Showing posts with label මර්සලීන් ජයකොඩි. Show all posts
Showing posts with label මර්සලීන් ජයකොඩි. Show all posts

සන්නිය කොළඹ...!

මනික් සන්ද්‍රසාග්‍ර අපූරු නිර්මාණකරුවෙකි. ඇත්තෙන්ම කිවහොත් මනික් ගැන කථාකිරීමට මා කුඩා වැඩිය. මට පළමුවෙන්ම සජීවීව මනික්ව දක්නට ලැබෙන්නේ අවුරුදු විසිපහකට පමණ උඩදී ෂාන් වික්‍රමසිංහගේ ටී එන් එල් ආයතනය විකාශය කල ජනහඩ වැඩටහන් පෙලක වැඩසහටහන් මෙහෙයවන්නා ලෙසය. සූරිය ගුණසේකර හා තවත් කෙනෙක් අතර සංවාදය මෙහෙයැවූයේ ඔහුය. ඉංගිරිසි කියවන සමාජය අතර සන්ද්‍රසාග්‍ර ප්‍රචලිත වූවද සිංහල කලාංග රසවිඳින්නන් අතර මනික් එතරම් ජනප්‍රිය වූයේ නැත. මගේ සුළු දැනූමේ හැටියට වුවද මම මනික් සන්ද්‍රසාග්‍රව තබන්නේ මගේ නිර්මාණකරුවන්ගේ ලැයිස්තුවේ ඉහලම සිටින ජයන්ත චන්ද්‍රසිරියන් හා සමවය. මට වඩා සන්ද්‍රසාග්‍රයන් දන්නා, හඳුනන අයවලුන් මට කමත්වා!

හැත්තැව දශකයේ සන්ද්‍රසාග්‍රයන් අපූරු චිත්‍රපට දෙකක් සිංහල සමාජය හමුවේ
තබයි. ඒ 1975 දී ක්ලිෆඩ් රත්වත්තේගේ ආරාධනයෙන් 'කළු දිය දහර' හා 1976 දී ටිරෝන් ප්‍රනාන්දු ගේ ආරාධනයෙන් 'කොළඹ සන්නිය' හෙවත් 'කමිං ස්වීට්' යන නිර්මාණ යුගලයයි. මේ චිත්‍රපට යුගලයේම කථාව හා අධ්‍යක්ෂණය මනික් සන්ද්‍රසාග්‍රගේ වීමද විශේෂත්වයකි.

ගුණාත්මක කමින් ඉහල නිර්මාණ තරමක් බහුලව තිබූ කාල වකවාණුවක 'කමිං ස්වීට්' හෙවත් 'කොළඹ සන්නිය' ගනන් ගැනුනේ වාණිජ චිත්‍රපටයක් ලෙසය. තාප්ප වැහෙමින් වැදුණු පෝස්ටරවල තුබුනේද පරණ පන්නයේ මෝටර් රියක නැගුනු කාටූන් ගත වුණු චිත්‍රපටයේ රඟ පෑ නළු නිලියන්ය. සමස්ථය සලකා බලන විට, ඒ වන විටත් ලඟ ලඟ එමින් තිබූ සමාජ, දේශපාලනික විපර්‍යාසයන් ගැන ටිරෝන් ප්‍රනාන්දුටත් වඩා මනික්ට අවබෝධයක් තිබුණාදැයිද සිතේ.

කථාවෙහි ඇත්තේ හදිසියේ පහල වන ධනයක් නිසා කොළඹට සංක්‍රමණය වන පවුලක මතුපිට ජීවන තොරතුරුයි. කථාවෙහි ඒ හැටි ගඹුරක් නොතිබුණද නළු නිලියන්ගේ දක්ෂතාවය, සිනාමාත්මක නිර්මාණයක් එළි දැක්වීමට සමත්ව තිබුණා යන්න මගේ වැටහීමයි. නල ජලයෙන් එන වතුර මලෙන් ස්නානය කරනා ජෝ අබේවික්‍රමගේ මුවින් ගිළිහෙන: 'පොඩි එව්වො හුජ්ජ කරනව වගේ බං... ඕකෙන් නාලා මට හරියන්නෙ නෑ...'
වැනි කියුම් බොහොමයක් එහි අඩංගුව තිබිණි.

අමෙරිකාවට සංක්‍රමණය වන ඉන්දියානු මහාචාර්‍යවරයකු හා එම පවුලෙහි කථාව ඇතුලත් Namesake චිත්‍රපටය අමරිකාව ගැන නොපෙන්වා ඉන්දිය සංස්කෘතිය ඒ බාරගන්නා හැටි ඉතා මතුපිටින් වුව සාකච්ඡා කරයි. කොළඹ සන්නිය, පරස්පරයේ ඇති විකාර රූපි ස්වරූපයට සිනාසෙයි. ඒ පරස්පරයන් කොළඹ නගරයට ඇතුළුවූයේ කෙසේද?

අද කොළඹින් විගමනය වන්නා, කොළඹාශ්‍රිතව කූණු කඳූවලට යටවී මියයන්නන්, කුහුඹුවන් මෙන් වාහනවලට චප්ප වී මියයන්නන්, සුළු වැස්සකදී වුව කලු දිය දහරා ගලායන මාර්ග, පිරිසුදු සුසුම් පොදකට ඉව අල්ලන දරුවන්, හැපෙමින් පැටලෙමින් දිවෙන්නන් අතර මුළුගැන්වෙන වයස්ගත වූවන්, දුබලයන් දැක දුකින් සුසුම් නොලත්ද? අද නිර්මාණ මේ විකාරයට සිනාසිය යුතු නොවෙත්ද?

වර්ෂ 2003 දී දින දෙක තුනක් පුරා ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක් අත්දුටු 'ඊසානයේ අන්ධකාරය' පිළිබඳ තොරතුරු ලක්වැසියන් දුටුවේ ඉතා කලකට පසුව වුව යන්තමිනි. විශාල තට්ටු ගණනකින් හෙබි මහල් නිවාස වැසියන්ගේ ජීවිතය මුළුමනින්ම අඩාල විය. සන්නිය මදක් දෘෂ්‍යමානවුවද යකැදුරන් ඉක්මනින් ක්‍රියාත්මක විය.

මගේ ගෙදර ඇත්තන් තම විශේෂවේදී නිබන්ධය සඳහා වස්තු විෂය කරගන්නේ 'කොළඹ නගරයේ වර්ධනය හා ඒ ආශ්‍රිත ලක්ෂණ' නම් මාතෘකාවයි. තරමක් කහ පැහැ ගැසුණද එහි කොළඹ නගරයේ වර්ධනය පිළිබඳ අපූරු තොරතුරු ඉතා විස්තරාත්මකව පැහැදිලි කර ඇත.

නගර ඇතිවීම සඳහා බලපාන හේතු කිහිපයක් විස්තර කර ඇති එහි, කොළඹ නගරයක් වීම සම්බන්ධයෙන් බලපෑ ප්‍රධාන සාධකය ලෙස දැක ඇත්තේ වරාය ආශ්‍රිත ක්‍රියාකාරිත්වයයි. කොළඹ නාමය පිළිබඳ පැරණිම ලිඛිත තොරතුරු ඇත්තේ 1330 දී චීන ජාතික ලේඛකයෙකු "කාඕ-ලන්-පූ" යන නාමය තම ලේඛන වල සඳහන් කිරීම බවද  නිබන්ධය සඳහන් කරයි. එහි සිංහල අරුතනම් "ගැඹුරු-පහත්-භූමිය" යන්නයි.

1881 දී වර්ග කිලෝමීටර 25 පමණ වූ කොළඹ නගරයෙහි වර්ග කිලෝමීටරයට මිනිසුන් 4,500 පමණ වාසය කර ඇත. එයින් වසර සියයක් තුලදී නගරය තවත් වර්ග කිළොමීටර දොළහකින් පමණ වර්ධනය වන අතර ජනඝනත්වය හතර ගුණයකින් ඉහල යයි. [37 sq.km / 16,000 heads per sq.km]. එක්දහස් නමසිය ගනන් වලදී කොටුව, පිටකොටුව, ශාන්ත සෙබස්තියම, ශාන්ත පාවුළු (දැන් කොච්චි කඩේ, ජින්තුපිටිය, මසංගස්වීදිය ආශ්‍රිත ප්‍රදේශය), කොටහේන, නිව්-බසාර් (අලුත් කඩේ, පංචිකාවත්ත, ග්‍රෑන්ඩ්පාස් ආවරණය වන කලාපයක්), මරදාන, කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය වශයෙන් කොළඹ ප්‍රධාන කොටස් නමයකි. නමසිය අසූ ගනන් වනවිට මෙය කොටස් හතළිස් හතක් පමණ දක්වා වර්ධනය වී ඇත.

තවද, එක්දාස් නමසිය මුල් ගනන්වල සිට එකදාස් නමසිය අසූ එක පමණ දක්වා ගනන් දක්වා සිංහල හා දෙමල (ඉන්දියානු හා ලංකා) ජන අනුපාතයන් 50% හා 23%  (පිළිවෙලින්) ඉලක්කම් වටා සීරු මාරු වුවද, ඉන්දියානු (මුවර්) හා බර්ගර් ජනතාවගේ බැහැර යාමෙන් මතුවන ඉඩකඩ පුරවාලන්නේ ලංකා මුවර්වරුන්ය. ඔවුනගේ වර්ධනය 1911 දී 11% සිට 1981 වනවිට 21% දක්වා වැඩිවී තිබේ.

යම් යම් කාලවලදී නගර සංවර්ධනය වෙනුවෙන් පැවති දත්ත උපයෝගී කරගනිමින් යම් යම් ප්‍රතිපත්ති හා සැලසුම් කෙතරම් අවංකව ගොඩනැගූවද ඒවා අවසාන ඒකකය දක්වා නිම කීරීමට දැක්වු අසමත් කම නිසා කොළඹ හා ඒ අවට කලාපයන්, මිනිසුනට සුවසේ හිඳිනට නුසුදුසු, කාල බෝම්බයක් බවට පත්වී ඇති බව දැන් නම් දත්ත විශ්ලේෂණයකින් තොරවම කාටත් කිවහැකිය. අවුරුදු තිහ හතළිහකට එහා රාත්‍රියට සුවසේ නිදාගත් කොළඹාංගනාව, දැන් මතක ඇති කාලයකින් රාත්‍රියට නිදානොගත් වෙහෙසට පත්වූ අබිසරුළියක් හා සමානව අප හමුවෙහි බලා හිඳියි. තම කුසින් වැදු සුජාත මෙන්ම එසේ නොවු දරුවන්ද නැවතත් තම පිළිසරණ පතා උදයේම තමා වෙත දිව එති. සන්නියෙන් ආතුර වූ ඇයට කාගේවත් පිළිසරණක් නැත.

මනික් සන්ද්‍රසාග්‍ර තම දෙවැනි නිර්මාණයට මර්සලීන් ජයකොඩි පියතුමා සහ සහ සුනිල් සාන්තයන් එක්කැරගෙන අමුතුම නිර්මාණයක් කරණු ලබයි. 'ගමනේ ගීය' නමින් හැඳින් වෙන මේ ගීය දුම්-බරබාගයක් ගැන කියා පායි. සිංහල ගීතයන්හි අපට විදුලි-දුම්-රිය හමුවූවාට දුම්-බරබාග හමුවන්නේ කලාතුරකිනි. ගමෙන් නගරයට ගොඩනැගූ පාලම එයින් ජයකොඩි පියනම අදහස් කලා විය හැක. මේ අපූරු පදමාලාවත්, තනුවත් මගේ හද බෙහෙවින් දිනුවකි.



දුම් දුම දුම් දුම් - දුම් දුම දුම් දුම්

දුම් දම දම යන - දුම් බර බාගේ
දුම් බර දුම් බර - දුම් බර බාගේ
දුන්හිඳ වාගේ - දුම් බර බාගේ
දුන්නේ දෙයියෝ - දුම් බර බාගේ
දුම් දුම් තෙරිකිට - දුම් බර බාගේ
දුම් බර දුම් බර - දුම් බර බාගේ

දිගටම පලයන් - හිට හිට පලයන්
හෙමිහිට පලයන් - වැටි වැටි පලයන්

ජඃ ජඃ මඃ මඃ - ජඃ පිට ජඃ මඃ
ජඃ පිට මඃ පිට - ජඃ මඃ ජඃ මඃ

ඩක් ඩක් ඩක් ඩක් - ඩක් ඩක් ඩක්කුව
සෙක් සෙක් සෙක් සෙක් - සෙක් සෙක් සෙක්කුව
බක් බක් බක් බක් - බක් බක් බක්කිය
මුක් මුක් මුක් මුක් - මුක් මුක් මුක්කුව

ජඃ මඃ ජඃ මඃ - හඃ හඃ හා...

හැරි හරි බැරි බැරි - නොකියා පලයන්
බර බර ගාලා - කන්දෙන් ඇදියන්
ජර මර අස්සේ - පල්ලම් වැදියන්
දුම් බර බාගේ - හඃ හඃ හා...

බන්දා කැන්දා - ආවෙත් මේකෙයි
කැන්දා ඉන්දා - බීවෙත් මේකෙයි
වැන්දේ සිරිපා - දේ ගොස් මේකෙයි
ජඃ මඃ ජඃ පිට - හඃ හඃ හා...
Read More!

කහවන් ගොයමට රන්දිය වැහැලා...

අද පට්ටන්දරේ මගේ මිත්‍රයෙක්ගෙන්(පාලිත)... මම දාන්න හිටපු ගීයටම ඔහු විස්තරයක් එවලා...පුදුම වැඩේ... සහෘදයන්ගේ සුසර වීම් ඉතින් පුදුමයක්මත් නෙමේ... ඔන්න උන්නැහේගෙම ලියවිල්ලෙන් (පුංචි පහේ සංස්කරණයකින් යුතුව)ඒවගත් මෙසේම...

"අපේ ඉතිහාසයේ බෞද්ධ වෙහෙර විහාර කඩා බිඳලා විනාශ කරපු බෞද්ධ රජෙක් හිටියානම් ඒ මහසෙන් රජතුමා විතරමද කොහෙද. එතුමා මහයානය වැලඳගෙන මහාවිහාරයෙ විසූ ථෙරවදී භික්ෂූණ්ට බල කළාලුනෙ මහායානය වැලඳගන්න කියලා. ඒක ප්‍රතික්ෂේප කළා කියලා මහා විහාරය සහ ලෝවාමහපාය ඇතුලු වෙහෙර විහාර ගණනාවක් විනාශ කළාලු. ඕක ඉවසගන්න බැරුව මේඝවණ්නාභය කියලා එතුමාගෙම ඇමතියෙක් කැරලි ගැහුවලු.

එදත් රජවරු එක්ක එකට වැඩ කරපු උන් රජුට අභියෝග කරලා තියෙනවා. ඒ වුනාට මේ දෙන්නා එකිනෙකා මරා ගන්න කලින් රජු වෙත රහසිගතව ගිය ඇමතියා රජුට වරද පහදලා දීලා රජුව යහමගට ගත්තා කියල තමයි කියන්නෙ. අද කොහෙන්ද එහෙම ඇමත්තොයි එහෙම රජවරුයි. කොහොමෙන් හරි තම වරද වටහා ගත් මහසෙන් රජු, අදටත් ලොව විශාලතම දාගැබ වන ජේතවනාරාමය හදවලා සංඝයාට පූජා කළාලු.

අක්කර 4670 ක භූමි ප්‍රමණයක් වට කරමින් විශ්මිත මින්නේරිය වැවත් හැදෙව්වෙ මෙතුමනෙ. මුලදි වැරදි අඩුපාඩු තිබුනත් රටට හිතවත් එක ඇමතියෙකුගෙ පිහිටෙන් යහමගට පැමිණි මහසෙන් රජු මරණින් පසු මින්නේරිය දෙවියො කියලා මිනිස්සු වන්දනාමාන කළාලු. ඒ කියන්නෙ වැරදි අඩුපාඩු තියෙන රජවරුත් කාලයාගෙ ඇවෑමෙන් දෙවිවරු වෙලා තියෙනවා. මං මේ කිව්වෙ වර්තමානෙත් එක්ක සංසන්ධනය කරන්න එහෙම නෙවෙයි.."

අපූරු ලියැවිල්ල නේද...ගීය ලියලා තියෙන්නේ "පන්සලේ පියතුමා..." විරුදාවලී ලැබූ, රේඛාව චිත්‍රපටියට ගීත ලියූ, ගරුතර මර්සලීණු ජයකොඩි හිමිපාණන්... එහෙව් පූජක උතුමන් අපේ ජාතියට වාසනාවන්... ගායනය නාලිනී රණසිංහ ගෙන්...

කහවන් ගොයමට රන්දිය වැහැලා, නියරින් ඉතිරෙනවා ...
ගස්වල හෙවණැලි වැඩියෙන් කළුවී, මිහිමත වැතිරෙණවා...
විහඟ වලා ගුවන වෙලා, දුර අහසේ නොපෙණී යනවා...
කවියක් ගීයට හැරුණ කලක් දෝ, ඉපනැලි නළියනවා...

මින්නේරිය වැව දැන් නිල් කැටයකි, තැන තැන රඟදෙනවා....
එක දෙක දිය ‍රැළි හුලඟට කැඩි කැඩි, සුදු කිරි මතුවෙණවා...
මුතු අමුණා ගී මුමුණා, දුර වෙරළට ‍රැළි ඇද්දෙනවා...
මින්නේරිය වැව පටසළු ඇඳගෙන, ඔන්චිලි පැද්දෙනවා...

මහසෙන් රජ වැඳ නින්දට යන්නට පෙරයම සැරසෙනවා...
අවුරුදු දහසක් කෙත්බිම් සරුකොට, හිනැහී සැනහෙනවා...
යල වපුරා මහ වපුරා, ගොයමට දිය ‍රැළි නංවනවා...
මින්නේරිය වැව හෙට හී කවියෙන් උදයට ලංවෙනවා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න...
Read More!
 
Blogger Wordpress Gadgets