අප්පච්චී නැතිවම අම්මා ඇවිත් ගියාය...


මේවා එක් පසෙකින් පුද්ගලික අත්දැකීම්ය. කිසිවෙකුට, තවෙකෙකුගේ අත්දැකීම් වැඩක් නොවන්නට ඕනෑ තරම් ඉඩකඩ තිබේ. මේ සටහන ලියන්නේ කොහේ හෝ එය සටහන් කර තිබීමට සිතක් ඇතිවූ නිසාමය. මෙහි පාඩමක්, අරුතක්, පණිවිඩයක්, ඇත්තේම නැත. සිද්ධි සමූහයක්ම පමණි. මිනිසුන් කිහිප දෙනෙකුගේ අන්තර් ක්‍රියා සමූහයකි. මිනිසුන්, මිනිස් බවින් බොහෝ ඉහලට එසැවී ක්‍රියා කරනු විශේෂව දැකීමක් පමණි. මෙතුවක් කල් මේ හිතේ රඳවාගෙන සිටියේ ඒ හා බැඳුනු ආවේගයන් මදකින් හෝ සමනය වී යනතුරුය.

අවුරුදු පහකට වැඩියෙන් එක් ස්ථානයක රැකියාව නොකිරීමට දැඩි සිතක් ඇති කරගත් නිසාත්, ඉක්මණින්ම, ස්ථීරවම ගම් රට බලා යාමට හැකි ආර්ථික ස්ථාවරයක් ලබා ගත හැකි නිසාත් රැකියාව මාරු කලෙමි. කලින් රැකියාවද සමග එතෙක් නිකුත් කර තිබූ වීසා බලපත්‍රයද අහෝසි වන බැවින් ලංකාවට ගොස් ආපසු ඒමට සිදුවේ. කෑම බීම, ඉඳුම් හිටුම්, පිරිසිදු කිරීම්, යන සේවාද තවත් අනෙකුත් පහසුකම් රැසක්ද තිබූ කලින් සේවා ස්ථානයේ නවාතැන හැරයාමට සිදුවන නිසා, මගේම නිවහනක් අලුතෙන් සුදානම් කරතබා ලංකාවට පැමිණියෙමි. ඒ මැදපෙරදිගට සීත කාලය එන වකවානුවයි.

අලුත් සේවාස්ථානයෙන් ලැබිය යුතු වීසා බලපත්‍රය ඒමට ප්‍රමාද විය. ඒ, ලංකාවේ හා ඉන්දුනීසියාවේ ඉල්ලුම් කරුවනට වීසා බලපත්‍රය නිකුත් කිරීම සඳහා අමතර වෛද්‍ය පරීක්ෂණයකට ලංකාවේදී පෙනී සිටීමට සිදුවීම නිසාත්, නව ආයතනයේ යම් යම් පරිපාලන හේතූනුත් නිසාය. අප්පච්චී මේ ගැන සිටියේ නොසන්සුන්වය "මොකද පුතේ මේ ප්‍රමාදය..?" ඔහු මගෙන් ඇසුවේ වරක් දෙවරක් නොවේ. එහෙත් යටි සිතින් මා පසුවූයේ සතුටිනි. "මොකක් හරි නිසා මේක ගහල ගියොත් ඕන දෙයක් කියල ලංකාවට වෙලා ඉන්නැහැකි.." මගේ යටි සිත, උඩු සිත සමග පොරබැදීය.

අම්මාගේත් අප්පච්චීගෙත් ගුවන් ගමන් බලපත්‍රත් ඒ වනවිට අහෝසි වී තිබුණි. අවශ්‍ය ඉල්ලුම් පත්‍ර පුරවා ඔවුන් දෙදෙනාව ඡායාරූපාගාරයකට රැගෙන ගියේ අවශ්‍ය ඡායාරූප ලබා ගැනීමටය. බලපත්‍රයට අවශ්‍ය පින්තූර ගැනීමෙන් පසු "අම්මගෙයි අප්පච්චිගෙයි එකට පින්තූරෙකුත් ගමු... කළු සුදු වලින් අරගමු... ලොකු කරල රාමු කරන්නත් එක්ක..." මම ඉල්ලීමක් කලෙමි. අප්පච්චී බොහෝ සතුටින් එයට එකඟ විය. සුදුසු ඇඳුමක් ඇඳ නැතැයි අම්මා මැළි කලද මගේ ඇවිටිල්ලට ඒ ඡායාරූපය ගැණිනි. දෙසැම්බර් 26 දා බලපත්‍ර ඉල්ලුම්පත් ආගමන විගමන කාර්‍යාංශයට බාර දුනිමු.

වීසා බලපත්‍ර හා අනෙකුත් කාරණා සම්පූර්ණ වූ පසුදෙසැම්බර් 28 දින අලුත් රැකියාවට යාම සඳහා ලංකාවෙන් නික්මුණෙමි. ගමන පිටත්ව මගක් ගොස් කවදාවත් නොවුණු පරිදි ආපසු ගෙදර එන්නට වුණේ මා සීතලට අඳිනා ජැකට්ටුව අමතක වූ නිසාය. "ගමන බාධා වුණා..." අම්මා විස්සෝප වුනද අප සියල්ල 'ආයෙත් මොහොතකට මුණගැසීමට ලැබුණානේ' යන සතුටින් සිනාසීමු.

අලුත් රැකියාවට හුරුවීමට ඒ හැටි අපහසුවක් නොවීය. නවසීලන්ත ජාතික ප්‍රධානියා කාරුණික මහතෙකි. අලුත් සෙවාස්ථානයේ රාජකාරියට සති දෙකක් පිරුණි. සතිඅන්තයේ නිවාඩුව ගැන සිතමින් මා සිටියේ අලුත් නවාතැනට යමින්ය. "අනේ තාත්තේ සීයට හොඳටම අමාරුයි..." ලොකු පුතා දුරකථනයෙන් කථාකලේ ඇඬුම් ස්වරයෙනි. ගෙදර ඇත්තේ අම්මාත් ලොකු පුතාත් පමණෙකි. ගෙදර ඇත්තනුත්, මස්සිනාත් සොයුරියත් ගෙදරින් පැයක් හමාරක් ඈතිනි.  මා ගෙදරට ලඟින්ම සිටිනා හිතවතියකට දුරකථනයෙන් කථා කළෙමි. මගේ ඉල්ලීමට ඇගෙන් ලැබුණේ කෙටි, එහෙත් ස්ථිර පිළිතුරකි "ෂුවර්...!!!" ඈ අප නිවස කරා ඉක්මණින්ම ගොස් ඇත්තේ ගියේ ගිලන් රථයක්ද සූදානම් කරවාගෙනය.

මගේ අලුත් නිවහනට රැස්වූ මගේ හිතවතුන් මා අස්වසාලීමට බෙහෙවින් උත්සාහ කලේය. දැරීමට තිබෙන වගකීම් මතක් කරදෙමින් ඔවුන් මා සිත වෙනතක හරවන්නට උත්සාහ කලේය. මෑතකදී මෙරටට පැමිණුනු මල්ලී සිටියේ දරුවෙකු ලැබීමට සිටි තම ආදරණීය බිරින්දෑත් කැටුව එදා සවස ලංකාව බලා යෑමටය. ඔහුගේ හිතවතෙකු මාර්ගයෙන් ඔවුන් යන ගුවන් යානයේම ගුවන් ටිකට් පතක් ලබාගැනීමට හැකිවිය.  ගුවන් තොටට ඔවුන් යාමට සිටි වාහනය අවලංගු කරවා අප සියල්ලන්ටම යා හැකි වඩා විශාල රථයක් ඔහු නැවත වෙන් කලේය.

ගුවන් තොටේදී මල්ලී විසින් සේවය ලබාගත් පෝටර්වරයා අපව රැගෙන ගියේ ව්‍යාපාර පන්තියේ කවුලුවකටය. අඩුම ගනනේ මා සඳහා වෙන්කල ටිකට් පතේ ඉලෙක්ට්‍රොනික පිටපතක් වත් අත නොතිබුණු මට තිබුණේ කවුන්ටරයට නම පැවසීම පමණි! ගුවන් ගමන්වලදී කෙසේවත් නින්ද නොයන මට ඒ ගමන් බිමන් මහත්ම වූ වදයකි. ඉදිමිණු ඇස් සහිතව බලවත් හිසේ රුදාවකින් පෙලෙන්නට පටන් ගත් බැවින් ආසනයෙන් නැගිට ගුවන් යානයේ පිටුපසට වන්නට ගමන් කලෙමි.

ඉනික්බිති මට හමුවූයේ දේව දූතයෙක්යැයි සිතන්නට මම අදටත් කැමතිය. අප සිටියේ පොලවට අඩි තිස් දාහක් පමණ ඉහලින් නිසා ඒ එසේ වන්නටද බොහෝ ඉඩ කඩ ඇත! ගුවන් යානයේ පසු පස ඇති කුඩා ඉඩෙහි එල්ලයක් තොරව සිටගෙන සිටි මා දුටු ඒ තරුණ, ඉතා කඩවසම් ස්ටුවර්ඩ් වරයා මා ලඟට පැමිණියේය. ඔවුනගේ මගී සේවාවන් යම් දුරකට අහවර වී තිබුණු බැවින් ඔවුන් සිටියේ තරමක ඉස්පාසුවකිනි. ගුවන් යානයේ විදුලි පහන් නිවා දමා මගීනට නිදාගැනීමට ඉඩ ප්‍රස්ථා සපයා තිබූ බැවින් ඔහු මා හා කථා කලේ පහත්, එහෙත් පැහැදිලි ස්වරයකිනි. "සර් වැකේෂන් යනවද..?" මම කාරණය කීවෙමි.

"මගෙ තාත්තා නැතිවුණේ මීට අවුරුදු දෙකකට කලින්..." වෙන කිසිවක් නොකියා ඔහු කථාව පටන් ගත්තේය. "අපේ තාත්තට ලියන්න ගොඩාක් දක්ෂකම් තිබ්බා.. මට තාත්තා ඉන්න කාලේ කලා වගේ අදටත් ටිකක් වැදගත් රාජකාරි ලියමනක් එහෙම ලිව්වම තාත්තට පෙන්නන්න හිතෙනවා හරි වැරදි බලන්න... සමහර වෙලාවට මතක නෑ තාත්තා නැතිවෙලා කියලා..." ඒ මුහුණේ පැහැදිලි ගතියක් මිසක දොම්නසක් හෝ සොම්නසක් නොමැත "අපි බර්ගර්ස්ලා සර්... අපේ තාත්තා හරියට එයාගෙ අම්මා තාත්තා ගැන සොයා බැලුවා... ඒ විතරක් නෙමේ අපටත් මතක් කරනවා නිතර ගිහින් බලන්න.. දවසක් අපේ ගේ පිටිපස්සේ තිබුණු ගොරකා ගහක විසාල අත්තක් උන්හිටියේ කඩා වැටිලා... තාත්තා මට කෝල් කරලා කීවා ඉක්මණට ගිහින් ආච්චිව බලල එන්න කරදරයක්ද දන්නේ නෑ කියලා... කෝල් කලාට ෆෝන් එක ගන්නෙත් නෑ කියලා... තාත්තාගේ පිළිවෙල දන්න නිසා මම ඉක්මණටම ගියා... මුකුත් කරදරයක් නෑ... ආච්චි හොඳින් ඉන්නවා.. ඒ වුණත් ඒ ගමන ගිහින් එනකොට තාත්තා ඉස්පිරිතාලෙට ඇතුල් කරලා... හැන්දෑවේ නැතිවුණා..." දේව දූතයෙක් නොවේනම් මේ තරුණයාට මනෝ ප්‍රතිකාර ගැන විශේෂ පුහුණුවක් ලැබී තිබිය යුතුය. හෙතෙම මාගෙන් කිසිම ප්‍රස්නයක් නාසයි; ඔහුගේ කථාවද මා සිත් අලවයි. "අම්මයි අප්පච්චියි මෙහේ ගෙන්න ගන්න හිටියේ ම.. සීත කාලේ ඉවර වුණහම.." මමද යමක් කීවෙමි. එය ඔහුට ඇසුණු නෑසුනු ගණනය. "මගේ අයියා දුක් වුණා එයාට එයාගේ අලුතින් හදාපු ගේ තාත්තට පෙන්නන්න බැරිවුණා කියලා... අක්කා දුක්වුණා එයාගෙ දරුවා පෙන්නන්න බැරිවුණා කියලා... ඉටු කරන්න බැරි වුණු මොකක් හරි කාරණයක්, හිතේ තියෙන වේදනාවත් එක්ක සම්බන්ධ කරනවා සර් මිනිස්සු.." මේ වචන අකුරක් නෑර මට මතකය. "ඔයා කතෝලික ධර්මය එහෙම වෙනමම හදාරලා තියනවද...?" මම ඇසුවෙමි.. "සර්ට මම කෝපි එකක් හදල දෙන්නම්... එන්න..." මද සිනහවක් ඇඳී අතුරුදන් වුණු මුහුණෙන් ඔහු කීය.

කටුණායකින් තම බිරින්දෑ ඇයගේ පියා සමග ගෙදර පිටත් කල මල්ලී මා සමග අපේ ගෙදර ආවේය. "මල්ලී" කියා කීවද මේ දරුවා මගේ ලේ නැයෙක් නොවේ. සේවා ස්ථානයේ එකට වැඩ කල පමණින් හඳුනා ගත්තෙකි. මට වඩා අවුරුදු පහලවකින් පමණ බාල වුවද, ඔහු එදා මා ගෙදර පැමිණ සාමාන්‍ය තත්වයට එනතුරු මා සමග සිටියේ මගේ එක්කුස උපන් වැඩුමල් සහෝදරයෙකු මෙනි. දිනක් තුල ගෙදර ඒමට හැකිවුවද ඒ වනවිටත් මට දැරීමට කිසියම් හෝ වගකීමක් ඉතිරිව, ඉතිරිකර නොතිබුණි. ගෙදර ඇත්තන්, මස්සිනා හා මිතුරන් විසින් සියල්ල සැලසුම් කර, ඉටු කර තිබිණි. මව හා සොයුරිය අස්වැසීම මා අතින් කිරීමට තිබුණු එකම කාරිය විය. චතුෂ මල්ලී ලඟම සිටිමින් අඩුපාඩු වීමට හැකි දේ මතක් කරදීම මහත්මවූ අස්වැසිල්ලක් විය. කාරිය භාර වැඩිහිටියාගේ ප්‍රමාදයක් නිසා අවසානයේ අවමංගල සභාව මෙහෙයවීමටද චතූෂ මල්ලීට සිදුවිය.

ආවේග කළමණාකරණයෙහි අදක්ෂ වූ මා වැන්නවුණට, හිත මිතුරන්ගේ, ඥාතීන්ගේ පැමිණීම, දුක බෙදාගැනීමෙහි කොපමණ උදව්වක්දැයි ඒ දිනවල හොඳින් ප්‍රත්‍යක්ෂ වුණි. දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, ඉලෙක්ට්‍රොනික පණිවිඩ, මේ සියල්ලෙහි දැවටී එන යම් හිතවත් කමක්, යහපත් මිනිස් ගුණයක් වේ. ඒ කිසි වේලාවක, කිසිවෙකු විසින්වත් අවතක්සේරු නම් නොකල යුත්තෙකි.

අප්පච්චිගේත් අම්මාගෙත් ගුවන් බලපත්‍ර තැපෑලෙන් ලැබෙන විට මාස දෙකක් ගතවිණි. තැපැල් කරුවා මග නොහැර රකිමින් සිටි ගෙදර ඇත්තන් එය කෙසේ හෝ සියතට ගැනීමට සමත් වී ඇත. එය අම්මා අතට ලැබුණි නම් ඈ මහත් වූ පරිශ්‍රමයක් දරා, සමනය කරගන්නට යත්න දරනා තුවාලය, නැවත පෑරීමට හොඳටම ඉඩකඩ තිබුණි. මගේ තුවාලයද ලේසියෙන් සුව වන්නක් නොවූයේ මට ඒ වැඩ නිමකර කඩිමුඩියේ ආපසු ලංකාවෙන් එන්නට වූ බැවිණි. ඒ කොපමණ දරුණු වීද යත් සියල්ල අතැර ආපසු ලංකාවට එන්නට උත්සාහයක්ද දැරිණි. පන්සලේ ස්වාමීන් වහන්සේද කථා කල විටක ඇසුවේ "මහත්තය මේවා ක්‍රියාත්මක වෙන හැටි ගැන හොඳින් දන්නවානේ ඉතින්.. ඇයි ඉතින් කලබල වෙන්නේ" කියාය. "දැනගන්න එකයි, අවබෝධයයි දෙකක් කියල හොඳටම තේරුණා අපේ හාමුදුරුවනේ.." කියා පිළිතුරු දීම හැර වෙන පිළිතුරක් සොයා ගැනීමට නොහැකිවිය. මැද පෙරදිග සීත කාලය අහවර විණි.

අම්මත් අප්පච්චීත් දෙදෙනාම එකවිට මෙරටට ගෙන්වා ගැනීමට නොහැකිවූයෙන් අඩුම ගණනේ අම්මා හෝ ගෙන්වා ගැනීමට කටයුතු සම්පාදනය කළෙමි. ඇගේ කායික, මානසික යෝග්‍යතාව ගැන වෛද්‍යවරුනගේ රෙකමදාරුව මත ඇයවත්, ඈ මෙහි ඉන්නා කාලය තුල මා රැකියාවට යනෙන විට ඈ සමග සිටීමට කාරුණික වූ ඥාති සොයුරියක්වත් ගෙන්වීමට තීරණය කරගතිමි. ගුරුවරියක වූ ඇයට උසස්පෙළ කරනා පුතෙකුත්, කණිටු දියණියකුත් වේ. ඈ කල කැපවීම කොපමණද? අම්මා මෙහි ඉන්නා දිනවලදී අම්මාගේ උපන්දිනයද යෙදී තිබුණි. වර්ණ දහයක රෝස මල් පොකුරකින් මා ඇයට සුභ පැතූ වෙලාවෙහි ඈ දෙනෙත් බෙහෙවින් තෙත්වූවාය. මගේ මිතුරන් නොයෙක් තෑගි බෝග රැගෙන ඈ බලන්නට පැමිණියේය. ඈ වෙනුවෙන් මා මිතුරෙකු අපූරු උපන්දින කේක් ගෙඩියක් සාදාගෙනවිත් තිබිණි. ඒ කපන අවස්ථාවේදීම අහම්බයකින් මෙන් ගෙදර ඇත්තනුත්, මගේ දරුවනුත් පරිගණකාධාරයෙන් සම්බන්ධ වී ඇයට සුබ පැතීය.

අම්මාගේ මැහුම් දැමීමට තරම් දරුණුවූ හිතේ තුවාලයේ මැහුම්, තරමකින් හෝ වේලී ඇති බැව් අපට සිතුණි. ඈ ආපසු ලංකාවට ගියේ තෘප්තිමත්වය. පිහිල්ලකින් පිහිල්ලකට ජලය වැටෙන්නාසේ, සියලු පින් එක් රැස් වී උතුරා යෑම සංකේතවත් කරන පාංශුකූල පැන් වැඩීම සේ, මා සිත්හි තුවාලයද, බොහෝ යහපත් මිනිසුන් නිසා සෙමින් සෙමින් වේලෙයි.



මගේ ලොවට පායන සඳු - ගෙදර බුදුන් අම්මේ
මා ඉඳුනිල් පුංචි තරුව - ඒ සඳු සෙවණේ
මගේ ලොවට පායන හිරු - පියා පමණි අම්මේ
මා සුවඳැති පුංචි කැකුළ - ඒ හිරු සෙවණේ

වීණාවේ තත් පිරිමැද - මා නංවන සත්සර නද
මුලින් මසිත නිදන් කෙරුව - සෙනේබර පියේ
ඔබේ පුතුට අනාගතය  - ඔබ තමා පියේ

දෑසේ නිදි අඳුර නිවා - දෑත දෙපය සවිය දෙවා
වීර එරන් අසිපත දුන් - ආදර අම්මේ
මා යනමග රන් ජය ටැඹ - ඔබ වේ අම්මේ



Read More!

සන්නිය කොළඹ...!

මනික් සන්ද්‍රසාග්‍ර අපූරු නිර්මාණකරුවෙකි. ඇත්තෙන්ම කිවහොත් මනික් ගැන කථාකිරීමට මා කුඩා වැඩිය. මට පළමුවෙන්ම සජීවීව මනික්ව දක්නට ලැබෙන්නේ අවුරුදු විසිපහකට පමණ උඩදී ෂාන් වික්‍රමසිංහගේ ටී එන් එල් ආයතනය විකාශය කල ජනහඩ වැඩටහන් පෙලක වැඩසහටහන් මෙහෙයවන්නා ලෙසය. සූරිය ගුණසේකර හා තවත් කෙනෙක් අතර සංවාදය මෙහෙයැවූයේ ඔහුය. ඉංගිරිසි කියවන සමාජය අතර සන්ද්‍රසාග්‍ර ප්‍රචලිත වූවද සිංහල කලාංග රසවිඳින්නන් අතර මනික් එතරම් ජනප්‍රිය වූයේ නැත. මගේ සුළු දැනූමේ හැටියට වුවද මම මනික් සන්ද්‍රසාග්‍රව තබන්නේ මගේ නිර්මාණකරුවන්ගේ ලැයිස්තුවේ ඉහලම සිටින ජයන්ත චන්ද්‍රසිරියන් හා සමවය. මට වඩා සන්ද්‍රසාග්‍රයන් දන්නා, හඳුනන අයවලුන් මට කමත්වා!

හැත්තැව දශකයේ සන්ද්‍රසාග්‍රයන් අපූරු චිත්‍රපට දෙකක් සිංහල සමාජය හමුවේ
තබයි. ඒ 1975 දී ක්ලිෆඩ් රත්වත්තේගේ ආරාධනයෙන් 'කළු දිය දහර' හා 1976 දී ටිරෝන් ප්‍රනාන්දු ගේ ආරාධනයෙන් 'කොළඹ සන්නිය' හෙවත් 'කමිං ස්වීට්' යන නිර්මාණ යුගලයයි. මේ චිත්‍රපට යුගලයේම කථාව හා අධ්‍යක්ෂණය මනික් සන්ද්‍රසාග්‍රගේ වීමද විශේෂත්වයකි.

ගුණාත්මක කමින් ඉහල නිර්මාණ තරමක් බහුලව තිබූ කාල වකවාණුවක 'කමිං ස්වීට්' හෙවත් 'කොළඹ සන්නිය' ගනන් ගැනුනේ වාණිජ චිත්‍රපටයක් ලෙසය. තාප්ප වැහෙමින් වැදුණු පෝස්ටරවල තුබුනේද පරණ පන්නයේ මෝටර් රියක නැගුනු කාටූන් ගත වුණු චිත්‍රපටයේ රඟ පෑ නළු නිලියන්ය. සමස්ථය සලකා බලන විට, ඒ වන විටත් ලඟ ලඟ එමින් තිබූ සමාජ, දේශපාලනික විපර්‍යාසයන් ගැන ටිරෝන් ප්‍රනාන්දුටත් වඩා මනික්ට අවබෝධයක් තිබුණාදැයිද සිතේ.

කථාවෙහි ඇත්තේ හදිසියේ පහල වන ධනයක් නිසා කොළඹට සංක්‍රමණය වන පවුලක මතුපිට ජීවන තොරතුරුයි. කථාවෙහි ඒ හැටි ගඹුරක් නොතිබුණද නළු නිලියන්ගේ දක්ෂතාවය, සිනාමාත්මක නිර්මාණයක් එළි දැක්වීමට සමත්ව තිබුණා යන්න මගේ වැටහීමයි. නල ජලයෙන් එන වතුර මලෙන් ස්නානය කරනා ජෝ අබේවික්‍රමගේ මුවින් ගිළිහෙන: 'පොඩි එව්වො හුජ්ජ කරනව වගේ බං... ඕකෙන් නාලා මට හරියන්නෙ නෑ...'
වැනි කියුම් බොහොමයක් එහි අඩංගුව තිබිණි.

අමෙරිකාවට සංක්‍රමණය වන ඉන්දියානු මහාචාර්‍යවරයකු හා එම පවුලෙහි කථාව ඇතුලත් Namesake චිත්‍රපටය අමරිකාව ගැන නොපෙන්වා ඉන්දිය සංස්කෘතිය ඒ බාරගන්නා හැටි ඉතා මතුපිටින් වුව සාකච්ඡා කරයි. කොළඹ සන්නිය, පරස්පරයේ ඇති විකාර රූපි ස්වරූපයට සිනාසෙයි. ඒ පරස්පරයන් කොළඹ නගරයට ඇතුළුවූයේ කෙසේද?

අද කොළඹින් විගමනය වන්නා, කොළඹාශ්‍රිතව කූණු කඳූවලට යටවී මියයන්නන්, කුහුඹුවන් මෙන් වාහනවලට චප්ප වී මියයන්නන්, සුළු වැස්සකදී වුව කලු දිය දහරා ගලායන මාර්ග, පිරිසුදු සුසුම් පොදකට ඉව අල්ලන දරුවන්, හැපෙමින් පැටලෙමින් දිවෙන්නන් අතර මුළුගැන්වෙන වයස්ගත වූවන්, දුබලයන් දැක දුකින් සුසුම් නොලත්ද? අද නිර්මාණ මේ විකාරයට සිනාසිය යුතු නොවෙත්ද?

වර්ෂ 2003 දී දින දෙක තුනක් පුරා ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක් අත්දුටු 'ඊසානයේ අන්ධකාරය' පිළිබඳ තොරතුරු ලක්වැසියන් දුටුවේ ඉතා කලකට පසුව වුව යන්තමිනි. විශාල තට්ටු ගණනකින් හෙබි මහල් නිවාස වැසියන්ගේ ජීවිතය මුළුමනින්ම අඩාල විය. සන්නිය මදක් දෘෂ්‍යමානවුවද යකැදුරන් ඉක්මනින් ක්‍රියාත්මක විය.

මගේ ගෙදර ඇත්තන් තම විශේෂවේදී නිබන්ධය සඳහා වස්තු විෂය කරගන්නේ 'කොළඹ නගරයේ වර්ධනය හා ඒ ආශ්‍රිත ලක්ෂණ' නම් මාතෘකාවයි. තරමක් කහ පැහැ ගැසුණද එහි කොළඹ නගරයේ වර්ධනය පිළිබඳ අපූරු තොරතුරු ඉතා විස්තරාත්මකව පැහැදිලි කර ඇත.

නගර ඇතිවීම සඳහා බලපාන හේතු කිහිපයක් විස්තර කර ඇති එහි, කොළඹ නගරයක් වීම සම්බන්ධයෙන් බලපෑ ප්‍රධාන සාධකය ලෙස දැක ඇත්තේ වරාය ආශ්‍රිත ක්‍රියාකාරිත්වයයි. කොළඹ නාමය පිළිබඳ පැරණිම ලිඛිත තොරතුරු ඇත්තේ 1330 දී චීන ජාතික ලේඛකයෙකු "කාඕ-ලන්-පූ" යන නාමය තම ලේඛන වල සඳහන් කිරීම බවද  නිබන්ධය සඳහන් කරයි. එහි සිංහල අරුතනම් "ගැඹුරු-පහත්-භූමිය" යන්නයි.

1881 දී වර්ග කිලෝමීටර 25 පමණ වූ කොළඹ නගරයෙහි වර්ග කිලෝමීටරයට මිනිසුන් 4,500 පමණ වාසය කර ඇත. එයින් වසර සියයක් තුලදී නගරය තවත් වර්ග කිළොමීටර දොළහකින් පමණ වර්ධනය වන අතර ජනඝනත්වය හතර ගුණයකින් ඉහල යයි. [37 sq.km / 16,000 heads per sq.km]. එක්දහස් නමසිය ගනන් වලදී කොටුව, පිටකොටුව, ශාන්ත සෙබස්තියම, ශාන්ත පාවුළු (දැන් කොච්චි කඩේ, ජින්තුපිටිය, මසංගස්වීදිය ආශ්‍රිත ප්‍රදේශය), කොටහේන, නිව්-බසාර් (අලුත් කඩේ, පංචිකාවත්ත, ග්‍රෑන්ඩ්පාස් ආවරණය වන කලාපයක්), මරදාන, කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය වශයෙන් කොළඹ ප්‍රධාන කොටස් නමයකි. නමසිය අසූ ගනන් වනවිට මෙය කොටස් හතළිස් හතක් පමණ දක්වා වර්ධනය වී ඇත.

තවද, එක්දාස් නමසිය මුල් ගනන්වල සිට එකදාස් නමසිය අසූ එක පමණ දක්වා ගනන් දක්වා සිංහල හා දෙමල (ඉන්දියානු හා ලංකා) ජන අනුපාතයන් 50% හා 23%  (පිළිවෙලින්) ඉලක්කම් වටා සීරු මාරු වුවද, ඉන්දියානු (මුවර්) හා බර්ගර් ජනතාවගේ බැහැර යාමෙන් මතුවන ඉඩකඩ පුරවාලන්නේ ලංකා මුවර්වරුන්ය. ඔවුනගේ වර්ධනය 1911 දී 11% සිට 1981 වනවිට 21% දක්වා වැඩිවී තිබේ.

යම් යම් කාලවලදී නගර සංවර්ධනය වෙනුවෙන් පැවති දත්ත උපයෝගී කරගනිමින් යම් යම් ප්‍රතිපත්ති හා සැලසුම් කෙතරම් අවංකව ගොඩනැගූවද ඒවා අවසාන ඒකකය දක්වා නිම කීරීමට දැක්වු අසමත් කම නිසා කොළඹ හා ඒ අවට කලාපයන්, මිනිසුනට සුවසේ හිඳිනට නුසුදුසු, කාල බෝම්බයක් බවට පත්වී ඇති බව දැන් නම් දත්ත විශ්ලේෂණයකින් තොරවම කාටත් කිවහැකිය. අවුරුදු තිහ හතළිහකට එහා රාත්‍රියට සුවසේ නිදාගත් කොළඹාංගනාව, දැන් මතක ඇති කාලයකින් රාත්‍රියට නිදානොගත් වෙහෙසට පත්වූ අබිසරුළියක් හා සමානව අප හමුවෙහි බලා හිඳියි. තම කුසින් වැදු සුජාත මෙන්ම එසේ නොවු දරුවන්ද නැවතත් තම පිළිසරණ පතා උදයේම තමා වෙත දිව එති. සන්නියෙන් ආතුර වූ ඇයට කාගේවත් පිළිසරණක් නැත.

මනික් සන්ද්‍රසාග්‍ර තම දෙවැනි නිර්මාණයට මර්සලීන් ජයකොඩි පියතුමා සහ සහ සුනිල් සාන්තයන් එක්කැරගෙන අමුතුම නිර්මාණයක් කරණු ලබයි. 'ගමනේ ගීය' නමින් හැඳින් වෙන මේ ගීය දුම්-බරබාගයක් ගැන කියා පායි. සිංහල ගීතයන්හි අපට විදුලි-දුම්-රිය හමුවූවාට දුම්-බරබාග හමුවන්නේ කලාතුරකිනි. ගමෙන් නගරයට ගොඩනැගූ පාලම එයින් ජයකොඩි පියනම අදහස් කලා විය හැක. මේ අපූරු පදමාලාවත්, තනුවත් මගේ හද බෙහෙවින් දිනුවකි.



දුම් දුම දුම් දුම් - දුම් දුම දුම් දුම්

දුම් දම දම යන - දුම් බර බාගේ
දුම් බර දුම් බර - දුම් බර බාගේ
දුන්හිඳ වාගේ - දුම් බර බාගේ
දුන්නේ දෙයියෝ - දුම් බර බාගේ
දුම් දුම් තෙරිකිට - දුම් බර බාගේ
දුම් බර දුම් බර - දුම් බර බාගේ

දිගටම පලයන් - හිට හිට පලයන්
හෙමිහිට පලයන් - වැටි වැටි පලයන්

ජඃ ජඃ මඃ මඃ - ජඃ පිට ජඃ මඃ
ජඃ පිට මඃ පිට - ජඃ මඃ ජඃ මඃ

ඩක් ඩක් ඩක් ඩක් - ඩක් ඩක් ඩක්කුව
සෙක් සෙක් සෙක් සෙක් - සෙක් සෙක් සෙක්කුව
බක් බක් බක් බක් - බක් බක් බක්කිය
මුක් මුක් මුක් මුක් - මුක් මුක් මුක්කුව

ජඃ මඃ ජඃ මඃ - හඃ හඃ හා...

හැරි හරි බැරි බැරි - නොකියා පලයන්
බර බර ගාලා - කන්දෙන් ඇදියන්
ජර මර අස්සේ - පල්ලම් වැදියන්
දුම් බර බාගේ - හඃ හඃ හා...

බන්දා කැන්දා - ආවෙත් මේකෙයි
කැන්දා ඉන්දා - බීවෙත් මේකෙයි
වැන්දේ සිරිපා - දේ ගොස් මේකෙයි
ජඃ මඃ ජඃ පිට - හඃ හඃ හා...
Read More!

ලංකා නම වෙනුයෙන් පුරසාරම් කියවා කියවා මෙදිනේ!

ඉදිරියටමැ යව් හෙළයනි
ඉදිරියටමැ යව්...

මරුට සිනා සෙව් හෙළයනි
මරුට සිනා සෙව්...

ඉදිරියටමැ යව් හෙළයනි
ඉදිරියටමැ යව්...

 
අපගේ රටෙහිම යැද යැද
ගැති වී තව තව හිඳිමුද
නිදහස නැති දිවි කුමටද
ඉදිරියටමැ යව්....
ඉදිරියටමැ යව් හෙළයනි
ඉදිරියටමැ යව්...
දෑ ගති සළකව් හෙළයනි
දෑ ගති සළකව්...

පෙර කලැ අපගේ මුත්තෝ
දිවි දී දැය රැක ගත්තෝ
වෙමුද ඉතින් අපි ගැත්තෝ
ඉදිරියටමැ යව්....
ඉදිරියටමැ යව් හෙළයනි
ඉදිරියටමැ යව්...
හෙළයට දිවි දෙව් හෙළයනි
හෙළයට දිවි දෙව්...

අප රට හෙළ
අප පෑ හෙළ
අප බස හෙළ
හෙළ හෙළ හෙළ
රුවනත් හෙළ
නිවනත් හෙළ
ඉදිරියටම යව්....
ඉදිරියටම යව් හෙළයනි
ඉදිරියටම යව්.... 

Read More!

දිනුවා..!!!

.
සුව පහසු නින්දෙන් චරකව අවදි කලේ අම්මාය.
"පුතේ පුතේ අද මෙන්ටිසෝරියෙ කොන්සට් එක දවස..
පුතාලගෙ ඉවෙන්ට් එකයි ඉස්සෙල්ලම තියෙන්නෙ
ඉක්මණට නැගිටලා ලෑස්තිවෙමු.."

හැන්දෑවේ රාජකාරියෙන් ගෙදර ඒමට ප්‍රථම තාත්තා අම්මාට ඇමතුමක් දුන්නා චරක අසාගෙනය.
"මොකද වුණේ..?"
"ගෙදර එන්නකො.. ආහම මම කියන්නම්.."
අම්මා මුහුණෙහි මන්දහාසයක් රඳවමින්ම පිළිතුරු දුන්නාය..

"ඔන්න මෙයාලගෙ ගෲප් එක ෆස්ට් ආවා...
මෙයා තමා බෙස්ට් පර්ෆෝමර්..."
තාත්තා චරකව බිම තැබුවේ ඉහටත් උඩින් ඔසවා වට දෙක තුනක් කරකැවීමෙන් අනතුරුවය...
----------------------------------------------------------------------------------------------
"චරකව මොන ඉස්කෝලෙටද අනෙ දාන්න හිතාගෙන ඉන්නෙ ඔයාලා...?
හස්බන්ඩ් අරකෙ ඕල්ඩ් බෝයි හින්දා අමාරු වෙන එකක් නෑ නේද...?"  
වින්ධ්‍යා නැන්දා අම්මාගෙන් විමසනු චරක අසා සිටියේය.

"ඔව්.. හස්බන්ඩ්ගෙ කොලිෆිකේෂන් එක්ක ලිස්ට් එකේ උඩටම වගේ ඉන්න ඕන මගෙ කොල්ලා..."
අම්මා චරක දෙස බලමින්ම පිළිතුරු දුන්නාය.
එය එළෙසම ඉටුවිණි....
----------------------------------------------------------------------------------------------
"අනෙක් විභාග වගේ නෙමෙයි පුතේ මේක... මුල ඉඳලම වැඩේ අල්ලගෙන යන්න ඕන"
තාත්තා කීවේ සූරිච්හි ගුවන් යානය පහත් කරන්නට ඔන්න මෙන්න තියා කරමින් සිටි කථාව නවත්වමිනි.
ඒ සංචාරය, සාමාන්‍ය පෙළ ඉහලින්ම සමර්ථ වෙන බවට චරක තාත්තා සමග ඇල්ලූ ඔට්ටුවට ලැබුණකි.
----------------------------------------------------------------------------------------------
 "මොකද දැන් කරන්නෙ කරන්නෙ ලංකාවෙ යුනි යනවද එළියට යනවද?
ඔය රිසල්ට් එකෙන් ඕන දෙයක් කරන්න බැරියෑ..."
තාත්තා මහත් ආදරෙන් තමාගෙ හිස සිපගනු චරකට සිහිනයකින් මෙන් මතක තිබිණ.
----------------------------------------------------------------------------------------------
 චරකට තමා ලංකාවේ විශ්ව විද්‍යාලයට යන්නට ගත් තීරණය හරියැයි සිතෙන්නට වැඩිකලක් ගියේ නැත...
"මචං බලාගෙන.. බැච් එකේ ලස්සනම එක හරිද...
දැනටම හතර පහක් ඇනගෙන ඉන්නෙ... සින්නො දෙන්නෙකුත් එක්කම....
ඒ නිසා මිෂන් ෆේල් වුණොත් ඉතින් වහකෑම තමයි.."
මිතුරන් අමන්දා ගැන තමන්ට අනතුරු ඇඟවූහ.
චරකට පැරදුම නුහුරුය... නුපුරුදුය...
----------------------------------------------------------------------------------------------
"අමන්දා ජී එම් පෝස්ට් එකට ඔන්න මාව ප්‍රොපෝස් වෙලා අද..
අපි අර කථා වුණා වගේම...
අපි බලාපොරොත්තුව නොහිටිය දෙයක් නෙමෙයි වුණත් ඉතින් ඕක අතට ලැබුණම තව ටිකක් රෑ වෙයි ගෙදර එන්න.."
චරක පැවසුවේ මද ආඩම්බරය සඟවාගත් සිනහවකිනි...

"මගෙන්නම් අවුලක් නෑ...
එත් ඉතින් තාත්තා එනකල් රැකගෙන බලන් ඉන්න ජෝඩුව එක්ක විසඳාගන්න වෙයි..."
අමන්දාගේ මන්දහාසය චරකට සිහිකලේ තම මවගේ නිරතුරුවම සිනා රැඳී මුහුණය
----------------------------------------------------------------------------------------------
"මීට වඩා හොඳ දොස්තර කෙනෙක් නෑ අම්මෙ මේ වැඩේට..
අනිත් එක මම ටිකක් පර්සනලිත් දන්නවත් එක්ක ඒ සර්ජන්ව...
අපට වඩා  බැචස් තුනක් විතර උඩින් හිටියේ.... "
චරකගේ වැඩිමහලු දියණිය අමන්දාව අස්වැසුවාය

"තාත්තාව හොල්ලන්න එපා කියන නිසයි ප්‍රස්නෙ...
නැත්නම් මට හෙටම උනත් එහෙ එක්ක ගිය හැකි......"
බාල දියණිය ගුවන් තොටුපලෙන් ආ වෙලාවේ සිටම සිටියේ අමන්දාඅගෙ අත නෑරය....
----------------------------------------------------------------------------------------------
"ඩොක්ටර්ස්ලා කරන්න තියන හැමදේම ඉස්තරම්ම විදිහට කලා අම්මේ...
දැන් ඉතින් අපට තියෙන්නෙ බලන් ඉන්න...
අම්මත් දැන් ටිකක් රෙස්ට් කරන්න..
නංගියි මල්ලියිත් ඉන්නවනේ...
මම පොඩ්ඩක් දැන් ගෙදර යනවා...
හෙට පුනර්ජීවගෙ එලකියුෂන් කම්පිටිෂන් එක...
මම නැතුව මොකුත් කරන්නෑනෙ අම්ම එයා...
පුතාව හෙට ඒකට දාලා අනෙක් පැත්තට එන්නම්.."

මෙලොව එළිය සදහටම නිවී යන්නට කලින් චරකට අවසිහියෙන් මෙන් කන වැකුණු අවසාන වදන් පෙළ ඒ විය.
----------------------------------------------------------------------------------------------



දිනුවා.... බුදු ශ්‍රී බෝසතා
වෙසඟේහී පොහොය දිනේ.....
ශ්‍රී මහ බෝධී මූලෙහි පැහැදී
රම්‍ය වජ්‍රාසනේහී......
දිනුවා බුදු ශ්‍රී බෝසතා
වෙසඟේහී පොහොය දිනේ.....

ආ දස බිම්බර ඒ මර සේනා
ක්‍රෝධයනී දිලිහීයේ....
පරමිතා ශ්‍රී ධර්ම බලේ පා
මාරයා පරදා.......
දිනුවා බුදු ශ්‍රී බෝසතා
වෙසඟේහී පොහොය දිනේ

සුර බඹ සේනා සාධු නදේ පා
පුදකෙරුවා ජය ඝෝෂා
ලෝ දා කම්පාවීය විදා පා
ඒ සිදුහත් කුමරා........
දිනුවා බුදු ශ්‍රී බෝසතා
වෙසඟේහී පොහොය දිනේ....
Read More!

ජන සේනා...!

ජන ජන ජන සේනා
ජය ගොස එන්නා
රණ ගී මැද්දේ පෙරට ගලන්නා
ගොවි කම්කරු ගංගා... ගංගා... ගංගා...
ජන ජන ජන සේනා....

තප්පර පැය වී ගතවෙන දවසේ
වැඩපල වල ගොවි බිම්වල වෙහෙසී
සටන් පෙරමුණේ ඩා බිඳු වගුරා
ජය ගී මැද්දේ පෙරට ගලන්නා
ගොවි කම්කරු ගංගා... ගංගා.... ගංගා...

හෙට දවසක සුභ නිමිති දකින්නේ
තෙරපෙන දෑසක සතුට දකින්නේ
නොරටක දේ ගැන නැහැ වෙහෙසෙන්නේ
අහේනියක් නැත එළඹෙන්නේ....

ජන ජන ජන සේනා
ජය ගොස එන්නා
රණ ගී මැද්දේ පෙරට ගලන්නා
ගොවි කම්කරු ගංගා... ගංගා... ගංගා...
ජන ජන ජන සේනා......


Read More!
 
Blogger Wordpress Gadgets