කවිකාරියේ, සින්දු 'ලියනා' ලඳේ... [ශීලා ගම්වර]

ඉරිදාට ලංකාවේ මිලදී ගැනීමට ඇති පුවත් පත් ගණන කොපමණද? සමහරෙක් මේවා ගන්නේ සුමානයම බත් බැඳීමට තරම් ගෙදර සාමාජිකයින් ඇති බැවිනි. 'ජාතික' පුවත්පත්ද, ටැබ්ලොයිඩ් ගණයේ පුවත්පත්ද රාශියකි. මැරුම්, කැපුම්, අතවර කිරීම්, පැහැර ගැනීම්, මංකොල්ල කෑම්, හිංසනයන්, හදිසි අනතුරු තළු මරා වාර්ථා කිරීමේ 'ජාතික' වගකීම හැරුණවිට සාහිත්‍යාංග සඳහා ඇති ඉඩකඩ 'යන්ත්‍ර මන්ත්‍ර', 'සාපෙ/උපෙ', 'දක්ෂ දරුවෙකු හදාගන්නේ කෙලෙසද' හා 'අනාගතය ජයගන්නා සරල විදි' වලින් සෙමින් ආක්‍රමණය කරමින් පවතී. යම් වර්ධිත අවස්ථාවක ඇති පුවත් පත් වැනි මාධ්‍යයන් වලින් පෙරා ශුද්ධ කරන ලද මතවාද වලින් නූතන අන්තර්ජාලය ආලෝකමත් කිරීම පසෙකලා, මූණු පොතේ ඇති කුණු කන්දල් වාර්ථාකරණයට ජාතික(යැයි කියාගන්නා) පුවත්පත් වල පිටුද වෙන්කරයි. සොඳුරු සිනමා නිර්මාණයක්, පොතක් පතක්, හඳුන්වා දීමට ඇති ඉඩකඩද වෙන් වන්නේ නිර්මාණය කල එකා ඉන්නා රට වුවද ලේසියෙන් හොයාගැනීමට නොහැකි රටවල වුන්ගේ නිර්මාණයන් වෙනුවෙනි. [මෙයින් ලෝක නිර්මාණ අප රට ජනතාවට හදුන්වා නොදිය යුතුයැයි නොකියැවේ - එහෙත් හඳුන්වාදෙන නිර්මාණවල, අප රට ජනයාටද හඳුනාගත හැකි, වින්දනය කර ගත හැකි, කොටින්ම කියනවානම් දිරවාගත හැකි, පොදු රුව, ගුණ තිබේදැයි බැලීමේ යුතුකමක් විචාරන්නාට හා පලකරන්නාට තිබිය යුතුය].

මේ පුවත් පත්වල කවි පිටුද ඇත්තේය. දක්ෂ ප්‍රතිභාවක් ඇති කවියන් අතෙහි වැජඹුණු මේ කවි පිටුවල නම් අදත් යම් කාන්තියක් දැකිය හැක. ඒ, එකල මෙන්ම අදද මේවායේ සකසු කාරිය, ප්‍රතිභාව හඳුනාගැනීමෙහි සමත් කවියන් අතම රැඳී ඇති නිසා විය යුතුය. සීමිත පුවත්පත් ගනනක් තිබූ දශක තුන හතරකට ඉහත පුවත් පතක තම කවියක් පලකරවා ගැනීම, තමන් ලියූ ගීයක් ගායකයකු විසින් ගැයවීම හා ප්‍රචාරය කරවීම තරම්මම අමාරු කාරියක්ව තිබිණ. ඒ මන්ද යත් රස භාව ඉහලට ඔසවා තැබීමෙහි සමත් හා ඒ සඳහා ඇවැසි නීර්ණායකයන් අතදැරූ නිර්භය කලාකරුවන් ගේ කළමණාකරණය නිසාය. 'පුංචි මස්සිනා සිටි අරලිය මල් රිකිල්ල' හා 'රූකඩ මඩු යාග පොලවල්' ඔවුනගේ කඩුලු පනින්නට අසමත් වන්නේ එනිසාමය. ඒ සියල්ලම සමගින් පුවත් පතක තමන්ගේ එක් කවියක් හෝ පලවීම කෙතරම් අහ්ලාදජනක යන්න දන්නේ ඒ නේරංජනාව තරණය කල අයමය.

කලකට ඉහත 'හද ගී පොතේ' පලවූ ටී එම් ජයරත්නයන්ගේ ගීයක පෙළෙහි ඇති අපූර්වත්වය සොයාගිය මට හමුවූයේ අපූරු තැනැත්තියකි. එක කවියක් නොව කවි සිය ගනනක් විවිධාකාර වූ පුවත්පත් වල පල කරවා ගැනීමට තරම් ප්‍රතිභාවක් ඇති ඇය, නමින් ශීලා ගම්වරයි. ඈ, ඒ. පී. ශීලා නමිනුත් ඈ විසින්ම හඳුන්වා ගනු ලබයි. ටී. එම්. ජයරත්නයන්ගේ කාරුණික මග පෙන්වීම මත මට, ඈ ඉන්නා ඉසව්ව සොයා ගැනීමට හැකිවිය. එහෙත් අවාසනාවකට මා ඈ හමුවීමට යනවිට ඈ සිටියේ භාවනා අභ්‍යාස මධ්‍යස්ථානයකය. 'අවශ්‍ය දෑ කෙසේ හෝ කරගනිම්හ!' යන බලවත් ආත්මාර්ථකාමී සිතුවිල්ල තාමත් තරුණ කාලයේ මෙන්ම අදද චිත්ත සන්තානයෙහි ඉඳහිට මතුව එයි! අභ්‍යාසයන් මදකට අත්හිටවූ ඈ ඒ මධ්‍යස්ථානයෙන් එළියට ආවාය. කලින් දිනක දුරකථනයෙන් කථා බස් කර ඇති බැවින් ඈ මා අඳුනා ගත්තාය.

"මම නම් මේ දැන් යම් වැඩකනේ ඉන්නේ..." ඈ පැවසුවාය.
'හොඳයි එහෙමනම් කථාබස් කරන්න වෙන වෙලාවක එන්නම්... ඒත් මට පින්තූරයක් ගන්න පුලුවන්ද?' මා ඇසීය..
"මෙතැන පින්තූර ගන්න එපා... එහෙමනම් ගෙදර යමු..." කී ඈ එතැන අභ්‍යාසයෙහි යෙදී සිටි තම මලණුවන්ද කැටුව මාත් සමග ඇගේ ගෙදර බලා ආවාය. සසර මග එතෙර වන්නට පුරුදු පුහුණු වන්නන් නච්ච ගීත වාදයෙන් නැවතත් මෙතෙරට ඇද දමත්දෝහෝයි යන වරදකාරී හිතත් මා සමගින්ම ඈ නිවසට පැමිණුනි.

'අර සින්දුව ලියන්න පදනම වැටුනෙ කොහොමද?' නිසසල හිතක් කළඹන්නට පටන් ගතිමි.
"ඕක 1970 විතර ලියැවුණේ... මම ඒ වෙනකොට විටින් විට කවි ලියලා තිබුණ පුවත් පත් වලට..." ඉන්පසු ඈ මට පෙන්වූයේ ඈ විටින් විට ලියූවයි කියූ කව් රචනායි. ඇල්බමයක් වෙනුවට ඈ පාවිච්චි කර ඇත්තේ පැරණි ඉංග්‍රීසි සඟරාවකි. එහෙත් ඒවා ඉතාම පිලිවෙලට සුරැකිව තබාගෙන තිබිණි.


"පුවත් පත වලට කවි තැපල් කරලා යවාපු ඒවා දින වකවාණු එක්ක මගෙ කවි පොතේ සටහන් කලා"
'ඒ අතින් කවි පොත් තියනවද තාම?' මූලික කථාවෙන් පිට පැන මං මුලා වන්නට මම කැමතිය.
"ඉන්න..." නැවත කාමරයට ගිය ඈ මා මෙතෙක් දැක ඇති අතින් ලියූ අපූරුම කවි පොත් දෙකක් මා හමුවෙහි තැබුවාය.


'එතකොට අර සින්දුවේ විස්තරේ...?'
"ආ ඔව්... ඒ කාලේ ගුවන් විදුලි වැඩ සටහනක් තිබ්බා පද්‍යාවලී කියල.. ඩෝල්ටන් අල්විස් මහත්තය, විමල් අබේසුන්දර මහත්තය එහෙම කරපු... ඕකට අපේ කරුණාතිලක හඳුවල කවියක් එවා තිබ්බා 'ආදරය විකිණීමට තිබේ' කියල... ඕකට මම උත්තරයක් විදිහට තමා ඔය ගීය ලිව්වේ 'ආදරය විකිණීමට නොවේ' කියලා..."

සත් ගිරි කුළු හිස එපිටින්
සත් මහ සමුදුරු එපිටින්,
සක්වල දේශය එපිටින්,
එන වන බඹරෝ.... 
එන වන බඹරෝ....

මලේ පියලි වරුණ සළුව ගෙතුවේ නුඹටයි...
මලේ කෙමිය මල් මුවරද පිරුවේ නුඹටයි...
මලේ සුගන්ධය පිටාර ගැලුවේ නුඹටයි...
මලේ උරුම මල වට කර රඟනා නුඹටයි...

සුදු මල්පෙති වියන යටින්,
ළහිරු කැලුම් පලස පිටින්,
නල ‍රැළි සෙන් සමග තුටින්,
එන වන බඹරෝ.... 
එන වන බඹරෝ....

මලේ තුෂර මුතු මාලය බැන්දේ නුඹටයි...
මලේ මෙළෙක සුව සයනය සැදුවේ නුඹටයි...
මලේ සුසුම වාතල පිට ‍රැඳුණේ නුඹටයි...
මලේ හැඬුම මේ වනතුරු ඇසුණේ නුඹටයි....


'පරණ පින්තූර එහෙම නැද්ද?'
සිනාසෙමින් නැවත ගෙට ගිය ඈ පින්තූර දෙකක් මා අත පත් කලාය.





'දැන් පින්තූරෙකුත් ගන්නම් එහෙමනම්?'
"හොඳයි...!"
ඒ. පී . ශීලා





* මුල් සංගීත සංයෝජනය සහිත ගීතය අසන්න මෙතැනින්

28 comments :

  1. ස්තුතියි අයියේ

    ReplyDelete
    Replies
    1. තමන්ගේ නිර්මාණයන් පරිස්සමට එකතු කරලා තියාගන්න..

      Delete
  2. මේ සින්දුව ආපහු අළුත් සංගීත සංයෝජනයකින් රෙකෝඩ් කලොත් ගොඩක් ජනප්‍රිය වෙයි. ජනප්‍රිය වෙන්න අවශ්‍යය හැම ගුණාංගයක්ම පද රචනයෙත් මෙලඩි එකෙත් තියෙනවා.....!

    ReplyDelete
    Replies
    1. නව සංගීත සංයෝජනය තමා දුමී මෙතන දමා ඇත්තේ
      ඒකේ මට ගොඩක් ආසා හිතුනේ කෝරස් එක ගයනා හැටි
      පරණ එකට වඩා ඒක තාක්ෂණයෙන් ලස්සන කරලා කියලා හිතුනා
      මේකයි 'මාලිගාවක රන් ලෙනේ' එකයි දෙකම පුරුදු වෙලා ගැහුවනම් මොකද දුමී??

      Delete
  3. පත්තරේක යමක් පලවීමේ සතුට මම ද විඳ ඇත. හෙහ් හෙහ් මම ලංකාදිපෙට කවි දෙකක් ද කොහෙද ලියල දැම්ම. එකක් මගේ නමින්. අනිත් එක අනවර්ථ නමකින්. අනවර්ථ නමින් ලියපු එක කියවපු මගේ යාලුවෙක් කවිය පත්තරේ වැටුණු දවසෙම මට කෝල් එකක් දීල කිව්වා අන්න ඔයාගේ කවියක් අද පත්තරේ තියෙනවා කියල හෙහ් හෙහ්

    මේ විදියේ අය ගැන හොයල බලන්න තිස්ස අයියා ගන්න උනන්දුව නම් අවංකවම අගය කරන්න ඕනේ. ඒ මිනිසුන්ට ගොඩක් සතුටු ඇති මේ විදියට කවුරු හරි ඇවිල්ල තමන් කරපු දේ ගැන විස්තර හොයන කොට.

    ReplyDelete
    Replies
    1. ආන්න නේරංජනාව පැන්න අය!!!

      ඒවායේ සතුට මට වඩා එයාලට බව ඉන්තේරුවෙන්ම මල්ලී - හරියටම කීවා පැතුම්!
      ගුවන් විදුලිය, රූපවාහිනිය හා ජාතික පුවත්පත් තම වගකීම ආයෙමත් ආයෙමත් සිතිය යුතුයි

      Delete
  4. කොහොමද ඇගේ සංරක්ෂණය.
    තිස්ස අයියා කියන දේ ඇත්ත.දැන් පත්තරවල සීමිත ඉඩක් තමයි සාහිත්‍යට තියෙන්නේ.ෆේස් බුක් පොස්ට් වලටත් දැන් පත්තර වල ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මනෝජ් සහෝට අහුවුණා මා නොකී කතාව ඉන්තෙරුවෙන්ම
      ඔව් උන්නන්දුවක් රසයක් හඳුනන අයට පොහොර නෑ
      දෙපෙත්තෙන් පෙනෙන පැලත් මිලානව යනව - නැත්නම් මිල්ල සොයා මිලානෝ යනව!!

      Delete
  5. හද ගී පොත ඉස්සරට වඩා බොහොම බරසාරයි දැන්. අගෙයි අගෙයි තිස්ස අය්යා. මේ සොයා යෑම් ඔබ පෞද්ගලිකවම කරන ඒවද. ඒ කියන්නෙ දැන් සියරටද වාසය?
    නොකියවපු අපූරු ලිපි ටික කියවන්න ටික කාලයක් යයි මට.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. අනේ අප්පේ ඉතිං..!!!!
      ඇයි ආයිබෝවන්ඩ ගෙදරට එන පාර නොකීවට පණිවිඩ හත අටක් තිබ්බා තැන තැන එහෙකටවත් උත්තරයක් නොදුන්නේ - මම විස්සෝපෙන් උන්නා මොකුත් අවුලක්වත්ද මන්දා කියා..
      තමුන්නැහැ හොඳින් ඉන්නව කියල දැනගත්ත එකම සතුටට කාරණයක්
      මේක ඉතින් මේ 'වැලිකතරෙ' වැලිගොව්වා සේ ඉන්නකල් කෙරෙයි..
      ලංකාවට නිවාඩුවට යන්නේ මෙහේ ඉඳන් දුරකථන ඇමතුම් වලින් වට පිටාව හදාගෙන - ගිහින් ඔයවාගේ විසිට්ටෙකක් දෙකක් දානව.. ඒක රසවත් වැඩක් වෙන්නේ ඒ උදවිය බොහොම යහපත් මිනිස්සු හින්ද...
      ඉතින් හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් ගෙදර දොරට දනට පිනට හිතේ මනාපෙන් දීලා ඉතුරුවායේ ටැලිපෝන් බිල් ගෙවනව :-)
      ලිපි කියෙව්වා නිකියෙව්වා නිදුක් නිරෝගී සුව පතනව පිලේ පැදුරේ 'උන්නැහේට'

      Delete
  6. බොහොම ස්තූතියි තිස්ස අයියෙ මේ ලිපිය ලිව්වට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනා... දිගටම යන්න මේවා අත්වාරු ආයුබෝවන්ඩ!

      Delete
  7. මාත් කවි වලට බොහොම මනාප නිසා අර කවි ටික කියවන්න ආස හිතුනා. වටිනා තොරතුරු ටිකක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ ඉන්නේ කවි කාරියෝ බොහොමයක්!

      Delete
  8. හරිම වටිනවා බං. මේ සටහනත් ඒ මන්සුසයට යවන්න..

    ReplyDelete
    Replies
    1. කවි ටික එකතු කරලා පොතක් ගහන්න කියලා ඉල්ලීමක් කරලා ආවේ. බලන්න ඕනේ

      Delete
  9. පහු ගිය දෙසතිය ටිකක් අවිවේකයි . හද ගී පොත කියවන්න සෙනසුරාදාට තියා ගත්තේ , පුරුද්දක් හැටියට මේක කියවන්නේ නිස්කලංක වෙලාවක නිසා . අර කවි පොත් , අර පින්තුර මාව වෙනම ලෝකෙකට අරන් ගියා . මම ලියපු සටහන් පොත් ගැන සටහන නැවත සිහි උනා

    ReplyDelete
    Replies
    1. ඒවා කෞතුක වස්තූන්ම වේවි... සිලිකන් චිපයක විශ්වකෝෂ පැලපදියම් වන කාලේ...

      Delete
  10. ගීතයටත් සංගීතයටත් ලිපියටත් වඩා මගේ හිතට වැදුනේ ඇයව සොයා ගොසින් අගය කිරීමට ඔබ ක්‍රියා කළ ආකාරයයි...
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජී එල්..
      ඒක මටත් හිතට සතුටු වෙන කාරියක් - එවෙලෙත්, ඔබේ අගැයීම දකිනා මෙවෙලෙත්!

      Delete
  11. As usual, an excellent article Tissa. It was a pity that Karunatilaka Handuwala’s fame as a poet did not quite match his fame as a radio artist (some may recall Jill Jone of Landesi Doopatha). I would rather you used the original version of the song. It is available at http://infolanka.com/miyuru_gee/

    This is the time when people of our era see the departure of those who shaped life and society during our formative years, the latest being Tony Ranasinghe. The list is long and is getting longer. Thanks to committed individuals like you, we hear about some of them. Please try to capture as many of these voices as possible before they fall silent.

    ReplyDelete
    Replies
    1. ඔබ ලිපිය පරිස්සමින් කියෙව්වාට බොහොම ස්තූතියි.
      ඔව් - කරුණාතිලක හඳුවලයන් දක්ෂතා පිරුණු කෙනෙක්

      ලැයිස්තුව දිගවේගන එන බව හැබෑය...
      2015 - 70 = 1945
      1945 + 25 = 1970
      මේ සමීකරණ මට කියන්නේ මේ නිවී යන තරු තමන්ගේ උපරිම තාරුණ්යයේදී (25දී) සුපිරි නිර්මාණවලට දායක වූ බවය...

      Delete
  12. ඇයි ඔබ ඇහුවෙ නැත්තෙ, ලියපු විරිදු ගැන එහෙම...?

    ReplyDelete
    Replies
    1. බොහොම ටික වෙලාවයි තිබුනෙ...
      අනෙක මට ඒ ගැන දැනුමකුත් නෑ...

      Delete
  13. දැනුමකුත් නෑ කිව්ව නිසා අහන්නෙ, ඕනෙ නම් ඇය ලියපු විරිදුවක් අහන්න දෙන්න පුළුවන්, එවන විදිය කියා දුන්නොත්....

    ReplyDelete
  14. ආ කලින් කමෙන්ටුව මකලා තිවුන හින්දා මම උත්තර දුන්නෙ නැත්තේ..
    කොහෙට හරි අප්ලෝඩ් කරලා මෙතන ලින්ක් එක දැම්මනම් හරි..
    එතකොට හැමෝටම රස විඳිය හැකි නේ...
    වරෙක දුෂාන් මල්ලිත් ශීලා ගම්වරගේ විරිඳු ගැන කියලා තිබ්බා...

    ReplyDelete
    Replies
    1. මගේ කොමෙන්ටුව මකල නෙවෙයි, මැකිල. ඒ දේ ආයෙමත් වෙලා වගේ..... මතකෙන් කලින් ලියූ දේ ආයෙමත් ලියන්ට උත්සාහ ගන්නව.

      විරිදුව මම එවන්න ලෑස්තිවුනේ සාක්ෂිත් එක්ක, නම ගම මුලට දාලම. ඒත් දැනටම සාක්ෂි තියෙන නිසා මම මෙහෙම කියන්නම්. ``මියුරු ගී`` වෙබ් අඩවියෙ, දයා නෙල්ලම්පිටිය මහත්මියගෙ පළමු විරිදුව ඇය ලියූවක්. නමින්...... ``අහස් වියන``

      Delete
    2. ආ.. ප්‍රොක්සි වලින් ඇක්සෙස් කරනකොට සමහර වෙලාවට මෙහෙම වෙනවා..

      සාක්ෂි කිව්වේ සින්දුවත් එක්කමද? ඒක තේරුණේ නෑ

      බොහොම ස්තූතියි ඔත්තුවට...
      ඇගේ ගී රචනා ප්‍රියකරනා අය එතැනට ගොස් රස විඳිත්වා...

      Delete

 
Blogger Wordpress Gadgets