"Good 'Morning' Stanley...!!



නිමිත්ත: උපේන්ද්‍ර සොයුරා ලියූ සටහන හා එයට රවීන් සොයුරා එක්කල සටහන්...

වාසනාව වැඩ ඉන්නේ.... 
විමන් තුලද දෙවියන්නේ.... 
නැහැ එය ලොව වැජඹෙන්නේ.... 
උත්සාහෙන් මිනිසුන්නේ.... 

පිපෙනා සුවඳ සිතිවිලි හදවතේයා ....
පූජා කරන්නේ දාඩිය වෙතේයා ....
බිම කල සිතට මහ සතුටක් දැනේයා.... 
මිනිසුන් තරම් බලයක් ලොව නැතේයා ....

පුතේ දුවේ මේ අහන්න ....
නොවහල් දෙනෙතින් බලන්න.... 
සුමග දිගේ පෙරට යන්න.... 
යා හැකි දුර පා නගන්න.... 

ජය ලද වෙලේ ආඩම්බර නොවේවා.... 
වැරදුනු කලේ වත මුකුලිත නොවේවා.... 
දුක සැප දෙකේදිම හසරැලි නැගේවා.... 
සිතුවිලි තරුව එඩිතර වී දිලේවා.... 

පුතේ දුවේ මේ අහන්න.... 
නොවහල් දෙනෙතින් බලන්න ....
සුමග දිගේ පෙරට යන්න ....
යා හැකි දුර පා නගන්න.... 

ඕන්නම් බාගන්න....

ගී පද රචනය: ආර් ප්‍රේමදාස ශූරීන් 
තනුව: ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතවේදියානන්
ගායනය: රාජ්‍ය සංගීත කණ්ඩායම
Read More!

සැනසී නුවන් තලාවේ...

මී මැස්සෝ කණ්ඩායම විසින් "ටික වෙන්න නාලා - කොන්ඩේ කඩාගෙන" ලෙස ගැයූ ගීය "ටික වේ....න්න නාලා" ලෙස අදිමින්, තවත් එබඳුම ගී ‍රැසක් සමග අමුණමින් ගයා "අල"  කිරීමෙන් පසුව දැන් සෑහෙන කලක් ගතවී ඇත. "ඇවිලේ සැමදා රශ්මිය විහිදා - ඉටිපන්දම තනියේ" දැන් සාදයකදී වත් අසන්න නොලැබේ.  සාද වලටත්, විනෝද චාරිකා වලටත් සරිලන වර්ගයේ ගී සිංහල ගීතාවලියේ එමට ඇත. එහෙත් ඉහත කී අල කිරීම් නිසාදෝ දැන් තරමක වේග රිද්මයකින් යුතු මනරම් ගී බොහොමයක් යටපත් වී ඇත. විනෝද චාරිකාවලදී හෝ සාදයකදී "මින්දද හී සර" ගයන්නට සැරසෙන්නෝද අඩු නොවේ.

සාජ්ජ, බජව් පසුකර දැන් අපි "පැදුරු පාටි" යුගයට අවතීර්ණ ව ඇත. සමන් අතාවුදහෙට්ටි ඇතුලු රසවතුන් කරළියට ගෙනා ආ, දල වශයෙන් මැද පන්තියේ විනෝදාස්වාද කටයුත්තක් වූ පැදුරු පාටිද ගලායන්නේ එකම රිද්මයකටමය.  පැදුරු පාටියකට අඩුම ගනනේ සර්පිනාවක් (හෝ සමාන සංගීත භාණ්ඩයක්) හා තබ්ලාවක් නැතිවම බැරිය. එහෙත්  බොහෝ එබඳු සාද වලදීද අසන්නට ලැබෙන්නේ එකම පන්නයේ ගීත වීම කණගා‍ටුවට කරුණකි. අමරදේව (ඒකෙනුත් මහගම රචනා!!!), ගුණදාස කපුගේ, නන්දා වික්ටර්, නීලා මේ සාද වලදී ගැයෙනු අසා මට නම් හැබෑවටම තිත්තවී ඇත. රුචිය එකිනෙකාගේ වෙනස් බැව් විශේෂයෙන් කීමට ඇවැසි නැත. මේ මාගේ රුචියයැයි කීමට ඒ බාධාවක් නොවේ යැයි එලෙසින්ම සිතමි!

මාධ්‍ය වලිනුත් නිර්මාණය කෙරෙනුයේ / කරණුයේ මීටම සමාන වටපිටාවකි. ගී පද රචකයෙක් ගැන කථා කලහොත් ඒ ප්‍රේමකීර්ති, මඩවල, මහගම, ඩෝල්ටන් වීමට බොහෝ ඉඩකඩ ඇත. ගී හාරදාහක් පමණ ලියූ හේම ශ්‍රී ද අල්විස් වැන්නවුණ් ජීවමානව, බෙහෙවින් ආර්ථිකව අබල දුබලව සිටියද (රෝගී ව ඉන්නා අයිරින් ද අල්විස් මහත්මියද ‍රැක බලාගනිමින්) ඔවුන් මාධ්‍ය තුලින් එළියට එන්නේ ඉතාම කලාතුරකිනි. මෙලෙස අඩු ලෙස මාධ‍ය තුලින් දිස්වෙන තවත් කලාකරුවෙක් වන විජේසුන්දර පොලොන්ඕවිටයන් ගැන මම කලින් කියා ඇත. පරසතු මල්හී බොනී මහත්තයා විසින් සංකේතවත් කල (සල්ලාල මොඩලයේ වුවුද!) සහෘද  අර්ථපතීන් සොයා ගැනීමට මෙතරම් උගහට වන්නේ සාමාන්‍ය සරල රසවතුනුත්, රසකැවිල්ලක් තලු මරා කනවාට වඩා රස සිඳී හංකඩයක් වූණු පසුවද දිගින් දිගටම, කිසිඳු රහක් මෙරක් නැතිව හපන "චූවින් - ගම් " සැපීමට රුචියක් ලබා ඇති නිසාමද?

අප අතරින් වියෝවුනු නොයෙල් ගුණරත්නයන් ගයන, හේම ශ්‍රී ද අල්විස් විසින් රචිත මොහොමඩ් සාලී විසින් සංගීතය යෙදූ මේ ගීය කෙතරම් අපූරුද? චූවින්-ගම් ඉවත දමමු!





Read More!

සපුමල් සුවඳක් සේ....

කාන්සිය නිවාගැනීමට ඉඳහිට සවන්දෙන ගීතවල වගතුග සෙවීමේදී  "රචිකාවියන්" මුණගැසුණේ අතලොස්සකි. සිංහල ගීත රචනාවලියේ පිරිමි පාර්ශවයට සාපේක්ෂව කාන්තා නියෝජනය ඉතාම අඩුයැයි හැ‍ඟේ. පුවත්පත් වල කවි පි‍ටු පුරා ඔවුන් ලියූ කවි බොහෝ ඇතත් ගීත රචනා විෂයේදී කාන්තා නියෝජනය එසේ වී නැත්තේ ඇයිදැයි යන්න තේරුම් ගැනීමට අපහසුය. යමුනා මාලිනී කිවිඳිය තවමත් ගී රචනා කරන අතර කුසුම් පීරිස් මහත්මියගේ, රත්නා ලංකා අබේවික්‍රම මහත්මියගේ ගී රචනා ඉඳහිට අසන්නට ලැබේ. "දයා ද අල්විස්", මේ ගී රචිකාවියන්ගේ පාලු අඹරේ දිදුලන තරුවක් බැව් නම් නොකියාම බැරිය. ඇගේ 'සූරියකාන්තා 'ගීත එකතුව මීට අවුරුදු පහලොවකට පමණ පෙර එළිදක්වන්නේ පසුපිටේ ඇති මෙවන් වැකියකිනි...

"කිසි ලෙසකිනිදු හමුවිය නොහැකි නිසා මගේ මේ ගීයක සියුම් වදනකින් ඔබේ හදවත ස්පර්ශ කරමි"

දයාද අල්විස් මහත්මියගේ මා කැමති ගී කිහිපයක් මෙලෙස සටහන් කරමි...

• ඉහත කී වැකියටම ගැලපෙන ලෙස ගුණදාස කපුගේ ශූරීන් විසින් වයලීනය හඬවමින් තනු යෙදූ පුන්‍යා කත්‍රිආරච්චි ගායනා කරණ  මේ ගීය නම් අදත් එක ලෙස ජනප්‍රියය...
"දැස වසාගමි ඔබ නොපෙනෙන්නට - සිහිනෙක දැවටී ඔබ එනවා
සිත සිරකරගමි ඔබට නොඑන්නට - සිතුවිල්ලක් වී ඔබ එනවා
.......................................
අහසත් පොලොවත් ඔබමද මාහට - නැතිවද ඔබ මා හැර යන්නේ
තහනම් දේසෙදි බැඳි බැමි බිඳදා - කෙදිනද ඔබ මා හමුවන්නේ"

• ගීයක් ලියාදෙන්නැයි මිල්ටන් පෙරේරා කල ඉල්ලීමකින් ඈ ගී රචනා ලොව පළමු පියවර තබන්නීය. තනුව තුමූම යෙදූ මිල්ටන් පෙරේරා එය මෙලෙසින් ගායනා කලේය...
"කඳුලු අතරට සිනහ ‍රැළි වෙමි - විඩාවට සෙවනක් වෙමී
ජීවිතේ පොත පුරා ලියැවෙන - ආදරේ කවියක් වෙමී"

• සනත් නන්දසිරි විසින් තනු යෙදූ අපූරු ගීත යූග්මයක් දයාද අල්විස් ගී එකතුවේ ඇත (සනත් නන්දසිරි විසින් මෙබඳුම "ගී - පිලිතුරු ගී" යුගලක් තවත් වරෙකද ගයා ඇත - "ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ" හා "ආකාසේ තාරුකා මූදෙ මඩ වුණත් අරන්දෙන්නට කෝපි කඩේ දාන් අදින ගැටව් හපන්නූ" යන ගී ඒවායි)
"සහසක් පැතුමන් ඉපිදී මියගොස් - ඉතිරිව ගිය එක පැතුම දරාගෙන
ඇහැල මහට අඩසඳ පෑයූදා - මතකද සිරි දළදා වැන්දා
..................................
අහිමිව ගිය සම්පතට වඩා - හිමිවූ දුක මිහිරියි සලකන්නම්
ඔබ වැනි කෙනෙකුට නෑනා වීමත් - පෙර පිනැකැයි මා සලකන්නම්" - සනත් / මල්කාන්ති

"සහසක් පැතුමන් නැත මා පැතුවේ - එකම පැතුම පමණකි සිත ‍රැඳුණේ
හද අඹරෙහි අඬසඳ වැනි නෑනේ - මතකයි සිරි දළදා වැන්දා
................................
අහිමි සැපත මිහිරියි සිත පුරවා - තැවෙමු හඬමු මේ භවය පුරා
මතු භවයෙත් මගෙ නෑනා වෙනු මැන - අදට වඩා අනුකම්පාවෙන්" - සනත් නන්දසිරි

• සිසිර සේනාරත්නයන් තනු යොදා ගැයූ මේ ගීය නම් අපූරුම එකකි...
"අහසේ ඈතට - පාවී යනවා - සරුංගලේ..... සරුංගලේ......
...............................
සැරසිලි දාලා කවුද හැඩකලේ - සරුංගලේ නෑ දන්නේ
අන්න ඒ ලෙසේ නිදහස සොයනා - ඔබෙ සිත මා සසලන්නේ
...............................
නොපෙනෙන ඈතට ඉගිලී ගියදා - ඉරණම කෙලෙසද වන්නේ
ඉරුණු සරුංගල් තැන තැන වැලපෙණු - නැතිදෝ ඔබට පෙනෙන්නේ"

• ස්වයංවරයක් අභියස හිඳින නෙළුමකටයි මේ පැණය දයා ද අල්විස්ගෙන්
"හිරුට අයිති බව හිරු පවසනවා - විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා - ඔබ කාටද හිමි නෙළුම් මලේ
.....................
හිරු ලඟ අහසේ රුවට පිපීයන් - විල් දිය තුල සැඟවී සැනසීයන්
ආදරයක් නැති මිනිසකු දෑතට - නෙළුමේ නුඹ හසුවන්න එපා" - රෝහණ / නීලා
රචිකාවිය නෙළුම් මලකට කියූවක් වුවුද මේ ගීය, ගීතයේ ස්වාමිත්වය වෙනුවෙන් සටන් වැද, ඉනික්බිති අපූරු ගී නිර්මාණ ආර්ථික අරමුණු වෙනුවෙන් හුවමාරු වී, අවසන, එහි රසය සම්පූර්ණයෙන් නැති කරන්නන් නිසා කල ඉල්ලීමක්දෝයි මට සිතේ...

• වැරදීම මිනිස් ගතියකි!
"යලි උපදින්නම් අලුත් කෙනෙකු වී - නැවුම් ලොවක නව හිරු සඳු සෙවනේ
ඔබේ සෙනෙහසේ සුවය ලබා - සුවය ලබා
......................
යලි උපතක් දුන් සෙනෙහේ නාමෙන් - දෙපා සිඹින්නම් මෙළෙසින් මතුදා
දෙවියෙකි ඔබ මේ මහ පොලවේ - මහ පොලවේ" - රෝහණ / නන්දා පතිරණ

• ලක්ෂ්මී දෙවඟන පැමිණෙන විට එතුමියට ඉඩදීමට කවුරු හෝ පිටවිය යුතුය!
"එහෙත් මෙහෙත් නෑ මුහුණ පෙනෙන්නේ - පාළුව යාළු වුණේ
පැතූ වදන් නෑ ලබැඳි සිනා නෑ - කාලය ඉබි ගමනේ
...............................
ටිකින් ටිකට අඩි පාර පළල් වී - රිය සළකුණු ඇඳුණා
ඊයේ නිවහන මහ මැදුරක් වී - අංගනයද සැදුනා
...............................
කහවණු හිනැහෙයි අද මතු මහලේ - මා හිත බිම් මහලේ
හිමියනි මා නෙතු කඳුලු බලන්නද - කහවණු නළවන්නේ
...............................
බුමුතුරුණක් කර යසිසුරු අතුරා - හිත්මල එහි පරවී
පළිඟු විමන් තුල දුක් සඟවන්නද - සැදුණේ රන්කාසී" - රෝහණ / නිර්මලා

• හෙක්ටර් සිල්වා හා පුන්‍යා කත්‍රි ආරච්චි ගයන මේ ගීයද දසක තුනක් වත් අඩුම ගනනේ පැරණි යයි සිතේ. මිදි යුෂ මෙන් පැරණිවන තරමට අගය වැඩි වන හැටි!
"මට මතකයි ඔබ පිපිලා උන්නා - දුනුකේ ගසක සුදූ
මට මතකයි ඔබ සොයලා ආවා - බඹරෝ සුවඳ මගේ" - තනුව හෙක්ටර් සිල්වා
මේ ගීය පිළිබඳ අපූරු සටහනක් ගී රස විනිස හි දක්නට ඇත

• අසමාන ආදර අන්දරයක කථාව ඇගේ පෑන් තුඩින්!
"සපුමල් සුවඳක් සේ සීතල රෑ යාමේ - හද කුටියට ඔබ හිමිහට වැඩියා - කිසිවකු නෑ දු‍ටුවේ
...............................
හැන්දෑ වලාකුලේ අටවක සඳ මඩලේ - මේ හැම තැන ඔබ සැඟවී උන්නා - මා පමණයි දු‍ටුවේ
...............................
ලොව නිදි අඳුරු පැයේ සීපදයක් වැන්නේ - සවනත සනසා මා ලඟ උන්නා - ‍රැය පමණයි දු‍ටුවේ
...............................
සපුමල් සුවඳක් සේ යළි නෑ හැර යන්නේ - මහ මෙර සේ ඔබ නොසැලී උන්නා - ඇයි මුලු ලොව දු‍ටුවේ?"
- දයාරත්න / අමරා
.............................................................................

ප්‍රේමය, විරහව, තනිකම, පාලුව යන නිමිති කවියට, ගීයට ඉතා සුලබ මාතෘකා වුවද ඈ ඒවා ස්පර්ශ කර ඇත්තේ ඇයටම විශේෂිත වූ ආකරයටය. තනු නිර්මාපකයින්ද ඇගේ සිතැඟි එලෙසින්ම වටහා ගත්තාක් බඳුය. නිරංජලා, නිර්මලා, ඉන්ද්‍රානි බෝගොඩ යනාදීන්ගේ මුවින් ගැයෙන්නේ ඇයගේම හඬ යැයි වෙලාවකට මට සිතේ. මම ඈගේ සෑම ගියකම පාහේ සැඟවුණු කාංසියක් දකිමි. මෙහි කථා නොකල "කඳුරැල්ලෙන් එහා ගමට ඔබ කැඳවා ගිය මාවත - කඳුලැල්ලෙන් වැසී ගියා" (අබේවර්ධන), "ආපසු එනවා මගේ සිත ඉබි ගමනින් - ඔබ ඈතක රඳවා" (ප්‍රියා), "මහා මෙරක් ලෙස ඔබ ගැන සිතුවද - වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ" (නිර්මලා), "අකලට වට මහ වරුසාවක් සේ - අසුබ දිනක ආ සුබ පැතුමක් සේ" (නිරංජලා), යනාදී ගී බොහොමයක මම ඒ සැඟවුණු කාංසිය විඳිමි.

ගුවන් විදුලි නාලිකාවලත් රූපවාහිනී නාලිකා සම්මුඛ සාකච්ඡා බොහොමයකත් දක්නට අසන්නට ලැබෙන්නේ එකම චරිතය. අසන්නේද එකම ප්‍රස්නයන්ය. "ඔබේ ජීවිතේ අමතක නොවන සිද්දි?" "පලමු පෙම?" "ඔබට ඔබේ ගමන් මගේ දිරිදුන් අය?" ඒවා අතරින් ප්‍රසිද්ධ පැණයන්ය. වියත් ගුවන්විදුලි නිවේදිකාවක්ද වූ ඈ බඳු අයගෙන් ඒ ක්ෂේත්‍ර වල ඉන්නා අයට මෙන්ම, සරල කලාවන් රසාස්වාදනයේ යෙදෙන අප වැන්නන්ටද ඉගෙනීමට ඇති තරම් කරුණු තවත් ඇතියැයි සිතමි.

දයා ද අල්විස් මහත්මිය බොහෝ කෘතවේදීව සිහිපත් කරන අතර ඇය 'සූරිය කාන්තා' ගීත එකතුවට ලියූ පෙරවදනෙහි කොටසකින්ම නැවතීම තබමි.

"ගොරෝසු ව වචනවලින් නොකළ හැකි බොහෝ විශ්මය ජනක සුන්දර වෙනස්කම් ගීයකින් කළ හැකි බව මගේ විස්වාසයයි. නිසරුව වියළිව ඇති හදවතකට තෙතමනයක්දී, සුවඳමල් පුබුදුවාලීමේ හැකියාවක් මිහිරි ගීයක ‍රැඳී පවතී. මිනිස් වර්ගයාට හා සොබා දහමට ආදරය කිරීම, ජීවිතාවබෝධය ලබා දීම, ගීයකින් සිදුවිය යුතු මෙහෙවර ලෙස මම සලකමි . ගීයක් ඇසීමෙන් හිත සමාධිගතවී ඇතිවන සංයමයෙන්, අකාරුණිකත්වය බොහෝ දුරට පලායන බව දැකිය හැකියි. මා මේ අවබෝධය ලැබුවේ වසර විසි ගණනක් ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස ලද අත්දැකීම් තුළිනි. සිතක් ඉතා පහසුවෙන් ස්පර්ශ කල හැක්කේ ගීයකට පමණයි. එසේනම් ගීය, ඉතා වේගයෙන් සමාජ මෙහෙවරක යොදා ගත හැකි දූතයෙකු නොවන්නේද?දයා ද අල්විස් - 1997

ගීත අසන්න...
 


Read More!

බුදු ‍රැස්මි විදා ප්‍රාතිහාර්‍ය පෑ සඳපානේ....


පොල් කඩන්නාට ගස පාමුල සිට පැසී ඇති පොල් හරියටම විනිශ්චය කල නොහැක. එහෙත් ඉඩමේ අයිති කරු සමග අහවල් ගෙඩි කඩමියැයි වාදයෙහි එල්බ සිටීමට ඒ නො-දැනීමෙන් අවහිරයක් නැත. පුරුදු පුහුණු වූ සමහරෙක්ට මේ කර්තව්‍යය අනුමාණයෙන් කල හැක. එසේත් නැත්නම් වෙහෙස මහන්සිවී ගස් නැගීමෙන්ම ඒ කාරිය නිසි පරිදි කල හැක. ගසේ මදක් නැගුණු විට හාත්පස දර්ශණයෙන් වශීකෘතව සිටියහොත් අදාල කාරිය නිමකරන්නට නොහැකිවනු ඇත. ඒ හැටි උස නැති තැඹිළි ගස් බඩ ගා නැග්ගද වලල්ල දා උස පොල් ගස් වලට නැගීමට ඇවැසි පරිචය මා ලබා නැත්තෙමි. තමන් ලද දැනුමක් මෙන්ම නොලද දැනුමක් ගැනද විමසිලිමත්වීම මනාය. එහෙත් ඒ අවසාන ඵලය ගැන සමග ගැටගැසුණු උවමනාව සමගින්ය.

අප බොහෝ දෙනෙක් උදේ හවා "සිස්ටම්" වල දොස් දකීමටත් ඒවාගැන දෙඩීමටත් රුචිය. තම නිවසේ "සිස්ට'න්" එක වැඩ නොකිරීම වෙනම කාරණයකි! කව්සිළුමිණ මෙසේ කියයි - "තමා වරදස නො දිස්නේ - මෙරමා දොස් මැ දිස්නේ - නුවන් තමා මුත් බැහැරැ නහමන නොදක්නේ කිම්?

ජාති, ජරා, මරණ දුක් සේ දකිත්ද?? - උත්තරය "නැතිය" නම් බුදුදහම ඉගෙනීමෙන්, ඔබගේ වටිනා කාලය නාස්ති නොකරගන්න. ඔබ බලාපොරොත්තු වෙන වෙනත් ඵල නෙලා ගැනීමට බොහෝ විකල්ප, විමුක්ති මාර්ග ඇත. උත්තරය "ඔව්" නම් එයින් මිදෙන මං පෙත කියා දුන් දිවාකරයාණන්ට ගෞරව සම්ප්‍රයුක්තවී වහ වහා ශ්‍රද්ධා, ප්‍රඥා මාර්ගයන්හි ගමන ඇරඹීම ඇති බාධාව කුමක්ද?

අද අප මෙන්ම එදා සිටි දුහුනන්ද කෙලෙස් පාදම මත සිටිමින් නන්දොඩවණ කල්හි ශාඛ්‍යසිංහයානෝ කැණිමඩල පලා මැදුර සුණු විසුණු කොට සිංහ නාද පැවැත්වූහ. දාන, සීලයෙන් පෝරුගා සකස්කල බිම් මත්තෙහි භාවනා බීජ වැපුරුවහොත්, එයට උවමනා පරිචය ලබාගැනීමේ යුහුසුලු වුවහොත්, අවසාන ඵලය බලාපොරොත්තු වූ අයුරින්ම නෙලාගත හැකිවෙනු ඇත! නිර්වාණ ස්වර්ණ ද්වාරය නිරතුරුව අප සියල්ලන් වෙනූවෙන් සපුරා විවෘතව ඇත!
ඔබ සැමට සුන්දර නිර්වාණේ අභිනන්දන සැප ලැබේවායි මේ වෙස‍ඟේ පතමි!

ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින වෙනුවෙන් බොදු බැති ගී පෙලකි...

1. බුද්ධගයාවට ගිය ඇත්තෙක් කීවේ මේ ගීයේ තේරුම හැබැවින්ම විඳ ගැනීමට නම් බුද්ධගයාවේ අතිශය සීතල සුලං පහස විඳ බැලිය යුතුම වගකි.  ගුණරත්න අබේසේකර ලියූ "සුවදේ මට සීතල සුලඟ පවා - හිමි බුදු වුණු බුද්ධගයාවේ" ගායනය බෙග් මාස්‍ටර්ගෙනි

2. තෙරුවන් නැමදීම අපූරුවට ගද්‍යයක් ලෙස හුවා පාමින් ආචාර්‍ය අජන්තා රණසිංහ ශූරීන් විසින් ලියූ මේ ගීය ඉමහත් බොදු බැතිය දනවන්නකි. සංගීතය හා ගායනය විශාරද සනත් නන්දසිරිගෙනි;
 
"නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන් - සම්බෝධිරාජ පාද පද්ම - වන්දනා කරම්
ක්ලේෂ තාපයේ අනන්ත වේදනා ජලේ - නෞකාව දම් අමා වඳිම් - නමා නළල් තලේ
දෑගසව් රහත්  බුදුන්  මා සිතින් පුදා - වන්දාමි සඟ රුවන් - ගඳින් මලින් බැතින් සදා"


3. සී වීරසේකර ශූරීන් ලියූ එම් කේ වින්සන් ගැයූ මේ ග්‍රැමෆෝන් යුගයේ ගීය අදටත් එකසේම බොදු බැතිය වඩවයි;

"සිරි ගෞතම ශ්‍රී පාද වදිම් සමනළ කන්දේ - අභිනන්දන සැප පතනෙම් සුන්දර නිර්වාණේ
කල්‍යාණ පුරේ නා කැල සිරි ධර්මෙන පහදා - ආකාස තලේ වැඩ සිටි මුනි රාජා තෙදිනා
බුදු ‍රැස්මි විදා ප්‍රාතිහාර්‍ය පෑ සඳපානේ - තුන් ලෝ දිනු මුනි පාද වඳිමු පතමින මෝක්ෂේ - අමර සිරිබර මෝක්ෂේ
තුම්  ගුණැති සමන් දෙවියන් පිදු සේම තිලෝනා - සිරිපාද තබා ඉඳුනිල් මිණ මුදුනේ එදිනා
ලෝ වාසි දනන් සාධු නදින පූජා පානා - ත්‍රෛලෝහිමි සිරි පාද වඳිමු නිවන් පතාලා - සිරි නිවන් පතාලා"


4. "වඳිමු සුගත ශාඛ්‍යසිංහ - සසර දිනූ බුදු පියා - රමණී මන්දාර කුසුම් - කරමින පූජා - බැතියෙන මේ ගී ගයා" අමරදේවයන් විසින්ම ලියා, තනු නිමවා, ගැයූ මේ ගියේ අග්‍රගන්‍ය භාවය කීමට අ‍ටුවා ටීකා අවැසි නැත. මෙබඳු ගී තව තවත් නිමැවේවායි - කරමි මා ප්‍රාර්ථනා!

5. "සල් වනේ ලකල් - දුල් සල් වනේ ලකල්" සිදුහත් කුමාරෝත්පත්තී වර්ණනාවක යෙදෙන මේ ගීය ගයන්නේ ග්‍රේටා ජෙනට් ද සිල්වාය. ග්‍රැමෆෝන් යුගයේ ගීයක් වන මේ ගීයේ තනුව හා සමගාමීව  එම් කේ වින්සන් විසින් "තෙල් මල් පුදා වඳිම්" ලෙසින් ගැයූ තවත් බොදු බැති ගීයක්ද වෙයි. තනුව හින්දි තනුවකි

6. "මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුලං ‍රැල් පාවෙනා - සම්බුදුන් සම්භාවනීයයි සාධු සාධූ වන්දනා" කිංකිණි නාද චිත්‍රපටියට නිහාල් ජයසේන විසින් රචිත පී එල් සි සෝමපාලයන් විසින් තනු නිමවා සුජාතා අත්තනායකය මොහිදීන් බෙග් ඇතුළු පිරිස විසින් ගායනා කල ගීයකි

7. බන්දුල මල්ලිකාවගේ චරිතය අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය ප්‍රකට කරවන්නකි - ඈ, යුධයට ගිය සැමියාත්, පුතුන් කැලත් ජීවිතක්ෂයට පත්වූ බව දන්වා ලැබුණු තල්පත ඉනේ ගසාගෙන යෙදෙමින් හුන් දන්බෙදීමේ කාරිය දිගටම කරගෙන ගිය බව සාහිත්‍ය පොතපතෙහි සඳහන්ය. එවිට එක දැස්සක ගේ අතින් ගිතෙල් බඳුනක් බිම වැටී බිඳී ගියේය.  ඒ දුටු දන් පිළිගනිමින් හුන් සැරියුත් මා හිමියෝ “මල්ලිකාවනි, බිඳෙන ස්වභාවය ඇති දෙය බිඳී යන්නේය. ඒ ගැන සිත නරක්කර නො ගත යුතුය”යි කීහ. ඒ  ඇසූ මල්ලිකාවෝ ඉණෙහි රඳවා හුන් තිබුණු තල්පත  අතට ගෙන “රහතුන් වහන්ස, මගේ පුතුන් දෙතිස් දෙනාත් සැමියාත් මළ බව සඳහන් කොට ඇති මේ හස්න ලැබීමෙන් වත් කලබල නොවූ මම, දැස්ස අතින් ගිලිහී බිඳී ගිය ගිතෙල් බඳුන ගැන ශෝක කරම්දැ’යි කීවාලු.
"බන්ධුල ප්‍රේමී සි‍ටු කුමාරී - පංච කල්‍යාණී මල්ලිකා දේවී" - සිසිලියානා ඩයස් හා ටයිටස් පෙරේරා

8 "බුදු රශ්මිය විහිදේ - සම්බුදු සිරිපාදේ - දර්ශණ පූජනීය සමණල කන්දේ" සිරිපා සමය වෙසක් පොහොයෙන් කෙලවර වේ.  බුදු සිරි පා පහස ලැබූ සමණල කන්ද වෙස‍ඟෙහි කෙසේ නම් අමතක කරම්ද? ගායනය ලතා වල්පොල ඇතුලු පිරිසගෙනි. තනුව හින්දි චිත්‍රපටි ගී තණුවකි

9. "පාරමිතා බල පූජිත පූරිත - බුද්ධ දිවාකරයාණෝ" -  රන්මුතුදූව චිත්‍රපටයට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අතින් ලියැවුනු විශිෂ්ඨ නිර්මාණයකි. සංගීතය හා ගායනය ඩබ්ලිව් ඩී අමරදේවයන්ගෙනි.

10. "ක්‍රිෂ්ණජිනා ජාලිය හා" - චාගයට කොපමණ දුරක් යා හැකිද??

11."පසක් කොට ඇති සසර දුක් ගිනි - උතුම් සම්බෝධිය පතා - කෙලෙස් නේරංජාව තරණය - කලේ අප මහ බෝසතා"
සුනිල් සරත් පෙරේරා ශූරීන් ගේ අපූරු උපමා වලින් අලංකෘත මේ බැති ගීයෙහි ස්වර සංකලනයත් ගායනයත් ගුණදාස කපුගේ සතුය

12. "තණ්හා ආශා ඔලොගු කරේලා - මගතොට නොබලා - වගතුග නොඅසා - එළිය දකින්නද මේ යන්නේ - සැපත දකින්නද මේ යන්නේ"
එක මග යන පුතෙක් හා පියෙක් ගැන මේ ගීයෙහි කියවෙයි. ඔබේ ජීවිතයටත් ඒ පිය පුතුන් බලපෑමක් කලාද?? පටාචාරා චිත්‍රපටියේ එන මේ ගීතය සංගීතවත් කලේ ලයනල්අල්ගමයන්ය - නාද තනූ මාධූර්‍යය හා ගායනය අමරදේවයන් විසින්මය

සින්දු බාගන්න...


 කලින් බොදු බැති ගී වලට මං....
ශ්‍රී මුනිඳා නමදිමු දැන් -  ශ්‍රී බුද්ධ වර්ෂ 2556 වෙසක්
සක්කාය දිට්ඨි - ශ්‍රී බුද්ධ වර්ෂ 2555 වෙසක්
Read More!

මා ඔබ හඳුනා ගත්තේ ඒ සුන්බුන් අළලා...


තෑගි ගන්නට ලැයිස්තු හදන කාලයත්, ඒ එක්කම ආටෝරාසියක් ආර්ථික ප්‍රස්නත් සාදා දෙන, අවුරුද්දේ දෙකන්සෙන්ම ඩා බිඳු වැගිරෙන කාලය පැමිණ ඇත. ඉන්න හිටින්නට ගෙයක් දොරක් හදාගන්නා කාලයේ මට වැඩිහිටියෙක් උපදෙස් දුන්නේ ගඩොල්, හුණු වැනි දේශීය ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිලදී ගැනීමටද සුදුසු අලුත් අවුරුද්දට පෙර කාලයය කියාය. මිල ඉහල යනතුරු අට්ටි ගසා නොසිට ඉක්මණින් මුදල් කරගැනීමට විකුණන බැවින් සාධාරණ මුදලකට දෙපක්සයටම අසාධාරණයක් නොවන පරිදි ඒ කාලයට ඒවා මිලදී ගත හැක. ප්‍රායෝගික උපදෙසකි.

බලා ඉන්නවුණට 'මෙච්චර කල් රෙදි නැතිව හිටියාද' සිතෙන තරමට රෙදි පිළි තෑගි ලෙස ගැනීමට අලුත් අවුරුදු කාලයේ උනන්දුවක් ඇත. මම එහි වරදක් නොදකිමි.  ඒ ලැබෙන තෑග්ගක් 'අම්මා අවුරුද්දට දුන් කමිසය / කලිසම' යැයි සිතමින්, ඒ හැඟීමෙන්ම ඇඳුම දිරාපත් වනතුරුම භාවිතා කල හැකි බැවිනි. එසේ වුවුද මෙසේ යහපත් සිතින් ඤාති මිත්‍රාදීන් වෙත දීම සඳහා තෑගි ගන්නට උනන්දු වෙන අහිංසක මිනිසුන් අතර තෙරපෙමින් තම නුසුන් ආශාවන් සන්තර්පණය කරගැනීමට සැරි සැරූ අපූරු පුද්ගලයෙක් මහරගම පොලීසිය විසින් අල්ලා ගැනීමට සමත්ව තිබූ බවක් පුවත්පතක සඳහන්ව තිබිණි! අඳෝමැයි - අන් අරමුණක යෙදී උන් මිනිසුන් අතර නොමිනිස් ගති සොබා විහිදන්නට මිනිසුන් පෙලඹෙන මනෝ භාවය කවරක්ද??

හද ගී පොතටද ඒ පටන් ගත්දා සිට යම් යම් තෑගි ලැබී ඇත. කාංසිය නිවාගැනීමටත් මා කැමති සිංහල ගීත ජාල ගත කොට එක තැනක තබා ගැනීමට තිබූ වුවමණාවත්, නිතර ප්‍රචාරය නොවන රසවත් සිංහල ගී, සුලු මට්ටමකින් හෝ නැවත ඉස්මතු කොට දැක්වීමත් අරමුණු කොට ගෙන පටන් ගත් මේ කටයුත්ත වියතුන්, රසවතුන් හා දානපතීන් ගේ ආගමනය හේතු කොටගෙන මෙතුවක් කල් දක්වා කරගෙන ආ හැකි විය.

මේ කටයුත්තේදී මා මුලින්ම ඉතාමත්ම සතුටට පත්වූ දිනය නම් හෂිත අබේවර්ධනයන්ගෙන්  සුනිල් ශාන්තයන් ගයන 'හමල් මරූ - ජහස් සුයු - හස්සන් දල්ලා' ගීයට අර්ථකථන සැපයුණු දාය. බොහෝ ඇසූ පිරූ තැන් ඇති හෂිත, සීගිරි ගී පිළිබඳ ලියවුණු පරණවිතාණයන්ගේ සියලුම පොත් පත් වාගේ පරිහරණය කොට ඇති බවක්ද පසුව කීවා මතකය. තේරුමක් නොදැන පෙමින් බැඳුණු ඒ ගීයේ අපූරු සංකල්පනාව පහදා දීම හද ගී පොතට ලැබුණු මුල්ම තෑග්ගයි.

අහසින් කඩා පාත්වූවා මෙන් ඊලඟට ලැබුණේ  තාමත් චිරි චිරි හඬ දෙන ග්‍රැමෆෝන් ගී ගොන්නකි. ඒ බුරාතීනෝ නමින් තමන්ව හඳුන්වාගන්නා කෙනෙකුගෙනි. නමක් ගමක් බ්ලොගයක් නැති වුවුද බොහෝ බ්ලොග් අතර සැරි සරමින්, දන්නා යමක් වරෙක උපහාසාත්මකවත්, වරෙක ප්‍රහසනාත්මකවත්, වරෙක අතිශය වියත් බවකිනුත් බෙදාහදා ගැනීමට බුරාතීනෝ රුසියෙකි. පැ‍රැණි ගී අතර සැරි සරන්නෙකුට ඒ වාගේ තෑග්ගක වටිනා කම මිල කල හැකිද?

ඉඳහිට මුණගැසුණු පැරැණි කලාකරුවන් කිහිපදෙනෙකුන් හා තවත් පිරිසකුත් එකතු කර ඔවුනගේ සුභ සාධනය පිණිස යම් කටයුත්තක් කිරීමට කලෙක සිතක් ඉපිද තිබුණි. මේ පිලිබඳ ඒ හැකියාවන් ඇති අයගෙන් විමසා බලද්දී ලැබුණු ප්‍රතිචාර, ඊලඟට හද ගී පොතට ලැබුණු  තෑගියි. දුකා කලයුතු දැ 100% ක්ම වාගේ  ඇතුලත් සම්පූර්ණ සටහනක් ඉක්මණින්ම සදා එවා තිබුණි. නාලිනී රණසිංහයන් වෙනුවෙන් දායකත්වය දැරීමට නෙතු  ඉක්මණින්ම කැමතිවිය. ඒ, ඒ අවස්ථාව වෙන කාහටවත් යාවී දෝ යැයි මෙන් හදිසියකිනි. අතුල සෝමසිරි  හා කේ. සේන සඳහා දායකත්වයට කැන්ගරු දේශයේ රවී සොයුරා එක පයින්ම කැමති විය.  ශාලා ගාස්තු ගැන සංවාදයේ යෙදී සිටිනාතුර 'ආකාස කුසුම්' එක්වරම පවසා සිටියේ ඈ ඒ බාරගන්නා බවය. මගේ විශ්මිතය දු‍ටු ඈ එක් වරම ඇසුවේ 'ඇයි මදිද?' කියාය.  ඒ ඇගේ ත්‍යාගශීලිත්වයයි. බොහෝ කටයුතු සාර්ථකව නිමවා ගැනීමට හැකි යැයි පෙනෙනා මානයේ සිදුවූ යම් යම් කාරණා නිසා ඒ කර්තව්‍යය කල්දමන්නට සිදුවිය. වඳින්නට යන දේවාල සමහර අවස්ථා වල ඉහේ කඩා වැටෙනා බව ප්‍රස්ථා පිරුලකද සඳහන්ව ඇත.

ආයෙත් අලුතින්ම තැග්ගක් හම්බවිණි . ඒ තිසර ගෙනි. විමල් ජේ ශ්‍රියාරත්නයන්ගේ 'කන්දේ රන් සඳ උන්නා' ගීය ගැන සටහන පලකලාට පසුව ඒ කියවූ තිසර මා වෙත එවූයේ මා බොහෝ කලක් සොයමින් උන් ශ්‍රියාරත්නයන්ගේ 'සකුන්තලා' ගීයයි. ගීය රසාලිප්ත වුවුද සමහර පද ගායනයේදී ගීලී ඇති බවක් හැ‍ඟේ. මෙය විසඳා දුන්නේ  ඊ-මේල් කවිකාරියයි. ඇගේ වැඩුමල් සොයුරා හා ශ්‍රියාරත්න මහතා අතර ඇති මිත්‍රත්වය නිසා ගයන්නාගෙන්ම ගී පද වැල් අසාගන්නට මට හැකි විය. ඔහු හා දුරකථනයෙන් කල සංවාදය සැබැවින්ම අපූරුය. සරල තෘප්තිමත් විනෝදකාමී පුද්ගලයකු වන ශ්‍රියාරත්න මහතා හා කල ඒ සංවාදය වෙනමමම සටහනකට ගොනු කල යුත්තකි.

තෑගි දීම නොයෙක් ආකාරයෙන් කල හැක. ඇවසි වන්නේ හොඳ හිතක් පමණි. ඒ නිසා අලුත් අවුරුද්දට රෙදි කඩ ගානේ පොදි කන ජනී ජනයා ගැන කිසි ලෙසකින් හෝ අහිතක් මා සිතට නොනැඟේ. බරපතල මතවාද හරස්කොට ඒ මිනිසුන්ගේ අහිංසක වුවමනාව අඩු තක්සේරු කරන්නට මට සිත් නොදේ. හද ගී පොතට විත් 'නන්නාඳුනනා මාගේ අකුරු' වෙත තිලිණ පුද කල ඔබද එසේමය. තමන්ගේ දැනුම කාලය ශ්‍රමය හෝ ධනය යහපත් අරමුණක් වෙනුවෙන් යෙදවීමට ඔබද නොමසුරුය. ඒ ගැන බොහෝ සෙයින් කෘතඥ වෙමි. මහරගම පොලීසියෙන් අල්ලාගත් නන්නාඳුනන්නාටද අවුරුදු කන්න ගෙදර එන්න ලැබේවායි පතමු.

රන් මුදුව ගං දියේ කිඳුණා මතකය වළලා...
මා ඔබ හඳුනා ගත්තේ ඒ සුන්බුන් අළලා...
සකුන්තලා සකුන්තලා...

ශාපය මිනිසුන්ගේ ඊ පහර ලෙස වැදී....
මා පසු පස එද්දී සුළි සුලඟ ලෙස ඇදී...
දේදුණු පවුරෙන් ඈතට නොයා මෙන් රිදී...
ආදර ගඟ ගලනු දුටිමි සිනිඳු ‍රැළි දිදී...

ඇස් ඇතිනම් ලොව ඇති පුදසුන් පෙනේ නිතී...
දුෂ්මන්තට කිසිදා ඔබ අමතක නොවුණී...
බොහෝදුර ගොස් අතරමංව ලොවේ පෙම්වතුන් ....
අදත් කියති මේ ආදර  බසම සිය මුවින්....

ගීතය අහන්න... ඕන්නම් බාගන්න...

Read More!
 
Blogger Wordpress Gadgets