කොළ මැඩපන් ඔයි රාමා...!

බත්මැඩිල්ල අමාරු නැත... එහෙත් කොළ මැඩිල්ල ප්‍රවේසමෙන් කලයුතුය... නැතහොත් සකස්කල කෙතද, ශ්‍රමයද, බිත්තර වී ද අපතේ යනු නිසැකය... කොළ මැඩිල්ලට කළවිටක් (කමතක් - කර්මාන්ත කරන තැනක් - පාළි; කලවිටේ කොළ මඩවන ස්ථානය විශේෂිතව කමතක් වේ) උවමනාය... කළවිට, පාවර (පාචර නොවේ...!) නමින්ද හඳුන්වයි... කොළ මැඩිල්ල ගොයම් මැඩිල්ල නමින්ද  හඳුන්වයි... කළවිට කෙළිය ආවාට ගියාවට කල නොහැක... විසාල ශ්‍රම, සම්පත් දායකත්වයකින් ගොඩගත් ගොයම් කොළය සිරිත විරිත අනුවම මැඩගත යුතුය...  කොළ මැඩිල්ල මීහරකුන් ලවාද කරගත හැක.. එවිට එය 'කොළගොං ගැනීම' නම් වේ...

කළවිට සුභ මොහොතින් පිළියෙල කරගත යුතුය...  දොන් පිලිප්ද සිල්වා ඈපා අප්පුහාමි විසින් රචිත 'මුහුර්ත චින්තාමණියේ' කලවිටි නැකැත් අඩංගු බැව් සැලයි..

ඇඳ කව තුනක් එහි දෙහිරක් සිව් දිගට
යොද මිනි නැතක්  දෙයැ ලේ සිව් අතට
මුදුනට නැගෙන හිර ගෙන හිරු නැකත සිට
දකුණට ගනිනු කලවිටි පත පිළිවෙලට
පිටකව දෙවෙනි කව සිටි සොළස සිව් කොන
වැඩ නොව නපුරු තුන්වෙනි කව අට සමන
මැද සිව් උතුම් පෙරයම වරුණ සිව් මෙන
ගනු දෙනු කෙමෙන් නිමවන ලෙස පෙර දිගින
බිම් පිරිසිදු කොට, කුණු රොඩු ඉවත් කොට, උස් පහත් තැන් නැතිවන පරිදි කපා, පුරවා සමබිමක් සැකසිය යුතුය... තෙත් ගතිය ඇත්නම් මාගල් අතුරා සකස් කල යුතුය... වර්ෂාව ඇති වුවහොත් දිය බැස යාමට කමත වටා ගොම්මලකඩ (කාණු) කපා නොඋස් කණු සිටුවා වලල්ලක් (කොටුවක්) සාදා ආරක්ෂා කල යුතුය... මේ සඳහා අටමගලය හැදීමට ගන්නා හීරැල්ල පලු වැල්, තොලබෝ කොල, ගොක්කොල පාවිච්චි කල හැක... අස්වැන්න අමනුස්ස උවදුරු වලින් රැකගැණිම අරමුණය... ඉතිරි හරිය ගොම, පොල් කිරි, හඳුන් මිශ්‍රණයක් ඉස පිරිසිදු කරගත හැක...

අස්වැන්නට ඉව අල්ලන්නෝ බොහෝය... එහෙයින් කමත මැද, අණවින වලින් මිදිමට යම් ආරක්‍ෂාවක් කල යුතුය... කළවිට මැද්දෑවේ වලක් සාදා (අරක් වල) ආරක්ෂාවන් වැලලිය යුතුය... සබරගමුවේදී මේ ආරක්‍ෂා පොට්ටනිය (මුත්තා) පිළිල හත්ව ර්ගයක්, ලෝහ වර්ග, කදුරු කොල,  වරකා ගැටයක්, රබ්බඩ පුවක්ගෙඩි හතක්, යකඩ දැත්තක්, මුතු ඇටයක්, මැණික් කැට ආදියෙන් සමන්විතය...  සියල්ල සුදු රෙදි කඩක ඔතා නැකතට තැන්පත් කොට සුදු හක්බෙල්ලකුගෙන් වසා දමයි.. ඒ මත්තෙහි හීරැස්ස පළු, තොලබෝ, ගොයම් මිටි කිහිපයක්, මදුවැලකින් ඔතා ඇතිරුව මනාය....

කමතක් සැහැ කවය ලෙසට
කැටකර කඳු කොට එක්කොට
වටටම වටමළු එක්කොට
කමත සුද්ද කර විගසට

දවට පිළිල හරි කරගන
දෙහී පිළිල හරි කරගන
නුග පිළිල හරි කරගන
බුලත් පිළිල හරි කරගන

අරක් බෙල්ල හරි කරගෙන
රබ්බඩ ගෙඩි හතක් රැගෙන
කදුරු කොළද හරි කරගන
වරකා ගැටයක් ඇරගන

රත්න ජාති හැකි පමණද
මුතු ඇටයක් සුරැකිව ගෙන
පබළුත් සපයා ඇරගෙන
මෙකි සෑම දේ ඇරගෙන

රිදී රත්තරන් ඇරගෙන
තඹ පිත්තල සපයාගෙන
ලෝකඩ වානේ ඇරගෙන
යකඩෙන් දෑ කැත්තක් ගෙන
සියනෑ කෝරලේ දී මෙය දිවිකදුරු කොල හතකින් සැරසූ අරක්වල මත ඉර හඳ ඇඳි කොහොඹ ලෑලි කැබැල්ලක්, ගැටයක් ගැසූ කොරොස් වැලක්, කටු හක්ගෙඩියක්, කළු ගලක් තැන්පත් කර ඒ වටා අළුවලින් ගොයි උපකරණද, බුදු සිරිපාදයද ඇඳ සකස් කෙරේ... අළු යොදා අඳින හෙයින් ඒ 'අළුහන් වැඩීම' ලෙසද හැදීන්වේ... ගොන් කැරැල්ලේ ඇත්තේ ආධුනිකයින් නම් 'ගොන් කණුවක්' හෙවත් 'කපක්' සිටුවා ගැනීම ඉනික්බිති කල යුතුය...

ගොයමේ බාරකරු විසින් සුදුසු නැකතක් තොරා ගොයම් ගොඩට වැඳ නමස්කාර කොට භාග්‍යවන්ත, පුන්‍යවන්ත තැනැත්තෙක් තෝරා ගොයම් ඇතිරීමට ආරාධනා කල යුතුය... ඒ පුන්‍යවන්ත තෙම, හිසමත තබාගත් ගොයම් මිටියක් (උප්පුඩියක්) ගෙන අරක්වල වටා ගමන් කරමින් පුන්‍යවස්තුවලට සදිසාවෙහි සිට ගෞරව පුද කල යුතුය... අවසන කරල් උඩට සිටිනසේ මුත්තා මත තැන්පත් කල මනාය... සුදුසු නැකත් තෝරාගැනීමට උපදෙස් පහත පුරාණ පලදාවලියෙහි මෙලෙස වේ...

විස්තර සොඳ නැකැත් දැන කැටකොල මඩින
නිසිලෙස ගන්න ඉරිදා දියවක ඇඳින
තුරුපල තෙවෙනි පෙද කන්‍යා ලග්නයෙන
අත්නෑරම පාගව් වැඩෙයි පහමුණ
ගුරුකිවි දෙදිනේ උදයේ
සිංහ ලග්නෙ කෙළවරයේ
මඩින ලෙසට කොල රැසයේ
සොඳයයි පෙර රුසි කීයේ
ඉන්පසු කළවිටෙහි ගොයම් තැන්පත් කිරීම කාටත් කළහැකිය... කමතේ දිගටි අතට පේලියට 'රෑනකන්ද'ක් ලෙස හෝ වෘත්තාකාරව කරල් ඇතුලට සිටින සේ අරක්වල වටා 'වටමලල'ක් සේ තැන්පත් කිරීම කල හැක... වටමලල, 'කැටකන්ද' කියාද 'ගොයම් කොළකැටිය' කියාද හඳුන්වයි...

ඉන්පසු ඇත්තේ ගවයන් සකසා ගැනීමය... දෙදෙනෙක් නම් 'ගොන්බාන'ක්ද ඊට වැඩිනම් 'ගොන් කැරැල්ල'ක්ද එක්කාසු කොට බාන්වැල් වලින් සෑදූ වලල්ලක ගැටගසා ආම්බන් කර ගත යුතුය... එකට ඈඳූ ජෝඩුව 'ඈදුත්ත' නමි... තිදෙනෙක් නම් 'ගොන් ඇඟේ' වෙති.... සිව්දෙනෙක් 'ගැලතුම' හෝ 'පෙල්ලුව' වේ.... මුලින්ම යන්නා 'මුදුනා' වන අතර උගේ කාරිය බැරෑරුම්ය...  මැදින් යන්නෝ 'කිරිපුස්සා', 'දැතුරයා' හා 'මට්ටයා' වෙත්.... අන්තිමට යන්නා 'හෙළතයා' හෝ 'කලාතයා' වන අතර ඒකාට ලොකු වටයක් දිවීමට සිදුවන හෙයින් මහන්සි වැඩිය...

මුදුනේ යන ගොන් රජුනේ
ඊලඟ යන වයිරයිනේ
කලාත යන නාම්බනේ
තොප බලයෙන් කොළ මඩිනේ...

මේ කොතනින් ගෙනා ගොනා
රුහුණු රටින් ගෙනා ගොනා
මේ කුමකට ගෙනා ගොනා
කොළ මැඩුමට ගෙනා ගොනා...
අම්බරුවන්ගේ වෙහෙස නිවීමට'ඕසේ' ඇදිය හැක... 
එහෙම නැතිනම් කමත් හෑල්ලක් ඇද බෑ හැකිය...
කන්වල රන් ගාවඤ්ඤා
කන්වල මුතු අමුනඤ්ඤා
හුනරේ මිණි බන්දඤ්ඤා
මෙකී ලෙසට සරසඤ්ඤා

අං දෙක රන් බන්දඤ්ඤයි
කං දෙක මේ වර ලඤ්ඤයි
කිනරේ මුතු අමුනඤ්ඤයි
යහපත් කොල මඩවඤ්ඤයි
කොළ මැඩීම කරගෙන යනාතරතුර දෙවි දේවතාවුන්නාන්සේලාගෙන්ද ආරක්ෂාවක් ලැබීමට පිරිතක්ද කී හැක... ඒ කලවිටි පිරිත ලෙසින් ප්‍රචලිතය... කමතේ සතර කොණ මල් පැල සිටුවා පහන් දල්වා සුදු පිරුවට ඇඳ, එක් අයෙක් පිරිත ගායනා කරයි... අනෙක් ගොවි සිවු දෙනෙක් දැති ගෙන මැඩුවන් (පිදුරු) සමගම කරතබා කළවිටි පිරිතෙහි ඉසිඹුවක් පාසා 'පොලි' යැයි උස්හඬින් කියයි.... ඒ කලවිටි පිරිත කෙසේද යත්:
පළමුව බුදුන් වැඳ - දෙවෙනුව දෙවියන් වැඳ
තෙවෙනුව ගුරුන් වැඳ - කියන් කලවිටි පිරිත් පද බැඳ
සස්සවා නගුලිසුත් - කප්පවා වියදඬුත්
දෙකොණ විත් සතරකුත් - මැද අමුතු බානකුත්

යොදා එදා බදාදා ඇලිගොන් බානක් බැඳ,
මුලේ නැකතින් බස්නාහිර දික්භාගයේ සිට නැගෙනහිර දික්භාගේට එක් සී විටක් සෑවෝද,
නැගෙනහිර දික්භාගයේ සිට බටහිර දික්භාගේට එක් සී විටක් සෑවෝද,
එක් සී සෑවෝද දෙසී සෑවෝද තුන්සී සෑවෝද වැලිමඩ පෝරු ගෑවෝද,
අනුරේ මා නැකතින් බිජුවඩා පැලමල් ඉස්සෝද,
එක්පෙති දෙපෙති තුන්පෙති සතරපෙති පස්පෙත්තේදී ගැටද ගතී,
සපෙති සත්පෙත්තේදී බන්ඩිගති නවපෙත්තේදී පූදගති,
මැස්සන් නොමැස්සන් ශ්‍රී සමනළ සමන්දිව රාජයාගෙන් වැලිමතුරා ඉස්සෝද,
කිරිවැදී පැසී චන්ද්‍ර ගුරුදින හෝරාවෙන් කොලතියා කලවිටි රග්ගල සැස්සෙව්වෝද,
රග්ගල් කඩතෙන් යන්නෝ දෙදාසයි,
එන්නන්ඩ දොර අරවා යන්නන්ඩ දොර අගුලුලවා,
නවයාල දොළොස්මූණූ අටලාසක් අල්ලන,
සන්කඩ කූරපයියක් ඉනේ දරාගෙන,
ඒ ගෙයි දෙද්දෝහෝදෝ මේ ගෙයි දෙද්දෝහෝ කිය කියා ඇවිදිනා ගොපල්ලානන් වහන්සේටයි,
මම් බැස වැඳ මේ ආරාධනා කරන්නේ උන්වහන්සේගේ ආවුද කිනම්,
දැති දැති, රන්දැති, කොසඹ, කොබ්බෑ, කටුපිල යන මේ දැති පසක් ගෙන පස් උකුණකට කොළ ගනිති,
පස්දෙනෙක් වට සිටිති මැඩුනු කොල බාති නොමැඩුනු කොල සලාලති,
ගොවියෝ වැඩ කරති දෙවියෝ වට සිටිති මෙදා මේ කමතට ඉතා යහපති,
සලාසොලියාට අරග්ගනන් පොලී!
දැති දැති.... දැති දැති.... දැති දැති....

ඉරිදා මහ නැකතින්, සමණල මැණික් කොනින්, ඇල්වී ගොන් සත්බානක් ගෙනහැර දැක්වූ සේක...
එක්සී සෑවෝද, දෙසී සෑවෝද, යළි මැඩ පෝර ගෑවෝද, ඒ පිට බිජු ඉස්සෝද,
එක්පෙති, දෙපෙති, තුන්පෙති, හතරපෙති, පස්පෙති, හපෙති, හත්පෙත්තේදී එරන් බණ්ඩියක් හටගත්තාය...
එරන් බණ්ඩියේ වෙසෙන ගොපළු නම් දේවතාවුන් වහන්ස්ගේ වම් උරේ කූරපයියේ පාටවර්ණය කෙසේදැයි අසුවෝතින්,
දැති දැති, රන් දැති, රිදී දැති, නික, කොසොම්, කොබ්බෑ, කටුපිල,
මේ නම් දැති පසක් ගෙන පස් උකුණක් කඩා ගොවියෝ වැඩ කරති...
දෙවියෝ වට සිටිති...
මේ කමතට ඉතා යහපති...
පොලී...

මේ අවු අස්සේ 'ආණ්ඩු කිරීමද' කල හැක...
කමතේ ආණ්ඩු කරන්නේ මැඩුවන් සුවල්පයක් අවුලුවා ගෙන දැති ගොයියාගේ අමුණා කරතබාගෙන කමත් සැහැලි කියමින් කලවිට වටේ යාමෙනි...

'දැති දැති කුමණා දැති
කොබ්බෑ, කොසොඹ දැති
කටුපිලද, නික, දෙමට දැති
පස් දෙනෙක් කොල සලා එලති
එරජ කමතට ඉතා යහපති...'


ඒ කමතෙත් සිංහලයෝ - මේ කමතෙත් සිංහලයෝ
කමත මැදින් අරක් වලේ - වට කරගෙන ගොයම් කොළේ
අඬහැර පානා... අඬහැර පානා...

ඔයි රයිරේ ඔයි රාමා - කොළ මැඩපන් ඔයි රාමා
ඔයි රයිරේ ඔයි රාමා - කොළ මැඩපන් ඔයි රාමා

දිය බැඳලා පුරන් කොටා - එක යායට වී වපුරා
සිංහල කෙත සරු කරලා - අස්වනු නෙලුවා

රන් වියදඬු රන් හී වැල් - රිදී කෙවිටි රිදී නගුල්
ඔයි රයිරේ ඔයි රාමා - කොළ මැඩපන් ඔයි රාමා

සූ‍‍ර්‍ය දෙවියනේ අප රැකගන්නේ - චන්ද්‍ර දෙවියනේ වරමක් දෙන්නේ
ඔයි රයිරේ ඔයි රාමා - කොළ මැඩපන් ඔයි රාමා

අලුත් බතක් ගෙට ගන්නයි - අලුත් ලොවක් දැක ගන්නයි
හෙළ ජාතික සමගි බලේ සවිමත් වේවා - සවිමත් වේවා... සවිමත් වේවා...






ඇසුරු කලා:
සිංහල ජනසම්මත කාව්‍ය (1935 / 2012): ආතර් ද සිල්වා / ගුණපාල මලලසේකර
සිංහල සැහැලි (1957/2009): විභාවී විජයශ්‍රීවර්ධන
නව සංස්කෘති (1986) 1 කලාපය - 2 සඟරාව: කමත හා බැඳි ගොවි සිරිත්
කමත් හෑල්ල (1994 /2008) මඩකුඹුරේ නෝමන් සිරිපාල






Read More!

අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!

නැත... මේ ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක් වියදම් කරමින් හදන්නට යන අති නවීන රේල්ලුවක් ගැන
කතාවක් නොවේ..!
එසේ නැතිනම් පාන්දරින් දුම්රියෙන් වැඩට එන්නට සිතා පිටත්වූ ජනතාවට මූණ දෙන්නට සිදූවූ දුම්රිය සේවක වර්ජනයක්ද ගැනද නොවේ...!!
මේ කතාව සවුදම් ගැනය..
අඳෝමැයි...! 'සවුදම්' ගැන කී විට පාඨකයනට 'සවුදං ජෙමා' මතක්වීම කෙසේනම් නවත්වමුද...
එහෙත් ඒ සියලු වැල් වටාරම් පසෙක තබා මාතෘකාවට බහිමු..!!!

සවුදම් ගැන ලියැවී, ලංකාවේ පළවී ඇති පොත පත බෙහෙවින් අල්පය...
සාම්ප්‍රදායික නැටුම් හා වාදන පුහුණුවන්නන්ට පමණක්ම ඒ දැනුම හා රසය වෙන්ව ඇති සැටියකි...
සාමාන්‍ය රසිකයා අතර වන්නම් ජනප්‍රිය වුවද සවුදම් ඒසේ වී ඇති සැටියක් නොපෙනේ..
(විදග්ධ පාඨකයා මා දැනුවත් කරාවා...!)

මේ ජනගත නොවීමට හේතු කාරණා වශයෙන් මා දක්නා කාරණා කිහිපයකි..
සම්ප්‍රදායික වාදකයින් (ගායකයින්) හා නැට්ටුවන්(ගායකයින්) පොත පත ලිවීමට පෙළැඹී ඇති අවස්ථා ඉතා අල්ප වීම එයින් පළමු වැන්නය...
(සේදරමන් ගුරුන්නාන්සේට පින්සිදුවේවා... පාගමනින් ගොස් හමුවිය හැකි දුරක නිවස්නය කොටගත් ඔහු, අපට දැනුමක් තේරුමක් ඇති කාලය වනවිට මෙලොව හැරයාම මහත්ම දුකකි...)

අනෙක් කාරණයක් නම් එහි ඇති තාල වාදන,  නැටීමට මුල් තැන දෙමින්ම වර්ධනය වුණු කාරණයක් වීමය... එහි කර්ණරසායන ස්වභාවය වන්නම් මෙන් අතිශයින් සුගායනීය නොවීම මෙයින් අදහස් කෙරේ...

අවසාන කාරණයනම් පුරාණ ජනගායනා ඇසුරෙන් යම් යම් මනබන්දනීය නිර්මාණයන් වර්තමාන ගීයට බද්ධකල මකුලොලුව, සුනිල් සාන්ත, කුලතිලක වැන්නවුන් අතින් මේ ගිලිහී තිබීමයි...
(මේ සංගීතය විධිමත්ව නො-හදාල දුහුනකුගේමුත් සංගීත රසිකයකුගේ සිතිවිළිය...
අනෙක් පසින් මේ බද්ධ කීරීම ගැමි සංගීතය නො-හදාරා කිරීම ගැන, එසේත් නැත්නම් ඉන්දියානු සංගීතයට බද්ධ කිරීම පිළිබඳව මකුළොලුව ශූරින්ගේ ඇත්තේ බලවත් අප්‍රසාදයකි.. උදාහරණ ලෙස 'තෙල් ගාලා හිස පීරන් නෑනෝ', 'ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා', 'චන්දෝ මා බිළිඳේ',  යන ගී ඔහු තම 'හෙළ ගී මග' කෘතියෙහි දක්වා ඇත)

සේදරමන්ට අනුව 'සවුදම්' එන්නේ "ශ්‍රෙගතම්" යන සස්කෘත වදනට අනුවය.. දේවාල ආශ්‍රිතව සවුදම් ගසා නැටුම් පෙන්නීම නිසා ඔහු එසේ සිතූ බව ලියා තබා ඇත..
උඩරට නාට්‍ය කියුම් කෙරුම් තුල ගායනා වර්ග 12 හේ හඳුනාගෙන ඇත. සන්න, චූර්ණිකා, සැහැලි, යාදිනි, ස්තෝත්‍ර, රාග(ම්), වන්නම්, වන්දනාමාන(ම්), තාල(ම්), සවුදම්, කවුත්තම් හා සින්දුය ඒ.

මීට අමතරව තංගල්ලේ සව්රිස් සිල්වා සංගීතාචාර්‍යතුමා පහතරට සංගිතයේ එන "දැකුම් අත්" නම් අංගයන් ගැනද කියා ඇත.

"බෙර දවුල් වාදකයෝ, මෙසේ දැකුම් අත්ද, වන්දනාමානද, කවුත්තම්ද වයති.  තාලම හා සව්දම් ආදියද වයති. ඒපමණක් නොව ඒවා සතු කියුම්ද කියා පාති. එ කල ය වාදනයෙහි ක්‍රමවත් ශාස්ත්‍රීය හා ප්‍රියමනාප සාධුශීලී බව එක්වී එන්නේ. මේ පහත එන්නේ කියුම් සමග එන 'දැකුම් අත්'ය.

වනාන්තරයෙන් වෘක්ෂය කපා ලියවා වැඩ කරගත් හෙයින් භෙරියට වෘක්ෂදේවතාවා බාරව සිටින්නේය. එසේ හෙයින් එම දෙවියන් සිහිකොට දැන් මේ සභා මණ්ඩපද්වාරයට නොහොත් සභාවට රැස්වූ ලොකු කුඩා සෑම දෙනම ප්‍රධාන කොට අවසර ලබා බෝවත් බෝවා කාලයකට පවතිනා සේ නෙර්තයක් කෙරෙම් මම්...

සිද්ද කරනා ලෙසට සූවිසි - අසංකෙයියක් සතුන් නිවනට
යුද්ද කර වසවතුන් පැරදී - ඉන්ඩ බැරුවම ගියයි එම විට
සද්ද කරනා බෙහෙරි නාදය - කරන්නට ඔහු සැරසිලා හිට
සද්ද කර එව්වේ දැකුම් අත - එදා මුනිඳුගෙ බුද්ද මඟුලට..
"

සව්රිස් සිල්වා මෙසේද කියයි.. 

"සවුදම් ගැසීම වාදයාගේ මහ වැඩෙකි.. බුදු මඟුල දා මුනිඳුට අට කොන සිට ගැසූ බව කියවෙන වාදන, ගායන, නර්තන තුනටම ගැනෙන සව්දම් අටෙකි.. තවත් විවිධ වූ සවුදම් අතර පැණය හා පිළිතුර දැක්වෙමින් ගයන සවුදම්ද වෙති...

දං නං මහමෙර උසටත් වැඩියෙන් මොනවද ඒ දුං දං
දං නං සමුදුර ජලකඳ පසුකර මොනවද ඒ දුං දං
දං නං අහසේ තරු මදි පොළොවේ පස් මදි කර දුං දං
දං නං කිවි‍ඳෙක් වෙන් වෙන් වසයෙන් කියා දියන් සවු දං

දං නං ඇස් ඉස් මස් ලේ සහ තව අඹු දරු බැඳ දුං දං
දං නං ඇත් අස් කෙත් වත් ගම් බිම් කෙළි කොළු ස්වර්ණමී දං
දං නං සාරාසංකප් ලක්සය පූරිත පාරමි දං
දං නං කිවිඳෙක් කියා දියන් මට දස විද සුර සවුදං"

"භාෂා" හතරකින් "වැයෙන" සව්දම  (සිව්බාසේ සව්දම) හා එයටම ගැයෙන කවද සව්රිස් සිල්වා ගුරුන්නාන්සේගෙනි..
තෙලිඟෙන් තිබුණා සවුදම් ගණනක් - කිවා ඉසිවර මේ විලසින්
මරසෙන් බිඳුවා බෝසත් බුදු වූ - බුදු මඟුලට කල නෙර්ත උතුන්
උරනින් ආවොත් මග දී වරදියි - ඉංග්‍රිසි සව්දම් මේ විලසින්
සබයෙන් අවසර නටනව සව්දම - හැකිනම් ගහපන් සිව්බාසෙන්

අරි විඩ පණි විඩ ගුඩි මුඩි සෙල්ලුම්
තිප්‍ර පෛස් නුකු ඩයි තද බොස්කුම්
අයි වැන්ට් ටු නොස් ජප් ජුට්
බුටි ක්‍රාන්තු සක්‍ර වන්න භඃ

පංචතාලය අනුව සකස් කරගත් සවුදමක් ප්‍රෙහෙලිකා ස්වරූපයෙන් මෙසේ ඉදිරිපත් වෙයි

අල් අකුරෙන් දසයක් ඇත අදුරනි - පාපිලි හයකුක් දැනගත්තා
ඉස්පිළි සොළොසයි බින්දු දහයකුත් - අප ගුරුවරු ගෙන් අහගත්තා
ඇලපිලි තෙලෙසයි තනි අකුරුත් විසි - පහකට ලාගෙන තව ගත්තා
අහපු අකුරුවල ගණන කියෙව්වට - කොම්බු හතයි තත් තත තත් තා

සී ද එස් කුලතිලකයනට අනුව මේ ද්‍රවිඩ "ශබ්දම්" (ශබ්දම් - භාරත නාට්‍යාංගයකි)  යන්නෙන් බිඳී ආවකි... සවුදම්, බෙර වාදන හා අතිනත් බැඳ ඇති බවක්ද දෙවි දේවතාවන් වන්දනාව සඳහා යොදාගත් බැව් කුලතිලකයන්ගෙන්ද තහවුරු වේ.. 'වාදාංකුස රත්නමාලය' නම් තෙළිඟු කාව්‍ය මාලාවක සව්දම් හැට හතරක් තිබූ බැව්ද හේ සඳහන් කරයි.. මහවල තැන්න බණ්ඩාර නිලමේ විසින් 1908 රාජකීය ආසියාතික සංගම් දේශනාවක මෙම කවිමාලය ගැන උපුටා දැක්වු බවද කුලතිලක සඳහන් කරයි... එහිදී මහවලතැන්නයින් විසින් වාදාංකුසයෙන් ගෙනහැර දැක්වා ඇති මේ පාඨයද අපූරුය...

"නමෝ බුද්ධාය........
බේරි තාල, ගීත නේර්ත, අර්ථ මූර, රාගම් පාරට්ටු, සව්දම් අෂ්ඨගණ, ගුරු ලඝු, දෙතිස් සිව්මිති සිව්වත්, ශපතුරු මිතුරු, අක්ෂර පාට වර්ණ, අමෘතකලා විෂකලා, ගන්ද සුගන්ද, දේවතා, පල අපල, නිමිති නැකත්, කොන් අට පාද බෙදින් සූසැට කුල බේද සතරවංස උප්පත්තිය යන මේ කියන දේ සම්පූර්ණව පැවති 'නේර්තමාලා වාද අන්කුසය යන ශාස්ත්‍රවාදය මල්වත්තේ තෙරුන්වහන්සේ විසින් නාග පට්ටනමේ ගණිතාලංකාර කවීන්ද්‍රයාගෙන් පඬුරු පාක්කුඩම් යවා ගෙන්වාපු පොත නිබොරුය...
"

සවුදම්, විනෝදය ගෙන දෙන්නක් ලෙස පැවැති බවත් එනිසාම පසුකාලීනව පමණ ඉක්මවා ගොස් ග්‍රාම්‍ය භාවය ඉස්මතු වන අයුරින්ද මතු වී වර්ධනය වූ බවක් සේදරමන් ගුරුණ්නාන්සේ කියයි.
ඒවා මගහැර දේව වන්දනා වලට යෙදුනු සව්දම් හැටහතරක්, බෙරපද හා කව් සමගින්ම සේදරමන් ගුරුන්නාන්සේ විසින් තම කෘතිවල සඳහන් කොට ඇත. ඒවානම් පහත පරිදිය:

1.   බ්‍රහ්ම සවුදම
2.   විෂ්ණු සවුදම
3.   ඊශ්වර සවුදම
4.   නාථ සවුදම
5.   කන්දස්වාමි සවුදම
6.   සක්සුර සවුදම
7.   තත් සවුදම
8.   දිත් සවුදම
9.   තොන් සවුදම
10. නන් සවුදම
11. රාම සවුදම
12. ගණපති සවුදම
13. පත්තිනි සවුදම
14. බඹ සුර සවුදම
15. කන්ද කුමාර
16. තුරගාඬි සවුදම
17. ගුරුළු සවුදම
18. තත්දොමිකිට සවුදම
19. සූරිය සවුදම
20. චන්ද්‍රා සවුදම
21. උරඟා සවුදම
22. සිහරාජ සවුදම
23.    වීනන්ද සවුදම
24.    වෙසමුනි සවුදම
25.    තත්තා සවුදම
26.    සරස්වතී සවුදම
27.    සිසිර සවුදම
28.    සුරගුරු සවුදම
29.    සුරඟන සවුදම
30.    සුගත සවුදම
31.    ශ්‍රියා දේවි සවුදම
32.    වීරමුණ්ඩ සවුදම
33.    කළු කුමාර සවුදම
34.    කඩවර සවුදම
35.    මිහිකතගේ සව්දම
36.    මල්කඩවර සවුදම
37.    බ්‍රහ්මවේද සවුදම
38.    කේසර සවුදම
39.    ජේඟු සවුදම
40.    පූර්ණ චන්ද්‍රා සවුදම
41.    නවග්‍රහ සවුදම
42.    ඉරු සවුදම
43.    සඳු සවුදම
44.    කුජ සවුදම
45.  බුද සවුදම
46.  ගුරු සවුදම
47.  කිවි සවුදම
48.  ශනි සවුදම
49.  රාහු සවුදම
50.  කෙහෙතු සවුදම
51.  ඉකාර සවුදම
52.  උකාර සවුදම
53.  ඔකාර සවුදම
54.  එකාර සවුදම
55.  සව්ම සවුදම
56.  ගිණිකොණට සවුදම
57.  යාම සවුදම
58.  නිරිත දිග සවුදම
59.  වරුණ දිග සවුදම
60.  වයඹ දිග සවුදම
61.  ඉන්ද්‍රදිග සවුදම
62.  ඊසාන දිග සවුදම
63.  ධෘතරාෂ්ඨ සවුදම
64.  විරූඨ සවුදම

--------------------------------------------------------------------------------------------------------------------
සංස්කරණය 1: අගෝස්තු 08, 2019

පියසර ශිල්පාධිපති විසින් සම්පාදිත "Rythms of SRI LANKAN DRUMS & FOLK SONGS" යන සීඩී තැටියේ (සිංග්ලංකා ආයතනයෙන් බෙදාහරින ලද) අපූරු සවුදමක් ඇත.

පත්තිනි සවුදම



තෙනෙන තෙන තෙන - තෙනෙන තෙන තෙන
තෙනෙන තෙන තෙන - තෙන තෙනා...

නිතිනි දන මන - නයන පිණවන - දුල් සිරින් දෙවඟනක විලසා
පත්තිනි සුරිඳුට - නැමද කියනෙමි -  නරන් හට සෙත දෙන ලෙසා
අතිනි ගණ රන් - සලඹ අරගෙන - නරන් උවදුරු හරින විලසා
පත්තිනි සවුදම - නටමි අද මම - මේ සබේ මැද පුදුම විලසා
 

තද් දිත් තොන්නන් තාල උදාවය
ජෙනනෙක සවුදම් හෘද දෙවි පාදය
චන්ද්‍රවතීගේ ඉන්ද්‍ර නීල විණ කිමනෙක සුරලුවනේ
තකනන් ජෙනෙකිට විනක විනෝදන
ගත්තු එරත්‍රන් සළඹ අතේ
සෙත් සිරි දෙවනා පත්තිනි කරුණා
ජෙහෙනක තත් තරි අඩි තුඩි පඬිපුර
තාහක ජෙන් ජෙන් තා
නටමි මම පත්තිනි සුර සවුදම්


සේදරමන් ගුරුන්නාන්සේගේ පත්තිනි සවුදම: එයද ඉහත ගීය සැටියෙන්ම ගයා බලත හැක
 
යාත්තර නැව් - යනෙන මුහුදේ - කුඩා ඔරු නොපදීද පසුවම
සාත්තරයට - වාද කෙරුමට - මෙනුඹ ආ එක ඉතා ගොන්කම
පාත්කම විඳ - ගන්ඩ සිදුවෙයි - නුඹහට නොගියොතින් විගසම
පාත්තර බිඳ - ගන්ට සිදුවෙයි - ඔන්න ගයනෙමි පතිනි  සවුදම


සේදරමන් ගුරුන්නාන්සේ බෙර පදය ඉහත පදයෙන් තරමක් වෙනස්ය
 

තද් දිත් තොන්නන් තාල උදාරය
කිටත්‍රික සව්දම් භ්‍රද විපාදය
චන්ද්‍රවතීගේ ඉන්ද්‍ර නීලගත විමනික සුරලුවනේ
තකනන් ජෙහෙකඩට විනක විනෝදර
ගත්තේ රත්‍රන් සළඹ අතේ
සෙත් සිරි දෙවනා පත්තිනි සුරනා
අඩි තුඩි පඬිපුර ජෙහෙදක තත්තිරි
තාහක ජෙන් ජෙන් පත්තිනි සවුදම්]


සංස්කරණය 1 අවසානයි
---------------------------------------------------------------------------------------------------------------------
සංස්කරණය 2: අගෝස්තු 11, 2019

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් නිෂ්පාදිත "ජන ගී" සංයුක්ත තැටියෙන්...

ගුරුළු සවුදම



තෙනෙ නම් තෙන තෙන - තෙනෙ තෙනෙ නම් තෙන
තෙනෙ නම් තෙන තෙන - තෙන තෙනෙනා...
තෙනෙ නම් තෙන තෙන - තෙනෙ තෙනෙ නම් තෙන
තෙනෙ නම් තෙන තෙන - තෙන තෙනෙනා...

නන්ද පනන්දය නා රජ සමයේ - වෙසතුරු මුනි බුදු වී වැඩ උන්නේ
කරුණා යුග මහබඹු සහ අගසවු - ගෙල සියයක් උස ගුරුලකු වැන්-නේ
ගසක් උඩින් ගිය මකරෙක් විලසින් -  ගොස් අප මුනිඳුන් වෙතට වඩින්නේ
ඔන්න එදා ගැසු ගුරුලා සවුදම - ගඳඹ රුසිරු නම් පවතින්නේ

තෙනෙ නම් තෙන තෙන - තෙනෙ තෙනෙ නම් තෙන
තෙනෙ නම් තෙන තෙන - තෙන තෙනෙනා...
තෙනෙ නම් තෙන තෙන - තෙනෙ තෙනෙ නම් තෙන
තෙනෙ නම් තෙන තෙන - තෙන තෙනෙනා...

දොන්ත තහුර තත් තා - තත්ත තහුර දිත් තා
ගුරුළු ගුරුළු මහ මුගලන් සිරිපද - තත් තක ගිරෙගින් මහමෙර සත්පට
ක්‍රතකුන් දික්කිට නන්ද පනන්දය - අඩ නඩ කින ජෙන් අනෝතත්ත විල
පන්නක නා රජ පෙනෙන් වසා සිට - අතුන නදුන තරි දිමිත්ත දිමි දිමි තා

දොන්ත තහුර තත්තා - තත්ත තහුර දිත් තා
ගුරුළු ගුරුළු මහ මුගලන් සිරිපද - තත්තෙට මහමෙර ක්‍රතකුන් දික්කිට
නන්ද පනන්දය අඩ නඩ කින ජෙන් - අනෝතත්ත විල පෙනෙන් වසා සිට
පන්නක නා රජ පෙනෙන් වසා සිට - අතුන නදුන තර දිමිත්ත දිමි දිමි තා

සේදරමන් ගුරුන්නාන්සේගේ ගුරුළු සවුදම

නන්ද පනන්දය නා රජ සමයෙහි මුගලන් තෙරිඳුන් ගුරුලෙකු වැන්නේ
සත්පට වට කරමින් ඒ නා රජ මහ කෙලනයි දරණයක් ලෙසින්නේ
නන්ද පනන්දය නාර දැපනෙට මුගලන් තෙරිඳුන් වඩිමින්නේ
ඔන්න එදා ගැසු ගුරුළු මෙසවුදම බැරිවෙයි මිතුරේ අහපන්නේ

ගුරුළු ගුරුළු මහ මුගලන් සිරිපද
නන්දන මහතෙර සත්පටලා
ක්‍රතක දිගුන් තරි නදුන තරි
දිමිත්ත දිමිතිරි තරිකිට රොම්කිට තා

සංස්කරණය 2 අවසානයි
---------------------------------------------------------------------------------------------------------------------

හැත්තෑව දශකයේ, සිංහල ගීතයේ ස්වර්ණමය යුගයේ "දුම්රිය සවුදම" නමින් ළමා ගීයක් නිර්මාණය වෙයි...
දුම්රියක නාදය අනුව යමින්ම නිමවූ මෙම ගීය සවුදම් ආශ්‍රයෙන් නොවූවද එකල ලමුන් වූ අපගේ මනදොල රිසිසේ පුරවාලීය...

පීළි දෙකක් උඩ ඉහලට පහලට හූ කිය කිය දුවතෙයි
දුවතෙයි තෙයි තෙයි දුවතෙයි
උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක
උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක
කියමින් මරහඬ දෙයි
බට්ටිචි කවුඩන් දෙමලිචි කවුඩන් දැන් දැන් අමතක වෙයි
අසාගනිල්ලා දුම්රිය සවුදම කුකුඳ කුඳක් ගත තෙයි
ගත තෙයි තෙයි තෙයි ගත තෙයි....

බර බාගේ පොඩි මඩුවක් ඇතුලේ ඉකි බිඳ බිඳ හඬතෙයි
රතු ගොන් වස්සා දුම්රිය පාරට ඔරවාගෙන ඉඳිතෙයි
යකඩ ගොඩක් උඩ ගිනි සිළු රෑණක් ඒ මේ අත දුවතෙයි
අසාගනිල්ලා දුම්රිය සවුදම කුකුඳ කුඳක් ගත තෙයි
ගත තෙයි තෙයි තෙයි ගත තෙයි....

පාසැල් යන්නට අප දිව එන තුරු කරබාගෙන ඉඳිතෙයි
කල් නොවරද්දා නියම වෙලාවට නියම තැනට දුවතෙයි
දවසක ගමනක් විනාඩි දහයෙන් යන්නට අර අඳිතෙයි
අසාගනිල්ලා දුම්රිය සවුදම කුකුඳ කුඳක් ගත තෙයි
ගත තෙයි තෙයි තෙයි ගත තෙයි....




ඇසුරු කල පොත පත
• උඩරට නැටුම් කලාව - ජේ. ඊ. සේදරමන් (1962)
• පහතරට නැටුම් (ප්‍රථම භාගය) - එස්. එච් සව්රිස් සිල්වා (1965)
• හෙළ ගී මග - ඩබ්ලිව්. ඩී. මකුලොලුව (1962)
• ලංකාවේ සංගීත සම්භවය - සී. ද එස්. කුලතිලක (1974)
• සිංහල ජනසම්මත කාව්‍ය - ඩබ්ලිව්. ආතර් සිල්වා / ගුණපාල මලලසේකර (1935)
• තාල ඥානය - වින්සන්ට් සෝමපාල (1958)
• Sinhala Natum: Dances of the Sinhalese - M. D. Raghavan (1967)


Read More!
 
Blogger Wordpress Gadgets