සැලෙන ලෙලෙන උකුලු තලේ..

රසායන විද්‍යා මහැදුරු ජේ කේ පී ආරියරත්න මහත්තයා අනූවේ අගභාගයේ පමණ සේවාස්ථානයට පැමිණියේ දේශනාවක් සඳහාය. ආරාධනය ආයතන බෞද්ධ සංගමයෙනි. ඔහුගේ මාතෘකාව ධම්මචක්කප්පවත්වන සූත්‍ර දේශනාව හා නූතන විද්‍යාත්මක ක්‍රමය අතර ඇති "සමානාත්මතාවන්" ය.  දේශනාව අතරතුර විශ්වීය සත්‍යයක් පිලිබඳ සඳහන් කල ඔහු ප්‍රස්න අසීමේ අවස්ථාවේදී විශ්වීය සත්‍යය යනු කුමක්දැයි ඇසූකල එක එල්ලේ උත්තරයක් නොදුනි. ඉන්පසු තවෙකෙකු "උපතින්ම සංවේදන ඉන්ද්‍රියයන් පහම අකර්මණ්‍ය කෙනෙකු අතින් සංස්කාර බිහිවේද..?"යි ඇසූ කල වටේ රවුම් ගසන්නට පටන් ගති.

අපට යමක් හරියට තේරුම් ගියාදයැයි යන්න විසඳාගත හැකි එක් මගක් නම් එය තමන්ගේ මිත්තනියට අවබෝධ කරදෙන්නට උත්සාහ කිරීම යැයි කව්දෝ විද්වතෙකු කියා තිබිණ.

බොහෝ කලා මාධ්‍යයන්ගේ උන්නතිය සඳහා යහපත් විචාර කලාවක් අත්‍යාවශ්‍යම වන්නේ එබැවිණි. යම් යම් මතිමතාන්තර, සංකල්ප, පංචේන්ද්‍රියන් හරහා ඔප්පුකරලීමට තැත්කිරීම හා ඒවාට අභියෝග කිරීම, ".... සාක්ෂාත් වෙත්වා.." යැයි නිතර අසනා, අප ඉන්නා වටපිටාවෙහි, නොසැලකිලිමත් මනසකට හෝ අවියත් මනසකට හැර අනෙකෙකුට නොකල හැක්කකයි සිතේ. ආදරය යනු රසායනික ක්‍රියාවලියක ප්‍රථිඵලයක් නම් එහි ප්‍රභේද ඇත්තේ කෙසේද යන්න කදිම පැණයකි.  "වදාරන්න පෙර හදාරන්න ඕනේ" යැයි වික්ටර් රත්නායක මහතා වරෙක කියා තිබිණ. ඩෝල්ටන් අල්විස් මහතා විසින් රචිත මේ ගීය "නුපුබුදු තැඹිලි මල් ඇගෙ දඟ යුගට මනකල් " කව පන්නයේ ගීයකි. සඟවා කියනා සෘංගාරය බෝහෝ කල් රසවිඳිය හැකි යැයි මට සිතේ. ඝණකාභයක් අතපත් කුඩා දරුවෙකු එය හරව හරවා විවිධ මානයන් දක්නා සේ ඒ රස විඳිය හැක.. කිසියම්ම රසයකින් තොරව එයින් බල්ලකුට දමා ගසන්නට සැරසෙන කල බාලාංස ගුරුවරිය හේ ලඟට ගෙන එයින් කල හැකි, ඒ දැකිය හැකි අපූරු මානයන් කියාදෙන්නාසේ යහපත් විචාරයෙන් ඔප්ණැංවෙන රසවින්දනය නැවුම් රසවත් නිර්මාණයටම මග පාදයි. ඒ වගත් මෙසේම....

සැලෙන ලෙලෙන උකුලු තලේ..
ලිඳට යනෙන වතුරු කළේ...
කල මහ පින පෙනෙන වෙලේ...

ඇහැල ගහෙන් පායන හඳ
ලඳුනි මටයි විහිලු කලේ....
ලඳුනි මටයි විහිලු කලේ....නාඹර මැණිකේ....
නාඹර මැණිකේ මැණිකේ නාමල් මැණිකේ...

උකුලේ නැඟැ නැලැවි නැලැවි
ලිඳට යනෙන වතුරු කළේ...
හොවා ‍රැගෙන මම එන්නම්....නොයන්න මැණිකේ...
නාදළු මැණිකේ නාමල් මැණිකේ...

ගීතය අහන්න... ඕන්නම් බාගන්න...


ඔව්වා ඔක්කොම කලාට පසු මෙතෙන්ට ගිහිල්ලා මේ සින්දුවත් අහන්න...
එතැනට පාර පෙන්නුවේ මේවා ගැන විමසුමෙන් ඉන්නා වැම්පයර්...
ඒ සින්දුව කියන්නේ මේ දරුවෝ දෙන්නා...
අපි වෘතයක යනවද, නැත්නම් වෘතයක යනවා කියලා හිතාන සර්පිලාකාරව පහලට යනවාද කියා ඔබම තීරණය කරන්න...
Read More!

දහඩිය මුතුලැල් උර පලඳින්නයි...!

වෛද්‍යවරුන්හට තමන් අතින් සිදුවන වෘත්තීමය අතපසුවීම් නිසා ලබන දඬුවම් වලින් මූල්‍යමය ‍රැකවරණයක් ලැබීමට රක්ෂණ ක්‍රමයක් ඇත්තේය. ලංකාවේ මෙය ප්‍රචලිත හෝ ආරම්භ හෝ වූයේ මහාචාර්‍ය ප්‍රියානි සොයිසා මහත්මියට එරෙහිව රියන්සි අර්සකුලරත්න මහතා (පසුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වර) විසින් ගොණුකරන ලද නඩුවෙන් මහාචාර්‍ය ප්‍රියානි සොයිසා මහත්මියට රුපියල් මිලියන පහක පමණ දඩ මුදලක් ගෙවීමට පසුව යැයි මගේ කල්පනාවය. නගාරන්තර දුම්රියේ නැරඹුම් මැදිරිය කෙසෙල් ගෙඩියක් ලෙලි ගසන්නාක් මෙන් පසා කරගෙන අනෙක් දුම්රියේ රියැදුරු සියදිවි හානි කරගත් පසු දුම්රිය වෘත්තීය සමිතීන් නැවතත් වැඩට බැස ඇත. නැනෝ කැබ් රථ කොලඹ නගරයට හඳුන්වාදීමෙන් පසු ත්‍රි රෝද රථ රියැදු‍රැන් විසින් මහත්ම උද්ඝෝෂණයක් නගනා ලදී. රජයේ රෝහල් වල ඇටෙන්ඩන්ට් වරියන් විසින් දැන් අඳිනු ලබන්නේ හෙදියන් අඳින නිල ඇඳුමට සමාන එහෙත් පාටින් ලා කහ ඇඳුමකි. මෙය ඔවුන් දිනාගත්තේ බලවත් වූ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හරහාය.

තම දහදියෙන් උපයන ශ්‍රමය සැබැවින්ම අභිමානයට කාරණයකි. එහෙත් එය කේවල් කලයුත්තේ ශ්‍රමාභිමානය ඔපනංවනා අයුරෙන් මිස තමන් අයිති වන අනෙකුත් කුලකයන් පීඩාවට පත්වන අයුරින් නොවේමය. අදටත් ප්‍රබල සක්‍රීය වෘත්තීය සංගමයකට පිටිබලය වන දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ අසූව දශකය අගභාගයේ වරද්දාගත් කාරණයනම් මෙයමය. පසුව යම් රූපාන්තරණයක් පෙන්වූ ඒ වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය ටී බී ඉලංගරත්නයන්ගෙන් පසු ලංකාවේ ඛණිජ තෙල් ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන්නම් තම දායකත්වය අනෙක් සියලු දේශපාලන පක්ෂ ඒ සම්බන්ධයෙන් පසුගාමීව සිටි වකවාණුවේ උපරිමව දක්වන ලදී. මෑත කාලයේ සිදුවූ හෙජින් ගිවිසුම [අනාථ ගිවිසුම - දැන් මෙයට බාර කරුවෙක් නැත...!] හා බාල පෙට්‍රල් කාරණා සම්බන්ධයෙන්, ජාතික පුවත්පත් කෙතරම් තිබුණද, වාර්ථාකරුවන් වාර්ථාකරණයේදී හා විග්‍රහයේදී කෙතරම් පඳුර වටේ කැරකුනද,මා දු‍ටු හොඳම විග්‍රහය කෙරුණේ පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මහතා පැවැත්වූ කථා දෙකකිනි. "ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්" යන දෙපිට කැපෙන කථාවේ එක් පැත්තක් නම් "ගමේ හැටියට මුලාදැනියා" වීමය. පංතියේ මොනිටර්ගේ සිට සියලුම නායකයින් පාලකයින් තේරෙන්නේ අපාතරින්මය... සක්‍රීය වෘත්තීය සමිති ක්‍රියාකරිත්වයකට සාමාජිකයන්ගේ වෘත්තීමය දැනුමද බෙහෙවින් ඉවහල් වේ...

ලංකාවේ විශ්ව විද්‍යාල වල තෘතීය අධ්‍යාපනය මැයින් බොහෝ විෂයන් ඉගැන්වේ. මේවා සැබැවින්ම රටට අවශ්‍ය ශ්‍රම බලකාය නිර්මාණය කිරීම වෙනුවෙන් නිර්මිත ඒවාද යන්න බලවත්ම ප්‍රස්නයකි. එය එසේ විය යුතුමද යන්න ගැන වෙනම "සිම්පෝසියමක්" වුවද පැවැත්විය හැක. "විශ්ව විද්‍යාල ඇත්තේ විශ්ව දැනුම ලබාගැනීමටය" යන සුරතල් වැකිය අප විසින් චිරාත් කාලයක් සුරකිනු ලැබ ඇත්තේය. ඉතා දුෂ්කර පලාතකින් පැමිණ විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය ලැබ දැන් පීඨාදිපතිවරයකු වී සිටින මහැදුරුතුමෙකුත් සහභාගී වූ ‍රැස්වීමකදී ඔහු විසින් "our students do not have adequate management skills" කී කල්හී, විශ්ව විද්‍යාලයේ නවක වදය ලබන කල අපට පුනුරුච්ඡාරනය කරන්න කී කුණුහබ්බ ගොන්නක්ම මගේ කටට ආවත් ඒ එළියට නොදමා වලකා ගත්තේ ඉතා අපහසුවෙනි. කළමණාකරණය කරන්නට නිෂ්පාදනයක් තිබිය යුතුය. නිශ්පාදනයක් කරන්නට එයට පුරුදු පුහුණු කරණු ලැබූ ශ්‍රම බලකායක් අත්‍යාවශ්‍යමය.. ඒ ඔස්සේ ගොඩනැගුනු, ඔපමට්ටම් වූ ශ්‍රමයෙන් අපට, රටට, අපේ මිනිස්සුනට ගැලපෙන නව නිපැවුම් උවමනාමය. ඒ සියල්ල පසෙක දමා විශ්ව විද්‍යාලය තුල සෙමෙස්ටර් ක්‍රමයක් ඔබා දරුවන්ට ඉස්පාසුවක් නොමැතිවම විෂය මොඩියුලයන් නිම කිරීමට බලකෙරෙන්නේය. ඉන්පසු අපේ ලමයින්ගේ දස්කම් මදියැයි ලමුන්ටම දොස් කියති.

අද අදේ මගේ සුපවයිසර්වරයා වෙත යම් ව්‍යාපෘතියක් ඉදිරියට යන ආකාරය සම්බන්ධයෙන් මගේ කණස්සල්ල ප්‍රකාශ කල විට කීවේ " ..yes I agree with your point, but we can't choose our parents, can you..?" හැබෑව... වටපිටාව කුමක් වුවද අද දවසේ අප අත ඇති එක් වගකීමක් නම් අප ලබනා වෘත්තීය හැකියාව උපරිමයෙන් මුවහත් කරගැනීමයි... ඉනික්බිති, ඒ ඒ මාර්ග ඔස්සේ ඊලඟ පරපුරට ඉදිරියට ඒමට මංපෙත් හෙලි පෙහෙලි කර දීමයි... ඒතුලින් ඔවුන්ට රටට දිය හැකි උපරිම දායකත්වය ලබාදීමට උදව් දීමයි... යම් දිනෙක, පිරිසක් වෙණුවෙන් තීරණ ගැනීමේ, ඒවා ක්‍රියාවට නැංවීමේ, අවස්ථා ඒ දරුවනට උදාවණු ඇත... එදාට ඔවුන් අප දැල්වූ කණාමැදිරි එළියෙන් රටම බබලවනු ඇත...


දහඩිය මුතුලැල් උර පලඳින්නයි...
දහසින් බැඳි මල් සිරසින් ගන්නයි...
රට බබලන්නයි දැය බබලන්නයි...
නිවහල් පැතුම් පතන්නේ...

පිටරට අතපා සිත කය සතපා...
වින්ද නිගා නැති වෙන්නයි...
රට බබලන්නයි දැය බබලන්නයි...
නිවහල් පැතුම් පතන්නේ....

අද බිම හෙළනා දහඩිය බින්දූ....
ගයාවි අපගේ නිවහල් සින්දූ...
රට බබලන්නයි දැය බබලන්නයි...
නිවහල් පැතුම් පතන්නේ....

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...

චන්ද්‍රාණි ගුණවර්ධන / ඩෝල්ටන් අල්විස් / ලයනල් අල්ගම
Read More!

පෙම් පාලා රෑ දිවා....

පසුගිය සැප්තැම්බර් නමවන දින ඇරඹුණු කුජ මාරුවක් ගැන ඵලාඵල සාකච්ඡාවක් අද උදේ මගේ නෙත ගැටුනා... පහත ඇත්තේ ඒ සංවාදයේදී තරුණයකු විසින් පලකල අදහසක්...

"මට නම් හිතෙන්නේ මෙච්චරයි..... ඉපදුනානම් කවදා හරි මැරෙනවා... ඒක හෙට උනත් එකයි, අද උනත් එකයි, දැන් උනත් එකයි, එන්න කියලා කෝල් එක ආවම මොන වැඩේ තිබුනත් අපි යන්න ඕනේ.... ඒක ගැන හිතලා හිත හදා ගත්තාම ඔය මොන මඟුල මාරු උනත් හිතට ගානක් නෑ..."

කුඩා කල කියවූ රුසියානු පරිවර්තනය කෘතියකට මගේ සිත දිවගියා... ඒකේ නම "අපේ කාලයේ වීරයෙක්"... කථාවේ එක් අවස්ථාවක කථා නායකයා උඩඟු මාන්නක්කාර තරුණයෙක් සමග ගැටුමක් ඇතිකරගන්නවා... ගැටුම සමථයකට පත් කර ගැනීමට ඔවුන් තෝරාගන්නේ රුසියානු රූලේට් ක්‍රමයට සමාන ක්‍රමයක්... තරුණායාට මුල් වෙඩිල්ල කථානායකයාට තැබීමට අවස්ථාව ලැබෙනවා... මානාධික ඔහු කථා නායකයා දිහා බලා රිවෝල්වරය අහසට එල්ල කොට කොකා ගස්සනවා... ඉන්පසු කකුලක් පිට කකුලක් දමාගනිමින් පුටුවක ඉඳගන්නා ඔහු යම් ඇට සහිත පලතුරක් සපමින් ඇට කටින් එළියට වීසිකරමින් කථානායකයා කොකා ගස්සන තුරු බලා ඉන්නවා, ...

කථා නායකයා ඒ වෙලාවේ මෙහෙම කියනවා... "ඔව් මම මේ අවස්ථාව දැන් පාවිච්චි කරන්නේ නෑ... මම දවසක මේ උණ්ඩයත් රැගෙන ඔබ හමුවට එන්නම්..." කියා... අවුරුදු ගණනාවකට පසු අර තරුණයා විවාහ වෙනවා... විවාහ දින සන්ධ්‍යාවේ රිවෝල්වරයත් අර උණ්ඩයත් රැගෙන කථානායකයා තරුණයා හමුවීමට යනවා... සුදුමැළිවණ තරුණයා දණින් වැටී ජීවිතය අයදිනවා...

ජීවිතය ගැන, තමා අවට සමාජ වටපිටාව, ආගම්, දේශපාලන න්‍යායයන්, සංස්කෘතික අංගයන් ගැන ප්‍රත්‍යක්ෂයෙන් අදහස් පලකිරීමට පෙර ඒවායේ දිග පලල පිලිබඳ පරිචයක් ලැබීම අවශ්‍යයි කියා මට හිතෙනවා... පරිගණකයක්, අන්තර්ජාල පහසුකමක් තිබූ පමණින්මම කෙනෙකුට සමාජයට බලපෑමක් කළහැකි ලියන්නකු වේ යැයි අධිතක්සේරුවකට පැමිණීම ඒ තරම් සාධාරණ නෑ... අන්තර්ජාලයේදී තමන්ට රුචි ඕනෑම දෙයක් ලිවීමට නිදහස ඇතත් ලිවීමේ අභ්‍යාසය සම්පූර්ණ වන්නේ තවත් කෙනෙකු එය කියවූ විට පමණි... අතථ්‍ය සත්‍යයෙන් මිදී සැබෑ ජීවිතයම ස්පර්ශ කල යුතුය... අකුරු කරන වචන වල ඇති සැබෑ බර අන්‍යයන්ට සංවේදනය කල හැකි වන්නේ ඒලෙස තෙම්පරාදු වූ සිතුවිල්ලි ගොන්නක් හරහා පමණි... නිසඟ ප්‍රතිභාවක් කෙනෙකුට පිහිටන්නේ කලාතුරකිනි...

අන්තර්ජාල පුවත් කඩමාලු හරහා විසිරෙන විසිහතර පැයේ ඕපාදූප, අපේක්ෂා භංගත්වයන්ම තැනින් තැන නැවත නැවතත් කට් ඇන්ඩ් පේස්ට් වී පැටව් ගස්සවනු ලබයි... අවසානයේ පුරුෂාර්ථ නැති සමාජයක් අප විසින්ම බිහිකරනු ලැබ ඇත්තේය... ගුණදාස අමරසේකරයන්ගේ "දෙපා නොලද්දෝ" කථාව එදාට වඩා අද තරුණ සිත පිලිඹිබු කරන කැඩපතක් වැනිය...

පෙම්පාලා ‍රැ දිවා...
සැළෙන, ලෙළෙන, ඇලෙන, ගැලෙන, බැ‍ඳෙන, ‍රැ‍ඳෙන, සිහින මවන...
සමණල රංචුව සේ...
සං‍තෝසෙන්....
හිතන, පතන, සොයන, බලන, මිහිරි සුවය, විඳිමු ලබමු...
චංචල මේ ලෝකේ....

අත්වැල් බැඳගනිමු...
සිත් සේ සතු‍ටු වෙමු...
විදුලිය තාලේ පියඹන කාලේ...
එන්නේ නෑ....

පෙම්පාලා රෑ දිවා...

මීවිත අතට ගමූ....
ගීතයේ රසය බොමූ...
ජීවිත ගමනේ මාවත මැදනේ...
මේ ඉන්නේ....

පෙම්පාලා ‍රැ දිවා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...

ගායනය එම් එස් ප්‍රනාන්දු
Read More!

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා...

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා...
ආදරයේ බිඟු යාද එමල හැර දාලා...
දුකදී ආදරයේ බිඟු යාද එමල හැර දාලා...

වනේ මලකට ලංවෙලා...
රහස් හෙමිහිට කොඳුරලා...
සීත සුලඟේ සැරි සරා...
පාමි පෙම් රැඟුමක් නුරා...

වැල්ල සිපගෙන ආදරේ..
රැල්ල පෙරැලේ සාගරේ...
නැද්ද බඹරෝ මාකෙරේ...
මුලදි පිදු ඒ ආදරේ...?

Read More!

ජීවන ගංගා ඉවුරේ අපී... ඇවිද යමු ප්‍රියේ...

නිවාඩුවට ගෙදර එනවිට ගෙනෙන තැගි බෝග අඩුක්කුව ඈ විවෘත කරනවා බලාසිටීම මා ඉමහත් ප්‍රිය කරන කාරියකි... එහෙත් මෙවර මට යමක් අමතක වී තිබුණි... "මේ මොකක්ද අප්පේ මේක... මොකක්ද මේ... පින්තූරයක්ද...? හ්ම්ම් ලස්සනට ඔතලත් එක්ක..." "ආහ්.. ඒක මේ මගේ යාලුවෙකුට...ඒක වෙනම තියන්න..." "හොඳයි හොඳයි..." වෙනදා මෙන්ම වැඩිදුර පුරස්න නොමැතිව ඈ ඉතිරිය අස් පස් කරන්ට පටන් ගත්තාය...

-------------------------------------------------------------------------

පාන්දර පහයි ගණනට ජංගම දුරකථනයේ එලාමයත් සමගම මාද අවදි විණි... මදුරු දැල ඈත් මෑත් කල ඈ බිමට පැන්නාය... ලොකු කොලූගේ සංගීත විභාගයත්, පොඩි කොලූගේ අමතර පන්තියකුත් පැවැත්වෙන අද, සෙනසුරාදාවක් වූවද ඇයටනම් නිවාඩුවක් නැත්තේමය... කෑමට බීමට අතොරක් නැති ජල්ලි අල්ලන පොඩි හාදයාට උදෙන්ම කිරි බෝතලයක් පොවා නොගතහොත් උදේ කෑම වෙලාවට කිරි පෙවීමට නම් දෙයියන්නාන්සේටවත් බැරිය... ඇය බිමට පැන්නේ ඒ සෑදීමට විය යුතුය... "කිරි එක දීලා ආයේ එනවා නේද...?" මම ඇසීමි.. "එන්නං.. එන්නං..."

ලද අවසරයෙන් ඇ‍ඳෙන් බිමට බට මා අල්මාරියේ සු‍රැකිව තැබූ, මා විසින්ම දින ගණනක් තිස්සේ අඟලෙන් අගල කපා සකසා රාමු කර රැගෙන ආ පින්තූරයත්, ඈ වෙනුවෙන්ම ඉතිරි කරගත් මුදලින් ගත් තෑග්ගත් කණ්නාඩි මේසය මත තබා නැවතත් ඇඳට පැන බොරු නින්දකට අවතීර්ණ විමි....

"ආහ්...?? මේ මොනවද...???"
මම දෙනෙත් නෑරීමි....
නිමේශයන් කිහිපයකට පසු... මගේ උරිස සෙලවූ ඈ... "ඒයි මොකද මේ තෑගි දීලා නිදාගන්නේ...?"
බොරු නින්දෙන් එළියට බට මා අපගේ විවාහ සංවත්සරය වෙණුවෙන් ඇයට සුභ පැතීමි...
ඇයගේ දැස් තෙමී යනු මට දැනේ... "අනේ මන්දා මේවට කොහොම ස්තූති කරන්නනද මම.. ඔයා හැම විශෙෂ දවසකටම මට මොනවා හරි දෙයක් දෙනවා..."
"ඔව්... ඒ වුනාට ඔයා මාව දිනපතාම සතුටින් තියනවා... එතකොට ඒ තෑග්ගද මේකද වඩා වටින්නේ....? "
ඈ මාගේ ලය මත මුහුණ හොවාගත්තාය... ඇගේ කඳුලින් මගේ ළය තෙත්වනු මට දැනේ...
දෑත දෙපය වාරු නැති වූ දාක මේ මතකයන් මා ප්‍රබෝධයෙන් තබනු ඇත...
දූ දරුවන් ජීවිතයේ තරඟ කාරිත්වයට අවතීර්ණව ජීවිත අවුල් කරගන්නා දාක ජීවිතය සරල සතුටින් පුරවන මෙබඳු අවස්ථා ගැන මට කියා දිය හැක...

රාමුකල පින්තූරය අතට ගත් ඈ ඒ දෙස බල සිටින්නට වූවාය....
කිරි බෝතලය හමාර කල පොඩිත්තා දිවවිත් ඇගේ අසළින් දිගාවී පින්තූරයේ අකුරු එකින් එක පුරුද්දමින් කියවන්නට විය....

"එ-යි-න් මි-දෙ-න මං-පෙ-ත සො-ය-නා ස-ඳ...
ඔ-බෙ-න් ලැ-බි-ණ නි-බ-ඳ-ව-ම සි-ය-ලු වෙ-ර..."

සිනාසුනු මා "ඔන්න එහෙමනම් තෑග්ග සම්පූර්ණයි හොඳේ..." කිවෙමි...
"චිත්‍රපටියක වගෙයි දෙයියනේ..." කී ඈ බෙහෙවින් තෙත්වූ දෙනෙතින් පොඩිත්තා වැලඳ ගත්තාය....

ජීවන ගංගා ඉවුරේ අපී... ඇවිද යමු ප්‍රියේ...
පායන හිරුට හාදු දී මල් පිපී තියේ..
ජීවන ගංගා ඉවුරේ අපී... ඇවිද යමු ප්‍රියේ...
පායන හිරුට හාදු දී මල් පිපී දිලේ...

නිම්නෙහී... සෞම්‍ය වේ... ගතෙහි සිතෙහි සුව සැදේ...
සුවඳින් පිරී... සිසිලෙන් සැදී...
සන්තානේ සං‍තෝසේ මෝදුවේ...
රුවැති ගුණැති දූ පුතුන් පිය කුසුම් වගේ..
පැහැද සුවඳ වී ගලා විහිදුවා ලෝ තුලින් නැගේ...

අනාගතේ ඔවුන් අතේ තබමු සතුට වේ සිතේ...
දුකින් මිදී... සැපෙන් සැදී සැනසීමෙන් සතුටෙන් ලෝ හිඳී...
ඉන්පස්සේ යන්නේ උදානයේ නිම්නේ බලා ඔබේ...
අවසානේ ගමනේදී යමු අපී..
ගංගා තීරේ ඔහේ...
ජීවන ගංගා ඉවුරේ අපී... ඇවිද යමු ප්‍රියේ...
පායන හිරුට හාදු දී මල් පිපී තියේ..

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!
 
Blogger Wordpress Gadgets