා යුවල, පෝරුව කාරිය කරන්නාටද බුලත් දෙනු ලැබේ.

මහත්මවූ සෙනෙහසිකින් යුතුව ජීවිත කාලය පුරා බලාගන්නා බවට හතර වරිගය ඉදිරි පිට පිළිද, තැළිද අන්දවා මනාලයා විසින් සංකේතාත්මක පොරොන්දුවක් දෙයි. මංගල මුදු හුවමාරු කිරීමෙන් පසු සුලැඟිලි එකට බැඳ අතපැන් වත් කොට මනාලියගේ පියා විසින් මනාලයාට සිය පණසේ රැක බලාගත් දුවණිය පවරා, පාවා දෙන්නේය. ඉදිරියේ එන සකලවිද ගැටළු සීරුවෙන් දිග ඇරගතයුත්තාවූ මෙන්ම, ගැට ගැසුනාවූද, දියෙන් තෙත්වීමෙන් තදවුනාවූද. සුලැඟිලි වෙන්කරගන්නා යුවල, ඉනික්බිති කිරිබතින්ද දියබිඳකින්ද සන්තර්පණය වී පෝරුව ඉඳුල් කරන්නෝය.

ඉන්පසු එළඹෙන්නේ වැදගත් අවස්ථාවකි! සියල්ලනටම හැඟුම් බර අවස්ථාවෙකි!!

පෝරුව චාරිත්‍ර ඉටු කරන්නා මතක් කරදෙනුයේ සුබ්‍රහ්ම ගම්පතියාගේත් මාලතී බැමිණියගේත් දුහිතෲ රුමත් සෝමසීලී දියණිය ආවාහ කරදීමේදී වූ සිද්දියකි.

එදා දඹදිව තල - ඔක්කාක නම් රජ කල
සුබ්බ්‍රහ්ම ගම තුල - බමුණෙකු දරණ බල කල

මාලතී නම් ලද - බැමිණිය හට සතුට මැද
ලැබුණු දියණිය සොඳ - සෝමසීලී වීය මන නඳ

පොවා කිරි ලේ කොට - අදරින් හදපු දියණිට
නිසි වයස වන විට- සෙවී තරුණෙකු සුසර දිවියට

තරුණයෙකු ආවා - රුවැතියට ඇහැ ලෑවා
ඔහු සතුටු වූවා - මම කැමැත්තෙමි මවට කීවා

පුතුගෙ දෙස බලලා - දියණියට අත තියලා
හරි යසට ගයලා - කීය මෙලෙසින් සුමට කරලා

'බොහෝ දුක් විඳලා - හැදුවෙමි චරිතෙ රැකලා
එම කුලිය ගෙවලා - රැගෙන යනු මගෙ දෙපා වැඳලා'

තරුණයා එතකොට - මව්නි කිම කුලියට
එවිට තම දියණියට - කුලිය දෙන්නැයි කීය මෙලෙසට

'දස එකඩ මස සරී - උපන්දා සිට දුන් කිරී
කච්චියක් රෙදි සරී - තෙමෙන්නට ඇත දුවට දුන් කිරී'

ඒ ඇසු තරුණයා - ළය දැවටුවා කරුණා
පවුළෙ අය පිරුණා - කුලියෙ මෙහෙවර මෙලෙස කෙරුණා

රනින් හෙප්පුවකුයි - රනින් නිමැවුණු ගිරයයි
රනින් කිල්ලෝටෙකුයි - රනින් කෙන්දක් සමග බුලතුයි

කිරිකඩ රෙද්ද ගෙන - හෙප්පුව බුලත ඇතුරුණ
මත තබා අඟයන - ගිරෙයි කෙන්දයි තැබුණි සතුටින

එය මවට දුන්නා - හිසෙන් හිස මත ගන්නා
එ පිළිබඳ දන්නා - යුරෙන් පස්පසට පියමැන්නා

තෙත්වුණු දෑසින් විවාපත් යුවල අතින් කිරිකඩ සේලය හිසින් ගන්නා මනාලියගේ මව, පිටුපසින් පිටුපසට යන්නේ විවාපත් යුවලගේ කෘතවේදීත්වයට අශීර්වාද කරමිනි....
-------------------------------------------------------------------------------------------------------
අම්මා ආසයි බෙල්ලන්විල යන්න ඉස්සර ඉඳන්ම....

එහෙමනම් අම්මව එක්ක යමු... දැන් ඇවිදින්නත් එන්න එන්නම අමාරු වෙනවනේ....
අයියලාටත් වැඩ අධික එකේ අපි කරමු...
පොඩි පිරකර කිහිපයකුත් ලෑස්ති කරමු ගමේ පන්සලේ ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේලා කිහිප නමකට අම්මා අතින්ම පූජා කරවන්න...

ඔව් එහෙම හොඳයි තමා... එහෙමනම් මම ලෑස්ති කරන්නම්....
-------------------------------------------------------------------------------------------------------
අපි ගියා බෙල්ලන්විල පන්සලට උදේ... ඔක්කෝම හොඳට කෙරුණා...
එන ගමන් ගමේ පන්සලටත් ගියා... පිරිකරත් ඔයා කීව විදිහටම පූජා කෙරෙව්වා...
ලොකු හාමුදුරුවෝත් හිටියා... ලොකු හාමුදුරුවෝ අතින්ම අම්මට පිරිත් නූලකුත් දැම්මෙව්වා..
ඔයාට ස්තූතියි ඈ ඉතින් මාව මේ වැඩේට උනන්දු කරාට...


හ්ම්ම්ම්... මේ පාර ඇනිවසරියට ඉතින් ඉන්න වෙන්නේ නෑ ලඟට වෙලා...
මුකුත් තෑග්ගක් ගන්න ලැබුනෙත් නෑ...
ඉතින් අර උනන්දු කිරීම, ඔයා වගේ කෙනෙක් මට හදලා වඩලා දුන්නු අම්මට දීපු තෑග්ගක් විදිහටවත් ගන්න එහෙමනම්...

අවුරුදු දහ අටකුත් ගියානේද..? 
යාළුවෙලා හිටපු අවුරුදු හතත් එක්ක බැලුවම ජීවිත කාලයෙන් බාගයකටත් වැඩියෙන්....
ඒක නේන්නම්....
-------------------------------------------------------------------------------------------------------


ආ සීත සුනිල ප්‍රේම ජලේ... ප්‍රේම ගංතෙරේ...
මල් පෙම්බරී දෙතොලෙහි බඹර තොල් පොරේ...

ඒ රාග මැවිලා සුමදුර මත්වෙන තාලේ..
ඒ සිතිජෙහි පෙම් රූප මැවේ සීගිරි කාලේ...
ඕ එන්න ඈත යන්න ප්‍රේම ගංතෙරේ...
ආ සීත සුනිල ජලේ ප්‍රේම ගංතෙරේ...

ඕ පැහැර ගනී තීගේ දෙතොල් පැහැ දින රාජා...
තී දෑසෙහි නිල් මිණි පැහැ දෙයි මේ දිය ඕජා...
ඒ දේව ලියෝ ඔබේ රූ දැක ඈත අම්බරේ..
ආ සීත සුනිල ජලේ ප්‍රේම ගංතෙරේ..

මා පාට කුසුම් තෝරා පෙම් මාල ගොතන්නම්..
මල් පියලි  වැදී සියොමැලි රත් ඇඟිලි රිදෙයි පෙම් ..
ආ දේවි ප්‍රේම වදන් ප්‍රේම ගංතෙරේ...
ආ සීත සුනිල ජලේ ප්‍රේම ගංතෙරේ
...


පසු ලිපි: ජූලි 2019
ගීයේ තනුව පාදක කරගත් හින්දි ගීය
Read More!
 
Blogger Wordpress Gadgets