සන්නිය කොළඹ...!

මනික් සන්ද්‍රසාග්‍ර අපූරු නිර්මාණකරුවෙකි. ඇත්තෙන්ම කිවහොත් මනික් ගැන කථාකිරීමට මා කුඩා වැඩිය. මට පළමුවෙන්ම සජීවීව මනික්ව දක්නට ලැබෙන්නේ අවුරුදු විසිපහකට පමණ උඩදී ෂාන් වික්‍රමසිංහගේ ටී එන් එල් ආයතනය විකාශය කල ජනහඩ වැඩටහන් පෙලක වැඩසහටහන් මෙහෙයවන්නා ලෙසය. සූරිය ගුණසේකර හා තවත් කෙනෙක් අතර සංවාදය මෙහෙයැවූයේ ඔහුය. ඉංගිරිසි කියවන සමාජය අතර සන්ද්‍රසාග්‍ර ප්‍රචලිත වූවද සිංහල කලාංග රසවිඳින්නන් අතර මනික් එතරම් ජනප්‍රිය වූයේ නැත. මගේ සුළු දැනූමේ හැටියට වුවද මම මනික් සන්ද්‍රසාග්‍රව තබන්නේ මගේ නිර්මාණකරුවන්ගේ ලැයිස්තුවේ ඉහලම සිටින ජයන්ත චන්ද්‍රසිරියන් හා සමවය. මට වඩා සන්ද්‍රසාග්‍රයන් දන්නා, හඳුනන අයවලුන් මට කමත්වා!

හැත්තැව දශකයේ සන්ද්‍රසාග්‍රයන් අපූරු චිත්‍රපට දෙකක් සිංහල සමාජය හමුවේ
තබයි. ඒ 1975 දී ක්ලිෆඩ් රත්වත්තේගේ ආරාධනයෙන් 'කළු දිය දහර' හා 1976 දී ටිරෝන් ප්‍රනාන්දු ගේ ආරාධනයෙන් 'කොළඹ සන්නිය' හෙවත් 'කමිං ස්වීට්' යන නිර්මාණ යුගලයයි. මේ චිත්‍රපට යුගලයේම කථාව හා අධ්‍යක්ෂණය මනික් සන්ද්‍රසාග්‍රගේ වීමද විශේෂත්වයකි.

ගුණාත්මක කමින් ඉහල නිර්මාණ තරමක් බහුලව තිබූ කාල වකවාණුවක 'කමිං ස්වීට්' හෙවත් 'කොළඹ සන්නිය' ගනන් ගැනුනේ වාණිජ චිත්‍රපටයක් ලෙසය. තාප්ප වැහෙමින් වැදුණු පෝස්ටරවල තුබුනේද පරණ පන්නයේ මෝටර් රියක නැගුනු කාටූන් ගත වුණු චිත්‍රපටයේ රඟ පෑ නළු නිලියන්ය. සමස්ථය සලකා බලන විට, ඒ වන විටත් ලඟ ලඟ එමින් තිබූ සමාජ, දේශපාලනික විපර්‍යාසයන් ගැන ටිරෝන් ප්‍රනාන්දුටත් වඩා මනික්ට අවබෝධයක් තිබුණාදැයිද සිතේ.

කථාවෙහි ඇත්තේ හදිසියේ පහල වන ධනයක් නිසා කොළඹට සංක්‍රමණය වන පවුලක මතුපිට ජීවන තොරතුරුයි. කථාවෙහි ඒ හැටි ගඹුරක් නොතිබුණද නළු නිලියන්ගේ දක්ෂතාවය, සිනාමාත්මක නිර්මාණයක් එළි දැක්වීමට සමත්ව තිබුණා යන්න මගේ වැටහීමයි. නල ජලයෙන් එන වතුර මලෙන් ස්නානය කරනා ජෝ අබේවික්‍රමගේ මුවින් ගිළිහෙන: 'පොඩි එව්වො හුජ්ජ කරනව වගේ බං... ඕකෙන් නාලා මට හරියන්නෙ නෑ...'
වැනි කියුම් බොහොමයක් එහි අඩංගුව තිබිණි.

අමෙරිකාවට සංක්‍රමණය වන ඉන්දියානු මහාචාර්‍යවරයකු හා එම පවුලෙහි කථාව ඇතුලත් Namesake චිත්‍රපටය අමරිකාව ගැන නොපෙන්වා ඉන්දිය සංස්කෘතිය ඒ බාරගන්නා හැටි ඉතා මතුපිටින් වුව සාකච්ඡා කරයි. කොළඹ සන්නිය, පරස්පරයේ ඇති විකාර රූපි ස්වරූපයට සිනාසෙයි. ඒ පරස්පරයන් කොළඹ නගරයට ඇතුළුවූයේ කෙසේද?

අද කොළඹින් විගමනය වන්නා, කොළඹාශ්‍රිතව කූණු කඳූවලට යටවී මියයන්නන්, කුහුඹුවන් මෙන් වාහනවලට චප්ප වී මියයන්නන්, සුළු වැස්සකදී වුව කලු දිය දහරා ගලායන මාර්ග, පිරිසුදු සුසුම් පොදකට ඉව අල්ලන දරුවන්, හැපෙමින් පැටලෙමින් දිවෙන්නන් අතර මුළුගැන්වෙන වයස්ගත වූවන්, දුබලයන් දැක දුකින් සුසුම් නොලත්ද? අද නිර්මාණ මේ විකාරයට සිනාසිය යුතු නොවෙත්ද?

වර්ෂ 2003 දී දින දෙක තුනක් පුරා ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක් අත්දුටු 'ඊසානයේ අන්ධකාරය' පිළිබඳ තොරතුරු ලක්වැසියන් දුටුවේ ඉතා කලකට පසුව වුව යන්තමිනි. විශාල තට්ටු ගණනකින් හෙබි මහල් නිවාස වැසියන්ගේ ජීවිතය මුළුමනින්ම අඩාල විය. සන්නිය මදක් දෘෂ්‍යමානවුවද යකැදුරන් ඉක්මනින් ක්‍රියාත්මක විය.

මගේ ගෙදර ඇත්තන් තම විශේෂවේදී නිබන්ධය සඳහා වස්තු විෂය කරගන්නේ 'කොළඹ නගරයේ වර්ධනය හා ඒ ආශ්‍රිත ලක්ෂණ' නම් මාතෘකාවයි. තරමක් කහ පැහැ ගැසුණද එහි කොළඹ නගරයේ වර්ධනය පිළිබඳ අපූරු තොරතුරු ඉතා විස්තරාත්මකව පැහැදිලි කර ඇත.

නගර ඇතිවීම සඳහා බලපාන හේතු කිහිපයක් විස්තර කර ඇති එහි, කොළඹ නගරයක් වීම සම්බන්ධයෙන් බලපෑ ප්‍රධාන සාධකය ලෙස දැක ඇත්තේ වරාය ආශ්‍රිත ක්‍රියාකාරිත්වයයි. කොළඹ නාමය පිළිබඳ පැරණිම ලිඛිත තොරතුරු ඇත්තේ 1330 දී චීන ජාතික ලේඛකයෙකු "කාඕ-ලන්-පූ" යන නාමය තම ලේඛන වල සඳහන් කිරීම බවද  නිබන්ධය සඳහන් කරයි. එහි සිංහල අරුතනම් "ගැඹුරු-පහත්-භූමිය" යන්නයි.

1881 දී වර්ග කිලෝමීටර 25 පමණ වූ කොළඹ නගරයෙහි වර්ග කිලෝමීටරයට මිනිසුන් 4,500 පමණ වාසය කර ඇත. එයින් වසර සියයක් තුලදී නගරය තවත් වර්ග කිළොමීටර දොළහකින් පමණ වර්ධනය වන අතර ජනඝනත්වය හතර ගුණයකින් ඉහල යයි. [37 sq.km / 16,000 heads per sq.km]. එක්දහස් නමසිය ගනන් වලදී කොටුව, පිටකොටුව, ශාන්ත සෙබස්තියම, ශාන්ත පාවුළු (දැන් කොච්චි කඩේ, ජින්තුපිටිය, මසංගස්වීදිය ආශ්‍රිත ප්‍රදේශය), කොටහේන, නිව්-බසාර් (අලුත් කඩේ, පංචිකාවත්ත, ග්‍රෑන්ඩ්පාස් ආවරණය වන කලාපයක්), මරදාන, කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය වශයෙන් කොළඹ ප්‍රධාන කොටස් නමයකි. නමසිය අසූ ගනන් වනවිට මෙය කොටස් හතළිස් හතක් පමණ දක්වා වර්ධනය වී ඇත.

තවද, එක්දාස් නමසිය මුල් ගනන්වල සිට එකදාස් නමසිය අසූ එක පමණ දක්වා ගනන් දක්වා සිංහල හා දෙමල (ඉන්දියානු හා ලංකා) ජන අනුපාතයන් 50% හා 23%  (පිළිවෙලින්) ඉලක්කම් වටා සීරු මාරු වුවද, ඉන්දියානු (මුවර්) හා බර්ගර් ජනතාවගේ බැහැර යාමෙන් මතුවන ඉඩකඩ පුරවාලන්නේ ලංකා මුවර්වරුන්ය. ඔවුනගේ වර්ධනය 1911 දී 11% සිට 1981 වනවිට 21% දක්වා වැඩිවී තිබේ.

යම් යම් කාලවලදී නගර සංවර්ධනය වෙනුවෙන් පැවති දත්ත උපයෝගී කරගනිමින් යම් යම් ප්‍රතිපත්ති හා සැලසුම් කෙතරම් අවංකව ගොඩනැගූවද ඒවා අවසාන ඒකකය දක්වා නිම කීරීමට දැක්වු අසමත් කම නිසා කොළඹ හා ඒ අවට කලාපයන්, මිනිසුනට සුවසේ හිඳිනට නුසුදුසු, කාල බෝම්බයක් බවට පත්වී ඇති බව දැන් නම් දත්ත විශ්ලේෂණයකින් තොරවම කාටත් කිවහැකිය. අවුරුදු තිහ හතළිහකට එහා රාත්‍රියට සුවසේ නිදාගත් කොළඹාංගනාව, දැන් මතක ඇති කාලයකින් රාත්‍රියට නිදානොගත් වෙහෙසට පත්වූ අබිසරුළියක් හා සමානව අප හමුවෙහි බලා හිඳියි. තම කුසින් වැදු සුජාත මෙන්ම එසේ නොවු දරුවන්ද නැවතත් තම පිළිසරණ පතා උදයේම තමා වෙත දිව එති. සන්නියෙන් ආතුර වූ ඇයට කාගේවත් පිළිසරණක් නැත.

මනික් සන්ද්‍රසාග්‍ර තම දෙවැනි නිර්මාණයට මර්සලීන් ජයකොඩි පියතුමා සහ සහ සුනිල් සාන්තයන් එක්කැරගෙන අමුතුම නිර්මාණයක් කරණු ලබයි. 'ගමනේ ගීය' නමින් හැඳින් වෙන මේ ගීය දුම්-බරබාගයක් ගැන කියා පායි. සිංහල ගීතයන්හි අපට විදුලි-දුම්-රිය හමුවූවාට දුම්-බරබාග හමුවන්නේ කලාතුරකිනි. ගමෙන් නගරයට ගොඩනැගූ පාලම එයින් ජයකොඩි පියනම අදහස් කලා විය හැක. මේ අපූරු පදමාලාවත්, තනුවත් මගේ හද බෙහෙවින් දිනුවකි.



දුම් දුම දුම් දුම් - දුම් දුම දුම් දුම්

දුම් දම දම යන - දුම් බර බාගේ
දුම් බර දුම් බර - දුම් බර බාගේ
දුන්හිඳ වාගේ - දුම් බර බාගේ
දුන්නේ දෙයියෝ - දුම් බර බාගේ
දුම් දුම් තෙරිකිට - දුම් බර බාගේ
දුම් බර දුම් බර - දුම් බර බාගේ

දිගටම පලයන් - හිට හිට පලයන්
හෙමිහිට පලයන් - වැටි වැටි පලයන්

ජඃ ජඃ මඃ මඃ - ජඃ පිට ජඃ මඃ
ජඃ පිට මඃ පිට - ජඃ මඃ ජඃ මඃ

ඩක් ඩක් ඩක් ඩක් - ඩක් ඩක් ඩක්කුව
සෙක් සෙක් සෙක් සෙක් - සෙක් සෙක් සෙක්කුව
බක් බක් බක් බක් - බක් බක් බක්කිය
මුක් මුක් මුක් මුක් - මුක් මුක් මුක්කුව

ජඃ මඃ ජඃ මඃ - හඃ හඃ හා...

හැරි හරි බැරි බැරි - නොකියා පලයන්
බර බර ගාලා - කන්දෙන් ඇදියන්
ජර මර අස්සේ - පල්ලම් වැදියන්
දුම් බර බාගේ - හඃ හඃ හා...

බන්දා කැන්දා - ආවෙත් මේකෙයි
කැන්දා ඉන්දා - බීවෙත් මේකෙයි
වැන්දේ සිරිපා - දේ ගොස් මේකෙයි
ජඃ මඃ ජඃ පිට - හඃ හඃ හා...

15 comments :

  1. Kolaba sanniya keepa parakma bAluvaa thissa malli . Me apuuru geethayata kamathiyi . Kohoma uthath kolaba visthreta thuthi.

    ReplyDelete
  2. ස්තුතියි තිස්ස ! ඇතැමුන් සුනිල් සාන්තයන්ට එදා දොස් පවරා තිබුනා ලු මෙය විවෙචනය කරමින් කියා සිටියා ‍මෙයාකාර නිර්මාණයකට දායක විම පිළිබදව ඔවුන් විමතිය පළකරන බවක් (එනම් නිර්මාභය සම්භ්‍ය ගණයේ නොවන නිසා වන්නට ඇති)

    ඇත්තෙන්ම සුනිලුන් ව සිනමා පටයකට සම්බන්ධකරගැනීම හාවුන්ගෙන් අං ලබා ගන්නවා වගේ අසිරැ වැඩක් බව කියැවෙනවා

    මයි ඩී්රීම්ස් රෝසස් ගීතය ට එක්කර ගන්නට ෂෙල්ටන් ප්රේමරත්නයන් විදි දුක් ගැහැට ඔහු නොයක් වර හෙළිකර තිබෙනවා

    එහෙව් සුනිලුන් මීට සම්බන්ධ වීම ඇදැහිය නොහැකි වීම සාධාරණයි

    මණික් සාන්ද්රසාගරයන් ගේ තෙවැනි සිංහල නිර්මාණය සීතාදේවි 1978 දී මා නැරඹුවා එය හවුල් නිෂ්පාදනයක් (එහි නිමිහිම් සෙව්වා මා සසරේ ගීතය ම ඇති එය ජනප්රිය වන්නටට)

    අපට නම් තිබ්බේ කුතුහලය මොකද වීර පුරන් අප්පු බලන්නට මහනුවර වෙම්බ්ලි සිනමාහලේ දැල්වැටේ එල්ලි සිටිනවිට එහි ලගදීම පෙන්වනවා පුවරැවේ අලවා තිබු ජයාරෑප නිසා

    රජකෙනෙකු අහස දෙස බලද්දී හෙලිකොප්ටර් පියාසර කිරීමේ ජවනිකාවම ඇති අපේ කුතුහලය උතුරා දමන්නට ම ඒවා ඒ අනුව අති සාර්ථක වෙළද උපක්රම නොව්ද ?

    එහි ට්රේලරයේ තිබුනේ සිගිරි ගල කිට්ටුව පෙරහැරක් යනවා

    මතක් වන විට සිනහ පහල වෙනවා වගේම හැගුම්බර වෙනවා අම්මලාගෙන් සල්ලි ඉල්ලාගන්න වින්ද දුක මතක්වෙනකොට රැපියල් දෙකේ නෝට්ටුව හොදටම ඇති සකන්ඩ් ක්ලාස් එකේ අපි දෙන්නා (අයියා) ට පිල්ම් එක බලන්න


    ReplyDelete
  3. Kolamaba Sanniya was a novel experience and he cast was super. But its storyline is very similar to “The Beverly Hillbillies” which was a popular TV series that spawned a film.

    ReplyDelete
  4. කොළඹ සන්නිය මේ මෑතකදීත් රුපවාහිනියේ විකාශනය වුනා.දෙනවක හාමිනේගේ හා ජෝ අබේවික්‍රමගේ රඟපෑම් හොඳ උනත් මම නම් එච්චර කැමති චිත්‍රපටියක් නෙමේ.

    අද තිස්ස අයියා සින්දුත් එක්ක අතුරුපසට ඉතිහාස කතාවකුත් දීලා තියෙන්නේ.

    ReplyDelete
  5. the film " seetha deevi" also by manik. I remember one unp mp ( I think h r piyasiri) accused him and UK ambassador were the kin pin of drug smugglers to sri lanka. following election/ by election ambassador visited his electorate as a election observer but he supposed not to. then jr regime sent him calling "persona non grata" . gamini somathilake

    ReplyDelete
  6. කොළඹ සන්නිය ගැන ඇති මතකය සමඟ ඇඳිරි නීතී හා මැතිවරන ප්‍රතිඵල පිලිබඳ මතකයන්ද ගැට ගැසී ඇත.

    මනික් ගැන කතා කිහිපයක් කියවා ඇත. කතරගම වන්දනාව හා සබැඳි කතාද වෙනත් කතාද ඇත.

    නගරයක විකාශනය ගැන . නාගරික බව ගැන , විධිමත් අධ්‍යනයක් නොකලද, මා ද උනන්දුය. කොලඹ නගරයක් යයි මම නොසිතමි. ඒ එයට නගරයක් ලෙස අනන්‍යතාවයක් හා එපුර පුරවැසියන් තවම ගොඩනැගෙන බැවිනි. මේ ගැන දිගට ලිවිය යුතුය.

    ReplyDelete
  7. කොළඹ සන්නිය නරඹා නෑ. මං හිතුවේ ඒක මං කුඩා කොටසක් පමණක් දැන ඇති වැනි ඇමරිකානු කතාවක කොපියක් කියායි.

    ReplyDelete
  8. කොළඹ සන්නිය නරඹා නෑ. මං හිතුවේ ඒක මං කුඩා කොටසක් පමණක් දැන ඇති Beverly Hillbillies වැනි ඇමරිකානු කතාවක කොපියක් කියායි.

    ReplyDelete
  9. http://www.sundaytimes.lk/090517/Plus/sundaytimesplus_01.html

    ReplyDelete
  10. කෞශල්‍යAugust 30, 2017 at 2:11 PM

    පෙර විඳි රසය සිහි වී යලි මෙහි ආමි
    එනමුදු බොහො ලින්කු ගොලුවී ඇති සේමි
    තිස්ස සහෝ අප හිතවත් රස කාමී
    යාවත් කලොත් තුති වේ බොට පින් බෝමි

    ReplyDelete
  11. Kolamba sanniya, kochchara parana unath parana nowana asaawen balanna puluwan chithrapatiyak. Thank you aiya sinduwa beda gaththata.

    ReplyDelete
  12. ආ.. තිස්සයියා.

    ReplyDelete
  13. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
  14. තිස්ස අයියා ආයේ ලියමුද?

    ReplyDelete
  15. කොළඹ සන්නිය හාස්‍යය සානරයේ ඉතා හොඳ සිනමා පටයක්. සිනමාව වනාහී රූප මාධ්‍ය භාෂාවක්. එහි පවතින්නාවූ විවිධ සානරයන්ගේ ඇත්තේ විවිධ වූ රසයන් ය. සම්භාව්‍ය කියා රසයක් ඒ අතර නැත. අපේ රටේ හාස්‍යය රසය තුන්වන පංතියේ රසයක් ලෙස සිතන හා සලකන නූගතුන් පිරි රටකි.
    මක් නිසාද යත් අප රටේ උගතුන් යනු කටපාඩම් කර විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ සහතික ලාභීන් වීම නිසාය. සුනිල් සාන්තගේ සංගීතය සිනමා පටයට 100 % ක් ම ගැලපෙන අදටත් රස විඳිය හැකි සංගීතයකි. චිත්‍රපටයත් එසේම ය. එනිසා ම එය නවීකරණය ව නැවතත් නව තාක්ෂණය යටතේ නිපදවුණි.
    තවද මෙය පවුලේ චිත්‍රපටයකි. රසය යනු පැණි රස ම නොවේ. විවිධ රස අතර අත්නොහරින රසක් වේ නම් ඒ හාස්‍යය රසය බව අමතක නොකරන්න. එය ඔබගේ විද්වත් භාවයට හානියක් නොවන්නේ ය. ඉදිරි දිනකදී ඔබට එම අත්දැකීම ලැබේවි. එදින ට මෙය තිරගතවූ කාලය ට එබිකම් කර නරබන ලෙස ඉල්ලා සිටිමි. ස්තුතියි
    මම
    අනුර දහනායක

    ReplyDelete

 
Blogger Wordpress Gadgets