ඕ... එන්න ඈත යන්න ප්‍රේම ගංතෙරේ...

විවාහ වර්ග කිහිපයක් ඇති බැව කියවේ. සැණකෙලි ආකාරයෙන් පවත්වන්නාවූ බ්‍රහ්ම හෙවත් ප්‍රජාපතී විවාහය එකකි. හුදු දෙදෙනාගේ කැමැත්ත මත පමණක්ම විවාහය සිදු කිරීම ගන්දබ්බ ගාන්ධර්ව විවාහ යැයි කියනු ලැබේ. අසුර විවාහය සිදුවන්නේ යෝජිත ආකාරයෙනි. විවාහයට පෙර ඇල්මක්, බැල්මක්, කැල්මක්, ඒ හැටි ඇත්තේ නැත. මනුෂ්‍ය විවාහය, සිරිත් විරිත් වලට තැනදී දෙපක්ෂයේ සහෝයෝගයෙන් කෙරෙන්නකි.

මා විවාහෝත්සව සහභාගී වීමට ආසාකරණුයේ ඒ එක් එක් අවස්ථාවල සිදුකරන චාරිත්‍ර වාරිත්‍ර විදි නැරඹීමට ඇති බලවත් ආසාව නිසාමය. බුලත්, සුදු රෙදි කච්චියක්, රන් නූලක්, පැන්කෙණ්ඩිය, තැළි-පිළි හා මුදු, පොල්ගෙඩියක් හා කැත්තක් මූලික වශයෙන් පෝරුව චාරිත්‍රයනට අවශ්‍ය කළමණාය. මනුෂ්‍ය විවාහය යශෝධරා විවාහය ලෙසද හැඳින්වේ. පෝරුවෙහි චාරිත්‍ර විදි, අෂ්ඨක ගායනා ආදියට වැඩිහරියක් පාදක වී ඇත්තේ මේ සිදුහත් බෝසතාණෝ හා යශෝධරා විවාහයයි.

පුන් කලස්ද, පොල් මල්ද, ධෘතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතරවරම් දෙවියන් වෙනුවෙන් දිලෙන පහන්ද, උඩට උඩු වියන්ද, පයට පාවඩද, ඇට පස් වර්ගයකින්ද යනාදී අංගයන්ගෙන් සැරසුණු පෝරුව ඉතා අලංකාර වෙයි. මගුල් බෙර වාදනයෙන්ද, නැටුමින්ද මනෝරම්‍යව කැඳවාගෙන එන්නාවූ මනාලයාත් මානාලියත් ඒ දෙපස සිට ගනී. ත්‍රිවිධ රත්නයේ පිහිට පතා, පිරිස පසඟ පංච ශීලයේ පිහිටවූ පසු මාමාවරුන් විසින් දෙදෙනා පරිස්සමට පෝරුවට නංවනු ලැබේ.

ලකුණු දැන අප බෝසතානෝ - විදුරසුන් පිට වැඩම කරමින්
මෙකුණු සසරෙහි තිබුන කෙලෙසුන් - නසා අලුයම බුදු වෙමින්
අකුණු හඬසේ ගර්ජනා කර - එ වසවතු බිඳ හැරි තෙදින්
දකුණු පය පෙරටුව තබා පෝරුවට - ගොඩවෙනු නැකත හරි දැන්

පෝරුව චාරිත්‍ර ඉටුකරන්නා විසින් පත්තිනි මෑණියනට භාරයක් ලෙස යුවල අතට දී නැවත ලබාගන්නා පලමු බුලත් අත සහ පඬුරු, පෝරුවේම උස් තැනෙකින් තැන්පත් කරයි. හත්වෙනි මුත්තාගේ සිට අවිඡ්ඡින්නව පැවත එන දෙදෙනාගේම හත්මුතු පරම්පරාව වෙනුවෙන් දෙදෙනා අතින් වෙන්වෙන්ව බුලත් හුරුළු හයබැගින්ද දෙදෙනා අතින්ම එක් හුරුල්ලක්ද පෝරුව මත බිම හෙළනු ලැබේ. මහී කාන්තාව මත අඛන්ඩව පැවැති පරපුරකින් පැවත ආ මිනිසුන් යුවලකට ඇගේ අශීර්වාදය ඉන් ලැබෙන්නේය. පුවක් මල් කිණිත්තෙන් ආශීර්වාදය ලබාගන්නා යුවල, පෝරුව කාරිය කරන්නාටද බුලත් දෙනු ලැබේ.

මහත්මවූ සෙනෙහසිකින් යුතුව ජීවිත කාලය පුරා බලාගන්නා බවට හතර වරිගය ඉදිරි පිට පිළිද, තැළිද අන්දවා මනාලයා විසින් සංකේතාත්මක පොරොන්දුවක් දෙයි. මංගල මුදු හුවමාරු කිරීමෙන් පසු සුලැඟිලි එකට බැඳ අතපැන් වත් කොට මනාලියගේ පියා විසින් මනාලයාට සිය පණසේ රැක බලාගත් දුවණිය පවරා, පාවා දෙන්නේය. ඉදිරියේ එන සකලවිද ගැටළු සීරුවෙන් දිග ඇරගතයුත්තාවූ මෙන්ම, ගැට ගැසුනාවූද, දියෙන් තෙත්වීමෙන් තදවුනාවූද. සුලැඟිලි වෙන්කරගන්නා යුවල, ඉනික්බිති කිරිබතින්ද දියබිඳකින්ද සන්තර්පණය වී පෝරුව ඉඳුල් කරන්නෝය.

ඉන්පසු එළඹෙන්නේ වැදගත් අවස්ථාවකි! සියල්ලනටම හැඟුම් බර අවස්ථාවෙකි!!

පෝරුව චාරිත්‍ර ඉටු කරන්නා මතක් කරදෙනුයේ සුබ්‍රහ්ම ගම්පතියාගේත් මාලතී බැමිණියගේත් දුහිතෲ රුමත් සෝමසීලී දියණිය ආවාහ කරදීමේදී වූ සිද්දියකි.

එදා දඹදිව තල - ඔක්කාක නම් රජ කල
සුබ්බ්‍රහ්ම ගම තුල - බමුණෙකු දරණ බල කල

මාලතී නම් ලද - බැමිණිය හට සතුට මැද
ලැබුණු දියණිය සොඳ - සෝමසීලී වීය මන නඳ

පොවා කිරි ලේ කොට - අදරින් හදපු දියණිට
නිසි වයස වන විට- සෙවී තරුණෙකු සුසර දිවියට

තරුණයෙකු ආවා - රුවැතියට ඇහැ ලෑවා
ඔහු සතුටු වූවා - මම කැමැත්තෙමි මවට කීවා

පුතුගෙ දෙස බලලා - දියණියට අත තියලා
හරි යසට ගයලා - කීය මෙලෙසින් සුමට කරලා

'බොහෝ දුක් විඳලා - හැදුවෙමි චරිතෙ රැකලා
එම කුලිය ගෙවලා - රැගෙන යනු මගෙ දෙපා වැඳලා'

තරුණයා එතකොට - මව්නි කිම කුලියට
එවිට තම දියණියට - කුලිය දෙන්නැයි කීය මෙලෙසට

'දස එකඩ මස සරී - උපන්දා සිට දුන් කිරී
කච්චියක් රෙදි සරී - තෙමෙන්නට ඇත දුවට දුන් කිරී'

ඒ ඇසු තරුණයා - ළය දැවටුවා කරුණා
පවුළෙ අය පිරුණා - කුලියෙ මෙහෙවර මෙලෙස කෙරුණා

රනින් හෙප්පුවකුයි - රනින් නිමැවුණු ගිරයයි
රනින් කිල්ලෝටෙකුයි - රනින් කෙන්දක් සමග බුලතුයි

කිරිකඩ රෙද්ද ගෙන - හෙප්පුව බුලත ඇතුරුණ
මත තබා අඟයන - ගිරෙයි කෙන්දයි තැබුණි සතුටින

එය මවට දුන්නා - හිසෙන් හිස මත ගන්නා
එ පිළිබඳ දන්නා - යුරෙන් පස්පසට පියමැන්නා

තෙත්වුණු දෑසින් විවාපත් යුවල අතින් කිරිකඩ සේලය හිසින් ගන්නා මනාලියගේ මව, පිටුපසින් පිටුපසට යන්නේ විවාපත් යුවලගේ කෘතවේදීත්වයට අශීර්වාද කරමිනි....
-------------------------------------------------------------------------------------------------------
අම්මා ආසයි බෙල්ලන්විල යන්න ඉස්සර ඉඳන්ම....

එහෙමනම් අම්මව එක්ක යමු... දැන් ඇවිදින්නත් එන්න එන්නම අමාරු වෙනවනේ....
අයියලාටත් වැඩ අධික එකේ අපි කරමු...
පොඩි පිරකර කිහිපයකුත් ලෑස්ති කරමු ගමේ පන්සලේ ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේලා කිහිප නමකට අම්මා අතින්ම පූජා කරවන්න...

ඔව් එහෙම හොඳයි තමා... එහෙමනම් මම ලෑස්ති කරන්නම්....
-------------------------------------------------------------------------------------------------------
අපි ගියා බෙල්ලන්විල පන්සලට උදේ... ඔක්කෝම හොඳට කෙරුණා...
එන ගමන් ගමේ පන්සලටත් ගියා... පිරිකරත් ඔයා කීව විදිහටම පූජා කෙරෙව්වා...
ලොකු හාමුදුරුවෝත් හිටියා... ලොකු හාමුදුරුවෝ අතින්ම අම්මට පිරිත් නූලකුත් දැම්මෙව්වා..
ඔයාට ස්තූතියි ඈ ඉතින් මාව මේ වැඩේට උනන්දු කරාට...


හ්ම්ම්ම්... මේ පාර ඇනිවසරියට ඉතින් ඉන්න වෙන්නේ නෑ ලඟට වෙලා...
මුකුත් තෑග්ගක් ගන්න ලැබුනෙත් නෑ...
ඉතින් අර උනන්දු කිරීම, ඔයා වගේ කෙනෙක් මට හදලා වඩලා දුන්නු අම්මට දීපු තෑග්ගක් විදිහටවත් ගන්න එහෙමනම්...

අවුරුදු දහ අටකුත් ගියානේද..? 
යාළුවෙලා හිටපු අවුරුදු හතත් එක්ක බැලුවම ජීවිත කාලයෙන් බාගයකටත් වැඩියෙන්....
ඒක නේන්නම්....
-------------------------------------------------------------------------------------------------------


ආ සීත සුනිල ප්‍රේම ජලේ... ප්‍රේම ගංතෙරේ...
මල් පෙම්බරී දෙතොලෙහි බඹර තොල් පොරේ...

ඒ රාග මැවිලා සුමදුර මත්වෙන තාලේ..
ඒ සිතිජෙහි පෙම් රූප මැවේ සීගිරි කාලේ...
ඕ එන්න ඈත යන්න ප්‍රේම ගංතෙරේ...
ආ සීත සුනිල ජලේ ප්‍රේම ගංතෙරේ...

ඕ පැහැර ගනී තීගේ දෙතොල් පැහැ දින රාජා...
තී දෑසෙහි නිල් මිණි පැහැ දෙයි මේ දිය ඕජා...
ඒ දේව ලියෝ ඔබේ රූ දැක ඈත අම්බරේ..
ආ සීත සුනිල ජලේ ප්‍රේම ගංතෙරේ..

මා පාට කුසුම් තෝරා පෙම් මාල ගොතන්නම්..
මල් පියලි  වැදී සියොමැලි රත් ඇඟිලි රිදෙයි පෙම් ..
ආ දේවි ප්‍රේම වදන් ප්‍රේම ගංතෙරේ...
ආ සීත සුනිල ජලේ ප්‍රේම ගංතෙරේ
...


පසු ලිපි: ජූලි 2019
ගීයේ තනුව පාදක කරගත් හින්දි ගීය

46 comments :

  1. Saw this somewhere....

    // වසර ගානන් කල් ගෙවී ගිහින්
    ඔබ මා
    මා ඔබ අතිනත ගෙන....

    සිහිවෙයි අද වාගේ
    ඒ සොදුරු දා
    සිහිනයක් වගේ

    දිවි මන් පෙත
    පිය ඔසවා
    යන්නට
    මේලෙස
    පතමු සැමදා
    එක වාගේ,,,,,,,,,,//

    ReplyDelete
  2. මේ පෝස්ට් එක තිස්සයියගෙ විවාහ සංවත්සරේ වෙනුවෙන් ද?

    මොනව උනත් ලංකාවෙ පෝරුවෙ චාරිත්‍රනං සෑහෙන්න සිත් ඇදගන්නා සුළුයි. විදේශිකයො උනත් මෙහේ ඇවිල්ල කසාද බඳින්නෙ ඒ හේතුව හින්ද වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. කොල්ල ඒ දවස්වල සාටකේකුත් දාලනෙ ඉඳල තියෙන්නෙ. :D

      Delete
    2. ඔව් ප්‍රසා මල්ලී...
      ඇත්ත ඒවා එක්ක ගැට ගැසුනු කථාන්තරත් ඊටත් වඩා රහයි...
      ප්‍රී ෂූට් එහෙම තිබ්බේ නෑ නේ ඒ කාලේ ;-)

      මේ ඒ දවස්වල පින්තූරයක් නෙමේ මල්ලී ගිය මාසේ එකක්..

      Delete
  3. උත්සාහය සැබවින්ම අගය කළ යුතුයි
    කදිම ලිපියක්
    ජයවේවා හද ගී පොත

    ReplyDelete
  4. පෙරා අප මුනි පුරා පෙරුමන් වරා සිදුහත් නම නිදුල්
    හැරා දස බිම්බරක් මරසෙන් නසා හැර කෙලෙසුන් සියල්
    වරා බුදුබව ලබා සතියක් විසූ බලයෙන් ජය බොමුල්
    තිරා කල් මෙම යුවතිපති දෙදෙනාට වෙත්වා ජය මගුල්

    ReplyDelete
    Replies
    1. චහ්... අපූරු කවියක් නෙව...
      මේක මොන කවි පංතියක තිබිච්ච එකක්ද වයලීනෝ?

      මේ ගොඩක් කවි වල බුදුහාමුදුරුවන්ගේ බුදු බව ලැබූ වීර්‍යය මතක් කරල දෙනව නේද?
      "සිරිමා බෝමැඩ මුනිඳුන් වැඩ සිට
      දස මර සේනා දිනූ බෙලෙන්..."
      ජීවිතේ කරදර අවස්ථාවල මිනිස්සු මේවා මතක් කරලා ධෛර්‍යමත් වෙනවනම් 'දික්-කසාද' කියන කොට-කසාද ඇතිවෙන එකක් නෑ නේද මල්ලියේ?

      Delete
  5. වාසනාව සතුට සපිරි විවාහ සංවත්සරයක් වේවා! දෙපලටම සෙනෙහසින් දිගුකලක් ගෙවන්නට වාසනාව උදාවේවා'යි සෙනෙහසින්ම පතනවා, තිස්ස මල්ලි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චාන්දි අක්කා...
      හිත හොඳ මිනිසුන් එක්ක ගත කරන ජීවිතේ 'පැමිණි දුක් සැම පැණිරසයි' කියන තැනට එනව...

      Delete
  6. චිත්‍රපටියක ජවනිකාවක් කියල මම හිතුවේ.තිස්ස අයියටත් අක්කාටත් වාසනාවන්ත විවාහ සංවත්සරක් පතනවා!ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. හද සිනිමාවේ - නළඟන ඇයවේ !!!

      ස්තූතියි නංගී...

      Delete
  7. එක්ව ආ දිගු කලටත් වඩා තව බොහෝ කල් එක්ව යන්නට සුබ පැතුම් !

    ReplyDelete
  8. මාත් විවාහ උත්සවවල චාරිත්‍ර බලන්න කැමතියි ( කරනකොට තියන මලවදේ බලනකොට නෑනෙ :-D )
    ඒත් ප්‍රමුඛතාවය දෙන්නේ කර්ණික සෞඛ්‍යයට.... බෑන්ඩ් එකට හෝ ස්පීකර්වලට පුලුවන්තරම් ඈත, ලඟ ඉන්න එකාගෙ කණ කිස්කරන්නෙ නැතුව කතා කරන්න පුලුවන් තැනක් හොයා ගැනීමට.

    විවාහ සංවත්සරේ වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් !

    (සාටකේයි උඩ රැවුලයි දෙකම තියනවනේ? කවුරුවත් යලි නැගිටිමු කියල කතා කරේ නැද්ද?)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් ඒකනම් ඇත්ත..
      ග්‍රැමෆෝන්, ගස් බැඳපු ලවුස්කීපර්, හාමෝනියම්, කී බෝඩ් පහුකරල ඇවිල්ල දැන් ඔක්ටපෑඩ් එක්ක බූම් බූම් සිස්ටම්ස් මගුල් ගෙවල් ආක්‍රමණය කරල...
      නොරට ඉන්න අපට ඉඳල හිටල වාගේ හම්බුවෙන නෑයෙක් එක්කවත් නිදහසේ කථාබස් කරන්න නෑ - පුදුම වදයක්
      ප්‍රී ෂූට් එක වාගෙම "මහා විවාහ ගීත්මේලා" වගේ වෙනම ඉවෙන්ට් එකක් අපෙන් ගානක් අරගෙන හරි කරනවනම් මරු.. කැමති අයට නිදහසේ කරගන්න...

      වෙන කා එක්කවත් නිදින්න යන්නේ නැති නිසා ඉතින් නැගිට්ටවන්න එන්නේ නෑ උදවිය ;-)

      Delete
  9. පොඩි දෙයක් .. '
    අසුර විවාහය' කියන්නෙ- බලෙන් එහෙම නැත්නම් අකමැත්තෙන් විවාහ කර ගැනීම.
    ගන්ධබ්බ කිවුවම තේරුම වෙනස් ඔතන විය යුත්තෙ 'ගාන්ධර්ව විවාහය'
    'පිරිස පසඟ පිහිටුවා'..... ඒ කියන්නෙ දෙදණ, දෙවැළමිට සහ නළල බිම තබා..

    ReplyDelete
    Replies
    1. කාරණා තුනටම එකඟයි...
      නිවැරදි කරන්නම්!

      Delete
  10. දහ අට විය අපිරූ යුවතිපතීන්ට උණුසුම් සුභ පැතුම් වගේම තව චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට සුභාශිංසන!
    අර අම්ම පංසල් එක්ක ගිය කතාවයි එකට ඉන්න නැති කතාවයි දෙක වැදුන බොක්කටම වෙනස් වෙනස් කාරණා කීපයක් නිසා.. පහුගිය දොහක අපෙත් එකොළොස්වන විවාහ සැමරුම ගෙවුනා.. පුතාගේ පස්විය සපිරුණු දිනයත් ඉන් පසු අද අපේ අම්මගේ උපන් දිනෙත්.. මේ එහෙකටවත් මාත් ගෙදර නෑ. බිරිඳ තමයි සියල්ල කරන්නේ.. ඒ කරන ගමන් කියන්නේත් "මට ඔයා වගේ කෙනෙක් හදල දුන්නට..' කියල තමයි. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මේවා ලේසියෙන් ලබන වාසනාවන් නෙමේ..

      ඒත් කලින් ආත්මේ පින්කම් කිරීමෙදි පොඩි පොඩි අඩුපාඩු වෙලා තියෙනව කමී අපේ චේතනාවල..
      ඒකයි මේ එකට ඉන්න නැත්තේ :-)

      Delete
  11. විවාහ වෙලා අවුරුදු දහාඅටයි.යාළුවෙලා හතයි.ඔක්කොම විසිපහයි.:)
    සුබ පැතුම් දෙදෙනාටම.ජිවිත කාලෙම සතුටින් ප්‍රේමයෙන් ඉන්න.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් - කොහොම ගතවුණාද කියලත් තේරුමක් නෑ වෙලාවකට
      ස්තූතියි මනෝ!

      Delete
  12. විවාහ වෙන එක ලේසි දෙයක් නෙමේ... ඒක පවත්වාගෙන යන එක ඊට එහා ලේසි දෙයක් නෙමේ...
    දැං කාලේ තියෙන ආතල් වල හැටියට විවාහ වෙන එක කොහෙත්ම ලේසි දෙයක් නෙමේ... කොච්චර පොඩියට සුළුවට කරන්න හිතුවත්, අඩුම ලක්ෂ හතරක් පහක්වත් වියදං වෙයි මගෙ හිතේ...

    අනිත් අතට, කීයක් වියදං කරලා බැන්දත්, ඔය බැඳපු බෙරේ අවුරුදු 20ක් විතර ගහන එක ලේසි සෙල්ලමක් නෙමේ... ඔය මුකුත් නෙතුව දෙයියනේ කියලා මේ ඉන්න විදිය හොඳයි එක අතකට...

    විස්තරේට සහ කවි ටිකට ස්තූතියි තිස්ස අයියා...

    ReplyDelete
    Replies
    1. ඔය ක්‍රම හතරක්ම කියල තියෙන්නේ රසික...
      එකකින් හරි කරගමු - කරගත්තොත් ආයේ ඉතින් ජීවිතේ මල්ම තමා...!!

      ජීවිතේ බෙදාගන්න කෙනෙක් ඉන්න එක හරි සොඳුරු අත්දැකීමක් රනා..
      අමාරුවෙන් පොහොර වතුර දාලා හදාපු මල් ගහක මලක් එන එක කොච්චර සතුටක් ගෙන දෙන කාරණයක්ද?? ඒ වාගෙම තමා ඒ ජීවිතෙත් - ඔය නෙල්ලි වාගේ කියන්නේ ඒකනේ විසිළුවට...
      ඇඟේ පතේ හිතේ තේජෝ බල පරාක්‍රම හැමදාම හිටින්නේ නෑ... එනිසා තනියෙන් ඉන්න හිතන්න එපා...

      Delete
  13. සුබම සුබ ඇනිවසරියක් තිස්ස අයියා සහ තිස්ස අක්කාට.
    තව අවුරුදු දෙසිය පනහක් විතර ආදරෙන් ඉන්න ලැබේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන් මල්ලී... මේ සුභ පැතුම් අපට වටිනව ගොඩක්......

      "කළු කපුටා සුදු වෙනතුරු - මෝල් ගහේ දළුලන තුරු
      ඉස නරකෙස පෑදෙන තුරු - යුග යුග ගනනක් යනතුරු.."
      කියන්නේ එහෙම ඒවාට නෙවෙද?

      Delete
  14. සුහද පැතුම් මේ සමඟ ඔබ දෙදෙනාගේ ඇනිවසරියට !!!

    ReplyDelete
  15. තුන් රුවනේ සරණයි
    හැදූ වැඩු දෙමාපියන් සරණයි
    යුවති පතීන් හට...සතර වරාම් දෙවි
    සරණයි රැක වරණයි......!

    ජයවේවා තිස්ස දොඩංගොඩ යුවලට .....!!

    ReplyDelete
    Replies
    1. ගැලපෙනම සින්දුවක් ඇන්දු සිනෝ :-)

      ඔබ කොච්චර සින්දු වලට ඇබ්බැහි වෙලාද කියතොත් මෙතන 'සතර වරාම්' කියල ඇදෙන එක පවා මතකයි ඔබට :-)

      ස්තූතියි මචෝ!

      Delete
  16. ඇනිවසරියට ඔන්න අපෙනුත් සුබ පැතුම් !!!

    ReplyDelete
  17. ආ සීත සුනිල ජලේ ප්‍රේම ගං තෙරේ ....
    මල් පෙම්බරී දෙතොලෙහි බඹර තොල් පොරේ ....

    නික්ලේශී වන්නට තරම් අප මාර්ග ඵල ලබා නැති බව සැබවි. එහෙත් දෑගිලි බැඳෙන දා බෝසත් ගුණ සිහි කරන බවක්වත් අද යුවතිපතීන් දනීද සැකය? පොල් මල්ද තිබේ. මගුල් බෙරද මදි නොකියන්න ඇසේ. පුන් කලස් බුලත් අත් ඇති පමණටය. ග්ලසරින් නැතත් ඉඳහිට කඳුළුද නැගේ. ජීවිතය පුරා සෙනෙහසින් රැක බලා ගන්නට පිලිනද ලැබේ. නැත්තේ මොනවාද? කර්ණ කටුක නද ගෝෂා මැද ආනයනික රහමෙර හැල්මේ අහවර වේ.

    පෙම්බර මනාලියගේ දෙතොලෙහි පොර වදින්නට කැස කවන නාබර හා වියපත් බඹරෝ සිතින් තවුතිසා මවනා පොරයකි. වියතින් වැඩි ඉඩක් මනාලියගේ නිතඹ විවර කල මනාල මහතාට එයම ආඩම්බරයට කරුණකි. අද මඟුල යනු එවන්නක නොවේද?

    අන්තර්ජාල අවකාශයේ අහඹුව හමුවූ තිස්ස හිතවතාණෙනි,
    පිං, පිං, පිං, යලි යලිත් පිං.

    අපේ මාපියන් උනුන් හද තුල සදා සෙනෙහසින් සුරැකි පති පතිනි දම් අපේ පරපුර අත ගොසිප් කතාවක් තරමටවත් නොවටින හැටි.

    අදද එබඳු සාංසාරික බැඳීම් නැතුවාම නොවේ. එහෙත්, තම බිරිඳ හැරෙන්නට වෙනත් ස්ත්‍රීන් හා බැඳියාවන් නොපවත්නා මිතුරෙකු සොයාගන්නට අපට මොන තරම් වෙහෙසක් දරන්නට වී තිබේද.

    හද ගී පොත අහම්බෙන් පෙරලා හිතවත් තිස්සගේ විවාහ සංවත්සරයේ පින්වන්ත සක්ෂිකරුවෙකුව, රිදුනු සිතැතිව මම මගේ දර්පනයට එබෙමි. යුතුකම් යනු හැමදාමත් මගහැරෙන දේවල් පමණක්ද?

    නොහඳුනන මිතුරනි, හද ගී පොතට පිං දී තම තමන්ගේ දර්පණ වෙතට මොහොතකට හැරෙන්න.

    ananthaya

    ReplyDelete
    Replies
    1. හැමදාමත් හද ගී පොතෙහි රසිකයෙක් මා කීයන්නට දතකන කථාවෙහි යටි අරුත අල්ලා ගන්නවා...

      ඔබේ කුඩා සටහන ඉමහත් ආශාවෙන් කිහිපවරක්ම කියැවීමි මිතුර

      මගේ සටහනෙහි කිරුළ ඔබ පැලැන්දුවේය.......

      Delete
    2. ප්‍රිය චමින්ද සත්තකින්ම ඔබගේ වදන් වල යටිඅරුත නියමකාරයෙන් තේරුම් ගන්නට මටද කලක් ගත විය. මහගම සේකරයන් කියු පරිදි නිර්වානයද මොක්ශයද ස්වර්ගයද මිනිසාට තමා හමුවීමය. ආදරය සිතින් කයට මාරුවී ඈති සෑටියකි. කඩපතෙහි චායාව අදුරුය නමුත් එහි ඈත කොනෙක කුඩා එලියක් දිදුලනුදෑයි මට සිතේ

      Delete
    3. අතින් ඇත ඈත දැල්වෙන ඒ පුංචි පහන් එලි එක ඒකාලෝකයක් කරන්න තිස්ස සහෝදරයාගේ මේ අඩවියේ ඉදන් අපි පුංචි හරි හිතක් ගමු....

      Delete
  18. බොහොම ස්තුතියි තිස්ස අයියා..රසවින්දා

    ReplyDelete
  19. ප්‍රේමණීයයි....පෝරුවේ චාරිත්‍ර කෙරෙන වෙලාවක ලඟින් හිටියෙ අක්කගෙ එකේදි විතරයි.ඒත් ඇඬුන නිසා සැරින් සැරේ මාරු උනා... වෙඩින් එකකත් 'මංගල්‍ය' කත් වෙනසක් තියෙන බව නැවත පසක් උනා..අදටත් අළුත් වන ඔබේ බැඳීම සදාකල් දිනේවා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කොහොමත් දීගයක් දෙනකොට දුකයි නේන්නං...
      ඒ වුණාට හරි අපූරුයි නේද ඒ හැඟීම් ජී එල්?
      ස්තූතියි මචෝ..!

      Delete
  20. Dear Tissa

    Paul Sweeney says “A wedding anniversary is the celebration of love, trust, partnership, tolerance and tenacity. The order varies for any given year” I am not familiar with his work but this quote is spot on. Let me wish you all the best for the future.

    ReplyDelete
  21. සහතික ඇත්ත...
    මම ඔය ඔක්කෝම එකතු කරල කියන්නේ 'නැතුව බෑ' වගේ එකකට :-)
    බොහොම ස්තූතියි ඔබට - තව දුර යන්න තියනව - ඒවාට මේ හෘදයංගම පැතුම් ප්‍රයෝජනවත් වේවි!

    ReplyDelete
  22. විවාහ සංවත්සරයට හදපිරි සුභ පැතුම්. තවත් චිරාත් කාලයක් කිසිම කරදරයක් නැතුව සතුටින් ජීවිතය ගත කිරීමට හැකි වේවා කියල ප්‍රර්ථනා කරනවා :). තෙරුවන් සරණයි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනා... සම්පූර්ණම සුභ පැතුමක්!!! :-)

      Delete
  23. බ්ලොග් නම් බැලුවෙම නැති නිසා මේ යුවලට නිසි පරිදි සුබ පතන්නට බැරි වුනා නේ. කපලා කොටලා නොතිබ්බ නම් සුමානයක් කල්පනා කරන්න තිබ්බ ගන්ධබ්බ විවාහ ගැන :D
    මගේ ඉන්දියන් යාළුවෙක් දවසක් කිව්වා ඒ ගොල්ලෝ විවාහ වුනේ ගාන්ධර්ව ක්‍රමේටලු. රට රට වලට යද්දී ලියකියවිලි අහන නිසා පස්සේ කාලෙක රෙජිස්ටර් කලාලු.
    ඔබ දෙපලටම සුබම සුබ විවාහ සංවත්සරයකට ආසිරි !!!!!

    ReplyDelete

 
Blogger Wordpress Gadgets