නිදිකුම්බා මල් කැකුලී....

ඩබ්ලිව් ජයසිරි කියන කලාකරුවා මම හරියටම හඳුනා ගත්තේ, මතක හිටිනම විදිහට, කරන්නාගොඩ අප්පුහාමි ගේ චරිතයෙන්... ඒ තිලක් ජයරත්නගේ කඩුල්ල නාට්‍යයෙන්.... අසාමාන්‍ය කලා හැකියාවන් වලින් පිරුණු කෙනෙක් ඔහු... බඹරු ඇවිත් සිත්තරේට "උදුම්බරා හිනැහෙනවා.... ඉර අවරට හැංගෙනවා...." අදහන්න බැරි ගීය ලියා ඇත්තෙත් ඔහු.... මහ නගරංකාර චරිතයක් වන කරන්නාගොඩ අප්පුහාමි අවසානයේ  සල්ලිය බාගේ තියන මුදලාලිගේ අතකොලුවක් වෙනහැටි අපූරුවට නිරූපණය කරනවා ජයසිරි මහත්තයා.... කඩුල්ල නාට්‍යය නම් කිහිප වතාවක් වත් බැලිය යුතු නාට්‍යයක්....
කොහොම නමුත් ජයසිරි මහත්තයා ලියපු  මේ අපූරු ගීයත් ඔහුගේ ප්‍රතිභාව කදිමට විදහා පාන්නක්....

සුලං හමයි...
ලොව නැලැවෙයි...
නුඹ නිදියයි.... නිසංසලේ..
නිදිකුම්බා මල් කැකුලී...
නිදිකුම්බා මල් කැකුලී...

බිම වැතිරෙයි.. යාය නිදයි...
අතු හැකිලෙයි... පිණි බේරෙයි....
මගේ දුකට නුඹ නාඬන්...
නිදිකුම්බා මල් කැකුලී....

ලොව සසළයි... නුඹ නිසලයි...
ලොව නිසලයි... නුඹ හිනැහෙයි...
මගේ දුකට නුඹ නාඬන්...
නිදි කුම්බා මල් කැකුලී...
සුලං හමයි...
ලොව නැලැවෙයි...
නුඹ නිදියයි.... නිසංසලේ..

ගීය අහන්න... ඔන්නම් බා ගන්න...

27 comments :

  1. මට අද හරි මහන්සියි අයියේ..ඒත් සින්දුව ඇහුවම අකුරක් හරි කොටලා නොයා කෝමද..?
    ඒ තරම්ම සිනිඳු ගීතයක්..
    ඔව් ඒක තමයි මට හිතෙන හරිම වචනේ..

    අර පිංතූරෙ ගැනත් මට කියන්න දේවල් බොහෝමයි.
    ඒත් දැන් අමාරුයි...

    ReplyDelete
  2. උඹට හිතන දේවල් ඔක්කොම කියනකල් මම බලාන ඉන්නවා...

    ReplyDelete
  3. අප්පට සිරි... මේක පට්ටම සින්දුවක් නෙ. ජයසිරි මහත්තයත් සෑහෙන වැඩ කාරයෙක් නෙ බලාන ගියාම.. මේ වගේ මල්ටි ටැලන්ටඩ් පොරක් හිටියා (තාමත් ඉන්නවා) භද්‍රජී මහින්ද ජයතිලක කියල, මතකද තිස්ස අයියා?

    ReplyDelete
  4. කෝ ඈ (ඔහු) කොයිද මගේ (අපේ) රන් කිරිල්ලී (කුරුල්ලා)...??

    ReplyDelete
  5. ඇත්තෙන්ම ඩබ්ලිව් ජයසිරි, ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්! වේදිකා නාට්‍යවල, ටෙලිනාට්‍ය වල මෙන්ම රිදි තිරයෙනුත් අපි ඔහුගෙ ප්‍රතිභාව දැක තිබෙනවා...

    තවත් පළමුවර එකක්... ඇත්තටම අපූරු ගීතයක්..
    හැමදාමත් වගේ බෙදාහදාගත්තට ස්තුතියි අයියා...

    @ වැම්පා...
    මචං භද්‍රජි මහින්ද ජයතිලක කියන්නෙත් අපූරුම අපූරු කලාකරුවෙක්! ඔහු නවකතාකරුවෙක්.. කෙටිකතාකරුවෙක්... චිත්‍ර ශිල්පියෙක්...ගී පද රචකයෙක්...නාට්‍යකරුවෙක්..

    මං ඔහු හඳුනගන්නෙ විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් විදිහට... දැනට රටින් බැහැරව ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වුවත් ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ රචනා කළ ඔහු වෙනස්ම ආරකින් ඒවා ඉදිරිපත් කර තිබුණා...
    ඔහුගෙ තුන් ඈඳුතු විද්‍යා ප්‍රබන්ධ කතා පෙළ වන සක්වල වහල්ලු, තාරක යානය, සුරන් මන්දාකිණි ඇත්තෙන්ම පාඨකයා වෙනස්ම මානයකට ගෙන යනවා..

    ReplyDelete
  6. මමත් මේක අහපු පළවෙනි පාර. මට හිතෙන හැටියට වචනවල ලස්සනට සංගීතයෙන් සාධාරණයක් වෙලා නැහැ වගේ. මේකට මීට වඩා ඇඟට දැනෙන සංගීතයක් යොදන්න තිබුනා. සනත් නන්දසිරි මහතා උනත් ප්‍රශස්ථ ගායනාවක් කරන්නෙ නැහැ මේ ගීතයේ. අනේ මම දන්නෙ නැහැ. මේ මට දැනිච්ච හැටි.

    ReplyDelete
  7. මං කැමැති බොහෝම ලස්සන සින්දුවක්. නිදිකුම්බා කියන පැලයට මා ගොඩාක් කැමැතියි ඒ ගුණය මේ ගීතයේ කියැවෙන්නෙ අපූරුවට "...ලොව සසළයි... නුඹ නිසලයි... ලොව නිසලයි... නුඹ හිනැහෙයි..."

    අගේය සටහන හා ගීතය.

    භද්‍රජී මහින්ද ජයතිලක ගැන සඳහන් වුනා නිසා සටහනක් නොතියා බැහැ නොවැ.

    "කෝ ඈ" ගීතය මං මුලින්ම ඇහුවේ 80 මුල, ඒ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා කල "සැරි සර ගුවන් විදුලි සඟරාව" කියන ජාතික ගුවන් විදුලි වැඩසටහනක. ඒ කාලයේත් භද්‍රජී ඇමෙරිකාවේ උන්නේ මගේ මතකයේ හැටියට. ඔහු ලංකාවට ආ කීපවිටෙකම "සැරි සර" තුලින් ගීත හා සාකච්ඡා මගින් දායක වුනා.

    අදත් භද්‍රජී ගේ ගීත වලට ගොඩාක් කැමැතියි.

    ReplyDelete
  8. @ ගල්මල්-Coral,
    ඔව් අයියෙ දන්න තරමින් 1973 විතර ඉඳන් භද්‍රජි මහත්මයා ඉන්නෙ ඇමෙරිකාවේ....

    ReplyDelete
  9. @ දුමී,
    "මේකට මීට වඩා ඇඟට දැනෙන සංගීතයක් යොදන්න තිබුනා. සනත් නන්දසිරි මහතා උනත් ප්‍රශස්ථ ගායනාවක් කරන්නෙ නැහැ මේ ගීතයේ"

    සංගීතය ගැන නම් මගේ දැනීම බිංදුවයි.. ඒත් අයිය කියන දේට මාත් එකඟයි. මේ පදවැලට මීට වඩා සාධාරණයක් කරන්න තිබුණා කියල මටත් හිතෙනවා...

    ReplyDelete
  10. මටත් කියන්න තියෙන්නේ මාරයා කියපු කතාවම තමයි. ගීතය දැන්ම අහන්න ඕනේ. නිවාඩුව අදහස් පළ කැන්නම්. තිස්ස අයියා තරහ වෙන්නේ නැහැනේ....?

    ReplyDelete
  11. මේ ගොයියා මෙච්චර වැඩකාරයෙක් කියලා දන්නෙ අදයිනෙ. කඩුල්ල - මම ආසම කරන එකක්. තව ඇල්ල ලඟ වලව්ව, දඬුබස්නාමානය එහෙමත් ඒ වගේමයි. බොහොම නපුරු පෙනුමක් තියෙන මේ මහ කළු සිංහලය, මේච්චර ලස්සන ඒවා ලියනවා කියලා දන්නෙ දැන්නෙ. සිංඩුවටම ගැලපෙන පිංතුරෙ, ෂෝක් කෙලි පොඩ්ඩි.

    ReplyDelete
  12. ඕං අදනම් සිංදුව නම් බාගත්තා...හොස්ටල් එකට ගිහින් තමා අහන්න වෙන්නේ...
    පද වැල නම් අපූරුයි...කට්ටිය දමපු කමෙන්ටු හැටියට නම් ගීතයත් අපූරු ඇති...
    ජයවේවා!!!

    ReplyDelete
  13. ඩබ්ලිව් ජයසිරි ගේ හැකියාව නම් මමත් විවිධ අවස්ථාවල දැකල තියනවා. අදත් සිංදුව අහන්න තමා මේච්චර වෙලා ට්‍රයි කළේ. දැන්ට කොමෙන්ටුවක් දාල යන්නම්. මෙකත් අහල නැති ගොන්නට වැටෙන එකක්.

    ReplyDelete
  14. ඩබ්ලිව්. ජයසිරි මහතා කියන්නෙ ඇත්තටම
    අධීන කලාකරුවෝ කියන අද බොහොම දුර්ලභ, සීඝ්‍රයෙන් වඳ වීගෙන යන
    ජීවීන් කොට්ඨාශයේ අවසන් සාමාජිකයෙක්.
    එතුමා සම්බන්ධයෙන් මගේ මතකයෙන් කිසිදා ඈත්වනොයන්නක් තමා
    1996 වසරේ "දියකැටපහණ" ටෙලි චිත්‍ර පටය සම්බන්ධව මෙහෙයවූ විචාර වැඩසටහන.

    ජාතික රූපවාහිනියේ "දියකැට පහණ" විකාශය වූ
    වහාම ලක් හඬ ගුවන් විදුලියේ පැයක පමණ ඒ ගැන විචාර වැඩසටහනක් ප්‍රචාරය උනා ජයසිරි මහතා ගේ මෙහෙයවීමෙන්,මේකට හඳගම, රඟපෑ නලු නිලියන්, කලා ශිල්පීන් වගේම,වෙනත් කලා විචාරකයනුත් සහභාගි උනා,
    ඇත්තටම මේ වැඩසටහන ඒ කාලයේ ලංකාවේ කලා භාවිතය පිලිබඳව ගැඹුරින් සාකච්ඡා වුනු තැනක්,

    මේ පෝස්ට් එක කියවද්දි මට එක්වරම මතකයට ආවේ,
    මේ "දියකැට පහණ" විචාර වැඩ සටහන.

    ReplyDelete
  15. අර රවී සොයුරගෙ අදහසට මාත් එකඟයි. ඇත්තටම ජයසිරි කියන්නෙ කෙලින් කතාකරන කලාකරුවෙක්. මාත් ඔහුගෙ සංවාද වලට සවන් දී තිබෙනවා.

    පිංතූරයත් හොඳින්ම ගැලපෙන් විඩියට තොරගෙන තියෙනවා.

    ලොව සසළයි... නුඹ නිසලයි...
    ලොව නිසලයි... නුඹ හිනැහෙයි...

    ලොව නිසසල වනතුරු නිසලව බලා සිටින, සිනහ වීමට ඔන්න මෙන්න කියා සිටින, ඒත් දුක්බර මුහුණක් වගේ තමයි මටනම් පේන්නෙ.

    භද්‍රජී මහත්මයා ගැනත් කතා බහට ලක්වීම බොහොම අගේ කරනවා. හැකියාවන් ගණනාවක්ම තියෙන මේ කලා කරුවා ලවා අපේ ගෙවල් පැත්තෙ (පන්නිපිටියෙ) පොඩි එව්වන්ට චිත්‍ර වැඩ මුලුවක් කළා අපි දැනට අවුරුද්දකට හමාරකට විතර උඩදි ඔහු ලංකාවට ආපු වෙලාවක. බොහොම සුන්දර මිනිහෙක්.

    ඔහුගේ ඒ අපූරු ගීතය අපි යාලුවො සෙට් වුණාම නිතරම ගායනා කරනවා. මේ ඒ වගෙ එක් අවස්ථාවක්. කැමති කෙනෙක් බලන්න.

    http://www.youtube.com/watch?v=oKO9-UMCLq0

    ReplyDelete
  16. ලස්සන පද ටික..... හැබැයි දුමී අයිය කිවුව වගේ ගීතයේ පද වලට සංගීතයෙන් සාධාරණයක් වෙලා නැති හැඩයි. ගීතයේ ස්ථායි කොටසට සංගීතයෙන් ලැබිල තියෙන ගැම්ම අන්තරා කොටසට යනකොට දියාරු වුන ගතියක් තේරෙනව.
    තවත් දෙයක්. මේ තියෙන්නෙ පැරණි පටිගත කල ගීතයක්. මෙහෙම ගීත කාලයක් තිස්සෙ ටේප් වල තියෙන කොටත් මුල් ස්වරූපය වෙනසකට බඳුන් වෙනවනෙ. ගීතයෙ කොලිටි එකට ලොකු බලපෑමක් වෙනව ඒක. ඉතින් සංගීතය වගේම කට හඬෙත් උදාසීන ගතියක් ඉස්මතු වෙනව.
    මෙහෙම අපිට මේ ගීත රසවිඳින්න සලස්වනවට අයියට පිං. නැත්නම් මෙහෙම ගීත ලංකාවෙ තිබුනදවත් නොදැන අපි පරලොව යයි.
    පැරණි නාට්‍ය ගීත එහෙම නැද්ද ???
    මං දවසකුත් ගීත කිහිපයක් ඉල්ලුව..... පුලු පුලුවන් වෙලාවට දෙන්නකො.....
    (අයිය ලිපියට අමුනල තියෙන්නෙත් ෆොටෝ එකක් වෙනුවට නිදිකුම්බා මල් කැකුළක්මනෙ.)

    ReplyDelete
  17. වලාමේ...හද ගී පොතේ සොඳුරු ඉන්ද්‍රජාලිකයා කොහා පලච්චිද????

    ReplyDelete
  18. අපුරු සින්දුව .....
    අපුරු පින්තුරේ .....

    hmmmmmmmmm.....
    "කවුද බොලේ මෙ ඈලිස් ??"

    මම
    "මේ මොහොත"
    "The Present Moment"

    ReplyDelete
  19. ඇත්තටම කෝ අපේ තිසා අයියා...

    ReplyDelete
  20. මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න...
    ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
    ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න...

    යාළුවනේ ....ඉස්මනට එන්න...මේ හාදයා කොහේ ගෙහුන්ද????..කවුරුහරි දන්නවද????

    සුලා..

    ReplyDelete
  21. සුලං හමයි...
    ලොව නැලැවෙයි...
    නුඹ නිදියයි.... නිසංසලේ...

    නැහැ... නැහැ... අඩවියේ ඇත්තෝ මේ දිනවල බහුල වැඩ රාජකාරී නිසා විවේකයක් නැතිව, ඒ හැර හොඳින් ඉන්නවා (ඔන්න අවසරයක් පතන්නේ නැතිවම සටහනක් තිබ්බා)

    ReplyDelete
  22. එහෙමනං ඉතිං වැඩ රාජකාරි අහවර වෙලාම අලුත් සින්දුවකුත් එක්කම එන්නෙ නැතෑ.

    ReplyDelete
  23. මේක ලංකාවෙ වෘත්තිය සමිති ව්‍යාපාරය ගැන ලියපු සිංදුවක්. හඳුනාගත්තොත් ඔබ මා ජයසිරි ගේ අනිත් මැජික් සින්දුව.

    ReplyDelete
  24. ලස්සන සිංඳුවක්.. මම මේ සිංඳුව අදමයි ඇහුවෙ..

    ReplyDelete
  25. ජයසිරිත් අන්තිමේදී කඩේ ගියා.

    ඕනෑම අදීන පොරක් තමන් ගේ ගාණ හරි ගියාම අළෙවි වෙනවා.

    ReplyDelete
  26. මට ගොඩක් දේ කියන්න නෑ. කෙටිම කෙටි වචනයක් කියන්න ඉඩ දෙන්න. පින්......

    ReplyDelete
  27. යසනාත් ධම්මික බණ්ඩාර: ඔබතුමා මේ පැත්තෙ ආ එකත් අපට ගෞරවයකි!

    ReplyDelete

 
Blogger Wordpress Gadgets