එම්. එස්., ගී පද රචකයෙකු, සංගීතඥයෙකු හා ගායකයෙකුද වෙති. එනයින් හේ වාග්ගේයකාර පදවි ලැබීමට සුදුසුය. ක්ලැරන්ස්, අමරදේව, සෝමතිලක ජයමහ මේ පදවි හිමි කරගත් මට මතක්වන අනෙක් අයවළුන්ය. තමාගේ රිද්මයට සුදුසු ගී නිර්මාණය කරගන්න ලැබීම මේ වාග්ගේයකාරයන් ලබාගත් වාසනාවක් නොව අප වන් රසිකයන් ලැබූ පිනකි! නිහාල්ට ඒ වාසනාව නොවීය - ඒ වෙනුවට යස අපූරුවට හැල්මේ තම සංගීත දිවිය පටන් ගත් නිහාල් මතට හිස්ටින් ලොරි ලෝඩ් දෙක තුනක් නොව, කන්ටේනර් ගනනාවක්ම පෙරළිණි. ඒ ගොඩට යටවුණු නිහාල් ඒ බර දරාගෙන අවුරුදු පණහක්ම ගත කලේය. හැබැයි නිහාල් ඒ ටින් වලට යටවී නිකම් හිටියේම නැත. තමන්ගේ දෙපාත්, කොන්දත් සවි ශක්තිමත් කරගැනීමට එය ආශීර්වාදයක් කරගත්තේය. පාඩුව වූයේ අපටය!! මේ සා බරක් ඉසිලීම වෙනුවෙන් ඔහුට ගිය අවුරුද්දේ උත්සවයක් පවත්වා උපහාරද ලබාදුණි! උපහාර උළෙලට සමගාමීව පැවැත්වූ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවන්හිදී මෙහෙම ප්රස්නද ඔහුගෙන් විමසෙයි! ඔහුද මෙසේ උත්තර දෙයි!
අද කලා ක්ෂේත්රය ගැන ඔබට සතුටුද?: ගායක ගායිකාවන්ට කලාකරුවන්ට විශ්රාම වැටුප්, අර්ථසාධක නෑ... ස්ථිර ආදායම් මාර්ග නෑ... ඒත් රජයට ගෙවිය යුතු ගෙවීම් ඔවුන් හිඟ නැතිව මාසිකව ගෙවනවා... ලයිට් බිල්, වරිපනම්, වතුර බිල් දුරකථන බිල් නොපමාව ගෙවනවා. කෑම බීමට, බේත් හේත්වලට ගෙවනවා... කලාකරුවන් කිසි කෙනෙක් ලයිට් කපා ගත්තේ නෑ... වතුර බිල් නොගෙවා වතුර කපා ගත්තේ නෑ. අපි ආණ්ඩුවට සලකන්නේ එහෙමයි.... ඒත් කලාකරුවාට... කලා ක්ෂේත්රයට මොනවද වෙලා තියෙන්නේ... කලා ක්ෂේත්රයට යමක් කළොත් එහි ප්රතිලාභ ඉබේම කලාකරුවාට ලැබේවි.
ඔබ තෘප්තිමත්ද?: ඔව්... මම කලා ක්ෂේත්රය තුළ බයත් නෑ.... ණයත් නෑ... මගේ ගමන පාඩුවේ යනවා.... මා කළ යුතු දේ කර තිබෙනවා.
- දිවයින -අජිත් අලහකෝන්
'සොමියට වරෙන් පුතා' නැත්නම් ආතල් එකට සෙට් වෙන්න කතා කරපු 'ගුණේ අයියගෙ' කාමරේ තාමත් ආතල්ද?: ඒක ඉතින් සමාජය තමයි තීරණය කරන්නේ. ඒක මිනිස්සු අතරට කොයි තරම් ගියාද, කොයි තරම් ආතල් ගත්තද කියලා මට හරියටම කියන්න බැහැ. මම හිතන්නේ ඒ ආතල් එක තවමත් හිත්වල ඇති. ඒ නිසානේ ඔයා වගේ තරුණ ගෑනු ළමයෙක් අදටත් මේ ගීතය ගැන මගෙන් අහන්නේ.
නිහාල් අයියගේ සින්දුවලට මේ තරම් ආතල් වචන සෙට් වෙන්නේ කොහොමද?: මේවා ඉතින් සමාජයේම තියෙන වචන තමයි. මට තියෙන ආතල් එක තමයි ඒ වචන එකතු කරලා ගීතයක් හදලා ඒක මිනිස්සු අතරට දාන එක. දැන් බලන්න සිංහල වර්ණ මාලාවේ අ යන්නෙන් පටන් ගත්තම සෘ, සෘෘ, වෙනකන් අකුරු තියෙනවා. ඒක මම ඉගෙන ගෙන තියෙනවා. ඉතින් දෙයක් මම කළා. ඒක ඔවුන් පිළිගත්තා කියලා දැනෙන එකම මට මාර ආතල්.
Riging Tone එකකට සින්දුවක් දීලා ආතල් ගන්න අදහසක් නැද්ද?: මම ඒ අංශය නම් කරලාම නැහැ. මට වඩා හොඳ Riging Tone එකක් තියෙනවාද නෑනේ. මට උප්පත්තියෙන් ලැබුණු Riging Tone එකක් තියෙනවානේ. ඒක මම මුළු ලෝකෙටම ඇහෙන්න Riging කරලා තියෙන්නේ.
- මව්බිම - අරුණි මල්ලවාරච්චි[මව්බිම මෙහිදී කථා කරන්නේ 'Riging(?)' ටෝන්ස් ගැනය!!]
ඔබේ මේ ගමනට අතහිත දුන් වෙනත් පුද්ගලයින් කවුරුන් ද?: අතහිත දුන්නු පුද්ගලයින් ගැන නම් නැව් ගාණක් කියන්න වෙනවා. ඒ නිසා මෙහෙම ලියන්න. ඒ. ජේ. කරීම් සංගීත ශිල්පියා ආර්. ඒ. චන්ද්රසේන මාස්ටර්ට මාව හඳුන්වා දුන්නා. චන්ද්රසේන මාස්ටර් ගාවට ගියාට පස්සේ තමයි මුළු රටේම ව්යාප්ත වෙන්න මගේ ගායන දිවියේ වැඩ පිළිවෙළ කෙරුණේ. (“ලස්සනට පිපුණු වනමල්” ගීතය සංගීතවත් කළේ ද චන්ද්රසේන මාස්ටර්මයි.) ඉන්පසු කරුණාරත්න අබේසේකර ශූරීන් ඇතුළු ලංකාවේ සියලුම ගී පද රචකයින්, සංගීතඥයින්, මාධ්යවේදීන් හැමෝම මට සහයෝගය දුන්නු නිසා තමයි රසික රසිකාවියෝ එක්ක එකතු වෙලා මේ ගමන එන්න මට පුළුවන්කම ලැබුණේ.
- සිළුමිණ - ජෝජ් රොබින්සන් ද සිල්වා
තවත් බොහෝ දෙනෙක් නිහාල් ගැන නොයෙක් දේ ලීවේය.
එහෙත් අර හිස් ටින් කන්දට යටව ගැයුනු අපුරු ගායනාවන් ගැන කිසිම ප්රසිද්ධ මාධ්යයක් හරි හැටි කථා නොකලේය. පුවත් පත් වලට නිහාල් තවත් ස්පේස් එකකි! රූපවාහිනී වලට ස්ලොට් එකකි! ගුවන් විදුලි සේවාවලට කට ගැස්මකි!
අද දවසේ මටද නිහාල් ගැන ලියන්නට දෙයක් නැත!
ඇත්තේ සිතෙහි සිර කර ගත් උද්ඝෝෂණ පාඨයක් පමණි!
ඒ උද්ඝෝෂණ පාඨයද "ජූලි වර්ජකයෝ වහා සේවයේ පිහිටවනු!" යන්නට නොදෙවෙනි උද්ඝෝෂණ පාඨයක් බව මටම තේරේ!!
ත්යාගා එන් එඩ්වඩ්ට තමන්ගේ සී ඩී පටය නිකුත් කරගන්නට ඉමහත් වෙහෙසක් දරන්නට වුණි!
විජේසිරිවර්ධන පොලොන්ඕවිටට තමාගේ සී ඩී තැටිය විකුනාගන්නට ඉමහත් වෙහෙසක් දරන්නට වුණි!!
නිහාල් හිස කෙළින් තබාගෙන සිටී!!!
හිස් ටින් වලද ආනුභාවයක් ඇත.
එය ධනුෂ්ක, නිහාල් පමණක් නොව අපි සියල්ලන්ම වෙලාගත් රැස් දහරකි!
එහිම ආනුභාවයෙන් තවත් තරුවක් 'නිහාල්වද' නැවත කරළියට ගෙනෙන තුරා ඉමු!
බන්දු සමරසිංහද මතක් වේ!
"ටින් බෙලෙක්ක තක්ක බක්ක - සද්ද අඬවලා
කබල්ම බස් එකක් සොයා - කොල්ලො ට්රිප් එකක් ගියා!"




