සැක හැර බලමි කෙසේ...

රඟහලේ රත් පැහැ තිරය සෙමින් වැසුනේ ගුරුවරු, දෙමාපිය, ආදි සිසුවන්ගේ ඔල්වරසන්, රිද්මයානුකූලව ඉහල නංවමින් පමණක්ම නොවේ. රෝමියෝවත් ජුලියට්වත් තිරයෙන් මෙපිට රඳවමිනි. ඈ මෙපමන දක්ෂ නිරූපණයක් කරාවියැයි පාසැලේදී නාට්‍ය පුහුණුවීම් කල කිසි දිනක ඔහුට හැඟුණේ නැත. ශේක්ස්පියර්, නාට්‍ය පිටපත මේ ජවනිකාවෙන් අවසන් කිරීම ගැන ඔහු සිතෙහි ප්‍රථම වරට නුරුස්ණා හැඟීමක් පහල විණි.

"ෂහ් දෙන්නා අපූරුවට කලා ඈ ෆයිනල් සීන් එක..!!"

නාට්‍ය සංගමය භාර තරුණ ආචාර්‍යවරිය තමාව වැළද ගත්තේ උසස් පෙල හදාරන තරුණ සිසුවෙකුද බව නොසලකාය. ඔහුගේ සිත ඒ වනවිට ඒ සුපැතුම් පිළිගැනීමට සුදුසු තත්වයක නොතිබිණි. ඈ සෙමින් සෙමින් නේපත්‍යාගාරය දෙසට ඇදෙනු බලා සිටි හෙතෙම සියල්ලටම හොරා නේපත්‍යාගාරයට පිවිස තමනට පිටුපසින් වමතින් දොරවසාලූයේ සුරතින් නාට්‍යයට ගෙන ආ රතු රෝස මලද ඇතිවය. මේ දැන් මොහොතකට පෙර තමාගේ ලයමත අවසන් හුස්ම හෙලූ ජූලියට්, නැවතත් ඉපැදී තමා දෙස තිගැස්සී බලා සිටී. මේ වතාවේ නම් පමා විය නොහැක. රෝස මලේ පෙති යන්තමින්වත් නොපෙලන්නට හේ මැනැවින් වගබලාගති...

කාලය ඉගිලුනේ සැන්දෑ වලා අතරද, අතොරක් නැතිව වෙරළ සිපගන්නා රළ අතරද, වේගයෙන් චලනය වන රිදී තිරයක කථා වස්තුවකදැයි නිනව්වක් නොවිනි. පාසැලෙන් නික්මයාමට තමන්ට කාලය එළැඹී තිබුණද ඔහුට ඈ පාසැල් ගමන හමාර කරන තුරු බලාසිටිය යුතු විය. සංචාරක අමාත්‍යාංශය විසින් මෙහෙයැවූ පාඨමාලාවකට බද්ධවීමත් සමගම වූයේ ඔහුගේ නිදහස සීමා වීම පමණක්ම නොවේ. සයමස් පාඨමාලාවෙන් පසු ලැබුණු ගුවන් සමාගමක බෙහෙවින්ම කාර්‍යබහුල රැකියාවේදී දිනපතා මුණැගැසුණු ජුලියට්ගේ රූ සිරි පරදවන අඟනන්, අවසානයේදී රෝමියෝගේ භූමිකාව නොව නන්ද කුමාරයාගේ භූමිකාවද හිමිකලේය. ඈ මේ සියල්ල උපෙක්ෂා සහගතව ඉවසනබව ඔහුගේ යටිසිත දැනසිටියේය. එහෙත් මේ වර ඈ තීරණයක් ගත්තාය. වෙන්වූ තැන් කරා ආයේමත් පැමිණීමක් නැතිවම දෙදෙනා දෙඅතක ඇදිණි. එහෙත් හදේ කුඩා හෝ ඉඩක් ඇති තැනක ඈ ස්ථිරවම ලැගුම් ගෙන ඇති බව ඔහුට විශ්වාසය...

රතු මල් ඔසරිය පාවී පාවී බස් නැවතුම ලඟ ලැගුම් ගනී
යුවතිය ඔබ වට රතුමල් අතරින් ඔබෙ රුව සම අන්රුවක් මැවේ
සැක හැර බලමි කෙසේ - සැක හැර බලමි කෙසේ

කොපුල් තලා රත් ලවන් පියන් පත් - බියපත් දෙනුවන් සිහිපත් වේ
ඉවසුම් නැති නෙත් සිත හා සසලයි - යටැසින් ඔබ දෙස බලනු කෙසේ
සැක හැර බලමි කෙසේ - සැක හැර බලමි කෙසේ

නෙත් කොණ ගැටෙනා ඔබෙ මුව මඬලින් අන් මුව මඬලක් සිහිපත් වේ
යටැසින් බැලු කල සඳ මගෙ නෙත් රකිනා බිරිඳ බලයි රතු මල් වියැළේ
සැක හැර බලමි කෙසේ - සැක හැර බලමි කෙසේ


Read More!

කුමරු තම අසුගෙ පිට නැංගා...

යාකොෆ් පෙරෙල්මාන්ගේ ගණිත විනෝදය (පරි. දදිගම වි. රුද්‍රිගු) අශ්වාදනීය පොතකි. කුඩා කල කියවන්ට ලැබෙතොත් ගණිතයෙහි රස අපූරුවට විඳගත හැක. ගණිත හැකියාවනුත් සාහිත හැකියාවනුත් එකවිට කෙනෙකුට පිහිටන්නේ කලාතුරකිනි. අද ඒ ලියැවිලි කියවන විට, ඒවායේ සැඟව ඇති කොමියුනිස්ට් දැක්මත්, උත්ප්‍රාසයත් අපූරුවට දැකිය හැක. අප රට වුවද ලුණු ඇඹුල් ඇති හරවත් සභා ඇමැතීම් අදද සිදුවන්නේ වාමාංශික වේදිකාවලය. පෙරෙල්මාන්ගේ උත්ප්‍රාසය කොපමණ දුර දිග යන්නේද කිවහොත් හේ ශුද්ධ වූ බයිබලයේ එන නෝවාගේ ලෝක විනාශ කථාවේ විස්තරය ගණිත කර්ම වලින් විස්තර කරන්නට යයි. මෙපමණක් උස වර්ෂාපතනයකට අවශ්‍ය ජල පරිමාවද, මෙපමණක් සතුන් එකලස් කිරීමට ඇවැසි නැවේ පරිමාවද හේ ගණනය කරයි! නිගමන වලටද එළැඹෙයි! පන්සිය පනස් ජාතක කථාද, සස ජාතකයෙන් පටන් ගෙන පතුරු ගසන්නෝද දුලබ නොවේ.

"ගහකාරක දිට්ඨෝසී.." දැක්මක් ලබා ගැනීමට ගිය සිදුහත් කුමරුට අබිනික්මණට උදව් වූ දෙදෙනෙකි! ඡන්න ඇමැත්තාත්, කන්ථක නම් අශ්වයාත්ය. මිනිසත් බව ලැබූවද, බෝසත් ඇසුර ලැබූවද, වීර්‍යය අමතක කොට "පිළිගන්න මම චන්න ඇමතී වෙමී - මා එක්ක ගියෙ ඊයේ සිදුහත් හිමී" කිය කියා ඉඳිමින් අගසව්වන් දෙස ඊර්ෂ්‍යාවෙන් බැලූ නිසා ජන්න ඇමැත්තාට බුදුන් වහන්සේගෙන්ම බ්‍රහ්ම දණ්ඩනයට ලක්වන්නට සිදුවිය. තිරිසනෙක් [තිරස් කොඳු ඇටපෙලක් ඇති] වුවද කන්ථක අස්වයා වීර්‍යයේ සංකේතයකි. පෙරෙල්මාන් ගණනය කරනා ලෙසට අශ්වයෙකුට දෙදෙනෙක් රැගෙන රියන් අටසීයක් (පූජාවලි විස්තර කථා) පළල ගංගාවක් තරණය කරන්නේ කෙලෙසදැයි අසන්නෝ එමටය. විමාන වත්ථු කථාවල තව්තිසාවේ දෙවියෙක්ව ඉපැදුණු කන්ථක අසු, මුගලන් මහරහතන් වහන්සේගෙන් බණ අසා නිවන් දුටු කථාවක් ඇතියයිද කියැවේ.

අශ්වයා බැලීමට පිරිය උපදවන සතෙකි. හස්තීන්, සිංහයන් ලෙස තේජස් නොවූවද ජාවධිකය. ඇවැසි නම් ඌට ලතාවකට මදවේගයෙන් වුවද ගමනේ යෙදිය හැකිය. තුරඟා වන්නම නමින් සිංහල වන්නමක් ඇති අතර එහි තුංග ලතාව අපූරුවට ප්‍රතිනිර්මාණය වී ඇත. සිරිතුංග, වීරතුංග, වික්‍රමතුංග, ජයතුංග හෝ මනතුංග අසුන්ට නෑකම් නොකියූවද ශ්‍රීමත් ජේම්ස් පීරිස් පුත් දේවාර් සුර්‍යසේන, සටන් බිමට වන් මංගල තුරඟාගේ ගමන් විලාසය අනුව යන තුරඟා වන්නම කදිමට ගයයි..

සත් වෙත් මහත් අදර - ලත් යුත් සිදත් කුමරු - ගත් සිත් තොසත් පැවිදි අංගා
අණ කරන චන්නයෙන - කන්ථකය අසු ගෙනෙන - ගෙන එදුන අසුගෙ පිට නැංගා

ගත් ගත් පයත් අසුගෙ - සබ්දත් වසත් සුරිඳු - යන්නෙන් තොසින් තිදෙන සමගා
යන යනෙන කල තිදෙන - එතැන තැන පසුව දැන - ගංතෙරට පත්වුණිය එමගා

ලත් ලත් සිතත් තිදෙන - වෙත් වෙත් එකත් පසුව - මුත් කන්ථකත් වේය තුරගා
සිදුහතුන ගෙන වහන - චන්න වල්ගය අතින - පැන්නෙන් එතෙර අනොම ගංගා

ගොත් සිත් මහත් රුසිරු - ලත් යුත් සිදත් කුමරු - ගෙන් සත් රැගත් නරත අංගා
තිදෙන පැන ගියෙ ගඟින - එතෙද අණ ගෙන බැතින - යෙදුව නැණ වර්ණයෙන තුරඟා



මේ ගමනට පසුපසින් සිටිමින් උරදෙන්නන්ද සිටිති. 'ගත් ගත් පයත් අසුගෙ ශබ්දත් වසත් සුරිඳු' ලෙසින් අස්ව කුර සන් කිසිවෙකුට නොනෑසෙන්නට සක්‍රදෙවියන් වගබලා ගනී.

සිංහල ගී කෙතට මුලින්ම (1972) ගීයක් රචනා කරන බොදු යතිවරයානන් වන වැලමිටියාවේ ධම්මරක්ඛිත හිමි, අතීත කලාකරුවනට නොදෙවෙනි නිර්මාණයක් පද බඳිති. තුරඟා වන්නම ලෙසින්ම සුලු මැදුම් දෙතිතෙන් එයට තනු යොදා ගයන්නේ සංගීත් නිපුන් සනත් නන්දසිරිය.

සිත් නෙත් මහත් තදින - ගත් ගත් ගමන් බඳින - සත් වගට දුක් දෙවන තුංගා
සසර බිය නැති කරන - අදිටනින් හද පිරුණ - කුමරු තම අසුගෙ පිට නැංගා

කන්ථකට සන් කරන - ඡන්න අතවැසි සමග - තිදෙන පත් වුණි අනොම ගංගා
ලංවෙමින ගංතෙරට - ඉන් සැනින පැන මෙපිට - සන් බිඳී පසෙකලා හංගා

කන්ථකට සන් කරන - ඡන්න අතවැසි සමග - තිදෙන පත් වුණි අනොම ගංගා
රන් කගින කෙස් කළඹ - කපා අහසට දමා - සන්තොසින ගති පැවැදි අංගා


මේ නිර්මාණයන් දෙකම එකිනෙකට නොදෙවෙනි ලෙස මා සිත් පිනවයි. එහෙත් පෙරෙල්මාන්ට මෙන් එය මෙතෙකැයි කීමට මට නොහැකි නිසා ඒ ගැන ඔබට තක්සේරුවක් දීමට නොහැක!!
Read More!

ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා...


සුනිල් එදිරිසිංහයන් සුනිල හඬින්, වාදකයාණෙනි ඔබේ සිතාරය, මෝහයේ සුරාවිත අඩ අඳුරේ තොලගාන්නා මන්මත් කරවීමට නොවයා, කෙතක ගොයම් නෙලනා ලඳුන්ගේ දෙතොලේ ගීයේ තනුවට මුසුකරවන්න යැයි ගයයි. සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගේ ඒ අපූරු ගීයට තනුව යොදන්නේ සනත් නන්දසිරියන්ය.

ගායකයනටද එපරිද්දෙන්ම කරනා අපූරු ඉල්ලීමක් ප්‍රියානන්ද විජේසුන්දරයන්, නීලා වික්‍රමසිංහගේ මුවගට නංවන්නේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අපූරුම තනුවකිනි.

ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා
ගායකයාණෙනි මන බඳිනා - මන බඳිනා
සෝ ළතැවුල් හද උතුරන අයුරින්
පෙම් ගී නොගයන් මතු දවසේ

නීලා 'සෝ ලතැවුල් හද...' යන පෙලට ඉමහත් අලංකාරයක් ගෙනඑයි. මුලදී ලඝු ලෙසත්, දෙවැනුව ගුරු ලෙසත් මන බන්දනීය ලෙස ඈ මේ ඉල්ලීම කරන්නීය.

සවිබල දෑතින් පස්කැට පෙරලන
ඩා බිඳු මතුවී සියොළඟ උතුරන
දරුවන් දිරි ගන්වන්නට දෙරණේ
ගයනු මැනවි අභිමානන ගී

පොදු නිශ්පාදන කටයුත්තකට සම්බන්ද නොවී, ශ්‍රමය නොවගුරා, අතනින් මෙතැනින් පහුරු ගා සොයාගත්දෑ අතන මෙතන එල්ලීමට පුරුදු පුහුණු කරනා, රුකුල් දෙන, අගැයීමට ලක්වන සමාජයක, වෑකන්දද අතනින් මෙතැනින් ඉරිතැලීම ස්වාභාවිකය. පාසැලේ දරුවන් සඳහා සමහර ගුරුවරුන් කරුණු එකතු කරන්නේද මූණු පොත ඇසුරිනි. ගුරුවරයා 'ශික්ෂක වෘත්තිකයා' ලෙසින් මුනිදාස කුමාරතුංගයන් හැඳින්වූයේ නිකමට නොවේ. ගුරුවරයා මුළු මහත් සමාජයක්ම ගතින් සිතින් සවිබල ගන්වන්නන්ය. ඒ වරුවෙන් ගෙදර ඒමටවත්, වෙනත් වෘත්තියක යෙදිමට අධ්‍යාපනික පරිණතභාවයක් නොමැති වීමක් නිසා කෙරෙන්නක් නොවේ. අද අපට ඇති ගුරුවරු කවුරුන්ද?

මරසෙන් ගුගුරා පෙරමුණ ආවත්
අපගේ අරමුණ නෑ නවතින්නේ
සෞභාග්‍යය සැප සතුට නිධානවු
ලොව ඉදිකෙරුමට යනවා

කඩදාසි මත සිදුවන සැලසුම්, පසෙහි යථාර්තයක් කරගැනීමට නොපසුබස්නා වීර්‍යයක් අවශ්‍යය. වීර්‍යය සැමට එකලෙස නැත. කණ්ඩායම් ක්‍රියාකරකම් හා නායකත්ව මැදිහත්වීම් මෙහිලා වැදගත් වන්නේ, එකී නොකී සෑම දෙනම යම් කටයුත්තකදී නිශ්චිත ලක්ෂයක් වෙත සමූහයක් ගෙනයාමටය.

ඔබගෙ පෙම් ගී දැහැනින් මිදිලා
ගායකයාණෙනි අපි දිරි වැඩුමට
උදාන ගී මතුරණු මැනවී
උදාන ගී මතුරණු මැනවී

ගුවන් විදුලියෙහි ප්‍රබුද්ධ ගී නමින් නිමැවුණු මේ ගීය ඇතුලු අනෙක් ගී අකාලික යැයි සිතේ. ඒවා ප්‍රබුද්ධ වන්නේ සමාජයේ සෑම සංරචකයක් විසින්ම විඳගැනීමට සමත් කමක් ඇති නිසා බව මම විශ්වාස කරමි. ඉතා අල්ප රස ඇති ගීයක් දෙකක් ලියා ගී ලිවීමට උපදෙස් දෙන්නට යන, එබඳු ගීයක් දෙකක් ගයා ගී විනිශ්චයට පෙළැඹෙන මෙවන් යුගයක, සැමකල්හීම දනන් තුඩග රැව්දෙන මෙබඳු නිර්මාණ බිහිකල ප්‍රියානන්ද විජේසුන්දරයන් වැන්නවුන් සිංහල ගී කෙතෙහි යුග පුරුෂයන්මය!

ගීතය අසන්න...




Read More!

මල්ලී - පුබුදූ!!

"යළි පුබුදමු ශ්‍රී ලංකා" නමින් සිංහලෙන් 2002 වසරේ කල එළියට බට "Regaining Sri Lanka" නම් වැඩ පිළිවෙලෙහි මූලිකම පරමාර්ථය වූයේ අධික ණය බරින් මිරිකෙන අප රට, නුදුරෙහිම එන බරපතල ආර්ථික අගාධයකින් ගලවා ගැනීමය. මෙය අනූව දශකයේ අග භාගයේ සිදුවූ ආසියානු මකරුන්ගේ කඩාවැටීම් වලින් ගොඩ ඒමට ඔවුන් අනුගමනය කල ලිබරල්වාදී ක්‍රියා පටිපාටීන් අප රටට හඳුන්වාදී අනාගත උවදුරකින් අප ගලවාගැනීමේ චේතනාවෙන් කෙරෙන්නක් බැව් එවක ශ්‍රී ලංකා රජයේ අග්‍රාමත්‍යතුමා වැඩසටහන එළි දක්වමින් පැවසීය.

සිංහලෙන් පුබුදමු යන්න නිද්‍රාවට පත් යමක් ප්‍රස්තුත කර භාවිතා කල හැක. ඉංගිරිසියෙන් "Regaining" යන්න පමණක් ගෙන,  එහි අරුත "අත්පත් කරගැනීම" ලෙසද ගතහොත්, ඒ නැවත අත්පත් කරනුයේ ගිලිහී ගිය යමක් විය හැක. මේ මුකුළිත හෝ ගිලිහුණු 'යම' හරි හැටි ප්‍රකාශ නොකිරීම මෙබඳු වැඩසටහන් නිර්මාතෲන් අතින් නිතරම මගහැරෙනා කරුණකි.

අංගුත්තර නිකායේ හතරවැනි නිපාතයේ පත්තකම්ම වග්ගයේ දෙවනි සූත්‍රය ලෙස එන අණන සූත්‍රය, පුද්ගලයන්ට සතුටින් ජීවත්වීම සඳහා අවශ්‍ය වන කරුණු හතරක් දක්වයි. අත්ථි සුඛ, භෝග සුඛ, අණන සුඛ, හා අනවජ්ජ සුඛ යනු එම හතරයි. අණන සුඛය පසෙකලා ණය ගැනීමට ගොස් පුද්ගලයාද, පවුලද, ගමද, රටද 'අනන සුඛය' බුක්තිවිඳීමට පත්වීම වැලැක්විය නොහැක.

ණය වීම හෝ ණය ගැනීම නොයෙක් ලෙස කල හැක. සංකල්ප, චින්තන, ක්‍රම සහ විධි ලෙසින්ද ණය ගත හැක. අයිස් බකට් අභියෝග සමගින් අප රට බිහිවූ අමුමිරිස් අභියෝගයටද සමගාමීව 'නෑමක්' හෝ 'කෑමක්' නොමැති තවත් අභියෝග සමූහයක් අන්තර්ජාලයේ පැතිරීම සිදුවුණි. මේවා වෙනුවෙන් යම් මුදලක් වැය කිරීමට සිදුනොවීමද විශේෂත්වයකි.  තවත් එබඳු අභියෝගයක් වූයේ "තමන්ගේ ජීවිතයට බලපෑමක් එල්ල කල පොත්" දහයක් නම් කිරීමේ අභියෝගයයි. තමන් ඒවා නම් කල පසු තවත් පස් දෙනෙකුද එසේ කිරීමට නම් කිරීමද කල යුතුය. අභියෝග බාරගත් නිර්භය මිනිසුන් බොහෝ දෙනෙකු තම ජීවිත වලට බලපෑම් කරගෙන ඇත්තේ නොරට වියතුන්ගේ ග්‍රන්ථ පරිවර්ථනානුසාරයෙන් බව එයින් මොනවට පසක් වුණි!

"සිංහල සාහිත්‍ය කෙරෙහි පාලි, සංස්කෘත භාෂා අධ්‍යයනයේ බලපෑම" ලෙසින් ලියමනක් ලියන, මෙරට සෙනරත් පරණවිතාන වියතාණන් මෙසේ කියයි:

"සිංහල අටුවා ග්‍රන්ථ, ඒවායේ පාලි පරිවර්තනත් සමග, ලංකාවේ විහාරාරාමයන්හි 12 වැනි සියවස දක්වා භාවිත විය. එහෙත් අප සාකච්ඡා කරන යුගාරම්භයේදී සිංහල අටුවා ග්‍රන්ථ භාවිතයෙන් ඈත් වන්නටත් බුද්ධඝෝෂගේ පාලි පරිවර්තන වඩ වඩා ව්‍යවහාරයට පත් වන්නටත් පටන් ගැනිණි. අටුවා ග්‍රන්ථ ලියැවුණු පැරණි සිංහල භාෂාව, ඒ කාලය වන විට තේරුම් ගැනීමට අසීරු තත්වයක පැවතීම ඊට එක් හේතුවක් විය. ඒවා එදා පැවති සිංහල භාෂාවට හරවා ගැනීම පහසුවෙන් කරගත හැකිව තිබුණු බැවින් ඉහත සඳහන් කල හේතුව ප්‍රධාන නොවූ බව පෙනේ. 

ලංකාවේ විහාරාරාමයන්හි 11වැනි ශතවර්ෂයේදීත් ඉන් පසුවත් බුද්ධඝෝෂ ගේ පරිවර්තනයට වැදගත් තැනක් දීමේ ප්‍රධාන හේතුව වූයේ එකල ලියලමින් පැවති එක්තරා විශ්වාසයකි. විදේශයකු විසින් පළ කරනු ලබන අදහස වඩා වැදගත් ලෙස සැලකිය යුතුයි යනු ඒ විශ්වාසයයි. 

බුද්ධඝෝෂ විසින් පවා ගෞරවාදරයෙන් සඳහන් කරන ලද පුරාණ සිංහලාචාර්‍යවරුන් රහතන් වහන්සේ හැටියට නම් කරන ලද නමුත්, අනුරාධපුර රාජධානියේ පරිහානියෙන් පසු ඇතිවූ තත්ත්වය අනුව රහතන් වහන්සේ නමක් වුවද ස්වදේශිකයකු වීම මදිකමක් ලෙස සැලකීම සිරිතක් විය. එවක් පටන් ස්වදේශික රහතුන්ගේ අදහස් පවා සඳහන් වූයේ විදේශික බුද්ධඝෝෂ ගේ මතය ලෙසිනි"

"මෙසේ පාලි ත්‍රිපිටකය හදාරන විට ඉදිරිපත් වූ දුෂ්කරතාවලදී පාලියෙන්ම ලියන ලද විස්තර ප්‍රයෝජනයට ගතයුතු විය. එහෙත් සාමාන්‍ය ශිෂ්‍යයකු ගේද ඇතැම් විට සාමාන්‍ය ගුරුවරයකුගේද පාලි දැනීම, පාලි අටුවා ග්‍රන්ථ තේරුම් ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය. එහෙයින් ඒවායේ සඳහන් දුෂ්කර පද සිංහල භාෂාවෙන් විස්තර කොට 'ගැටපද' නම් වූ ශබ්ද මාලා සැකසිණි. 

පාලි ත්‍රිපිටකය විස්තර කැරුණු පාලි අට්ඨකථාවන් තේරුම් ගැනීමට මේ ගැටපද භික්ෂූනට උදවු වු බව නිසැකය. එහෙත් ඒ භික්ෂූන් ගැටපද වලට නියම කෘතවේදීභාවයක් දැක්වූ බව පෙනෙන්නට නැත. සිංහල ගැටපදයක් අතේ අතැතිව උපාසක උපාසිකාවන් විසින් දකිනු ලැබීම පවා තමන්ගේ තත්ත්වයට මදිකමක් ලෙස ඒ භික්ෂූහු සලකන්ට වූ හ. එසේ හෙයින් එම ගැටපද ටීකා(උප-අට්ඨකථා) ලෙසින් නැවතත් පාලියට පරිවර්තනය කොට 'සාරත්ථදීපනී' ආදී අලංකාර නම් තැබූහ."

පාලියට නැගීම නිසා අභාවයට පත්, භාවිතයෙන් තුරන් වූ ග්‍රන්ථ ලෙස 12 වන සියවසේ වේදේහ තෙරුන් විසින් රචිත රසවාහිනී, ශ්‍රී මේඝවර්ණ රජු දවස ලියැවුණු එළු දළදා වංශය, ආදී පොත් දක්වා ඇත. තවද:

"මෙසේ සිංහල ග්‍රන්ථ පාලියට නැගීමේ පරමාර්ථය ලෙස දක්වා ඇත්තේ එකල ව්‍යවහාරයෙහි පැවති සිංහල භාෂාව හෝ නොදත් විදෙස් වැස්සන්හට ඒ ග්‍රන්ථවල සඳහන් කරුණු කියවන්නට මග සැලැස්වීමයි. මේ පරිවර්තනකරණය නිසා ලෝකයාගේ ප්‍රයෝජනය පිණිස පරිවර්තනයට භාජනය වූ වැදගත් සිංහල ග්‍රන්ථ නැති වී නොගියේ නම් පරිවර්තනය කිරීම ප්‍රශස්ත ක්‍රියාවක් ලෙස මීට වඩා අගය කල හැකිව තිබිණි"

"ගාමීණි හෝල් පොත් කඩ" නමින් ප්‍රසිද්ධ පැරණි පොත් කඩ වල රාක්ක පවා මුලුමණින්ම ආක්‍රමණය කර වැජඹෙන, විදෙස් බසින් සිංහලට පරිවර්තනය වී ඇති කෘතීන්වල මුල් කෘතීන් වලටද, පැරණි සිංහල ග්‍රන්ථ වලට අත් වූ ඉරණම අත් නොවේවායි මම ඉත සිතින්ම පතමි!

නූතන සිංහල පාඨක ජීවිත වලට කිසිඳු බලපෑමක් එල්ල කිරීමට නොහැකිවූ ග්‍රන්ථ රචකයකු, නාට්‍ය කරුවකු, වියතකු වන දයානන්ද ගුණවර්ධනයන් විසින් රචනය කොට එළිදක්වන ලද නාට්‍ය ද්විත්වයකි 'මධුර ජවනිකා' හා 'ආනන්ද ජවනිකා'.

'මධුර ජවනිකා හෙවත් හිංගල වංශය' හා 'ආනන්ද ජවනිකා' නාට්‍ය නිමවා නොනවතින ගුණවර්ධනයන්, නාට්‍ය පෙල ඇතුලත් අපූරු ග්‍රන්ථ යුගලයක්ද නිර්මාණය කරයි. කිසිදා ඉංගිරිසි නවකථාවක් හෝ කියවා රසවිඳ නැති මට, මේ ග්‍රන්ථ යුගල 'මැජික්' වන්නේ එවායෙහි ඇති උපග්‍රන්ථ නිසාවෙනි.

ගුණවර්ධනයන්ම කියනා පරිද්දෙන්ම මේවා ශාස්ත්‍රීය පර්යේෂණ නොව, නාට්‍ය සම්පාදනයේදී සොයා බලා දැනගත් දෑ එකලස් කිරීමකි. අප වියුණු සටහන් විෂය ක්ෂේත්‍රය වන සැඟව ගිය ගී අතරට රැස් දහර එල්ල කරන්නටද මේ නාට්‍ය යුගලයෙන් බිහිවුණු ගී යුගලක් සමත් වෙයි.

ආදී ආනන්දීයන්ගේ ආරාධනයෙන්, ආනන්ද විදුහලේ ශත සංවත්සර උත්සවය සඳහා, ආනන්දයේ උපත හා වර්ධනය ගෙනහැර පාමින් කල වාර්තාමය නාටකයකි "ආනන්ද ජවනිකා". ශ්‍රී ලංකාවාසීන්ගේ නිදහස් සටනට දිරිදුන් චූලාලංකාර තායි මහා රාජයාණන්ගේ [King Chulalongkorn] සුහද නාමයට "ආනන්ද ජවනිකා" ග්‍රන්ථය, ගුණවර්ධනයන් ගෞරවයෙන් පිලිගන්වයි.

අප හද පුබුදු කරනා පළමු ගීය ගැයෙන්නේ ආනන්ද ජවනිකා නාටකයේ අවසානයේයි. මෙම ගීයෙන් 1914 ප්‍රථම වරට සිංහල බෞද්ධ, ක්‍රිස්තියානි දෙපක්ෂය පහලොස් දහසක් පමණ එක්කාසුවී වික්ටෝරියා පාක්හි පැවැත්වූ අවුරුදු උත්සවයේ විසිතුරු කම, සංකේතාත්මකව ඉදිරිපත්වේ. ගීයේ පළමු පෙල නිමවා ඇත්තේ 1883 ප්‍රංශයේ උපන් රෝමානු කතෝලික පියතුමකු වන ගරු ජෝශප් මොන්තඤ්ඤොං පියතුමා විසිනි.

1910 දී පමණ ලංකාවට පැමිණෙන පියතුමා නාගොඩ, වැලිවිට, වෙන්නප්පුව, පමුණුගම, හල්පෙ, යන ස්ථානවල සේවය කොට පසුව කුරුණෑගලට නුදුරු මීසමක ප්‍රධානියා වශයෙන් පත්වී ඇත. ධර්ම ග්‍රන්ථ රාශියක් සිංහලෙන් ලියූ, සිංහලට අතිශයින් ප්‍රියකල මෙතුමා කොළඹදී ස්වර්ගස්ථවීමට ප්‍රථම දේව මෑණියන්ට යාඥා කර ඇත්තේද සිංහලෙනි! සැළළිහිණිය ආදී නොයෙක් සිංහල ග්‍රන්ථ වල ඇති දුශ්කර බන්ධන සහිත කවි බඳු කවි ගෙතීමටද එතුමා දක්ෂයකු වී සිටි බව කියැවේ.

එතුමා විසින් විරචිත 'ආරණ්‍ය වැණුමක්' ප්‍රබන්දය ඇසුරෙන් පළමු පෙල ගෙන, පැරණි ගැටපදාචාර්‍යවරුන් ගත් මගම යමින්, අරුත් පැහැදිලි කරමින්, එයට මනරම් දෙවැනි පෙලක් එක්කරන්නේ දයානන්ද ගුණවර්ධනයන් විසිනි. තණුව බන්දුල විජේවීරයන්ගෙනි. වරහන් තුල ඇත්තේ මුද්‍රිත පොතේ ඇති පදයි.

මල්ලී පුබුදු රජස වැදිය වසමින් මඩ වාලුකා
වෙල්ලී කුබුදූ විලස ලදිය දිනමින් කිඩ ලාසිකා
අල්ලී මොවුදූ සදිස විදිය අඳිමින් දඩ මාලිකා
පල්ලී පුලුදූ අනස බුදිය සොයමින් කිඩ ජාලිකා

පිපුන සමන් මල් රේණු සලා ලා සුවඳයි වැල්ල පුරා
නටන [තුරු]ලෙසින් වැල් බඳ සොලවාලා පරදයි රැඟුම නුරා
[බුදින]සරන සිතින් [රං]ලොල් රාං කුරුල්ලා නරකයි විදිනු මරා
සුදන [ලෙසින්]බැතින් [දැන්]මල් [සමගි දමින් අපි]දමින් එතීලා බැඳෙමුයි භේද හැරා



දෙවැනි ගීතය එන්නේ "මධුර ජවනිකා" නාටකයේ එළාර රජතුමාට කථකව මුණ ගැසෙන අවස්ථාවේදීයි.

"කථක: එහෙනං ඔබ වහන්සේ මේ අපේ එළාර රජ්ජුරුවෝ!
එළාර: දැන් කොහොමද... අපේ මිනිස්සු තවමත් කලබල කරනවද?

කථක:  අනේ දේවයන් වහන්ස ඔබවහන්සේට බොරුවක් කියන්න ඕනෑයෑ. ඔය පිටරටවල කියන කිසිම කලබලයක්  මෙහෙ නෑ. තියෙන්නෙ එකමුතු වෙන්න තියන කලබලයක්. දැන් බලන්න, අපි ජාත්‍යන්තර තත්වෙට එන්ඩ ඕනෑ කියලා කොච්චර ලස්සන කුමාර හෝටල් හදනවද පිටරට මිනිස්සු මෙහාට ගෙන්න ගන්ඩ. ඒ වුණාට අපේ සාමාන්‍ය මිනිස්සු ඕවට අඩියක්වත් තියන්නෙ නෑ. හැබැයි ඔබවහන්සේලාගේ ජාතියෙ කෙනෙක් හේම හෝටලයක් දැම්මොත්, දිවා රෑ නොබලා එව්වට යන්නේ..! ජාත්‍යන්තර වෙන්ඩ ඉස්සෙල්ලා අපි ජාතික වශයෙන් එකමුතු වෙන්ඩ ඕනෑ කියල තමයි ඒකෙ අදහස.
එළාර: ඒක නේන්නං බලමුකෝ මේ දිව්‍යලෝකේ පත්තරවල උණත් පළවෙන ආරංචි වැරදි ඇත්තට

කථක: ඔව්ව ගැන කලබල වෙන්ඩ ඕනැ නෑ දේවයන් වහන්ස... මොකක්ද ඔය උරේ?
එළාර: ආ මං ලඟ තියනව හොඳ බෙරයක් මේ උරේ... මේකට තමා තාවිල් බෙරය කියන්නෙ. ඒ කාලේ අපි මේක මෙහෙමයි හැදුවෙ ඔය ගොල්ලන්ගෙ දවුල් බෙරේ ආශ්‍රයෙන්

කථක: ඔබ වහන්සේට පුළුවන්ද ඕක ගහන්ඩ.. ඇහුවට සමාවෙන්ඩ
එළාර: ගහන්ඩ විතරක් නෙමේ, සින්දුවකුත් කියන්නම් ඕනෑ නම්

කථක: කොච්චර එකක්ද, දෙමළ භාෂාවෙන්ද කියන්නෙ?
එළාර: ඔව්, ඒ වුණාට මම ඉස්සර වෙලා පටන් ගන්නම් සිංහලෙන්

කථක: මොනව! ඇත්තට!! ඔබ වහන්සේ නම් පුදුමයි
එළාර: පුදුම වෙන්ඩ දෙයක් නෑ. මම රජ කරපු කාලෙ ඔය ප්‍රතිපත්තියම තමා මං අනුගමනය කළේ. සිංහල මිනිස්සු වැඩියෙන් ඉන්න රටේ සිංහලට මුල් තැන දෙන්න ඕනෑ නෙ.

කථක: මට නං පුදුමෙනුත් පුදුමයි
එළාර: මටත් පුදුමයි ඔහේ සිංහල මිනිහෙක් වෙලා ඕකට පුදුම වෙන එක ගැන!

කථක: ඔබතුමාගේ සින්දුවේ මාතෘකාව මොකක්ද?
එළාර: මම කියන්න යන්නේ අපේ පත්තිනි මෑණියන් ගැන. ඒත් ඒක පටන් ගන්නේ බුදුහාමුදුරුවන්ගෙ ගුණ සිහි කරලා. ඒ මොකද මේ රටේ වැඩියෙන් ඉන්නෙ බෞද්ධයෝනේ. ඒකත් අපි සලකන්න එපායෑ

කථක: ඔබ වහන්සේ නම් ඇත්තටම පුදුමයි
එළාර: ආයෙත් ඉතින් පුදුම කථාවක් ඇදල ගත්ත. ඕක තමා සිංහල මිනිස්සුන්ගෙ වැරැද්ද. සිහිකල්පනාව නැති එක. මතක නැද්ද මගෙ ගුණ යහපත් කම ගැන මතක් වෙන්න, අනුරාධපුරේ එළාර සොහොන බැන්ද හැටි දුටු ගැමුණු රජ්ජුරුවො?

කථක:  අනේ ඒක නේන්නං. ඔබ වහන්සේව මරණයට පත් කරපු එක මටනම් දැන් වැටහෙන්නේ අපි කරපු බරපතල වැරැද්දක් කියලා
එළාර: දැන් ඉතින් ඔය පහු ගිය එව්වා ගැන කම්පා වෙලා වැඩක් නෑ. ඉදිරියටවත් හිතේ තියාගන්නවා හොඳයි. එහෙනං අපි සින්දුව පටන් ගම්මු. මේක ඇවිල්ලා මේ වන්දනා කරුවෝ පයින් වන්දනාවේ යන කොට කියපු වයි නඩේ කවි. අපේ පත්තිනි මෑණියෝ තමුන්ගෙ ස්වාමියා වෙනුවෙන් වින්ද දුක් කරදර මේ කවිවලින් කියවෙනවා"

තෙන් තෙනෙන් තානා - තෙන් තෙනෙන් තානා
තෙන තෙන්දි නානා - තෙන තෙන්දි නානා

එක් සමයෙකි සාවෙකු වී මුනි සඳ
දුක් නොව ඇඟ මස් දන් දෙන ලෙස සොඳ
වික්‍රම පෑවේ ගින්නට පැන ඉඳ
සක් දෙවි ඇන්දේ සා ලප සඳ මැද

ඔරු සමයෙක මුනි මුසල පුරන්දේ
කරුනින් නන්නුඩ සැඩ සතුරුන්දේ
නෙරුප්පුලේ උළු පූඩිත්තරින්දේ
මුරුගන් කූඩිල් එල්ලත සුරිඳේ



පරිවර්තන බහුලවන්නේ සංස්කෘතික කාන්තාරයයක් වන අප රටෙහි, සාකච්චාවට, නිර්මාණයට බඳුන් විය යුතු විවිධ සංකීර්ණ ප්‍රස්න, චර්‍යා, ඇවතුම් පැවතුම්, ඔසවා තැබිය යුතු සිතුම් පැතුම්, නව සංකල්ප, නිර්මාණ නැති නිසා වුව හැක. පොත් සාප්පු වෙත යන මා, හැඳ යන්නේ තරමක් ජරාජීර්ණ වූ කළිසමකි. ගබිරියෙල් ලා, කොයිහලෝ ලා සිංහලෙන්ම වැජඹෙන ඉහල තට්ටුවල මට සොයන්නට යමක් නැති නියාය. එනිසා බිම හිඳගනිමි. එවිට දූවිලි වැකුනු පහලම තට්ටුවල බොහෝ කලක් තිස්සේ නිසොල්මනේ ඉන්නා ගුණවර්ධනලා දැකිය හැක!
Read More!

ලක් මව රුව සරසන මල්.....

ළමා ගීත මට ඇසෙන්නට ගත්තේ කවදාදැයි නොදනිමි. ඒ තරමටම ඒ මතකය පැරණිය, එහෙත් ඒ මතකය අදටත් රසවත්ය. මායිම් තාප්ප නොවූ බිම් කැබලි අතරින් හිරු අවරට යන්ට සැරසෙද්දී ඇසෙන්නට පටන් ගත් ඒ ගී රාව කෙසේ නම් මතකයෙන් බැහැර වෙත්ද? "අම්මාගේ උකුළේ නැලවී" නිදන්නට සවස් කාලයේම ආසාවක් ඇතිවේ. හෙට දින "උදේ පාන්දර පාසැල් යන්නට බසයක් ඇවිදින් කථාරනවා" යැයි මතක් කිරීමක්ද වෙයි. "පුළුං කොට්ට අත් දෙක තබලා" උකුලට පනිනා බලල් හාමිත්, "කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා"වත්, "දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න" පියාණනුත් ඒ මතකයන්හි මිහිරිම තැන්ය.

සිංහල ලමා ගීත සාහිත්‍යයද එදා මතුමහලයක රැඳවූයේද අන් කවරකුවත්ම නොව සිංහල ගීත සාහිත්‍යය එදා හෙබැවූ චන්ද්‍රරත්න මානවසිංහ, ඩෝල්ටන් අල්විස්, කරුණාරත්න අබේසේකර, සුනිල් ආරියරත්න, ආදී මෙකි නොකී වියතුන්, කලාකරුවන්ම වෙති. මෙහිදී අමතක කල නොහැකි නමක් නම් සංගීතවේදිනී නන්දා මාලිනියයි. ගායනාව පෙරට ආ නිසා ඒ සංගීත වේදිනිය මුකුලිත වූවා වැනිය. ළමා ගීත නිර්මාණයන්  තුල නන්දා මාලිනි නම් සංගීත වේදිනියගේ කාර්‍යය සුවිශේෂය. "පාට පාට සමණල තටු මද පවණේ පාවෙනවා", "ඒයි මොකද මාව කෑවෙ", "බයනූ අල්තයනූ මට තව දියෝ දියෝ", "බල්ල පිදුරු කන්නෙත් නෑ", "සරුංගලේ උඩ නැග" ඇගේ ළමා ගීත නිර්මාණ ගොන්නෙන් ශේෂයකි. ඒවා අතර මා දකින අපූරුම නිර්මාණය නම් "ඔබ සැමදෙන හට තෙරුවන් සරණයි, මීට ඔබේ නංගී, රෝහිණී" ලෙස අවසන් කෙරෙන පොඩි නංගීගේ ලියමනෙහි තනුවය. සරල ලිපියකින්, වදන් පෙලකින් අපූරු ගීයක් බිහිකල අයුරු නම් විශිෂ්ඨය.

ළමුන් විසින්, ළමුන් වෙනුවෙන් ගී ගැයුනු යුගය මිලිනව ගියද, අතරින් පතර යහපත් නිර්මාණද අසන්නට ලැබේ. මෙහි ඇතුලත් නොකලද "මල් පිපෙයි දෙනෙත් හැරෙයි", "පාර කියන්නෑ තෝනෙන්", "පාන තියා බුදු සාදුට හිමිදිරියේ", "අත්තම්මා නිවන් ගිහින්" වැනි ගීත, නියං සාය මැඩ වටනා පොද වැසි වැනිය. එකලද තරමක් ග්‍රාම්‍ය ආකාරයට නිමැවුණු "කොහෙද යන්නෙ රුක්මණී" වැනි ළමා ගීතද විණි. එම සංකල්පයම "මල් පිපෙයි දෙනෙත් හැරෙයි" ලෙස මෑත යූගයේ රමණීයව ප්‍රතිනිර්මාණය වීම යහපත් ප්‍රවණතාවයකි. මෙහි ඇතුලත් කර ඇති ගීත ගොන්න එක දිනකින් බිහිවූ ඒවා නොවේ; යහපත් නිර්මාණකරණයට අවශ්‍ය කාලය නොමසුරුවම ගෙන බිහි කල ඒවා වෙති. අද අප කාටත් නැත්තේ එම ඉස්පාසුවමය!

සමහරක් ගීත උපුටාගත් "ළමා ගී" වෙබ් අඩවියටත්, "පින්තාලිය" වෙබ් අඩවියටත් ස්තුතිවන්තවෙමි. හිතේ නොමැකෙන්නටම මේ ගී සටහන් වූයේ ඒවා ශ්‍රවණයට සුදුසුම කල වූ කුඩා කලම ඒවා අසන්නට හැකිවූ නිසාය. ගුවන් විදුලි යන්ත්‍රයක් ගෙන තබා අපට ඒවා අසන්නට සැලැස්වූ දෙමාපියනටද පින්!


 
ගීත අසන්න...

ගීත පොත බාගන්න මෙතැනින්....
ගීත සියල්ල බාගන්න මෙතැනින් 220 MB ගොනුවකි
[පද වැල් වල අඩුපාඩු හෝ සඳහන් නොවුනු පද /තනු නිර්මාණකරුවන්ගේ විස්තර සඳහන් කලහොත් කෘතඥ වෙමි]
Read More!
 
Blogger Wordpress Gadgets