දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්...

මව් ගුණ ගීයක් හද ගී පොතේ ගියේම නෑ නේද... මොකද්ද හේතුව... හිතාගන්න අමාරුයි... මගේ මව්, මා වෙනුවෙන් විඳි දුක්, මා දැක නැති බැව් හැබෑය... නමුත් ඒ හා සමානව, මගේ දරු දෙදෙනා උස් මහත් කරන්නට වෙහෙසෙන "ඈ" සියැසින් දු‍ටුවෙමි... ඒ අනේක වූ දුක්ඛ දෝමනස්සයන් විඳගෙන , මුවින් නොබැන, මාගේද සියලු ඕනෑකම් සොයා බලන ඈ, මා දු‍ටු හොඳම අම්මා තනතුරේ තබමි.... විටෙක මගේම දරුවන්ට වුව දක්වන්නාවු ඒ සෙනෙහස මට ඉමහත් ඊර්ෂ්‍යාවක් ගෙන ඒ... මුඩුම මුහුනක් මවාගෙන නොසන්සුන්ව ඉන්නා මා දකින ඈ "මොකද මේ ඉතින්...?" යැයි විමසන්නේ, දරුවන්ගේ දඟකාරකම් කම් දැක, හිතයටින් සිනා නගන්නා මවක මෙනි... මටම හසුරුවා ගත නොහැකි, ඇසිල්ලකින් නොසන්සුන් වන මගේ සිත, කාලයාගේ ඇවැමෙන්ද, ඇගේ මුදු ගුණයට පින්සිදු වන්නටද, විසාල හානියක් නොකොටම, යටපත් වී ඇත්තාසේය... ඒ සියල්ලන් ම තිබියදී, මද්‍රි දේවියගේ වත සිහිපත් කරමින්, කව් ගොතා එවද්දී, කෙසේ නම් කඳුලු නොහෙලා සිටිම්ද... ? ඉවසන්නට බැරිම තැන, බැරි බැරි ගාතයේ, යන්තමින් වචන ගලපා, වරෙක ඇයට ලියා යැවූ පාපොච්චාරනයක කොටසක් මෙසේය...

මුදු මොලොක් නොවූ මගෙ, රළු වදන්, අකටකම්,
තලාවී, පෙලාවී, ඔබ..., උපනූපන් ජාතියෙම...
එපා ඔබ පතන්නට...මා සමග ගෙවන්නට...
සංසාර භව සයුර, මතක් කරමින් නිබඳ,
මද්‍රි දේවියගෙ වග...

අහිංසක, මටසිලිටි, හදවතක රාවයක්...
හඳුනනා හදවතක, සෙනෙහෙබර මුදු සිතක...
රැකවරණ ඔබෙ සිතට, ලැබේවා නිරතුරුව...
උපනූපන් ජාතියෙම...

ඔබෙ කුසට තුරුල්වී, නිදාගන්නා ගුලිව...
දෝරෙ යන ඔබේ ඒ සෙනෙහසේ සෙවණ යට..
බිලිඳෙක්ව වසන්නට පතන්නම් මා නිබඳ...
උපනූපන් ජාතියෙම...
ඒ නිසා හිතවතිය...

මේ නිමක් නොවන ආලවට්ටම් කියවන්නාවු ඔබටත් මගේ ආචාරය.... ඇය වෙනුවෙන්ම අද ටී එම් ජයරත්නයන්....

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන්....
තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා සොඳුරියේ... නුඹයි ඒ අම්මා..

අහස මෙන් ලත් චෝදනා... පොළව මෙන් දුක් උහුලනා...
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා...
සොඳුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා...

සිතට සැනසුම් කල්පනා... ගෙනෙන පාදා වාසනා...
තනා ටජ්මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ...
සොඳුරියේ නුඹෙ රුව අඹාගමි මහද මන්දීරේ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න...
Read More!

කොබෝ ලීල මලක මිදුණු පිනි කඳුලැලි සේ..

මා කුඩා කල ඇසූ ලස්සනම ලස්සන ගීයක්... මම කොහොමත් ඇස් ගැන කියන සින්දු වලට කැමතියි... මා වශී කල ඒ දෑස් කාලයාගේ ඇවෑමෙන් ඒ වාගේම ලස්සන දෑස් හතරක් මට දායාද කලා... මගේ අතින් සිත් රිදවුනු කල, ඇගේ ප්‍රධානම භාව ප්‍රකාශන මාධ්‍යය වන කඳුලු වලට ගලායන්න ඇරලා ඉවතබලා ඉන්නවා... පියවි ලෝකයට එන මා දකින්නේ රතුවූ දෙනෙත් හා පිටි අල්ලෙන් පිසලන කඳුලු... සියලු අකාරයේ සමාව ඇයදීම්, ශපත කිරීම්, බැගෑපත් වීම් පලක් නොවුනු විට මා පාවිච්චි කරන අවසාන අවිය නම් ගීයයි... දෙවුරට දැත් තබා ගොරහැඩි මහහඬින් ගයන ගීය බොහෝ වෙලාවට "එපා, මට ඕන්නෑ" යි කීවද ඈව හිනස්සවනවා... මේ එවන් අවස්ථාවලදී යොදාගත් එක් ගීයක්...

කොබෝ ලීල මලක මිදුණු පිනි කඳුලැලි සේ...
මොකෝ කඳුලු පුරවාගෙන ලස්සන දෑසේ...

නුබට බබෝ කවුරු තැලූ...
ගම්මැදිබඩ ලමයි තැලූ...
ඇයි ලමුනේ බබුට තැලූ...
අපිට තැලූ අපිත් තැලූ...

එකටෙක කරනට හොඳනෑ ළමාවරුන්නේ...
වෛරෙන් වෛරය කිසිදින නෑ සන්සිඳුනේ...
එහෙනම් ඇයි සුදු අපහට කලුයි කියන්නේ...
ඒකයි අපි එලව එලව බබුට තලන්නේ....

ළමුනේ ඔබ මෙකෙන් තැලූ...
දලමැක්කෙන් පිටට තැලූ...
මින්මතු නොකියාවි කලූ...
පුංචි බබා වෙයි යාලූ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න....
Read More!

වලා ගැබින් තරු අතරින් එබී බලා...

ඉස්සර බට නලා වාදනය කරනවා තියා, පුරුදු වෙන්නවත් දෙන්නේ නෑ හැන්දෑවේ හයෙන් පස්සේ... ඇහුවහම කියන්නේ ගෙට නයි එනවා කියලයි... නයි කෙසේ වෙතත් මේ ගීයේ අමුතුම ගුප්ත විදිහකට බටනලාව වාදනය වෙනවා.. හිතෙන හැටියට සාම්ප්‍රදායික බලි ඇරීමකට සමාන වාදනයක් කියලා හිතෙනවා... යක් බෙර වාදනය නම් කියලා වැඩක් නෑ... මේකේ මහ අපූරු විදිහට එකම පදය දෙවිදියකට ගායනා කරනවා... ඔව්... මගේ දෑසට හොරෙන් අවුත් , පුබුදු කල නීල නුවන් ආලෝකය වාගේම... අමරදේවයන්ගේ අපූරුම නිර්මාණයක්....

වලා ගැබින් තරු අතරින් එබී බලා...
රුවන් මැදුරු මා හදවත විවර කලා...
බාල චන්ද්‍ර සඳමඬලින් පහන් වෙලා...
නීල නුවන් ආලෝකය පුබුදු කලා...


සත් මුහුදින් එතෙර පිහිටි කිරිගල්පොත්තේ...
සත් රුවනින් ඔපලා සැදි සඳුන් විමානේ...
කිත් යසසින් වැජඹෙන ඔබ මෙහි ආ දවසේ...
සත් පියුමන් පිපුණා මෙනි මේ රන් වැරළේ...


හිරු අවරට ගියවිට මල් හටගන්නේ...
මලේ සුවඳ ගව් ගනනක් පැතිරෙන්නේ...
ඒ මල් නැති ලොවෙහි අඳුර පැතිරෙන්නේ...
ඒ සුවඳිනි හිරුත් සඳුත් උපදින්නේ...


පෙති ගෝමර රන් ගෝමර වඩා පිපුනු මල...
කිරි කර නැගි තරු නහදති ඉබේ පිපුණු මල...
මගේ දෑසට හොරෙන් අවුත් දෑස් හැරෙවු මල...
ලොව අලු වන දා පමණක් පරවී යන මල....



Read More!

මා දුර ඈතක යතැයි සිතා...

ඇටෙන් පොත්තෙන් එලියට එන්න ඉස්සෙල්ලම "බඹා කෙටූ හැටි " කියෙව්වා... හරිනම් මුලින් කියවන්න ඕනේ "ගොලු හදවත"... දෙවෙනි කොටස ඉස්සෙල්ලා කියවන්න වුනා... හම්බවෙච්චි පිලිවෙල නොවෑ... ඔහොම ඉන්න කොට ඕ ලෙවල් වෙනකොට කරුනාසේන ජයලත්ගේම අපූරු පොතක් හම්බ වුනා... "ලස්සන ඇස්"... (ඔහුගේ සියලුම කතා අකුරු හයක නම් වලින් යුක්ත වූයේ අහම්බෙන්ද...? "යහලු යෙහෙලි", "ගැහැනු ලමයි" හා ඉහත කී ඒවා...) ලමා වයසේත් තරුණ වයසේත් අතරමැද්දේ ඉන්න කථා නායක වික්ටර් ට ඔහුව තුරුණු වියට කල එලි බස්වන ලස්සන ඇස් යුවලක් මුණ ගැහෙනවා... කව්ද හිතුවෙ ඒ වෙනකොට ගැහැණු අරහං වෙච්චි මටත් ඔයදේම වෙයි කියලා....? සංගදිය කොච්චර දුර දිග ගියාද කියනවනම් සමරු පොතේ "ඉන්ද්‍ර නීල මිණි සේම දෙනෙත් යුග, නොකරමි දිනෙක රතූ..." කියල ලියල perfume එහෙමත් හලල iron කරලත් තමයි ආපහු දුන්නේ... ඒ මනුස්සයට ඉන්න හිටින්න නෑ... මොකද සමරු පොත එලියට ගන්න නෑ, පුසුඹේ බැරුවා...
මොන පොරොන්දු දීල එක්කන් ආවත්, උපන් ගෙයි මල පැනිල්ල පාලනය කරගන්න බැරි වෙච්චි වෙලාවට, ඉතින් රතු වුනා නෙවෙන්නම්, දෙනෙත් යුග... කාලයත් එක්ක ජීවිතේ බර දැනෙන කොට, තාවකාලිකව හෝ වෙන්වෙන්න වුනහම නම් හැබැයි ඇස් රතු වෙන්න ගත්තේ අප දෙදෙනාගෙම... ගුවන් තො‍ටුපලට මා කඳවා යන රිය තුලින් හිස හරවා බැලූ විට, සුරතින් මුව වසා වැලපෙන ඇයගේ බොඳවුනු නෙත්, නැවත හමුවන තුරුම මා සිහියේ ‍රැ‍ඳෙනවා....

මා දුර ඈතක යතැයි සිතා...
ඔබ මෙහි තනිවී ඇතැයි සිතා...
සොවින් තැවී ලතැවී හිඳිමින්...
නිල්මිණි නෙත් යුග බොඳ නොකරනු මැන....

ඔබගෙන් වෙන්වී සමුගෙන යන්නට මට දිරියක් නැත්තේ...
එනමුදු සොඳුරිය අප දිවි ‍රැකුමට මා එහි යායුත්තේ...
ඔබේ මියුරු බස් කල කී දේවල් හද තෙරපී ඇත්තේ...
ඉඩක් ලැබුනු විට ලියා එවන්නම් විස්තර ඒ පැත්තේ...

අදින් පසුව මා අඳුරු අගාධෙක නිරතුරු තනිවෙනවා...
ඔබේ සුවඳ මා හදවත් අරණේ පමණක් පවතිනවා...
ඔබ තනිකර දා වෙන්වී යන මුත් හදවත වැලපෙනවා...
කිසියම් දවසක මා මිනිසෙකු වී යලි ඔබ වෙත එනවා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න....
Read More!

ආලකමන්දා නාරිලතා සේ...

සනත් නන්දසිරි ගේ කොපමන නම් මනෝරම්‍ය ගී තියනවාද... මම එක සැරයකුත් කිව්වා වාගේ නාලිකාවල අහන්න ලැබෙන්නේම "මම නම් ආසයි අහන්න නයනා..." වගේ මෑත කාලයේ බිහිවුනු එතරම්ම මධුර නොවූ ගී... පැරණි ඒවා නොදන්නා කමද එහෙම නැත්නම් සොයා බලන්න ඇති නුවූමනාවද කියලා මට කියන්න අමාරුයි.... ඔහුගේ තවත් මම කැමතිම ගීයක් මට තවම සොයා ගන්න බැරිවුනා...
"රතු මල් ඔසරිය පාවී පාවී බස් නැවතුම ලඟ ලැගුම් ගනී...
යුවතිය ඔබ වට රතු මල් අතරින් ඔබ රූ සම අන් රුවක් මැවේ...
සැක හැර බලමි කෙසේ ...සැක හැර බලමි කෙසේ..."
තමයි ඒක... දන්නා කෙනෙක් ඇත්නම් තියන තැනක් ... කිව්වොත් පිං බොහොම.... මේ ගීයේත් පියානාව හා බොංගෝ වාදනයක් අපූරුවට මුහු කරලා තියනවා...

ආ... ආලකමන්දා... නාරිලතා සේ ...
සිතුවම් කල මැන පෙම් රේඛාවෙන්
ආදර අසිරිය මාහද කැටපත් පවුරේ...

රෑ... රෑ මනමාලිය...
මල් පිපි රෑකදි...
කනාමැදිරි එලි දල්වන රෑකදි...
පවන් සලනු මැන ඉහ ඉද්දර ඉඳ...
ඔබේ ආදරේ විජිනි පතින්..

සඳ වතුරේ රන් නෞකාවේ නැග...
පාවී අවුදින් නැවතී මාලඟ...
සිදංගනා සේ සිනා සලා...
පවන් සලනු මැන ඉහ ඉද්දර ඉඳ
ඔබේ ආදරේ විජිනි පතින්..

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න....
Read More!
 
Blogger Wordpress Gadgets