මල් මඳහස රැඳුනි තොලේ...

මට නම් මේ ගීය හීනයක් වගේ ඔලුවේ ඇතුලේ තියනවා... ඉස්කෝලේ යන කාලේ අහපු සින්දු.... සෝමරත්න පෙරේරා ගේ ගීයක් මම කලිනුත් දැම්මා... ඒක "කැල්මෙනා සඳැස සදිසි කියන ගීය... සිංහල ජන ගී ආරට ලියවුණු හා තණු නිර්මානය වුණු මේ ගී දෙකම මගේ ගී එකතුවේ මුතු දෙකක්... සැබැවින්ම සිහිනෙක මා මන බැන්දූ....

මල් මඳහස රැඳුනි තොලේ...
රන් ගෝමර ඉසුනු බඳේ...
ගල් අමුණෙන් පැන්න ලඳේ...
සිරියා කත ඔබය ගමේ...

සේලේ රැලිලා ඇන්ඳූ...
ගී සීපද රස ගැන්වූ...
වෙල් එලියෙන් ආ ලන්ඳූ...
සිහිනෙකි මා මන බැන්දූ...

ගෙලවට මිනිමුතු බැන්දූ...
රනට වලලු අත රැන්දූ...
වෙල් එලියෙන් ආ ලන්ඳූ...
සිහිනෙකි මා මන බැන්දූ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..

photo courtesy Dr. Mrs. Chandanie Wanigatunge
Read More!

මා සාර භූමි ලංකා...

වයස තරාතිරම බලන්නේ නැතිව, කෙනෙක් කියන හරවත් යමක් අහලා, තමන්ගේ බුද්ධි පමණින් විචාරලා, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා බලලම ගන්න හෝ නොගන්න එක තමා හොඳ මගේ හිතේ.... වැඩිය පෝස්ට් නැති වුනත් මගේ යෝගී මල්ලි, බ්ලොග් ලියනවනම් පිළිපදින්න වටින පොඩි පූර්‍වාදර්ශ ටිකක් කියල තිබුන... කියෝපු දා ඉඳලා මම ඒවා පිලිපදිනවා... හේතුව, සාමාන්‍ය මිනිස්සු පහසුවෙන් වෙන්කරන්න පුලුවන් මාතෘකා, මුහුණට මුහුණ නොගැසී හා සමහර වෙලාවට ද්වේශ සහගතව කරන වාද වලින් කමෙන්ට් වලින්, ඔවුන් ප්‍රගතිශීලී වෙනවාට වඩා අගති ගාමී වෙන බව මට වැටහී ගිය නිසා, අත්දැකීමෙන් ම දු‍ටුව නිසා...... පහුගිය පෝස්ට් එකේ මියගිය සොඳුරු මිනිසකු වෙනුවෙන් තාමත් ලතැවෙන බොහෝ දෙනෙක් ගේ සුසුම් (ඔවුන් ගේ බරපතල මතවාද වලින් බැහැරව...) මට සියුම් සතුටක් ඇතිකලා... රටේත් (මගේත්) අතීතයත්, වර්ථමානයත්, අනාගතයත් බැලුවහම මට හැමදාමත් තිබ්බේ බොහොම සරළ තියරියක්... මා උපන් බිම මට උතුම්ය... මොනම කාරණාවකදී වත් රට පාවා දෙන දෙයක් මගේ අතින් සිදු නොකිරීමත්ය.... යන කාරණාවල් දෙකය ඒ... තුන් ලෝකය අතැඹුලක් සේ තර්‍ක කරන්නට පෙළඹෙන බොහෝ දෙනෙක් ප්‍රායෝගික ජීවිතයේ රටට සතයක වත් සේවයක් නොකර වාදාභිමුඛවමැ හිඳිනු මම දැක ඇත්තෙමි... සුනිල් එදිරිසිංහයන් "ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා..." ගැයුවේ ඔවුන් වෙනුවෙනි.... බ්ලොග් අවකාශයේද මෙලෙසමය... පොත පතින්ද, ගුරුන්ගෙන්ද, හිතවතුන්ගෙන්ද "ඇසූ" දේම ගුරු කොට, ව්‍යවහාරික ඥාණය දෙවැනි කොටම තකන්නට මිනිසුන් පෙළඹෙන්නාසේමය...

මා සාර භූමි ලංකා...
මා විජය භූමි ලංකා...
මා පුණ්‍ය භූමි ලංකා...
අප ජන්ම භූමි ලංකා... ලංකා... මා සාර භූමි ලංකා...

නදී ඇල දොල... අහස් දිය කඳ....
සදා තෙතමණ සෙවන දෙරණයි...
කරල් බරවූ කුඹුරු යායයි...
මේ බිමෙන් අප රට නිධානයි...

සතුරු එඩි මැඩ... හෙළා ලේ කඳ...
නැංවු නිවහල්... විජය දෙරණයි...
වීර හෙළයන් පුදා ජීවය...
නැගූ නිදහස රට උරුමයි...

බුදුන් සිරිපා... පියුම් නැමදූ...
මගේ මේ ලක්... පුණ්‍ය දෙරණයි...
සදා කාලෙන්... සදා කාලෙට...
අපට දළදා... සමිඳු පිහිටයි...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..

දේශාටනයේ යෙදෙමින් තමන් ගන්නා අනගි ඡායාරූ මට ලබාගැනීමට ඉඩදෙන වෛද්‍ය චාන්දනී වණිගතුංග මහත්මියට මගේ ස්තුතිය...
Read More!

මා හිස පිරිමැඳ...

ටක්... ටක්... ටක්...
"කව්ද අප්ප මේ වෙලාවේ..."
"අනේ දොර අරින්න එපා මගේ දෙයියෝ..."
"පිස්සුද ළමයෝ... කවුරු හරි මොකක් හරි කරදරයකට වෙන්න ඇති..."
"මේ කාලේ කව්ද මේ වෙලාවට දොර අරින්නේ... අනික මේ ඔයා කරන රස්සාවත් එක්ක... අනේ දොර අරින්න එපා..."
"බොරුවට කලබළ වෙන්න එපා... අර ළමයිත් බය වෙනවා... මට කවුරුත් එහෙම කරදරයක් කරන්නේ නෑ... කෝ ඉන්න දොර ඇරලා බලමු"
"ටක් ... ටක් ... ටක්... කරුණාකරලා දොර අරින්න... ලයිට් දාන්න එපා..."

"ඔය බලන්න මං කිව්වේ... අනේ එපා දෙයියනේ..."
"හ්ම්ම්... දැන් කරන්න දෙයක් නෑ... දැන් කොහොමත් අරින්න වෙනවා..."

"ආ ඇයි මල්ලිලා...?"
"අපිට කතා කරන්න තියනවා ඔහෙත් එක්ක පොඩ්ඩක්..."
"හොඳයි... එන්න ඇතුලට"
"ඔහේ මොකද අපි තහනම් කරලා තියෙද්දි නිවුස් කිව්වේ...?"
"මල්ලි ඒ මගේ රස්සාව... මං බැඳිලා ඉන්නවා ඒක කරන්න... මේ පේනවනේ... මේ කට්ටිය ‍රැකෙන්නේ ඒකෙන්..."
"ඔය කට්ටියව යවන්න කාමරයකට... හරි..... එතකොට අරූගේ උත්සව වල ස්ටේජ් වලට නැග්ගේ...?"
"මල්ලී වහලක් නැති මිනිහෙකුට වහලක් ලැබෙන එක කොච්චර දෙයක්ද... ඌ මොකෙක් වුනත්..."
"උඹ පොඩි බබා... උඹ දන්නේම නෑ... මේවා රටේ අහිංසක මිනිස්සුන්ගෙන් කොල්ල කාල හම්බ කරන ඒවා... බිංදුවක් විසි කරල උගෙම හෙංචයියන්ට... හරි දැනට ඔය ඇති.... යමන් එලියට.... උඹෙන් තව විස්තර ගන්න තියනවා අපිට..."
"කොහෙටද යන්න ඕනෑ...?"
"යමුකො... ගියහම පෙනෙයි..."
"මල්ලිලා කාලද ඉන්නේ....?"
"මේ රටේ මිනිස්සු සිය ගානක් බඩ ගින්නේ ඉන්නේ.... යමන් ඉතිං"
"ඉන්න මං කමිසයක් දාගෙන එන්නං..."

"අනේ දෙයියෝ... මේ කොහෙද යන්න හදන්නේ..."
"නෑ ... නැ... ප්‍රස්නයක් නෑ... ඒ ගොල්ලන්ට මේ විස්තර වගයක් ඕනෑලු... ඕනෑ දෙයක් දීලා මං ඉක්මනට එන්නං... ඔයා ඉන්න දොරවල් වහගෙන..."

ඉන්ද්‍රානි බෝගොඩයන් ගායනා කරන ලෙසින් ඒ සොඳුරු මිනිසා ආපසු පමිණියේ නැත... අප සැමගේ සිත් නිවාලු ඔහුට, වාරු දෙන්නට සිටියේ පහන් ටැඹක් පමණි...

මා හිස පිරිමැඳ, නැවත නො එන්නට ඔබ වෙන්වී ගියදා...
සටහන් නැත මැකිලා, ඒ නික්මන් ගමනේ....

මගේ ජීවිතයම ඔබෙන් සැදුනු බව, එදිනයි මට දැනුනේ...
එතරම් අසරණ වී, නෑ කිසි දින තනිවී....

කිසි ලෙසකින් හෝ වටහා දෙනු බෑ, සෙනෙහස දෙවි කමකි...
ඒ සෙනෙහස දැනුනේ, ඔබ යලි ආ දිනයේ....

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..
Read More!

රත්තරනින් රන් මාල නොබැන්දට...

ඉස්සර රාජ්‍ය සේවකයෝ බොහෝ දෙනෙක් තමන්ගේ ගෙදරට "සෝවියට් දේශය" සඟරාව ගෙන්නවා ගත්තා... ඒ එක්කම අර බෝල්ෂෙවික් පක්ෂයේ කුඩා මාසික ප්‍රකාශනයත් ආවා... සෝවියට් දේශය සඟරාව බොහොම සාර ගර්භ සඟරාවක්... ඒකේ අවසාන පි‍ටු කිහිපයේ ලස්සන කතාවකුත් යනවා... එයින් මට හොඳට මතක කතාවක් තමයි "රත්තරන් දෑත්"... රාජ දෝනිට කලවයස ආවහම කාර බඳින්න කෙනෙක් පිය රජ තුමා සොයනවා... දෝනි ඉතින් නුවණැති වසිලිස්සා වාගේ... ලස්සනයි නුවණත් බොහොම තියනවා... "ඔබ මොනවාගේ කෙනෙක් ද සොයන්නේ...? දියණිය මෙහෙම කියනවා "මම කාර බඳින්නේ ලෝකෙන්ම පොහොසත් කෙනා..." පියරජ තුමාගේ කට කණේ.... සතුට ඇසිල්ලයි...ඇය ඒ එක්කම කියනවා..."ඒ වාගේම එයා ලෝකෙන්ම දුප්පත් කෙනා වෙන්නත් ඕනේ..." මේ අපභ්‍රංසය තේරුම් ගන්න බැරි රජ්ජුරුවෝ, අර මගේ යෝගී මළයා කිව්වා වාගේ, දෝනි කියපු දේ ඒ විදිහටම, "ෂී ෂී" (carbon copy හෙවත් Cc) කරනවා රට පුරාම... ඔන්න ඉතින් ස්වයංවරයට ලෝකේ හැමාතින්ම කුමාරවරු එනවා... රජ කුමරිය නියපොතු ඔප දම දමා හැමෝගෙන්ම අර ප්‍රස්න දෙක අහනවා... එක් කුමාරයෙක් විසාල රත්තරන් තොගයක් ගෙනැවිත් කියනවා... "මම ලෝකෙන්ම පොහොසතා..."රජ කුමරිය අහනවා "එතකොට ඔබ දුප්පත්ම කෙනා වන්නේ කොහොමද..." කියලා... "මම මේ සියල්ල ඔබට දීලා ලෝකෙන්ම දුප්පතා වෙනවා..." "හ්ම්ම්...ඒ කියන්නේ ඔබ දැන් පොහොසත්, පස්සේ දුප්පත් ... එහෙමද...?" "ඔව් කුමරියනි..." ඇය නොසතුටෙන් ඉවත බලා ගන්නවා... ඔහොම එක් එක්කෙනා ප්‍රතික්ශේප වෙද්දී එක් වරම තරමක් අපිරිසිදු ඇඳුම් ඇඳගත් තරුණයක් කුමාරිකාව අසලට එන්න උත්සාහ කරනවා... රාජ පුරුෂයෝ ඔහුව වලක්වනකොට කුමාරිකාවගේ අණ පරිදි ඔහු ඈ හමුවට පැමිණෙනවා... කුමරිය ඔහුගේ තියුණු නෙත් වලට එබී ප්‍රස්නය අහන්න හදනකොටම ඔහු කියනවා..."කුමරියණි... මම දෙවැනි ප්‍රස්නයට ඉස්සෙල්ලා උත්තර දෙන්නම්... "පෙනුමෙන්ම ඔබට කිව හැකියි මම ලෝකෙන්ම දුප්පතා බව... මට දේපල මුදල් ඉන්න තැනක් කිසිවක් නෑ..." කුමරිය අහනවා... "ඒක හරි එහෙනම් එතකොට අනෙක් ප්‍රස්නය..." මම වඩුවෙක්, ගොඩනැගිලි තනන්නෙක්, සන්නාලියෙක්... වෙහෙසට පත් වුණහම මේ බටනලාව පිඹිනවා... මගේ අත්දෙක තමා මගේ ධනය... ඒ දෑත් නිසා මම ලෝකයේම පොහොසතා... මට ඕනෑ කරන ඕනෑම වෙලාවක..." රජ කුමරිය ප්‍රීතියෙන් පිනා යනවා... "ඔව් ඒ රත්තරන් දෑත්..." ඈ කියනවා...

රත්තරනින් රන් මාල නොබැන්දට...
රත්තරනින් රන් ‍තෝඩු නොදැම්මට...
ඔබේ දැත මට ‍රැකවරණයි...
රත්තරන් දෑත මට ‍රැකවරණයි...

කුඹුරු කොටන ඔබේ දැත...
නියර බඳින ඔබේ දෑත...
මගේ පැලේ කව්ලු දොරින් උදේ හවා දු‍ටුවා...
ඒ දෑතට මගේ දැත දෙන්නට මා සිතුවා...

පැල් කවියක හඬින් රෑක...
සිහින ලොවක ගියෙමි ඇත...
හදේ පැතුම් සඳ කිරණින් ඔබේ පැලට ආවා...
දැතට දී මගේ දෑත තනි රකින්න ආවා....

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..
Read More!

කිසිවක් නොකියන, කිසිවක් නො අසන...

සුන්දර හැඟීමකින් තැබූ සටහන, මරණීය හැඟීමක් එක්ක වෙලෙයි කියලා, සටහන තැබූ වෙලේ නම් මට කොහොමනම් දැනෙන්නද...? අපි හැමෝම හිටියේ ඉස්කෝලෙත් විශ්ව විද්‍යාලයත් අතර ඉංග්‍රීසි පන්තියේ... මට මගේ ජීවිතය අරුත්බර කල නෙත් යුවල හමුවුනෙත් එතනදිමයි... ඒ කාලය හරිම සුන්දරම කාල වකවාණුවක් වුණා වුනා මගේ ජීවිතේම... මම බාගෙට කාපු රඹුටන් ගෙඩිය කටේ දමා ගත්තු මිතුරියත් හිටියේ ඒකෙමයි... ඒ අතරතුර මට තවත් අපූරු මිතුරෙක් මුණ ගැහුණා... මට වඩා බොහොම පෙණුමැති ඔහුත්, එතන පිපිච්ච තවත් ලස්සන මලක් නිසා කැළඹිලා හිටියේ... ඇයත් ඔහුත් දෙන්නම යන්න හිටියේ එකම විශ්ව විද්‍යාලීය අධ්‍යයණ අංශයකට... ඒ කාන්තා චරිතයේ අමුතුම ගති සොභාවක් තිබ්බ, සඳ වැනි උවනට අමතරව... මොකද්දෝ සඟවා ගත්ත ගුප්ත කාරණයක් හින්දා, අමුතු නිස්සද්ද ගතියකින් ඈ හිටියේ... සුන්දරම ගනයේ සිනහවක් තිබුණු ඈ, අපි හැමෝම කොක් හඬලා හිනාවෙනකොටත්, අත් දෙකින් මූන වහගෙන යන්තමින් හිනාවෙණවා විතරයි... මෙ ගීතයේ මුල් පදයේ ඇති නම වෙනුවට, ඇයගේ නම කදිමට ගැලපුණු නිසා, ඒක දාල ඇගේ සමරු පොතේ මම එය සටහන් කලා....

මගේ මිත්‍රයා හඬා වලපුණත්, නොකා නොබී හිටියත් ඇයගේ හිත ගලක්වාගේ තිබුනේ.... මා මිත්‍රයා පිස්සෙක් කරන්නට සමත් වුනේ, පාඨමාලාව අවසන් වෙන්න ලංවුණහම ඈ වෙනෙකෙකු ‍තෝරා ගැනීම නිසයි...මේ උමතුව මගේ හිතත් කම්පා කලා ඒ දිනවල... මම දවසක් ඔහුට දෙකක් අනින්නත් ගියා, ඉවසාගන්න බැරුව මේ අඳෝනාව... ඇයි දෙයියනේ පිරිමියෙක් වැලපෙන එකේ සීමාවක් තියෙන්නෙ ඕනෑ නේද...?

කොහොම නමුත් තුන්දෙනාම එකම අධ්‍යනාංශයට ගිහින්, දරුණු ගණයේ පාඨමාලවක් වන එය, ඉහලින්ම කරගෙන එයට අදාල වෘත්තියේ නියලෙන්න ගත්තා... මේ වකවාණුවේදී මට ඔවුන් තිදෙනා ගේ අන්තර් සම්භන්ධතාවය ගැන හරි හැටි තොරතුරක් ලැබුණේ නෑ... නමුත් මගේ මිත්‍රයා බලා ඉඳලා ඉඳලා තමන්ගේ දුරින් ඥාතියෙකු විවාහ කරගත් බවත් අනෙක් දෙදෙනාත් විවාහ වූ බවත් දැහනගත්තා... ඛේදවාචකය වෙන්නේ මගේ මිත්‍රයාගේ බිරිඳට පලමු දරු උප්පත්තිය වෙලා, රෝහලේ සිට අම්මටත් දරුවටත් ඇඳුම් ගෙනියන්න, ඔහු ගෙදර ආ වෙලාවේ... ‍රැක සිටි නන්නාදුනන්නන් උණ්ඩ හතක් ඔහුගේ හිස හරහා යවනවා, කුලුඳුල් දරුවගේ මුහුණ බලාගන්නම ඉඩක් නොතබා...

කිසිවක් නොකියන, කිසිවක් නො අසන, මුණිවත රකින ලඳුනි පබා...
කල්පිතයක් මැද තනිවූ පමණින්... මුව ගොලු ලා ගෙන හිඳිනු එපා..

කියාගන්න බැරි, දහසක් දේ ඇත ජීවිතයට...
හිතා ගන්න බැරි, දහසක් දී ඇත ඔබ අප වට...
එනමුදු කුමුදිනි... ඔබේ සිතත් මගේ සිතත්, එකම එකක් කළ අපට රහස් නැත...
මුව'ගුලු ලාගෙන හිඳිනු එපා...

තනිවුණු මොහෙතක, කුණා‍ටුවක් මැද සාගරයක..
එක් වුණු මොහොතක, තරුවියනක් යට මල් යායක...
ඉඳුනිල් ලෙළැසියෙ...
ඔබේ සිතත් මගේ සිතත්, එකම එකක් කළ අපට රහස් නැත...
මුව ගොලු ලාගෙන හිඳිනු එපා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..
Read More!
 
Blogger Wordpress Gadgets